(ඩයස්පෝරා තහනම ගැන ගෝලීය දමිල ෆෝරමයේ ප්‍රකාශක සුරේන් සුරේන්දිරන් සමග කතා බහකි. :සටහන -ආචාර්ය උදන් ප්‍රනාන්දු


වචනය ග්‍රීක් වුනත් හන්දියේ ත්‍රීවීල් මල්ලී ද එය වහරන්නේ කොස් දෙල් ගැන කතා කරනාකාරායට ම ය. ජනවාර්ගික ගැටුම හා ඉන් මෙළවුණු දශක තුනක පමණ යුද්ධය විසින් දයාද කරන ලද වාග්මාලාවේ ටෙරා, ෆයිව්-සීරෝ, ඇම්බුස් ආදී වචන වලට වඩා එදිනෙදා වහරට එක් වූ වචනයක වූයේ ඩයස්පෝරාව යි.

දෙමල යන්න බොහෝ විට ඊට පෙර විශේෂණ පදයක ලෙස එකතු වේ. දෙමල ඩයස්පෝරාව යන දෙපදය ඒ තරමට ම වැහැරීම නිසා දකුණේ දනා ඩයස්පෝරාව කී වට ඉන් දෙමල යන්න ද හැඟ වේ.

 එය එකාකෘතික පුරුද්දක් වුව ද අධි භාවිතය විසින් එය බොහෝ දුරට සමාජගත (දකුණේ, එනම් උතුරු නැගෙනහිර නොවන කලාපයේ) වී ඇත.

ලාංකීය භාවිතය තුල ඩයස්පෝරාව නිශේධනීය සංසිද්ධියකි. 'රට දෙකඩ කරනට උඩගෙඩි දෙන', 'ත්‍රස්තවාදීනට ඔක්සිජන් සපයන', 'ආණ්ඩු විරෝධී', 'බටහිරට සමග එකමුතු ව රටට කෙළවන' වැනි යෙදුම් දිවයිනේ වර්ණ කුලසූරිය, අමර සේකර, ද සිල්වා,  වීර වංස, වීර සේකර  වැනි දකුණේ පොල් ගස්වල හා ලයිට් කණුවල බැඳි පැය විසි හතරේ ලැයිස්පීකර විකාශනයෙන් එක්තරා ආකාරයකට ඒවා සත්‍යය ලෙස සමාජගත විය.             

 

ඩයස්පෝරා වචනයේ මුල ග්‍රීක ය. මුලින් හෙලනික ග්‍රීකයින් ද ඉන් පසු ව ක්‍රිස්තු පූර්ව හය වැනි කාලයක සිට ජෙරුසලමේ බලය අහිමි වීමෙන් පසු යුදෙව්වන් ද හඳුන්වන්නේ 'ඩයස්පෝරා'නමිනි.  විශේෂයෙන්, ඊශ්‍රායෙල හා යුදා රාජධානී බිඳ වටුමෙන් පසු විවිධ රටවලට 'විසිර ගිය' (ඉංග්‍රීසියෙන්, ඩිස්පර්ස්ඩ්)  යුදෙව් ජනතාව ඩයස්පෝරාව ලෙස ය.

 

ඉන් පසු ඉතිහාසයේ මෙවැනි විවිධ විසිරීම් දක්නට ලැබිණ. චීන, ස්කොට්ලන්ත, අයර්ලන්ත, ඉන්දියානු, මෙක්සිකානු, ලෙබනන වැනි මුල් බිම්වලින් යුධ, ආක්‍රමණ, සාගත ආදී විවිධ තත්ත්වයන් යටතේ විසිර ජන කොටස් ද බොහෝ විට හැඳින් වූ පොදු නම වූයේ ඩස්පෝරාව යි.

 මේ වන විට, ඩයස්පෝරිකත්වය ප්‍රාමාණික යථාර්තයකි. එනම් එක රටකින් වෙනත් රටකට හෝ රටවල් ගණනාවකට විසිරුණු ජන කොටස්  මිලියන් ගණනින් සිටින අතර මුල් රට ඔවුන්ගේ අනන්‍යතාවයේ තීරණාත්මක සාධකයකි.

2019  එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛන අනුව, විශාල ම ඩයස්පොරාවන් වන්නේ ඉන්දියානු (මිලියන 17.5), මෙක්සිකානු (මිලියන 11.8) හා චීන (මිලියන 10.7) ය. ලාංකීය දෙමල ඩයස්පෝරාව මිලියනයක් පමණ බව කියැවේ.  


WireAP da80df947c3b45fea0544d2bcde43b00 16x9 992 

මාර්තු අග සිට ලංකාවේ ඇවිළී ගිය විරෝධතා හා නායකයින් ගෙදර යැවීමේ රැල්ලේ පිටුපස සිටියේ ඩයස්පෝරාව බව වරින් වර මතු වූ චෝදනාවකි.

 

කෙනෙක් කීවෝ මේ කුමන්ත්‍රණ න්‍යාය චක්‍රවර්තීන්ගේ සුපුරුදු ප්‍රලාපයක කියා ය. එහෙත් එක්තරා ආකාරයක නිශ්චිත ප්‍රවෘත්තියක වූයේ සති දෙකකට පමණ පෙර රජය විසින් තහනමට ලක් ව තිබූ ලාංකීය ඩයස්පෝරා සංවිධාන කිහිපයක් තහනම් ලැයිස්තුවෙන් ඉවත් කිරීම ය.

නව ජනාධිපති පත් වීම හා නව ආණ්ඩුවක ප්‍රතිසංවිධානය වීම සිදුවූයේ ඇසිපිය හෙළන තරම් වේගයකිණි.

දරුණු ආර්ථික අර්බුදයක ගැළී සිටින තත්ත්වයක, ඩයස්පෝරා තහනම ඉවත් කිරීම ප්‍රමුඛතාවයක් වන්නේ කෙසේ ද ? තර්ජනයක ලෙස වරෙක සැළකුණ මේ සංවිධාන නැවත කරලියට පැමිණෙන පසුබිම කුමක් ද ?

 

ටේකින් ෆ්‍රොම් ද හෝර්සස් මවුත් (අස්සයාගේ කටින්  ම ගැනීම) කියා ඉංග්‍රීසි පිරුලක ඇත. ඉන් හඟින්නේ යමක ගැන හොඳින් දන්නා හා ඒ ගැන වගකීමක දරන මූලාශ්‍රයකින් ම යමක් දැන ගැනුම ය.

 

suren

'ග්ලෝබල් ටැමිල් ෆෝරම්' මාධ්‍ය ප්‍රකාශක සුරේන් සුරේන්දිරන්

 

මෑතදී තහනම ඉවත් වූ ඩයස්පෝරා සංවිධාන බොහොමයක ජාලගත වී ඇති මව් සංවිධානය ගෝලීය දෙමල ෆෝරමය යි (ග්ලෝබල් ටැමිල් ෆෝරම්). එහි මාධ්‍ය ප්‍රකාශක සුරේන් සුරේන්දිරන් ය. අසාදු ලැයිස්තුවේ තිබුණු සුරේන්ගේ නම ද දැන් ඉන් ඉවත් වී ඇත.

යුරෝපයේ වසන සුරේන් සමග අගෝස්තු 18 දින ලන්ඩනයේ සිට මා සමග කළ සංවාදයක සටහන පහත දැක්වේ.  

කොළඹ ඉපිද, බම්බලපිටියේ හින්දු විදුහලේ උගත් සුරේන් හැදුණේ වැඩුණේ සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් පරිසරයක ය. ඉංග්‍රීසියට අමතර ව සිංහල හා දෙමල කතා කළ සුරේන්ගේ සිංහල කථනය මේ වන විට තරමක් මලකඩ බැඳී ඇත්තේ දශක ගණනාවක් රටින් බැහැර ව වාසය කිරීම නිසා ය.

ඔහුගේ කතාබහ ඒ අයුරින් ම මා පිටපත් කළේ ඔහුගේ අන්තර්ගතය හා ශෛලිය විකෘති වීම වැළකුමට ය.  ඉංග්‍රීසියෙන් කියන ලද තාක්ෂණික වචනවල තේරුම පෙට්ටි වරහන් තුල ම'විසින් සිංහලෙන් ලියා ඇත.        


උදන්
සුරේන්, 'අරගලය' පිටුපස ඩයස්පෝරාව සිටියා කියන කතාව ඇත්ත ද ?  

සුරේන් :

ඒක මම දන්නේ නැහැ, ඩයස්පෝරාව යමක් කළා ද නැත් ද කියලා. ඒත් ලංකාවේ මාධ්‍ය, විශේෂයෙන් සිංහල භාෂාවෙන් පළවෙන, මේ ගැන ලොකු ප්‍රචාරයක් කළා.  


උදන් :
ඔබගේ සංවිධානය හා ඊට අනුබද්ධිත සංවිධාන 'අරගලය' සම්බන්ධයෙන් කළේ මොනවා ද?

සුරේන් :

අපට අරගලයට ආධාර දෙන ලෙස ඉල්ලීමක් කවුරුත් කළෙත් නැහැ, අපි කාටවත් ආධාර කළෙත් නැහැ.


උදන් :
සුරේන්, මීට සති දෙකකට විතර ඉස්සර, ප්‍රවෘත්තියක් පළ වුනා -- ඉන් පස්සේ ඒක තහවුරු වෙන ගැසට් නිවේදනයකුත් නිකුත් වුණා -- මීට කලින් තහනමට ලක් වුණු ඩයස්පෝරා සංවිධාන කිහිපයක් හා අසාදුගත ලේඛණයේ සිටි (බ්ලැක් ලිස්ටඩ්) පුද්ගලයින් කිහිප දෙනෙකු, තහනමින් හා ලැයිස්තුවෙන් ඉවත් වූ බවට . දැන්, මේ සංවිධාන අතර ඔබේ සංවිධානයත් ඊට අනුබද්ධිත සංවිධානත් පුද්ගලයිනුත් සිටිනවා. මෙය කොහොමද ඔබේ සංවිධානය භාර ගත්තේ ? මොකක් ද ඔබේ ප්‍රතිචාරය ?

සුරේන් :

ඒක (තහනම ඉවත් කිරීම) හොඳ දෙයක් . ඒත් ප්‍රශ්නේ මේකයි. මේ සංවිධාන තහනම් කරලා තිබුනේ කිසිම ඉන්වෙස්ටිගේෂන් එකක් [විමර්ශනයක්] කරන්නේ නැති ව. 2014 දී මහින්ද රාජපක්ෂ කාලයේ අපේ සංවිධානය, මාව ඇතුළු අපේ සාමාජිකයින් ව තහනම් කළා කිසිම විභාගයක් නැතිව. 2014 ජූනි මාසේ යූඑන් හියුමන් රයිට්ස් කවුන්සිල් එකේ රෙසලුෂන් එක [යෝජනාව] ගෙනාවම, ඒකට රිටැලියේෂන් [විරුද්දවාදී හෝ පළිගැනීමක ලෙස] වගේ. කෙලින් ම ෆෙබ්රුවරි මාසේ -- රෙසලුෂන් ගෙනාවේ ඒ මාසේ -- ම ගැසට් කළා ඔන්න ශ්‍රී ලංකා ගවන්මන්ට් විරුද්ධ ඔර්ගනයිසේෂන් කියලා, එල්ටීටී සපෝටින් ඔර්ගනෛසේෂන්, ටෙරරිසම් සපෝටින් ඔර්ගන්යිසේෂන්ස් කියලා ලිස්ට් කළා.  

මාවත් ලිස්ට් කලා, මාත් එක්ක තුන්සීය ගානක් මිනිස්සු ලිස්ට් කළා. හැබැයි එගොල්ලෝ කිව්වේ, ආණ්ඩුව කියන්නේ, යූඑන් රෙසලූශන් එකක් තියෙනවා කියල   ටෙරරිසම් සපෝර්ට් කළත් ගවන්මන්ට් ඊස් එන්ටයිටල් ටු බෑන් ඔර්ගන්යිසේෂන්ස් ඕර් ඉන්ඩිවිජුවල්ස් කියලා [ආණ්ඩුවට බලය තියෙනවා ත්‍රස්තවාදයට සහාය දෙන පුද්ගලයින් හෝ සංවිධාන තහනම් කරන්න].

හැබැයි ඒකෙ කියලා තියෙනවා  ප්‍රොසීඩියර් එකක් ෆොලෝ [පිළිවෙතක් අනුගමනය] කරන්න කියලා. කෙලිම්ම නිකන් ඕන ඕන වෙලාවට ඕන එක්කෙනෙක් ව ආණ්ඩුව වුනත් කවුරු වුනත් ට බෑන් කරන්න බෑ. ඒකට ප්‍රොසීඩියර් එකක් තියෙනවා. ඒකට එවිඩන්ස් පෙන්නලා රෙස්පොන්ස් [ප්‍රතිචාරය] අහගන්න ඕනේ. ඒගොල්ලන්ට එක්ස්ප්ලේන් [පැහැදිලි] කරන්න වෙලාවක් දෙන්න ඕනේ. එක්ස්ප්ලනේෂන් [පැහැදිලි කිරීම] ආව ම ඒක තව ඉන්වෙස්ට්ගේට් [විමර්ශනය] කරලා, ඒක ෆයිල් කරලා, ඒකට පබ්ලික් ඇක්සස් දෙන්න ඕනේ. මේ එවිඩන්ස් හින්ද තමයි අපි බෑන් [තහනම්] කරන්නේ කියලා. 

 

ඒවගේ මොනාවත් කරන්නේ නැතුව ආබිට්‍රාරලි බෑන්ඩ් අස් [අත්තනෝමතික ව අප තහනම් කළා]. ඊට පස්සේ 2015 යහපාලන ආණ්ඩුව ඒ බෑන් එකට ලිෆ්ට් කළා [තහනම ඉවත් කළා].

 

ඒ කාලේ ප්‍රෙසිඩන්ට්, ෆොරින් මිනිස්ටර්, ජස්ටිස් මිනිස්ටර් - විජේදාස රාජපක්ෂ, අපි ව හම්බ වුනා. ඒ කාලේ ලංකාවේ දකුණේ පැත්තේ ගොඩක් තැන් වල ෆ්ලඩ්ස් [ගංවතුර] තිබුණා. රික්චෙස්ට් එකක් තිබුණා මෙඩිකල් හෙල්ප් වලට.  ගොඩක් ලෙඩ ජාති බෝවෙලා තිබුණා අපි අපේ දොස්තරලා ටීම් එකක් ලංකාවට එව්ව උදව් කරන්න. විසි පහක් විතර. ඒගොල්ලෝ වැඩ කලේ කළුතර මාතර වගේ තැන් වල. සේරම සිංහල පැති.  අපේ ටීම් එකේ හිටියේ සේරම දෙමල කට්ටිය. අපි රට බෙදනවා නං හරි ටෙරරිසම් සපෝට් කරනවා නං හරි, ඇයි අපි ඒවගේ කරන්නේ?

අපිව ආයේ බෑන් කළේ මාර්තු 2021. ඒ අවුරුද්දෙ ම ජූන් ජූලයි වාගේ එකේ කෝවිඩ් එක වැඩියෙන් ගිහිල්ල, ලංකාවේ ගොඩක් කට්ටිය මැරුණා. අර  හුස්ම ගන්න මැෂින්වල අඩුවක් තිබුනා ඉස්පිරිතාලවල.  අපි ඩොලර් මිලියන් 2.3 ක ඒ මැෂින් එවන්න ලැහැස්ති කළා. ඒත් මොකක් ද ආණ්ඩුව හෙල්ත් මිනිස්ට්‍රි එක කළේ ? ඒගොල්ල කීව මේව එන්නේ ටැමිල් ඩයස්පෝරා එකෙන් කියලා - ප්‍රොස්ක්‍රයිබ්ඩ් [තහනම් කළ] ඔර්ගනයිසේෂන් වලින් කියලා. ඒ නිසා අපිට ඕනේ නෑ කියලා.

ඇත්තට ඒගොල්ලෝ අපිට ලියල කිව්වේ ඒ බඩු නීඩි කන්ට්‍රීස් [අමාරුකම් තියෙන රටවලට] වලට දෙන්න කියල. ඒ කියන්නෙ ලංකාව නීඩි කන්ට්‍රි නෙමේ ද? හැබැයි ලංකාවේ මිනිස්සු මැරෙනවා හෙල්ත් ඉක්විප්මන්ට් නැතුව. අපරාදේ ඒක. ඒවගේ ඩයස්පෝර එක එවන්න හිටිය සල්ලි විතරක් නෙමේ එක්ස්පටීස් [විශේෂඥ දැණුම], ඉක්විප්මන්ට් සේරම ලංකාවට නැති වුනා බෑන් එක නිසා.

දැන් ආයෙත් බෑන් එක අයින් කරලා. ඒත් කිසි හේතුවක් කියන්නේ නැතුව. මේ අවුරුද්දේ ජූන් මාසේ -- ගෝටාභය රාජපක්ෂ රිසයින් වෙන්න ඉස්සර -- ජීඑල් පීරිස් ජිනීවා හියුමන් රයිට්ස් කවුන්සිල් එකේ කිව්වා ඒගොල්ලෝ කන්සිඩර් කරනවා [සලකා බලනවා] කියලා සමහර සංවිධාන වල තහනම ඉවත් කරන්න. වික්‍රමසිංහ ජනාධිපති වෙලා ආව ම අවසාන ස්ටෙප් එක [පියවර] වන ගැසට් එක පබ්ලිෂ් කළා. 

 

අපි මේ තහනම් කරන තහනම් ඉවත් කරන ඒවා ගැන මහා ලොකුවට එක්සයිට් [කලබල] වෙන් නෑ.  අවාසනාවට ලංකාවේ අයයි ඒකෙන් සෆර් කරන්නේ [දුකට පත් වෙන්නේ] ලංකාවේ අයමයි. 

 

ලංකාවේ මේ තහනම් කවුරුත් ගණන් ගන් නෑ. මං යූඑන් එකත් එක්ක ගොඩාක් වතාවක් හම්බ වුනා. ඒගොල්ලෝ ඒවා හංගන්නේ නැහැ. මං ඇමෙරිකාවේ ස්ටේට් ඩිපාට්මන්ට් [රාජ්‍ය දෙපාර්තමේන්තුව] එකට දෙපාරක් ගිහිල්ල තියෙනවා බෑන් එක කාලේ. ලංකාව ගැන භාරව ඉන්න ඉහල ම එක්කෙනාව හම්බවෙලා තියෙනවා. මෙහෙ -- එංගලන්තේ -- ෆොරීන් මිනිස්ට්‍රි එකේ අ ය හම්බ වෙනවා. ජර්මන්, ස්විස්, නොර්වේජියන්, ඉන්දියන් ෆොරීන් මිනිස්ට්‍රි කට්ටිය හම්බ වෙන වා. ඒ කවුරුත් ලංකාවේ තහනම ගනං ගන්නේ නැහැ.

 

මං හිතන්නේ මේ බෑන් කරන තීරණ මහා මෝඩ ඒවා. ඒකෙන් වෙන්නේ ලංකාවේ අයයි අපියි තවත් දුරස් වෙන එක. එක එක්කෙනා ගැන වැරදි විදිහට හිතන එක. දෙමල සිංහල කියලා බෙදෙන එක. හැබැයි එකක් කියන්න ඕනේ. ලංකාවේ මීඩියා එක මේ තත්වේ ගොඩාක් ක්ලෙවර් [බුද්ධිමත්] විදිහට බැලුවේ. ඒගොල්ලෝ අපිට ගොඩක් ඇක්සෙස් [ඉඩකඩ] දුන්න අපේ පණිවිඩේ ලංකාවේ අය එක්ක බෙදා ගන්න. ඒක අපි ගොඩක් අප්රිශියේට් [අගය] කරනවා. 

 

උදන් :

පහුගිය මාසේ හතරේ විතර ලංකාවේ මහා ගොඩක් දේ වුනා. ඊයේ පෙරේදා තමයි පොඩ්ඩක් හරි සෙට්ල් වුනේ. අළුත් ආණ්ඩුවක් පත් වෙලා ජනාධිපති කෙනෙක් පත්වෙලා. ඒත් රට තියෙන්නේ ලොකු ආර්ථික අර්බුදේක. මේ දේවල් අස්සේ ඩයස්පෝරා සංවිධාන තහනම් ඉවත් කිරීම ප්‍රයෝරිටි එකක් [ප්‍රමුඛතාවක්] වෙන්නේ කොහොම ද ? ටිකක් ඔඩ් [නොගැලපෙන] වගේ නෙමෙයි ද මේ තීරණේ ?  

සුරේන් :

ටිකක් ඔඩ් තමා. හැබැයි. මේ බෑන් එක අරින්න කතා කලේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රෙසිඩන්ට් වෙලා ඉන්න කොට. හැබැයි ප්‍රොසෙස් [ක්‍රියාදාමය] ඉවර වුනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුනාට පස්සේ. එයා පටන් අරගෙන මෙයා ඉවර කරලා තියෙන්නේ.

හැබැයි හදිස්සියේ කරලා තියෙන්නේ මොකද ? මගේ හිතේ තියෙන්නේ සැප්තැම්බර් මාසේ හියුමන් රයිට්ස් කවුන්සිල් එකේ තව රෙසලූශන් එකක් එනවා. ඒකට ඉස්සෙල්ලා මේගොල්ලෝ පෙන්නන්න හදන්නේ, ඔන්න අපි ටිකක් රෙකන්සිලියේෂන් [සංහිඳියාව] ගැනට වැඩ කරනවා කියලා.  

ඒ බොරු. මෝටිව් [ආධ්‍යාශය] එක යූඑන් හියුමන් රයිට්ස් කවුන්සිල් එක මිස්ලීඩ් කරන්න [නොමග යවන්න]. මට කියන්න පුළුවන්, යූඑන් එකේ කට්ටිය -- ඔෆීෂියල් ලා රටවල්වල නියෝජිතයෝ -- මේක හොඳට දන්නවා. ලංකාවේ ආණ්ඩුව මෙහෙම කරන පළමු සැරේ නෙමේ මේක.

කවුන්සිල් එක මීට් වෙනකොට, ලංකාව ගැන අජෙන්ඩා එකට එන බව දැන ගත්තම හැමදාම මෙහෙම කරනවා. මාසෙකට වගේ ඉස්සර මොන මොනා  හරි දෙයක් කරනවා.  ඕඑම්පී අරිනවා. ඒකට බජට් එකක් දානවා. පොඩි ළමයි වගේ. ඉස්කෝලේ යන්න ඉස්සර හෝම් ව(ර්)ක්  ටිකක් හදලා යන එක්කෙනෙක් වගේ.  මෙහෙම කරලා හරි යන් නෑ. මේ වගේ ලොකු ප්‍රශ්න වලර ඩියුරබල් [කල් පවතින, ස්ථිරසාර]  උත්තර හොයන්න ඕනේ.



උදන් :
තහනම ඉවත් කරන්න කියලා ඔයගොල්ලෝ යම් බලපෑමක් කළා ද? ආණ්ඩුවෙන් මොන මට්ටමේ හරි ඉල්ලීමක් කළා ද ? එහෙම නැත්නම් ආණ්ඩුවේ අය ඕගොල්ලන්ගේ දොරට තට්ටු කරා ද ?

සුරේන් :



නෑ එහෙම කිසිම දෙයක් වුණේ නැහැ. ඉස්සෙල්ල සිද්ධ වුණේ ටිකක් වෙනස් විදිහකට. ඒ මංගල, අභාවප්‍රාප්ත මංගල සමරවීර, මගේ යාලුවෙක් වුණු නිසා එයා මට කීවා ආණ්ඩුවේ අදහසක් තියෙනවා කියල අපෙයි අනික් අයගෙයි තහනම ඉවත් කරන්න. එයා එක්ක මොනා හරි දෙයක් කතා කරන්න පුළුවන් කමක් තිබුණ හින්ද මං මෙහෙම කිව්වා :  "තෝරගත්ත කීප දෙනෙක් නැතිව හැමෝගෙම තහනම ඉවත් කරන්න, එහෙම කරන කොට කරන්න ඕනේ ප්‍රොසීඩියර් එක ෆොලෝ කරන්න, කව්රු හරි කට්ටියක් ටෙරරිස්ට් සම්බන්ධ නම් ඒ බව උසාවියක ඔප්පු කරලා බෑන් කරන්න".


මොකද ඔරිජිනක් බෑන් එක 2014 කෙරුණේ කිසිම ප්‍රොසීඩියර් එකක් නැතුව. ඉස්සෙල්ල ඒක රිවර්ස් කරන්න ඕනේ. හැබැයි එයාත් ඒක කළේ නෑ. ඒත් එයා සංවිධාන ගොඩක තහනම ඉවත් කළා. ඒ කරද්දි අලුත් ඒවා එකතු කළේ නෑ ලැයිස්තුවට.

අවාසනවට මේ සැරේ සංවිධාන හයක තහනම ඉවත් කරාට, තව කීපයක් එක්කහු කරලා තියෙනවා.  මං වගේ අය ව ලිස්ට් එකෙන් අයින් කරාට තව අලුත් කට්ටිය ව ඇඩ් කරලා [එකතු කරලා] තියෙනවා. 
 
 
 
අපිට පේන හැටියට මුස්ලිම් සන්විධාන මුස්ලිම් කට්ටිය ව ඇඩ් කරලා තියෙනවා. මේකෙන් අපිට දැනෙන දේ තමයි ඒගොල්ල හැම තිස්සෙම බලන්නේ ආගම, බාසාව ජනවර්ගේ මත අපිව බෙදලා කොටවන්න. ඒගොල්ලන් හිතනවා ඇති මේ ට්‍රික් එක [උපාය] හැමදාම වැඩ කරනවා කියලා.  අපි අරගලේ දිහා බලන කොට තේරෙන්නේ, අඩු ගානේ තරුණ කට්ටිය මේවා පදනම් කරගෙන බෙදෙන්න කැමති නෑයි කියලා. ඒගොල්ලෝ කැමති එකතු වෙන්න.       
 
 
 
අපි අපේ සංවිධානේ 2010 පටන් ගන්නකොට -- යුද්දේ ඉවර වෙලා --  අපිට ලංකාවේ අයට පෙන්නන්න ඕනේ වුනා අපි කිසිම විදිහක බෙදුම්වාදී අදහස් ප්ලෑන් තියෙන අය නෙමේ කියල. අපි ලංකාවෙන් බෞද්ධ හාමුදුරු කෙනෙකුයි මුස්ලිස්ම් ආගම් නායකයෙකුයි ආරම්භක වැඩසටහනට ගෙන්නුවා. එතකොට අපේ සභාපති කතෝලික ෆාදර් කෙනෙක්. ෆාදර් එම්මෑනුඑල්.  මම හිංදු.
 
 
ඒ වුනාට අපිට ඕනෙ මේ බෙදීම් වලින් එහාට ගිහිල්ලා, කොන්ස්ටිටියුෂනල් මීන්ස් වලින් [ව්‍යවස්ථානුකූල ක්‍රමයක් මගින්]  රටට ඕනෙ වෙනසක් කරන්න. මෙච්චර කල් වුණේ ආණ්ඩු එකඟ වෙනවා, නායකයෝ එකඟ වෙනවා, ඒත් කිසි දෙයක්  ඉම්ප්ලිමෙන්ට් [ක්‍රියාත්මක] වෙන්නේ නැහැ. ඉතිහාසේ ම වුණේ ඕක.
 
polpix1
 
AT THE PARK LANE HILTON IN MARCH 2015 – The then President Maithripala Sirisena with a delegation from the Global Tamil Forum (GTF). Seated on his left is Suren Surendiran, now GTF spokesperson. On his right is Father S.J. Emmanuel and seated next to him is the then Foreign Minister, Mangala Samaraweera. (sundaytimes.lk)
 
 
මම යහපාලන කාලේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුන් සැරයක් හම්බ වුනා. දෙසැරයක් ලංඩන් වල. අනිත් සැරේ බර්ලින්. මංගල ව දහ සැරයක්වත් හම්බ වෙලා තියෙනවා. ජස්ටිස් මිනිස්ටර් ව සිංගප්පුරුවේ හම්බ වෙලා තියෙනවා. අජිත් පෙරේරා වගේ අයවත් හම්බ වෙලා එනවා. අපි ඒගොල්ල එක්ක කතා කලේ අපේ අදහස් බෙදාගෙන ඒගොල්ල්ලන්ගේ අදහස් දැන ගන්නයි.

එක වෙලාවකට මට හිතෙනවා නිදහස ලැබුන කාලේ ඉඳලා තියෙන දෙමල ප්‍රශ්නය, සිංහල කට්ටියට හරියට තේරුම් කරලා දීලා නැහැ කියලා. අපි වුනත් ඒක මහන්සි වෙලා කරලා නැහැ. අපෙත් වැරැද්ද. මගේ කැඩුණු සිංහලෙන් හරි දකුණේ සිංහල අයට ප්‍රශ්නේ පැහැදිලි කරන්න තිබුනා. එතකොට හැමෝම කතා කරලා අපි සේරටම එකඟ වෙන්න පුළුවන් විසඳුමකට එන්න තිබුණා. අපේ විවිධත්වය බෙදීමට නෙමයි හයියකට පාව්ච්චි කරන්න තිබුණා.

මිලියනක් විතර ලංකාවේ දෙමල කට්ටිය දැන් ඉන්නේ පිටරට. ඩයස්පෝරා කියන්නේ ඒ අයටනේ. ඒගොල්ලන්ගේ වැඩි අය රට ගියේ 1958 ඉඳන් තිබුණුකෝලයි යුද්දෙයි නිසා. දැන් මේ අයගේ දෙවැනි තුන්වැනි පරම්පරාවේ අයත් ඉන්නවා. ඒ කට්ටියෙන් වැඩි හරිය හොඳ ට ඉන්නවා. සමහර දෙනා මිලියනර්ස් ලා.  කීප දෙනෙක් බිලියනර්ස් ලා. ගොඩක් අය වෘත්තිකයෝ. මේ කට්ටිය කැමතියි ලංකාවට උදව් කරන්න. හැබැයි ඒකට ස්ටේබල් [ස්ථාවර] ලංකාවක් තියෙන්න ඕනේ, දේශපාලන වශයෙන්. කරප්ප්ෂන් [දූෂණය] නැති වෙන්න ඕනේ. හැමෝම එක වගේ සලකන රටක් වෙන්න ඕනේ.
 
 
සල්ලි විතරක් නෙමේ, මිලියන් එකක් වගේ අපේ කට්ටියට ගොඩක් දැනුම එක්ස්පර්ටීස් තියෙනවා රටට ගේන්න. අපි කැමතියි උතුර නැගෙනහිර දියුණු කරන්න. ඒ යුද්දෙන් ඒ පැති විනාස වුනු නිසා. ඒත් රටක් දියුණු කරකොට එක පැත්තක් විතර කරල බැහැ. අවුරුදු දහයක් පහළොවක් ඉස්සරහට කල්පනා කරන කොට අපේ දරුවන්ට ජීවත් වෙන්න හොඳ රටක් හදන්න ඕනේ.
 
 
මම දවස් තුනකට ඉස්සර හිටියේ ජර්මනියේ. එහෙ කෙනෙක් මට හම්බ වුනා ලංකාවෙන් ආව. එයා කීව ඩොලර් මිලියන කිහිපයක් ලංකාවේ ඉන්වෙස්ට් කරන්න කැමති කියල. තවත් කෙනෙක් හම්බවුනා එහෙදීම. එයා කැමතියි  මිලියන දෙසීයක් විතර ලංකාවට දාන්න.  මෙහෙම හිතන්න. මිලියනක් විතර ඩයස්පෝරා අයගෙන් 40% ලංකාවට නිතර යන්න එන්න පට ගත්ත කියල. ආර්තිකෙට කොච්චර බූස්ට් එකක් ලැබෙනවා ද - ටිකට්, හොටේල්, කෑම වියදම් වලට. සේරම ෆොරින් කරන්සි මේක ලොකු ඉකොනොමික් සෙග්මන්ට් එකක් බව අමතක කරන්න නරකයි.    



උදන් :
හරි, ඔය සේරම ඕගොල්ලන්ගේ පැත්තෙන් කරනවා කියමු. එතකොට ඔයගොල්ලෝ රජයෙන් පෙරලා බලාපොරොත්තු වෙන්නේ මොනවා ද ?


සුරේන් :

පළාත්වලට පවර් ඩිවොල්ව් [බලය විමධ්‍යගත] කරන කොන්ස්ටිටුෂන් [ව්‍යවස්ථාවක්] එකක් හදලා ඉම්ප්ලිමෙන්ට් කරන [ක්‍රියාවට නගන] එක රජයෙන් අපි බලාපොරත්තු වෙනවා. එච්චරයි ඕනේ.    

පහුගිය මාර්තු මාසේ තමිල්නාඩු ආණ්ඩුවේ ආර්ථික ඇමති හම්බ වුනා. එයා ගොඩක් ආර්ථිකේ බිස්නස් ගැන දන්නා කෙනෙක්. එයා යෝජනා කළේ තමිල්නාඩු ඉන්වෙස්ටර්ස්ලයි ඩයස්පෝරා ඉන්වෙස්ටර්ස්ලයි එකතුවෙලා ලංකාවේ කර්මාන්ත පටන් ගන්න. මුලදී උතුරු නැගෙනහිරෙන්.    

දැන් මේ වගේ වැඩ කරද්දී ඉඩම් රිලීස් කරන්න ඕනේ. තව ගොඩක් බියුරොක්‍රැටික් [නිලධාරීන් විසින් කළ යුතු] වැඩ තියෙනවා. අපේ පහුගිය එක්ස්පීරියන්ස් [අත්දැකීම] එක හරි නරකයි. මේ වගේ දේවල් කරගන්න ලොකු කාලයක් යනවා. සමහර විට මගදී නවතිනවා. කරප්ෂන් එහෙමත් වැඩියි. පගා දෙන්න ඕනේ වැඩ කර ගන්න. එතකොට ඉන්වෙස්ටර්ස් ලා බලාගෙන ඉඳලා යන්න යනවා. ඉතින්, ආණ්ඩුව මේ තත්වේ වෙනස් කරලා අපේ ඉන්වෙස්ට්මන්ට් වලට පහසුකම් දෙන්න ඕනේ. 
 
 
 
අනිත් දේ තමා ආණ්ඩුව කල්පනා කරන්න ඕනේ මිලිටරි එක රටේ බෙදිලා තියෙන විදිහ. දැන් යුද්ධයක් නැතිකොට උතුරට මෙච්චර ලොකු හමුදාවක් දාලා තියෙන්නේ ඇයි ? උතුරේ නැගෙනහිර  මිනිස්සු පහකට හයකට එක මිලිටරි එක්කෙනෙක් වගේ ඉන්නවා. මේක හරිම ඩිස්ප්‍රොපෝශනෙට් (අසමතුලිත) තත්වයක්. යුද්දේ ඉවරවෙලා අවුරුදු දහ තුනක් ගිහිල්ලත් ඇයි මෙහෙම කරන්නේ? ලංකාවේ බජට් එකෙන් 15% විතර තාම යන්නේ ඩිෆෙන්ස් [ආරක්ෂක] වියදම් වලට. අද්යාපනෙට බජට් එකෙන් දාන්නේ  3%. මේවා දෙමල මිනිස්සු විතරක් නෙමේ; සිංහල මිනිස්සුත් අහන්න ඕන ප්‍රශ්න.   
 
 
 
පුද්ගලික ඉඩම් වුනත් තාම සම්පුර්ණයෙන් මිලිටරි එකෙන් රිලීස් කරලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ බලේට ආවම තව විදිහකින් උතුරු නැගෙනහිර ඉඩම් ගන්න බැලුවා අර පුරාණ දේවල් රැකගැනීම කියලා. දකුණේත් මේ වගේ දේ වලට ඉඩම් ගන්නවා ද? පරම්පරා ගානක් වගා කරන ඉඩම් එකපාරට ම ආකියෝලොජි එකෙන් [පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව] ඇවිල්ල වගා කරන ඒවා නවත්තනවා එතන පරණ මොනා හරි තියෙනවා කියලා. මිනිස්සුන් ට වෙන ඉඩම් දෙන්නෙත් නැහැ.
 
 65966275 lankaboy
 
බාලචන්ද්‍රන් වගේ පොඩි ළමෙක් ව වෙඩි තියල මරන්න කවුද ඕඩර් එක දුන්නේ?
 
 
ට්‍රන්සිෂනල් ජස්ටිස් [සංක්‍රාන්තික යුක්තිය] ඊළඟ දේ අපට ආණ්ඩුව එක්ක බේර ගන්න තියෙන්නේ.

පරණ දේවල් වලට යන්න කලින් පොඩ්ඩකට බලන්න මේ ළඟදී වුණු දේ ගෝල් ෆේස් එකේ අරගලේ කළ යං කට්ටියට [තරුණ කොටස්]. දැන් එතන දී අකවුන්ටබිලිටි [වගවීම] රූල් ඔෆ් ලෝ කියල දෙයක් තිබුන ද ඒගොල්ලන්ට ගහලා එළවන කොට ?

 ප්‍රශ්නේ ඉම්පියුනිටි (විනිර්මුක්තිය] කියන එක හැම තැන ම. කොහොමද එකතොට යුක්තියක් බලාපොරොත්තු වෙන්නේ?  

යුද්දේ කාලේ වෙච්ච ලොකු පරිමානේ යුධ අපරාධ තාම ඇඩ්රස් [ආමන්ත්‍රණය] කරලා නැහැ. යුද්දෙදී මිලිටරි එකයි එල්ටීටී එකයි ලංකාවේ නීතිය නෙමෙයි ජාතියන්තර නීතිය කඩ කළා කියලා චෝදනා තියෙනවා. මේවා ඉන්වෙස්ට්ගේට් [විමර්ශනය] කරන්න ඕනේ.

බාලචන්ද්‍රන් වගේ පොඩි ළමෙක් ව වෙඩි තියල මරන්න කවුද ඕඩර් එක දුන්නේ? ඒවගේ තව සිය ගානක් කේසස් තියෙනවා. මිලිටරි එකේ පොඩි අය වෙඩි තිබ්බට ඒගොල්ලන්ට ඕඩර්ස් එන්නේ ලොක්කන්ගෙන්. සරෙන්ඩර් [යටත්] වුනු අයට මොක ද වුණේ? ඒවා හොයා ගෙන වැරදි නම් චෝදනා හදන්න ඕනේ.  උසාවියට ගේන්න ඕනේ.


උදන් :
ස්පෙසිෆිකලි [නිශ්චිත චා] ගත්තොත්, මොන වගේ ඩිවලූෂන් මොඩල් [විමධ්‍යගත මාදිලියක්] එකක් ද ඔයගොල්ලෝ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ ?

සුරේන් :

ඒම එකක් ප්‍රිස්ක්‍රයිබ් [නියම] කරන්න බෑ පිට ඉඳන්. මං ඉන්නේ ලන්ඩන් වල. මට ඒක මෙහෙ ඉඳන් කරන්න බැහැ . . ඒක කරන්න ඕනේ ලංකාවේ ඉන්න මිනිස්සු පාර්ලිමන්ට් එකට ඉලෙක්ට් කරලා තියෙන අය. ඒගොල්ලෝ කතා කරලා කාරනා තෝරගෙන බේරගෙන කැමති මොඩල් එකක් හදා ගන්න ඕනේ.

මේ වගේ දෙයක් යහපාලන කාලේ වුනා. ඩ්රාෆ්ට් කොන්ස්ටිටියුෂන් [ව්‍යවස්ථා කෙටුම්පතක්] හැම පක්ෂයකම වගේ එක්කහු වෙලා හැදුවා. මේක 2019 ජනවාරි මාසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ඒ කාලේ අගමැති රනිල් වික්‍රමසිංහ. දැන් එයා ජනාධිපති. ඕනේ නම් ඒක ආයෙමත් අරන්, මොනා හරි අප්ඩේට් කරන්න ඕනේ නම් එකත් කරලා මිනිස්සුන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. මේක හැමෝට ම පිළිගන්න පුළුවන් ද කියලා චෙක් කරන්න.
 
 
මේ අහගන්න. මෙතන වැදගත් වෙන්නේ පොලිටිකල් විල් [දේශපාල කැපවීම] එක අකවුන්ටබිලිටි [වගවීම] ගැන සීරියස් නං. එහෙන් මෙහෙන් ටින්කරින් [පාස්සන්න] කරන්න ගියොත් මිනිස්සුන්ට ටික කලකින් මේවා අමතක වෙයි අරක මේක කියල, මේ ප්‍රශ්නේ කවදාවත් ඉවර වෙන්නේ නැහැ. 
 
 
උදන් :
මේ අවස්ථාවේ ඉන්න ආණ්ඩුව ජනාධිපති ගැන ඕගොල්ලන්ට බලාපොරොත්තුවක් තියෙනව ද? එයාගේ යටතේ නේ මොනා වුනත් ඕගොල්ලන්ගේ තහ ම ඉවත් වුනේ, නැත් ද?

සුරේන් :

අපි ලංකාවේ මිනිස්සු ගැන වොරි [කනස්සල්ලට පත්] වෙනවා. මං  දැක්කා මිනිස්සු නිකන් අපරාදේ පෝලිම් වල ඉඳල මැරෙනවා.  යූඑන් එක එස්ටිමෙට් [ඇස්තමේන්තු] කරන්නේ ළමයිගේ මැල්නියුට්‍රිෂන් [මන්ද පෝෂණය] කවදාවත් නැති විදිහට ඉහල යයි කියලා. මිනිස්සුන්ට දැන් කන්න නැහැ. දැන් හරි මිනිස්සුන්ට තේරෙනවා නම් ඉස්සර කරපු දේ වැරදියි කියලා ඒක පටන් ගන්න හොඳ තැනක්.

ලංකාවට වෙනස් වෙන්න නම් පරණ කාඩ් පැක් එක ආයෙමත් ශෆල් [අනලා] හරි යන්නේ නැහැ. සමහරු කියනවා දැන් ලංකාවට ඕනේ ටෙක්නොක්‍රැටික් [දැනුම් -තාක්ෂණය පදනම් කරගත්] නායකයෝ කියලා.

ඉතාලියේ ග්‍රීසියේ ආර්ථික අර්බුදේ කාලේ ඒගොල්ලෝ ඇමතිලා ලෙස පත් කරගත්තේ ඒ වගේ අය. ආර්ථික එක්ස්පර්ට්ස් [විශේෂඥයෝ] ලා. ඒ වගේ කට්ටිය ලවා මුලින් ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් ජන්දෙකට යන්න ටිකක් දේවල් ස්ටේබල් [ස්ථාවර] වුනා ම.



උදන් :
අවසාන වශයෙන්, මේ ආණ්ඩුව ගැන ඇත්තට ම බලාපොරොත්තුවක් තියන්න පුළුවන් ද ?

සුරේන් :

අපි කවුරුත් බලාපොරොත්තුවක් එක්ක තමා ජීවත් වෙන්න ඕනේ, නැද්ද? නමුත් අපි රියැලිස්ටික් [යතාර්ථවාදී] වෙන්නත් ඕනේ. අවසානාවට පරණ සෙට් එක ම කලවම් වෙලා ආයේ එනවා නම් කොහොම ද අපි වෙනසක් බලාපොරත්තු වෙන්නේ ? අරගලය හොඳයි. ඒත් ඒක සස්සෙස් [සාර්ථක] වෙන්නේ සිස්ටම් එක වෙනස් වුනාම විතරයි.



උදන් :
ආ, තව එකක්, අමතක වෙන්න කලින්. දැන් ගොඩක් අය මීඩියා වලට ඇවිල්ල කියනවා, ඒගොල්ලෝ ඩයස්පෝරා නියෝජිතයෝ කියලා. අපි කොහොමද මේ අයගේ ක්‍රෙඩිබිලිටි [විශ්වාසනිත්වය] එක මැන ගන්නේ ?


සුරේන් :
හරි ලේසියි නේ හලෝ ඒක ! මොන රටේ ද ඉන්නේ, මොන පාස්පෝර්ට් ද තියෙන්නේ, කොච්චර කාලයක් එළියේ ඉඳලා තියෙනවා ද, කවුරු හරි රෙකග්නයිස් [පිළිඅරගෙන] තියෙනවද? එම්බසි එක්ක චෙක් කරන්න පුළුවන් නේ. මීඩියා වලටත් පොඩි වගකීමක් තියෙනවා ඒ කට්ටිය ගැන කලින් හොයල බලන්න, ප්‍රචාරේ දෙන්න ඉස්සර. මොකෝ, ඕන කෙනෙක්ට කැමරාවක් ඉස්සරහට ඇවිල්ල ඕන දෙයක් කියන්න පුළුවන්නේ.


සටහන :
Udan(ආචාර්ය උදන් ප්‍රනාන්දු)

දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්