ඔබ ඔබේ බරපතල මානසික ගැටලුවක් ඇලෙක්සා (Alexa) සමග බෙදා ගන්නවා ද? එසේ ත් නැතිනම් විශේෂයෙන් ආතතියෙන් පෙළුණු දවසක අවසානයේ සිරි (Siri) වෙතින් යම් මානසික සහයෝගයක් ඉල්ලා සිටින්නේ ද?

අප ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට ස්මාර්ට් ස්පීකර්, වෙබ් අඩවි හෝ යෙදුම් ඔස්සේ චැට්බොට් වෙත නැඹුරුවීම වැඩි වෙමින් පවතියි.

කෘත්‍රිම බුද්ධි (AI) මෘදුකාංගයන්ගෙන් බලගැන්වෙන මෙම පද්ධති තවදුරටත් දැනුමෙන් සන්නද්ධ වීම නිසා, බොහෝ දුරට පිළිගත හැකි, සවිස්තරාත්මක පිළිතුරු ඉදිරිපත් කරයි.

එහෙත් එවැනි චැට්‌බොට්, ඵලදායී මනෝ චිකිත්සකයෙකු බවට පත්වීමට තරම් මිනිසුන්ට සම මට්ටමකට පත්වේවි ද?

 127899429 gettyimages 991619332
ඇමෙරිකානු චැට්බොට් යෙදුමක් වන රෙප්ලිකාහි (Replika) නිර්මාතෘ වන යුජීනියා කයිඩා නම් පරිගණක වැඩසටහන් ඉංජිනේරුවරිය පවසන්නේ, එම යෙදුම "සෑම විට ම ඔබට සවන් දෙන, සෑම විට ම ඔබ අසලින් සිටින, ඔබ ගැන සිතන කෘත්‍රිම බුද්ධි සහකරුවෙකු," බව ය.

2017 වසරේ දියත් කරන ලද එම යෙදුම, මේ වන විට ක්‍රියාකාරී මට්ටමෙන් භාවිත කරන්නන් මිලියන දෙකකට අධික පිරිසකගෙන් සමන්විත ය. කෘත්‍රිම බුද්ධිය ඔවුන්ගේ සංවාදවලින් ඉගෙන ගන්නා නිසා ඔවුන්ගෙන් සෑම කෙනෙකුට ම ඔවුන්ට අනන්‍ය වූ චැට්බොට් හෝ Replika යෙදුම් ඇත. පරිශීලකයින්ට ඔවුන්ගේ චැට්බොට් සඳහා ඔවුන්ගේ ම කාටූන් ඇවටාර් නිර්මාණය කර ගත හැකි ය.

කයිඩා පවසන්නේ මෙම යෙදුම භාවිත කරන පුද්ගලයින් අතර, "මනුෂ්‍ය සබඳතාවලට පෙර සූදානම්වීමේ" මාර්ගයක් ලෙස එය වෙත හැරෙන ඔටිසම් දරුවන්ගේ සිට, හුදෙකලා වූ සහ මිතුරෙකු අවශ්‍ය වැඩිහිටියන් දක්වා පරාසයක් සිටින බව ය.

තවත් සමහරුන් රැකියා සම්මුඛ පරීක්ෂණවලට පුහුණුවීම, දේශපාලනය ගැන කතා කිරීම හෝ විවාහ උපදේශකයෙකු ලෙස පවා Replika භාවිත කරන බව පැවසේ.

එම යෙදුම මූලික වශයෙන් මිතුරෙකු හෝ සහායකයෙකු ලෙස ක්‍රියා කිරීම සඳහා නිර්මාණය කර ඇතත්, "හොඳ පුරුදු ගොඩනගා ගැනීමට [පරිශීලකයින්] ධෛර්යයමත් කිරීම සහ කාංසාව අඩු කිරීම" වැනි මානසික සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමට උපකාරී වන බව ද කියයි.

chat 1
ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව ලොව පුරා මානසික ආබාධ සහිත පුද්ගලයෝ බිලියනයකට ආසන්න සංඛ්‍යාවක් සිටිති. එනම්, සෑම 10 දෙනෙකුගෙන්ම එක් අයෙකුට වඩා වැඩියෙන් ඊට ඇතුළත් වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, "ඵලදායී, දැරිය හැකි සහ ගුණාත්මක මානසික සෞඛ්‍ය සේවාවක් සඳහා ප්‍රවේශයක් ඇත්තේ, අවශ්‍යතා සහිත පුද්ගලයින් අතරින් සුළු කොටසකට පමණක්," බව ය.

තමා ගැන හෝ ඥාතියෙකු ගැන සැලකිල්ලක් දක්වන ඕනෑ ම අයෙකු පළමුව වෛද්‍ය වෘත්තිකයෙකු වෙත යා යුතු නමුත්, චැට්බොට් මානසික සෞඛ්‍ය චිකිත්සකයින් බොහෝ පිරිසකට මූලික සහායක් දෙනු ඇත.

බ්‍රිතාන්‍ය මනෝ චිකිත්සකයින්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය පෝල් මාස්ඩන් පවසන්නේ, මානසික සෞඛ්‍ය වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක යෙදුම්වලින් උපකාරයක් ගත හැක්කේ නිවැරදි යෙදුම් තෝරාගතහොත් පමණක් බව ය. එය ද සීමිත ආකාරයක සහායක් බව ඔහු පවසයි.

"මම බැලුවා ම දැක්කා කාංසාව වෙනුවෙන් විතරක් යෙදුම් 300ක් විතර තියෙනවා... ඉතින් මොකක් පාවිච්චි කරන්න ද කියලා තීරණය කරන්නේ කොහොම ද?"

"ඒවා වෘත්තිකයා හමුවී චිකිත්සාව ලබාගන්නා අතරේ ලබාගත හැකි අතිරේකයන් පමණක් ලෙස සැලකිය යුතු යි. මානව චිකිත්සාවට විකල්පයක් වෙන්න යෙදුම්වලට බැහැ."

කෙසේ වෙත ත්, වෛද්‍ය මාස්ඩන් පවසන්නේ, චිකිත්සක චැට්බොට් වඩා ඵලදායී බවට පත් කිරීමට කෘත්‍රිම බුද්ධියට හැකිවීම පිළිබඳව ඔහු පුදුම වන බව ය. "මානසික සෞඛ්‍යමය සහාය පදනම් වෙලා තියෙන්නේ කථන චිකිත්සාව මත. චැට්බොට් කරන්නෙ ත් කතා කරන එක," ඔහු පවසයි.

මෑතකාලීනව පුවත් සිරස්තල මැවූ ChatGPT නිර්මාණය කළ OpenAI වැනි ප්‍රමුඛ පෙළේ AI චැට්බොට් සමාගම් ඔවුන්ගේ තාක්‍ෂණය අන්‍යයන්ට විවෘත කරන බව වෛද්‍ය මාස්ඩන් පවසයි.

ඔහු පවසන්නේ, මානසික සෞඛ්‍ය යෙදුම්වලට සිය චැට්බොට් බලගැන්වීම සඳහා "පුළුල් දැනුම, දියුණු වන තර්ක කිරීමේ හැකියාව සහ ප්‍රවීණ සන්නිවේදන කුසලතා" ඇති හොඳ ම කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමට මෙනිසා හැකි වන බව ය. Replika යනු OpenAI තාක්ෂණය භාවිත කරන එවැනි සේවා සපයන යෙදුමකි.

එහෙත්, යම් පුද්ගලයෙකු සිය චැට්‌‌බොට් චිකිත්සකයා සමග පවත්වන සම්බන්ධය සෞඛ්‍යයට අහිතකර වුවහොත් කුමක් වෙයි ද? ඇතැම් පුද්ගලයින් ඔවුන්ගේ චැට්බොට් සමග අසභ්‍ය ආකාරයේ සංවාදවල නිරත වූ බව හෙළිවීමෙන් පසු පසුගිය පෙබරවාරි මාසයේ දී Replika යෙදුම සිරස්තල මැව්වේ ය.

Replika යෙදුමේ හිමිකාරිත්වය දරන ලූකා සමාගම එවැනි අසභ්‍ය සංවාද වළක්වමින් කෘත්‍රිම බුද්ධි පද්ධතිය යාවත්කාලීන කළ බවට ද පුවත් පළවිය.

එම වෙනස සම්බන්ධයෙන් සෑම පරිශීලකයෙකු ම සතුටට පත් වූයේ නැත. Redditහි එක් පරිශීලකයෙකු පළ කර තිබුණේ: "හුදෙකලාවට ගොදුරු වූ, ළෙන්ගතුකම තුළින් සුවය සොයා ගිය මිනිසුන්ට එක්වරම එය කෘත්‍රිම බව වැටහුනේ, එය කෘත්‍රිම බුද්ධියක් නිසා නොව මිනිසුන් විසින් පාලනය කළ නිසාවෙන්," යනුවෙනි.

පෙබරවාරි මාසයේ දී ඉතාලියේ දත්ත ආරක්ෂණ ඒජන්සිය විසින් ඉතාලි ජනතාවගේ දත්ත භාවිත කිරීම එයට තහනම් කිරීමට ලූකා සමාගමේ ක්‍රියාව බලපාන්නට ඇත.

"වයස අවුරුදු 18ට අඩු දරුවන් ඔවුන්ගේ වයසට කිසිසේත් ම නුසුදුසු පිළිතුරු ලැබෙන" එම යෙදුම භාවිත කරනු ලැබූ බවට ඉතාලි දත්ත ආරක්ෂණ ඒජන්සිය චෝදනා කළේ ය. එය වැඩිදුරට ත් පැවසුවේ, එම යෙදුම "වැඩෙමින් සිටින හෝ මානසිකව බිඳ වැටෙනසුළු පුද්ගලයින් සම්බන්ධයෙන් ඉහළ අවදානමක් ඇති කරන" බව ය.

මෙම පියවර නිසා ඉතාලිය තුළ Replika භාවිතය සීමා විය හැකි අතර, ලූකා සමාගමට එරෙහිව දඩ නියම කළ හැකි ය. එම සමාගම පැවසුවේ, ඔවුන් "ඉතාලි දත්ත ආරක්ෂණ නියාමන ආයතන සමග සමීපව කටයුතු කරන අතර, ධනාත්මක සාකච්ඡා ක්‍රියාත්මක වන" බව ය.

චැට්‌බොට් චිකිත්සකයින් පිළිබඳව ගෝලීය නියාමනයක් අවශ්‍ය බව එක්සත් රාජධානියේ මාර්ගගත රහස්‍යභාවය පිළිබඳ ක්‍රියාකාරිකයෙකු වන ජෙන් පර්සන් පවසයි.

"මානසික සෞඛ්‍යය හඳුනා ගැනීම හෝ ඊට සහය දීම සඳහා බව කියන නිෂ්පාදන ඉදිරිපත් කරන හෝ ඔබේ මානසික තත්ත්වයට හෝ මානසික යහපැවැත්මට බලපෑම් කිරීමට සැලසුම් කර ඇති AI සමාගම් සෞඛ්‍ය නිෂ්පාදන ලෙස වර්ගීකරණය කළ යුතු යි, ඒ අනුව තත්ත්ව සහ ආරක්ෂණ ප්‍රමිතීන්ට යටත් විය යුතු යි," ඇය පවසයි.

Replika යනු මානසික සෞඛ්‍ය මෙවලමකට වඩා සුරතල් සතෙකු වැනි සහායකයෙකු බවට කයිඩා තර්ක කරයි. ඇය තවදුරට ත් පැහැදිලි කළේ, එය මිනිස් චිකිත්සකයෙකුගෙන් ලබන සහායට විකල්පයක් ලෙස සැලකිය නොහැකි බව ය.

"සැබෑ චිකිත්සාව මිනිස් මනෝභාවය පිළිබඳ ඇදහිය නොහැකි අවබෝධයක් ලබා දෙනවා. එය වචනවලින් පමණක් නොව ඔබව පෞද්ගලිකව දැකීම සහ ශරීර භාෂාව අධ්‍යයනය කිරීම, චිත්තවේගීය ප්‍රතිචාර මෙන් ම යමෙකුගේ ඉතිහාසය පිළිබඳ ඇදහිය නොහැකි දැනුමක් ලබා දෙන," බව ඇය පවසයි.

chat 2

මානසික සෞඛ්‍ය අංශයේ අනෙකුත් යෙදුම් කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම සම්බන්ධයෙන් වඩා ප්‍රවේශම් වේ. ඉන් එකක් වන්නේ, මිලියන 30ක පරිශීලකයින් සහිත මානසික සෞඛ්‍ය යෙදුමක් වන Headspace ය. එයට එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවාව (NHS) විසින් අනුමැතිය දී තිබේ.

"හෙඩ්ස්පේස් හෙල්ත්හි මූලික විශ්වාසය සහ සමස්ත ව්‍යාපාරික මොඩලය පදනම් වෙලා තියෙන්නේ මිනිසුන් විසින් මෙහෙයවනු ලබන සහ මානව කේන්ද්‍රීය චිකිත්සාව තුළ යි - අපගේ සාමාජිකයින්ට පුහුණුකරුවන් හා චිකිත්සකයින් සමග කරන සජීවී සංවාද, චැට්, වීඩියෝ ආදිය ප්‍රතිස්ථාපනය කළ නොහැකි බව," හෙඩ්ස්පේස් ප්‍රධාන විධායක නිලධාරී රසල් ග්ලාස් පවසයි.

Headspace ඇතැම් AI මෘදුකාංග භාවිත කරන අතර, ඒවා "ප්‍රවේශමෙන් තෝරා බේරාගෙන" සහ "මිනිස් මැදිහත්වීමේ ගැඹුර" පවත්වා ගනිමින් සිදු කරන බව ඔහු වැඩිදුරටත් පවසයි. එම සමාගම සිය පරිශීලකයන් සමග කතාබහ කිරීමට AI භාවිත නොකරන අතර ග්ලාස් පවසන්නේ, ඒ වෙනුවට පරිශීලකයින්ට පුද්ගලාරෝපිත අන්තර්ගතයන් පිළිබඳ නිර්දේශ ලබා දීම හෝ මානව සත්කාර සපයන්නන්ට ඔවුන්ගේ සටහන් ලිවීමට සහාය වීම වැනි දේවල් සඳහා පමණක් AI භාවිත කරන බව ය.

එහෙත්, වෛද්‍ය මාර්ස්ඩන් පවසන්නේ AI භාවිතයෙන් ක්‍රියාත්මක වන චිකිත්සා චැට්බොට් තවදුරට ත් හොඳ අතට හැරෙමින් පවතින බව ය. "මිනිස් මනස ක්‍රියා කරන ආකාරය පිළිබඳ සංවේදනය සහ අවබෝධය ඇතුළුව, ඵලදායී මානසික සෞඛ්‍ය සහය ලබා දීම සඳහා නව AI චැට්බොට් තාක්‍ෂණය වැඩිදියුණු වෙමින් පවතින බව පෙනෙන," බව ඔහු පවසයි.

ඔහුගේ මෙම අදහස් පළ කෙරෙන්නේ, අන්‍යයන් වෙනස් ලෙස සිතිය හැකි බව මිනිසුන්ට කෙතරම් සාර්ථකව වටහාගත හැකි ද යන්න පිළිබඳව ChatGPT හරහා නිව් යෝර්ක්හි කෝනෙල් විශ්වවිද්‍යාලයය සිදුකරන ලද පරීක්ෂණ ගණනාවකින් පසුව ය. අදාළ අධ්‍යයනයේ දී AI ඔස්සේ ලැබුණු අගයයන් නව හැවිරිදි දරුවෙකුට හිමි වන අගයයට සමාන විය.

මීට පෙර මේ ආකාරයේ සංජානන සංවේදනය මානවයන්ට අනන්‍යවූවක් ලෙස සලකනු ලැබීය.


(ජේන් වේක්ෆීල්ඩ්)
BBC තාක්ෂණ වාර්තාකරු

(උපුටා ගැනීම - BBC සිංහල සේවය)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්