කොළඹ නම් කළ ප්‍රදේශ අධි ආරක්‍ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් ඔහු විසින් ම අත්සන් කරනු ලැබූ නියෝගය ආපසු හැරවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පහසු කාරණයක් නොවන්නට ඇත.



එසේ වුව ද, ඔහු එසේ කළේ, මුල් නියෝගය වැරදි බව සහ අධිකරණයේ දී එය ආරක්ෂා කිරීම කළ නොහැකි බව ඔහු නිගමනය කළ නිසා විය හැකි ය. ඔහු කළේ අමාරු නමුත් හරි දෙයයි.

20 වන සංශෝධනයට ඡන්දය දුන් අය 22ට ඡන්දය දිය යුතු ය.

වසර දෙකකට පමණ පෙර ඔවුන් විසින් අනුමත කරනු ලැබූ 20 වන සංශෝධනයේ බොහෝ විධිවිධාන නිශේධ කරන 22 වන සංශෝධනයට ඡන්දය දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට අමාරුවිය හැකි ය.

එසේ වුව ද, ඔවුන් එය කළ යුතු ය.



එක මිනිහෙකුට අසීමිත බලයක් ලබා දෙමින් ඔවුන් විසින් කරන ලද වරද ඔවුන් විසින් නිවැරදි කළ යුතුව ඇත. ඔවුන් එය නොකළහොත් මහජන මතය නම් අධිකරණය ඉදිරියේ ඔවුන්ට වග කියන්නට සිදුවනු ඇත.

 

grහිටපු ජනාධිපතිතුමා තම වැරදි ගණනාවක් පිළිගැනීම සහ ඉන් බොහොමයක් ආපසු හැරවීමට ක්‍රියා කිරීම ඔහුගේ ගෞරවයට හේතු වෙයි.



මැයි 11 දා ජාතිය අමතා කළ සිය කතාවේ දී ඔහු “දහනව වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මක වන පරිදි, ව්‍යවස්ථා සංශෝධනය කිරීමට මා කටයුතු කරනවා” යනුවෙන් පොරොන්දු වුණේය.

20 වැනි සංශෝධනය අනුමත කරමින් තමන්ව ම බෙලහීන කර ගැනීමට පාර්ලිමේන්තුවට බලකිරීම මගින් තමන් වරදක් කළ බව ඔහු මෙමගින් ව්‍යංගයෙන් පිළිගෙන ඇත.

තවත් වැරදි රාශියකට මග පෑදූ මෙම වරද නිවැරදි කිරීමේ වගකීම ඉටු කිරීමට පාර්ලිමේන්තුවට දැන් කාලය උදා වී තිබේ.



වැරදි රාශියකට මග පැදු වරදක්    

පහතින් පළවන්නේ 20 වන සංශෝධනයට එරෙහි අපගේ උද්ඝෝෂණයේ කොටසක් ලෙස, 2020 සැප්තැම්බරයේ මා විසින් ලියන ලද්දකි.

“20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ප්‍රධාන පෙළඹුම වන්නේ, තනි පුද්ගලයකු වන ජනාධිපතිවරයා වෙත බලය ගොනුකරගැනීම හා අමාරු ප්‍රශ්න මතුකරන්නට හෝ වෙනත් පර්යායන් ඉදිරිපත් කරන්නට ඉඩ තිබෙන වෙනත් බලවේග දුර්වල කිරීමයි..... මෙහිදී අදාළ වන ජනාධිපතිවරයා වර්තමානයේදී වැඩිදෙනෙකුගේ සමච්චලයට ලක්වී තිබෙන මෛත්‍රීපාල සිරිසේන මහතා වැනි අයෙකු නම්, එසේ බලය ගොනුකරදීම බුද්ධිමත් තීරණයක් නොවන බවට වැඩිදෙනෙක් එකඟවනු ඇත. එහෙත්, බොහෝදෙනෙකු පවසන්නේ වර්තමාන ජනාධිපතිවරයා විශේෂඥභාවයේ වටිනාකම අගය කරන සහ වියත් මග වැනි සංවිධානවල වෘත්තිකයන්ගේ සහාය ලබන තාක්ෂණ තාන්ත්‍රිකයකු බවයි. ඔවුන් පවසන පරිදි වත්මන් ජනාධිපතිවරයා පත්වී තිබෙන්නේ තීරණාත්මක පියවර ගැනීමට වන අතර, එයට පාර්ලිමේන්තු අධීක්ෂණය හා අධිකරණ අභියෝග මගින් බාධා සිදු නොවිය යුතුය.”



ජනාධිපති අත බලය සංකේන්ද්‍රණය වරදක් බවට මා කළ ප්‍රකාශයට, අද වන විට,  සාක්ෂි අවශ්‍ය නැත. එහි ප්‍රතිඵල වූ වැරදි තීරණවලට අපි සියලු දෙනා වන්දි ගෙවමින් සිටිමු.



# විදේශ ණය බර කළමනාකරණයට රටට ඇති හැකියාව පිලිබඳ ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුව බල රහිත කොට තිබුණි.

# රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක හදිසියේ තහනම් කිරීම පිළිබඳව සමහර මන්ත්‍රීවරුන්ට සැක සංකා තිබුණ ද, ප්‍රශ්න කිරීමට වතාවරණයක් නොවීය.

මේවා 20 වැනි සංශෝධනයේ ඍජු ප්‍රතිඵල වෙයි.


Mr house

ගෝඨාගෝගමට එරෙහිව එල්ලකරන ලද ප්‍රහාරයෙන් පසු රටේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ පොලිසියේ අක්‍රියභාවය පිළිබඳව ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් පොලිසියට පැමිණිලි කළ විට පොලිස්පතිවරයා පැවසුවේ රටේ පොලිස් ස්ථාන 184න් 182කටම ප්‍රධානීන් ලෙස පත්කර තිබෙන්නේ කුසලතා මත තේරුණු පුද්ගලයන් නොව, රජයේ මන්ත්‍රීවරුන් විසින් ඉල්ලාසිටින ලද පුද්ගලයන් බවයි.

ඔවුන්ට තමන් පත්කළ බලධාරීන්ගේ දේපළවත් ආරක්ෂා කිරීමට නොහැකි විය. මෙය 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ එතෙක් පැවති ජාතික පොලිස් කොමිෂන් සභාව අහෝසි කරදැමීමේ ඍජු ප්‍රතිඵලයකි.

අඩු තරමින්, සැම දෙනා ම අගය කරන, නීතිය සහ සාමය පවත්වාගැනීම වෙනුවෙන්, 17 වන සහ 19 වන සංශෝධන දෙක ම මගින් පනවා තිබූ ස්වාධින කොමිසන් සභා සඳහා වූ විධිවිධාන නැවත බලාත්මක කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්දය දිය යුතුව ඇත. නැවත වරක් තනි පුද්ගලයෙකු ආර්ථිකය විනාශ කිරීම වැලැක්වීමට, 20 වැනි සංශෝධනය අනුමත කිරීමෙන් ඔවුන් කළ වරද නිවැරදි කිරීමට ඔවුන් කටයුතු කළ යුතු වෙයි.




මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා කෙටුම්පතේ භාෂාවෙන් දක්වා ඇති, ජිනීවා නුවර දී පොරොන්දු වූ දේ ක්‍රියාත්මක කිරීම ද නිවැරදි දෙයකි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව, මැතිවරණ කොමිසන් සභාව, ජාතික පොලිස් කොමිසන් සභා, අධිකරණ සේවා කොමිසන් සභාව, අල්ලස් සහ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව සහ අධිකරණය ද ඇතුළු ප්‍රධාන කොමිසන් සභාවල සහ ආයතනවල ස්වාධීනත්වයේ වැදත්කම අවධාරණය කරන අතර ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සඳහා ආණ්ඩුවේ ප්‍රකාශිත කැපවීම පිළිගනිමින්, 20 වන සංශෝධනයට එරෙහිව ඡන්දය දුන් අය 22 ට ඡන්දය දිය යුතු ය  


2020 දී නිවැරදි දේ කළ අය නැවතත් එලෙස ම කරනු ඇතැයි සිතන්නට ඉඩ ඇත. එසේ වුව ද, පෙනෙන්නට තිබෙන්නේ ප්‍රශ්න එතරම් සරල නැති බව යි. 20 ට විරුද්ධ වූ සමහරුන් නව සංශෝධනයට ඡන්දය නොදී සිටීමට ඉඩ ඇත. එයට හේතුව නම් අවශ්‍ය 150 ක ඡන්ද ප්‍රමාණය, කැබැලි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නොලැබෙන බව පෙනීයන හෙයින්, විපක්ෂයේ ඡන්ද තීරණාත්මක වීම යි.


හොඳ ව්‍යවස්ථා සංශෝධනයකට පක්ෂ වැඩි ගණනක සහාය හිමිවෙයි. 2015 දී 19 වන සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන්නේ සරත් වීරසේකර පමණකි. 18 සහ 20 වැනි නරක සංශෝධන පාලක පක්ෂයේ සහ හරවාගත් ඡන්ද මගින් තල්ලු කරනු ලැබී ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෑලි කැඩී ඇති බැවින් තව දුරටත් එම විකල්පය නැත. 20 වන සංශෝධනය ආපසු හැරවිය හැක්කේ දෙපැත්තේ ම සහයෙන් පමණකි.



ශ්‍රේෂ්ඨාධිකරණයට ගැළපෙන ලෙස වෙනස් කරන ලද සංශෝධනය නිසැකව ම පරිපූර්ණ නොවන ලියවිල්ලකි. සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද 21 වන සංශෝධනය පිලිබඳ ඔවුන්ගේ මෑත කාලීන තීන්දුවේ හේතු දැක්වීම් මත පදනම්ව, අධිකරණය මෙම පනත 19 වන සංශෝධනයේ මට්ටමට වඩා පහළට දුර්වල කළේය. එය පරිපූර්ණ නොවන නිසා හෝ ජනාධිපති අසාර්ථක කරවීම ඔවුන්ගේ අරමුණ නිසා හෝ එයට ඡන්දය නොදෙන අය සිටිය හැකි ය.



 වසර 4.5 ක් යනතෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට නොහැකි වන විධිවිධාන නැවත පැනවීම හෝ ද්විත්ව පුරවැසියන්ට යෝජිත සීමා කීරීම් ඉවත් කිරීම හෝ වැනි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ප්‍රමාණවත් ඡන්ද ලබා ගැනීමට අවශ්‍ය විය හැකි සම්මුති ද, සහය නොදීමට හේතු දැක්වීම් ලෙස භාවිතා කළ හැකි ය.

නමුත් මෙම මන්ත්‍රීවරුන් කරමින් සිටින්නේ තමන්ට ම හානි කර ගැනීමකි. ව්‍යවස්ථා සභාව නැවත පිහිටුවීම සහ ස්වාධීන කොමිසන් සභාවලට අලුතින් පත්වීම් කිරීම අතිශයින් වැදගත් ය.

20 වන සංශෝධනය මගින් ව්‍යවස්ථා සභාව අහෝසි කළ අතර මැතිවරණ කොමිෂන් සභාව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වැනි වැදගත් ආයතනවලට එහෙයියන් පත්කිරීමට 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට බලය ලැබිණි.

මැතිවරණ කොමිෂන් සභාවට පත්කරන ලද චක්ගෝලයන් විසින් එහි සිටි කාර්යශූර නිලධාරීන් තට්ටු පිටින් ඉවත් කරන ලදී. හිටපු ජනාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ලෙස පත්කළේ ඔහුගේ පවුලට ගැතියයි හෙළිදරව් වී සිටි කාන්තාවකි. එම පත්වීමෙන් පසු රාජපක්ෂ පවුලට හා හිතවතුන්ට එරෙහිව තිබුණු නඩු රැසක් ඉවත්කරගැනීම පිළිබඳ පුදුම වන්නට දෙයක් නැත.


පිරිසිදුම මහ මැතිවරණ පවත්වන ලද්දේ 19 වන සංශෝධනය යටතේ ය. මැතිවරණ කොමිසන් සභාවේ ස්වාධීනත්වය නැවත තහවුරු නොකර මැතිවරණවලට යෑම මෝඩකමක් විය හැකි ය. දැනට ඇති දූෂණ විරෝධී අණ පනත්වල දුර්වලතා සඳහා පිළියම් යොදන නව පනතක් ඉක්මනින් ඉදිරිපත් කෙරෙන බව ප්‍රකාශ කොට ඇත. 20 වන සංශෝධනය යටතේ හිටපු ජනාධිපතිවරයාගේ තනි අභිමතයෙන් කළ ප්‍රශ්නකාරී පත්කිරීම් වෙනස් නොකරන්නේ නම්, මෙයින් බලාපොරොත්තු ප්‍රතිඵල නොලැබෙනු ඇත.

2019 election

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සාමාජිකයින් පත්කිරීමේ ක්‍රියාවලිය වර්ධනය කිරීමට ඇති අවස්ථාව ප්‍රතික්ෂේප කිරීම, අල්ලස් හා දුෂණ පිළිබඳව ඵලදායී ක්‍රියාමාර්ග අපේක්ෂා කරන පුරවැසියන්ට ගසන කණේ පහරක් ලෙස සැලකිය හැක.



සර්ව සම්පුර්ණ ලියවිල්ලක් මගින් 1978 ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා ප්‍රමාණවත් වන බහුතරයක් සහිතව ඊළඟ මැතිවරණය තමන්ට ජයගත හැකි වන බව විශ්වාස කරන උදවිය සමගි ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සිටිය හැකි ය. එය මනස්ගාතයකි.

පළමුවැනිව, සම්පුර්ණ බලැති ජනාධිපති සහ ස්වාධීන නොවන කොමිසන් සභා යටතේ ඔවුන් මැතිවරණ ජයගත යුතු වෙයි. දෙවැනිව, 2020 දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණය වැන්නක් නැවත ලබා ගත හැකි වන බවට කිසිදු සහතිකයක් නැත. බොහෝ විට සිදුවිය හැක්කේ අදටත් වඩා පක්ෂ සහ කණ්ඩායම් සහිත විශාල ලෙස බෙදී ගිය පාර්ලිමේන්තුවක් බිහිවීම යි.


දැන් යෝජනා වී ඇති වර්ධනාත්මක වෙනස්කම් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලය විය හැක්කේ 20 වන සංශෝධනයේ විකෘතිතා යටතේ බොහෝ කලක් ජීවත්වීමට සිදුවීම යි.


පරිපුර්ණ විසඳුම හොඳ විසඳුමෙහි සතුරා වෙයි. දේශපාලනය යන කළ හැකි දේ කිරීම පිලිබඳ කලාවය. දැන් කළ හැකි දේ වන්නේ පරිපූර්ණ නොවන 22 වන සංශෝධනයයි.

ප්‍රමාණවත් තරම් හොඳ සංශෝධනයක් මගින් පැහැදිලිවම නරක 20 වන සංශෝධනයට පිළියම් කළ පසුව, පරිපුර්ණ ව්‍යවස්ථාවක් සඳහා වැඩ කටයුතු ආරම්භ කිරීමට අපට හැකි වනු ඇත.      


RohanSamarajeewa(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්