56 පෙරළිය අළලා, මාර්ටින් වික්‍රමසිංහ 'රසවාහිනි' සඟරාවට ලියූ බමුණු කුලය බිඳ වැටීම නම් ලිපිය වර්ෂයේ හොඳම ලිපිය ලෙස තෝරා රුපියල් 1000ක මුදල් ත්‍යාගයක්ද පිරි නැමීය.  



ඒ ලිපියෙහි වික්‍රමසිංහ සිය සමකාලීන දේශපාලන අත්දැකීම අළලා ලංකාවේ භාවිත ජන සම්මත වාදය විග්‍රහ කරන්නේ මෙසේය.

“ජන සම්මත වාදය නමින් හැඳින්වෙන්නේ වල්බූරු නිදහස නොවේ යයි රාමනාදන් මහතා කීවේ උගත් තරුණයන් විසින් ඔහු කුප්පනු ලැබූ අවස්ථාවක දීය. ඒ කියුමෙහි පෙරදිග ජනයාගේ සැලකිල්ලට භාජන විය යුතු වැදගත් කරුණක් ගැබ්වී ඇතැයි හැඟේ. ...... ජන සම්මත වාදය අවියකි. සුරුවමක් නොවේ. එහෙයින් ඒ අවිය භාවිත කරන සැටි විමසා  බලා එහි ගුණ දොස් විමසිය යුතුවේ. ජන සම්මත වාදය ධාතු කරඬුවක් සුරුවමක් කරන්නට තැත් කරන පණ්ඩිතයන්, ඔවුන්ගේ හෝ අන් කිසි බමුණු කුලයක හෝ සනාතන අයිතිකම් රකිනු පිණිස වේතනයට තර්ක කරන නීතිඥයන් ලෙස සැලකිය යුතුය.”

-දැනුම හා දැකුම ලිපි එකතුව. මාර්ටින් වික්‍රමසිංහ 118 පිට ප්‍රථම මුද්‍රණය 1958 සමන් මුද්‍රණාලය මහරගම


වල් බූරු නිදහසක් නොවි ය යුතු යයි කියැවෙන ජන සම්මත වාදය යනු, මේ දිනවල ඉහළම අගයකින් මහ පාරේ වෙන්දේසි වන ප්‍රජාතන්ත්‍රවාදය හැර වෙන යමක් නොවේ. මාර්ටින් වික්‍රමසිංහ කියන රාමනාදන් යනු සර් පොන්නම්බලම් රාමනාදන්ය.

ගිය සතියේ ආචාර්ය හර්ෂ සිල්වා, අර්බුදයෙන් ගොඩ ඒමට ක්‍රියාත්මක මහ බැංකුවේ ආර්ථික ක්‍රමවේදයන් සමග තමන් එකඟ බව කීය. ඒ සමගම “හැබැයි මැතිවරණයක් නො දෙන්නේ නම් අපේ සහාය කීයටවත් ලැබෙන්නේ නැත” අර හර්ෂ සිල්වාම දිවුරා කියයි. මෙය විලි ලජ්ජා නැති කියමනකි. මුන්ට බලය මිස ආර්ථිකය ගැන වාගේ වගක් නැත. රාජපක්ෂලාට රට භාර ගෙන කෙටි කලක් තුළ මහා විනාසයක් කර ගත් බව කාටවත් වගේ වගක් නැත.

 

HE Parliament 740x463

 

රාජපක්ෂලා තෝරා ගැනීමට පෙළ ගැසුණ රටේ බහුතර ජනතාව අපේක්ෂා කළ සෞභාග්‍යය, ජනාධිපති වික්‍රමසිංහ කෙටි කලක් තුළ යථාර්ථයක් කරමින් සිටියි. විෂය බද්ධ බුද්ධිමතෙකු වන රනිල් වික්‍රමසිංහ, ජනප්‍රිය නොවන විෂයබද්ධ තීන්දු ගැනීමට මහ බැංකුවට අවකාශ සලසමින් ප්‍රතිවාදින්ගේ දැඩි ප්‍රහාරයට ලක්ව සිටියි. ගෙවී ගිය හය මාසයක කාලයෙහි ජනතාව වික්‍රමසිංහ පිළිබඳ විශ්වාසයෙන් පවත්නා පීඩනයට මුහුණ දෙමින් ජීවිතයේ අත් නොවිඳි දුෂ්කරතා මැද අරපිරිමැස්මකින් ඉවසීමෙන් බලා සිටියහ. ඉවසීම ප්‍රජාතන්ත්‍රවාදයට අනුගතව හැසිරිමකි. අසූව දසකයේ අග භාගයේ මැතිවරණ ක්‍රියාවලියට එරෙහිව ප්‍රජාන්ත්‍රවාදයට තුවක්කු මානා ජන ඝාතනයකට මුල පිරූ අවතාර මැතිවරණ ඉල්ලා කරන අරගල  ගැන අර ඉවසන සාමාන්‍ය ජනතාව තුළ ඇත්තේ දැඩි භීතියකි.

හර්ෂ සිල්වාලා සහ ජවිපෙය මේ මැතිවරණය ඉල්ලන්නේ ජනාධිපති වික්‍රමසිංහගෙන්ද? මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගෙන්ද? රටේ ජනතාව ගෙන්ද? ඒ තුන් පාර්ශවයේම කඩිනම් අපේක්ෂාව ශක්තිමත් ආර්ථිකයක් මිස, ජනතා පරමාධිපත්‍ය ප්‍රකාශ නොවන මැතිවරණයක් නොවේ. රුපියල ශක්තිමත් වෙමින් පවතී. ලෝක සමීක්ෂණ වාර්තා අනුව, රටේ උද්ධමනය අඩුවේ. සංචාරකයන් පැමිණෙන රටට ආයෝජකයන් කැඳවා ගැනීම කඩිනමින් කළ යුතුවේ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කොට, ගොඩ නැගෙන රටට පහසු පරිසරයක් නිර්මානය කිරීම කාගේත් වගකීම විය යුතුය.  

335138002 5825537247494704 2297629701741279567 n

 

මාර්ටින් වික්‍රමසිංහ කී ආකාරයට විපක්ෂය, සුරුවමක් ධාතු කරඬුවක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය හිසේ තබා මේ යන්නේ බිලි පූජා අපේක්ෂාවෙනි. මාර්තු 7 වෙනි අඟහරුවාදා විරෝධතාව අතර සිසුන්ගේ ගල් ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කළ තිදෙනාගෙන් දෙදෙනෙකුම පොලිස් නිලධාරියෙකු හා මාධ්‍ය වේදියෙකි. අනෙකා ශිෂ්‍යයෙකි. එකී සිද්ධිමය කියැවීම අනුව, රටේ අරගලයෙන් පීඩාවට ලක්වන හැම තුනෙන් දෙදෙනෙකුම අරගල කරුවන් නොවේ. මෙය කඩිනමින් පාලනය කළ යුතු බරපතල තත්වයකි.

 

ගෝඨාගෙන් ගිලිහුණ රටේ පාලනය රාජපක්ෂලාට ගැති ඩලස් අලහප්පෙරුමට නොදී රනිල් වික්‍රමසිංහට පැවරුවේ 2015-19 යහ පාලන යුගයේ රටේ පැවති තත්වයට හෝ කඩිනමින් රට ගමන් කරවිය යුතු නිසාය. බටු කීයද? මිරිස් කීයද අසමින් රට රැවටූ මහින්ද රාජපක්ෂලා දූෂිතයන් බව රහසක් නොවේ. ඒ වන්දියට මහ පාරේ  නිරුවත් කොට පහර දි මරා දැමු පොහොට්ටුවේ අතුකෝරළ මන්ත්‍රිවරයා හොරෙකු තක්කඩියෙකු නොවූ බව පොළොන්නරු ජනතාවට සහතිකය. පොහොට්ටුවේ බහුතරය ඩලස් ප්‍රතික්ෂේප කර රනිල් වික්‍රමසිංහ තෝරා ගත්තේ ප්‍රමුඛ හේතු දෙකක් නිසාය. පළමුවැන්න  රාජපක්ෂලා විනාස කළ රට කඩිනමින් නගා සිටුවීමට රාජපක්ෂ ගැති වහලෙකුට ආත්ම ශක්තිමයක් හැකියාවක් ජන විශ්වාසයක් නැති කමය. දෙවැන්න රාජපක්ෂලා නිසා ජනතා වෛරයට ලක්වූ අතුකෝරාල වැනි මන්ත්‍රීන්ගේ ජීවිත දේපල ආරක්ෂාව වෙනුවෙනි. දූෂිතයන්ගේ සොරා කෑ මුදලින් රට ගොඩ නගනවා යයි කියන්නෝ මැයි 9 වෙනිදා ගම් දනව් ගිනි තිබ්බේ මිනි මැරුවේ නඩු අහලාවත් නොවේ. රනිල් යහ පාලන අවදියටත් විපක්ෂය 88-89ටත් රට තල්ලු කරමින් සිටින්නාහ.

 

ඉහතින් පෙළ ගැස්වුණ අරමුණු දෙකින් පළමුවැන්න රටේ සුභ සිද්ධියයි. දෙවැන්න පුද්ගල ආරක්ෂාවයි. මේ අපේක්ෂාවන් මානව වර්ගයා විසින් නිර්මානය කළ  ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තම අපේක්ෂාවන් වේ. සමගි සහ ජාතික ජන බලවේග දෙකම රනිල්ට නැත යයි කෑ ගසා කියන ජන වරම යනු රාමනාදන් කී වල්බූරු නිදහස නිරූපිත ජීවමාන සාක්ෂියකි. වල්බූරු නිදහස යනු මානව දයාවෙන් ප්‍රඥාවෙන් වියුක්ත මුග්ධ හැසිරීමකි. ඊට දැක්විය හැකි ජීවමාන උදාහරණය හර්ෂ සිල්වා නම් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදියාය. මෙහිදී ජවිපෙය උදාහරණයට නො ගන්නේ සමීපාතීත ලංකාවේ ප්‍රජාතන්ත්‍රීය සමාජයේ අනුර කුමාරලා ලාල් කාන්තලා යනු බැටළු හම් පොරවා ගෙන සිටි වෘක රංචුව බැවිනි.

2020 දී වසර හතරකට ජනතාව සහතික කළ තුනෙන් දෙකක පාර්ලිමේන්තු ජන වරමට අභියෝග කරන කිසිවෙකු ප්‍රජාතන්ත්‍රවාදී විය නො හැකිය. හේතුව 2019 හැට නව ලක්ෂයක් තේරූ ගෝඨාභය ගත් කිසිදු තීරණයක් ජන වරමට අනුගත නො වීමය. ගොවිතැනට බීජ සහ පොහොර නො ලැබීණ. බඩගින්න දිළිඳුකම වැඩි විය. රටට අවශ්‍ය ඉන්ධන ගෑස් විදුලිය හිඟ විය. පැසල් වැසී අධ්‍යාපනය අඩාල විය. පරිවහන පද්ධතිය බිඳ වැටීමෙන් ආයෝජන බිඳ වැටිණ.  පුද්ගලික රැකියා අවස්ථා හැකිළිණ. රාජ්‍ය සේවය අඩපන විය. ඉන්ධන පෝලිම්වල රැඳී සිටි පුරවැසියන්ගේ අකල් මරණ හේතුවෙන් රටම පාලකයන්ට සාප කළහ. ජූලි 13 වෙනිදා හෝ කිව් ආර් කේතය හඳුන්වා දුන්නා නම්, අදටත් ගෝඨාභය රටේ ජනාධිපති ය.

 

ජූලි 22 දෙවෙනිදා දහවල් වන තෙක්ම, රාජපක්ෂලා ඇති කළ ආරවුල වැඩි වුණා මිස අඩු නොවීය. රනිල් පාර්ලිමේන්තු බහුතරයෙන් රටේ ජනාධිපති වී පළමු පැයෙහි රටේ පාසල් අධ්‍යාපනය ආරම්භ විය. රාජ්‍ය සේවය වහා යථාවත් කර තමන්ට වාර්තා කරන ලෙසත් නියෝග කළේය. දෙවන දිනයෙහි කිව්ආර් කේතය හඳුන්වා දී ඉන්ධන පෝලිම් අවසන් කළේය. ඒ සමග තක්කඩින් අත්පත් කරගෙන සිටි ජනාධිපති ලේකම් කාර්යාලය ආරක්ෂක හමුදා යවා මුදා ගනිමින් ජන වරම හෙවත් ප්‍රජාතන්ත්‍රවාදයේ චාලක ශක්කිය (චලනය ඇති කරන ප්‍රභවය) ක්‍රියාත්මක කිරීමට රනිල් සමත් විය. ජනාධිපති  වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලය නම් කළේ මේ කාර්ය ඉටු කිරීමෙන් පසුවය. මේ අනුව රනිල් සිය ප්‍රමුඛතා අනුව මැතිවරණ ක්‍රියාවලිය හසුරුවන තෙක් බලා සිටීමට සිදුවේ. හේතුව ඔහු ජන වරමට අනුව අවශ්‍යතා පෙළ ගස්වා ඇති නිසාය.

 

ජන වරමක් රනිල්ට නැත කියන්නේ කෙසේද? ජන වරම ඒකාරාශී වන්නේ රටේ පොදු යහපත වෙනුවෙනි. විසි පස් දෙනෙකු දහ තුනක් සහ දොළහක් ලෙස බෙදුණ විට බහුතරය නිර්මානය වේ, වර්තමාන පාර්ලිමේන්තු බහුතරය ජනාධිපති වික්‍රමසිංහ ඇති තාක් ජන වරම ඔහු සතුවේ. 2022දී ප්‍රතික්ෂේපවූ  ගෝඨාගේ අනුප්‍රාප්තිකයා වීමෙන් 2020දී ප්‍රතික්ෂේපවූ රනිල්ට විධායකයට හිමි ජන වරම ආරෝපනය වී ඇත.

බංකොලොත් රටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අවශ්‍ය සහාය ලබා දීමට පැරිස් සමාජය මතු නොව චීනය පවා පෙළ ගැසුණේ ජනාධිපති වික්‍රමසිංහ හඳුන්වා දුන් මාර්ග සිතියම කෙරෙහි විශ්වාසයෙනි. චීනයට අවශ්‍ය වුණේ තවත් ණය දී ලංකාව තම මල්ලේ ඔබා ගැනීමටය. එහෙත් වීනය අභිබවා යමින් ලංකාවට අවශ්‍ය ආධාර දෙන තැනට ජාත්‍යන්තරය උනන්දු කළේ ලංකාවේ වර්ජන තර්ජන වලට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින රනිල් වික්‍රමසිංහ ය. ගෝඨාට රාජපක්ෂලාට ඩලස්ට අනුර කුමාරට නො පැවති ඒ ශක්තිය ජන වරම රනිල් සතු බව පාර්ලිමේන්තු බහුතරය විශ්වාස කරති. ජන වරම යනු එයයි.

මාර්තු 07 වෙනි දින ජනාධිපති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කළ කතාව ඇසූ මාලිමාවට කඩේ යන මධ්‍යම පන්තිකයෙකු කීවේ ඉතිරිව ඇත්තේ රනිල් දෙස බලා සිටීම පමණක් බවය. ඒ අවබෝධය යථාර්ථයට බෙහෙවින් සමීප ය. හර්ෂ සිල්වාලාත් නියෝජනය කළ යහ පාලන යුගයේ රාජ්‍ය සේවයේ ලොකු කුඩා හැමට රුපියල් 10,000.00ක වැටුප් වැඩිවීමක් ලබා දුන් අගමැති වික්‍රමසිංහට එයින් හත් වසරකට පසුව, රාජ්‍ය සේවයේ එක් ලක්ෂයට වැඩි වැටුප් ලබන්නන්  බදු නීතියට යටත් කිරීමට සිදුවිය. ජ්‍යෙෂ්ඨ පුරුවැසියන්ගේ තැම්පතු සඳහා නො වෙනස් 15%ක පොලියක් ලබා දුන් රනිල් වික්‍රමසිංහ වයස් සිමා නොතකා සියළු තැම්පතුවල පොලී ආදායමට බදු ගැසීමට සිදුවිය. යම් කාලයක් තුළ හෙතෙම ඒ යුගයට රට ගමන් කරවනු ඇත.

 



රට කෙරෙහි ජනතාව කෙරෙහි කරුණා සහගතව සිතයි නම් විපක්ෂයේ හර්ෂලා එරාන්ලා කල්පනා කළ යුත්තේ වෘත්තීය සමිති සටන් නතර කිරීමට උද්ඝෝෂකයන්ට බල කිරීම මිස, ලක්ෂ ගණන් පඩිකන උදවිය බද්දෙන් නිදහස් කිරීමට කතා පැවැත්වීම නොවේ. ඡන්ද පොළට යන පළමු දස දෙනාට මරණ වරෙන්තු නිකුත් කර ප්‍රජාතන්ත්‍රවාදය කනත්තට දැක්කූ ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයවන අරගලය රටේ යහපත වෙනුවෙන් සිදු කෙරෙන පෙළ ගැසීමක් නම් නොවේ. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත අනුව, අපේක්ෂිත ආදායම් නො ලැබුණ අවස්ථාවක රාජ්‍ය මුදල්  කළමනාකරණය අධිකාරිය පාර්ලිමේන්තුවට මිස භාණ්ඩාගාර ලේකම්ට පැවරී නැත. තමන්ට පාලනය කළ නොහැකි යම් ක්‍රියාවක් ගැන කිසිදු අධිකරණයකට තනි පුද්ගලයෙකුට වගකීම් ආරෝපණය කළ නො හැකි බව නීති විශාරදයන් දනිති.

තුන් කල් දුටු ඒ විශිෂ්ඨ ලේඛකයා විග්‍රහ කළ පරිදි, ජන සම්මත වාදය අවියක් මිස සුරුවමක් නොවේ. දෙවන ලෝක සංග්‍රමය හේතුවෙන්  බ්‍රිතාන්‍ය පාලකයන් රාජ්‍ය මන්ත්‍රණ සභාව මැතිවරණ කල් තැබීය. 1988 පළාත් සභා ජනාධිපති සහ මහ මැතිවරණ වලට එරෙහිව ජවිපෙ කැරළි ගසද්දී පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හමුදා ආරක්ෂාව යටතේ මැතිවරණ පැවැත්වීය. 2020 කොවිඩ් වසංගතය නිසා මහ මැතිවරණය කල් දැමීය. අද  අප මුහුණ දෙන්නේ නිදහස් ලංකා ඉතිහාසයේ දරුණුම ආර්ථික කඩා වැටීමටය. මේ ගැටළුවේදී ප්‍රමුඛතා පෙළ ගැස්විය යුතු ආකාරය ඉතිහාසයේ ලියැවී ඇත.

 

ඉන්ධන පෝලිම්වල ඇත්ත කතාව මෙන්න!

ජනාධිපති වික්‍රමසිංහ කිව්ආර් කේතය හඳුන්වා දෙමින් දින ගණන කිලෝ මීටර් ගණන් දිගට දිවා රාත්‍රි පැවති ඉන්ධන පෝලිම් එක් දිනක් තුළ අහවර කොට තෙල් පෝලිම් වලින් වාර්තාවූ අවාසනාවන්ත මරණ වාර්තාවීම නතර කළ බව මෙන්ම, ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්තලා හඳුන්නෙත්තිලා බිමල් රත්නායකලා රනිල් ජනාධිපති කොට එන කිසිදු මන්ත්‍රි කෙනෙකුට ගමට යාමට ඉඩ නොදෙන බවට පොල්දූව හන්දියේ සිට ප්‍රසිද්ධියේ කළ මරණීය තර්ජනය රටට මතක ය.

1911 දීත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිතා කරන්නන් සිටි බවට සර් පොන්නම්බලම් රාමනාදන් සාක්ෂි දරයි. ඒ අවදානම 1956දීත් ඉස්මතුව පැවති බව මාර්ටින් වික්‍රමසිංහගේ ලිපියෙන් තහවුරු වේ. නැවත 2023දී ප්‍රජාතන්ත්‍රවාදය යනු වල් බූරු නිදහසක් නොවන බවට ක්‍රියාවෙන් ඔප්පු කිරීමට ජනාධිපති වික්‍රමසිංහට පැවරී ඇත.

 

මට මෙහිදී කීර්තිමත් වෛද්‍ය විලියම් ඔස්ලර්ගේ ප්‍රකාශයක් සිහිපත් වේ. යහපත් වෛද්‍යවරයා රෝගයට ප්‍රතිකාර කරයි. ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා රෝගය වැළඳුණ රෝගියාට ප්‍රතිකාර කරයි. රනිල් වික්‍රමසිංහ නම් කෘතහස්ත රාජ්‍ය තාන්ත්‍රිකයා සිය භාවිතය තුළ රට වෙනුවෙන් යහපත් වෙනවාද ශ්‍රේෂ්ඨ වෙනවාද යන්න ඔහු විසින්ම තීරණය කළ යුතුව ඇත.




chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )

 
Anida



JW

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්