තිත් මල්, අක් දහර සහ ආදරණීය පළිගැනීමක් යන කෘති ත්‍රිත්වයෙන් පසුව ජයසිරි අලවත්ත විසින් පාඨකයාට ප්‍රදානය කරන ලද අලුත් ම ග්‍රන්ථය මතඟනා

යි. මුල් කෘති තුන සේ ම මතඟනා ද ජයසිරි අලවත්ත විසින් හඳුන්වනු ලන්නේ ප්‍රබන්ධයක් ලෙසිනි. සරලව ගතහොත් ප්‍රබන්ධයක් යනු ‘ගොතන ලද’ යන තේරුම දෙයි. අප ඇසින් දුටු හෝ කනින් ඇසූ හෝ එසේත් නැතිනම් සිතේ මවා ගත් (මනඃකල්පිත) චරිත, සිද්ධි ඇසුරින් ගොතන ලද කතාවක් හෝ රචනයක්  ප්‍රබන්ධයක් ලෙස හඳුනා ගත හැකිය.

 

thithmal ak


සිංහල සාහිත්‍ය ඉතිහාසය තුළ ප්‍රබන්ධ, නවකතා, කෙටි කතා, කවි, ගීත ආදී විවිධ මානයන් ඔස්සේ ලියැවුණු  නිර්මාණ පාඨකයා අතරට පැමිණ තිබේ. මේ කුමන වර්ගයේ නිර්මාණයක් වුව පාඨකයා වැලඳ ගන්නේ එහි අපූර්වත්වයක් තිබුණහොත් පමණි. පෙර නොවූ විරූ රස භාවයන් එහි උද්දීපනය වී තිබිය යුතු ය. කුතුහලයත්, රසාලිප්ත බවත්, නිර්මාණාත්මක බවත් ඔස්සේ පාඨකයාගේ සිත ඇද බැඳ ගැනීමට යම් සාහිත්‍ය මූලාංගයක් සමත් වන්නේ ද එය සිංහල සාහිත්‍ය වංශ කතාව තුළ අමරණීය වනු නිසැක ය. එවන් කෘති සිංහල සාහිත්‍යය තුළ අපමණ පවතී. ඒවා යළි යළිත් කියවමින් යළි යළිත් අලුත් රස උරා බොන්නට පාඨකයා යොමු කරවන  තරම් අපූර්ව ගුණයෙන් යුතු ය.
 

Trans+National New Left MagazineOpiuma Leftසංක්ෂිප්ත ඉතිහාසයක සහෝදර උරුමය- ජයසිරි  අලවත්තජයසිරි අලවත්තජයසිරි අලවත්ත රචනා කර ඇති පෙර කෘති අතරින් තිත් මල් සහ අක් දහරත් එවන් කෘති අතර ඇති බව මගේ පෞද්ගලික හැඟීම යි. මතඟනා තුළත් ඉහත කී ලක්ෂණ කොපමණ දුරකට විද්‍යමාන වන්නේ දැයි විමසා බැලීම වටී.
 

පෙර අත්දැකීම් නැති නැවුම් ආකෘතියක් අනුව පාඨකයා අතට එන මතඟනා පළමුව කියවීමේ කුහුලින් සිත බර කරන බව ඉඳුරා ම කිව හැකිය. අප දන්නා පරිදි බාහිරවත් අභ්‍යන්තර වශයෙනුත් මොන තරම් වෙනස්කම් කළ ද  සාහිත්‍ය කෘතියකින් බලාපොරොත්තු වන රසය මතු නොවුණහොත් එහි මුඛ්‍ය පරමාර්ථය ඉෂ්ට නොවේ. ආකෘතිය, සංරචකය, සංදර්භය, වස්තු විෂය ආදී කවර අංගයක් තුළිනුත් සිදුවිය යුත්තේ ඉන් බලාපොරොත්තු වන ආනන්දය හා ප්‍රඥාව පාඨකයා තුළ ඇති කිරීමට ආලෝකයක් රැගෙන ඒම යි. මතඟනා තුළ එවන් ආලෝකයක් ආකෘතිමය වශයෙනුත් සංදර්භීය වශයෙනුත් පවතින බව ගැඹුරින් විමසා බලන විට පෙනී යයි.
 
 
පරිකල්පනය කරන ලද කතාවේ  ජීව ගුණය නව ආකෘතිය ඔස්සේ ඉදිරියට රැගෙන යමින් ජයසිරි අලවත්ත සිංහල සාහිත්‍ය වංශ කතාව තුළ අලුත් පරිච්ඡේදයක් ලියා ඇත. පාඨකයාට කතාවේ පෙර මඟ බලා යන ගමන එක්තරා මොහොතක නවතා දමා ආපසු හැරෙන්නට සිදු වන අතර එය එහි උත්කර්ෂවත් ම අවස්ථාව වන බව ද සියුම්ව දැකිය හැකි ය. උඩුකුරුව ඇති කළයක්  යටිකුරු කල කල්හී ඇති වන තත්වය වෙනස් ය. එහෙත් මතඟනා කියවාගෙන ගොස් ආපසු හැරන්නට සිදු වන  මොහොත කතාවේ වැදගත් ම සංධිස්ථානය වී ඇති බව නොරහසකි. මතඟනා තුළ රචකයා ඇති කරන මෙම අපූර්ව ආකෘතිමය වෙනස ඔස්සේ සමස්ත කතාවේ යටි බිම්ගත ගැඹුර විදහා පාන්නට සමත් වී තිබේ. පාඨක කතා කලාව තුළ අවදානමක් දරමින් ඔහු ගත් මෙම උත්සාහය එක් අතකින් පෙරළිකාරී තීරණයකි. අනිත් අතින් යම්කිසි  පර්යේෂණයකි. මතඟනා තුළ කැපී පෙනෙන එවන් ලක්ෂණ එහි කතා සාරාංශය ඇසුරින් විග්‍රහ කළ නොහැකි වුවත් පාඨකයාගේ දැන ගැනීම පිණිස මෙහි සටහන් කිරීමට කැමැත්තෙමි.
 
 
‘‘රජ්ජනා නම් නව යෞවනියකගේ  ප්‍රධාන චරිතය හරහා මේ කතාව ගලාගෙන යයි. රජ්ජනා තම යෙහෙළිය හරහා ඇයගේ මව වන ලුලිතාටත් පියා වන යහත් අභිරතටත් ළං වන අතර ඉතා කුඩා කාලයක් තුළ යහත් අභිරත නම් පරිණත මහාචාර්යවරයාගේ සිතත් ගතත් පැහැර ගනී. සිය යෙහෙළිය වන පත්තිකා සමඟ ඇති කර ගන්නා කායික බැඳීමත්, මහාචාර්යවරයා සමඟ ඇති කර ගන්නා කායික බැඳීමත් පරස්පර වුව ද රජ්ජනාගේ මූලික අරමුණ එය නොවන බව කතාව කියවාගෙන යද්දී වටහා ගත හැකි ය.
 

සිය කුටුම්භය තුළ දෙමාපිය ඇසුරත්, ආදරයත්, රැකවරණයත් අහිමි රජ්ජනා බාප්පාගෙන් සිදුවන ලිංගික හිරිහැරවලින් බේරීම සඳහා ඇගේ නිවස අතැර සිටි අවස්ථාවක සිය මිතුරිය හරහා දැන හඳුනා ගන්නා මහාචාර්ය පවුල තමන්ගේ ආධිපත්‍යයට නතු කර ගන්නා ගැහැනු මායම් හඳුනා ගන්නට පරිණත උගත් බුද්ධිමත් මහාචාර්යවරයා පවා අසමත් වේ. තමාට අහිමි වූ සියලු සැප සම්පත් එක ම තැනකින් පිරිමසා ගන්නට රජ්ජනා යොදන උපක්‍රම හරහා ලුලිතාගේ මරණයත්, පත්තිකාගේ මරණයත් සිදු වුව ද කිසිදු පශ්චාත් තාපයක් ඈ මනස තුළ පැන නොනඟින්නේ කවර හේතුවක් නිසාදැයි විග්‍රහ කළ හැක්කේ මනෝවිද්‍යාත්මක ප්‍රවේශයකින් ඒ දෙස බැලීමෙනි. අවසානයේ තමාගේ ඉලක්කය සපුරා ගනිමින් රජ්ජනා යහත් සහ ඔහුට අයත් දේපළවල ද අයිතිය තහවුරු කර ගත් නමුත් අවසානයේ තමා ද තවකෙකුගේ ගොදුරක් වී ඇති බව හඳුනා ගන්නට අසමත් වන්නේ සෑම හොඳ හෝ නරක ක්‍රියාවක් සඳහා ම ප්‍රතික්‍රියාවක් ඇති බව පසක් කරමිනි. බාරස විසින් ඇටවූ උගුලේ සිරවුණු ඇයට ඉන් බේරීමට හෝ ගැළවීමට ඉඩක් නොවූ අතර ම ගැහැනු ඝාතන දෙකකට වගකිව යුතු වූ ඈත් එපරිද්දෙන් ම සිය ජීවිතයෙන් වන්දි ගෙව්වා ය.’’
 

සමස්තයක් ලෙස මතඟනා තුළින් කියවෙන සමාජ, ආර්ථික, මනෝවිද්‍යාත්මක හා සංස්කෘතික ප්‍රවාහය සලකා බැලීමෙන් සාහිත්‍යමය කෘතියක් ලෙස ඉන් ඉටු කරන කාර්ය භාරයේ විශාලත්වය වැඩි වේ. යම් කෘතියක් දෙස අපට විවිධ කෝණ ඔස්සේ බැලිය හැකි ය. සමාජ විද්‍යාත්මක ඇසින් බලන්නෙකුට එහි ඇති සමාජමය කරුණුත්, මනෝවිද්‍යාත්මක ඇසින් බලන්නෙකුට එහි මනෝවිද්‍යාත්මක කරුණුත්, සාහිත්‍යයමය ඇසින් බලන්නෙකුට එහි සාහිත්‍යමය කරුණුත් සොයා විග්‍රහ කළ හැකි ය. එහෙත් මේ අංශ ත්‍රිත්වය වෙන වෙන ම නොගෙන එකක් සේ සලකා වුව ද යමෙකුට තම මතය ඉදිරිපත් කළ හැකි ය. මතඟනා තුළ ඇති සමාජ විද්‍යාත්මක වටිනාකමත්, සාහිත්‍යමය වටිනාකමත්, මනෝවිද්‍යාත්මක වටිනාකමත් එක සේ බර වුව ද මෙහි ඇති මනෝවිද්‍යාත්මක පැතිකඩ අවුස්සා එළියට ඇද ඒ ඇසුරින් යමක් කීමට මම කැමති ය. එයට හේතුව ජයසිරි අලවත්තගේ කෘති සියල්ල ම පාහේ මිනිස් සන්තානයෙහි ජුගුප්සාව හෙළි කරන බැවිනි.
 

මනෝවිද්‍යාව යනු සප්‍රාණික ජීවීන්ගේ චර්යාව පිළිබඳ යථාර්ථ විද්‍යාව ලෙස මැක්ඩුගල් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. එනම් ජීවීන්ගේ චර්යාව හා මානසික ක්‍රියාකාරීත්වය පිළිබඳ කරන විද්‍යාත්මක අධ්‍යයනයකි.
 
 
 
මිනිස් සිතේ ක්‍රියාකාරීත්වය හා එය හසුරුවා ගන්නා ආකාරය පිළිබඳ ඉතා ගැඹුරු එසේ ම සියුම් විග්‍රහයක් ඉදිරිපත් කළ ප්‍රමුඛ දාර්ශනිකයා ගෞතම බුදු රජාණන් වහන්සේ ය. උන් වහන්සේ විසින් පිරිසිඳ දත් ඥානය මගින් මිනිස් සිතුවිලි ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කර ඇත. ක්ෂණයක් ක්ෂණයක් පාසා සිතුවිලි වෙනස් වන අන්දමත් එක සිතුවිල්ලකට පසුව තවත් සිතුවිල්ලක් දාමයක පුරුකක් මෙන් සම්බන්ධ වී ඇති ආකාරයත්, ඒ ඒ සිතුවිලි සම්බන්ධ  චිත්ත පරම්පරා ගොඩනැඟෙන ආකාරයත්, මගින් මිනිස් සිත පිළිබඳ පූර්ණ විග්‍රහයක්  ඒ තුළ ගැබ්ව තිබේ.
 
 
415 2020 9972 Fig1 HTMLනූතන මනෝ විද්‍යාඥයින් අතරින් සිග්මන් ප්‍රොයිඩ් විසින් ඉදිරිපත් කරන මනෝ විශ්ලේෂණවාදී න්‍යාය මඟින් ද මිනිස් සිත ගැන හෙළි කරයි. ප්‍රොයිඩ් පෙන්වා දෙන්නේ මිනිසාගේ  බුද්ධිමත් හේතුවාදී අංශය සේ ම චිරස්තීන කොටස හෙවත් අහේතු මූල කොටසක් ද ඇති බවයි. මිනිසා නිරතුරු මෙහෙය වන්නේ ඉතා මූලික ආශයන්ගෙන් බවත් පහත් ආශයන් මිනිසාගේ අදහස් පාලනය කරන බවත් ඔහු විසින් පෙන්වා දෙනු ලැබ ඇත. එමෙන්ම අපගේ ජීවිත හසුරුවන ප්‍රධාන බලවේගය ලිංගික සාධකය බව ද ඔහු විසින් සඳහන් කරනු ලැබ ඇත. ලුබ්ධිය යනු මූලික ලිංගික ආශය යි. ලුබ්ධියේ අරමුණ සියලු ම ආකාරවල කායික සංතෘෂ්ටිය ලබා ගැනීමයි. මෙය ප්‍රජනන කාර්යයට හෝ ලිංගික සංසර්ගයට පමණක් සීමා වූවක් නොවේ. කවර හෝ ආකාරයක කායික තෘප්තියක් ලැබීමට ඇති ආශාව ලුබ්ධියයි. මිනිස් චර්යාව අවිඥානික ක්‍රියාවලියක් මගින් පාලනය කරනු ලබන බවත් අපගේ අතීත සිදුවීම් විශේෂයෙන් ම මානසික ගැටලු සහගත සිදුවීම් උඩු සිතෙන් තාවකාලිකව ඉවත් වුව ද ඒවා තව දුරටත් යටි සිතේ තැන්පත් වී තිබීමෙන් බොහෝ ක්‍රියාකාරකම් ඒ අනුව සකස් වී එළියට එන බවත්  ඔහු පෙන්වා දී ඇත.
 
 
 
මේ කරුණු එක්ව ගත් විට ජයසිරි  අලවත්තගේ මතඟනා තුළත් මා දකින්නේ පූර්ණ මනෝවිද්‍යාත්මක පැතිකඩකි. රජ්ජනාගේ අතීත ස්මරණ තුළ ඇත්තේ අනාරක්ෂාව, අනාදරය හෝ හුදෙකලාව බව ඇගේ ආත්ම කථනය තුළින් වටහා ගත හැකි ය. ඒ අමිහිරි අවිඥානික සිතුවිලි විසින් ඇගේ වර්තමාන ජීවිතය පාලනය කරනු ලබන ආකාරයත්, ස්ව පීඩනකාමී (තමා හානි වීම) හෝ පරපීඩනකාමී (වෙන අය ලවා තමාට හානි කරවා ගැනීම) තත්වයක් තුළ තමා විනාශය කරා ඇදී යාම වටහා ගන්නට තරම් ඇගේ පුද්ගල අනුභූතිය හෝ අත්දැකීම් හෝ ඉගෙනීම හෝ වර්ධනය වී නොමැති බවත් දැකිය හැකි ය.
 
 
පුද්ගල පෞරුෂය ප්‍රධාන පද්ධති තුනකින් සංයුක්ත බව ප්‍රොයිඩ්ගේ මතය යි. එනම් ඉඩ්, ඊගෝ, සුපර් ඊගෝ වශයෙනි. යමෙකුගේ පෞරුෂයේ ඉතාමත් ප්‍රාථමික අවස්ථාව වන්නේ ඉඩ්  ය. එය සුඛ වේදනා මූලධර්මය මත ක්‍රියාත්මක වේ. සදාචාරය හෝ හේතු ප්‍රත්‍ය හෝ අනුන් ගැන හැඟීම් කිසිවක් ඉඩ් නොසලකන අතර තමන්ගේ හුදු ආවේගයන් වහා ම අත්පත් කර ගැනීමේ හා පිනවා ගැනීමේ කැමැත්තක් පමණක් ඇත. ඊගෝ හෝ සුපර් ඊගෝ මගින් ඉඩ් පාලනය කරන අතර ඒ ඇසුරින් පුද්ගලයා තුළ සිටින තිරිසන්ගත සත්වයා මතු වීමට ඇති ඉඩකඩ ඇහිරේ. නමුත් ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නම් පුද්ගලයා යනු ඉඩ් ගුළියකි. ආගම, සංස්කෘතිය, සදාචාරය, අධ්‍යාපනය ආදී බාහිර මෙවලම් මගින් පුද්ගලයා තුළ ඇති සත්ව වේශය වැසී යම් පමණක මානුෂික මුහුණුවරක් ගනී. ඇතැම් අවස්ථාවල දී ඇතැමුන් තුළින් එකී මානුෂික මුහුණුවර ගිලිහී ඔහු තුළ ඇති  ඉඩ් පූර්ණ වශයෙන්  ප්‍රදර්ශනය වීමක් දැකිය හැකි ය. මතඟනා ඇසුරින් විද්‍යමාන වන මනෝවිද්‍යාත්මක සංදර්භය වන්නේ ද එය යි.
 

රජ්ජනා, ලුලිතා, යහත්, පත්තිකා, කපිල හෝ බාරස ඇසුරින් බැලුවත් එක් එක් චරිතය ආශ්‍රිත නිරුවත් ඉඩ් ප්‍රදර්ශනය නොවන්නේ ද? පුද්ගල මනෝ භාවයේ අඳුරු අද්භූත සෙවණැලි මතඟනා ඇසුරින් එළියට ඇද සමාජය ඉදිරියේ තබන්නට කතුවරයා සමත් වීම අපූරු ය.
 

ප්‍රොයිඩ් විසින් පෙන්වා දෙනු ලබන පුද්ගල  ජීවිත මෙහෙය වන ප්‍රධාන සාධකය ලිංගික සාධකය බව මෙම කතා වස්තුවෙන් අපූරුවට හෙළි නොවන්නේද? ලුලිතා හෝ ඇගේ දෙමාපියන්ගේ ජීවිත අභ්‍යන්තරයට වැදුණත් ලිංගික ප්‍රහර්ෂයෙන් මඩනා ලද සිත් ඇතිව ඔවුන්ගේ ජීවන ක්‍රියාකාරකම් නිර්මාණය වී ඇති ආකාරයත්, අවසානයේ එය ම මනෝ ව්‍යාධියක් දක්වා වර්ධනය වී තම දරුවා වූ පත්තිකා කෙරෙහි වෛරීසහගත වීම තෙක් විසිරී තිබෙන ආකාරයත් විස්මය ජනක ය. පුද්ගල මනෝභාවයේ පුදුම සහගත බව නම් මෙය යි. එමෙන් ම මෙම චිත්තවේග, අනුභූති බොහෝ විට ඉතා බාල අවධියේ ඇති වූ දේවල් විය හැකි ය. කෙනෙකුගේ පෞරුෂය පිළිබඳව බාල කාලයේ ඇති වුණු අනුභූති ඉතා වැදගත් බව රජ්ජනා ඇසුරින් වටහා ගත හැකි ය. තම ආත්මාර්ථය උදෙසා පුද්ගල ජීවිත සමඟ සෙල්ලම් කළ මෙම යුවතියට පාඨකයා වන අප අනුකම්පා කළ යුතු ද නැද්ද යන්න ඉහත විග්‍රහය තුළින් තීරණය කළ හැකි ය එහෙත් සමාජය තුළ මෙවන් චරිත නිර්මාණය කිරීමෙහි වගකීම  සමස්ත සමාජයට ම පැවරෙන බව ද අප අමතක නොකළ යුතු ය.
 

තම කෙළිලොල් හැඟීම් දඩමීමා කර ගනිමින් වැඩිහිටි විය ද ඉක්මවා සිටි මහාචාර්යවරයා කෙරෙහි ආසක්ත වීම මෙන් ම මහාචාර්යවරයාගේ ස්ත්‍රී ලෝලීත්වය  ජාතක කතා රසය මතකයට නංවන්නක් වුවත් මෙය සමාජ ඛේදවාචකයක් බව අමතක නොකළ යුතු ය. සමලිංගික, අනියම් හෝ  නියම් ඇසුරක් මගින් පුද්ගලයා තම සංතෘෂ්ටිය සොයා යන ගමනක අවසානය ඛේදවාචකයක් වීම කෙතරම් භයානක දැයි මතඟනා පාඨකයාට කියාදෙන්නේ මෙම මනෝවිද්‍යාත්මක පදනම මත පිහිටා ය.
 
 
ආගම, සංස්කෘතිය, අධ්‍යාපනය, සදාචාරය ආදී බාහිරින්  අටවා ගත්  ආටෝප සාටෝපවලින් විනිර්මුක්ත වූ කල්හී ස්ත්‍රිය හෝ පුරුෂයාගේ සැබෑ ස්වරූපය මෙය බව කීම අසාධාරණ නොවේ යැයි සිතමි. මතඟනා තුළින් පෙන්වා දෙන යථාර්ථය ද එයයි. මිනිස් සිතෙහි නිරුවත ප්‍රදර්ශනය කිරීමට මීට වඩා තවත් උදාහරණ කුමට ද?
 
 
ජයසිරි අලවත්තගේ මතඟනා තුළ මා දකින මේ යථාර්ථවාදී කථිකාවත පැසසිය යුතු වන්නේ සාහිත්‍ය රසයට බාධාවක් නොවන ආකාරයෙන් සංයමයකින් ඉදිරිපත් කිරීමට ඔහු දක්වන පරිණත බව යි. ස්ත්‍රියකගේ බාහිර අංගෝපාංග හෝ ලිංගික ඇසුර හෝ ඇගේ ඇඳුම් පැළඳුම්වල ප්‍රමිතිය අතිශයෝක්තියෙන් වර්ණනා කිරීම හැරුණු විට අනෙකුත් සියලු ම තැන්හි දී ඔහු එම පරිණත බව ප්‍රදර්ශනය කරන බව කිව යුතු ය. රජ්ජනාගේ දිනපොතේ සටහන් කියවන විට එහි අකුරුවල හැඩය සහ පේළි අතර ඇති පරතරය අඩු වීමෙන් කතාව අඛණ්ඩව කියවාගෙන යෑමේ දී පාඨකයාට යම්  වෙහෙසක් ඇති කළත් සමස්ත කතා රසය කුතුහලයෙන් ද අපූර්වත්වයෙන් ද නිර්මාණාත්මක බවින් ද අනූන  ය. රජ්ජනාගේ දිනපොත සඳහා යොදා ගත් අත් අකුරු ආකෘතිය තුළින් පවා කතාවේ හරය ගැඹුරු ඉසව්වක් දක්වා ඔසවා තබා ගැනීමට රුකුලක් වී තිබේ.  එක් එක් චරිත එක් එක් සිදුවීම් හරහා ඝට්ටනය වන ආකාරය සහ ඒ ඒ චරිත අතර ඇති අන්‍යෝන්‍ය අඛණ්ඩ සම්බන්ධය හරහා කතාවේ රසය ද කුතුහලය ද අනූන කරමින් ඉදිරියට මෙහෙය වන්නට ජයසිරි අලවත්ත සමත් වී ඇත.
 

සමස්ත කතාව තුළ යොදා ගන්නා භාෂා  උපක්‍රම හරහා ඒ ඒ චරිත තම තමන්ව සාධාරණීකරණය කර ගන්නා  ආකාරය විස්මය දනවයි. රජ්ජනා, යහත් හෝ බාරස තම තමන්ගේ නග්න සිතුවිලි පරම්පරාවන්හි ගොදුරක් වුවත් පසුනොතැවෙන්නේ එනිසා ය. කිසිවෙක් කිසිවෙකුගෙන් විනිර්මුක්ත නොකොට කතාවේ අවසානය තෙක් එම චරිතයන්ට ජීව ගුණය කවන්නට කතුවරයා සමත් වන්නේ ඔහු තුළ ඇති සතත අභ්‍යාසය නිසා යැයි මම අනුමාන කරමි. මතුපිටින් ගත් කල සාමාන්‍ය කතා වස්තුවක් සේ පෙනෙතත්  මතඟනා යනු දැන හෝ නොදැන ගැඹුරු මනෝවිද්‍යාත්මක පදනමක් මත ගොඩනැඟී ඇති සාහිත්‍යමය ගුණයෙන් යුතු ග්‍රන්ථයකි.

 
ganga(ගංගා ශිරෝමනි අලුකීර්ති)
 
 
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්