සහය දිවීමේ තරගයක දී තරගයේ ජයග්‍රහණය සනිටුහන් කරන්නේ ආරම්භක තරගකරුවා හෝ තරගකාරිය නොව එය අවසන් කළ තරගකාරිය හෝ තරගකාරිය යි.

නමුදු එය ඔහුගේ හෝ ඇයගේ පුද්ගලික ජයග්‍රහණයක් නොවේ. ඒ ජයග්‍රහණය යනු තරගයේ ආම්භක තරගකරුවා හෝ තරගකාරිය ලබා දුන් ජවය යි. ඒ ජවය බිඳ නොදමා අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අනෙක් තරගකරුවන් හෝ තරගකාරියන් දැරූ උත්සාහයේ ඵලය යි.


යෂ්ටිය අත් නොහැරීමේ මහඟු ඵලය

 

ලෝකයේ සැම නවමු ජයග්‍රහණයක් පිටුපස ම පවතින්නේ මේ සිද්ධාන්තය යි. ඇතැම් විට තරගය අවසන් කර ජයග්‍රහණය සනිටුහන් කරන මොහොතේ තරගය ආරම්භ කළ පුද්ගලයා: තුවාල ලබා සිටිය හැකි ය, අබාධිත තත්ත්වයකට පත්ව සිටිය හැකිය; අතුරුදන්ව සිටිය හැකි ය; ඇතැම් විට මියගොස් සිටිය හැකි ය. නමුදු ඔහු හෝ ඇය ලබාදුන් ආරම්භක ශක්තිය නොනවත්වා ම පවත්වාගෙන යාම හේතුවෙන් තරගය ජයග්‍රහණය කරන්නට කිසිවකු හෝ සමත්වනු නොඅනුමාන ය. මේ සමත්වීම යනු තනි පුද්ගල ජයග්‍රහණයක් නොවේ.

rus

 

ලෝකය වෙනස් කිරීම සඳහා පළමු පියවර තැබූ ඇතැම් අයට ද මෙම මෙම ඉරණමට මුහුණ පාන්නට සිදුවී තිබේ; දැනට ද සිදුවෙමින් පවතී; අනාගතයේ ද එය එසේම සිදුවිය හැකි ය. සරල සහ ආසන්නතම උදාහරණය ලෙස සෝවියට් සමාජවාදී රාජ්‍ය බිහිවීම පෙන්වා දිය හැකි ය. එහි ජයග්‍රාහක නායකයා ලෙනින් වුව ද තරග ආරම්භකයෝ තිදෙනෙක් සිටියහ. මගේ කියවීමට අනුව එහි ආරම්භක තරගකරුවා වන්නේ ජොර්ජ් විල්හෙල්ම් ෆ්‍රෙඩ්‍රික් හෙවත් හේගල් ය. ඔහු රැගෙන ආ යෂ්ටිය කාල් මාක්ස් අතටත්, ඉක්බිති ෆ්‍රෙඩ්‍රික් ඒංගල්ස් අතටත් පත්ව ඉනික්බිති වි. අයි. ලෙනින් අතට පත්වන විට යෂ්ටිය රැගෙන ආ ආරම්භක ක්‍රීඩකයා මෙන් ම දෙවන ක්‍රීඩකයා ද මි යගොසිනි. නමුදු ඔවුන් රැගෙන ආ යෂ්ටිය බිම නොදමා රැගෙන යනනට ඒංගල්ස් සහ ලෙනින් දැරූ උත්සාහය හේතුවෙන් ලෝකයේ පළමු සමාජවාදි රාජ්‍ය බිහි කිරීමට හැකි විය. ඉදින් එහි ගෞරවය ලෙනින්ට මෙන් ම: හේගල්, මාක්ස් සහ ඒංගල්ස්ට ද සම සමව හිමි විය යුතු ය.


අවසානය දැකිය නොහැකි වනු ඇත; එහෙත් ඇරඹිය යුතු ය

 

ලාංකිය විප්ලවිය ඉතිහාසය තුළ (අධිරාජ්‍යවාදින්ට එරෙහිව කළ සටන් හැර) මෙතෙක් පූර්ණ ජයග්‍රහණයක් අත්පත් කරගත නොහැකි වුව ද, ඒ විප්ලවයේ ආරම්භක පුද්ගල චරිත වර්තමානයේ ධරමානව නොසිටිය ද ඔවුන් එබ‍ඳු විප්ලවයක් ආරම්භ නොකරන්නට අප රට තුළ වුව ද තවමත් වැඩවසම් යුගය ම පවතින්නට ඉඩ තිබිණ. නමුදු එසේ නොවී මේ ප්‍රමාණයෙන් හෝ පවතින්නට හැකිව තිබෙන්නේ ඒ විප්ලවවාදින් කළ කැපවීම් හේතුවෙනි; ඔවුන්: අතුරුදන් කිරීම, වධ බන්ධනයට ලක් කිරීම, සිරගත කිරීම මතු නොව ඝාතනය කිරීම යනාදිය පීඩකයාගේ කාර්ය වුව ද ඒ සියලු ව්‍යසන රටේ පීඩිත ජනතාවගේ අනාගත සුබ සිද්ධිය උදෙසා භාවිත කළ හැකි වන්නේ ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගය හේතුවෙනි. තවත් සරලව ම පවසන්නේ නම් අප අද ද ආරම්භ කළ යුත්තේ අනාගත පරපුර වෙනුවෙන් කළ යුතු සටනකි. එහි ඵලය භුක්ති විඳීමට ආරම්භකයා ජීවතුන් අතර නොසිටිය ද අනාගත පරපුර එහි ඵලය භුක්ති විඳිනු ඒකාන්ත ය.

 

යෞවන සාහිත්‍ය ස්පර්ශ නොකළ අනුභූතිය


puhul lampuයට කී සන්දර්භය සහිත ඉතිහාස කතා, නවකතා, කෙටිකතා සහ කාව්‍ය නිර්මාණ යනාදිය සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ නොඅඩුව පැවතිය ද යොවුන් සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ එබඳු අනුභූති පාදක කරගත් නිර්මාණ නොමැති තරම් ය; මා මෙතක් කියවා ඇති යොවුන් සාහිත්‍ය කෘති කිසිවක එබඳු අනුභූතියක් දක්නට නොලැබිණ. එම අඩුව පුරවාලන්නට ප්‍රියාන් ආර්. විජේබණඩාර විසින් රචිත ඔහුගේ අභිනව යොවුන් සාහිත්‍ය නිර්මාණය වන ‘‘පුහුල් ලාම්පු’’ කෘතිය සමත්ව ඇතැයි මට හැඟේ.

ඔහුගේ පළමු යොවුන් සාහිත්‍ය නිර්මාණය වූ ‘‘නෑ ඒ අම්මා නෙවෙයි’’ කෘතිය නිකුත් වන්නේ 2010 වසරේ දී ය. එය, 2011 වසරේ පැවති රාජ්‍ය සාහිත්‍ය උ‍ළෙලේ වසරේ විශිෂ්ටතම යොවුන් සාහිත්‍ය කෘතිය ලෙස රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබී ය. දෙවන යොවුන් සාහිත්‍ය කෘතිය වූ ‘‘එක ළඟට දෙක නෙවෙයි’’ නිකුත් වූයේ  2018 වසරේ දී ය. ‘‘පුහුල් ලාම්පු’’ ඔහුගේ තෙවන යොවුන් සාහිත්‍ය කෘතිය යි.

 

priya

‘‘පුහුල් ලාම්පු’’ කෘතිය තුළින් කතුවරයා සමාජ ගත කරන්නට යත්න දරන්නේ මෙතෙක් කිසිදු යොවුන් සාහිත්‍ය කෘතියක් තුළින් සාකච්ඡා නොකළ මාතෘකාවක් යැයි මට හැඟේ. මන් ද 1971 වසරේ පැන නැගි තරුණ අරගලයත්, 1987 – 89 කාල වකවානුවේ රටේ පැවති භීෂණකාරි වාතාවරණයත් යොවුන් සාහිත්‍ය කෘතියක් තුළින් ඉදිරිපත් කළා ද යන්න මා නොදනී.

ටෙනිසන් පෙරේරා විසින් රචිත ‘‘මැජික්කාරයාගේ කතාව’’ කෘතියේ කිසියම් විප්ලවකාරී පිබිදීමක සෙවණැල්ල වැටි තිබුණ ද එය ඍජුවම අදාළ සිදුවීම් පාදක කරගෙන රචිත කෘතියක් නොවේ. නමුදු ප්‍රියාන් යොවුන් පාඨක ප්‍රජාව වෙත ඉදිරිපත් කරන්නේ1987 – 89 කාල වකවානුවේ තමා ලද අත්දැකීම් ඇසුරෙන් නිර්මිත ප්‍රබන්ධයකි; තවත් ආකාරයකින් පවසන්නේ නම් එම කාල වකවානුවේ පැවති වාතාවරණය සියැසින් දුටු, හත්වන වසරේ සිසු සිසුවියන්ගේ අත්දැකීම් රාශියකි. මගේ මතකයට සාපේක්ෂව අදාළ කාලවකවානුවේ සිදුවීම් වැඩිහිටි පුද්ගලයෙකුගේ ඇසින් දුටු ආකාරය ප්‍රබන්ධ කෘති තුළින් කොතෙකුත් ඉදිරිපත් කර තිබුණ ද යොවුන් වියේ එළිපත්තේ සිටි පුද්ගලයෙකුගේ අත්දැකීම් ඇසුරෙන් රචිත පළමු යොවුන් ප්‍රබන්ධ කෘතිය මෙය විය හැකි ය යන්න මගේ විශ්වාසය යි. එය යොවුන් සාහිත්‍ය ගමන් මගේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සටහන් කළ ද එය නිවැරැදි ය යන්න මගේ හැඟීම ය.


යෞවනයාගේ සමාජ දැක්ම

 

සමස්ත කෘතිය පුරා ම සිය අත්දැකීම් ඉදිරිපත් කරන කථකයා, යොවුන් වියට එළඹෙන දරුවකුගේ සිතුවිලි සහ ඔහු සමාජය දකින, සහ දකින්නට කැමති ආකාරය ද ඉතා විවේචනාත්මක මෙන් ම විමර්ශනාත්මක දෘෂ්ටිකෝණයකින් ඉදිරිපත් කර ඇත. එනම්, යෞවනයා විමසන ඇතැම් පැන ස‍ඳහා වැඩිහිටියන් ලබා දෙන පිළිතුරු තුළ ගැබ්ව පවතින අසත්‍ය සහ වැරදි තොතරතුරු එම යෞවන තරුණ තරුණියන්ගේ අනාගතය කෙරෙහි කෙතරම් විනාශකාරී වාතාවරණයක් කැ‍ඳවන්නේ ද යන්න පිළිබ‍ඳව ද කතුවරයා වෙසෙස් අවධානය යොමු කර ඇත. එය සාහිත්‍ය කර්තව්‍යයේ නියැළෙන පිරිස් වෙතින් ඉටු විය යුතු ම යුතුකමක් පමණක් නොව වගකීමකි. නමුදු එබඳු යොවුන් සාහිත්‍ය කෘති මෙතෙක් ජනගත කෙරී ඇති ද යන්න සැක සහිත ය. එසේ වී ඇත්තේ යොවුන් නිර්මාණකරුවන් සහ නිර්මාණකාරියන්ගේ අකමැත්ත ද, එසේත් නොමැති නම් එබඳු අනුභූතියක් යොවුන් සාහිත්‍යට නොගැළපේ ය යන පසුගාමී සිතුවිල්ල ද යන්න ද විමසිය යුතු ය.

 

තීරකයා නොවන ප්‍රධාන කථකයා


උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් රචිත මෙම කෘතියේ ප්‍රධාන කථකයාගේ නම කොතනක හෝ ස‍ටහන් වී නොමැත. එසේ ස‍ඳහන්ව තිබුණ ද මගේ කියවීමට අනුව නම් එහි තීරක චරිතය වන්නේ ‘‘මාරෙ’’ හෙවත් ‘‘මාරසිංහ’’ ය. තරගයේ ආරම්භකයා ඔහු ය. ඔහු දුන් යෂ්ටිය රැගෙන යන කිහිප දෙනෙක් සිටිති. අවසන ඒ ඇතැම් තරගකරුවකු අතුරුදන් ය; මිය ගොස් ය; එසේ නොමැති නම් භීෂණය හමුවේ දිවි රැක ගැනීම සඳහා වෙනත් පෙදෙසකට පලා ගොස් ය. නමුදු තරග ආරම්භකයන්ගේ ඉල්ලීම වන පාසල් දූ පුතුන්ගේ දිවා ආහර වේල දිනාගැනීමට ඔවුහු සමත් වෙති. එය පසු කලෙක් ක්ෂය වී යන ආකාරය ද මෙරට පවත්නා දේශපාලන ක්‍රමයේ නිරුවත ඉතා සුක්ෂම ආකාරයට හෙළිදරව් කරන්නකි. ඒ අතර ම මෙරට දේශපාලකයන්ගේ ඇතුළාන්තය ඉතා කෙටි වාක්‍ය දෙක තුනකින් ප්‍රකට කරන්නට තරම් රචකයා සූක්ෂ්ම වී ඇත. ඒ සමග ම එබඳු දේශපාළුවන් කෙරෙහි මහා සංඝ රත්නය ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේ ද යන්න ද වාක්‍ය දෙකකින් විද්‍යමාන කරන්නට කතුවරයා සමත්ව ඇත.


ගෝර්කිගේ අම්මා සහ කිරි අම්මා


0038009මැක්සිම් ගෝර්කිගේ අම්මා කෘතියේ ප්‍රධාන චරිතය වන පාවෙල්ගේ අම්මා (ආන්නා) අපිට අමතක කළ නොහැකි චරිතයකි. එබඳු අම්මලා අපේ රටේ ද අනන්තවත් ජීවත් වන්නට ඇත; දැනුදු ජීවත්වනවා විය හැකි ය; අනාගතේ ද බිහිවිය හැකි ය. මෙම කෘතියේ එන ‘‘කිරි අම්මා’’ යනු එක් පසෙකින් ගත් විට පාවෙල්ගේ අම්මා වූ ආන්නාගේ ම ප්‍රති නිර්මාණයකි. ඇය සමස්ත කෘතිය පුරා ම ඇගේ අභිලාෂ විදාරණය කරන්නී ය. ඒ ස‍ඳහා සිය සැමියාගෙන් එල්ල වන බාධක පවා නොතකා හරින්නී ය. ඇය විප්ලවාදි තරුණ පිරිසට කෙතරම් ආදරයක්, කරුණාවක්, මෛත්‍රියක් සහ ස්නේහයක් දැක්වුවා ද යන්න මැනවින් ප්‍රකට කෙරෙන්නේ විප්ලවාදින් ඇය ඇතුළු පවුලේ සියලු දෙනාගේ ජාතික හැඳුනුම්පත් රැගෙන යාමෙන් අනතුරුව විප්ලවාදින් වෙනුවෙන් වෙන් කර තිබූ ආහාර ඔවුන් අනුභව නොකර තිබීම පිළිබ‍ඳ ඇය ශෝක වන අවස්ථාවේ දී ය. ඇය අන් කිසිවකු නොව පාවෙල්ගේ අම්මා වූ ‘‘ආන්නා’’ ම ය. ඒ අම්මා අපේ හදවතින් ඉවත් කිරීමට කෙතරම් අපහසු ද මේ කිරි අම්මා පාඨක හදවතින් ඈත් කිරීම ද එතරම් ම අපහසු වනු ඇතැයි මට හැඟේ.


නිල ඇඳුම සහ ගැමි තරුණයා

 

වසර තිහක් පුරා පැවති ජනවාර්ගික අරගලයේ දී එක බත් පත බෙදාගෙන කෑ සිංහල දෙමළ මිතුරු මිතුරියෝ දෙපසකට බෙදී සටන් වැදුණාහ. එක් පිරිසක් සිය ඉල්ලීම් වෙනුවෙන් අනෙකා ඝාතනය කරන විට අනෙකා පීඩක පාලකයාගේ අණට යටත්ව තමාගේ හො‍ඳ ම මිතුරා, මිතුරිය ඝාතනය කළේ ය. එය සාධාරණ ද අසාධාරණ ද යන්න නිශ්චය කළ නොහැකි ගැටලුවකි. නමුදු කතුවරයා අප වෙත හඳුන්වා දෙන ‘‘ලාල් මාමා’’ සහ ‘‘පේමා මාමා’’ යනු කළෙහි ගුණ දන්නා හමුදා සොයුරන් දෙපළක් ලෙස නාමකරණය කරයි. නමුදු ඔවුන් දෙවන වර සිය රාජකාරියට අවතීර්ණ වූ පසු සිදුවන්නට ඇත්තේ කුමක් ද...? ප්‍රධාන කථකයාගේ මාමා හෙවත් ‘‘චුටි මාමා’’ පුහුණුව අවසන් වූ පසු සිය රාජකාරිය කුමනාකාරයෙන් ඉටු කරන්නට ඇති ද...? කතුවරයා ඒ සම්බන්ධයෙන් යමක් පැවසීමෙන් වැළකී සිටිනවා ද එසේත් නොමැති නම් ඔහුගේ සැබෑ අත්දැකීම තුළ සිටි චරිත ත්‍රිත්වය මත තබා සියලු ආරක්ෂක බළකා පිරිසිදු හදවත් ඇති, අනුකම්පාසහගත සහ කළෙහි ගුණ දන්නා පිරිස් ලෙස ස්ථාන ගත කරා ද යන්න අවිනිශ්චිත ය. මන්ද මා දන්නා පරිදි නිල ඇඳුම ලාගත් හමුදා සෙබළා යනු හද්දා පිටිසර ගමේ විසු ගැමියා හෝ ගැමි මිතුරා නොවන බැවිනි.

 

ම්ලේච්ඡ විදුහල්පතිවරු අතර මානුෂික විදුහල්පතිවරයෙක්


භීෂණ සමයේ පාසල් සේවයේ නිරතව සිටි විදුහල්පතිවරු අතුරින් ඉතිහාසගත චරිතයක් වූයේ භීෂණ සමයේ ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ධුරය දැරූ දයානන්ද ගලප්පත්ති ය. එබඳු ම්ලේච්ඡ විදුහල්පතිවරු අතර විදුහල්පති නමැති තනතුරුට කැලලක් නොවන ආකාරයට කටයුතු කළ විදුහල්පතිවරු ද සිටියහ. කතුවරයා සිය නිර්මාණය තුළින් පාඨක ප්‍රජාවට හ‍ඳුන්වා දෙන්නේ එබඳු විදුහල්පතිවරයෙකි. ඔහු කෙතරම් සංවේදි පුද්ගලයෙක් ද යන්න කතුවරයා විද්‍යමාන කරන්නේ භීෂණය තීව්‍ර වූ මොහොතේ පාසල වසාදමන්නැයි බලධාරින් නියෝග කළ පසු පාසලේ සිසු සිසුවියන් අමතා අවසන්වන විට ඔහුගේ දෙනෙතින් ගලා යන කඳුළු බිඳු රූපකයක් ලෙස භාවිත කරමිනි.


විප්ලවවාදියෝ, ධනපතියෝ සහ සංඝ රත්නය

 

ප් රියාන්

ප්‍රියාන් ආර්. විජේබණඩාර


කතුවරයාගේ අත්දැකීමට අනුව හෝ ඔහුගේ ප්‍රබන්ධකරණයට අනුව ගම් වැසියන් අතර සිටි යම් මූල්‍ය බලයක් සහිත පුද්ගලයෝ ද විප්ලවවාදින් කෙරෙහි ධනාත්මක චින්තනයකින් හෙබි පුද්ගලයෝ වූහ. ගමේ පන්සලේ මහා නායක හිමි පවා ඇතැම් අවස්ථාවල දී විප්ලවාදින්ගේ දුක සැප සොයා බලන හිමිනමක් බව හඟවන්නේ ය. එකල එබඳු හිමිවරු ද වැඩ සිටි අතර පාවාදෙන වර්ගයේ හිමිවරුද වැඩ සිටි බව අප අමතක නොකළ යුතු ය; එබඳු හිමිවරුන්ගේ අවතාර තවමත් මේ ලක් දෙරණ පුරා හොල්මන් කරන බව ද අමතක නොකළ යුතු ය. ඔවුන් සිල් රෙද්ද පොරවාගෙන සිටින්නේ අවස්ථාව එළඹෙන තෙක් පමණි. ඒ පිළිබඳ ජනතාව අවදියෙන් සිටිය යුතු බව ද මේ මොහොතේ සිහිපත් කළ යුතු ය.

භිෂණ යුගයේ අත්දැකීම් සමුහයක් පාදක කරගනිමින් එතැන් සිට තවත් වසර පහ හයක් ඉදිරියට ඇදෙන ආකාරයෙන් රචිත ‘‘පුහුල් ලාම්පු’’කෘතියේ කුටප්‍රාප්තිය එළඹෙන්නේ ‘‘රංවල දෙවියන්’’ නමැති සංකල්පය මුදා හැරීමෙනි. ඒ අවසන් දෙබස් කණ්ඩ කිහිපයකින් ම මෙම ලිවීම ද අවසන් කිරීම වඩාත් යෝග්‍ය වන්නේ ය.

‘‘මං දැන් මෙතනින් ටුක් එකක් අරන් රංවලට යනවා. එහෙ වාහන ටිංකරින් වැඩ කරන කොල්ලෙක් ඉන්නවා මං දන්න.’’

‘‘රංවල දෙවියො නෙවෙයිනෙ?’’ මං ඇහුවෙ විහිළුටයි.

‘‘නෑ... ඒත් රංවල දෙවියො කියන්නෙත් අපේ කෙනෙක් තමයි... එක අතකට අපේ අයියලා කියන්නේ, රංවල දෙවියන්ට තියන ‘පුහුල් පහන්’ වගේ. අපේ සියලා නම් කියන්නෙ ‘පුහුල් ලාම්පු’ කියල.’’ මාරෙ ටිකකට නැවතුණා.

‘‘ඇයි ඒ?’’ මං ඇහුවා.

‘‘සීයලා පුහුල් ලාම්පු කියන්නෙ ද? මාරෙ, පෙරළා මගෙන් ඇහුවා.

‘‘නැ නෑ... මට ඒ කතාව තේරුණෙ නෑ.’’ මං කීවෙ ඇත්ත.

‘‘පුහුල් කීවට පුහුල් නෙවෙයි. ලාම්පු කීවට ලාම්පුත් නෙවෙයි. ඒත් තෙල් තියෙනකල් පත්තු වෙනව. අරමුණ උතුම්. කවදාවත් හමු නොවෙච්චි සමහර විට හමු නොවෙන දෙවි කෙනෙක් වෙනුවෙන් පාවිච්චි වෙනවා.’’


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


2023/04/17  


 

JW



       

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්