දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බැංකු පද්ධතිය කඩා වැටෙනවා... තැන්පත්කරුවෝ අනතුරේ...

ව්‍යාපාරිකයෝ ඉවරයි... සේවක අර්ථ සාධක අරමුදලටත් වැඩේ දෙන්න යන්නේ... රනිල් රට ඉවර කරන්න හදන්නේ... මෙහෙම කතා දැන් ටික කාලයක සිට අසන්නට ලැබේ.

patalee

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය සහනය ලබාගැනීමට ප්‍රධාන කොන්දේසියක් වූයේ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම විය යුතු බවය. එහිදී රජයේ විදේශීය ණය ගැන කතාව ප්‍රධාන වූ අතර දේශීය ණය ගැන කතාව මුල් කාලයේදී වැඩිමනත් සාකච්ඡාවට ගත්තේ නැත. මුල්‍ය අරමුදලේ කොන්දේසි අතර එය සඳහන්ව තිබුණෙත් නැත. නමුත් විදේශ ණය ප්‍රතිවුහගත කිරීමේ එකඟතාවයන් අදාල පාර්ශ්වවලින් ලැබී තිබුණත් ඒ වෙනුවෙන් රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට පියවර ගත යුතු බවට ඉල්ලීමක් එම ණය හිමි පාර්ශ්වයකින් ලැබී තිබිණ. ඇතැමුන් පෙන්වා දෙන්නේ එම ඉල්ලීම ප්‍රතිව්‍යුහගත කිරීමක් නොව ප්‍රතිසංවිධානය කිරීමක් හෝ ප්‍රශස්ථ කිරීමක් ඉල්ලා සිටීමක් බවය. කෙසේ නමුත් දැන් කතාව ඇත්තේ දේශීය ණය ප්‍රතිවුහගත කිරීමක් නාමයෙන් යම් ණය සහන ක්‍රියාවලියක් සිදු කරන්නට නියමිත බවය. කොහොම නමුත් දේශීය ණය ප්‍රතිවුහගත කිරීමකට නොගිහින් වැඩේ ගොඩින් බේරා ගැනීමට රජය මුලින් අපේක්ෂා කළත් විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සමගාමීව දේශීය රාජ්‍ය ණය සම්බන්ධයෙනුත් යම් වැඩපිළිවෙලකට යෑම අනිවාර්ය වී තිබේ. මෙහි අසීරුතම කාර්යය වූයේ විදේශී රාජ්‍යයන් සහ මුල්‍ය ආයතනවලින් ලබාගත් ණය සම්බන්ධයෙන් ප්‍රතිව්‍යුහගත කිරීමක් නැතිනම් ණය ආපසු ගෙවීම සඳහා සහනයක් හෝ කාලයක් ලබා ගැනීම, ණය හෝ පොලී යම් කපා හැරීමක් වැනි එකඟතාවයක් ලබාගැනීමේ ගැටළුවය. දීර්ඝ කාලයක් මුළුල්ලේ කළ සාකච්ඡාවලින් අනතුරුව ඒ අසීරුතාවය මේ වනවිට අවසන් අදියර දක්වා ගෙන ඒමට ශ්‍රී ලංකා රජය සමත්ව තිබේ. මේ අනුව එළැඹෙන සැප්තැම්බර් මාසය පමණ වන විට එම කටයුතු අවසන් වෙනු ඇත. වාර්තා වන ලෙස එම ණය නොගෙවා සිටීමට වසර දහයක පමණ කාලයක් සහ ණය ගෙවීම සඳහා වසර පහළොවක පමණ දීර්ඝ කාලයක් හිමිවීම අපේක්ෂා කරන නමුත් තවම ඒ පිළිබඳ නිශ්චිත තීරණයක් නොමැත.

keir

දේශීය ණය යනුවෙන් හඳුන්වන්නේ මෙරට බැංකු, මුල්‍ය ආයතන හා මුල්‍ය ආයතන නොවන සේවක අර්ථ සාධක අරමුදලය වැනි ආයතනවලින් ලබා ගත් ණයය. විශේෂයෙන්ම භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් නිකුත් කිරීම හරහා ලබා ගත් ණයය. එම දේශීය මූලාශ්‍රවලින් රජය අරමුදල් සම්පාදනය කරගන්නේ ප්‍රාථමික අයවැය හිඟය පියවීමට, දේශීය ණය ආපසු ගෙවීම්වලට හා දේශීය ණයවල පොලී ගෙවීම් ආදිය වෙනුවෙනි. රාජ්‍ය ආදායම් මාර්ග වන බදු මුදල් හෝ රාජ්‍ය ව්‍යවසායකවල ආදායම් මේ සඳහා ප්‍රමාණවත් නැත. රාජ්‍ය ව්‍යවසායක දිගින් දිගටම පාඩු ලබන තත්වයන් හමුවේ එය පියවන්නට වන්නේත් මේ බදු මුදල් සහ දේශීය ණයවලිනි. භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් නිකුත් කිරීම හරහා රජය සත්‍ය වශයෙන්ම සෘජුව හෝ වක්‍ර ලෙස හෝ ණය ගන්නේ රටේ ජනතාවගෙනි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කියන්නේ යළි ජනතාවට ණය පියවීමට රජය ජනතාවගෙන් සහනයක් අපේක්ෂා කිරීමකි. මේ සහන ඉල්ලීම මහ බැංකුව විසින් ගන්නා තීරණයක් නොවන අතර එය රජය ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට අදාලව ගන්නා දේශපාලනික තීන්දුවකි. මේ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හෝ මැදිහත් නොවේ. ඔවුන් සලකා බලන්නේ ඔවුන්ගේ නිර්දේශ අනුව රජය ඉලක්ක සපුරාලන බව සහ එය ආර්ථික සහ මූල්‍ය ස්ථාවරත්වය සහතික කරනවාද නැද්ද යන්නය.

කොහොම නමුත් විදේශ ණය හිමියන්ගෙන් ගත් ණය ගෙවීමට සහනයක් අත්පත් කර ගැනීම අසීරු සංකීර්ණ කාර්යයක් වූවද ඊට සාපේක්ෂව මෙරට ණය ප්‍රශ්නය එතරම් ගැටලු‍කාරී වන්නේ නැත. විදේශීය ණය හිමියන්ට මෙරටට සහනයක් දෙන්න වෙනවා කියන්නේ ඔවුන්ට යම් පාඩුවක් දරා ගැනීමට වනවා කියන එකය. නමුත් ඒ පාඩුව දරාගෙන හෝ මෙරටට සහයවීමට එම සියලු‍ පාර්ශ්ව මේ වන විට කැමති වී තිබීම මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ලැබුණු විශාලතම සහනයයි. මන්ද මෙම විදේශීය ණය යනු ඩොලර්වලින් ගෙවිය යුතු ඒවා වීම මත මෙරට ඩොලර් සංචිත ප්‍රශ්නය විසඳා ගන්න තුරු ඒ ණය ගෙවීමේ හැකියාව රටට නොමැති බැවිනි. දේශීය ණය සම්බන්ධයෙනුත් රජයට විසඳා ගැනීමට ගැටළුවක් තිබෙන්නේ රාජ්‍ය ආදායම් අවම වීම මත එම ණය ගෙවීමට රුපියල් රජයට නොමැති වීමය. බදු ආදායම් ඒ වෙනුවෙන් ප්‍රමාණවත් නැත. මුදල් අච්චු ගැසීමේ හැකියාව රජයට තිබුණත් මේ අර්බුදයෙන් ගැලවීමට නම් එයින් වැලැකී සිටිය යුතුව තිබේ. ඒ කොහොම වෙතත් දේශීය ණය ප්‍රශ්න විසඳා ගැනීම අසීරු කරුණක් වන්නේ නැත. හරියට ගෙදර ඇතුළේ ප්‍රශ්න ගෙදර සාමාජිකයන් හා හෙමින් සැරේ කතා කර විසඳා ගත හැකි පරිද්දෙනි.

අවදානම කළමනාකරණය

ser3r

එහෙත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රජයට සහනයක් බලාපොරොත්තු වන ආයතන වන බැංකු, මුල්‍ය ආයතන හෝ සේවක අර්ථසාධක අරමුදලට විදේශීය ණය හිමියන් මෙන්ම පාඩුවක් දරා ගැනීමට සිදුවීම මත එම ආයතන කඩා වැටීමකට ලක් වීමේ අවදානමක් තිබිය හැකි බවට මතයක් රෝපණය වීම වැරදි නොවේ. එලෙස අවදානමක් තිබේ. දැන් විපක්ෂය බෙරිහන් දෙන්නේ ඒ මෙම අවදානම කළමනාකරණය කරගැනීමේ හැකියාවක් රජයට නැතැයි ද ඒ නිසා මෙම ආයතන අනිවාර්යෙන්ම කඩා වැටෙනවා කියන විශ්වාසය තබා ගෙනය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ රට ගිල ගන්නා එන රාක්ෂයකු මෙන් පෙන්වා දී මහා භීතියක් මවා පෑම විපක්ෂය විසින් සිදු කරමින් යයි. විපක්ෂය කියන්නේ තමන් බලයේ සිටියා නම් මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොකරණ බවය. නමුත් ඒ ණය ගෙවන්නේ කොහොමදැයි සහ රජයේ වියදම් බලා කියා ගන්නේ කොහොමදැයි කියන්නේ නැත. මේ නිසා විපක්ෂය අද දේශපාලනිකව අසරණ වී ඇති ප්‍රමාණය අනුව මෙහෙම බිල්ලන් මවමින් බෙරිහන් දෙනවාට වඩා දෙයක් ඔවුන්ට කරගත නොහැකි බව තහවුරු වන සත්‍යයකි. ඒ නිසා මේ විපක්ෂයේ කෑ මොර ගෑම් ගැන වද විය යුතු නැත.

කොහොම නමුත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී බැංකු ආදී ආයතනවලට යම් ගැටළුවකට මුහුණ දීමට සිදුවීම යථාර්ථයකි. එහෙත් මෙම ආයතන කඩා වැටීමකට ලක්වන තරමේ දෙයක් සිදුවීමට නියමිතව නැත. අනෙක පෙර පැවැති මුග්ධ, අනුවණ පාලන කාලය සේ අනර්ථකාරී කිසිවක් වත්මන් රජය වෙතින් සිදු වන්නේ නැති බව කැට තබා පැවසිය හැකිය. මන්ද ඊට වඩා අසීරු ක්‍රියාදාමයන් රැසක් සාර්ථකව ජය ගැනීමට ජනාධිපතිවරයාත් ශ්‍රී ලංකා මහ බැංකුවත් මේ වන විට සිය සමත්කම වැඩවලින්ම පෙන්වා ඔප්පු කර ඇති බැවිණි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සුළු ප්‍රශ්නයකි. ඇතැම් විට ආර්ථිකය යළි ගොඩනැගෙන වේගය සහ නිවැරදි කළමණාකරණය අනුව එවැනි අවශ්‍යතාවයක් වුව නොමැති විය හැකිය.

වෙනත් විකල්පය නැත

 

එමෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ණය හිමි ආයතන කඩා වැටෙනවා, රට ඉවරෙටම ඉවර වෙනවා කියන එකමත් විකාරයකි. ඒ ප්‍රකාශ තුළම ඇත්තේ පරස්පරයකි. මන්ද ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යන්න වෙනවා නම් වෙන්නේ රට වැටී තිබෙන අර්බුදයෙන් බේරාගෙන යළි නැගී සි‍ටුවීම වෙනුවෙනි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව ඉදිරියට යෑමට නොහැකි නම් එය නොකර සිටීමෙන් නියතවම විය හැක්කේ බැංකු පමණක් නොව සියළු ආයතන පද්ධතින් බිඳ වැටි රට යළි බංකොළොත් භාවයේ පල්ලටම කඩා වැටීම පමණි. එසේ නොවෙන්න නම් මහ බැකුවට රුපියල් බිලියන දහස් ගණනින් ආදායම් ඉපදවෙන මාර්ග මේ මොහොතේ ක්ෂණිකව ඇති විය යුතුය. එහෙත් එහෙම ඒවා ලොවෙත් වෙන්නේ නැත. ඒ නිසා ප්‍රතිව්‍යුහගත කිරීමකින් හෝ ප්‍රතිසංවිධානය කිරීමකින් එම ණය ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීමක්, ණය යම් පමණකින් කපා හැරීමක් හෝ පොලී අනුපාතයන් වෙනස් කිරීමක් වැනි පියවරක් හරහා ණය තිරසාරභාවය යළි ස්ථාපිත කිරීම විය යුතු වීම අනිවාර්යයකි. ඇතැම් විට සහන ලබා ගැනීම සඳහා ක්‍රමවේද තුනේම සංකලනයක් හෝ භාවිතා කරනු ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට රජය පියවර ගන්නේ ණය තිරසාරභාවය නැවත ලබාගැනීම සඳහා වෙනත් විකල්පයක් දේශපාලනිකව හෝ සමාජීය වශයෙන් පිළිගත හැකි මට්ටමක නොතිබෙන තත්වයන් හමුවේය.

මෙහිදී නිශ්චිතවම ඒ ණය ගෙවීමේ හැකියාව නිර්මාණය කරගැනීම සහ එම ණය ආර්ථිකයේ පැවැත්මට දැඩි බලපෑමක් නොවන ලෙස කළමනාකරණය කිරීම අරමුණ වෙයි. ණය ගෙවීම පාලනය කළ හැකි මට්ටමකට ගෙන ඒම සිදුවේ. එනම් සියල්ල විනාශ වන්නට ඉඩ නොදී අවම හානියකින් දේවල් තුලනය කර ගනිමින් අනාගතය වෙනුවෙන් සුරක්ෂා කර ගැනීමය. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ණය හිමි ආයතන කඩා වැටී මහා ව්‍යසනයක් වෙනවා කීම විකාරයක් බව පැහැදිලිය. එහෙම තැනකට වත්මන් රජය කටයුතු කරන්නෙ නැති බවත් සහතිකය. එලෙස මුග්ධ තීන්දු තීරණ ගෙන රාජ්‍ය ආදායම් අහිමි කරගෙන විදෙස් සංචිත අහිමි කරගෙන හිටපු පාලකයන් කරපු හරිය ගැන සියලු‍ දෙනා දැනුවත්ය. එසේම ඒ පීඩාවන් තවමත් දරාගෙන සිටී. එබැවින් කෙතරම් දුෂ්කර වුවත් වඩා නිවැරදිම ආර්ථික සහ මුල්‍ය කළමණාකාරිත්වයකට පියවර ගැනීම හැර වෙන පිස්සු කෙලීම්වලට අද ඉඩක් නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය ආයතන ගණනාවක් මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානයෙන් පසුවීම තුළත් එවැනි විනාශකාරී තැනකට රට වැටෙන්නේ නැත. ඔවුන් වැටෙන්න ඉඩ තබන්නෙත් නැත. කොහොම වෙතත් මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සාර්ථකව දායක වූ ජාත්‍යන්තර මූල්‍ය උපදේශක ආයතනයක් වන ඛ්‘්රා ීදඩැරුසටබ ්ාඩසිදරහ ඨරදමච, මෙන්ම ගෝලීය ගිණුම්කරණ සහ විගණන ආයතන වන ණඡඵඨ සහ ෑශ ආයතන, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා රාජ්‍ය බැංකු වෙත ප්‍රවේශ විය හැකි හොඳම ක්‍රමය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක යෙදී සිටින අතර ඔවුන් විසින් වඩාත්ම හිතකර පියවර නිර්දේශ කරනුද ඇත.

මහබැංකුවේ පෙර සූදානම

CB

එතෙක් දේශීය ණය ප්‍රතිවුහගත කිරීම සිදුවන්නේ කෙසේද යන්න ගැන අවසන් තීරණයකට රජය හෝ අදාල ආයතන තීරණයකට පැමිණ නැත. කෙසේ වුවත් මෙම වසර අවසන් වන විට එම ක්‍රියාවලියද අවසන් වෙනු ඇත. ඒ කවර ආකාරයක් වුවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යෑමට සිදු වුවහොත් විය හැකි අවදානම් අඩු කිරීම වෙනුවෙන් මහ බැංකුව ගත යුතු මුලික පියවර ගත්තේ කාලයකට කලින්ය. බැංකු පොලී අනුපාතයන් ක්‍රමයෙන් පහත වැටෙන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබීමෙන් පැහැදිලි වන්නේ එයයි. සාමාන්‍යයෙන් රජය විසින් ගෙන තිබෙන දේශීය ණය නැවත ගෙවීම රජයට ප්‍රශ්නයක් වෙනවාද නැද්ද යන්න තීරණය වන්නේ බැංකු පොලී අනුපාතික පවතින මට්ටම් අනුවය. මේ වන විට භාණ්ඩාගාර බිල්පත් පොලි අනුපාතය සියයට 23ට වඩා අඩු අගයක් දක්වා පහත බැස තිබේ. 2022 වසර අවසන් කාලය තුළ පොලී අනුපාතය සියයට 30 කට අධික විය.

මේ අනුව බිල්පත් පොලී අනුපාතිකය සියයට 23ක මට්ටමේ තවදුරටත් තිබීම වුවහොත් දැනට නිකුත් කර තිබෙන බිල්පත්වල පොලී ගෙවන්න පමණක් 2023 දී රුපියල් බිලියන 4,761ක්, 2027දී රුපියල් බිලියන 10,897ක්, 2032දී රුපියල් බිලියන 30,679ක් ආදී වශයෙන් සිදු වෙයි. ඒ අනුව භාණ්ඩාගාර බැඳුම්කර ඇතුළු අනෙකුත් දේශීය ණය සම්බන්ධයෙනුත් මෙවැනි පොලි අනුපාත වැඩි වීමක් සිදුවේ.

නමුත් පසුගිය වසරේ තිබු සියයට 30 වැඩි මට්ටමක පොලී අනුපාතික තිබුණා නම් අවම වශයෙන් 2023 දී රුපියල් බිලියන 4,761ක්, 2027 දී රුපියල් බිලියන 13,598ක්, 2032 දී රුපියල් බිලියන 50,488ක් ආදී වශයෙන් විශාල ගෙවීමක් සිදු කරන්නට සිදුවේ.

ආර්ථික අර්බුද මතුවීමට පෙර 2021 වසර තුළ පොලි අනුපාතික තිබුණේ සියයට 8ක තරම් අඩු අගයකය. එම මට්ටමට යළි පත් වේ නම් 2023 දී රුපියල් බිලියන 4,761ක්, 2027 දී රුපියල් බිලියන 6,477ක්, 2032 රුපියල් බිලියන 9,517ක් ලෙස ගෙවීමට තිබෙන වටිනාකම් විශාල අඩු වීමක් සිදුවේ.

මේ අනුව රුපියල් ටි්‍රලියන 30 ඉක්මවන භාණ්ඩාගාර බිල්පත් ණය ප්‍රමාණය පොලී අනුපාතික සියයට 8 මට්ටමට පත් වූ විට රුපියල් ටි්‍රලියන 9.5 මට්ටම දක්වා පහත වැටෙයි. භාණ්ඩාගාර
බැඳුම්කර ඇතුළු අනෙකුත් ණය සම්බන්ධයෙනුත් මීට සමාන තත්වයක් ඇතිවේ. නමුත් භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයන් තත්වය මීට වඩා යම් සංකීර්ණතාවයකින් යුතුය. බිල්පත් කල් පිරීම වසරකට සීමා වන නමුදු බැදුම්කර කල් පිරීම සඳහා වසරක සිට වසර 30ක පමණ දීර්ඝ කාල වකවානු අනුව ක්‍රියාත්මක වෙයි. නමුත් එම නිසාමත් රජයට වාසි සහගත තත්වයක් ද එහි තිබේ. එහෙත් එම ණය පොලී කප්පාදුවකට නොගියහොත් බැදුම්කර සඳහා නියම කළ පොලී අනුපාතයන් අඛණ්ඩව ගෙවීමට සිදුවනු ඇත. නමුත් එහිද බරපතල තත්වයක් නැත. පසුගිය වසර කිහිපය තුළ භාණ්ඩාගාර බිල්පත් විවිධ පොලී අනුපාතිකයන් අනුව නිකුත් කළ ඒවා වුවත්, ඉහළ පොලී අනුපාතික නිකුත් කිරීම් සිදුව ඇත්තේ 2022 වසරේ අප්‍රේල් මාසයෙන් පසු මාස කිහිපයකදී පමණය. ඊට පෙර නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර අඩු පොලියක් යටතේ නිකුත් කර ඇත.

මේ අනුව දැනට වෙළඳපොළේ තිබෙන භාණ්ඩාගාර බැඳුම්කරවලින් සියයට 80කට වැඩි ප්‍රමාණයක් සියයට 10කට වඩා අඩු පොලී අනුපාතයක් යටතේ තිබෙන ඒවාය. එසේම දැනට වසරකට පෙර පමණ පෙර සිට නිකුත් කළ බැඳුම්කර නිකුත් කර ඇත්තේද දීර්ඝ කාලීන පදනමින් නොවේ. මේ අනුව බැදුම්කර සදහා දීර්ඝ කාලයක් වැඩි පොලියක් ගෙවන්න රජයට සිදු වන්නේ නැත. එය යම් ලෙසකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යෑමට සිදුවුවහොත් විය හැකි අවදානම ගැන කල්පනාකර මහ බැංකුව නිවැරදි සැලසුමක් යටතේ වූ පෙර සුදානමේ ප්‍රතිපලයකි. එහි වාසියත් මේ වන විට හිමිවී ඇති අතර මේ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුවුවත් විපක්ෂ නන්දොඩවන ලෙස බැංකු පද්ධති කඩා වැටීමේ අවදානමක් කිසිසේත්ම ඇති වන්නේ නැත. සේවක අර්ථ සාධක අරමුදලට එතරම්වත් හානියක සේයාවක්වත් නොවැටෙනු ඇත.

ණය පංගුව අඩුකිරීම

රජයේ අපේක්ෂාව වන්නේ 2027-2032 කාලය තුළ මෙරට දේශීය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 8.5 සීමාවට (දේශීය - විදේශීය එකතුව සියයට 13) ගෙන ඒමය. එය මේ මොහොතේ අසීරුම ඉලක්කයකි. පසුගිය 2022 වසර මෙම එකතුව ද.දේ.නි.යෙන් සියයට 38කි. කෙසේ නමුත් 2027 දී එය සියයට 25කට පමණ ගෙන ඒමට සැලසුම් කර ඇති අතර 2032 දී ඒ සියයට 8.5කට අපේක්ෂා කරයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ක්‍රියාත්මක කළ යුතු බව කියන්නේ එම සියයට 8.5 මට්ටම දක්වා අඩු කිරීම විය යුතු බැවිනි. බැංකු මුල්‍ය ආයතන කඩා වැටීමකට ලක් වේ යැයි අඳෝනාවක් ගොඩනැගෙන්නේ ඒ අනුවය. එහෙත් පොලී අනුපාතික සියයට 8 මට්ටමට ගෙන ඒමට හැකියාවත් තිබේ නම් මෙම අවදානම් තත්වය පහව යනු ඇත. ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම වුව දැඩි තීරණයන්ට නොගිහින් ආර්ථිකයේ වර්ධනයන් සමග දේශීය ණය කල් පිරීමේ කාලය ප්‍රතිසංවිධානය කරගැනීමේ ලිහිල් ප්‍රතිපත්තියකින් වුව අවශ්‍ය ඉලක්කයට යෑම කළමණාකරණය කරගැනීමේ හැකියාව තිබේ. නමුත් පොලී අනුපාතය අඩු වීමේ වේගය මත එය සිදුවෙනු ඇත. පොලී අනුපාතයන් තීරණය වන්නේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වර්ධනය වන තත්වයන්ගේ ස්වභාවය අනුවය. උද්ධමනය වේගයෙන් අඩු වීම, විදේශ විනිමය ලැබීම් වැඩිවීම, නව බදු ප්‍රතිපත්තිය නිසා යළි රාජ්‍ය ආදායම් වර්ධනයවීම, සංචාර ව්‍යාපරයේ නැගීම, ආනයන අපනයන වියදම් පරතරය අඩුවීම ආදී යහපත් තත්වයන් අනුව පොලි අනුපාතයන් තීරණය කිරීම කෙරෙහි බලපායි. එනම් ආර්ථිකය යථා තත්වයට පත්වීම වන තරමට පොලි අනුපාතයන් පහළ යෑම සිදුවේ.

එමෙන්ම පොලී අනුපාතික අඩු වන විට බැංකු ඇතුළු අනෙකුත් මූල්‍ය ආයතනවල සේම සේවක අර්ථසාධක අරමුදලේත් වත්කම්වල වෙළඳපොළ අගය ඒ ක්ෂණයෙන්ම ඉහළ යන අතර ඒ අනුව දැනට තිබෙන අවදානමත් එයින් මඟ හැරෙනු ඇත. මේ නිසා පොලී අනුපාතික පහළට ගැනීම වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කළත් එයින් වෙන සුළු අවාසියට වඩා ලැබෙන වාසිය වැඩිය. ඒ නිසා, ප්‍රතිව්‍යුහගත කිරීම ඉක්මන් වන තරමට බැංකුවලට හා අනෙකුත් ආයතනවලට නැවතත් සුපුරුදු පරිදි ලාබ ඉපැයීමේ තැනට පත්විය හැක. මේ අනුව බැංකු ඉතුරුම් තැන්පතු හෝ ස්ථිර තැන්පතු ආදීය සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් ඇති නොවේ. යම් ලෙසකින් හෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් දේශීය ණය හෝ පොලී කප්පාදුවක් සිදු කළත් එය නොදැනෙන තරම් සුළු ප්‍රමාණයකින් සිදු වෙනු ඇත. එමඟින් බැංකු හෝ මුල්‍ය ආයතන ලබන ආදායම් ලාභය යම් අඩුවක් වුවත් පාඩුවක් නොවන අගයකින් එය සිදු වෙනුද ඇත. මේ අනුව ඉතාම පැහැදිලි කාරණය වන්නේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ දැවැන්ත කඩා වැටීමකට නියමිතව තිබු ආර්ථික හා මුල්‍ය පද්ධතීන් ඒ අවදානමෙන් මුදවා ගැනීම වත්මන් රජය ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණයන් හරහා සිදු වන බවය. මේ අනුව බැංකු කඩා වැටෙනවා නම් එසේ කඩා වැටීමට වැඩිම හැකියාවක් තිබු කාලය දැන් පසු වී ඇත. මෙය විපක්ෂයත් නොදන්නවා නොවේ. එහෙත් විපක්ෂ කණ්ඩායම් බැංකු කඩා වැටෙනවා කියමින් භීතිය වපුරන්නේ තැන්පත්කරුවන් බිය වී මෙම තැන්පතු ආපසු ගැනීමට පෙළඹවීමටය. එවැනි තත්වයක් ඇතිවුවහොත් නම් බැංකු කඩා වැටීම අනිවාර්ය වන අතර රටේද අවසානය එයම වෙනු ඇත. විපක්ෂයේ නරුම තක්කඩි දේශපාලනය අද ඇත්තේ එතැනය.



කොහොම නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් නිවැරදිම තීන්දු තීරණ වත්මන් රාජ්‍ය පාලනය විසින් ගනු ලැබුවත් මේ දීර්ඝ කාලීන මෙහෙයුම සාර්ථක වී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණයෙන් පවසන 2048 වසරේදී ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වීම තීරණය වන්නේ පසු කාලීනව මෙරට බලය හොබවන පාලකයන් අඛණ්ඩව මෙම ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති අනුගමනය කළහොත් පමණය. එසේම ආණ්ඩු මාරු වන විට මහ බැංකු වැනි ආයතනවල ප්‍රධානින්ගේ වෙනස්කම් සිදුවී ප්‍රතිපත්ති වෙනස් වීමත් රට යළි කඩා වැටීමට හේතු වනු ඇත. 2019 ආණ්ඩු වෙනසෙන් වූයෙත් එලෙස නිවැරදි මාවතට ගෙන තිබු ආර්ථිකය යළි කැළෑ වැද්දීමය. කොහොම නමුත් රටට ඉතිරිව ඇති එකම විකල්ප මාර්ගයෙහි මේ වන විට සාර්ථකව ඉදිරියට ගමන් කරමින් තිබේ. කවුරු බලයට ආවත් රට ගොඩගැනීමට මේ මඟ හැර වෙනත් මඟක් නැත.

 

- ජයතුංග බණ්ඩාර

 Chatham Street Journal - 2023/06/18

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්