"අපි තුන්දෙනාම ඉපදුනේ සිසේරියන් සැත්කම්වලින්. මම තමයි වැඩිමල්. එයාලා මාව කොහොමහරි ස්වභාවික විදියට ගන්න ට්‍රයි කරපු නිසා මගේ අම්මා මැරෙන්නම ගිහින් තිබ්බා.

ඊට පස්සේ තමයි ඒගොල්ලෝ හදිසි සිසේරියන් එකකට අම්මව අරගෙන තිබුණේ."

"ළමයි තුන්දෙනෙක් හම්බවුණාට පස්සේ, දැන් අම්මගේ බඩේ සිසේරියන් කැළල තියෙන හරිය තාමත් නිකන් හිරිවැටිලා වගේ තියෙන්නේ. එයාට ඒ හරියේ මොකවත් දැනෙන්නෙ නෑ. ඉතින් සීසර් කරපු අම්මලට දරු දුක දැනෙන්නේ නෑ කියලා කවුරුහරි කියද්දී, මට උන් එක්ක පුදුම තරම් කේන්තියක් එන්නේ," සදියියා ඇගේ මවගේ කතාව අප හා පැවසුවා ය. 

සදියියාගේ කේන්තියට මුල්වුණේ, "සීසර් සැත්කමින් දරුවන් බිහිකළ කාන්තාවන්ට 'දරු කැක්කුම' දැනෙන්නේ නැතැ" යි ඇතැමුන් අතර පැතිර ඇති මතයකි. පසුගිය දා එක්තරා ප්‍රසිද්ධ ධර්ම දේශක භික්ෂුවක් ද මෙම අදහසම ප්‍රකාශකර තිබුණි. 

 

 

දරුවා ගැන ආදරයක් ඇතිවීමට නම් දරු ප්‍රසූතිය වේදානාකාරී විය යුතුබවත්, වේදනාවෙන් තොරව දරු ප්‍රසූතිය සිදුකරන සිසේරියන් සැත්කම මඟින් මව තුළ 'දරු කැක්කුමක්' ඇති නොකරනබවත් මේ මතයෙන් පැවසෙයි.

නමුත්, මේ වන විට වෛද්‍ය විශේෂඥයින් පිළිගන්නා විද්‍යාත්මක මතයවන්නේ, වේදනාවෙන් තොර ප්‍රසූතියකට ඉඩකඩ සැලසීම යනු ප්‍රසූතිය අතරතුරේ දී මවගේ යහපැවැත්ම තීරණය කෙරෙන ප්‍රධාන සාධකයන්ගෙන් එකක්බව යි. 

එනිසා, මේ සම්බන්ධව වෛද්‍ය විද්‍යාත්මකව කරුණු තහවුරු කරගැනීමට අපි ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන, කොළඹ විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය හේමන්ත සේනානායකගෙන් අදහස් විමසීමු.

 

'ප්‍රසූති වේදනාව යි දරු කැක්කුම යි අතරේ කිසිම සම්බන්ධයක් නෑ'

 

62342790 10219289913180283 5095492489226223616 o 700x465

මහාචාර්ය හේමන්ත සේනානායක

 

"ඒක මම හිතන්නේ - අර දරුවෙක් හම්බවෙනකොට ගිරිය පළාගෙන කෑගහලා, මොර තියලා, හෙම්බත් වෙලා, නිකන් වධ විඳලා බබා හම්බවුණේ නැත්නම්, අම්මට ඒ බබා ගැන බැඳීමක් ඇතිවෙන්නේ නෑ, ඒකෙ වැදගත්කමක් තේරෙන්නේ නෑ, මේ මව් පදවිය කියන එක ගන්න නම් මේක හොඳටම විඳවන්න ඕන, නැත්නම් ඒකෙ අගයක් තේරෙන්නේ නෑ කියන එක - ඒක ඉතාමත්ම පසුගාමී, නොදියුණු ආකල්පයක්," මහාචාර්ය සේනානායක ආරම්භයේ දීම අප වෙත කියා සිටියේ ය. 

"අද අපට වෛද්‍ය විද්‍යාවෙන් පුළුවන් ඔය ප්‍රසූතයේ වේදනාව සම්පුර්ණයෙන් නැතිකරන්න. අපි උදාහරණයක් කියමු, නමෙන්ම කිව්වොතින් 'එපිඩියුරල්' කියන ක්‍රමයට  - ඒක ලංකාවෙත් පාවිච්චි වෙනවා, ලෝකේ වටේම පාවිච්චි වෙනවා - ඒ ක්‍රමේ පාවිච්චි කළොත් අපට වේදනාව සම්පූර්ණයෙන්ම වගේ නැතිකරන්න පුළුවන්," මහාචාර්යවරයා පැවසුවේ ය. 

ප්‍රසූතිය මවට පහසු අත්දැකීමක් වූ විට දරුවා සමග ඇති බැඳීම ධනාත්මක ලෙස වෙනස්විය හැකියැ යි ද මහාචාර්යවරයා කියයි. 

"අපට හුඟාක් හම්බවෙනවනේ [අම්මලා], [එයාලා] අපට කියනවා 'මෙයා නම් කිසිම කරදරයක් නෑ බඩේ ඉන්නකොට, කිසිම කරදරයක් නැතුව බබා හම්බවුණා,' කියලා? ඒ වගේ අම්මා කෙනෙකුයි, 'අනේ මෙයා හම්බවෙන්න ගිහිල්ලා මම දසදුක් වින්දා' කියලා කියන අම්මා කෙනෙකුයි [සැලකුවොත්], [මවුන් දෙදෙනාගේම] අර [දාරක] බැඳීම තියෙනවා, හැබැයි [ප්‍රථම] මව ඒක ධනාත්මක දෙයක් විදියට දකිනවා. පුද්ගලිකව මම හිතන්නේ, අපි අර ධනාත්මක අත්දැකීම මවට දෙනවා නම්, ඒ මව ඒක ලබාගන්නවා නම් මව යි දරුවා යි අතර ඇතිවෙන ඒ හුවමාරුව මම හිතන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.”

ප්‍රසූතියේ දී වේදනා විඳීම ධනාත්මක නොව සෘණාත්මක යමක්වන්නේ කෙසේදැ යි මහාචාර්ය සේනානායක තව දුරටත් පැහැදිලි කළේ මෙසේ ය: "[ප්‍රසූතයේ දී වේදනාවෙන්] බෙරිහන්දීගෙන ඉන්නකොට ඒ අම්මා විජලනය වෙනවා, එයා හෙම්බත් වෙනවා, එතකොට රුධිරයේ යම් යම් වෙනස්කම් ඇතිවෙනවා ඒක නිසා, ඒවා බබාටත් බලපානවා. එතකොට බබා ඉපදෙන තත්ත්වයටත් බලපානවා ඔය [වේදනාව]."

 

5d402e80 92fa 11ed 80d6 337feeda602f

'වේදනාවෙන් තොර ප්‍රසූතිය ඔබේ අයිතියකි' - ප්‍රසූතියේ දී වේදනානාශක ඉල්ලා සිටීමේ අයිතිය පිළිබඳව රජය විසින් සිදුකරන ලද දැනුවත් කිරීමේ දැන්වීමක්

 

'අපට වේදනාව අඩුකරන්න පාවිච්චි කරන්න පුළුවන් වෛද්‍ය ක්‍රම විතරක් නෙවෙයි'

 

"හුඟක් අම්මලා ප්‍රසූතයට එන්නේ, මේ ප්‍රසූතයේ දී මොනවද වෙන්නේ, මොනවද අපට කරන්න පුළුවන්, මොනවද වෛද්‍යවරු කරන්නෙ, මොනවද අපට වේදනාව අඩුකරන්න කරන්න පුළුවන්, සාමාන්‍ය ප්‍රසූතයක් ලබාගන්න මොනවද අප‍ට කරන්න පුළුවන් වගේ දේවල් ගැන කිසිම දැනුමක් නැතුව යි... මම හිතන්නේ [ප්‍රසූතය] ඉතා ගැඹුරු චිත්තවේගීය අත්දැකීමක් අම්මා කෙනෙකුට... අම්මට - තාත්තා කෙනෙකුට වුණත් - මම හිතන්නේ බබාව පළවෙනි වතාවට දකින ඒ මොහොත කවදාවත් අමතක වෙන්නේ නෑ. ඉතින් මෙච්චර ගැඹුරු දෙයකට සූදානමක් නොවී එනවා කියන එක මම හිතන්නේ එච්චර හොඳ දෙයක් නෙවෙයි." 

එනිසා, රෝහල් හා මාතෘ සායනවල පැවැත්වෙන සෞඛ්‍ය අධ්‍යාපන ඒකක හෝ දැනුවත් කිරීමේ පන්තිවලට සහභාගිවීමෙන් හෝ, පොත්පත් හෝ අන්තර්ජාලය හරහා දැනුවත්වීමෙන් හෝ සිය උපත් ක්‍රියාවලිය පිළිබඳ හොඳ අවබෝධයක් සහිතව පැමිණෙන ඇතැම් මව්වරු වඩාත් පහසු, වේදනාව අඩු ප්‍රසූතීන්ට මුහුණදෙනු තමා අත්දැක ඇතැ යි, ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු ලෙස දීර්ඝ වෘත්තීය දිවියක් ගතකර ඇති මහාචාර්යවරයා අපහට පැවසීය. 

 

උපත දෙන මවට ගෞරවයෙන් සැලකීම වැදගත්වන්නේ ඇයි?

 

"ලංකාවේ ප්‍රසූතිකාගාරයකට එන අම්මා කෙනෙක් හරිම බයෙන් එන්නේ ඇත්තටම, බනියි ද, මොනවහරි කියයි ද කියලා. මොකද, ඔය ප්‍රසූතිය වෙලාවේ අපි අම්මලට කතාකරන වචනවලින් එහෙම හුඟාක් හිත රිදෙනවා. [ඒ වචන] ඒ සේවාදායකයාට ලොකු කතාවක් නොවෙන්න පුළුවන්. සේවාදායකයාගේ ඒක එයාගෙම විදියට ඒ අම්මට අනුබල දෙන්න කියන කතාවක් වෙන්නත් පුළුවන්. සමහර විට ඒ අම්මලාට ඉතාමත් ගැඹුරින් මේකට හිත රිදෙනවා," ප්‍රසූතිය සඳහා පැමිණෙන මව්වරුන්ට ගෞරවයෙන් සැලකීමේ වැදගත්කම සම්බන්ධයෙන් අවධාරණය කරමින් මහාචාර්යවරයා කියයි. 

"මට එක අම්මා කෙනෙක් කියලා තියෙනවා, එයාට දැන් බබාව හම්බවෙලා අවුරුදු කීපයක්. හැබැයි තවම,  එයා කැමති නෑ ඒ ඉස්පිරිතාලේ පැත්තෙන්වත් යනවට," මහාචාර්ය සේනානායක එසේ එක් උදාහරණයක් අප හා බෙදාගත්තේ, මවකගේ ප්‍රසූති අත්දැකීම ඇයට කොතරම් බලපෑමක් එල්ල කළා ද යන්න පැහැදිලි කරමිනි. 

නමුත් ප්‍රසූතිය අතරතුර, ඇගේ පුරුෂයා හෝ වෙනත් සහායිකාවකට ඇගේ සහායට ඇය අසලින් සිටීමට ඉඩ ලබාදෙන්නේ නම්, එය මවගේ ප්‍රසූති අත්දැකීම ධනාත්මක කරමින්, ප්‍රසූතිය පහසු කරනබව ඔහු ප්‍රකාශ කරයි.

 

birth

ලංකාවේ පුද්ගලික අංශයේ බොහෝ රෝහල්වල දී, උපත දෙන කාන්තාව අසල රැඳී සිටීම සඳහා ඇගේ පුරුෂයාට පහසුකම සලසා දී තිබේ. නමුත් රජයේ රෝහල්වල තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් ය.

පහසුකම් අවම ඒවායේ ඇත්තේ මව්වරු කීපදෙනෙකු එකවර ප්‍රසූතිය ලබාදෙන පොදු සූතිකාගාර යි. එනිසා ස්වාමි පුරුෂයින්ට සූතිකාගාරය තුළට පිවිසීම සඳහා අවසර ලබාදීමට නොහැකිවුවත්, ඒ වෙනුවට කාන්තා සහායිකාවකට ඉඩකඩ සලසා දිය හැකියැ යි මහාචාර්ය සේනානායක යෝජනා කරයි.

"හුඟාක් විද්‍යාත්මක දත්ත තියෙනවා ඒ විදියට [සහායට කෙනෙකුට] එන්න ඉඩ දුන්නොත් - අපි කියන්නේ 'ප්‍රසූත සහායිකාවක්', ඒ කියන්නේ හුඟක් වෙලාවට සහෝදරියක්, අම්මා, එහෙම නැත්නම් යාළුවෙක්ව ගේනවා - අපේ අත්දැකීමෙනුත් කියන්න පුළුවන්, මේ ගැන හුඟක් පර්යේෂණ කරලත් තියෙනවා, එහෙම ඉඩ දුන්නොත් අර මවට දැනෙන වේදනාව, වේදනා නාශක පාවිච්චිය අඩුවෙනවා. මේක ඉතාමත්ම වැදගත් දෙයක්." 

ප්‍රසූතියේ සහාය සඳහා කිසිවෙකු ළඟ සිටිනවිට මවට ගෞරවාන්විත සත්කාරයක් ලැබීම, නිරාසයෙන්ම වගේ බලාත්මකවීමක් ලැබීම මීට හේතුවනබැව් මහාචාර්ය සේනානායක විස්තර කළේ ය. ඔහු මෙහි වාසි තුනක් නම්කරයි: 

 

  • මවගේ බිය අඩුවෙයි - මෙවිට, බිය නිසා නිකුත්වෙන ඇඩ්රිනලින් හෝමෝනයෙන් ඇතිකරන සෘණාත්මක වෙනස්කම්වලට මුහුණදීමට ඇයට සිදුනොවෙයි.  
  • ප්‍රසූතිය කෙටිවෙයි - මව බිය අඩු, යහපත් තත්ත්වයක පසුවන බැවින් ප්‍රසූත ක්‍රියාවලිය ඉක්මණින් සිදුවෙයි. 
  • සිසේරියන් සැත්කමක් අවශ්‍යවීමේ ප්‍රවණතාව අඩුකරයි - හෙවත්, සාමාන්‍ය ලෙස ප්‍රසූතිය සිදුවීමේ ප්‍රවණතාව ඉහළ දමයි. 

 

"ප්‍රසූත සහායිකාවක් ළඟ තියාගැනීමෙන්, අම්මගේ අත්දැකීම සම්පූර්ණයෙන්ම වෙනස් අතකට හරවනවා." 

"අම්මකෙනෙක් තනියෙම ප්‍රසූතිකාගාරයට ගෙනාවම එයා සම්පූර්ණයෙන්ම කාර්යයමණ්ඩලය මත තමයි යැපිලා ඉන්නේ... අසරණ තත්ත්වයක ඉන්නේ ඇත්තටම කියනවා නම්," ඔහු පැවසුවේ ය.

"ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යංශයෙනුත් චක්‍රලේඛයක් නිකුත්කරලා තියෙනවා මේක ප්‍රචලිත කරන්න, මේකට පහසුකම් ලබාදෙන්න කියලා. හැබැයි, රෝහල් එකක් දෙකක් ඇරෙන්න ඕක වෙන්නේ නෑ මම දන්නා තරමින්. කොවිඩ් වසංගතය නිසා මේක පසුබෑමකට ලක්වුණා. හැබැයි මම හිතන්නේ අපි මේක දිහා නැවත හැරිලා බලන්න ඕන, නැවත මේක පටන්ගන්න අපි උත්සාහ කරන්න ඕන, මේ ක්‍රියාවලිය."

 

'ගුණාත්මක සේවාවක් ලබාදීම මඟින් සිසේරියන් සැත්කම් අඩුකරන්න පුළුවන්'

 

ලංකාවේ ගර්භනී කාන්තාවන්ගෙන් 40%ක් පමණම පුද්ගලික තෝරාගැනීම මත හෝ වෛද්‍ය නිර්දේශය මත සිසේරියන් සැත්කමක් ලබාගැනීමට යොමුවෙයි. මෙය වෙනස් ආකාරයන්ගෙන් දැකීමට හැකිවුණත්, තමා ඉන් දකින්නේ සේවාවේ ගුණාත්මකභාවයේ අඩුවක්යැ යි මහාචාර්යවරයා ප්‍රකාශ කරයි.

"විශේෂඥ කට්ටිය ගෝලීය වශයෙන් වැඩියෙන් සිසේරියන් සැත්කම් තියෙන රටවල් දිහා බලන්නේ, [සේවාවේ] ගුණාත්මකභාවය අඩු නිසා සිදුවෙන දෙයක් හැටියට."

cs 1

 

එසේම, සිසේරියන් සැත්කම් හේතුවෙන් ඉදිරි ප්‍රසූතිවල දී විශාල ගැටලු හා සංකූලතා ඇතිවිය හැකිබව ඔහු පවසයි. මෙනිසා, සෞඛ්‍යමය අවශ්‍යතාවකින් තොරව සිසේරියන් සැත්කම් සිදු කිරීමට බොහෝ රටවල දී අනුබල නොලැබෙයි. 

"හොඳ, ගුණාත්මක සේවාවකින් අපට [සිසේරියන් සැත්කම් ගණන] අඩුකරන්න පුළුවන්," මහාචාර්ය හේමන්ත සේනානායක අවධාරණය කළේ ය. 

 

මව්වරුන්ගේ අදහස්

 

ස්වභාවික ප්‍රසූතියට වඩා සිසේරියන් සැත්කම් පහසුයැ යි ද, ප්‍රසූතියේ දී ඇතිවන වේදනාව හා 'දරුදුක' අතර සම්බන්ධයක් තිබේයැ යි ද සමාජයේ පැතිරී ඇති මතය පිළිබඳව, ඒ දෙයාකාරයෙන් කුමන ආකාරයකට හෝ තම දරුවන්ට උපත ලබාදුන් මව්වරුන්ගේ අත්දැකීම් සහ අදහස් බෙදාගැනීමට හැකිදැයි පෞද්ගලික ෆේස්බුක් කාන්තා සමුහයකදී විමසනු ලදුව ඒ හා එකඟ වූ මව්වරුන්ගෙන් අපි විමසීමු. 

එහිදී ප්‍රතිචාර වශයෙන් පළවූ අදහස් සිය ගණනක් අතරින් අදාළ මව්වරුන්ගේ අනුමැතිය සහිතව, ඔවුන්ගේ අනන්‍යතාව හෙළිදරව් නොවන ලෙස අදහස් කීපයක් පමණක් තෝරාගෙන මෙම ලිපියෙහි පළකොට තිබේ.

 

cs 2

cs 3 

මෙහිදී අදහස් දැක්වූ සියයකට ආසන්න මව්වරු, ස්වභාවික ලෙස හා සිසේරියන් සැත්කමක් හරහා යන දෙවිදියටම උපත් ලබා දුන්නෝ වෙති. එනමුත්, ඒ සියලුදෙනාම මේ මාතෘකාව සම්බන්ධයෙන් දැරූ අදහස වූයේ ප්‍රසූතිය කුමනාකාරයෙන් සිදුවුව ද මවක් දරුවා වෙත දක්වන සෙනෙහස වෙනස් නොවනබව යි.

එසේම, "සීසර් සැත්කමින් දරුවන් බිහිකළ කාන්තාවන්ට 'දරු කැක්කුම' දැනෙන්නේ නැතැ" යි යන මතය ගැන ඉන් බොහෝදෙනා දැඩි කෝපය පළකර තිබුණි.

එක මවකගේ අදහස වූයේ "දරු උපත් සන්සන්දනය කිරීමම මහ තුච්ච වැඩක්" යන්න යි. "දරුවෙක් හොදින් පෝෂණය කරල, වැඩෙන්න සුදුසු වටපිටාව නිර්මාණය කරල, යුතුකම් වගකීම් ඉෂ්ට කරනව කියන දෙයින් එහාට, බාබා ලැබුණෙ මොන විදියට ද, කොච්චර වේදනා වින්ද ද, මව් කිරිම දෙනව ද කියන කාරණා මත නම් මට අනුව දරුවට අයහපතක් වෙනව කියල මං හිතන්නෙ නෑ," තවත් මවක් ප්‍රකාශකර තිබුණි.

ස්වභාවික ක්‍රමයට දරුවා බිහිකිරීම සඳහා පැය 36ක් ප්‍රසව වේදනා විඳ, පසුව සිසේරියන් සැත්කමක් හරහා දරුවා බිහිකළ මවක් අප හා මෙසේ පැවසුවා ය: "සූතිකාගාරයට යන්නෙ පාන්දර 5-6 අතරෙ. පහුවදා රෑ වෙනකල් ප්‍රසූත වේදනා එක්ක පැය තිස් ගාණක් උත්සාහ කළත් දරුවා එළියට එන්නෙ නෑ. වෛද්‍යවරයා තීරණය කරනවා සිසේරියන් සැත්කමකින් දරුවාව එළියට ගන්න. 'දරුකැක්කුං මෙතඩ්' එකටම පේවෙලා හිටියා නම්, අද මේ සටහන ලියන්න මමත් නෑ, මගෙ එහාපැත්තෙ තුරුල්වෙලා හුරතල්වෙවී ඉන්න බබාත් මේ ලෝකෙ නෑ."

 

cs 4

cs 5

 

(ස්මාට් ලේඩි සමූහයට විශේෂ ස්තුතිය පුදකරමු.)


318105364 6288022964583703 5745504666605713641 nඅමන්දා අබේසූරිය
(බීබීසී සිංහල සේවය )

 

 


JW
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්