මේ කොලමට මගේ පුද්ගලික ජීවිතයේ වතගොත පටලවා ගැනීම - විටෙක ඕනෑවට වඩා ද විය හැක - නිතර කෙරෙන නිසා, මගේ පියාගේ පියා වඩුවෙකු බව පාඨක ඔබට මතක යී සිතමි.



මගේ සීයා ජීවත් වූයේ මොරටුවේ පුවක්අරඹ ප්‍රදේශයේ ය. ඔහුගේ උප්පැන්නේ සඳහන් නම හැන්රි (හෙන්රි කියා උච්චාරණය කෙරුමට ඔහුගේ පියාට නම දැනුම් දීමේ දී නොහැකි වෙන්න ඇති) වුව ද මගේ සීයාට වඩු කර්මාන්තයේ කවුරුත් කීවේ හැන්ඩි බාස් කියා ය. ඒ හැන්රි කීමට වඩා හැන්ඩි කීම කටට පහසු නිසා බැවිණි.  

කෙසේ හෝ, හැන්ඩි බාස් වඩ්ඩෙකු පමණක නොව වැඩ්ඩෙකු ද බව මා අසා ඇත්තේ වැඩිහිටියන්ගෙනි. මේ කතාව ද මා ඇසුවේ එලෙසිණි.  

එකල වඩ්ඩා වැඩ්ඩා යී කියන්නේ යුරෝපීය අර්ථයෙන් ආ(ර්)ටිසාන් හෙවත් ශිල්පියා යන අර්ථයෙනි. මගේ සීයා මාස්ටර් කා(ර්)පෙන්ටර් කෙනෙකු වූ අතර, ඔහුගේ වඩු මඩුවේ (මෙකල අර්ථයෙන් කර්මාන්ත ශාලාවේ) වැඩ කළ විශාල ගෝල බාස්වරු හා අත්උදව්කරුවන් පිරිසක කළමනාකරණය හා ව්‍යාපාරික කටයුත්ත කළේ ඔහුගේ බිරිඳ හෙවත් මගේ තාත්තම්මා ය.

යම්තම් අත්සන ගසන්න පමණක් සාක්ෂරතාව තිබුණත් ඈ දක්ෂ ව්‍යවසායකවරියකි. අද අර්ථයෙන් ගත් කළ, මාර්කටින්, පී.ආර් හා රී-ඉන්වෙස්ටින් කටයුතු ද කළේ තාත්තම්මා ය. සීයාගේ හා තාත්තම්මාගේ මේ කදිම ශිල්පීය හා ව්‍යාපාරික සුසංයෝගයේ කුටප්‍රාප්තිය වූයේ ඔවුනට එලිසබෙත් රැජිණහේ කොරනේශනයේ හෙවත් ඔටුණු පැළඳවීමේ උත්සවයට සිලෝනයෙන් යැවූ නිල ත්‍යාගය වන අල්මාරිය සෑදීමේ කොන්ත්‍රාත්තුව ලැබීම ය.  

සීයාගේ නායකත්වයෙන් සුසැදි කෑලි තුනේ අල්මාරියේ මුහුණතේ කැටයමින් හා විවිධ දැව වර්ග ඔබ්බවා තිබුණේ වී ගොවිතැනේ සී සෑම සිට අස්වැන්න නෙලීම දක්වා කෙරෙන ක්‍රියාවලිය යි. විශාල කාලයක් දිවා රාත්‍රී නොතකා සාදන ලද මේ අල්මාරිය එංගලන්තයට නැවකින් ගෙන ගිය අතර කොරනේෂනයට සහභාගී වන්නට හැන්රි හා කැතරින් ප්‍රනාන්දු යුවල ලද ආරාධනය හා නැව් ටිකට් පත් ප්‍රයෝජනයට ගැනුමට ඔවුන් අදිමදි කළේ ඔවුන්ගේ කුලෑටි කම හා ඉංග්‍රීසි නොදත් බව නිසා විය හැකි ය.

සීයාගේ සහෝදරයෙකු වඩුකමට නොබැස ඉංග්‍රීසි උගෙන ගෙන ආනයන-අපනයන වෙළෙඳාමේ නිරත ව සිටි නිසා, ඔහුත් ඔහුගේ බිරිඳත් නැව් නැග කොරනේෂනයට එංගලන්තෙට ගිය ගමන ගැන තවමත් අප පවුලේ ඉතිහාසඥයෝ මහත් ආඩම්බරයෙන් පාරම් බාති.  

ලංකාවට නිදහස ලද පසුව ද මහ රැජිණ ලෙස 1972 වෙනතුරු සැළකුණු මෙතුමියගේ නිදන කාමරයේ සෑම උදෑසනක ම අපේ සීයාගේ කෑලි තුනේ අල්මාරිය කීස්ස් ගා ඇරෙණ වැහෙණ බව අප පවුලේ උදවිය විශ්වාස කළ හ.    

Untitled 3 Recovered

මීට සති කිහිපයකට පෙර එලිසබෙත් මහ රැජිණ මිය පරලොව ගියා ය. එතුමියගේ අවමගුල ගෝලීය එකක බවට පත් විය.

බීබීසිය පැය විසි හතරේ ම එක ම පුවත ලෙස හැඬු කඳුළෙන් කීවේ මේ ගැන පමණි. ලොව පුරා සෙසු රටවල පුවත් මැවීම දින කිහිපයකට අත්හිටුවා දැමුවා වැනි ය.

යටත් විජිතයක් ලෙස මෙය ලංකාවට ද ශෝකාකූල අවස්තාවක විය.

1971 දී තරුණ පිරිසක් කැරැල්ලක් ගැසුවේ රැජිනගේ ආණ්ඩුව පෙරැළීමට ය. ඉන් අවුරුද්දක් ගෙවෙන්නට කලින් ලංකාව රැජිනගේ කිරීටයෙන් මුදවාගෙන ජනරජයක් කළේ ද රැජිනගේ රටේ නිෂ්පාදනයක් වූ ඉතිහාසසය හා නීතියට ආචාර උපාධි එක බැගින් දිනාගත් මහතෙකි. ඒ වෙන තුරු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ අවසන් ඇපෑල කෙරුණේ රැජිනගේ රටේ ප්‍රිවි කවුන්සලයේ ය.


 ලංකාව ජනරජයක් වුණු වහා ම අවසන් ඇපෑල ලංකාවේ ම කෙරිණ. මේ හේතුවෙන් එංගලන්තයේ විශාල නීතීඥ පිරිසක් මහා පාරට වැටිණ. නව ජනරජය කළේ ඔවුනට වන්දියක ලෙස මස්කෙලියේ නිෂ්පාදිත අර්ල්-ග්‍රේ තේ පැකැට්ටුව බැගින් යැවීම පමණි.  

මෙලෙස බලන කල, එලිසබෙත් මහ රැජින ලංකාවෙන් මිය පරලොව ගියේ 1972 ය; එනම් මීට දශක පහකට කලිනි.          

පනස් වසරක් අභිමානවත් ජනරජකයක ලෙස අප වැජඹෙන විට මහා බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවක ලෙස ඉතිහාසයේ පල් වෙමින් තිබිණ. වාක්කියක හෝ ව්‍යවස්ථාව ලෙස ලියා ගැනුමට තව ම අසමත් වුණු මේ අවවර්ධිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට සාපේක්ෂව පුංචි ලංකාව අවුරුදු පනහක් ඇතුලත ව්‍යවස්ථා දෙකක් ද සංශෝධන විස්සක් පමණ ද කර, මේ වන විට තවත් අලුත් ව්‍යවස්ථාවක් සැකැසීම ට සුදානමින් සිටින්නේ ය.

රැජින මියැදෙන්නට කලින් අවසන් වරට අතර ඈට අතට-අත දුන්නී ලීක්ස් ටරස් ය. ඈට ඒ අවස්තාව උදා කළේ කෝවිඩ් ජරමර අස්සේ කසාදයක් කරගත් ඉන් පසු ව ලොක්ඩවුන සමයේ හිතවතුන් සමග ස්ටෙලා වුණු කොන්ඩේ නොපීරණ බොරිස්පත්තුවගේ ජොන්සන් ප්‍රනාන්දු නිසා ය.

The Queen Prime Minister

රැජිනගේ හුරතල් නම ද ලීක්ස් ය. අතට අත දුන් නව අගමැති ද ලීක්ස් ය.

සුලෝචනා අපි දෙදෙනා හට එක රජ දහනක රජ වෙන්නට බෑ යන ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාදය ඔප්පු කරමින් ලීක්ස් රැජින හෑන්ඩ්-ශේකයේ රස්නය යන්නට ද කලින් සදහට ම දෑස් පියා ගත්තී අනෙක් ලීක්ස් එක් ඇසක් පුංචි කර ඩවුනින්ලෝක මාවතේ අංක දහය නිවෙසට පදිංචියට චට්ටි මුට්ටි ද ඩිමෝ බට්ටෙකු පිට පටවාගෙන යන අතර තුර ය.

මේ තත්ත්වය තුල මහා බ්‍රිතාන්‍යයේ වැසියන් දත් මැදීම, මුහුණ කට සේදීම, ඉන්ග්ලිෂ් බ්‍රෙක්පස්ට් අනුභවය වහා ම බලපවත්වන ලෙස නවතා වීදි බට හ. ඒ එංගලන්තයේ ප්‍රකට නාලිකාවක වන 'ද රෙන' (The Rena) දිගින් දිගට ම කළ ප්‍රවෘත්ති ප්‍රකාශයක නිසා ය.

ලංඩනයේ ප්‍රකට විහාරයක් වන වෙස්මිනිස්සර් අභී-යාරාමයේ නායක හිමිනම වූ පූජ්‍ය බ්‍රිස්ටලයේ දාවිත්-හොයිල් යට කී නාලිකාවේ වතුර එල්විස් ට කීවේ තමන්වහන්සේ දැඩි නින්දක නිමග්න ව සිටිනාතර තේම්ස් නදිය අසබඩ මහා සද්දයක් (ඉංග්‍රීසියෙන්) ඇසුණා කියා ය.

ඉන් අනතුරු ව, තේම්ස් නදියෙන් ගොඩබට අයෙකු හිස් ලංඩන් ඩ්‍රයි ජින් බෝතලකයට සීරුවට බස්වා ගත් නාග පෝතකයෙකු වැඩම කළ බවයි. දැනුම් තේරුම් ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන එල්විස් මයා කීවේ මේ කුඩා කාලයේ පෙරහැර බලන්න ගොස් නැතිවුණු රැජිනගේ කනිටු සොයුරෙකුගේ පුනරුප්පත්තිය බව ය. රජවාසල නිලධර පිරිස මේ නාග පෝතකයා විශේෂ මංජුසාවක තැන්පත් කර සොයුරියගේ දෙණ අසල ම තැබූ හ.      

එංගලන්ත ජනතාව කිලෝ මීටර් හත අට දිගු පෝලිම්වල පැය පහළොව විස්ස සිටගෙන බලන්නට ආවේ මිය ගිය රැජින නොව නාගයා වුනත් ඒ බව මාධ්‍ය තුලින් ප්‍රචාරය නැවැත්වූයේ ඇම්-16 ආයතන ය.

queen funaral

මේ අතර තුර ලංඩන්-බ්ලැක්-කැබ් මල්ලිලා තම වීල්-පාක් අසල ශෝක ප්‍රකාශ බැනර් එස වූ හ. රැකියා විරහිත ව සිටි තරුණ පිරිස් කළෝ රට පුරා ඇති තාප්ප වැසෙන්නට මහා රැජිනගේ මියුරල පින්තාරු කිරීම යි. හීත්රෝ ගුවන් තොටුපොළට සමීප ප්‍රදේශයක වන හවුන්ස්ලෝ හී මෙවැනි තාප්ප චිත්‍රයක රැජිනගේ මුහුණ දොනල් ටම්ප් ගේ මුහුණට හුරුවන සේ ඇඳීම නිසා මහත් ආන්දෝලනයක් හට ගති.

හවුන්ස්ලෝ නගර සභාවේ සිංහල නිල බසක ලෙස භාවිතය මීට අදාළ නැති බව හවුන්ස්ලෝ හී ලාංකිකයෝ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලංකා-චී-නිව්ස් වෙත පැවසී ය.

මේ දිනවල කෙටි සංචාරයකට ලංඩනයට ගොස් ඇති, ප්‍රවීණ ලාංකීය සංගීතඥ වෙරළුලියද්දගේ පුහුණු කිරීමෙන්, ශ්‍රීමත් ඇල්ටන් ජෝන්ස් 'රැජිනි මමයි අපේ රාජ්ජේ' ගීතය තවත් ප්‍රසිද්ධ හා අප්‍රසිද්ධ ගායක ගායිකාවන් හා නළු නිලියන් පිරිසක් සමග ටියුඩර් රෝස පොහොට්ටු අතැති ව බැකිංහම් මාලිගය ඉදිරියේ ඇටවුණු වේදිකාවක සිට ගායනා කළ හ.

මේ අතරවාරයේ මරණ ගෙදරට දස අතින් ඉංග්‍රීසි කොල්ලෝ කුරුට්ටෝ හා රාජ්‍ය නායකයෝ නයිට් ගැසුමට ඒකරාශී වූ හ.

දින ගණනාවක් තිස්සේ මරණයක් තියන් ඉන්නා හේතුව ලක් දනෝ දනිති. ඒ නිසා ඔවුන් කළේ බූරු ගසුමට අවැසි පැදුරු, කාඩ් පැක හා නෙස්කැපේ යන්තරයක් තානාපති කාර්යාලය හරහා යැවීම ය. පිරිසක ඕමි බැලූ අතර සෙස්සෝ බේබි කැපූ හ. ඉස්ටර්ලින් පවුමෙන් ගැසුණ මේ රාජකීය බූරු පොලේ තෝං කාසි ටික පැරැණි යටත් විජිතයක තම රටට ගෙන්වා ගන්නට කටයුතු කරන්නේ එම රටේ දැනට පවත්නා විදේශ විනිමය පරතරය පියවා ගැනුමට බව ලංඩන් ස්කූල් ඔප් ඉකොනොමිස් හී මහැදුරෙක් 'ද රෙන' නාලිකාවට පැවසී ය.

මේ අතර, අපේ පවුලේ අයගේ දැවෙන ප්‍රශ්නය ව තිබෙන්නේ සීයා වෙහෙස මහන්සියෙන් සැදූ කෑලි තුනේ අල්මාරිය, රාජකීය මිත්තණිය විසින් අන්තිම කැමැත්තේ ලියා ඇත්තේ නව රජුගේ ලේලිවරියන්ගෙන්, කේට්ට ද මේගන්ට ද යන්න යි.

Udan(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්