සිරි ලක් දෙරණේ තරම් නිර්මාණශීලී ජනතාවක් ලොවෙත් නැති ගාන ය. එහෙත් එය තේරුමක් නැති නිර්මාණශීලී බවක් ද කියා කෙනෙකුට තර්ක කළ හැක.


ඉන් හඟින්නේ, අපගේ නිර්මාණශීලී ව්‍යායාම අපගේ ම හුදු ජොලිය සඳහා පමණක් යොදවා ඉන් ඔබ්බට වන කාර්යය සාධනයකට හෝ වානිජකරණයකට එය පරිවර්තනය නොකිරීම යි.  

මේ බව මට හැඟුණේ අපගේ ප්‍රධාන හා බහුල ව භාවිතා වන ප්‍රවාහන මාධ්‍යයක වන බස් රථ වටා සංගීත සංස්කෘතියක් නිර්මාණය වීමයි. බස් රථ ගමනේ කෙටීම (හෙමින් යෑම), තද බදයෙන් දැනෙන විඩාව, කොන්දොස්තර තර්ජන, කාන්තාවනට සිදුවන අතවර ආදී නිසරු බිමක අනු-ශානරයක ලෙස බස්-සංගීතයක් ඉස් මතු වීම එක්තරා ආශ්චර්යයකි.

වරෙක බස් රථයේ කෙටිල්ලට සමපාත වන රිද්මයෙන් යුතු ව ද, විටෙක පියඹා යන රාත්‍රී දුරගමන්වලට උචිත ඩිස්ටි-ඩිඩින් අධි රිද්මයෙන් ද නිර්මාණය වන ගීත ද ඇත.

පෙම්වතිය අහිමි පෙම්වතාගේ නාහෙන් හඬන බස් ගීත ගේය පද ද එක්තරා ආකාරයකට කෙදිනකවත් ගොඩ යා හැකි  පොදු ප්‍රවාහන ක්‍රමයක දුක්ඛිත යතාර්ථය බඳු ය.


බිස්කට් කුඩු බිස්කට් කුඩු යනු ද මේ බස්සුභාවිතයෙන් මතු වුණු බටහිර  'අකෙපෙලා' (සංගීත වාදන නැතිව, ඒවායේ හඬ මිනිස් හඬින් ම නිපදවන සංගීත ශානරය) පන්නයේ නවෝත්පාදනයකි.  


විස්කෝතු යන්න ලක් ජන වහරට හා මුසු වුණේ පෘතුගීසි යටත් විජිත සමයේ බව කියැවේ. පෘතුගීසි බසින් බිස්කොයුතුස් (biscoitus) යන්න ලක් වැසියන් වහරන්න ගත්තේ තමනට උච්චාරණයට පහසු විස්කෝතු ලෙස ය.  

ඒ අනුව බලන විට ලක් ඉතිහාසයේ බිස්කට් ශත වර්ෂ පහකටත් වඩා වැජඹී තිබේ.  

ලංකාවේ ස්ථාපිත පළමු බිස්කට් කර්මාන්ත ශාලාව ලෙස සැළකෙන්නේ විලියම්ස් බිස්කට් ෆැක්ටරි ය. විජාතික විලියම් මහතාට අයිති ව තිබූ මේ කර්මාන්ත ශාලාව, 1939 දී සයිමන් ආතර් වික්‍රමසිංහ නමැති දේශීය ව්‍යවසායක අත්පත් කර ගති.  

williams 1606719450                   Simon (Arthur) Wickramasingha (1902-1984)


මුලින් සේවකයින් දහයකින් සමන්විත මේ කුඩා ව්‍යාපාරය, 1957 දී බ්‍රිතාන්‍ය බේකර් පර්කින්ස් නම් ආයතනයේ තාක්ෂණය සහිත ව යාන්ත්‍රික ව බිස්කට් නිෂ්පාදනය කෙරිණ. පසු කලෙක එහි නම සිලෝන් බිස්කට් ලිමිටඩ් ලෙස ස්ථාපිත විය.  

ලාංකීය බිස්කට් ඉතිහාසයේ නොමැකෙණ නමක් තබා ඇත්තේ මැලිබන් බව නොරහසකි. අඟුළුගහ ගමගේ හින්නි අප්පුහාමි නමැති තරුණයා, 1935 දී කොළඹ කොටුවේ පළමු හරස් වීදියේ ඇරැඹි කුඩා තේ කඩය, අනතුරු ව මැලිබන්  වීදියේ මැලිබන් හෝටලය ලෙසත්, 1954 වන වන විට ලංකාවේ පළමු යාන්ත්‍රික බිස්කට් කර්මාන්ත ශාලව ලෙසත් පරිනාමය විය.

බිස්කට් වෙළෙඳපොළ සද්ධන්තයින් දෙදෙනා වන්නේ යට කී ව්‍යාපාර ද්වය යි.

 ඊට අමතර ව කුඩා හා මධ්‍යම පරිමානයේ බිස්කට් කර්මාන්ත ශාලා කිහිපයක් ම ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටා ඇත. මින් ආයතන තිහක් පමණ එකතු ව පිහිටුවා ගත් ලංකා කන්ෆෙක්ෂනරි මැනුෆැක්චරර්ස් ඇසොසියේෂන් (LCMA) තම කර්මාන්තයේ පොදු උනන්දු හා අයිතීන් වෙනුවෙන් ක්‍රියා කරයි.  


ඍජු හා වක්‍ර රැකියා අවස්ථා හය ලක්ෂයක් ..



බිස්කට් කර්මාන්තය ඍජු හා වක්‍ර රැකියා අවස්ථා හය ලක්ෂයක් පමණ නිර්මාණය කර ඇති බව කියැවේ.

දේශීය සැපයුම්කරුවන් ලෙස ගොවීන් 25,000 දෙනෙකු බිස්කල් කර්මාන්තයට සම්භන්ධ වී ක්‍රියා කැරේ.

බිස්කට් නිෂ්පාදන බෙදා හැරෙන හා අලෙවි කැරෙන දිවයින පුරා පිහිටි වෙළෙඳසැල්  150,000 කි. ඔවුන්ගේ අලෙවි පිරිවැටුමෙන් සියට විස්සක් හෝ විසිපහක් පමණ වන්නේ බිස්කට් වර්ග ය.

ලාංකීය බිස්කට් නිෂ්පාදනයෙන් 80% පමණ දේශීය පරිභෝජනය සඳහා අලෙවි වන අතර ඉතිරිය රටවල් පනහකට පමණ අපනයනය කැරේ. වාර්ෂික අපනයන ආදායම ඩොලර් මිලියන සියයත් පමණ බව යට කී LCMA සංගමය පවසයි.

මේ කර්මාන්තය සියයට සියයක් දේශීය ලෙස හැඳින්වෙන අතර ප්‍රාග්ධන ආයෝජනයට විජාතික ඩොලරයක්වත් ගෙන නැතැයි යට කී සංගමය ආඩම්බරයෙන් පවසයි.  එහෙත් බිස්කට් නිෂ්පාදනයට ඉස්තරම් වර්ගයේ තිරිඟු පිටි, සීනි හා එළවලු මේදය අවැසි ය. මේ සඳහා මුළු නිෂ්පාදන පිරිවැයෙන් 75% පමණ වැය වේ.


පසුගිය වසර කිහිපය තුල ලාංකීය ආර්ථිකය අති විශිෂ්ඨ ලෙස කළමනාකරණය කළ හේතුවෙන් මේ වන විට අප උද්ධමන, විදේශ විනිමය හා ණයබර යන ඉසව්වලින් ඔලිම්පික් රන් පදක්කම් දිනා ගනිමින් අභිමානවත් බංකලොත් කුසලානය ද ඔසවා ඇත.


පසුගිය සතිය වන විට ආහාර උද්ධමනය 94% බව කියැවිණි. ඒ  මහිමයෙන් පසු ගිය කාලයේ බිස්කට් මිල ද ඉහල ගියේ ය. බිස්කට් නිෂ්පාදන ආනයනිත අමුද්‍රව්‍ය වන පිටි, සීනි හා මේදය සියයට දෙසීය හා තුන්සීය වශයෙන් ඉහල ගොස් යී කියැවෙන අතර ආනයනය සඳහා ඩොලර සපයා ගැනුම ද අපහසුවෙන්, බිස්කට් මිල වැඩි වූ බව යට කී සංගමය පවසයි.

එහෙත් අරුමය වුණේ ඊට ප්‍රතිචාරයක ලෙස  'බිස්කට් වර්ජනය කරමු'  කැම්පේනයක් රටපුරා ක්‍රියාත්මක වීම ය. විශේෂයෙන් සමාජ මාධ්‍ය තුල මෙය විශාල ලෙස දක්නට ලැබිණ. මේ කැම්පේනයේ යම් පුළුටු ගඳක් වහනය වන බව දැනේ.

300798428 159033960048550 7128830047881540260 n


'වර්ජනය කරමු' යන්න  එක්තරා දේශපාලන පක්ෂ අල්පයක හැබිචෝල් චර්යාවකි. සමහරු කියන්නේ මේ වර්ජන කැම්පේනය කුලියට කරන එකක් බවයි.

එහෙත් ඒ කුමක් අරභයා ද ? සමහරු අනුමාන කරන්නේ මේ වර්ජනයෙන් කර්මාන්තය මුළුමණින් බිඳ වට්ටවා, බිස්කට් කර්මාන්තය යලි පුබුදුවාලීමට 'ධම්මික පැණිය' බඳු ඖෂධයක් දීම ය. කෑගල්ලේ මෙන්, දේවානුභාවයෙන් පෙරෙන ඒ ඖෂධය අති දැවැන්ත ආයෝජනයක් සහිත බිස්කට් කර්මාන්ත ශාලාවක් ලෙස ස්ථාපිත කර ඒකාධිකාරයක් පවත්වා ගැනීමකට අඩිතාලම දැමීමක් විය හැකි බව බිස්කට් ආරංචි මාර්ග පවසයි.  

බත් තරමට ම ලාංකිකයෝ බිස්කට් ද ගිළිති. ලාංකීය වාර්ෂික බිස්කට් නිෂ්පාදනය ටොන් 81,000 වන්නේ එබැවිණි. දකුණු ආසියාවේ ඒකපුද්ගල බිස්කට් පරිභෝජනයෙන් අංක එක අප ය. සෑම ලාංකිකයෙක් ම වසරකට බිස්කට් කිලෝ තුනක් පමණ අනුභව කරයි.


බිස්කට් වර්ජනය කරමු කියා අද කැම්පේන කරන පිරිසට වැඩි කොමිස් මුදලක් දුන් විට ,හෙට 'බිස්කැට්ටුවට අත නොතබනු'  පන්නයේ  කැම්පේනයක් වුව මතු වීම පුදුමයක් නොවේ. විරෝධතා දේශපාලන පක්ෂ සඳහා බිස්කැට්ටුව ද දේශපාලන 'මූඩ් ෆික්ස් කරන්න මරු' මෙවලමකි.  


මේ ආකාරයට කරස් ගා හැපෙන අහිංසක විස්කෝතුව දේශපාලනකරණයට ලක් වී දිනෙක පාර්ලිමේන්තු ගාලොගෝට්ටියක දී, වරෙක මිරිස් කුඩු ප්‍රහාරයක් කළා මෙන්, බිස්කට් කුඩු (බිස්කට් කුඩු..) ප්‍රහාරයක් ද සිදු වීම බැහැර කළ නොහැක.

(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Udan


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්