අප්‍රේල් අරගලයට වසරක් ගෙවී වර්ජන තර්ජනද වියැකෙමින් සිංහල හින්දු අලුත් අවුරුදු උදාවට පසුව විපක්ෂය දියත් කළ අලුත්ම පිම්ම වගාවට පරිසරයට හානිකර රිලා අයිතිවාසිකම් වෙනුවෙනි.



පොහොර බිත්තරද හිඟයද, මැතිවරණ කුලප්පුව, බදු ප්‍රතිපත්තියට බාල්දි පෙරළීම ආදි ප්‍රකෝටියක් සටන් පාඨ අතීත සිහිවටන පමණකි. සැබෑ අරගලය අපේක්ෂා කළ සිස්ටම් චේන්ජ් එක රටේ සාර්ථකව සිදු වෙමින් පවතී. ඊට එරෙහි සාම්ප්‍රදායික දේශපාලන ව්‍යාපාර එක පොදියට ප්‍රතික්ෂේප වී  හමාර ය. අද ඉතිරිව ඇත්තේ රිළවුන් රට පැටවීමට එරෙහි ව්‍යාපාරයකි. රාජපක්ෂ සනුහරයම එක මිටියට බැඳ ගෙදර යැවූ සැබෑ අප්‍රේල් අරගලයට රනිල් වික්‍රමසිංහ පාලනය කිසි විටෙකත් ගැටළුවක් සමාජ අර්බුදයක් නම් නො වීය. (සමහරු අරගලයේ නායකයා රනිල් කියන්නේත් ඒ නිසාය.)

 

422875d9 8f9fc434 rani pm 850x460 acf cropped

ගෝඨාගේ දෙ අවුරුදු පාලනය හේතුවෙන් 2022 මාර්තුව වන විට, රට තුළ පැවති කැළඹිල්ල දේශපාලන විසඳුමකින් ජන මතයකින් මැතිවරණයකින් සටන් පාඨයකින් පිළියම් කළ නො හැකි බව රනිල් වික්‍රමසිංහ, බලයට පත්ව එක් දිනක් ඇතුළත කිව්ආර් කේතය හරහා තහවුරු කළේ ය. රට වැටුණේ හැට නව ලක්ෂයක් ජනතාව පත් කළ නායකයා අසාර්ථක වීම නිසාය. වඩාත් දැඩිව ඉස්මතුවූ ඉන්ධන අර්බුදය එක් රැයකින් පාලනය කළ කිව්ආර් කේතය නම් ප්‍රාතිහාර්ය, 2020 මහ මැතිවරණයෙන් බහුතර ජනතාව පාර්ලිමේන්තුවේ තනි අසුනකට හකුලා දැමූ රනිල් වික්‍රමසිංහගේ ශක්තිය තහවුරු කිරිමකි. ඒ ශක්තිය තවදුරටක් රටට අවශ්‍ය ද නැද්ද යන්න ජනතාව 2024දී තීරණය කරනු ඇත. හැමදාම බලයට පත්ව රටට උචිත දේ සිදු කර ගෙදර ගිය රනිල් වික්‍රමසිංහ කිසි විටෙකත් ජනතාව රැවටීමට දේශපාලනය කළේ නැත.

 

අද රට සුරපුරයක් වී නැතුවා විය හැකිය. එහෙත් රටේ ආර්ථිකය ජන ජීවිතය 2018 පැවති සමාජ ආර්ථික හා දේශපාලන වටපිටාවට සමපාත වෙමින් පවත්නා බව රහසක් නොවේ. එය රට ආපස්සට යාමක් නොවේ. ප්‍රපාතයට යොමුව පැවති රටත් ජනතාවත් තිරිංග දමා පැවති අනතුරෙන් මුදවා ගැනීමකි. රටේ ආර්ථිකය 2018 ආර්ථිකයට සමපාත වෙමින් පවත්නා බව කියන්නේ 2018ට පසුව රටේ ජනතාවට සිංහල හින්දු අළුත් අවුරුද්දක් සැමරීමේ ඉඩකඩ ලැබුණේ 2023 වසරේ වීම නිසාය. කිරි උතුරා සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින්  2019 අප්‍රෙල් 14 වෙනි ඉරිදා අවුරුදු නැකත් ඉටු කළද, එයින් දින හතක් ඇවෑමෙන් උදාවූ  පාස්කු ඉරිදා ක්‍රියාත්මක කළ දේශපාලන කුමන්ත්‍රණය හේතුවෙන් මුළු රටම  මළ ගෙයක් විය. එය යහ පාලනය පරදවා 2019දී ගෝඨා රටේ පාලකයා කරවීමට ඇද්ද දේශපාලන උගුලකි. එජාපය විනාස කොට, සජිත් ප්‍රේමදාස සමගි ජන බල වේගය පිහිටුවා ගත්තේ 2020දීය. හරි හෝ වැරදි හෝ මේ සියලු තීරණ ප්‍රජාතන්ත්‍රවාදිව ජනතාව විසින් ගනු ලැබීය. එහෙත්  2022දී  රනිල් යළි රටේ නායකත්වයට පත් වීම  නිර් දේශපාලනික ජන අරගලයක ජයග්‍රහණයකි.

 

2018න් පසුව, 2022 අරගලය තෙක් රටේ මිනිසුන්ට අවුරුදු තබා මඟුල් තුලාවකදි එකතු වීමේ අයිතිය අහිමි වී තිබිණ. රට නැවත හුස්ම ගනිමින් වටපිට බැලුවේ 2022 ජූලි 13 වෙනිදායින් පසුවය. රනිල්ගේ නිවසට ගිනි තිබ්බාට රනිල් වික්‍රමසිංහ තමන්ට භාර කළ රටත් රටේ ආර්ථිකයත් ගිනි තියන්ට කිසිවෙකුට ඉඩ තැබුවේ නැත. 2023 වැන්නෙහි අප්‍රේල් මස 14 වෙනි සිකුරාදා අපර භාග 02.59ට සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වී සිංහල හින්දු අළුත් අවුරුද්ද උදා වුණේ අවුරුදු හතරක් පුරා රටත් ජනතාවත් වෙලාගෙන පැවති කාලකනිනි මුස්පේන්තුකම යටපත් කරමිනි.

ගෙවී ගිය මාස නවය තුළ උද්ධමනය අවම විය. ඩොලරය, රුපියල පිළිබඳ ආරංචි සතුටුදායක විය. සිව් වසරක් වැසී පැවති පාසල් විවෘත විය. රාජ්‍ය සේවය සක්‍රිය විය. ඖෂධ හිඟය මඟ හැරිණ. ජාත්‍යන්තරයේ සංග්‍රහශීලි දෙ අත් ශ්‍රී ලංකාවට දිගු විය. නාමල් ශෂීන්ද්‍ර බේබිලාගේ යුගය අවසන්ව, කාංචන විජේසේකරලා ෂෙහාන් සේමසිංහලා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ලා ලොහාන් රත්වත්තේලා දිලුම් අමුණුගමලා රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ නව ගමනකට අවතීර්ණය වූහ.

හැට නව ලක්ෂයක් අතින් සිදුවූ වැරැද්ද ජනතාව වෙනුවෙන් නිවැරදි කළේ අප්‍රේල් අරගලය විසිනි. රාජපක්ෂලා කම්බස් වී යටපත්ව පැවති තරුණ ශක්තිය රටේ ප්‍රගමණනයට දායකවීම යනු නව බලාපොරොත්තුවකි. නිර්දේශපාලන අරගලයක ප්‍රබෝධය යටපත් කිරීමට ආචීර්ණ කල්පිත බල ලෝභීන්ට ශක්තියක් තිබේද?

 



 

සජිත් වෙනුවට ජනතාව වෙනුවෙන් රනිල් බලයට පත් කළේ අරගලයේ ආවේගය මිස රාජපක්ෂලා නොවේ. බලයට පත් වහාම ජනාධිපති වික්‍රමසිංහ, රාජපක්ෂලාගේ 20 වෙනි සංශෝධනය අහෝසි කිරීම යනු රාජපක්ෂලා නෛතිකව බෙලහීන කිරීමකි. විධායක බලය දඬු කඳේ ගස්වා ත්‍රිවිධ හමුදා බැරැක්ක තුළ රැඳවීමට සමත් වූ අප්‍රේල් අරගලයේ ජවය ගෝඨා ගෝ හෝම් කීවේ රටට අවශ්‍ය ක්ෂණික විසඳුමක් අපේක්ෂාවෙනි. හෝ උචිතයා කැඳවීම සඳහා ය. තුනෙන් දෙකේ බලයෙන් සන්නද්ධව සිටි විධායක ජනාධිපති ගෙදර යවා තනි මන්ත්‍රි වරයෙකුට රට භාර දීමට පාර්ලිමේන්තු බහුතරය පොළොඹවන  ලද්දේ අරගලය මිස රාපක්ෂලා නොවේ.

 

මන්ත්‍රිවරයෙකු මරා දැමීමෙන්, දේපල ගිනි තැබීමෙන්, පොල්දූව හන්දියේදි ගමට යන්ට ආවොත් බලා ගන්නම් යයි තර්ජනය කිරීමෙන් තැති ගත් පාර්ලිමේන්තු බහුතරයට මෙන්ම රටේ ජනතාවටද අවශ්‍ය වුණේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියෙකුගේ ආරක්ෂාවය. ඒ වනවිට අරගලය ඩැහැ ගත් තක්කඩින් රනිල්ගේ ගෙයද පුළුස්සා  දමා තිබිණ. ඒ පෙරළිය හරහා තේරී  පත් වූ රනිල් ශ්‍රී ලංකාව නව ගමනකට යොමු කර හමාරය ඊට එරෙහිව, සරසවි සිසු ජීවිත අවතැන් කළ වසන්ත මුදලිගේ හා වගා පාලු කරන  කැලේ රිලවුන් ඉදිරියට දමා රට අවුල් කරන්නේ  සජබයන්  ජෙප්පන් හා පෙරෙට්ටන් විසිනි. අවාසනාව උනුන්ද එකාට එකා නැත.

.

එදා සුනිල් හඳුන්නෙත්තිලා අප්‍රේල් අරගලයේ අරමුණ කුමක්දැයි අවඥාවෙන් ප්‍රශ්න කළේ අරගලය ඔවුන්ගේ නොවන නිසාය. ගෝඨා නික්ම ගිය තැන්  පටන් පාරේ වීරයන් වෙමින් මන්ත්‍රින් මරා ගෙවල් ගිනි තැබූ විප්ලව කල්ලි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ගිනි තැබීමට උත්සාහ කරද්දී විපක්ෂ බහුතරය හිමිව සිටි විපක්ෂ නායකයා රනිල්ගේ ගෙට ගිනි තියලාවත් රටේ අගමැතිකම ලබා ගැනීමට අසමත් වීය. අන්තිමේ ජනාධිපති තරඟයට ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කරන තරමට සජිත් ප්‍රේමදාස නම් විපක්ෂ නායකයා බංකොලොත්වී සිටියේය. ප්‍රජාතන්ත්‍රවාදි රටේ අප්‍රේල් අරගලයට නායකත්වය දෙමින් මෙහෙයවීය යුතුව තිබුණේ සජිත් ප්‍රේමදාස විසිනි. එහෙම නොවුණේ සජිත් ප්‍රේමදාසගේ බැරිකම නිසා බව රටම තේරුම් ගෙන හමාරය.

 

basil ranil 1000px

පසුගිය ලිපියකින් මා ඍජුව විමසා සිටියේ ඊළඟ ජනාධිපති සටනේ විපක්ෂයේ සහාය ලබන පොදු අපෙක්ෂකයා කවුද කියාය. ඒ වනවිට අනුර, සජිත් පොන්සේකා ආදි කිහිප දෙනෙකු ජනාධිපති වීමට ජවන පිටිය ශාරීරික අභ්‍යාස කරමින් සිටියාහ. 2023 නව අවුරුදු නැකත උදා වීමත් සමග රට කතා කරමින් සිටින්නේ ඊළඟ ජනාධිපති රනිල්ද බැසිල් කියාය. එහි තේරුම අනුර, සජිත් පොන්සේකා තිදෙනාම තවමත් මූලික සුදුසුකම් හෝ ලබා නො ගත් බව පමණක් නෙවේ. අප්‍රේල් අරගලය විසින් නිශේධ කළ රාජපක්ෂලා යළි කරළියට පැමිණ සිටින බවය. ඉදිරි ජනාධිපති මැතිවරණයට රනිල් බැසිල් දෙදෙනා ඉදිරිපත් වුණොත් විපක්ෂය ඉදිරිපත් කරන තෙවැනි ශක්තිවන්තයා කවුද? බලය සඳහා අදටත් උනුන් මඩ ගසා ගන්නා සජිත් අනුර කුමාර දෙදෙනාට තවදුරටත් රනිල් රාජපක්ෂ කල්ලියට තල්ලු කර රට රැවටිය නොහැකි ය. රාජපක්ෂලා මේ යළි පිබිදීම අප්‍රේල් අරගලයෙන් තමන්ට අහිමි වූ සියල්ල ආපසු  ලබා ගැනීමටය. රනිල් බැසිල්  තරගයේදී අනුරලා සජිත්ලා පෙනී සිටින්නේ කාගේ අයිතිවාසිකම් වෙනුවෙන්ද?

2024 නොවැම්බර් තෙක් රනිල් වික්‍රමසිංහ කොහොමටත් රටේ විධායක ජනාධිපතිය. විපක්ෂයේ එකට අසුන් ගන්නා සජිත්ලා අනුරලා උනුන් මරා ගනිද්දී, මැදමුලන බැසිල් රාජපක්ෂගේ නම යළි ඉස්මතු වෙන්නේ අප්‍රේල් අරගලය විසින් රාජපක්ෂලා බලයෙන් පහ කළ පසුව, රටට විකල්පය වූ රනිල් වික්‍රමසිංහ අනුරලා සජිත්ලා සිය පොදු හතුරා කර ගැනීමේ කරුමය පඩිසන් දීම නිසාය.

පසුගිය සතියේ අනිද්දා පුවත්පතේ මැතිවරණයට නෑ කියන සල්ලි කප්පම් හාල් සඳහා රනිල් වික්‍රමසිංහ වැය කිරීම ගැන සංඛ්‍යා ලේඛන සහිතව පළවූ ලිපිය කියැවූවෙකුට ඩී.එස්. සේනානායක ජනපද ව්‍යාපාර පිහිටුවන ලද්දේත් කප්පම් සඳහාදැයි ප්‍රශ්න කළ හැකිය. එසේම විසි ලක්ෂයක් රටේ දුප්පතුන් කප්පම් කාරයන් වන්නේ රනිල්ගෙන් සහන ලබන නිසාද? රනිල් දෙන පොහොර සහනයත් කප්පමක් වේද? ජනාධිපති ගෝඨාභය පිරමීඩ් සමාගමේ වාසියට සීනි බද්ද එක් රැයකින් ශත 25ට බස්සවා හය මාසයකට අවශ්‍ය සීනි ආනයනය කළ පසුව යළි මිල වැඩි කළ ගැසට් සෙල්ලම සමග රනිල් මැතිවරණ නවතා හෝ බඩගින්නට  හාල් දීම කප්පමක් ලෙස අර්ථ දක්වීම රෙද්ද කඩා හිසේ බැඳ ගැනීමට වඩා යමක් නොවේ.

 

sugar scam

රාජපක්ෂලා බදු සහන දුන්නේ තෝරා ගත් හෙන්චයියන් අතලොස්සකටය. රනිල් බදු නීතිය ක්‍රියාත්මක කරවන්නේ  රටේ පහළ පන්තියට නොවේ. තම දරුවන්ට ජනප්‍රිය පාසල් දෙන තෙක් රෝගීන්ගේ ප්‍රතිකාර නවතා වැඩ වර්ජනය කළ වෛද්‍යවරුන්ටය. උත්තර පත්‍ර නො බලා දරුවන් ප්‍රාණ ඇපයට ගත් සරසවි ඇදුරන්ටය. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අඩාල කොට විදුලි මාෆියාව අවියක් කොට ගත් විදුලි ඉංජිනේරුවන්ටය.

මැදමුලන රාජපක්ෂලාට අහිමි බලය අතැතිව සිටින ජනාධිපති වික්‍රමසිංහගේ රාජ්‍ය පාලනය සාමාන්‍ය ජනතාව දකින්නේ එසේය. ජනාධිපති වික්‍රමසිංහ රාජපක්ෂලා පත් කළ ඉත්තා නම් රටේ ජනතාවට සහන ලබා දීමට ජාත්‍යන්තර අරමුදල සමග ගිවිසුම් ගසන්නේ නැත. අදටත් වීරවංශලා මෙන්ම අනුරලාත් අයිඑම්එෆ් යාම අනුමත නො කරති. ප්‍රශ්නය  අයිඑම්එෆ් නොවේ. රනිල් අයිඑම්එෆ් යාමය. රිලා සටන මෙන් රනිල් කරන හැමදේම ප්‍රතික්ෂේප කිරීමය. 2005දී මේ කල්ලි රනිල්ට එරෙහිව රාජපක්ෂලාගේ වේදිකාවට නැගී රටේ විනාසයට අත් උදව්  දුන් බව මතක ඇති  කිසිවෙකු අනුරලාගේ වැදි බන අසන්නේ නැත.

අප්‍රේල් අරගලය පුද්ගලවාදි නොවීය. ඔවුන් අපේක්ෂා කළේ සිස්ටම් චේන්ජ් එකක් පමණකි. ගෝඨා පළවා හැරීමෙන් පසුව සියල්ල ප්‍රජාතන්ත්‍රවාදිව සිදු වේ යයි අපේක්ෂා කළ අරගලය, ලාල්කාන්ලා මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රින්ට මරණ බය ඇති කළේ නැත. එදා අන්තිම රාජපක්ෂත් පසු බසිද්දී විපක්ෂය සිය පොදු සතුරා ලෙස රනිල්ට ඇඟිල්ල දිගු කර ගෝ හෝම් බැනරයට රනිල්ගේ නම ඇලවූහ. ඒ නිමේෂයේ සමාජයෙන් සැඟවුණ බැසිල් රාජපක්ෂලාබ යළි සමාජ ගතවන්නේ අප්‍රේල් අරගලයට එරෙහිවය. ජවිපෙ, සජබ බලවේග අප්‍රේල් අරගලය විනාස කිරීමේ පාපයට කර ගැසිය යුතුවේ.

 

aadas

විපක්ෂය ඉල්ලන මැතිවරණ ගැන රටේ බහුතර ජනතාවගේ උවමනාව නොවේ. පවුල් වාදයට රනිල් තිත තැබූ වග ඔහුගේ තරුණ කැබිනට් සගයන් තේරුම් ගෙන හමාරය. මැද මුලන බත් පතේ රම්පේ කැරපිංචා ලෙස සැලකූ කන්චනලා, ලොහාන්ලා, ප්‍රමිතලා, ශෙහාන්ලා සියඹලාපිටියලා ජනාධිපති වික්‍රමසිංහ වෙනුවෙන් රටේ හෙට දවස භාර ගැනීමට සූදානම්ව සිටිති. බොරු  කියා ජනතාව සිය මඩි තරකර ගත් රාජපක්ෂලාට අවනතව සිටි මේ තරුණයන් රටේ යහපත වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු ගනිමින් සිටිති. රාජපක්ෂලා තීරණ ගත්තේ රටේ නොව, පවුලේ හෙට දවස වෙනුවෙනි. රනිල්, කන්චන විජේසේකරලා, ලොහාන් රත්වත්තේලා, ප්‍රමිත තෙන්නකෝන්ලා, ශෙහාන් සේමසිංහලා සියඹලාපිටියලා සමග රටේ ජනතාවගේ හෙට දවස  ගොඩ නැගීමට වෙර දරයි. ඒ කිසිවෙකු රනිල්ගේ නෑයෙකු හෝ එජාප සාමාජිකයෙකු නොවේ.

 

මේ සිස්ටම් චේන්ජ් එක තුළ විපක්ෂය සිටින්නේ කොහේද? අරගලයෙන් පිබිදුණ රටේ ජනතාව 2024දීත් රාජපක්ෂලාට එරෙහි අරගලය කරනවාමය. එදාට අනුරලාට සජිත්ලාට ජනතාවට හිතකර තීන්දුවක් ගත යුතුව තිබේ. හෝ වෙන වෙනම සටන් වැදී රාජපක්ෂ කඳවුර ශක්තිමත් කර නැවත රාජපක්ෂලාගේ රාජාභිෂේකයට සහභාගි විය හැකිය. ප්‍රාදේශීය සභා බලය අල්ලා රට ගොඩ නැගීමට සිතන විපක්ෂයට රටේ ගතික වෙනස තේරුම් යන්නේ නැත.




chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image