ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ලංකාවේ පළාත් පාලන සභික සංයුතිය හරි අඩකින් අඩු කිරීමට කතා කිරීම, පුංචි ඡන්ද කල් දැමීමේ  උගුලක් සේ විපක්ෂයේ  චරිත හේරත් සජිත් ප්‍රේමදාස මෙන්ම, ලක්ෂමන් කිරිඇල්ල  චෝදනා කිරීම ජනතාවගේ පැත්තෙන් දේවදත්ත හැසිරීමකි. දේවත්තයා කළේම හතුරුකම්ය. කරුමය ඒකා සිද්ධාර්ථ ගෞතමයන්ගේ මස්සිනා වීමය.



රටක විපක්ෂය ජනතාව පැත්තෙන් සිටගත යුතුවේ.  රනිල් ඉහත කී යෝජනාව ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරෙන් කියවීමකි. රටේ සියලු නියෝජිත ආයතන සංයුතිය තුනෙන් දෙකකට අඩු කළ යුතු බවට මේ ලේඛකයා 2020දී පමණ අනිද්දා පත්‍රයෙන් කරුණු දැක්වීය. ඊට පාදක වුණේ කොවිඩ් කාලයේ රුපියල් පන් දහසේ සහනාධාරය ව්‍යාපාරිකයෙකුට ලබාදීමක් මිස, අද වාගේ රටේ කඩා වැටීමක් නිසා නොවේ.

රුපියල් පන් දහස අත්සන් කොට ලබා ගත් ව්‍යාපාරිකයෙකු ඉල්ලීමක් හෝ නො කළ තමන්ට සහනාධාර ලැබුණේ කෙසේදැයි විමසූ විට, ලැයිස්තුව හැදුවේ ප්‍රාදේශීය සභා සභාපති බව ග්‍රාම නිලධාරි කියා තිබිණ. රටේ නැතිබැරි තැනැත්තන් තෝරා ගැනීමේ බරපතල රාජකාරිය නිලධාරින්ගෙන් පැහැර ගෙන රජයේ මුදල් හිතුවතුන්ට බෙදා දීම යනු රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතිකාවකි.



මේ සිද්ධිය හරහා කියැවෙන රාජ්‍ය සේවයේ වගකීම් පළාත් පාලන නියෝජිතයන් අතට පත්වීමෙන් සිදුවූ අපරාධය ප්‍රමාණයයි. මීට අමතරව අත කොටාලා පළාතක පොලිස් අධිකරණ බලතල පවා පාවිච්චි කළ ආකාරය මහා අපරාධ නඩු බවට පත් වුණද, කිසිවෙකු පළාත් පාලන ආයතන පිළිබඳ රනිල් මෙන් ඍජු ප්‍රකාශයක් කළේ නැත.



පළාත් පාලන සාමාජිකයෙකු අනවසරයෙන් වැලි ප්‍රවාහනය කිරීමක් මුල් කොට, හල්දුම්මුල්ලේදී ජනාධිපති ගෝඨා නීතිය මම යයි කීවේ පළාත් පාලන සාමාජිකයෙකුගේ නීති විරෝධි ක්‍රියාවකට එරෙහිව පෙනී සිටි නිලධාරියෙකු නිහඬ කරවීමටය. විදේශිකයෙකු මරා පිරිසක් ගැහැනියක දූෂණය කිරීමේ සිද්ධියේ සැකකාර තංගල්ලේ ප්‍රාදේශීය සභා සභාපති පුෂ්පක විදාන පතිරණ ගැන පොලිසිය මාස නවයක් රාජකාරි නො කිරිම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය රටේ නීතියට  ඉහළින් සිටීම පිළිබඳ ප්‍රකට උදාහරණයකි.

පාර්ලිමේන්තු පළාත් සභා ප්‍රාදේශීය මහ නගර සභා ආදි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදි ආයතනික නියෝජිතයන්ගේ පඩිනඩි මාසික දීමනා විශ්‍රාම වැටුප් සහ ඔවුන්ට හිමි  වරප්‍රසාද සඳහා රාජ්‍ය භාණ්ඩාගාරය වැය කරන මුදල කෙතෙක්ද? නියෝජිත  ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව ඡන්ද කල් දැමීමේ අවලාදයෙන් යටපත් කිරීම රටේ පැත්තෙන් දේවදත්ත ක්‍රියාවකි.

old parliament

1948දී 101ක් වූ පාර්ලිමේන්තු සංයුතිය අද 225කි. 1977 වන තෙක්ම, බස් රියෙන් දුම්රියෙන් කොළඹ ආ පාර්ලිමේන්තු මන්ත්‍රීන් අද එන්නේ ඉන්නේ කන්නේ බොන්නේ ආණ්ඩුවේ වියදමිනි. 2018 නොවැම්බරයේ පාර්ලිමේන්තුව තුළ හැසිරීමේ සිද්ධිය පමණක් ගත් විට, රටේ පාර්ලිමේන්තු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට එය තුළින්ම එල්ල වූ තර්ජනය මැයි 9 වෙනිදා යක්කලදි මහ මග දී සිදු වූ මන්ත්‍රි ඝාතනයක් අතර වෙනසක් නැත.

ටැබ් දීමෙන් සිසු දැරියන් වඳ වෙන බවටත් දොස්තර ෂාපි වඳ සැත්කම් කළ බවටත් ජෙඟා නැටූ ගම්මන්පිලත් රතනත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදින් බව චරිත හේරත්ලා දන්නේම  නැත. හැට නම ලක්ෂයක් තේරූ මිනිසා රටට කළ හදිය ලංකාවේ මැතිවරණ හෙවත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ යම් විකෘතියක් නොවේද?   


නීතිය මමයි කියන්නත්, කෝටි 6000ක රාජ්‍ය ආදායම අහිමි කරන්නත් ගෝඨාට තිබුණ ජන වරම, රට වෙනුවෙන් ලෝකය සමග කතා කිරීමට, රනිල්ට තිබුණාට පළාත් පාලන නියෝජිත සංයුතිය අඩු කරනවා කී විට, රනිල්ගේ ජනාධිපතිකම චරිත හේරත්ට අනුව, දෙවන පන්තියේ අනුප්‍රාප්තික එකකි.

ඇඳි වස්ත්‍ර පිටින් පළා ගිය ගෝඨාට අහිමි වූ ජන වරම හෙවත් ජනාධිපති ධුරය රනිල් වික්‍රමසිංහට පැවරුණේ නීතියෙනි. එහි ස්වරූපය අනුප්‍රාප්තික හොල්මනක් සේ දැකීම හරහා ප්‍රශ්න කෙරන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හෝ ජනාධිපති ධුරයේ දිග පළල නොව චරිත හේරත්ගේ මහාචාර්ය මානසිකත්වයයි.


අද රටේ තෙල් ගෑස් පෝලිම් නැත. පාර්ලිමේන්තු මන්ත්‍රින් මරණ බියෙන් තොරව ජීවත් වෙති. සංචාරකයන් රටට පැමිණෙමින් සිටිති. විදේශ වාර්තා අනුව ප්‍රකාශිත රටේ පවත්නා සාගින්නට දුර්භික්ෂයට මන්ද පෝෂණයට හේතුව චරිතලා, ජී.ඇල්.ලා ගොඩ නැගූ රාජපක්ෂ පාලනය මිස, ඩලස් අලහප්පෙරුමට ජනාධිපතිකම නො ලැබීම හෝ සජිත් අගමැතිකම බෑ කීම නොවේ. අත කොටාලා පුෂ්පික විදානලා රාජපක්ෂලාගේ අනුහසින් රටේ නීතිය පරිපාලනය අතට ගත් නිසාය.


කිරිඇල්ලගේ ප්‍රකාශය අනුව, ප්‍රාදේශීය  සභා නියෝජිත සංඛ්‍යාව වැඩි කළේ තමන් සභාපති ධුරය දැරූ සීමා නිර්ණ කමිටුවද අගමැති රනිල් වික්‍රමසිංහද යන්න අසෝක පීරිස් ප්‍රකාශ කළ යුතු රටට මෙහෙම වුණේ පළාත් සභා අක්‍රිය වූ නිසා නොවේ. ප්‍රේමදාසලා, කිරිඇල්ලලා, මහාචාර්ය චරිත හේරත්ලාද නියෝජනය කළ  පාර්ලිමේන්තුවට එකී විනාසය අවම කර ගැනීමට හැකි වීද? අද ජනතාව යන්තම්වත් හුස්ම ගන්නේ ජාත්‍යන්තරයත් ජනාධිපති වික්‍රමසිංහත් එක මතයකට පැමිණි නිසාය.  

2021 ජූනියේ රනිල් රටේ පාලනය කැබිනට් මණ්ඩලයට පැවරිය යුතු බව පාර්ලිමේන්තුවට කී දවසේත් චරිත හේරත්ලා සිටියේ රාජපක්ෂලා සමග ය. ඊයේ පෙරේදා පවිත්‍රා වන්නිආරච්චි, ලංකාවේ විය යුතු අදහස් කළ මහින්ද රාජපක්ෂ ප්‍රතිපත්තිය හරක් කටාලා ගමේ මුදලාලිලාට කොවිඩ් රුපියල් පන් දහසක බෙදා දීම අඛණ්ඩව සිදුවිය යුතු බව නොවේ දැයි චරිත හේරත් ගෙන් අසනු කැමැත්තෙමි.

රටේ ජනතාව 2019දී ගෝඨා ජනාධිපති බලයට පත් කළේ රටේ (අ) ජාතික ආරක්ෂාව (ආ)  ආර්ථිකය හා (ඇ) රාජ්‍ය යන්ත්‍රණය යන කරුණු තුන ශක්තිමත් කිරීමට බව ජනාධිපති ලෙස අනුරාධපුරයේදී දිවුරුම් දුන් 2019 නොවැම්බර් 18 වෙනි දින ලංකාදීප ලිපියෙන් චරිත හේරත් ප්‍රකාශ කළේය. එහෙත් වසර තුනක් ඉක්මීමට පෙර එකී අපේක්ෂාවන් සියල්ල වල පල්ලට යැවීම නිසා හැට නව ලක්ෂයක් පත් කළ ගෝඨාට ගෙදර යන්ට සිදුවිය.

54

රටක් අපේක්ෂා කළ සෞභාග්‍යයේ දැක්ම නිසා රට  හිඟමනට පත්විම හේතුවෙන් පාර්ලිමේන්තුවේත් හුදෙකලාව සිටි රනිල් රටේ විධායක ජනාධිපති ලෙස පත් කිරීමට පොදු ජන පෙරමුණට සිදුවිය. ගෝඨා විනාස කළ රට යළි ගොඩ නගා සියලු ජනතා අපෙක්ෂාවන් ඉටු කිරිමට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා ක්‍රියා කරමින් සිටියි.

රනිල් වික්‍රමසිංහ පළාත් පාලන සභා සංයුතිය අඩු කිරීමෙන් අපේක්ෂා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගිනි තබා මැතිවරණ පොත වසා දැමීමට නොවේ. ජන වරම යනු රටේ විධායක ජනාධිපතිට හිමි අභිවෘද්ධි කාරක නෛතික අවසරයයි. එය ලැබුණ එකා පිස්සු කෙළයි නම් ඌ පන්නා දමා වෙනත් කෙනෙකු ගෙන් ඒ අභිවෘද්ධිය ළඟා කර ගැනීමත් ඒ ජන වරමේම දිගුවකි. ඒ ජන වරම තමන්ට රිසි තැන්වලදී අනුප්‍රාප්තියක් සේ නිර්වචනය කරන මහාචාර්ය චරිත හේරත් රටේ මිනිසුන්ට නම් අහඹු  දුක් ප්‍රාප්තියක් පමණකි.

2018 ඔක්තෝබරයේ ජනාධිපති සිරිසේන, නම් කළ, අගමැති මහින්ද පළවා හැර රනිල් අගමැති ලෙස පාර්ලිමේන්තුව විසින් මහින්ද අගමැති ලෙස නම් කිරීමේ ජන වරමක් සිරිසේනට නො තිබුණ බැවිනි. ගෝඨා වෙනුවට, රනිල් පාර්ලිමේන්තුව විසින් ජනාධිපති පත් කළේ එසේ කිරීමේ ජනවරම පාර්ලිමේන්තුවට පැවරී තිබුණ නිසාය. 2022 දී  අගමැති සහ ජනාධිපති ලෙස රනිල් එසේ පත් කිරීමත් ජන වරමකි.


දූෂණය නිසා රටට සිදුවූ හානිය කෝප් එක හරහා චරිත හේරත් තේරුම් ගත්තා නම්, ඔහු ට්විට් පණිඩිඩ නිකුත් කළ යුත්තේ රනිල්ගේ ජන වරම ගැන නොවේ. පවිත්‍රාගේ තකතීරු ප්‍රකාශය ගැනය. රටේ යහපතට පාලකයන් තේරීමේදී ප්‍රජාතන්ත්‍රවාදී වරණීය අවබෝධය ජනතාවට තිබුණා නම්  2020දී රනිල් සහිත එජාපය එක් අසුනකට සීමා වන්නේ නැත. 2022දී රනිල් රටේ පාලකයා වුණා කියන්නේ පාර්ලිමේන්තු බහුතරය ව්‍යවස්ථාපිත විධිවිධාන අනුව, ප්‍රජාතන්ත්‍රවාදී වරණීය අවබෝධය අභියෝගයට ලක් කිරිමකි. ඒ හරහා මේ මාස කිහිපයට සිදුණේ  යහපතක්ද අයහපතක්ද යන්න ජනතාව අත් විඳීමින් සිටිති.


රාජපක්ෂලා පසුපස ගිය පාර්ලිමේන්තු බහුතරය වටයක් කැරකී තෝරා ගත්තේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයට මඟ හැරුණ රටට අවශ්‍ය දැක්මක් දර්ශනයක් සහිත රනිල් ය. රටේ ඍජු බදු අඩුකර මහා විනාසයක් කළ ගොඨාභයට තිබුණ බලය පාර්ලිමේන්තුව රනිල්ට පැවරුවේ රටට අවශ්‍ය දිගු කාලීන පැවත්මක් අවශ්‍ය නිසාය. රනිල් අත ගසා සිටින්නේ ආර්ථිකය යථාවත් කිරිමේ ජාතික මෙහෙවරටය. ඒ සඳහා බහුතරය අකමැති බොහෝ දේ කිරීමට අකමැත්තෙන් හෝ රනිල්ට සිදුවනු  ඇත. චරිතලා කළ යුත්තේ ඊට සහාය දැක්වීම මිස, සජිත්ලා කිරිඇල්ලා මෙන් සිද්ධාර්ථ ගෞතමගේ මස්සිනාලා වෙමින් ජනතා යහපතට හතුරුවීම නොවේ.

මැතක පැවති  විදේශ ජනමාධ්‍ය සාකච්ඡාවක් අතර, තමන් වෘතිය සමිති වලට වඩා ජනතාව විශ්වාස කරන බව ජනාධිපති වික්‍රමසිංහ අවධාරණය කළේය. ඔහු ගිය ඉරිදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙහි දැක්වෙන ජනමත විචාරණ කතාව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නොව රටේ විසිරී පවත්නා ප්‍රජාතන්ත්‍රවාදය රට පිළිගත යුතු බවට දෙන පණිවිඩය, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන් යැපෙන  චරිතලාට වහ කදුරුය. ඔවුන් ජනමත විචාරණයට අකමැතිය. මන්ද පෝෂණය බඩගින්න සහ  කාන්තා සනීපාරක්ෂක තුවා ප්‍රශ්නය යන කරුණු තුනෙන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී සජිත්ලා කාන්තා සනීපාරක්ෂක තුවා තෝරා ගැනීම යනු රටේ මන්ද පොෂණය බඩගින්න ප්‍රමුඛතාවෙන් පහතට දැමීමකි. විපක්ෂය සංවේදි බලය සහ මැතිවරණ සඳහා පමණකි.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදින්ගෙන් සමන්විත  පාර්ලිමේන්තුව හෝ පළාත් සභා හෝ නගර සභා ප්‍රාදේශීය සභා රටේ ප්‍රශ්නය දෙස බලන්නේ බලය නම් තුඹස තුළ දරන ගසා ගෙනය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ පාදම වන ප්‍රාදේශීය සභා සංයුතිය අඩු කළොත් තම පැවැත්ම දෙදරා යතී බියෙන් ජනාධිපති වික්‍රමසිංහගේ ප්‍රකාශය නිශේධ කිරීමට උත්සාහ දරති. චරිත හේරත් කියන ජන වරම මන්ද පොෂණයෙන් බඩගින්නෙන් ඉකි ගසනවා නම් රාජපක්ෂ පාලනය තුළ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය  කළේ කුමක්දැයි අප ඇසිය යුතු වේ.


තම සගයෙක් මහමගදී මරා නො දැම්මා නම් තවමත් ගෝඨා රටේ ජනාධිපති ය. චරිත හේරත් ආණ්ඩු පත්ෂයේය. කෝප් සභාපතිය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හිමි කරුවන් රනිල් තේරුවේ තම මාරයා ගිනි හුළු ගෙන දොරකඩට පැමිණි  නිසාය. ජනාධිපති වික්‍රමසිංහට අනුව, පළාත් පාලන සංයුතිය අඩු කළොත් නූරියේ අත කොටාලා තංගල්ලේ විදානගමලා නවගත්තේගම ආනන්ද කුමාරලා හරහා බිය වද්දා ගෙන සිටි ගමේ ඡන්ද අහිමිවීම තම පැවැත්මට හානිකර ය.


වියත් කීවාට දැක්මෙන් අඟලක් තරම් දැක්මක් නැති  චරිත හේරත්, සජිත්ලා සමග එක වේදිකාවේ සිද්ධාර්ථ ගෞතමගේ මස්සිනාට රඟ පාමින් සිටින්නාහ. 

රට වෙනුවෙන් කැප වූ විශිෂ්ඨ පාලකයෝ ජනතා යහපත මුල් කොට ක්‍රියා කළහ. ලෝක හාල් හිඟය හමුවේ ජනතාවගේ  බඩගින්න වෙනුවෙන් මහා ජාතීන්ගේ විරෝධය නො තකා, එකල හුදෙකලාව සිටි චීනය සමග රබර් හාල් ගිවිසුම් ගැසීමට ඩි.එස්. සේනානායක ශක්තිමත් වුණේ ඒ නිසාය. 53දී හාල් සත හැත්තෑව කළාට එරෙහිව පෙළ ගැසුණ හර්තාලය හමුවේ තම නිවැරදි දැක්ම වෙනුවෙන් අගමැතිකම හැර ගෙදර යාමට ඩඩ්ලි නිහතමානි වුණේ ඒ නිසාය. 
 
 56 ආගම භාෂාව මුල් කොට රටක් පිස්සු වැට්ටවූ බණ්ඩාරනායකට ඉඩ දී විපක්ෂයට ගිය එජාපය 1965දී යළි දෙමළ භාෂා විධිවිධාන පනත නීතිගත කළේ ඒ නිසාය. ඇති වූ ආර්ථීක අවපාතයෙන් මිදීමට 2001දී වසර දෙකකට රස්සා නො දීමේ දැඩි පිළිවෙතක රනිල් සිටියේ ඒ නිසාය. ගෝඨා වැඩි කළ විශ්‍රාම වයස රනිල් අඩු කළේ ඒ නිසාය.

leeසිංගප්පුරුව ගොඩ නැගීමේදී ලී ක්වාන් යූ සුළඟට බදු ගැනීමට නො හැකිවීම ගැන ප්‍රසිද්ධියේ දුක්විය.


සිංගප්පුරුව ගොඩ නැගීමේදී ලී ක්වාන් යූ සුළඟට බදු ගැනීමට නො හැකිවීම ගැන ප්‍රසිද්ධියේ දුක්විය. ආසන්න වසර හැටක් පුරා මේ රටේ මිනිස්සු ආණ්ඩු පත්  කළේ වැඩි පඩි ගන්ටත්, රස්සා ගන්ටක් අඩුවට කන්න බොන්නත් මිස රටේ දියුණුව අපේක්ෂාවෙන් නොවේ. ඒ නිසා පාලකයන්ද ඊළඟ ඡන්දය බලා ගෙන හැසිරුණාහ. බිඳ වැටුණ ලංකාවේ සකල කතාව මෙයයි.

 එජාපය පිළිගත් දර්ශනය අනුව, රනිල් වික්‍රමසිංහ ක්‍රියා කරමින් සිටියි. බාර් කාරයන් කසිප්පු කාරයන් ප්‍රාදේශිය සභාවෙන් පටන් ගෙන පාර්ලිමේන්තුව තෙක් පැමිණිමත් රට බිඳ වැටීමත් එකම කතාවකි. සත්තකින්ම අරගලය ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක සිදු වෙමින් පවතී. පැවැත්මක් නැති අරගලයේ දමිතා ඉවත් විය. අද කිරි දරුවන් පෙන්නා අරගල කරන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ මස්සිනාලා කවුදැයි රටේ බහුතර ජනතාව තේරුම් ගත් නිසාය.


Chandrasiri Senevirathne 21(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්