ශ්‍රී ලංකාවට විවාහ නීතියක් පැමිණියේ අප බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක්ව සිටි සමයේ දී ය. ඔවුහු, අංක 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ සහ දික්කසාද නීතිය මෙරටට හඳුන්වා දුන්හ.



මේ නීතිය අනුව විවාහයකින් බැඳෙන සියලුදෙනා දික්කසාදය ලබාගැනීමේ දී ද එම නීතිය යටතේ ඉල්ලුම් කළ යුතු ය.

දිනක් තුළ ශ්‍රී ලංකාවේ විවාහක යුවළ 300ක් පමණ දික්කසාද වනබව සංඛ්‍යාලේඛන ඇසුරින් පෙනී යන්නේයැ යි කියනු ලැබේ. ඇතැම් මූලාශ්‍රයයන්ට අනුව මේ ගණන 400ක් පමණ වේ.

එනමුත්, ලොව අඩුම දික්කසාද ප්‍රතිශතයක් ඇති රටබවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාව යි. මෙරට වාර්ෂිකව, පුද්ගලයින් 1000කට දික්කසාද ප්‍රතිශතය .15ක් පමණි.

image ca746d9ac2

එහෙත් ශ්‍රී ලංකාවේ පවතින යල් පැනගිය, දැඩි දික්කසාද නීතිය මීට හේතුවී තිබේද යන්න විමසිය යුතු කරුණකි.

ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිය ‘වරද මත පදනම්වූ' ක්‍රමවේදයක් අනුගමනය කරයි.
 
ලංකාවේ නීති පද්ධතිය අනුව එවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීම අවශ්‍යතාවක් විය හැකිමුත්, විවාහය වැනි මිනිස් බැඳීමක් අවසන් කිරීමට අවසර සැලසිය යුත්තේ දෙදෙනාගෙන් අයෙකුගේ වරදක් තිබේ නම් පමණ ද යන්න සමාජ සංවාදයකට බඳුන් විය යුත්තකි.
ලංකාවේ දී දික්කසාදයක් ලබාගැනීමට ඇති ඉඩකඩ කුමක් ද?

ශ්‍රී ලංකාවේ දී දික්කසාදයක් ලබාගැනීමට හැකිවන්නේ, අනාචාරය, ද්වේෂසහගතව අත්හැරයෑම හා විවාහවන මොහොතේ පැවැති සුවකළ නොහැකි ලිංගික බෙලහීනතාව කාරණා තුනක් මත පදනම්ව ය.

නමුත් මේ සීමාකාරී ප්‍රතිපාදනයන්හි ද ගැටලු බොහෝ ය. උදාහරණයක් ලෙස, 'ලිංගික බෙලහීනතාව' ඔප්පු කිරීම සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා සේම, අනාචාරය ඔප්පු කිරීම සම්බන්ධයෙන් වන නීතියේ පරස්පරතා තිබේ.

නීතියට පිටින් යන නීතිය

ලිංගික බෙලහීනතාවට හා අනාචාරයට ඔප්පු කිරීමේ භාරයක් තිබේ. අනාචාරය සම්බන්ධයෙන් ගත්කල, අනිවාර්යයෙන්ම ලිංගික සබඳතාවක් ඇතිවී තිබෙනබව හෝ එවැනි සබඳතාවක් නිසා නඩුව ගොනුකරන පාර්ශවයට අකටයුත්තක් සිදුවී ඇතැ යි ඔප්පු කිරීමට සිදුවේ. මේ සඳහා වීඩියෝ සාක්ෂි අවශ්‍ය ය.

මෙහිදී, අදාළ තැනැත්තන් පුද්ගලික අවකාශයක් තුළ ලිංගිකව හැසිරෙනු පටිගත කිරීමට සිදුවෙයි. මන්ද, අනාචාරය 'සාධාරණ සැකයෙන් ඔබ්බට' ඔප්පු කළ යුතු අතර, පැමිණිලිකාර පාර්ශවය ඉදිරිපත්කර ඇති සාක්ෂි මඟින් අනාචාරය සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුවන්නේ ද නැද්ද යන තීරණය මුළුමනින්ම විනිසුරු සතුවෙයි.
 
RTI

එක්තරා කාන්තාවක්, ඇගේ සැමියා හා අනියම් බිරිඳ එක්ව අවන්හලක ආහාර ගන්නා අයුරුත්, දෙදෙනා අතටම හසුවීමෙන් පසු ඔවුන් දණගසාගෙන සමාව යදිනුත් වීඩියෝකර දික්කසාදයක් සඳහා සාක්ෂි ලෙස ඉදිරිපත් කළ විටෙක, එමඟින් අනාචාරය 'සාධාරණ සැකයෙන් ඔබ්බට' ඔප්පු නොවනබවට විනිසුරු තීන්දු කළ අවස්ථාවක් ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ හසිතනී උපේන්ද්‍රා ජයරත්න මෙහිදී අප හා පැවසුවා ය.

"කාගෙහරි අනාචාරය ඔප්පු කරන්න [නම්], කාමරයක් තුළ කරන ලිංගික කටයුත්තක්නේ වීඩියෝ කරනවා හෝ [ඡායාරූපගත කරනවා හෝ] කරන්න වෙන්නේ. නමුත්, අනවසරයෙන් කෙනෙකුගේ ඒ වගේ පුද්ගලික අවකාශයක් ඡායාරූපයට නැගීම හෝ වීඩියෝගත කිරීම නීතියෙන් වරදක්," නීතීඥවරිය නීතියේ ඇති පරස්පරතාවක් ඉස්මතු කරයි.
 
"අනාචාරය වගේ කාරණාවක් [මත පදනම්ව නඩුවක්] දාන්න නම්, අනිවාර්යයෙන් ඇත්තටම එතන දී කරන්නේ, තමන්ට අවශ්‍ය දේ කරගන්න අනිත් පාර්ශවය ඉමෝෂනලි බ්ලැක්මේල් කිරීමක්නේ. එතකොට, අනාචාරය ඔප්පු කරන්න [එවැනි සාක්ෂි] දැම්මොත්, ඒකෙ ඉන්න අනිත් මිනිස්සුන්ට පුළුවන්, 'මේ මම ඉන්න එකක් මගේ අනවසරයෙන් වීඩියෝ කළා, ඒක වැරැද්දක්' කියලා කියන්න," ඇය පෙන්වා දෙයි.
එසේම, ලිංගික බෙලහීනතාව ඔප්පු කිරීමේ ක්‍රමය ද ගැටලුකාරී ය.

"මුල්ම කාලෙ ඕක බැලුවේ, [කාන්තාව] රෝහල්ගත කරලා කන්‍යා පටලය තිබෙනවා ද කියලා පරීක්ෂා කිරීමෙන්. පස්සෙ කාලෙ දී ඒක හරිම අසාර්ථක, කිසි ප්‍රයෝගිකත්වයක් නැති දෙයක් වුණා," නීතීඥ ජයරත්න අප හා පවසයි. මෙවැනි ගැටලු නිසාවෙන්, වර්තමානයේ දී එම පදනම මත දික්කසාදය ගොනු කිරීමක් සිදු නොවනබව ඇය කියා සිටියි.

කන්‍යා පටලය කාන්තාවකගේ ලිංගික ඉතිහාසය සම්බන්ධ භෞතික "සාක්ෂි" සපයනබවට වන විශ්වාසය කන්‍යා පටලය පරීක්ෂාවේ පදනම් තර්කය වෙයි. මේ සම්බන්ධයෙන් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැත.

කන්‍යා පටලය පරීක්ෂාව මානව හිමිකම් උල්ලංඝනයක් ලෙස සැලකූ ලෝක සෞඛ්‍ය සංවිධානය 2018 දී එය හෙළා දුටුවේ ය.
 
sddedwcc
 
"මිනිස්සුන්ගේ ලිංගික රුචිකත්වය, මිනිස්සුන්ගේ පසුබිම වෙනස්. එක එක ෆැන්ටසීස් වෙනස්, ලෝකෙ වෙනස්. එතකොට ලිංගික බෙලහීනත්වය කොහොමද ඔප්පු කරන්නේ? සමහර විට ඒ තැනැත්තා වෙනස් ලිංගයක් දරන කෙනෙක් වෙන්න පුළුවන්. ශරීරයෙන් පිරිමියෙක් වුණාට ඇතුළාන්තයෙන් ගැහැණු කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට එයාගෙ මානව අයිතිවාසිකම් කඩවෙනවා," ඇය පෙන්වා දෙයි.
 
'කුණුවලින් පිරුණු කතාවක්'

'ලිංගික බෙලහීනතාව' හා 'අනාචාරය' ඔප්පු කිරීම සම්බන්ධයෙන් ගැටලු තිබෙන නිසාවෙන්, ශ්‍රී ලංකාවේ දික්කසාද නඩුවලින් 99%ක්ම ගොනුකෙරෙන්නේ 'ද්වේෂසහගතව අත්හැරයෑම' මත විය යුතුයැ යි නීතීඥවරිය පවසයි.

'ද්වේෂසහගතව අත්හැරයෑම' යනු, අතහැර යෑමේ චේතනාව ඇති පාර්ශවකරුවෙක් වෛවාහික නිවෙසින් පිටවීයෑම යි. 'අනුමිත ද්වේෂසහගතව අත්හැරයෑම' යන ව්‍යාතිරේකයක් ද වන අතර, අනෙක් පාර්ශවයේ ක්‍රියාකලාපය හේතුවෙන් වෛවාහක නිවෙස අතහැරයෑමට සිදුවීම එමඟින් අදහස් කෙරෙයි. නීතීඥවරිය එය උදාහරණ ඇසුරින් මෙසේ පැහැදිලි කරයි:
 
image.khaleejtimes

"A සහ B කියලා යුවළක් ඉන්නවා කියමු. Aගෙ ගෙදර B ඉන්නවා. එතකොට B තරහවෙලා යනවා කියමු. A ඒකට ඩිවෝස් නඩුවක් ගොනුකළ යුත්තේ 'ද්වේෂසහගතව අත්හැරයෑම' මත. B නඩුවක් දානවා නම්, එයාට එක ගෙදර දී විවාහයක් පවතින විදියට ඉන්න දෙන්නේ නැතුව නොසලකාහැරියා කියලා, එතකොට [නඩු] දාන්න ඕන 'අනුමිත ද්වේෂසහගතව අත්හැරයෑම' කියලා.

නමුත් මෙහි ද මානුෂීය මට්ටමේ ගැටලු බොහෝ ය.

මෙම ලිපිය සම්පාදනය කිරීමේ දී අප නීතීඥවරුන් කීපදෙනෙකු සමගම කතාබහ කළ අතර, අප වෙත පැවසීම සඳහා ඔවුන් සියලුදෙනා සතුව තිබුණේ සමාන අත්දැකීම් ය. අප හා පවසනු ලැබූ එක් කතාවක් මෙහි සඳහන් කිරීම වටියි.

එක්තරා දික්කසාද නඩුවකි. විවාහය සිදුව තිබෙන්නේ විවාහ යෝජනාවක් මාර්ගයෙනි. ඔවුන් දෙදෙනා අතර නොගැලපීම් තිබි නිසාවෙන්, දෙදෙනා සාමදානව, මිතුරුකමින් යුතුව කතාබහකර එකිනෙකාගෙන් වෙන්වීමට සැලසුම්කර තිබුණි.

නමුත්, උසාවියේ දී අනුමිත ද්වේෂසහගතව අත්හැරයෑම ඔප්පු කිරීමට සාක්ෂි විමසීමේ දී විවාහය අත්හැරයෑමට හේතු විමසා තිබුණි. දෙදෙනාගේ නොගැලපීම් නිසාවෙන් දෙදෙනා වෙන්වන්නේයැ යි කාන්තාව ප්‍රකාශ කළාට, එය ප්‍රමාණවත් වී නැත.

මෙනිසා, දික්කසාදය දිනාගැනීමේ අරමුණෙන්, නව හේතුවක් නිර්මාණයකර අධිකරණයට ඉදිරිපත් කරන්නට මේ යුවළට සිදුවෙයි.
 
 
අවසාන, සැමියාගේ පහරදීම් නිසාවෙන් විවාහයෙන් වෙන්වන්නේයැ යි අධිකරණයේ දී ප්‍රකාශ කරන ලෙස දෙපාර්ශවයේ නීතීඥවරුන් යුවළට දැනුම්දෙයි. නමුත් කාන්තාව හැඬු කඳුලෙනි. සිය ස්වාමිපුරුෂයා ඉතා අවංක, යහපත් පුරුෂයෙකුබවත්, කිසිදා තමාට පහරදී නැතිබවත් පවසන ඇය, පහරදීම් නිසා වෙන්වෙනබව පැවසීමට පැකිළෙයි. නමුත් දික්කසාදය ලබාගැනීම සඳහා අධිකරණයේ දී එසේ ප්‍රකාශ කිරීමට ඇයට සිදුවිය.
යුවළ කැමැත්තෙන් දික්කසාද වන එවැනි අවස්ථාවක දී ද ඔවුනට මුහුණපාන්නට වන පීඩාවකි ඒ. මෙවැනි අවස්ථාවල දී, නීතිය ඉල්ලන අන්දමේ 'කුණුවලින් පිරුණු කතාවක්' නීතීඥයන් විසින් නිර්මාණයකර දීම සාමාන්‍ය පිළිවෙතබව නම හෙළි කිරීමට අකමැති නීති වෘත්තිකයින් කීපදෙනෙකු අප හා පැවසීය.
නමුත් බොහෝදෙනා නොසලකන බරපතල කරුණක් මෙහි ද සැඟවී තිබේ. ඒ, වෛවාහක යුවළකගේ පුද්ගලික ගැටලු හා තොරතුරු පොදු සමාජයට නිරාවරණය වීම යි.

chi 1
පුද්ගලිකත්වය සමාජය හමුවේ නිරාවරණය කරන දික්කසාද නීතියක්

ශ්‍රී ලංකාවේ අධිකරණයක විභාගවන දික්කසාද නඩුවල වාර්තා ඕනෑම කෙනෙකුට ප්‍රවේශය ලබාගත හැකි පොදු වාර්තාබවට පත්වෙයි. එනිසා, දික්කසාදය ලබන සියල්ලන්ගේ පුද්ගලික වෛවාහක ගැටලු ද සමාජය ඉදිරියේ නිරාවරණයවීමෙන් ඔවුන්ගේ පුද්ගලිකත්වයට හානි පැමිණෙයි.
 
"[යුවළක්] කැමැත්තෙන් දික්කසාද වෙනවා නම්, කැමැත්තෙන් ඒ දේවල් විසඳගෙන තියෙනවා නම්, එතකොට ඒගොල්ලන්ට අවකාශය හා අවස්ථාව තියෙන්න ඕන දික්කසාද වෙන්න. දෙන්නම වැඩිහිටියොනෙ. නමුත් ලංකාවේ නීතිය අනුව එහෙම බැහැ. අනිවාර්යයෙන්ම බලකර සිටිනවා ඒගොල්ලන්ගේ කතාව කියන්න. ඒවා නඩු වාර්තාවලට යනවා," නීතීඥ ජයරත්න පවසයි.
"කාටහරි උවමනාවක් තියෙනවා නම් ඔය දේවල් අරගෙන, මිනිස්සුන්ගේ පුද්ගලික කතන්දර අපහාසය සඳහා පාවිච්චි කරන්න පුළුවන්," ඇය පෙන්වා දෙයි.

"දියුණු සංස්කෘතියක් තියෙන රටක් කියන්නේ, වැඩිහිටියෝ විදියට කාගෙහරි පුද්ගලික කාරණා ප්‍රකට කරන්නේ නැතුව යමක් කරන්න ඕනෙ නම්, ඒකට අවස්ථාව අනිවාර්යයෙන් තියෙන්න ඕන."

ළමා වින්දිතයින්

විවාහයක් බිඳ වැටීම නිසා ඇත්තෙන්ම අනාථභාවයට පත්වන්නේ ළමුන්බව අප හා පවසන නීතීඥ ජයරත්න, ඉන්, දරුවන් තුළ පෞරුෂ දුබලතා ඇතිවනබව නිරීක්ෂණය කරයි.

"තාත්තට හරි අම්මට හරි වෙන සම්බන්ධයක් තියාගෙන [සමහරු] දිගටම එකට ඉන්නවනේ, 'ඒත් මම ඉන්නවා, ළමයි වෙනුවෙන් [වෙන් නොවී] ඉන්නවා' කියලා? ඒ, 'ළමයි වෙනුවෙන් ඉන්නවා' කියන ජනප්‍රිය කතාව කියලා ඉඳලා ටික කාලයක් ගියාම, ඇත්තටම ඒ කෙනාට එපාම වෙනවා. මොකද සතුටක් නෑනේ?"
 
ඇය, පියාගේ අනාචාරයත්, දික්කසාදය ලබාගැනීමට මව දැක්වූ අකමැත්තත් නිසා පීඩාවට පත්වූ එක් දරුවෙකු ගැන මෙවේලේ සිහිපත් කරයි.

"තමන් ගොඩනගාගත් භෞතික දේවල්, ගෙවල් දොරවල් ගැන තන්හාවෙන් එයා [මව] දික්කසාද වෙන්නේ නැහැ. නමුත් එයා යන්නේ නැතිවුණාට සතුටින් නෙවෙයිනේ ඉන්නේ. [ඒ නිසා] ළමයට කෑ ගහනවා. හරිම හිංසාකාරියි. ඒ දරුවා පොඩි පොඩි සතුන්ට හිරිහැර කරනවා. පූසන් වගෙ සතුන් උඩ තට්ටුවෙන් බිමට අතාරිනවා," දෙමාපියන්ගේ අසමගිය දරුවාට බලපා ඇති අයුරු ඇය අපට කියයි.
 
"එතකොට ඇත්තටම ඒ පවුලේ වින්දිතයෝ ළමයි. මේ වගේ කතා ගොඩාක් තියෙනවා... ඇත්තෙන්ම මිනිස්සු ගැලපෙන්නේ නැත්නම් වෙන්වෙලා යන්න ඕන, ළමයි හිටියත්. ඒ මිනිස්සුන්ට වෙන්වෙන්න තියෙන ක්‍රියාවලිය හරි අමාරුවෙන්, කරදරකාරී විදියට, දික්කසාද නොවෙන තැනට ඒ ප්‍රොසෙස් එක හදලා තිබ්බම, පස්සෙ ඇතිවෙන සමාජ ගැටලුවලටත් හේතුව ඒක. මොකද ඔය ළමයි තමයි ඉස්සරහට වැඩිහිටියෝ වෙන්නේ."
"ඒ ළමයින්ට බිඳුණු ළමාවියක් තියෙනවා කියන්නේ, [ඔවුන්] සමාජෙට හානිකර නොවෙන මනුස්සයෙක් වෙන්නෙ බොහොම කලාතුරකින්," ඇය ඇගේ අත්දැකීම අප හා බෙදාගත්තා ය.
 
"පොඩිකාලෙ ළමයින්ට ලැබෙන දේවල් එක්කනෙ එයාලා ගොඩනැගෙන්නේ. මේ අපේ වයස්වල ඉන්න වැඩිහිටියො බහුතරයක් ළමා කාලයේ ලබපු පීඩාවන්ගේ වින්දිතයෝ. ඒකට හේතුව, දෙමාපියන්ගේ බිඳ වැටුණු විවාහය. ඒ කියන්නේ, තාත්තා ඉන්නේ වෙන ලෝකෙක, අම්මා ඉන්නේ ඒ කාරණා නිසා විඳවමින්. ඔන්න ඔය වගේ දේවල්."
දික්කසාද නීතිය වෙනස්විය යුත්තේ කෙසේ ද?
 
l intro 1631911427

ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිය සකස්වී ඇත්තේ මීට වසර 70කට 80කට පෙර පැවැති ශ්‍රී ලංකා සමාජයට ගැලපෙන පරිදි ය. නමුත් මිනිස් අවශ්‍යතා, සබඳතා සංකීර්ණ වී ඇති, මානව අයිතිවාසිකම් හඳුනාගෙන ඇති වත්මන් සමාජයට එම නීති තව දුරටත් වලංගුවන්නේ ද?

2007 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ නීති කොමිසම විසින් විවාහ පනතට සංශෝධන සහිත කෙටුම්පතක් යෝජනා කළේ ය. එහිදී, වෛවාහක වරදක් ඔප්පු කිරීමෙන් බැහැරටගොස්, යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි අන්දමින් විවාහය බිඳීයෑම යටතේ දික්කසාදයක් ඉල්ලුම් කිරීමේ ඉඩකඩ සලසා තිබුණි. නමුත් මෙය තවමත් කෙටුම්පත් අවිධියේ පවතියි.

යුවළක් දෙදෙනාගේම කැමැත්තෙන් දික්කසාදයක් ලබාගැනීමේ දී, වෙන්වීමට හේතුව කුමක්දැ යි ප්‍රශ්න කළ යුතු නැතැ යි නීතීඥ ජයරත්නගේ අදහස යි.

"ලංකාවේ දික්කසාද සිදුවෙන්න හේතුව ලිංගික බෙලහීනත්වයවත්, අනාචාරයවත්, ද්වේෂසහගතව අත්හැරයෑමවත් නෙවෙයි, විවාහය බිඳවැටීම. විවාහය බිඳවැටීම තමයි දික්කසාදයට හේතුව වෙන්න ඕන. අනුමිත ද්වේෂසහගතව අත්හැර යන්නේ ඇයි? විවාහය බිඳවැටුණු නිසානේ," ඇය කියයි.

'විවාහය බිඳවැටීම' යනු, යුවළ තවදුරටත් සැමියා සහ බිරිඳ ලෙස එක් නිවෙසක එක්ව විසීමට අකැමැතිවීම යි.

"[විවාහක යුවළකින්] දෙදෙනාම එහෙම එක්ව ජීවත්වෙන්න කැමැති නැත්නම්, ඒක ඒගොල්ලන්ගේ පුද්ගලික කාරණාවක්. සිවිල් ප්‍රශ්නයක්නේ. අපට අහන්න බෑ, 'ඇයි උඹලා මෙහෙම වෙන්වෙන්නේ?' කියලා."

මෙනිසා, 'විවාහය බිඳවැටීම' යන්න දික්කසාදය සඳහා පදනමක් වශයෙන් හඳුන්වා දිය යුතු ය යන්න ඇගේ අදහස යි.

දරුවන්ගේ භාරකාරීත්වය හා දේපොළ හිමිකාරීත්වය බෙදීයෑම සම්බන්ධයෙන් ද වෙනස්විය යුතු කාරණා ඇතැ යි නීතීඥවරිය පැවසුවා ය.
 
දියුණු රටවල දී, දික්කසාදයකින් පසු දරුවන්ගේ භාරකාරීත්වය බෙදීයෑම සලකන විට, එක්තරා වයසකට පැමිණි ළමුන්ගෙන් ඔවුන් කැමැත්තේ කුමන දෙමාපියා සමග විසීමටදැ යි විමසනු ලැබේ. නමුත් ශ්‍රී ලංකාවේ දී එවැන්නක් සිදුවන්නේ නැත.
එසේම, ලංකාවේ නීතියට අනුව, විවාහය පැවැති සමයේ දී උපයාගත් දේපොළ දෙදෙනාට සමව හෝ වෙනත් සාධාරණ අයුරකින් බෙදී නොයයි.

"විවාහයක් ඇතුළේ දෙන්නෙක් විසින් ගොඩනගපු දේපොළ තියෙනවා. නමුත් මේ දේපොළ එක්කෙනෙක්ගේ නමට යි තියෙන්නේ... අනෙකා වියදම් කළත් බිල් තියාගන්නෙ නෑනේ. ගෙවල් හදන්නේ, පවුලක් හදන්නේ ජීවත්වෙන්න නේ, දික්කසාද වෙන්න හිතාගෙන නෙවෙයිනේ. කවුරුවත් රිසිට් තියාගන්නේ නෑනේ. අනිත් මනුස්සයට මොකවත් නෑ," ඇය පෙන්වා දෙයි.
 
"පුද්ගලික කැමැත්තෙන් දෙන්නෙක් ගන්න සිවිල් තීරණයක් වෙනස් කරන්න කාටවත් හේතු බඳින්න ඕනෙ මොකට ද? අපරාධයක් නෙවෙයිනේ, සිවිල් තීරණයක්. කැමැත්තෙන් වෙන්වෙන අවස්ථාවක ඒක [නීතිය] වෙනස් වෙන්න ඕනේ."

amanda(අමන්දා අබේසූරිය)
Role, බීබීසී සිංහල

උපුටා ගැනීම -  BBC සිංහල සේවය


සබැඳි ලිපියක් :
පෙර+හන්+කඩේ : ජීවිතය මොන වගේ ද? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්