මෙය මෙවර ඉරිදා අරුණ පුවත් පත පළ නොකිරීමට තීන්දු කළ මගේ ලිපියයි.



අරුණ,
මේ සංවිධායකයින්ගේ සිංහල වර්ගවාදය ප්‍රදර්ශනය කෙරෙන අයුරුය.


කොළඹ පොත් ප්‍රදර්ශනය ගැන කරුණු සහිතව වූවත් විවේචනාත්මක ලිපි පළ නොකළ යුතුයැයි ඇතැම්විට ඔවුන් සිතනවා විය යුතුය. එනිසා එවැන්නක් කියවන්නට උනන්දු අය වෙනුවෙන් එය මෙහි පළ කරමි.


කොළඹ පොත් ප්‍රදර්ශනයේ “ලාභය හා සෙල්ෆීකරණය”

තව දින 05 කින් තවත් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වනු ඇත.

මෙය “ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය” විසින් පළමු වරට 1999 දී පැවැත් වූ තැන් සිට ඔවුන් නොකඩවා පවත්වන එවැනි 23 වන පොත් ප්‍රදර්ශනය ලෙස සැළකේ. එය ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුමෙහි සඳහන් වන්නේ සැප්තැම්බර 16 සිට 25 දක්වා පැවැත්වෙන “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” ලෙසින් ය.

මේ “ජාත්‍යන්තර” යැයි කියන්නාවූ පොත් ප්‍රදර්ශනයේ සමාජීය වටිනාකම මැන ගත හැක්කේ ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුමෙනි. මා එයට ගොඩ වූයේ ඉකුත් 08 වන බ්‍රහස්පතින්දා ය.

ජාත්‍යන්තර වේවා ජාතික වේවා, පොත් ප්‍රදර්ශනයක් යනු පොත් අලෙවි සංකීර්ණයක් නොවිය යුතු යැයි සිතුණු හෙයින් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට ගොඩ වූයේ එහි ඇති විශේෂ අවස්ථා, වැඩසටහන් හා වෙනත් ඉසව් පිළිබඳව දැන ගැනීමට ය.

එහෙත් එහි වූයේ විශේෂ වට්ටම් සමගින් පොත් ප්‍රකාශකයින් සංවිධානය කරන අලෙවි කිරීම් පිළිබඳ ප්‍රචාරක සටහන් සමූහයකි.

මා තේරුම් ගත් අයුරු පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන දිනවල විශේෂ අවස්ථා, වැඩසටහන් හා ඉසව් ඇතුළත් කාල සටහනක් ප්‍රචාරය කිරීමට තරම් කිසිවක් එහි සංවිධානයකර නොමැත.

පොත් ප්‍රදර්ශනය පැවැත්වීමේ ඔවුන්ගේ අපේක්ෂාවන් මොනවා දැයි ෆේස්බුක් ගිණුමෙන් සොයා ගත නොහැකි විය. එහි තිබූ සටහන් වලින් තේරුම්ගත හැක්කේ ඔවුන් බලාපොරොත්තු වන්නේ වැඩි වැඩියෙන් පිරිස් ගෙන්වා ගැනීමත් පසුගිය වසරට වඩා වැඩි අලෙවියක් මෙවර ලැබීමත් පමණක් යැයි කියා ය.  



එහි කියන්නා වූ ලොකුම කතාව නම් ඔවුන් “ජාත්‍යන්තර” වන්නට පෙර “ජාතික” වන්නටවත් නොදන්නා බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙරට රාජ්‍ය භාෂා ලෙස පිළිගනු ලබන සිංහල හා දෙමළ භාෂා දෙකෙන් “දෙමළ” බස එහි කොතැනකවත් නැත. රටේ ලොකුම හා ප්‍රධානම පොත් ප්‍රකාශකයින්ගේ සංවිධානය දෙමළ බස අත් හරිනවා යැයි කියන්නේ මෝඩ කමට කෙරෙන වරදක් නොවේ. එය බරපතල වරදකටත් වඩා දැනුවත්ව කෙරෙන වර්ගවාදී ප්‍රකාශනයකි.



ඔවුන් මේ පවත්වන පොත් ප්‍රදර්ශනය දෙමළ ජනතාවට දැනුම් දීමක් නොකරන්නේ නොදැනුවත්කම නිසා හෝ දෙමළට පරිවර්තනය කර ගැනීමට නොහැකි නිසා යැයි මම කිසිසේත් නොපිළිගනිමි.

ඔවුන්ගේ ඒ කල්කිරියාව පුදුමයට කාරණාවක් නොවන්නේ ප්‍රදර්ශනයේ සංවිධායකයින් වන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ නිල ලාංඡනය සමග ඔවුන්ගේ නම සඳහන් කෙරෙන්නේද සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් පමණක් වන හෙයිනි. වෙනත් ශිෂ්ට සම්පන්න රටක නම්, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් අගයන ජනතාව මේ පොත් ප්‍රදර්ශනය නිසැකම වර්ජනය කරනු ඇත.

fgdfgf

ඉඳහිට ඉංග්‍රීසි පොතක් දෙකක් ප්‍රකාශ කළද ඔවුන් සිංහල පොත් මුද්‍රණයට හා ප්‍රකාශනයට සීමා වූ කොළඹ හා අවට ඉන්නා ව්‍යාපාරිකයින් පිරිසකි. ඔවුන්ගේ සංවිධානය උත්පත්තියේ සිටම සිංහල-බෞද්ධ විය. ඔවුන්ගේ සියලු ගනුදෙනු සිංහල ලේඛකයින්ට, පාඨකයින්ට හා සිංහල වෙළඳපලට සීමා කෙරෙන්නේය.

ඔවුන් “ජාත්‍යන්තර” යැයි පොත් ප්‍රදර්ශනයට ලේබලය අලවා ගෙන ඇත්තේ ඔවුන්ගේ කේඩෑරී පෙනුම වසා ගැනීමට මිස ලොව වෙනත් ප්‍රකාශකයින් සහභාගි කරවා ගැනීමට නොවේ.

වසර 20 ට වඩා සංවිධානය කරන පොත් ප්‍රදර්ශනයට ඉන්දියානු, බංගලාදේශීය සහ පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල පොත් ප්‍රකාශකයින් වැදගත් සංඛ්‍යාවක් සහභාගි කරවා ගැනීමේ උනන්දුවක් තිබුණි යැයි අසන්නටවත් නැත.



සිංහල පොත් ප්‍රකාශකයින් ලෙස ඔවුන්ට විදේශීය වෙළඳපලක් තබා ලාංකීය වෙළඳපලක්වත් සිංහල පළාත් 07 න් පිටත නැත. අරුමය නම්, ඔවුන් සිංහල පොත් අලෙවිය සඳහාවත් පොත් කියවන සමාජයක් හදා ගැනීමට උනන්දු නොවීම ය.



පොත් කියවන සමාජයක් වර්ධනය නොවුනාට, ගෙවුනු දසකවල පොත් ප්‍රකාශකයින් දුප්පත්වූ බවක් නම් දකින්නට නැත. පොත් කියවීම අඩු වන්නේ නම්, ඔවුන් පොහොසත් වන්නේ කෙසේද යන්නත් ගැටළුවක් යැයි කියන අය සිටිති.

මගේ මැනීම නම්, ඔවුන්ගේ ලාභය හැදෙන්නේ නව කතා කෙටි කතා පොත් වලින් නොව ලිපි ද්‍රව්‍ය හා පාසල් උපකරණ අලවියෙන් ය. පොත් පත් වලින් එකතු වන්නේ ඔවුන් තියා ගන්නා සියයට 40 ක අලෙවි කොමිසමය.

පොත් කියවීම ප්‍රගුණ කිරීම සම්බන්ධව සිංහල සමාජයේ ඇත්තේ ව්‍යාකූල අදහස් ය. හෑලි ඇමුණූ බොළඳ මල් කතා වල සිට විශිෂ්ට නව කතා, කෙටි කතා හා කවි දක්වා වන පොත් අතුරින් ප්‍රගුණ කළ යුත්තේ කවර වර්ගයේ පොත් කියවීමද යන්න සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් සිංහල සමාජයේ නැත.

 පොදු අදහස වන්නේ පොත් කියවීම ප්‍රගුණ කිරීමට පාසල් අධ්‍යාපනයෙහි සාහිත්‍ය රස වින්දනය සඳහා ළමුන් උනන්දු කළ යුතුය යන්නය.

එහෙත් මා කියවීමට උනන්දු වූයේ පාසල් අධ්‍යාපනයෙන් ලද රස වින්දනයක් ඇසුරෙන් නම් නොවේ. මා පොත් කියවීමට නතු වූයේ ඩීමන් ආනන්දගේ පොත් හරහා ය. ඒ පොත් හඳුනා ගන්නට ලැබුණේ අලුත් චිත්‍රපටයක් ආරම්භ කෙරෙන ඇතැම් සිකුරාදා දිනෙක පාසල් කාලය අතරතුර චිත්‍රපට බලන්නට අප කිහිප දෙනෙකු හොරෙන් ගිය විට සිනමාහලේ ගැලරි පෝළිම අසළ සිල්ලර පොත් වෙළෙන්දෙකු ඩීමන් ආනන්දගේ පොත් විකුණු හෙයිනි.


deeman Anandaඉතා සරළ සිංහලෙන් ලියැවී තිබූ ඩීමන් ආනන්දගේ අරුම කතා එක හුස්මට කියවිය හැකි කතා විය.

ඉතා සරළ සිංහලෙන් ලියැවී තිබූ ඩීමන් ආනන්දගේ අරුම කතා එක හුස්මට කියවිය හැකි කතා විය. අප කිහිප දෙන හවුල්වී මිලට ගන්නා පොතක් දින දෙක තුනක් ඇතුළත බෙදා හදා ගෙන කියවා අපි අවසන් කරන්නෙමු.

ඩීමන් ආනන්ද පොත් දහසකට වඩා ලියා ඇතැයි කොතැනක හෝ සටහනක් තිබිණ. ඉන් අප කියවූ පොත් දුසිම් දෙක තුනකින් මට මතක ඇති පොත් අතර කිහිපයක් වන්නේ “වවුලා, වවුලාගේ සාපය, ඩේන්ජර් සිග්නල්, ඩොක්ට ඉසැඩ්” වැනි කතා පොත් ය.

ඩීමන් ආනන්ද ඔහුගේ නිර්මාණ ගැන පසු කාලෙක පුවත් පතක් සමග කියා තිබුණේ “මම විචාරකයින්ට පොත් ලියුවේ නැහැ. මම පොත් ලියුවේ සාමාන්‍ය මිනිසුන්ගේ හද ගැස්මට, ඒවා ත්‍රාසජනක කතාද මාරක කතාද කියලා මට වැදගත් උනේ නැහැ.” යැයි කියා ය.

අපේ පාසල් කාලයේ ඩීමන් ආනන්ද නිසා පොත පත කියවන්නට හුරු පුරුදු වූ බොහෝ අය සිටියහ. අතට හසුවන ඕනෑම පොතක් පත්තරයක් කියවන්නට එමගින් අපි පුරුදු වීමු.

අපගේ සාහිත්‍ය රසාස්වාදය දියුණු වන්නට දායකවූ ඉන් එක කියැවීමක් වූයේ සිළුමිණ පුවත් පතේ පළවූ ශාස්ත්‍රීය සංග්‍රහයේ පිටු කිහිපය ය. එකල එහි සංස්කාරක වූයේ තිලකරත්න කුරුවිට බණ්ඩාර වාගේ මතකයක් ඇත.



මට කියන්නට අවශ්‍ය වූයේ කියැවීමේ පුරුද්ද හා සාහිත්‍ය රසාස්වාදය වර්ධනය වන්නේ පාසල් අධ්‍යාපනයෙන් පමණක්ම නොවන බවය. එය සමාජ වටපිටාවෙන්ද නිවසේ ඇති කියවීමේ පුරුද්ද අනුවද දියුණු වන්නකි.



පාසල් අධ්‍යාපනයට සාහිත්‍ය ඇගයුම් හා රස විඳිම ඇතුළත්ව තිබීම ඉතා වැදගත් එකතුවක් වන බව අවිවාදිතය. එහෙත් සාහිත්‍ය රස වින්දය පංති කාමරයේදී ළමුන් අතර උනන්දු කරවීමට, රසයක් ඇතිව සාහිත්‍ය ඇගයීමට හැකි ගුරුවරුන්ද සිටිය යුතු ය. එවැනි ගුරුවරුන් දැන් හමුවන්නේ ඉතාම අහඹුවෙනි.

සාහිත්‍ය මාසයේ පාසල් වැඩ සටහනකට මා වරක් හවුල් වූ විට සිසුවියෙකු මා සමග කියුවේ ඔවුන්ගේ පාසලේ “කෙමිස්ට්‍රි වගේ සාහිත්‍ය උගන්වන සර් කෙනෙක් ඉන්නවා” යැයි කියා ය.

එවැනි පාසල් අධ්‍යාපනයක් උරුම කරගත් සමාජයක කියවීමේ රුචිය තව තවත් පහත වැටෙනවා මිස ඉහළ නැගෙන්නේ නැත.

ඒ සඳහා බොහෝ අයට අමතකව ඇති වැදගත්ම සාක්ෂියක් වන්නේ ප්‍රධාන දුම්රිය සථාන ගණනාවක පවත්වා ගෙන ගිය “මැකලම්” පොත් සාප්පු විවෘත වෙළඳපල ආර්ථිකයේ බලමහිමය සමග පාඩු ලැබ ඉවත්කරනු ලැබීම ය. එකල කොටුව, මහනුවර, අනුරාධපුර, ගාල්ල වැනි දුම්රිය ස්ථාන වලින් දුර ගමන් යන දුම්රිය වලට ගොඩවන බොහෝ මගීහු දුම්රියපළ මැකලම් පොත් සාප්පුවෙන් පොතක් හෝ පත්තරයක් ගෙන දුම්රියට ගොඩවීමේ පුරුද්දක් තිබිණ. ඒ පුරුද්ද දැන් අභාවයට ගොසින් ය.



සාහිත්‍ය හා රස වින්දනය සමාජ ව්‍යවහාරයෙන් ගිලිහී යාමට හේතුවද මේ විවෘත වෙළඳපල බැව් කිව යුතුම ය. නාගරික මැදපංතිය අතිශය තරගකාරී පාරිභෝගික සමාජයක් බවට සීඝ්‍රයෙන් පත් කළ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි විවේකීව සිතන පතන, රස විඳින සංස්කෘතික මිනිසුන්ට ඉඩක් නොවුනි.



අතොරක් නැතිව හැම මාධ්‍යකින්ම ප්‍රචාරණය කෙරෙන වෙළඳ භාණ්ඩ අතර හිරවුණු පාරිභෝගිකයාට අතමිට මුදල් නැති වූවත් ඕනෑ දෙයක් මිලට ගත හැකි අවස්ථා හදා දෙන ලීසිං ක්‍රම හා ක්‍රෙඩිට් කාඩ් පත්ද හඳුන්වා දී ඇත. සුව පහසුව සඳහා යැයි මිලට ගන්නා භාණ්ඩ සඳහා එතැන් සිට ණය ගෙවන්නට හතිලමින් ආදායම් සොයන්නට සිදුවන විට මොන සාහිත්‍ය රස වින්දනයක්දැයි ඔවුන්ටම සිතෙනු නිසැකය. ඒ සමග ඉතිරිව ඇත්තේ ආත්මාර්ථකාමී තරගයක ඉන්නා ණයකාර පාරිභෝගියෙකි.  

ඒ නිස්සාර අත්දැකීම් ගැන කතා නොකර දැන් කියන්නේ නවීන ලෝකයේ පොත් කියවීම සීඝ්‍රයෙන් අඩුවී ඇතැයි කියාය.



වරක් පොත් ප්‍රකාශකයෙකු මා සමග ඊට හේතු දැක්වූයේ බොහෝ තරුණ අය දැන් අන්තර්ජාලයේ “ඊ-පබ්” පොත් කියවීමට හුරුව ඇති හෙයින් පොත් නොගන්නා බවය. ඔහුගේ හේතු දැක්වීමෙහි ඇති පරස්පරය ඔහු තේරුම් නොගත්තකි. තරුණන්ට අන්තර්ජාලයේ කියවන්නට තවමත් සිංහල පොත් පළ වන්නේ කලාතුරකිනි. සිංහල පාඨකයින් තවමත් පොත් කියවීමේ අන්තර්ජාල සංස්කෘතියක් වගා කරගෙනද නොමැත. එනිසා සිංහල පොත් කියවීමේ අඩුවක් ඇතොත් ඒ අන්තර්ජාලය හේතුවෙන් නොවේය.



අතීතයේ අප ඩීමන් ආනන්දගේ පොත් කියවන්නට පුරුදු වූ කාලයේද පොත් කියවීම පුරුද්දක්ව තිබූයේ නාගරික ජීවිතයේ ය. ග්‍රාමීය සමාජයේ එවැනි පුරුද්දක් නොවුනි. ඒවායේ පොත් කියවීමට උනන්දු කෙරෙන හේතු සාධක තිබූයේද නැත.

මා 80 දසකය ආරම්භයේ ගුරු වෘත්තියෙහි සිටියදී තකහනියක් වැලිමඩ ටවුමට පැමිණ එහි තිබූ එකම පොත් සාප්පුවෙන් කියවන්නට පොතක් දෙකක් රැගෙන යාමේ පුරුද්දක් තිබිණ. එහෙත් ඒවා කියවන්නට උනන්දු වූ කිසිවකු ඒ ගුරු මණ්ඩලවල හෝ නොසිටියහ.

පොත පත කියවීමේ වෙළඳපල, නාගරික මැදපංතික සමාජයට සීමා වූයෙන් පළමු වරට සිංහල කතා පොතක් මුද්‍රණය කිරීමේදී පිටපත් දහකට සීමා කිරීම විමතියට හේතු වන්නක් නොවන්නේ යැයි මම සිතමි.

මිලට ගෙන පොත් කියවීම වැඩිහිටි කාර්යකි. මැදපංතියේ වූවත් ඒ හැමෝගෙම පුරුද්දක් නොවේ. සිංහල සමාජයේ වැඩිහිටි ජනගහනය අදටත් මිලියන 10 ක් පමණය. ඉන් නාගරික වැසියන් වන්නේ මිලියන 03 ක් පමණ ය. ඔවුනගෙන් මැදපංතික ජීවන රටාවක් ඇත්තේ උපරිම සියයට 50 ට පමණි.

පසුගිය වසරවල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ලක්ෂ ගණනක් පැමිණියේ යැයි කියන්නේ මේ පිරිස ය. මේ කොළඹ පොත් ප්‍රදර්ශනය එවැනි මැදපංතිකයින්ට විනෝද විය හැකි තවත් එක් අවස්ථාවකි.



පොත් අලෙවියට වඩා ප්‍රදර්ශන භූමියෙහි සන්නාහගත කෙටි කෑම හල් සහ බීම හල් වලට විශාල ඉල්ලුමක් ඇත්තේද ඒ නාගරික මැදපංතික හැදියාව හේතුවෙනි. ඒ හැදියාව කොතෙක්දැයි කිවහොත් පොත් ප්‍රදර්ශනයට පැමිණි වගට සාක්ෂි ලෙස ෆේස්බුක් පළ කරන්නට සෙල්ෆි ගන්නේද ජනප්‍රිය සන්නාහගත කෑම හලක් හෝ බීම හලක් ඉදිරියෙහි ය.



මේ පාරිභෝගිකයින්ට ප්‍රදර්ශන සතියෙහි දෙකෙහි සියයට 20 ක පමණ වට්ටමක් ලබා දීමෙන් ලබා ගන්නා අලෙවියෙන් පොත් ප්‍රකාශකයින් හා පොත් සාප්පු හිමියන් සෑහීමකට පත්වන්නේය.

පොත් ප්‍රදර්ශනයක් වූවත් එහි වැඩිමනත් අලෙවි වන්නේ ලිපි ද්‍රව්‍ය හා පාසල් උපකරණ ය. මැදපංතික දෙමාපියන් දෙසැම්බර පාසල් නිවාඩුවේදී පොත් සාප්පු වලින් මිලට ගන්නා දරුවන්ගේ පාසල් ලිපි ද්‍රව්‍ය හා උපකරණ තෙමසකට කලින් අඩු මිලකට ගැනීමට පොත් ප්‍රදර්ශනයට පවුල් පිටින් පැමිණීම සුලභ දසුනක් වන්නේ එබැවිනි. එවැනි වෙළඳාමකින් ලබන ලාභය සමග පොත් ප්‍රකාශකයින් කියවීම ප්‍රවර්ධනය කිරීමේ වුවමනාවක් දක්වන්නේ නැත.

එහෙත් වෙනත් රටවල පොත් ප්‍රදර්ශනවලට කියවීම ප්‍රවර්ධනය කිරීමටත් රසාස්වාදය දියුණු කිරීමටත් පාඨක සමාජ, පුස්තකාල, සංස්කෘතික ආයතන වැනි රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන හවුල් වන්නාහ.

xfgtt

දකුණු ඉන්දීය පොත් ප්‍රදර්ශනය එවැනි දැවැන්ත පොත් ප්‍රදර්ශනයකි. එය පැවැත්වෙන්නේ දෙසැම්බර අවසානයේ හෝ ජනවාරි ආරම්භයේ පොංගල් සමයේදී ය. මෙවර ජනවාරියේ පැවතියේ 45 වන පොත් ප්‍රදර්ශනය විය. සාමාන්‍යයෙන් දස ලක්ෂයකට වැඩිය පැමිණෙන මේ පොත් ප්‍රදර්ශනයේ ඉතා ජනප්‍රිය ඉසව්වක් වන්නේ වසරේ හොඳම දෙමළ සාහිත්‍ය කෘතීන්ට සම්මාන දීම ය. එය තමිල් නාඩු ප්‍රාන්ත ආණ්ඩුවේ අනුග්‍රහයෙන් කෙරෙන්නකි. ඊට අමතරව දිනපතා විශේෂ වැඩසටහන් පැවැත් වෙන්නේය. ඇතැම්වා පාසල් ළමුන් හවුල් කරගන්නා වැඩසටහන් ය.

ලොව පොත් ප්‍රදර්ශන අතුරින් දස ලක්ෂ දෙකහමාරකට වැඩි ජන සහභාගිත්වයක් ඇති අලෙවි කිරීම් නොකෙරෙන විශාලම පොත් ප්‍රදර්ශනය ලෙස කොල්කටා පොත් ප්‍රදර්ශනය සැළකේ. එහි ප්‍රදර්ශන කුටි ඇත්තේ 54 කි. ඊට සහභාගි වන්නේ ප්‍රකාශකයින් 36 කි. එහි ප්‍රධානම කාර්ය වන්නේ සෑම වසරකම තෝරාගත් රටක් තේමා කෙරෙන පොත් හඳුන්වාදීමය.

මේ වසරේ තේමා කෙරුණේ බංගලාදේශය වේ. පසුගිය වසර වල රුසියාව, කොස්ටරිකාව, ප්‍රංශය, ගුඑතමාලාව වැනි රටවල් තේමා විය. ඊට අමතරව නවක රචක රචිකාවියන්ට ප්‍රකාශකයින් හඳුනා ගැනීමත් ඔවුන් හමුවීමට අවස්ථාවක් ලැබීමත් එහි සිදු වන්නේය.



විවෘත වෙළඳපල ආර්ථිකයෙහි සියල්ල ලාභය සඳහා කෙරෙන හෙයින් පොත් ප්‍රදර්ශනයට විවිධත්වයක් එකතු කිරීමත් ලාභය වෙනුවෙන් කළ හැක්කකි. අපගේ පොත් ප්‍රකාශකයින්ට පොත් ප්‍රදර්ශනය සඳහා තේමා පමණක් නොව, විශේෂ වැඩසටහන්ද නොමැති හෙයින්, සාහිත්‍ය මාසයේ සංස්කෘතික හවුල්වීමක් ලෙස ඊට විවිධත්වයක් එකතු කරන්නට අධ්‍යාපන සහ සංස්කෘතික දෙපාර්තමේන්තු වලට හැකියාවක් තිබිය යුතුය.


පොත් ප්‍රදර්ශනයේ සංවිධාකයින්ට ලාභයක් එකතු කරන අතර, සමාජයට කියවීමේ රුචිය හා රස වින්දනයක් හඳුන්වා දෙන විවිධත්වයන් එකතු කළ හැකිය.

ආසියානු කලාපයේ කීර්තිමත් කලාකරුවකුට, සාහිත්‍යධරයෙකුට කෙරෙන පිදුමක් ලෙස පොත් ප්‍රදර්ශනය ඔහු හෝ ඇය වෙනුවෙන් නම් කර ඔහුට හෝ ඇයට පොත් ප්‍රදර්ශනය විවෘත කරමින් ආරාධිත දේශනය කිරීමට ඇරයුම් කිරීම එවැනි දායකත්වයකි.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උත්සවය කොළඹ පොත් ප්‍රදර්ශනයෙහි අවසාන මහා උත්සවය ලෙස සංවිධානය කිරීමෙන් දැනට පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ ඇති සාහිත්‍ය රික්තය පිරවිය හැකි ය.

ඊට අමතරව වසරකට එක් ගෞරවනීය චරිතයක් බැගින් අපගේ සිංහල සහ දෙමළ සාහිත්‍යධරයින් හඳුන්වා දීමත් සිංහලට හෝ දෙමළට පරිවර්තනය කෙරෙන ලාංකීය හෝ ඉන්දීය සාහිත්‍ය කෘතියක් හඳුන්වා දීමත් කළ හැකිය. එවගේම දකුණු ආසියානු කලාපයේ නම් දැරූ ප්‍රතාපවත් සාහිත්‍යධරයින් වරකට එක් අයෙකු බැගින් හඳුන්වා දීමද කළ හැකිය. එවැනි විවිධාංග ජාතික රූපවාහිනියේ විකාශනය කිරීමටද අධ්‍යාපන දෙපාර්තමේන්තුවට හැකි විය යුතුය.

කරන්නට අවශ්‍ය නම් කළ හැකි තව බොහෝ දේ ඇත. එහෙත් ඒ සඳහා ළිඳේ සිට දකින ලෝකයට වඩා විශාල ලෝකයක් ඇති බැව් තේරුම් ගත යුතු ය. ඒ තේරුම් ගැනීමට ළිං මැඩියකු නොවී, විශාල අහසක් යට වර්ණවත් පරිසරයක් දැකිය හැකි වන සේ ළඟ පාත ගසක අත්තකට හෝ ගොඩ විය යුතුය. ලබන වසරේ සිට එවන් බලාපොරොත්තු තබන්නට හැකි නම් වාසනාවකි.      

Kusal.jpg(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් -2022 සැප්තැම්බර 11)

 


 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්