(මෙම ලිපිය විද්‍යුත් මාධ්‍ය නියාමනය පිළිබඳ පසුගිය ලිපි මාලාව හා සම්බන්ධය).


යෝජිත  විද්‍යුත් මාධ්‍ය කොමිසම පිළිබඳ කතිකාවට පසුගිය සතිය තුළ දිශානතීන් කිහිපයක් එකතු වනු දක්නට ලැබිණි.

# පළමුවැන්න, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පනත බ්‍රිතාන්‍යයේ පවතින නීති රාමුව මත සකස් කළ යුතු බව ‍ ප්‍රකාශ කිරීම,

ජාතිය මාර්කට් කරන්නෙ කොහොමද ?- දිලිත් කියයි


# දෙවැන්න, දෙරණ මාධ්‍ය ජාලය හිමිකරු දිලිත් ජයවීර විසින් මාධ්‍ය බොරු කියන එක සහ අවිචාරශීලී භාවිතය නැවැත්විය යුතු බවට කළ ප්‍රකාශය (මෙම ප්‍රකාශයට සමාජ මාධ්‍ය ප්‍රතිචාර දැක්වූයේ දිලිත් මෙම උපදේශය ලබා දුන්නේ  තමන්ගේ අයිතිය යටතේ තිබෙන රූපවාහිනී නාලිකාවේ සේවකයන්ට බව පවසමිනි),

# තෙවැන්න යෝජිත පනත පිළිබඳව විෂයභාර ඇමතිවරු, අධිකරණ ඇමතිවරයා, විපක්ෂයේ නියෝජිතයින්,  විද්‍යුත් මාධ්‍ය සහ  මාධ්‍ය සංවිධාන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවේදී යෝජිත පනතට විකල්ප පනතක් සති තුනක් ඇතුළත ඉදිරිපත් කරන බව  ප්‍රකාශ වීම.

රූපවාහිනිය දුරාචාරයේ යෙදවීම

රූපවාහිනී සහ  ගුවන්විදුලි මධ්‍යස්ථාන හිමිකරුවන් විසින් තමන්ට ලැබී තිබෙන අන් අයට නොලැබුන විශේෂ  වරප්‍රසාදය තම දේශපාලන සහ වෙළෙඳපොළ උවමනාවන් වෙනුවෙන් යොදා ගැනීම නිසා සමස්ත සමාජයට සහ  ප්‍රජාතන්ත්‍රවාදය ට සිදුවන අගතිය අවම කිරීම සඳහා ස්වාධීන විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසමක අවශ්‍යතාවය පසුගිය ලිපිය මගින් මෙම ලියුම්කරු පෙන්වා දුන්නා. වර්තමානයේ  අප මුහුණ දී සිටින සමාජ, දේශපාලන, ආර්ථික අර්බුදයේ  ප්‍රධාන  පාර්ශවකරුවා වශයෙන් මෙම රූපවාහිනී නාලිකා හඳුන්වන්න පුළුවන්.

රූපවාහිනී හිමිකරුවන්ට  බලපත්‍ර වරප්‍රසාදය ලැබීමේ ඉතිහාසය

TV copy

1990 දශකයේ මුල්භාගයේදී එවකට බලයේ සිටි ප්‍රේමදාස  ආණ්ඩුව විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමකින් හෝ   නීතිමය රාමුවක් සකස් කිරීමෙන්, සහ විවෘත ටෙන්ඩර් කැඳවීමකින් තොරව  ගුවන්  විදුලි  සහ රූපවාහිනී මධ්‍යස්ථාන පෞද්ගලික හිමිකාරත්වය යටතේ ආරම්භ කිරීම සඳහා තම ගජ මිතුරන් කිහිප දෙනෙකුට බලපත්‍ර ලබා දෙනු ලැබුවා. එම වරප්‍රසාදය හිමි වූවන් අතර මහරාජා, විජේමාන්න, රනිල් වික්‍රමසිංහගේ සහෝදරයා වන ශාන්, ගාමිණි දිසානායක අමාත්‍යවරයාගේ හිතවතකු වන විජේසූරිය ආදීන් සිටියා.

ලිවී විජේමාන්න වරෙක මෙම ලියුම්කරු සමඟ පැවසුවේ බලපත්‍රය සඳහා රජය විසින් ගාස්තුවක් අය නොකළ බවත්, තමන්ට  ගුවන්විදුලි මධ්‍යස්ථානයක් ආරම්භ කරන්නට බලපත්‍රය ලැබෙන විට තමන්ට සමාගමක්  නොතිබුණු  බවත් පසුව “Colombo Stores”  හිමිකරු සමග එකතු වී “Colombo කොමිනිකේෂන්” සමාගම පිහිටුවා “Capital Radio”  “එෆ්එම් 99” සහ “සවන FM” ගුවන් විදුලි මධ්‍යස්ථාන පටන් ගත් බවයි.

මෙම බලපත්‍ර ලබාදීමට පෙර කළ යුතුව තිබුණේ ස්වාධීන විද්‍යුත් මාධ්‍ය කොමිසමක් පිහිටුවා ඒ කොමිසම මගින් විවෘත වෙළෙඳ පොළේ ටෙන්ඩර් කැදවා සුදුසුකම් තිබෙන අයට බලපත්‍ර ලබා දීමයි.

ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ඒකාධිකාරය යටතේ තිබූ  විද්‍යුත් තරංග මාලා පෞද්ගලීකරණයට තීරණය කරනු ලැබුවේ තරුණ අසහන කොමිසමේ සහ සර්වපාක්ෂික සමුළුවේ නිර්දේශ  ක්‍රියාවට නැංවීමටයි. මෙය මෙරට ජනමාධ්‍ය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමේ ප්‍රබලතම සන්ධිස්ථානය වශයෙන්ද හඳුන්වන්න පුළුවන්.

stock photo cropped view man giving briefcase

ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමකින් සහ නීතිමය ආයතන ව්‍යුහයක් ගොඩනැගීමකින් තොරව ආණ්ඩුව විසින් පිටුපස දොරෙන් තම ගජ මිතුරන්ට රූපවාහිනී, ගුවන් විදුලි බලපත්‍ර වරප්‍රසාදය ලබා දීමේ ක්‍රියාවලිය ඉන්පසු අද දක්වාම ඒ ආකාරයටම සිදුවෙමින් තිබෙනවා.

චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ හිතවතුන් වූ ආසියානු මාධ්‍ය ජාලය ද, දිලිත් ජයවීර වැනි මහා පරිමාණ ව්‍යාපාරිකයින් ද, රාජපක්ෂවරුන් ද, ආගමික නායකයින් ද, ජනතා විමුක්ති පෙරමුණ ද මෙම වරප්‍රසාදයට හිමිකම් කියනු ලැබුවා.

මෙසේ ලබා දෙනු ලැබූ  බලපත්‍ර වල කොන්දේසි විවිධ වූ අතර එම කොන්දේසි වල තිබූ ලිහිල් බව නිසා බලපත්‍රලාභීන් ට තමන්ගේ බලපත්‍රය අන් අයට විකිණීමේ හැකියාව ද ලැබුණා. නිදසුනක් වශයෙන් විජේමාන්න, විජේසූරිය, ජනතා විමුක්ති පෙරමුණ මෙසේ බලපත්‍රය අන්සතු කරනු ලැබුවා. මෙම ක්‍රමය නිසා සමාජ විරෝධී පුද්ගලයෙකුට හෝ ජනාධිපති අපේක්ෂකයෙකුට මේ සියලුම බලපත්‍ර  තමන් සතු කරගෙන මැතිවරණ ව්‍යාපාරයට යොදා බලයට පත්විය හැකිය. මෙම මාධ්‍ය සමාගම් කොටස් වෙළෙඳපොළ තුළ නොමැති අතර බොහෝවිට මේවායේ සැබෑ හිමිකරුවන් සහ මේවට මුදල් යොදවන ආකාරය රහසිගතය.

සීමිත මහජන දේපලක් මේ ආකාරයට දුරාචාරයේ යෙදවීමට අවස්ථාව ලැබීම මෙරට මානව සංවර්ධන ‍ක්‍රියාදාමයට ඉතා අහිතකරය. රූපවාහිනී, ගුවන්විදුලි මධ්‍යස්ථාන හිමිකාරත්වය සමාජයේ තිබෙන බහුවිධ බව (pluralism) සහ විවිධත්වය (diversity) සහතික වන ආකාරයට සුදුසුකම් සහිත අයට පමණක් කොන්දේසි සහිතව විවෘත, ස්වාධීන ක්‍රමවේදයක් ඔස්සේ ලබා දීම අවශ්‍ය වන්නේ එබැවිනි.

මෙරටට  ස්වාධීන විද්‍යුත් මාධ්‍ය කොමිසමක අවශ්‍යතාව 2016 වසරේදී ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යුනිස්කෝ මාධ්‍ය සංවර්ධන දර්ශක පදනම් කරගෙන කරනු ලැබූ අධ්‍යයනය මගින් ද ආර්. කේ ඩබ්ලිව් ගුණසේකර කමිටු වාර්තාව මගින් ද, මෙරට මැතිවරණ නිරීක්ෂණය කළ ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායම් වාර්තා මගින් ද,  අධිකරණය මගින් ද පෙන්වා දී ඇත.

commission

1997 වසරේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව විසින් විද්‍යුත් විකාශන අධිකාරී පනතක් ඉදිරිපත් කරනු ලැබූ අතර එය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කරනු ලැබීය. අතුකෝරල නඩුව නමින් ප්‍රසිද්ධියට පත්වූ එම අධිකරණ තීරණය මගින් පනත අදහස් ප්‍රකාශ කිරීමෙන් නිදහසට බාධාවක් බව තීරණය විය.

පනතේ ඇමතිවරයාට ලැබී තිබෙන බලතල සහ පනත මගින් අධිකාරියේ ස්වාධීනත්වය අහිමි කර තිබීම මෙහිදී මතුවූ ‍ ප්‍රධාන කරුණකි. මෙම පනත ජාත්‍යන්තර ‍ ප්‍රශස්ත භාවිතාවන් හා  ප්‍රමිතීන්ට පටහැනි පනතක් විය.

විකල්පය

roahana

රොහාන් සමරජීව, විජයානන්ද ජයවීර, ප්‍රදීප් එන්. වීරසිංහ

2018 වසරේ දී මංගල සමරවීර ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පත්කළ මහාචාර්ය රොහාන් සමරජීව, විජයානන්ද ජයවීර සහ මෙම ලියුම්කරු ඇතුළත්වූ කමිටුව විසින් ස්වාධීන විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසමක් පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස්කරනු ලැබූ අතර එය මේ දක්වා ‍ ප්‍රසිද්ධ කර නොමැත. එම පනත් කෙටුම්පත සම්පාදනයේදී ‍ බ්‍රිතාන්‍ය, ඇමෙරිකානු සහ අයර්ලන්ත ‍ විද්‍යුත් මාධ්‍ය නියාමන මොඩලයන් සැලකිල්ලට ගනු ලැබීය. මෙම මොහොතේ මෙම පනත මහජන සාකච්ඡාවට යොමු කිරීම වඩාත් ‍ ප්‍රශස්ත කෙටුම්පතක් හඳුන්වාදීම සඳහා ආරම්භක පියවරක් වනු ඇත.

විද්‍යුත් මාධ්‍ය නියාමනයට විරුද්ධවන්නන්ගේ වතගොත

මෙරට බහුතරය වන  නිශ්ශබ්ද ජනයා මත තම ආධිපත්‍යය රඳවා ගනිමින් වරප්‍රසාදලාභීන් බවට පත්ව සිටින ප්‍රධානම බල කුළුණු තුනක් වන රූපවාහිනී නාලිකා, සිවිල් සමාජය සහ දේශපාලඥයින් විද්‍යුත් මාධ්‍ය නියාමනයට විරුද්ධ බලවේග වශයෙන් හඳුනාගත හැකිය. මීට අමතරව මාධ්‍ය සංවිධාන ද මීට විරෝධය පළ කරන බවක් පෙනේ. පොදුවේ ගත්විට මෙම විරෝධය පළ කරන කණ්ඩායම් විද්‍යුත් මාධ්‍ය අරාජිකත්වයේ සහ විද්‍යුත් මාධ්‍ය දුරාචාරයේ යෙදවීමේ වාසිය ලබන එහි සෘජු ප්‍රතිලාභීන්ය. නිශ්ශබ්ද බහුතරය වන සාමාන්‍ය ජනතාව එහි වින්දිතයින්ය.

රූපවාහිනී නාළිකා හිමිකරුවන්

දැනටමත් බලපත්‍රලාභී වරප්‍රසාදය භුක්ති විඳිමින් විද්‍යුත් මාධ්‍ය වපසරියේ අරාජිකත්වයේ, දේශපාලන සහ වෙළෙඳපොළ ප්‍රතිලාභ වලට හිමිකම් කියන රූපවාහිනි සහ ගුවන්විදුලි මධ්‍යස්ථාන හිමිකරුවන් විද්‍යුත් මාධ්‍ය නියාමනයට විරුද්ධව දිවිහිමියෙන් සටන් වදිනු පෙනේ. අතේ ඇඟිලි ගානටත් අඩු අගනුවර කේන්ද්‍රීය මහා පරිමාණ  ව්‍යාපාරිකයන් වන මොවුන් තමන්ට රට තුළ විශාල දේශපාලන ,වෙළෙඳපොළ සහ සමාජ බලයක් හිමිව තිබෙන වරප්‍රසාදය අහිමි කර ගැනීමට කිසිසේත්ම කැමති නො වීම ස්වභාවිකය.

මාධ්‍යකරුවන් සහ  මාධ්‍යකරුවන්ගේ සංවිධාන

header media tcm7 89834 10092017 FNM CMY

 

මෙවැනි  ස්වාධීන විද්‍යුත් මාධ්‍ය  කොමිසමක සෘජු ‍ ප්‍රතිලාභීන් වන්නේ මාධ්‍යකරුවන් සහ මාධ්‍යකරුවන්ගේ සංවිධානයි. මෙවැනි කොමිසමක් ස්ථාපනය කිරීම තුළින් විද්‍යුත් මාධ්‍යකරුවන්ට වෘත්තීයභාවයෙන් කටයුතු කිරීමට අවස්ථාව ලැබේ. මහාචාර්ය රොහාන් සමරජීව කමිටු පනත් කෙටුම්පතට අනුව ප්‍රවෘත්ති ‍ මාධ්‍යකරුවන්ට සහ සංස්කාරකවරුන්ට කර්තෘ නිදහසත් (Editorial Independence)  ස්වාධීනත්වයත් ලබාදීමට විධාන යොදා ඇත. ප්‍රවෘත්ති ‍ මාධ්‍යකරුවන්ට සහ සංස්කාරකවරුන්ට හිමිකරුවන්ගේ බලපෑමෙන් තොරව වෘත්තීය ආචාර ධර්ම මත පමණක් පදනම්ව තම වෘත්තියේ නියැලී මේ අවස්ථාව  මාධ්‍ය නියාමන ව්‍යුහයක් තුළින් උදා කරගත හැකිය. ඒ සඳහා දොරටු විවර කරගැනීමට වර්තමානයේ කදිම අවස්ථාවක් මාධ්‍යකරුවන් සහ මාධ්‍යකරුවන්ගේ සංවිධාන සඳහා උදා වී ඇති නමුත් පුදුමයකට මෙන් ඔවුන්ද  විද්‍යුත් මාධ්‍ය නියාමනයට විරුද්ධව අවි අතට ගෙන ඇත. 

මාධ්‍යකරුවන් සහ මාධ්‍යකරුවන්ගේ සංවිධාන මීට විරුද්ධ වීමට බලපෑ ඇති සාධක ගණනාවකි. මෙරට රූපවාහිනි සහ ගුවන්විදුලි මධ්‍යස්ථාන වල වෘත්තීය සමිති පිහිටුවීමට මාධ්‍ය ආයතන හිමිකරුවන් අවසර දී නොමැත. මේ නිසා ‍විද්‍යුත් මාධ්‍ය ආයතන වල වැඩ කරන මාධ්‍ය ශ්‍රමිකයින්ට වෘත්තීය අයිතිවාසිකම්, කර්තෘ නිදහසත් (Editorial Independence)  ස්වාධීනත්වය, සහ වෘත්තීය ආචාර ධර්ම වෙනුවෙන් පෙනී සිටීමේ අවස්ථාවක් නොමැති අතර ඔවුන් හාම්පුතුන්ගේ වැටුප් ලබන ‍ ශ්‍රමිකයන් පිරිසක් පමණි.  මේ නිසා තම හාම්පුතුන් සතුටු කර  වරප්‍රසාද ලබා ගැනීම හැරෙන්නට ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැත.  

අනිත් අතට පවතින අවිධිමත් සමාජ වගකීමක් නොමැති මාධ්‍ය භාවිතය හරහා මෙම මාධ්‍යකරුවන්ට සමාජ ප්‍රාග්ධනයක් උපයා ගනිමින් සමාජය තුළ විශාල බලයක් ගොඩනගාගැනීමේ අවස්ථාව ලැබී තිබේ. ස්වාධීන විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසමක් මගින් වෘත්තීයභාවයෙන් කටයුතු කිරීමට අවස්ථාව ලැබීම හරහා ඔවුන් දැනට භුක්තිවිදින මෙම වරප්‍රසාද අහිමි වන අතර එයට ඔවුන් කැමති නොවේ.

media 1200px 23 06 13 1000x600

මෙරට මාධ්‍යකරුවන්ගේ වෘත්තීය සමිති දක්නට නොලැබෙන (කුඩා සමිතියක් දෙකක් තිබුණ ද ඔවුහු  තනතුරු වෙනුවෙන් අධිකරණයේ නඩු හබ වලට පැටලී සිටිති) අතර සුභසාධනය අරමුණු කරගත් සංවිධාන ගණනාවක් දක්නට ලැබේ. ඒවායේ සාමාජිකත්වය  ඉතා සුළු පිරිසකට සීමා වී තිබේ.

මාධ්‍ය නිදහස වෙනුවෙන් නිවේදන නිකුත් කරන  රාජ්‍ය නොවන ස්වරූපයේ සංවිධානවල සාමාජිකත්වය ගජ මිතුරන් කිහිප දෙනෙකුට සිමා වන අතර  ඒවායේ තනතුරු එකම පුද්ගලයන් අතර වාර්ෂිකව මාරුවන රහසිගත ස්වරූපයක් ගෙන තිබේ. මෙවැනි සංවිධාන වලට ‍විද්‍යුත් මාධ්‍ය නියාමනය වැනි ‍ප්‍රපංචයක් “තමන් සිටින බව” රටට පෙන්වීමටත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා සටන් කිරීමට  ජාත්‍යන්තර සංවිධාන හරහා අරමුදල් එකතු කර ගැනීමටත් කදිම අවස්ථාවකි.

ඒ අනුව මාධ්‍යකරුවන් ගේ සංවිධානවලට සහ  අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් වලට "වගකීම් විරහිත වෘත්තීයභාවයෙන් තොර විද්‍යුත් මාධ්‍ය අරාජිකත්වය සහ මහජන දේපල දුරාචාරයේ යෙදවීම  තම පැවැත්ම සඳහා  අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව තිබේ. ඒ නිසා ඔවුහු ආණ්ඩුව ගෙනඑන අගතිගාමී පනත් වලට විරුද්ධ වීම හැරෙන්නට ස්වාධීන විද්‍යුත් මාධ්‍ය නියාමන ව්‍යුහයක  සමාජීය සහ ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යතාවය නොදැක්කා සේ සිටිති.

සිවිල් සමාජය

මෙරට සිවිල් සමාජය ස්වාධීන ද්‍යුත් මාධ්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන ව්‍යූහයක අවශ්‍යතාවය පිළිබඳව අනුගමනය කරන්නේ නිහඩ පිළිවෙතකි. ඊට බලපාන ‍ ප්‍රධාන සාධක දෙකක් හදුනාගත හැකිය. මෙම සිවිල් සංවිධානවල  ප්‍රචාරක කටයුතුවලට සහ ප්‍රධානීන්ට, වෘත්තිකයන්ට  සහ ශාස්ත්‍රඥයන්ට සමාජයීය ප්‍රාග්ධනයක් ගොඩනඟා ගැනීම සඳහා රූපවාහිනී කැමරා ඉදිරියේ පෙනී සිටීමට නම් මාධ්‍ය හිමිකරුවන් සමග මිතුරු සබඳතාවයක් පවත්වාගෙන යා යුතුය.  

 විද්‍යුත් මාධ්‍ය නියාමනයට ‍ මාධ්‍ය හිමිකරුවන් විරුද්ධ වන බැවින් ඔවුන්ගේ හිත රිදෙන දෙයක් කිරීමට සිවිල් සංවිධාන ඉදිරිපත් නොවේ. නිදසුනක් වශයෙන් පසුගිය මැතිවරණ සමයේ  රූපවාහිනී නාලිකා වල හැසිරීම නිරීක්ෂණය කිරීමට  රාජ්‍ය නොවන සංවිධානවලට මෙම ලියුම්කරු යෝජනා කළ විට ඔවුන් පැවසුවේ තමන්ට රූපවාහිනී නාලිකා හිමිකරුවන් තරහ කරගත නොහැකි බැවින් තම සංවිධාන  සමාජ මාධ්‍ය නිරීක්ෂණයට පමණක් යොමුවන බවයි.

දෙවැන්න ස්වාධීන විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසමක් මගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු වන බැවින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන වලට අදහස් ප්‍රකාශ කිරීමේ අරගල වෙනුවෙන් ලැබෙන අරමුදල් අහිමි වී යෑමයි.

දේශපාලනඥයො සහ දේශපාලන පක්ෂ

රටක දේශපාලනඥයින්ගේ සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ කාර්ය වන්නේ රටේ බහුතර ජනයාගේ උනන්දුව සහ උපරිම යහපත වෙනුවෙන් ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය කිරීමයි. විද්‍යුත් මාධ්‍ය නියාමනය යනු මෙරට බහුතර ජනයාගේ යහපතට හේතුවන කරුණකි ( බහුතර ජනයා ඒ පිළිබඳව නොදැන සිටිය ද). ඒ අනුව මහජන යෝජිතයින්ගේ භූමිකාව විය යුත්තේ විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා නීති සම්පාදනය කිරීමයි.

එහෙත් මෙරට මහජන නියෝජිතයින්ට රූපවාහිනී නාලිකාවක් යනු තම “ජයග්‍රහණයේ සහ පරාජයේ මැජික්කරුවාය”. එම හේතුවෙන් මහජන නියෝජිතයින් රූපවාහිනී නාලිකා කෙරෙහි විශාල බියක් දක්වන අතර ප්‍රතිපත්ති සම්පාදනයේදී තීරණ ගන්නේ රූපවාහිනී මධ්‍යස්ථාන වල හිත නොරිදෙන පරිදි ය. වෙනත් ආකාරයකින් කිවහොත් රටේ බහුතර ජනයාගේ යහපත වෙනුවෙන් ප්‍රතිපත්ති  සම්පාදනය කරනු වෙනුවට රූපවාහිනී නාලිකා හිමිකරුවන් සතුටු වන ආකාරයේ තීරණ ගැනීමට මහජන නියෝජිතයන් සැදී පැහැදී සිටිති.

ඒ අනුව රූපවාහිනී මධ්‍යස්ථානවල බල ආධිපත්‍ය සහ වෘත්තීය නොවන භාවිතය අභියෝගයට ලක්වන ස්වාධීන විද්‍යුත් මාධ්‍ය නියාමනය වැනි ප්‍රපංචයක් හමුවේ මහජන නියෝජිතයින් සහ දේශපාලඥයින් සිට ගන්නේ පොදු ජනයාගේ  පැත්තේ නොව රූපවාහිනී මධ්‍යස්ථාන හිමිකරුවන්ගේ පැත්තේය. අනිත් අතට  මෙරට විද්‍යුත් මාධ්‍ය මධ්‍යස්ථානවල ප්‍රජාතන්ත්‍ර විරෝධී, වගවීමක් නොමැති හැසිරීම සහ ක්‍රියාකාරීත්වය නිසා සමස්ත සමාජයට සිදුවන හානිය අවම කිරීමේ වගකීම ඇත්තේ ද දේශපාලනඥයින් සහ මහජන නියෝජිතයන් වෙතය.

ඒ සඳහා දේශපාලනඥයින් සහ මහජන නියෝජිතයන් පටු දේශපාලන අරමුණු වලින් බැහැරව මහජන යහපත සඳහා කැපවීම අවශ්‍ය වේ. මෙරට මහජන නියෝජිතයින් මේ මොහොතේ තෝරා ගන්නේ මහජනතාවගේ පැත්ත ද එසේ නැතහොත් රූපවාහිනී නාලිකා හිමිකරුවන්ගේ පැත්ත ද යන්න මත මෙරට සමාජයේ අනාගත යහපත රැඳී පවතී.


විකල්පය කොතනද? - ආචාර්ය ප්‍රදීප් එන්' වීරසිංහ(ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
කොළඹ විශ්වවිද්‍යාලය.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත මෙන්න


සබැඳි ලිපි :

රූපවාහිනී නාලිකා, නියාමනයට විරුද්ධවන්නන් සොයයි - (ආචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ)

මාධ්‍ය නියාමන ප්‍රමිතීන්ට පටහැනි සාකච්ඡා ලියවිල්ලක් - (මහාචාර්ය රොහාන් සමරජීව)

විද්‍යුත්මාධ්‍ය නියාමනය හුදු ව්‍යාපාරික ගනුදෙනුවක් ද ? - (විජයානන්ද ජයවීර)

විද්‍යුත් මාධ්‍ය නියාමනය කොයිබට ද 1 ? - (ආචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ)


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්