1948 වසරේ සිට ෂිබුයා දුම්රිය ස්ථානයේ ඇති හචිකෝගේ පිළිරුව


චිත්‍රපට දැන්වීම් පුවරුවක ඇති චීන තේමා පාඨය මේ සුනඛයා පිළිබඳ සියල්ල පවසයි: "කොපමණ දීර්ඝ කාලයක් ගතවුව ද, මම ඔබ එනතුරු බලා සිටිමි."

හචිකෝ නම් විශ්වාසවන්ත සුනඛයා සිය ස්වාමියාගේ මරණයෙන් පසු බොහෝ කලක් ජපානයේ දුම්රිය ස්ථානයක ඔහු එනතුරු බලා සිටි සත්‍ය කතාව ඉන් කියවෙයි‍.

මීට වසර 100කට පෙර උපන් ක්‍රීම් සුදු පැහැති, අකිටා ඉනු වර්ගයේ සුනඛයා, පොත්වල හා චිත්‍රපටවල සිට හාස්‍යමය විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවක් වන Futurama දක්වා විවිධ නිර්මාණ හරහා අනුස්මරණයට ලක්ව තිබේ. 1987 දී මෙම සුනඛයා අළලා නිපදවූ ජපාන චිත්‍රපටයෙන් පසු පැමිණි තෙවන චිත්‍රපටය වන, 2009 දී රිචර්ඩ් ගියර් රංගනයෙන් දායක වූ චීන සිනමාපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැමීය. 

 
ග්‍රේෆ්රයර්ස් බොබී වැනි තව ත් අතිශය ළෙන්ගතු සුනඛයින් පිළිබඳ කතන්දර තිබුණ ද, ගෝලීය බලපෑමක් ඇති කළ හචිකෝ වැනි වෙනත් සුනඛයෙකු නොවී ය.

Hachiko.japan

ඔහුගේ ලෝකඩ ප්‍රතිමාවක් ටෝකියෝහි ෂිබුයා දුම්රිය ස්ථානයේ ඉදිකර ඇත.

1948 වසරේ සිට දශකයක කාලයක් ඔහු සිය ස්වාමියා පැමිණෙනු ඇතැ යි නිෂ්ඵල අපේක්ෂාවකින් බලා සිටියේ එම ස්ථානයේ සිට ය. දෙවන ලෝක සංග්‍රාමයේ දී යුද්ධ ප්‍රයත්නයන් සඳහා භාවිතා කිරීමට පෙර එම ප්‍රතිමාව ප්‍රථමවරට ඉදිකරන ලද්දේ, 1934 දී ය. ළැදියාව සහ විශ්වාසය පිළිබඳ උදාහරණයක් ලෙස හචිකෝ නම් පක්ෂපාතී සුනඛයා හෙවත් චුකෙන් හචිකෝගේ කතාව ජපානයේ පාසල් දරුවෝ ඉගෙන ගනිති‍.

උගේ "කිසිත් නොවිමසන පක්ෂපාතීත්වය" නිසාවෙන් හචිකෝ "ආදර්ශවත් ජපන් පුරවැසියෙකු" නියෝජනය කරන බව හවායි විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ක්‍රිස්ටීන් යානෝ පවසයි - "පක්ෂපාතී, විශ්වාසවන්ත, ස්වාමියාට කීකරු, අවබෝධයෙන් යුතු, තාර්කිකත්වය මත නොයැපෙන, යමක් ගැන වඩා පුළුල්ව බැලිය හැකි [ජපාන පුරවැසියෙක්]."


හචිකෝගේ කතාව

1923 නොවැම්බර් මාසයේ දී හචිකෝ උපත ලැබුවේ, අකිටා වර්ගයේ සුනඛයින්ගේ සැබෑ නිජබිම ලෙස සැලකෙන ඔදාතේ නගරයේදී ය.

ශරීර ප්‍රමාණයෙන් විශාල අකිටා, ජපානයේ පැරණිතම සහ ජනප්‍රියතම සුනඛ විශේෂ අතරින් එක් විශේෂයකි. ජපාන රජය විසින් 1931 වසරේ දී ජාතික සංකේතයක් ලෙස නම් කරන ලද අකිටා වර්ගයේ සුනඛයෝ, වරක් වල් ඌරන් සහ ගෝනුන් දඩයම් කිරීම සඳහා පුහුණු කරනු ලැබූහ.

"අකිටා සුනඛයෝ නිහඬ යි, විශ්වාසවන්ත යි, බුද්ධිමත්, නිර්භීත යි වගේ ම ස්වාමියාට කීකරු යි," හචිකෝ පිළිබඳව දරුවන් සඳහා ඉංග්‍රීසි බසින් රචිත ග්‍රන්ථයක කර්තෘවරයා වන අයිත්සු සකුරබා පැවසීය. "අනිත් අතට, එයාලාට මුරණ්ඩු ගතියක් තියෙනවා, තමන්ගේ ස්වාමියා ඇරෙන්න අනික් හැම කෙනෙක් දිහා ම බලන්නේ සැකයෙන්."

හචිකෝ උපත ලැබූ වසරේ දී, ප්‍රසිද්ධ කෘෂිකර්ම මහාචාර්යවරයෙකු සහ සුනඛ ප්‍රේමියෙකු වන හිදෙස්බුරෝ උඑනෝ, තමන්ට අකිටා වර්ගයේ සුනඛ පැටවෙකු සොයා දෙන ලෙස ඔහුගේ ශිෂ්‍යයෙකුට පවසා තිබිණි.

Hachiko1වසරේ පළවූ පුවත්පත් ලිපියකින් පසු හචිකෝ ජපානය තුළ ප්‍රසිද්ධියට පත්විය.


අතිශය දුෂ්කර දුම්රිය ගමනකින් පසු, බලු පැටියා 1924 ජනවාරි 15 වන දින ෂිබුයා දිස්ත්‍රික්කයේ උඑනෝ නිවසට පැමිණි අතර, පැටවා මියගොස් ඇතැ යි මුලින් සිතනු ලැබුණි. හචිකෝගේ චරිතාපදානය රචනා කළ මහාචාර්ය මයුමි ඉටෝ සඳහන් කර ඇති පරිදි, උඑනෝ සහ ඔහුගේ බිරිඳ යේ ඊළඟ මාස හය තුළ ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයට පත් කළහ.

උඑනෝ ඔහු ඇමතුවේ 'හචි', එනම් ජපාන බසින් 'අට' යනුවෙනි. 'කෝ' යනු උඑනෝගේ සිසුන් විසින් පිරිනමන ලද ගෞරව නාමයකි.


දීර්ඝ කාලයක් බලා සිටීම

උඑනෝ සතියකට සේවයට යාම සඳහා කිහිප වරක් දුම්රිය භාවිත කළේ ය. ඔහු ෂිබුයා දුම්රිය ස්ථානය වෙත ගියේ, හචිකෝ ඇතුළු ඔහුගේ සුනඛයින් තිදෙනා සමගිනි. උන් තිදෙනා ඔහු සන්ධ්‍යා කාලයේ ආපසු එන තුරු එහි බලා සිටියහ.

1925 මැයි 21 වන දා, 53 හැවිරිදි වියේ පසුවූ උඑනෝ මොළයේ රුධිර වහනයවීමක් නිසා ජීවිතක්ෂයට පත් විය. ඒ වන විට හචිකෝ, උඑනෝගේ භාරකාරත්වයට පැමිණ ගත වී තිබුණේ මාස 16ක් පමණි.

"මිනිස්සු අවමංගල උත්සවේට එද්දී, හචීට ගෙදර ඇතුළෙන් ආචාර්ය උඑනෝගේ සුවඳ දැනිලා සාලෙට ගියා. ඌ මිනී පෙට්ටිය යටට රිංගලා එතනින් ඉවත් වීම ප්‍රතික්ෂේප කළා," මහාචාර්ය ඉටෝ ලියා තිබේ.

හචිකෝ මීළඟ මාස කිහිපය ෂිබායා දිස්ත්‍රිකකයෙන් පිටත විවිධ පවුල් සමග ගත කළ නමුත් අවසානයේ 1925 ගිම්හානයේ දී ඔහු උඑනෝගේ උද්‍යාන භාරකරු වූ කිකුසබුරෝ කොබායාෂි සමග එක් විය.

ඔහුගේ මියගිය ස්වාමියා ජීවත් වූ ප්‍රදේශයට ආපසු පැමිණි හචිකෝ ඉක්මනින් ම, අව් වැසි නොතකා දුම්රිය නැවතුම කරා යන දෛනික ගමන ආරම්භ කළේ ය.

"හවස් වරුවේ, හචී ප්‍රවේශ පත්‍ර ගේට්ටුව ළඟ හිටගෙන කවුරු හරි හොයනවා වගේ හැම මඟියෙක් දිහා ම බැලුවා," මහාචාර්ය ඉටෝ ලියයි. දුම්රිය ස්ථානයේ සේවකයෝ මුලින් එය හිරිහැරයක් ලෙස දුටුවහ. යකිටෝරි කෑම විකුණන වෙළෙන්දන් හචීට වතුර ගැසූ අතර කුඩා දරුවෝ ඔහුට හිංසා කළහ.

කෙසේ වෙත ත්, 1932 වසරේ ඔක්තෝබර් මාසයේ දී ජපානයේ දිනපතා පුවත්පතක් වන ටෝකියෝ අසාහි ෂිම්බුන් පුවත්පතේ පළවූ ලිපියකින් පසු ඔහු ජපානයේ අතිශයින් ජනප්‍රියත්වයට පත් විය.

හචිකෝ වෙනුවෙන් දුම්රිය ස්ථානයට සෑම දිනක ම ආහාර පරිත්‍යාග ලැබුණු අතර, ඉතා දුර බැහැර සිට ඔහු බැලීමට අමුත්තෝ පැමිණියහ. ඔහු නමින් කවි සහ හයිකු පද නිර්මාණය විය. ඔහුගේ ප්‍රතිමාවක් තැනීම සඳහා 1934 දී පැවති අරමුදල් රැස් කිරීමේ උත්සවයකට 3,000ක පිරිසක් පැමිණි බව වාර්තා වේ.

1935 මැයි 8 වන දා සිදුවූ හචිකෝගේ මරණය, බොහෝ පුවත්පත්වල මුල් පිටුවේ පළ කෙරිණි. ඔහුගේ අවමංග්‍ය උත්සවයේ දී බෞද්ධ භික්ෂූන් ආගමික වතාවත් සිදු කළ අතර, සම්භාවනීය පුද්ගලයෝ ගුණ කථන කළහ. ඊළඟ දින කිහිපයේ දී ඔහුගේ ප්‍රතිමාව මිනිසුන් දහස් ගණනක් නැරඹූහ.

xcdfgsහචිකෝගේ ප්‍රතිමාව ජනප්‍රිය ස්ථානයක් වන අතර දේශපාලන විරෝධතාවලට නිතර යොදා ගන්නා ස්ථානයකි


යුද්ධයෙන් පසු දරිද්‍රතාවට පත්ව සිටි ජපානය තුළ, හචිකෝගේ නව ප්‍රතිමාවක් ඉදිකිරීම සඳහා අරමුදල් රැස් කිරීමේ ව්‍යාපාරයක් මඟින් යෙන් 800,000ක් රැස් කිරීමට සමත් විය. එය එකල මූල්‍ය තත්ත්වය අනුව අතිවිශාල මුදලක් වන අතර, වත්මන් වටිනාකම අනුව එහි අගය යෙන් බිලියන හතරක් (අමෙරිකානු ‌ඩොලර් මිලියන 28ක්) පමණ වේ.

"ඒ ගැන ආපසු හිතලා බලද්දී, මට හිතෙනවා එයා දැනගෙන හිටියා ආචාර්ය උඑනෝ ආයෙත් එන්නෙ නෑ කියලා. ඒත්, එයා බලාගෙන හිටියා. කෙනෙකු වෙනුවෙන් විශ්වාසය තබාගෙන සිටීම ගැන හචිකෝ අපට පාඩමක් කියා දුන්නා," 1982 පුවත්පත් ලිපියක් ලියමින් තකේෂි ඔකමොතෝ සඳහන් කළේ ය. එවකට උසස් අධ්‍යාපනය හදාරමින් සිටි ශිෂ්‍යයෙකු වූ ඔහු, හචිකෝ දිනපතා දුම්රිය ස්ථානයේ සිටිනු දැක තිබිණි.


හචිකෝ මතකාවර්ජනය

සෑම වසරක ම අප්‍රේල් අට වන දා, ෂිබුයා දුම්රිය ස්ථානය පිටත හචිකෝ අනුස්මරණ උත්සවයක් පැවැත්වේ. ඔහුගේ ප්‍රතිමාව නිරන්තරයෙන් ස්කාෆ් සළු, සැන්ටා හිස් වැසුම් සහ මෑතකදී මුහුණු ආවරණවලින් සරසනු ලබයි.

ඔහුගේ ප්‍රතිනිර්මාණය කරන ලද සිරුර (සැබෑ සම පුරවා සාදන ලද) ටෝකියෝහි ජාතික ස්වාභාවික සහ විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ.

ඔහුගේ මෘත දේහයේ ඇතැම් කොටස් අඔයාමා සුසාන භූමියේ උඑනෝ සහ යේගේ මෘත දේහයන් ආසන්නයේ තැන්පත් කර ඇත. ඔදාතේහි, උනෝගේ උපන් ගම වන හයිසායි, ටෝකියෝ විශ්වවිද්‍යාලය සහ 2009 වසරේ නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයේ ඇමරිකානු පසුබිම වන රෝඩ් අයිලන්ඩ්හි ඔහුගේ ප්‍රතිමා ඉදිකර තිබේ.

ඔහුගේ 100 වන උපන් දින සැමරුම වෙනුවෙන් ඔදාතේහි උත්සව මාලාවක් සංවිධානය කර තිබේ.

ලෝකයේ වඩා ත් ම පක්ෂපාතී සුනඛයා තව ත් සියවසක් ගිය පසු ත් සමරනු ලබයි ද? එය එසේ වනු ඇතැ යි මහාචාර්ය යානෝ පවසයි. මන්ද, "හචිකෝගේ වීරත්වය" නිශ්චිත කාල සීමාවකට යටත් නොවන, සර්වකාලීන යමක් වන හෙයිනි.

සකුරාබා ද එලෙස ම ශුභවාදී අදහසක් දරයි. "අද ඉඳලා අවුරුදු 100ක් ගිය ත්, මේ කොන්දේසි විරහිත, භක්තිමත් ආදරය වෙනස් නොවී පවතීවි. ඒ වගේ ම හචිකෝගේ කතාව සදාකාලිකව පවතීවි."


(නිකලස් යං)
බීබීසී පුවත්, සිංගප්පූරුව

BBC සිංහල සේවය

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්