ගිවිසුම් ගතව ලංකාව පූර්ණ යටත්විජිතයක් බවට පත් වූයේ 1815 මාර්තු 02වැනි දිනයේදීය. එයින් වසර 208කට පසුව එවැනි දිනයක පෙරවරුවේ නුගේගොඩ බැලලයිකා ගැලරි කැෆේහිදී නව අධිරාජ්‍ය විරෝධී අරගලයට

පණ පොවන  කෙරෙන කලා කෘතියක් එළිදැක්කේය. ඒ, Dozer හෙවත් මහපොළොවේ ගීතයක කතාවයි.

                             



වෙල්ලස්සේ ඉඩම් මංකොල්ලයේ සත්‍ය කතාව පාදක කරගනිමින් ලියැවුණු ඩෝසර් ගීතයේ පද ප්‍රවීණ රංගන ශිල්පී, ගේය පද රචක ප්‍රේමරත්න තෙන්නකෝන්ගෙනි. සංගීතවත් කරමින් ගායනා කරන්නේ ප්‍රවීණ සංගීතඥ සාදර බණ්ඩාරයන් විසිනි. ‘නව අධිරාජ්‍ය විරෝධී අරගය නවීණ පන්නයේ එකකි. එහි සංස්කෘතික අවිවලින් බේරීමට ඔවුනට කිසිදා නොහැකි වෙනු ඇත.’ ගීතය එළිදැක්වීමේ අවස්ථාව සංවිධානය කළ ‘සමාජවාදී කලා සංගමය’ කියා සිටී.

මෙම ගීතය එළිදැක්වීමේ අවස්ථාවේ විශේෂ දේශන ත්‍රිත්වයක් පැවැත්විණි. ඒ, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විසාකේෂ චන්ද්‍රසේකරන්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මහේෂ් හපුගොඩ යන අයගේ සහභාගිත්වයෙනි.

Dozer

ඊට අමතරව ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය දොඩම්ගොඩ සෝරත හිමියන් විසින්ද මෙහිදී අදහස් දැක්වීමක් සිදු කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ දේශකයින්ගෙන් පළ වූ අදහස් මෙසේය.


''ඩොසර් මහ පොළොවේ ඇත්ත මිනිසුන්ගේ දුකත් එක්ක නිර්මාණය වුණු ගීතයක්''


ඌව වෙල්ලස්ස ජන අයිතිය සුරැකීමේ පෙරමුණේ ප්‍රධාන අනුශාසක මොණරාගල දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, බිබිල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය දොඩම්ගොඩ සෝරත හිමි

“කඳුරට ගිවිසුමෙන් මේ ලංකාවම සුද්දට ලියලා දුන්නා. අපේ රටේ සියලු සම්පත් එකතු කරගෙන ගියා. සුද්දා අපට ආදරේට පාරවල් හැදුවේ නැහැ, කන්ද උඩරටට රේල්ලුව අරන් ගියේ නැහැ. මංමාවත් හැදුවේ අපේ සම්පත් ඒ රටවලට අරගෙන යන්න තමයි ඒ අවශ්‍ය දේ හැදුවේ. ඉතිහාසයේ අපේ රට නොයෙකුත් රටවල ආක්‍රමණවලට ගොදුරු වුණු රටක්. මේකට හේතුව ලෙස මම දකින්නේ අපි ලෝකයේ නිර්මාණශීලී ජාතිකයක්.

මෙසපොතේමියානු , නයිල් නිම්න, ඉන්දු නිම්න ආදී ශිෂ්ටාචර දෙස බලන විට ඔවුන් ජනාවාස බිහිකර ගත්තේ ගංඟ නිම්න ආශ්‍රිතව. නමුත් ලංකාවේ ජනතාව ගංඟා නිම්න ආශ්‍රිතව ජනාවාස හදාගත්තේ නැහැ. ඔවුන් වැව් නිර්මාණය කළා. වැවේ පස්වලින් දාගැබක් හැදුවා. ගංගාවක්, ඇළක් හරස් කරල, ඒ වතුර වැවට අරගෙන, වැව ආශ්‍රිතව වෙල්යායක් හැදුවා. ඒ අවට ජනවාස හදා ගත්තා. ඒ වගේම අපේ රට සම්පත්වලින් පිරුණු රටක්. ඒ නිසා තමයි මේ තරම් ආක්‍රමණවලට වර්තමානයේ පවා මුහුණ දෙන්න සිදුවෙලා තිබෙන්නේ.

334646843 1640203819762815 2710718345625950843 n

 එදා සුද්දා කන්ද උඩරට ගිවිසුමෙන් අපේ රට යටත් කර ගත්තා. ජනතාව පීඩාවට පත් කළා. මේ නිසා වෙල්ලස්සේ ජනතාව, තමන්ගේ ඉඩමේ ජීවත්වීමේ අයිතිය, නිදහස ලබාගන්න සටන් කළා. සුද්දා වෙල්ලස්සේ සමූල ඝාතනයක් කළා. සුද්දා කිවුවා “ගිනි නොගන්නා කළුගල් හැර අන් සියල්ල විනාශ කරන්න” කියලා. සුද්දා රට දාලා ගියේ, සුද්දගේ ඕනෑ එපාකම් ටික ඉෂ්ට කරන්න පුළුවන් කළු සුද්දෝ විසි තිස්දහසක් හදලා. ඒ කළු සුද්දෝ සුද්දන්ටත් වඩා සුද්දන්ගේ වුවමනා එපාකම් ඉටු කළා.

අද අපේ රටේ මේ වටිනා ඉඩම් සුද්දන්ට දෙනවා. 2005 වසරේ වෙල්ලස්සේ අක්කර හැටපන්දහසක් බහුජාතික සමාගමකට පිඹුරුපත් සූදානම් කර, 2006 කැබිනට් එකට දානවා. ඒ වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ. සුළු අපනයන භාරව සිටියේ මිල්රෝයි ප්‍රනාන්දු ඇමති, පළවෙනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා, වෙල්ලස්ස විනාශ කරපු එංගලන්තයේ බුකර්ටේට් කියන සමාගමට වෙල්ලස්සේ අක්කර 65,000ක් දෙන්න. නිල්ගල රක්ෂිතය, පුවක්පැලේ රක්ෂිතය, මාදුරුඔය රක්ෂිතය, මේ සියලුම රක්ෂිත භූමිත් එක්ක දෙන්න තමයි සූදානම් වුණේ.

330422070 144941188161534 7623153376156564726 n

අපට ශක්තිය දෙන, නූතන වෙල්ලස්ස සටනේ නායකයා, සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, වෙල්ලස්සේ මහා සංඝරත්නය ඇතුළු, සියලු ගොවි ජනතාව එකතු වෙලා “ඌව-වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ” ආරම්භ කරගෙන මේ සටන දියත් කළා.

අදට වසර විස්සකට ආසන්න වෙලා. අක්කර හැටපන්දහස බේරා ගන්න අපි ජනාධිපතිවරු තුන්දෙනෙක් එක්ක සටන් කළා. බහුජාතික සමාගම් තුනක්, හතරක් සමග සටන් කළා. අදටත් අපි ඒ භූමිය රැකගෙන අහිංසක ගොවියා වගාකරගෙන ජීවත් වෙනවා. කතරගම පැත්තෙන් ඩෝල් සමාගමට දීල තියෙනවා. රටටම බත සැපයූ, වැව් බැඳි රාජ්‍යයෙන් අනුරාධපුරයෙන් කෝමාරිකා වගාකරන්න ඉඩම් ලක්ෂයක් බහුජාතික සමාගම්වලට දීල තියෙනවා.

 

330287159 776107073476980 7972327763190800503 n 

 අද මාතෘ භූමිය පුරාම මේ අම්මව, මේ මහපොළොව රැකගන්න මිනිස්සු සටන් කරනවා. ඒ සටන් කරන මිනිසුන්ගේ වේදනාව, පීඩනය මේ ගීතයට පාදක වෙලා තිබෙන්නේ. ලෝකයේ සැබෑ සටන් අළලා ගීත නිර්මාණය වෙලා තිබෙනවා. මේ ගීතය ප්‍රේම් අතින් නිර්මාණය වෙන්නේ එහෙම. මහ පොළොවේ ඇත්ත මිනිසුන්ගේ දුකත් එක්ක නිර්මාණය වුණු ගීත. වෙල්ලස්සේ මිනිස්සු විඳින දුක එදා දැක්කා. ගොවියා රකින ආයතනවලට, පොලීසියට ගිහිල්ලා තෙල් පොහොර ටික නැතිව, කනකර බඩු උගස් තියලා, වගාකර ගත්ත බඩ ඉරිඟු ගස්ටික, කුරක්කන් ටික, තණ, මෙනේරි ටික කැති ගහලා, ඩෝසර් ගේනකොට ඒ ඉස්සරහා මිනිස්සු නිදියගෙන මේ මහ පොළාව රැකගත්තා. ආරක්ෂා කරගත්තා. ඒ වේදනාවන් තුළින් තමයි මේ ගීතය නිර්මාණය වෙලා තිබෙන්නේ. ඌව – වෙල්ලස්සේ ජනතාවගේ ප්‍රණාමය එතුමාට පුද කරනවා.”



''මෙය විකල්පීය රොක් ධාරාවේ ලංකාවේ යථාර්ථය කතා කළ ප්‍රථම සිංදුවයි'' - සබරගමුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහේෂ් හපුගොඩ


“ඩොසර් ලංකාවේ රොක් සංගීතයෙන් නිර්මාණය වුණු හොඳ හාඩ් රොක් එකක්. ෆොක් රොක් ඉතිහාසය පටන් ගන්නෙම භූමියත් එක්ක තිබෙන සම්බන්ධයකින්. “දිස් ලෑන්ඩ් ඉස් යුවර් ලෑන්ඩ්… දිස් ලෑන්ඩ් ඉස් මයි ලෑන්ඩ්” කියන රොක්වල හමුවෙන පළවෙනි සිංදුවක් ලෙස ගන්න පුළුවන්. ඒ කියන්නේ භූමියට කළ ආදරය. මනුෂ්‍යත්වයට කළ ආදරය. මේක ලංකාව අරගල ඇතුළේ ප්‍රධාන ධාරාවේ අරගලයක්.

330330021 136105709118724 7563894920375164882 n

ලංකාවෙ අයට හුරු පෙරදිග සංගිතය. එසේ වුවත්, රොක් හුරු නැති තත්වයක් තුළ තෝරා ගැනීම ලස්සනයි. මෙහෙ පොළොවේ ඉන්නවා නම් එහි යථාර්ථය සිංදුවකට ගේන්න පුළුවන් බව සාරද ඔබ ඔප්පු කර තිබෙනවා. මේ සිංදුව විකල්පීය රොක් ධාරාවේ ලංකාවේ යථාර්ථය කතා කළ ප්‍රථම සිංදුව බවට පත්වීමට නියමිතයි. ලංකාවේ ප්‍රධාන අරගලයක් එක්ක බැඳුණු අරගලයේ ගීතයක්.

ඉඩම් බහුජාතික සමාගම්වලට කුණු කොල්ලෙට කොහොමද දුන්නේ කියන එක ඉදිරිපත් කරනවා. සාමාන්‍ය ජන ජීවිතය විනාශ කරලා, ධනවාදී ලෝකයට ඇද දමන්න ඕනෙ කියන එක තමයි පශ්චාත් තර්කය වෙලා තිබෙන්නේ. එහෙත් මෙය අතිශය භයංකර ලෙස භූමිය සූරාකෑමක් සිදුවෙනවා.

 

 ගැමි ජනතාවට තිබෙන එකම දෙයත් භූමිය පමණයි. ඒ එකම දෙයත් උදුරා ගන්න තමයි මේ කැස කවන්නේ. මේ රටේ ජනතාවට යන්න තිබෙන්නේ කොහේද? ගැමි ජනතාවට අත්වෙන ඉරණම මේ ගීතයෙන් ඉදිරිපත් කර තිබෙනවා. මේ ශ්‍රී ලාංකික භූමියේ ක්ෂිතිමය අත්දැකීම් පදවැල ගෝලීය සංගීතයත් සමග මුසු කරලා විශ්වයට රැගෙන යන්න හැකි වුණොත් එය ගෝලීය අත්දැකීමක් වෙන්න පුළුවන්.”

 

333583611 754768729412383 936067753152234201 n 

''වෙල්ලස්ස ජන අරගලයේ සංස්කෘතික කොටස ප්‍රේම් සහ සාගර ඉතා මහන්සියෙන් කර තිබෙනවා'' - ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක

“මේ ගීතයෙන් ගොවියෝ, සාමාන්‍ය ජනතාව පෙත්සම්කරුවෝ කරනවා වෙනුවට සටන්කරුවෝ බවට ඉදිරිපත් කොට තිබෙනවා. එය ගීතයෙන් ලෝකයට ගෙනගොස් තිබෙනවා. පොදු ජනතාවගේ අරගලවල සංස්කෘතික කොටස ප්‍රේම් සහ සාගර ඉතා මහන්සියෙන් කර තිබෙනවා. සාගරගේ පියානෝ වාදනයත් දේශපාලනයට යොමු වීමක්. ඒ හේතුව මෙහි ඉදිරිපත් කරන්නේ ජන අරගලයක් පිළිබඳව.

 

 මේ අරගලය ගම්මුන් අතර රණ්ඩුවක් නොවේ. ගම්මු අතර වැටමායිම්වලට රණ්ඩු ඇතිවෙනවා. මේ ඉන්නේ ධනේශ්වර සමාජයේ ගොවීන්. මෙයාලා නිෂ්පාදනය කරන්නේ බඩඉරිඟු වෙළඳපොළට. තමන්ගේ කෑම සඳහා නොවේ. ඔවුන් අහිංසක නොවෙයි. ඔවුන්ගේ දරුපැටවු ඉස්කෝලේ යන්න ඕනෙ. ස්පිට්ල්ගේ ගල්වැද්දා නොවෙයි. නූතන ධනේශ්වර සමාජයේ මේ පීඩාව විසින් සූරාකෑමට කළ අය. ඔවුන්ගේ සබඳතාවය තිබෙන්නේ ධනේශ්වර වෙළඳපොළත් එක්ක. මේ සටන තිබෙන්නේ කේන්ද්‍රයෙන් එන මහාපරිමාණ ධනය, බලය, ස්මාර්ට් ලක්ෂණ සහිත ටයි, කෝට්, මෘදු, ඩිප්ලෝමැටික් භාෂාව කතා කරන, මාධ්‍ය අයිතිය තිබෙන, නීතිවේදීන්ගේ ශක්තිය තිබෙන, නිලධාරීන්ගේ හයිය තිබෙන, කළමනාකරණය තිබෙන, ප්‍රාග්ධනය තිබෙන මහා බලවේගයක් එක්ක.


334690524 596686192314205 3129204143738779269 n
හැබැයි එයාලට ස්මාර්ට්කමක් හෝ තර්ක, දැනුම ඇත්තේ නැහැ. එතනට ප්‍රේම් සහ සාගර යන නාගරිකයන් දෙදෙනාත් යනවා. තුන්වෙනි සාධකය වන නාගරික ක්‍රියාධරයන් එනවා. හාමුදුරුවෝ ඇතුළු ගම්වල මිනිස්සු මේ බිම් බේරගන්න සටන් කරනවා. වසර 200කට පමණ පෙර ඉතිහාසයේ වෙල්ලස්සේ සටන් වැද ජයග්‍රහණය කළ පරපුරේ සටන් උරුමයක් අරගෙන සටන් කරනවා. නාගරික ක්‍රියාධරයා මෙතනට යන එක වැදගත් වන්නේ ඇයි? එයා ස්මාර්ට් ලෙස දැනුම හා තර්ක අරගෙන යනවා.

එයා මෙය ලෝකයට දෙන්න දන්නවා. මෙතන මතවාදී අරගලයක් තිබෙනවා. සංවර්ධනය එපාද? ඔය අම්මලා තාත්තලා ඔය විදිහටම ඉන්න ඕනැද? අක්කරයකින් ලබාගන්න අස්වැන්න වැඩි කළ යුතු නැද්ද? ග්‍රීන් ටෙක්නොලොජි, ග්‍රීන් රෙවලූෂන්, දේශගුණයත් සමග සම්බන්ධ කරගෙන කොළපාට ඩෝසරයෙන් එනවා.

අරගලයක් දිනන්න නම් මතවාදී හයියක් තිබෙන්නේ වුවමනායි. හාමුදුරුවෝ ඇතුළු සමන්ත සහෝදරයා ගස් මහණ කළා. ගස්වලට සිවුරු ඇන්දුවා. එය ඉතාම ප්‍රබල කාර්යයක්. මේ සටන නිවැරදියි. මේක දිනන්න ඕන සටනක්. මෙය කේන්ද්‍රයයි ගොවි බිමයි අතර සටනක් නිසා මතවාදී හයිය වුවමනායි.

 මේ ඉඩකඩම් මංකොල්ලකෑම් නතර කරන්න ඕනෙ. ජනතාව ජීවත්වන සංස්කෘතික රටාව බලහත්කාරයෙන් වෙනස් කිරීමට ගන්නා උත්සාහය නතර කරන්න ඕනෙ. මේ ගැමි ජනතාව ඩෝසරය එන්න කලිනුත් සතුටින් ජීවත් වෙලා නැහැ. ජනතාව විපතක ඉඳ තිබෙනවා. ඩෝසරය මේ විපත ඛේදවාචකයක් කරනවා. කවුරුත් සහකම්පනයක් ඇතිව මේ ඛේදවාචකය නතර කළ යුතුයි. ඒ වගේම ජනතාව ඉන්නා විපතිනුත් බේරා ගත යුතුයි.

330377597 146069645021543 1156893149166466763 n

මේ ජනතාව මහා පරිමාණ කුකුල් කර්මාන්තය වෙනුවෙන් මේ බඩඉරිඟු වගා කරන්නේ. මහා පරිමාණ ධනවතුන් එන ගැටලුවක් බවට පත්වෙනවා. ආණ්ඩුවක් තීන්දුවක් ගත්තා සමාගමේ අයටම ඉඩම් දීමටත් ඒ අයටම වගා කටයුතු කරගන්නත්. මේ අය ධනේශ්වර සමාජයේ වුණාට මේ ගොල්ලන්ගේ මිල තීරණය කරන්නේ මහා පරිමාණ ගැනුම්කරුවෝ. ලංකාවේ බඩඉරිඟුවලින් කුකුල් කෑම හදන්නේ සීමිත ව්‍යාපාරිකයන් ටික දෙනෙක්.

ඒවායේ මිල තීරණය කරන්නෙත් මහා පරිමාණ ව්‍යාපාරිකයෝ. මේ ජනතාව ඩෝසරය එන්න කලිනුත් ගල් රෝලකට යට වෙලා ඉඳ තිබෙන්නේ. ඒ නිසා ඩෝසරය නතර කළාට ජනතාවගේ ගැටලු නිරාකරණය වෙන්නේ නැහැ. දිගටම අරගල කරන්න වෙනවා. මේ ධනයේ මහාපරිමාණ බලයෙන් මේ ජන ජීවිත කුඩුපට්ටම් කරන එක වෙනස් කරන්න මහා ජන අරගලයක අවශ්‍යතාවයක් අපට තිබෙනවා.”

ගීතය එළිදැක්වීමේ අවස්ථාවට පෙරදින ආචාර්ය මගේෂ් හපුගොඩ සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබිණ.

Screenshot 2023 03 04 at 5.15.26 PM

ඩෝසරේ හඬ සමග රොක් සයිකඩෙලියාව...

ගොම්මනට මුවාඋන රතුපාට හැන්දෑව
නිසැකවම සපථලයි නව ඉරක සේයාව
හෙට උදේ ඒ ඉරේ රැස්වලින් මුසපත්ව
පරපුරක් කෑගසයි නිදහසින් කුල්මත්ව.
අර සූර්යග්‍රහණයේ සාපයෙන් ඔත්පළව
තැනවැටී පණගසන මේ පොළව මාතාව
පැන්පොදක දෝවන්න - සුබපැතුම් ගෙනඑන්න
බිය නැතිව ඔබ තදින් අල්ලන්න මගෙ දෑත.
ගොවි බිම් මතින් නිනාන්ද වන එකළු අඬහැරය
නිදහසක ඇරඹුමයි මේ ඌව වෙල්ලස්ස
එක්සත්ව එක්සිත්ව ඒ අරුම අඬහැරය
රැගෙන එමු අපි සැවොම මේ ගාලු මුවදොරට.

(මහේෂ් හපුගොඩ)

(උපුටා ගැනීම් -lankatruth.com)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්