TikTokහි ප්‍රධාන විධායක නිලධාරියා එක්සත් ජනපදයේ සිය පළමු කොන්ග්‍රස් සාක්ෂි විභාගයට පෙනී සිටියේ, ජාතික ආරක්ෂාවට ගැටලුවක් යැයි ඇතැමුන්ට හැඟෙන මෙම යෙදුම රට පුරා තහනම් කිරීම සඳහා වන වර්ධනය වෙමින් පවතින ඉල්ලීම් මධ්‍යයේ ය.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව සහ බොහෝ යුරෝපීය රටවල රාජ්‍ය නිලධාරීන් විසින් කාර්ය මණ්ඩල දුරකථනවලින් මෙය තහනම් කිරීමත් සමඟ මෙම ඇප් එක භාවිත නොකරන ලෙසට වන තහනම් රැල්ල නොතකා, ෂෝ සී චූ (Shou Zi Che) මාස ගණනාවක් තිස්සේ චීනය පදනම් කරගත් මෙම වීඩියෝ බෙදා ගැනීමේ යෙදුම ආරක්ෂිත බවට තර්ක කර තිබේ.

වේගයෙන් වර්ධනය වන අදාළ සමාගම මැඩපැවැත්වීම සඳහා එකසත් ජනපදය විසින් සයිබර් ආරක්ෂණ බිය අතිශයෝක්තියට නංවන බවට චීනය චෝදනා කරයි. නමුත් මෙය එක්සත් ජනපදය තුළ බලහත්කාරයෙන් විකිණීමට හෝ එම සමාජ මාධ්‍ය ජාලය ඔත්තු බැලීමේ මෙවලමක් ලෙස භාවිත කළ හැකි බවට එල්ල වන චෝදනා මත සම්පූර්ණ තහනමක් පනවන්නැයි බල කිරීමක් ගොඩනැගෙමින් තිබේ.

2020 වසරේදී, එවකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක්සත් ජනපදයේ අතිශය සාර්ථක වුණු සිය යෙදුම තහනම් කරනු ලැබීම ඇස් මානයේ තිබියදී ඔවුහු ඉන් යාන්තම් ගැළවුණු අතර, TikTok විසින් ඇති කරන ලද සයිබර් ආරක්ෂණ අවදානම් පිළිබඳ දිනපතා නැගුණු ප්‍රශ්න රැසකට මුහුණ දුන්හ.

බොහෝ සංකීර්ණ නීතිමය අභියෝගවලට ස්තූතිවන්ත වන්නට, විවාදය එතරම් සාර්ථක වූයේ නැත. අවසානයේ 2021 වසරේදී ජනාධිපති ජෝ බයිඩන් ට්‍රම්ප්ගේ යෝජනාව අවලංගු කිරීමත් සමග එය නතර විය.

TikTok සමාගම වෙතින් සහ ජීවත් වීම සඳහා මුදල් සෙවීමට මෙම සමාජ මාධ්‍ය ඇප් එක මත යැපෙන මිලියන සංඛ්‍යාත බලපෑම් කළ හැකි පුද්ගලයින් සැනසිලි සුසුම් හෙළන හඬ ඔබට ඇසීමට ඉඩ තිබිණි.

නමුත් දැන්, මෙම වීඩියෝ යෙදුමේ වෙළඳ ලකුණු ලූප් කිරීමේ ආකෘතියක් පිළිබිඹු කරමින් ආරම්භ කළ ස්ථානයට ම නැවත පැමිණ ඇත.

තත්ත්වය දැන් බරපතළ වී ඇත.

වසර තුනකට පෙර ට්‍රම්ප්ගේ යෝජිත තහනම අතරතුර, TikTok ලොව පුරා මිලියන 800 වාරයක් පමණ බාගත කර තිබේ. ඇප් විශ්ලේෂක සමාගමක් වන Sensor Tower සමාගමට අනුව දැනට එහි බාගත කිරීම් බිලියන 3.5ක් ලෙස දැක්වේ.

 

DT 1

 

චීනය සහ බටහිර රටවල් අතර භූ දේශපාලනික ආතතීන් ඉහළ යෑමත් එයට එක් කරන්න. TikTok හි ගෝලීය අනාගතය වෙන කවරදාටත් වඩා අස්ථිර බව පැහැදිලිය.

ඉතින් TikTok ගැන දිගින් දිගට ම එන සයිබර් ආරක්ෂණ ගැටලු තුන මොනවා ද, සහ සමාගම ඒවාට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද?

 

1.TikTok 'අතිරික්ත' දත්ත ප්‍රමාණයක් රැස් කරයි

 

TikTok ප්‍රකාශිකාවක් බීබීසීය වෙත පැවසුවේ, මෙම යෙදුමේ දත්ත රැස් ක‍රන ක්‍රමවේදය කර්මාන්තයේ සිටින "අනෙකුත් සමාගම් අනුගමනය ක්‍රමවේදවලින් වෙනස් නොවන" බව ය.

TikTok පරිශීලකයින්ගෙන් විශාල දත්ත ප්‍රමාණයක් ලබා ගන්නා බවට විවේචකයෝ නිතර චෝදනා කරති. ඔස්ට්‍රේලියානු සයිබර් සමාගමක් වන Internet 2.0හි පර්යේෂකයන් විසින් 2022 වසරේ ජූලි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද සයිබර් ආරක්ෂණ වාර්තාවක් බොහෝ අවස්ථාවලදී සාක්ෂි ලෙස උපුටා දක්වති.

පර්යේෂකයෝ යෙදුමේ මූලාශ්‍ර කේතය (source code) අධ්‍යයනය කළ අතර යෙදුම "අධික දත්ත රැස් කිරීම" කරන බවට සඳහන් කළහ. විශ්ලේෂකයින් පැවසුවේ, පරිශීලකයින් සිටින ස්ථානය, ඔවුන් එය භාවිත කරන උපාංගය කුමක් ද යන්න සහ උපාංගයේ ඇති වෙනත් යෙදුම් මොනවා ද යන්න වැනි තොරතුරු TikTok මගින් රැස් කරන බව ය.

කෙසේ වෙතත්, Citizen Lab විසින් සිදු කරන ලද ඒ හා සමාන පරීක්ෂණයකින් නිශ්චය කළේ: "අනෙකුත් ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකා හා සසඳන විට, TikTok, පරිශීලක හැසිරීම නිරීක්ෂණය කිරීමට අනෙක් යෙදුම් හා සමාන ආකාරයේ දත්ත රැස් කරයි", යන්න ය.

ඒ හා සමානව, ජනවාරි මාසයේ ජෝර්ජියා තාක්ෂණ ආයතනය මෑතකදී නිකුත් කළ වාර්තාවක මෙසේ සඳහන් විය: "මෙහි ඇති ප්‍රධාන කරුණ නම්, අනෙකුත් බොහෝ සමාජ මාධ්‍ය සහ ජංගම යෙදුම් සිදු කරන්නේ එක ම දේ."

 

පරිශීලකයින් ගැන ඔත්තු බැලීමට චීන රජයට TikTok භාවිත කළ හැකි ය

 

TikTokහි ප්‍රකාශිකාව බීබීසීයට පැවසුවේ, සමාගම සම්පූර්ණයෙන් ම ස්වාධීන වන අතර "චීන රජයට පරිශීලක දත්ත ලබා දී නොමැති අතර අපගෙන් ඉල්ලා සිටිය ද එය නොකරන" බව ය.

එය පෞද්ගලිකත්වය පිළිබඳ ප්‍රවීණයන් (privacy experts) කෝපයට පත් කළ ද, අප බොහෝ දෙනා පිළිගන්නේ පෞද්ගලික දත්ත තොගයක් භාර දීම අප සමාජ ජාල සමග කරන ගනුදෙනුව බව ය.

ඔවුන්ගේ සේවා අපට නොමිලේ ලබා දීම වෙනුවෙන් ඔවුහු අප ගැන දැනුම රැස් කර ඔවුන්ගේ ම වේදිකාව තුළ වෙළඳ දැන්වීම් පළ කිරීමට භාවිත කරති. නැතහොත් ඉන්ටර්නෙට්හි තවත් තැනක අපට දැන්වීම් පෙන්වීමට උත්සහ කරන වෙනත් සමාගම්වලට අපගේ දත්ත විකුණති.

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ස්නැප්චැට් සහ යූ ටියුබ්, උදාහරණයක් ලෙස ගත්විට, සියල්ලම සමාන දත්ත ප්‍රමාණයක් රැස් කරන නමුත් ඒවා සියල්ලම එක්සත් ජනපදය විසින් ආරම්භ කරන ලද සමාගම් වේ.

මෙම වේදිකා මගින් රැස් කරන දත්ත ජාතික ආරක්ෂාව අවදානමට ලක් කළ හැකි අයහපත් හේතු සඳහා භාවිත නොකරනු ඇතැයි වසර ගණනාවක් පුරා, එක්සත් ජනපද නීති සම්පාදකයින්, ලෝකයේ අනෙකුත් බොහෝ දෙනා සමග, යම් මට්ටමකට විශ්වාසයක් ගොඩනගා ගෙන ඇත.

 

bbc shwu

 

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2020 වසරේ විධායක නියෝගයෙන් චෝදනා කළේ, TikTokහි දත්ත එකතු කිරීම චීනයට "ෆෙඩරල් සේවකයින් සහ කොන්ත්‍රාත්කරුවන් යන එන තැන් නිරීක්ෂණය කිරීමට, බ්ලැක්මේල් කිරීම සඳහා පෞද්ගලික තොරතුරු ගොනු තැනීමට සහ සමාගම් ගැන ඔත්තු බැලීම් කිරීමට" මග විවර කළ හැකි බව ය.

මේ දක්වා සාක්ෂි පෙන්වා දෙන්නේ, මෙය න්‍යායික අවදානමක් පමණක් බව ය. නමුත් 2017 වසරේදී සම්මත කරන ලද නොපැහැදිලි චීන නීතියක් නිසා බියක් ඇති වේ.

චීනයේ ජාතික බුද්ධි කටයුතු පිළිබඳ නීතියේ හත්වන වගන්තියේ සඳහන් වන්නේ, සියලු ම චීන සංවිධාන සහ පුරවැසියන් චීන බුද්ධි ප්‍රයත්නයන්ට "සහයෝගය, සහය සහ සහයෝගිතාව" දැක්විය යුතු බව ය.

මෙම වැකිය බොහෝ විට TikTok පමණක් නොව සියලු ම චීන සමාගම් ගැන සැක කරන පුද්ගලයින් විසින් උපුටා දක්වනු ලැබේ.

කෙසේ වෙතත්, ජෝර්ජියා තාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් තර්ක කරන්නේ, මෙම වාක්‍යය සන්දර්භයෙන් බැහැරව උපුටා ගන්නා ලද්දක් බව ත් පරිශීලකයින්ගේ සහ පෞද්ගලික සමාගම්වල අයිතිවාසිකම් ආරක්ෂා කරන අවවාදයන් ද නීතියට ඇතුළත් බව සලකන ලෙස ත් ය.

2020 වසරේ සිට, TikTok විධායක මණ්ඩලය නැවත නැවතත් චීන සේවකයින්ට, චීන නොවන පරිශීලකයින්ගේ දත්ත වෙත ප්‍රවේශ විය නොහැකි බව ජනතාවට සහතික කිරීමට උත්සහ කර ඇත. නමුත් බීජිං පදනම් කරගත් එහි සේවකයින් කිහිප දෙනෙකු අවම වශයෙන් එක්සත් ජනපද මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ සහ තවත් "කුඩා සංඛ්‍යාවක" දත්ත වෙත ප්‍රවේශ වූයේ ඔවුන් යන එන ස්ථාන නිරීක්ෂණය කිරීමට සහ ඔවුන්, මාධ්‍ය වෙත තොරතුරු හෙළි කළ බවට සැක කරන TikTok සේවකයින් හමුවන්නේ දැයි පරීක්ෂා කිරීමට බව දෙසැම්බරයේදී ByteDance පිළිගත්තේ ය.

TikTokහි ප්‍රකාශිකාව පවසන්නේ, දත්ත වෙත ප්‍රවේශ වූ සේවකයින් දෙසැම්බර් මාසයේදී සේවයෙන් පහ කළ බව ය.

සමාගම අවධාරණය කරන්නේ, පරිශීලක දත්ත එක්සත් ජනපදයේ සහ සිංගප්පූරුවේ ගබඩා ඇති අතර කිසි විටෙකත් චීනයේ ගබඩා කර නොමැති බව ය. තමන් වෙනත් ස්ථානවල ද දත්ත ගබඩා නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව සමාගම පවසයි. උදාහරණයක් ලෙස 2024 වසර වන විට එක්සත් රාජධානියේ සියලු ම දත්ත සහ යුරෝපා සංගමයට අයත් රටවල්වල දත්ත අයර්ලන්තයේ සැකසීමට සැලසුම් කර ඇත.

 

'මොළ ශෝධනය' කිරීමේ මෙවලමක් ලෙස TikTok භාවිත කළ හැකි ය

 

TikTokහි ප්‍රකාශිකාව මෙසේ පැවසුවා ය: "අපගේ ප්‍රජා මාර්ගෝපදේශ (Community Guidelines) අපගේ ප්‍රජාවට හෝ මහ ජනතාවට හානියක් විය හැකි ව්‍යාජ හැසිරීම් ඇතුළු වැරදි තොරතුරු තහනම් කරයි." යන්නය.

2022 වසරේ නොවැම්බරයේදී, ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් වේ එක්සත් ජනපද නීති සම්පාදකයින්ට මෙසේ පැවසීය: "චීන රජයට... නිර්දේශ ඇල්ගොරිතම (recommendation algorithm) පාලනය කරන්න පුළුවන් වුණොත් මහජන මතය හැසිර වීම ආදී කටයුතු සඳහා භාවිත කරන්න පුළුවන් වේවි."

චීනයේ පමණක් ඇති TikTokහි සහෝදර යෙදුම වන Douyin නිසා එම සැලකිලිමත් බව තවදුරටත් තිව්‍ර කරයි. එය දැඩි ලෙස වාරණය කර ඇති අතර අධ්‍යාපනික සහ යහපත් අන්තර්ගත වෛරල් (viral) වීම දිරිමත් කිරීම සඳහා නිර්මාණය කර ඇති බව වාර්තා වේ.

රජය විවේචනය කරන හෝ දේශපාලන නොසන්සුන්තාව උද්දීපනය කරන අන්තර්ගතයන් මකා දමන ඉන්ටර්නෙට් පොලිස් හමුදාවක් මගින් සියලු ම සමාජ ජාල චීනයේ දැඩි ලෙස වාරණය කර ඇත.

 

adkjats

 

TikTokහි නැගීමේ ආරම්භයේදී, යෙදුම මත වාරණය ක්‍රියාත්මක වුණු වැඩි අවධානයක් යොමු වූ අවස්ථා තිබිණි: සින්ජියැන්ග්හි මුස්ලිම් ජනතාවට චීනය සලකන ආකාරය ගැන අදහස් පළ කිරීම නිසා එක්සත් ජනපදයේ පරිශීලකයෙකුගේ ගිණුම අත්හිටුවිණි; දැඩි මහජන විරෝධයකින් පසුව, TikTok සමාව අයැද ඇයගේ ගිණුම නැවත ස්ථාපනය කරන ලදී.

එතැන් සිට, සියලු වේදිකාවලට මුහුණ දීමට සිදු වන ආන්දෝලනාත්මක මධ්‍යස්ථ තීරණ හැර වෙනත් වාරණ අවස්ථා තිබුණේ කිහිපයක් පමණි.

Citizen Labහි පර්යේෂකයෝ TikTok සහ Douyin සංසන්දනය කළහ. ඔවුන් නිගමනය කළේ, යෙදුම් දෙකෙහි භාවිත වන දේශපාලන වාරණය සමාන නොවන බව ය.

"මෙම වේදිකාව පැහැදිලිව පේන ආකාරයෙන් පෝස්ට් වාරණය කරන්නේ නෑ," පර්යේෂකයෝ පැවසූහ.

ජෝර්ජියා තාක්ෂණ ආයතනයේ විශ්ලේෂකයින් තායිවානයේ ස්වාධීනත්වය හෝ ෂී ජින්පිං පිළිබඳ විහිළු වැනි මාතෘකා ද සෙවූ අතර, ඔවුන් නිගමනය කළේ: "මෙම සියලු ම වර්ගවල වීඩියෝ TikTokහි පහසුවෙන් සොයා ගන්න පුළුවන්. බොහෝ ඒවා ජනප්‍රිය සහ පුළුල් ලෙස හුවමාරු වෙලා තිබෙනවා."

 

කල්පිත අවදානම

 

සමස්ත චිත්‍රය, එසේ නම්, කල්පිත බියක් - සහ කල්පිත අවදානමකි.

විචාරකයින් තර්ක කරන්නේ TikTok යනු, හානිකර නොවන බව පෙනුන ද, ගැටුම්කාරී අවස්ථාවලදී එය ප්‍රබල ආයුධයක් බව ඔප්පු කළ හැකි "ට්‍රෝජන් අශ්වයෙකු" බව ය.

මෙම යෙදුම දැනටමත් ඉන්දියාවේ තහනම් කර ඇත. ඉන්දියාව 2020 වසරේදී මෙම යෙදුමට සහ අනෙකුත් චීන සමාජ මාධ්‍ය වේදිකා රැසකට එරෙහිව ක්‍රියා කළේ ය.

නමුත් එක්සත් ජනපදයේ TikTok තහනම, ඊට විශාල බලපෑමක් ඇති කළ හැකි වන්නේ සාමාන්‍යයෙන් එක්සත් ජනපදයේ මිත්‍ර රාජ්‍ය බොහෝ අවස්ථාවලදී එවැනි තීරණ සමග එක්ව කටයුතු නිසා ය.

නැවතත්, කල්පිත අවදානම් මත පදනම්ව චීනයේ විදුලි සංදේශ දැවැන්තයෙකු වන Huawei සමාගමේ 5G තාක්ෂණය යෙදවීම අවහිර කිරීමට එක්සත් ජනපදය සාර්ථක ප්‍රවේශයක් ගනු ලැබූ අවස්ථාවේදී එය හොඳින් පැහැදිලි විය.

ඇත්ත වශයෙන් ම, මෙම අවදානම් ඒක පාර්ශ්විකව බව සඳහන් කිරීම වටී. වසර ගණනාවක් තිස්සේ චීන පුරවැසියන් සඳහා ප්‍රවේශය අවහිර කර ඇති නිසා චීනයට එක්සත් ජනපද යෙදුම් ගැන කරදර විය යුතු නැත.



ජෝ ටයිඩි - සයිබර් වාර්තාකරු
(BBC සිංහල සේවය)



JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image