ඇත්ත ම කියතොත්, බොහෝ කලක් ගතවන තුරු මා සිතා සිටියේ බාර් ඇසෝසියේෂන් කියන්නේ බොන කට්ටියගේ යම් සංගමයක් කියා ය. එහෙත් මීට දශක තුනකුත් අවුරුදු දෙක තුනකට පෙර  මට අළුත්කඩේ දෙසට

ගමන් කරනට සිදු වුනෙන්, මට බාර් එක පමණක් නොව බෙන්ච් එක ගැන ද නිසි අවබෝධයක් ලැබිණ.

මේ පද දෙක ම නීති ක්ෂේත්‍රයේ ස්ථාපිත වී ඇත්තේ ඒවායේ වාච්‍ය අර්ථයෙන් නොවේ. ඉංග්‍රීසියෙන් බෙන්ච් එක යනු බංකුව වූව ද, නීති හා උසාවි සන්ධර්භයක එහි අරුත වන්නේ විනිසුරන් හෝ විනිසුරු මඬුල්ල ලෙස යි. ඒ පදයේ මූලය වන්නේ, ශතක කිහිපයකට පෙර උසාවියක විනිසුරන්ට අසුන් ගෙන නඩු අසන්නට පනවන ලද බංකු විශේෂය නිසා ය.

ඒ  කාලයේ උසාවි පරිශ්‍රය තුල, නඩු අසන ශාලාවේ උස් ව ස්ථාපිත කර තිබුණු විනිසුරු වේදිකාව එහි ප්‍රධාන අංගය විය. විනිසුරන්ට පහලින් හා ඊට නුදුරින් නීතීඥයින් හා ජූරි සභාව  සිටින ප්‍රදේශය ලකුණු වෙන අතර ඊට පසු පසින් ය නඩු ඇසීමට පැමිණි පාර්ශව අසුන් ගන්නේ. ඔවුන් සහ උසාවි ගර්භයේ නීතීඥවරුන් සිටින ප්‍රදේශය වෙන් කරනට ලීයෙන් සාදන ලද වැටක් හරස් කර  ඉදි කැරිණි. ඊට කීවේ 'බාර් එක' හෙවත් බටයක් කියා ය. පදයේ වාච්‍ය අර්ථය හා මූලය මෙසේ වුවත් එහි ව්‍යවහර අර්ථය වුයේ නීතිඥයින් හෝ නීතීඥ වෘත්තීය ය.

 

 බාර් ඇසෝසියේෂන් යනු නීතීඥ වෘත්තියේ නියැළෙන අයගේ සංගම ය. නීතීඥ සංගමයක සාමාජිකයෙකු වීම about page new 2අදාළ රට හා එහි නෛතික සම්ප්‍රදාය අනුව වෙනස් වේ. ශ්‍රී ලංකාවේ පිළිවෙත වන්නේ, නීති අධ්‍යාපන කවුන්සලය මගින්  පරිපාලනය වන නීති විද්‍යාලය මගින් පවත්වන විභාග වට තුනකින් සමත් ව, ඉන් අනතුරු ව, වසර අටකට වඩා වෘත්තීය අත්දැකීමක් ඇති ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකු යටතේ සය මසක් ආධුනිකයෙකු ලෙස පුහුණුවක් ලැබ, නීතීඥයෙකු ලෙස දිව්රුම් දීමෙන් පසු ව, නීතීඥ සංගමයට බැඳීම ය. 'ජොයින් ද බාර්'හෙවත් බාර් එකට එකතු වුණා හෝ  බැඳුනා යී කියන්නේ හුදෙක් සංගමයේ සාමාජිකත්වය ගැනීම නොව නීති වෘත්තියට එකතු වුනා යන අරුතින් ය.  

මා නීති විද්‍යාලයේ විභාග වට තුන නිම කර, ආධුනික කාලය ගත කරන්නේ කා සමග ද යී කල්පනා කරමින් සිටින විට, මා ගරු කරන වැඩිහිටියෙකු වූ නැසී ගිය ඒන්ස්ලි සමරජීව මහතා මා වෙනුවෙන් තීරණයක් ගැනීමට ඉදිරිපත් විය. ඒන්ස්ලි සමරජීව මහතා මුලින් ගුරු වෘත්තියේ නියැළී (ප්‍රකට ඉතිහාසඥ මහාචාර්ය කේ. ඇම් ද සිල්වා සමරජීව මහතාගේ මුල් කාලීන  ගෝලයෙකි), විදුහල්පතිවරයෙකු ලෙස ද කටයුතු කර, නියෝජ්‍ය විභාග කොමසාරිස් වරයෙකු ලෙස විශ්‍රාම ගැනීමෙන් අනතුරු ව, නීති විද්‍යාලයට ගොස් බාර් එකට බැඳුණේ වයස හැට ද පැන්න පසු ව ය.

Web Slider BASL 05

එහෙත් නීතිඥයෙකු ලෙස මිය යන තුරු ම එතුමා කටයුතු කළේ 'ප්‍රෝ-බෝනෝ' (ගාස්තුවක් ය කරන්නේ නැති ව්‍යවහාරය ට කියන ලතින් වදන) පදනම මත ය. තැළුණු පෙළුණු හා ගාස්තුවක් ගෙවා ගන්නට අතමිට සරු නැති ආන්තික ක්ලයන්ටලයකට ය සමරජීව මහතා තම කාලය, ශ්‍රමය හා වෘත්තීය දැනුම මිඩංගු කළේ. එකල බොහෝ නීතීඥයින් ඉදිරිපත් වෙන්නට පැකිළෙන හබයාස් කෝපුස් නඩු (අතුරුදහන් වුවන් සම්භන්දයෙන්) සඳහා නිර්භය ව සමරජීව මහතා පෙනී සිටියේ ඒ ගැන කුමනාකාරයේ හෝ අඬබෙර (සමකාලීන අරුතින් සෙල්පි හා වකාරෙට බුකි පෝස්ටු) කිසිවක් නොගසමිණි. අතුරු කරුණක් ලෙස කිව යුත්තේ, ආචාර්ය රොහාන් සමරජීව, මෙතුමාගේ පුතා බව ය.



BRA 2022සමරජීව මහතා මා භාර දුන්නේ ජනාධිපති නීතීඥ එච්. එල් ද සිල්වා මහතාට ය. එතුමා ආධුනිකයින් පමණක් නොව අනවශ්‍ය ලෙස කනිෂ්ඨයින් ද පිරිවරාගෙන සිටින්නට අකමැති වුනත් සමරජීව, ද සිල්වා හා මගේ තාත්තා යම් අවකාශයක සමීප ව වැඩ කටයුතු කර ඇති නිසා මට ඒ වරප්‍රසාදය හිමි විය. ද සිල්වා මහතා බාර් ඇසෝසිෂියනේ හෙවත් නීතීඥ සංගමයේ සභාපති වූයේ දරුණු කාලයක ය.

ඒ භීෂණ සමය ලෙස ලෙයින් වැකුණු 1987-89 කාල වකවානුවේ ය. පොලීසිය, හමුදාව හා ඔවුන් යටතේ ක්‍රියාත්මක වූ ඝාතණ කල්ලි විසින් නීතීඥවරුන් ද අතුරුදහන් වුණු ඝාතණය වුණු අතර එවකට සන්නද්ධ අඩව්වක් අල්ලමින් සිටි ජනතා විමුක්ති පෙරමුණ 'කැන්ගරු උසාවි' පවත්වා ගනිමින් තමනට රිසි අය ඝාතණය කළ පරිසරයක ය ද සිල්වා මහතා බාර් එකේ නායකත්වය නොසැලී දරුවේ.

බණ්ඩාරනායක පවුලේ නීතීඥයා ලෙස විශ්වාසය දිනා සිටි ද සිල්වා මහතා, භූතානයේ තිම්පු නුවර පැවැති, කොටි සංවිධානය සමග කෙරුණු සාකච්චාවට  රජය නියෝජනය කළ අතර. 1994 දී නිත්‍ය නියෝජිත ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව් යෝර්ක් මුලස්ථානයට එකල රජය විසින් පත් කෙරිණ.  

නීති බාර් එකේ සභාපති වී සැවොමගේ ගරු බුහුමන් ලදත් මගේ සීනියර්ට හෙවත් ජ්‍යෙෂ්ඨයාට සාමාන්‍ය බාර් එක ගැන ඇති දැනුම ඉතා සීමිත බව පසක් වුණේ, ඔහු එකල අභියාචනාධිකරණයේ පෙනී සිටි නඩුවක නිසා ය. ද සිල්වා මයා මෙතෝදිස්ත නිකායට අයත් වූවෙකු පමණක් නොව එම සභාවේ ගිහියෙකුට දැරිය හැකි ඉහල ම තනතුර කලක දැරී ය. මෙතෝදිස්තයන්ට බීම අකැප බව එම නිකායේ ආරම්භක ජෝන් වෙස්ලී ස්ථාපිත කළ ප්‍රධාන විනය කොන්දේසියකි. ඒ නිසා ඒ බාර් එකට ද සිල්වා මයා වැරදිලාවත් ආවේ ගියේ නැත.

 

අපගේ නඩුකාරයට නිමිත්ත වුයේ ඉස්කාගාර සංස්ථාව හා පෞද්ගලික මත්පැන් නිෂ්පාදන සමාගමක් 'අති-විශේෂ' (හෙවත් ගල්) යන්න සන්නාමයක් ද පොදු ගුණයක් විස්තරයක් කරන්නේ ද යන්න යි. අපට ප්‍රතිපක්ෂව පෙනී සිටියේ එස්. එල් ගුණසේකර නීතීඥ මහතා ය. ආගම සම්බන්ධයෙන් ඇග්නොස්ටික් පදනමක සිටිය ද, ගුණසේකර මහතා ද මෙතෝදිස්තයෙකු ලෙස උපත ලැබුවෙකි. කෙසේ හෝ එච්.එල් පරදවා එස්.එල් නඩුවෙන් ජය ගත්තේ ය. ද සිල්වා මහතාට බෙන්චයෙන් හෙවත් විනිසුරු මඬුල්ලෙන් පිදෙන ගෞරවය මා හොඳින් දැක ඇත. ඔහු සමාජ සාධාරණය හා යුක්තිය වෙනුවෙන් අභීත ව පෙනී සිටිය ද අද හන්දියක් හන්දියක් ගානේ දක්නට ඇති කඩුප්පුලි නීතිඥ නෝනා මහත්වරුන්ගේ පන්නයේ අයෙක් නොවේ. බෙන්චයේ  සිටි ප්‍රධාන විනිසුරා, තීරණය දෙන අතර, වාර්තාවෙන් පිටත හෙවත් ඕෆ් ද රෙකොර්ඩාකාර ප්‍රකාශායක් ලෙස, දුකෙන් මෙන් කීවේ "දිස් සීම්ස් නොට් යුවර් කප් ඔෆ් ටී, මිස්ටර් සිල්වා" කියා ය.  


 මීට මාස කිහිපයකට පෙර ගෝල් පීසිය අවට, ගිනියම් අව්වේ මහ වරුසාවේ වැඩ සිටි බාර් සාමාජිකයින් පිරිසක්, පාර පැන සීතල ෂන්ග්රිලාවේ පැවැති ටමාශාවක සිටීම ද ඉන් යම් අගතියකට පාත්‍ර වූ තවත් බාර් පිරිසක් අතොරක් නැති ව ආඩපාලි කීම ද මගේ මේ පරණ මතක ඇවිස්සී ය.

(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Udan

 



(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

320723070 553561629955212 5233208659897488127 n

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්