ජනාධිපති සහ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැඳින්වීම මන්ද මානසික තත්වයකි.

සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශයක් නිවැරදි කරමින් රනිල්ගේ පත්වීම ව්‍යවස්ථානුකූල බවට හිටපු පාර්ලිමේන්තු මහ ලේකම් ප්‍රියානි විජේසේකර කළ කරුණු දැක්වීම රනිල්ට කඩේ යාමක් බවත්, තමන් සජිත් වෙනුවෙන් පෙනී නො සිටින බව අනිද්දා පත්‍රයේ පළ වූ ලිපියෙන් ගාමිණි වියන්ගොඩ කළ කරුණු දැක්වීම අප්‍රේල් අරගලය හේතුවෙන් දේශපාලනිකව අවතැන් වූ සාම්ප්‍රදායික විපක්ෂය වෙනුවෙන් නිකුත් වූ නිවේදනයකි.

පූර්වාදර්ශ දක්වා කරුණු තහවුරු කළ ප්‍රියානිගේ මතයට එරෙහි වියන්ගොඩ ගොඩ නගන සුජාත භාවය යන්න විෂයබද්ධ විග්‍රහයක් නොවේ. සජිත්ලාට අනුව රනිල් ජනාධිපති කිරීම වැරදි ඩලස් පත් කිරීමට න්‍රියා නො කරන්නේ ඇයි? එසේම නම් ජූලි 22ට පසු පාර්ලිමේන්තුව අනුමත කළ කිසිදු අණපනතකට පැවැත්මක් නැත. සජිත් - වියන්ගොඩලාගේ මේ සුජාත ව්‍යාපෘතිය සරලව ගනියි නම් දරාගත නො හැකි පුද්ගල වෛරයක් මිස, ව්‍යවස්ථානුකූල විග්‍රහයක් නොවේ.

par 22.7.20

ගෝඨා නික්ම යාමෙන් ඇබෑර්තු වූ විධායක පුටුවට රනිල් පත් කළේ ව්‍යවස්ථාවෙහි නිරවුල්ව දැක්වෙන ප්‍රතිපාදන අනුව මිස පස්සා දොරෙන් හෝ හොර රහසේ නොවේ. ජනාධිපති තෝරා ගැනිමට දින වකවානු නියම කළ අතර, ඒ අවස්ථාවේ තිදෙනෙකු තරග වැදිණ. De Facto හෝ De jure යන විග්‍රයන් අනුව ගොල්පේස් අරගලය පාලකයා නෙරපා හැරීමට අනුප්‍රාප්පතිකයා පත් කිරීමට බල නො කළෙන් එකී වගකීම ව්‍යවස්තානුකූලව De jure හෙවත් පවත්නා ක්‍රමයට අනුගතව පාර්ලිමේන්තුවට පැවරිණ. රනිල් ඩලස් සහ අනුර කුමාර තිදෙනා ගෙන් පාර්ලිමේන්තු බහුතරය රනිල් තෝරා පත් කළහ. වියන්ගොඩම කියන ආකාරයට රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්වීම සුජාත නො වන්නේ ව්‍යවස්තා අර්බුදයක් නිසා නොවේ.

z p08 The to

 

බණ්ඩාරනායකගේ ඇබෑර්තුවට බණ්ඩාරනායක මැතිනියත් ප්‍රේමදාසගේ ඇබෑර්තුවට විජේතුංග මහතාත් ගෝඨාගේ ඇබෑර්තුවට රනිල් වික්‍රමසිංහත් පත්වීම ව්‍යවස්ථානුකූලව සිදුවිය. සැමියාගෙන් පුරප්පාඩුවට මැතිනිය ඍජුව පත් කළේ නැත. පක්ෂ නායකත්වය ලැබීමටද යම් කලක් ගතවිය. සිවිල් චරිතයක් හැටියට 1960 ජූලි මහ මැතිවරණය ජයග්‍රහණය කරවූ එතුමිය සෙනෙට් සභාව නියෝජනය කරමින් අගමති ලෙස රට පාලනය කළාය.

වියන්ගොඩට අනුව, ”රනිල් වික්‍රමසිංහගේ පත්වීම ගැන ඉදිරිපත් වන කිසි විවේචනයක, ඒ කියනා ව්‍යවස්ථානුකූලත්වය ගැන ප්‍රශ්න කරන කරන බවත් අප දැක නැත. ඒ සම්බන්ධයෙන් වන සෑම විවේචනයක්ම පදනම් වුණේ ඊට වෙනස් පදනමක් මතය. අප එය හඳුන්වන්නේ සුජාත භාවය යනුවෙනි.” ඔහු කියන්නේ පත්වීම ව්‍යවස්ථානුකූල වුවද පිළි නොගන්නා බවය. වියන්ගොඩ කියන සුජාත භාවය යථාර්ථයක් නම් ජනාධිපති වික්‍රමසිංහ හඳුන්වා දුන් කිව්ආර් තේකයෙන් ලබන ප්‍රතිලාභ මෙන්ම 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා එහි සියලු ප්‍රතිලාභ සුජාත නොවේ. පියාගේ නම නොමැති උප්පැන්නයක් හිමි දරුවා අවජාතකයෙක් (**ගෙ පුතෙක්) ලෙස පිළිගන්නා නීතියක් රටේ නැත. මේ කියන මනෝ මූලික සුජාත භාවය ද්වේෂ සහගත පරිභවයකි. සිය දෙවසරක රාජ්‍ය පාලන කෙරුවාවෙන් රටක් බංකොලොත් කළ ගෝඨාභයට කිසිවකු අවජාතකයා යයි නො කියන්නේ ජන වරමක් පැවති නිසා බව සජිත්ලා වියන්ගොඩලා විශ්වාස කරන හැටියකි.

අවජාතක යන්නෙහි විරුද්ධාර්ථය වන සුජාත භාවය සිංහල ශබ්ද කෝෂ විස්තර කරන්නේ මනා සේ උපන්නාය ලෙස දැක්වේ. ජාතක කිරීම යනු දරු ගැබක් ඇති වීමට හේතුවන ජීව විද්‍යාත්මක සංසිද්ධියයි. ලිංගිකව එක්වීම හෙවත් ජාතක කිරීම හා ප්‍රසුතිය එකිනෙකට වෙනස් ය. සුජාත භාවය යනු නිර්බාධිත ප්‍රසුතියක් මිස පියා පිළිබඳ විමසීමක් නොවේ. නැඹ පිරිමැද පිළිසිඳ ගත් කතා සාහිත්‍යයෙහි දැක්වේ. නැඹ පිරි මැදීමෙන් පිළිසිඳ ගැනීමත් අවජාතක අවලාදයත් දෙකම කල්පිත විය හැකිය. එහෙත් නල දරු උපත් යනු තවත් ව්‍යතිරේකයකි.

 

viyan
ගාමිණි වියන්ගොඩ

රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම පවා  වියන්ගොඩට අනුව සුජාත නොවේ. පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගැසූ කතානායක පුටුව පොළොවේ ගැසූ පිහියා ලෙල වූ කිසිවෙකුගේ සුජාත භාවය මෙහිදී වියන්ගොඩට ප්‍රශ්නයක් නොවේ. පාස්කු ප්‍රහාරයට නම ගෑවුණ මෛත්‍රිපාල සිරිසේනගේ පාර්ලිමේන්තු නියෝජනය වියන්ගොඩට අනුව ගැටළු සහගත නැත. එය ඍජු මැතිවරණයෙන් පත්වීමකි. රනිල්ට විරුද්ධ නිසා, මහාචාර්ය චරිත හේරත්ගේ ජාතික ලැයිස්තු නියෝජනය වියන්ගොඩට අනුව සුජාතය. අපරාධ නඩුවකදී පවා චරිතය සාපෙක්ෂ කරුණකි. තුනෙන් දෙක සලකා බැලීමේදී ජාතික ලැයිස්තුවේ 29 දෙනා වෙන් කර නො දක්වති. රනිල් වික්‍රමසිංහගේ පත්වීමට අභියෝග කිරීම යනු සජිත් වැටී සිටින වලට වියන්ගොඩ කැමැත්තෙන් පැනීමක් නො වේද? වියන්ගොඩ මැදිව සිටින්නේ ව්‍යවස්තා අර්බුදයකට නොව මානසික ආතතිකයකට හෝ ආත්මීය වැමෑරීමකටය. රනිල් ජාතික නායකයෙකු නිසාත් ජාතික ලැයිස්තුවට නුසුදුසු බව වියන්ගොඩ කියා සිටියි. ඡන්ද රැස්වීමකට වෙඩි තබා මිනී මරා එල්ලුම් ගස් ගිය චොකා මල්ලි, රනිල්ට සාපේක්ෂව ජාතික නායකයෙකු නොවේ.

රනිල්ට එරෙහි තම මතය තහවුරු කිරීමට වියන්ගොඩ ලිපියේ මෙසේද, කියයි. “අනෙක් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ පක්ෂයට  ඒ මැතිවරණ දෙකේදී ඡන්දය පාවිච්චි කළ ජනතාවගේ අභිලාෂය මේ අවස්ථාවේදි (රනිල් පත් කිරීම හේතුවෙන්) ඉඳුරාම කනපිට හැරවෙයි.” වියන්ගොඩගේ මේ තර්කය  පොහොට්ටුව ජයග්‍රහණය කරවූ  බහුතරය වෙනුවෙන් පෙනී සිටීමකි. යහ පාලනය බිඳ වැට්ටූ  හැට නව ලක්ෂයේ අභිලාෂය සෞභාග්‍යයේ දැක්මද? වඳ කොත්තුද? වෛද්‍ය ෂාපිද? ඔබයි අපේ මිනිසාද? දූෂණ වංචා නඩුවලින් රාජපක්ෂලා බේරා ගැනීමද? වියන්ගොඩ රනිල් සවුත්තු කිරීමට, පොහොට්ටුවට කඩේ ගිය බහුතරයේ අභිලාෂයට අනේ අපොයි කියන්නත් පෙළඹෙයි.  

රටේ බහුතරය ගෝඨා ජනාධිපති කළේ සීනි කිරිපිටි හාල් පොල් ඉන්ධන හිඟයක් පැවති නිසා නොවේ. සිංහල අම්මාලා වඳ කරවීමට එරෙහිවය. සජිත් එජාපය කඩාගෙන නොගියා නම් 19 ව්‍යවස්ථා නීතිය අහෝසි කිරීමට රාජපක්ෂලාට තුනෙන් දෙකක් ලැබෙන්නේ නැත. අරගලයෙන් ප්‍රතික්ෂේප කළ රාජපක්ෂලා නැවත නැගිටින වේගයට මාලිමාවට ටෙලිපෝනයට හැරෙන්නවත් බැරි බව පමණක් වියන්ගොඩ තේරුම් ගත යුතුවේ. මේ කරන්නේ සුජාත භාවයේ මතවාදය මිස වියන්ගොඩ විමසා බැලීමක් නොවේ.

 

2015දීත් 2022දීත් රාජපක්ෂලා පළවා හැරියේ නිර්දේශපාලනික ශක්තියෙන් මිස බංකොලොත් තක්කඩි පක්ෂ දේශපාලනය විසින් නොවේ. රනිල්ට මෙසේ දේශපාලනිකව පහර දීමෙන් යළි රාජපක්ෂලා බලවත් වේ. 2015දීත් 2022දීත් රනිල් යනු රාජපක්ෂ විරෝධි කඳවුරේ සිටි පුරෝගාමියෙකි. ගෝල්පේස් අරගලය අපට පැවරූ වගකීම් දෙකකි. පළමුවැන්න රටක් ලෙස ශක්තිමත් වීමය. දෙවැන්න රාජපක්ෂලා ජාතික දේශපාලනයෙන් ඉවත් කිරීමය. ගෙවුන මැයි දිනය යනු  ශක්තිය ඒකරාශී කිරීමක් නොවේ. බලයට කෑදරව කල්ලි ගැසීමක් මිස රටේ ප්‍රශ්න ගැන කතා කළ එකෙක් නැත. රාජපක්ෂලා දිනවූ හැට නව ලක්ෂයක් දෙනාගේ සැබෑ අභිලාෂය නියෝජනය කරන පාර්ලිමේන්තු බහුතරය රනිල් පත් කළේ රාජපක්ෂලාගේ නොව ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනි. අද ඔවුන්  නිරුපද්‍රිතව ගමට යති. දේශපාලනය කරති. රාජපක්ෂලා විනාස කළ ආර්ථිකය යළි ගොඩ නැගෙන්නේ රනිල්ගේ පාලනය තුළය. සජිත් කියන්නේ එදා අයිඑම්එෆ් එපා කී පොහොට්ටුවන් සමග වැඩ කළ නොහැකි බවය. මේ ප්‍රතික්ෂේප කරන්නේ පොහොට්ටුවන් නොවේ. රනිල්ය. 

 

රනිල්ගේ පත්වීම  සුජාතද? උත්තර පත්‍ර බලනවාද? වර්ජන කරනවාද? යන්න රටේ බහුතරය  විසින් තීරණය කරනු ඇත.  වියන්ගොඩලා සජිත්ලා රනිල්ට එරෙහි වන්නේ අර හැට නව ලක්ෂයේ අභිලාෂය වෙනුවෙන් නම් යළි බලයට පත් වන්නේ රාජපක්ෂලාම මිස සජබය හෝ මාලිමාව  නොවේ. මා විපක්ෂය ඉබාගාතේ යතියි කියන්නේ මේ මන්ද බුද්ධික දෙපරාදුව නිසාය. එපමණක් නොවේ. ව්‍යවස්ථා ප්‍රතිපාදන මනෝ මූලික කරුණු මත දියාරු කිරීම යනු ජන සමාජ පදනම විනාස කිරීමකි.

රනිල් වික්‍රමසිංහ පිළිබඳ මේ ලේඛකයාටද විවේචන බොහෝය. ජනාධිපති වික්‍රමසිංහ රටේ පාලකයා හැටියට වගකීමෙන් රටේ පැවැත්ම වෙනුවෙන් ගන්නා ලද රාජ්‍ය තාන්ත්‍රික පියවර යටපත් කිරීමට ඒ විවේචන සමත් නොවේ. රනිල් මනෝ මූලික ලෝකයෙහිත් තමන් භූමියෙහි මිනිසුන් සමගත් සිටිති යයි සිතන අනුර කුමාර මැයි දිනයේ කොළඹට රැස් කළ පිරිස එක් වරුවකින් මනෝ මූලික කල්පනාවකට පෙරළිණ. ඔවුන් කොළඹ ආවේත් ආපසු ගියේත් කිව්ආර් කේතය ජන ජීවිතයේ පැවැත්මට සපයන ඉන්ධන සැපයුම නිසා ය. අනුරගේ මනෝ මූලික විග්‍රහයටත් වියන්ගොඩගේ සුජාත භාවයටත් බදු විරෝධි වර්ජන ව්‍යාපාරය හමුවේ ප්‍රාණ ඇප කරුවන්ව සිටින දස ලක්ෂයකට ආසන්න යොවුන් දරු දැරියන් වෛර කරති.  

ජනාධිපති වික්‍රමසිංහගේ දේශපාලන කියවීමේදී කන් හැන්දකටත් වඩා කුඩාය. හෙවත් ප්‍රායෝගික නොවේ. මේ වෙහෙසෙන්නේ තවත් කුරිරු 88-89කට මිස 100 වෙනි නිදහස් ස්වර්ණ ජයන්ති මංගල්ලයකට නම් නොවේ.

අඩෝ රනිල් උඹෙ කලිසම අපි ගලවනවා යයි කීවාට එවැන්නක් කිරීමට සමාජ සම්තයක් හෝ නෛතික ප්‍රතිපාදන නැත. එවැනි වාචාල කතා හේතුවෙන් අතීතයේ පාසලෙන් නික්ම මව්බිම නැත්නම් මරණය කියා කැලෑ වැදුණ ජාතියේ බොහෝ දරුවන් අඩු වයසින් මැරුම් කෑහ. ඒ අතීතය ඇසූ දුටු සමහරු අදත් යථාවබෝධයෙන් මේ රටේ ජීවත් වෙති. රනිල්ගේ කලිසම ගැලවීමත් සුජාත භාවයත් නීතිය කෙරෙහි පවත්නා විශ්වාසය පළුදු කිරීමට වඩා යමක් නැත. ජවිපේ ආණ්ඩුවක් එන තෙක් ලංකාවට ඩොලර් එවන්න එපා යයි කියන්නේ තමන් දිනන තුරු රටේ මිනිසුන් සා ගින්නෙන් හා ප්‍රතිකාර රහිතව මිය යනු බලා සිටීමට කැමැත්තෝ වෙති. රනිල් ඊට ඉඩ දෙන්නේම නැත. පවත්නා දේශපාලනය තේරුම් ගත යුත්තේ එසේය. වසන්ත මුදලිගේ යනු තරුණ අසහනය කැඳවීමකි. මේ පෙළ ගැස්ම ගැන නිහඬ නිර්දේශපාලනික සිවිල් සමාජය දැඩි විමසිල්ලෙන් පසුවේ.

 

anura kumara

මේ අවුරුද්දකට කලින් 2022 මැයි 03 වන දින රාජපක්ෂ දූෂණ සම්බන්ධ ජවිපෙ සතුව ඇතැයි මාධ්‍ය හමුවේ තැබූ සාක්ෂි තොගය අනුර කුමාර විස්තර කළ අයුරුය. දැන් ප්‍රශ්නය වන්නේ ජවිපෙ මේවා සම්බන්ධයෙන් අවුරුද්දක් පුරා කෙරුවේ මොනවාද යන්නයි. දන්නා තරමින් එදා ප්‍රදර්ශනය මිස කිසිත් නැත. එබැවින් මේවා හුදු ප්‍රචාරාත්මක වැඩ මිස මේවා කෙතරම් සත්‍යදැයි බරපතල සැකයක් ඇත.

 

අයිඑම්එෆ් ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී අනුර කුමාර රනිල්ගේ භාවිතාව මනෝ මූලික බව කීය. වියන්ගොඩගේ සුජාත භාවය ද, අනුරගේ දූෂිත තොරුතුරු ලිපි ගොනුව මෙන් අසම්මත මනෝ මූලික වේ. මාලිමාවට අනුගත ත්‍රිල් වාදින් ඊට විසිල් ගැසුවාට කිසිදා භූමියෙහි යථාර්ථයක් නොවේ. ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටි වියත් මග මෙන්ම, හැට නව ලක්ෂයක් ජනතා ශක්තිය දන ගැස්වූ අප්‍රේල් අරගලයේ ආසන්න අපෙක්ෂාව බිඳ වැටුණ ආර්ථිකය නිසා  ඔත්පල වූ ජන ජීවිතය සුවපත් කිරීමය. එය අලි ගම් වැදීමට, රිලවුන් බෝග විනාශ කිරීමට වඩා බරපතල විය.

 

අරගලයට හේතු වූ  පීඩනය තුනී වෙමින් පවතී. මිනිසුන් පෝලිම්වල මියෑදුණ ඉන්ධන හිඟය අද නැත. පාසල් වහා විවෘත කෙරිණ. මේ සංසිද්ධින් භූමියේ යථාර්ථයන් මිස මනෝ මූලික නොවේ. උද්ධමනය පහළ යන්නේ ආර්ථිකය ප්‍රසාරණය වීමෙන් මිස, රට බංකොලොත් වීමේ ප්‍රතිපලය වූ ණය නො ගෙවීම නිසා නොවේ. විපක්ෂය වෘත්තිකයන්ගේ බදු අරගලය වෙනුවෙන්ද, රනිල් වික්‍රමසිංහ උසස් පෙළ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්ද පෙනී සිටින බව රැළි වලට නො යන සාමාන්‍ය මිනිසුන් දනිති. රනිල් මනෝ මූලික කොට රට නිෂ්ක්‍රිය කිරීමට දරන වෑයම කිසි විටෙක භූමියට බද්ධ නොවනු ඇත. කොන්දේසි වලට අනුගත නොවේ නම් කොටස් වෙළඳ පොළ සහ බැංකු වසා දමන බවට ජනාධිපති වික්‍රමසිංහ කීවේ එක්ව වැඩ කළ යුතු බව දැඩිව අවධාරණය කිරීමටය. ඊට අමන නිර්වචනයක් දෙන මාලිමාව යනු මනෝ මූලික විකෘතියකි.

 

අවස්තානුකූල විසඳුම අයිඑම්එෆ් එකඟතාව බව සම්මතයක් වී හමාරය. අයිඑම්එෆ් කොන්දේසි යනු අරමුණු සපුරා ගැනීමෙන් අවසන් වන්නකි. එය ගඟ තරණයට යොදා ගන්නා ඔරුවක් පහුරක් වාගේය. එක්ව වැඩ නො කළොත් වසා දැමීමට කොටස් වෙළඳ පොළක්  බැංකු පද්ධතියක් රටට ඉතිරි වන්නේ නැත. 2022 අප්‍රේල් ජූලි අතර රටේ සිදු වුණේ එයම නො වේද? රනිල් සවුත්තු කිරීමට මාලිමාව යොදා ගත් මනෝ මූලික කතාවත් වියන්ගොඩගේ සුජාත භාවයත් තොත්ත බබාලාටත් හිනා යන අපබ්‍රංශයකි. ඛේදවාචකය ගාමිණි වියන්ගොඩ යනු අතීතයේ අපතයන්ට කඩේ ගිය බවට සාක්ෂි නො මැති වීමය. මැයි දින කුමක් වීද? තැන තැන රැස්වී කීවේ අම්මා මුත්තා කියා කීවක් රට වෙනුවෙන් එකතු නොවන බවය. විශාලම ඒකරාශිය මාලිමාව විය හැකිය. එය මනෝ මූලික උත්තේජනයක් මිස භූමියට බද්ධ යමක් නොවේ.  



chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )



සබැඳි ලිපිය :
වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ‘සුජාත භාවය’ වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මහලේකම්වරිය පෙනී සිටීම -(ගාමිණී වියන්ගොඩ)


Anida



JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්