ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයත් සමඟ මතුවූ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කඩා වැටීම තවත් උග්‍ර වෙමින් ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙයි.

 

එම කඩා වැටීමට වෛද්‍ය හිඟය, වෛද්‍යවරු ඇතුළු පළපුරුදු සෞඛ්‍ය සේවකයින් රට හැර යාම සහ ඖෂධ හිඟයෙන් නොනැවතී ගුණාත්මක නොවන බෙහෙත් නිසා සිදුවුවා යැයි සැක කෙරෙන ජිවිත හානි මෙන්ම සංකූලතා ද වාර්තා වෙමින් පවති.

එහෙත් මෙම මරණ සහ සංකූලතාවලට නිශ්චිත හේතුව ඖෂධවල බලපෑමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

රෝගීන් මෙන්ම වෛද්‍යවරුත් අසරණයි

මෙවැනි තත්වයක් තුළ රෝගීන් මෙන්ම වෛද්‍යවරුන්ද අසරණ වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැවසීය.

“ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නැති ඖෂධත් රටට එනවා මේ ඖෂධ හිඟය නිසා. එහෙම ගැටලු තියෙන ඖෂධවල ප්‍රමිතිය චෙක් කරන්න මොනවාහරි සිස්ටම් එකක් හැඳුනේ නැති නම් මේක විසඳගන්න බැහැ. මොකද වාට්ටුවට ගිහිල්ලා දෙන බෙහෙත පෙත්ත කාලා බලලා හරි, ඉන්ජෙක්ෂන් එක බීලා බලලා හරි එහෙම ටෙස් කරන්න ක්‍රමයක් විශේෂඥ වෛද්‍යවරයෙක්ට හෝ වෛද්‍යවරයෙක්ට නැහැ.”

“මේක නිසා රෝගීන්නුත් අසරණ වෙලා ඉන්නේ වෛද්‍යවරු විදියට අපිත් අසරණ වෙලා ඉන්නේ. මොකද තියෙන බෙහෙත් ටික දෙන්න වෙනවා, දීලා ප්‍රශ්නයක් වුනොත් ඒකටත් මුහුණ දෙන්නේ ඕනේ. මේකේ තියෙන කොලිටිය ගැන අපිටත් හිතාගන්න බැහැ.” යි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

සෞඛ්‍ය පද්ධතිය අඩපණ කර අයුතු ප්‍රයෝජන හා ප්‍රතිලාභ ලබා ගැනිමේ මාෆියාවන් මේ මොහොතේත් ක්‍රියාත්මක බව කී වෛද්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම වනුයේ එම න්‍යයා පත්‍ර ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීම බව ඔහු අවධාරණ කළේය.

kulanthi

ලෙඩ වී ඇති වෛද්‍ය උපකරණ

ඖෂධ හිඟයෙන් පීඩා විඳින රෝගීන්ට කබලෙන් ලිපට වැටීමට සිදුව ඇත්තේ රෝග හඳුනාගැනීමට යොදා ගන්නා වෛද්‍ය උපකරණ ද අඩපණ වීම හේතුවෙනි.

රජයේ රෝහල්වල අඩපණ වී ඇති වෛද්‍ය උපකරණ සම්බන්ධව රජයේ විකිරණ වෛද්‍ය විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයෙන් බීබීසි සිංහල සේවය අදහස් විමසනු ලැබීය.

පිළිකා රෝගීන් සඳහා යාබද නිරෝගී සෛලවලට හානියක් නොවී පිළිකා රෝග සෛල විනාශ කිරීමේ හැකියාව පවතින ලීනියර් ඇක්සලේටර් (linear accelerator) යන්ත්‍ර 10ක් රජයේ රෝහල් සතුව ඇති බවත් ඉන් කිහිපයක් මේ වන විට ක්‍රියාත්මක නොවන බවත් එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම කියා සිටියේය.

මහනුවර ජාතික රෝහලේ තිබෙන යන්ත්‍ර දෙක පිහිටි ගොඩනැගිල්ලෙහි සිසිලන පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් 2022 නොවැම්බර් 14 දා සිට ක්‍රියාත්මක නොවන බවත් අපේක්ෂා රෝහලේ තිබෙන යන්ත්‍ර පහෙන් එක්ක ජුනි මස 22 වනදා සිට බිඳ වැටී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

පුද්ගලික අංශයෙන් මෙම ප්‍රතිකාරයක් ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ 15 ක් දක්වා මුදලක් වැය වේ.

කරාපිටිය ශික්ෂණ රෝහල, හම්බන්තොට මහ රෝහල, බදුල්ල, කුරුණෑගල, මාතර, හොරණ , කළුතර, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, රත්නපුර, ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ යන්ත්‍රය, ජාතික දන්ත රෝහල, ආදී රෝහල් වල ඇති සීටී ස්කෑන් යන්ත්‍ර 12 ක් ද මේ වන විට බිඳ වැටී ඇත.

saglik teknolojisi tibbi ekipman genel standartlari

ඊට අමතරව කරවනැල්ල රෝහලේ තිබෙන යන්ත්‍රය සම්පූර්ණ ක්‍රියාත්මක තත්ත්වයේ නැතැයි, රජයේ විකිරණ වෛද්‍ය විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේය.

සීටී ස්කෑන් පරීක්ෂණයක් මඟින් ශරීර අභ්‍යන්තරයේ රුධිර වහනයක් වීමක් විශේෂයෙන්ම හදිසි අනතුරකට ලක් වන රෝගියෙකුගේ මොළයේ රුධිර වහනය වීම, පිළිකා රෝග තත්ත්ව හඳුනා ගැනීම, රුධිර නාල වල ඇතිවන අවහිරතා හඳුනාගැනීම, අස්ථි පද්ධතියේ ද්විමාන සහ ත්‍රිමාන රූප ලබා ගැනීම, පෙනහලු රෝග තත්ත්ව හඳුනා ගැනීම වැනි සුවිශේෂී කාර්යයක් ඉටු කරනු ලබයි.

MRI ස්කෑන් පරීක්ෂණය මගින් ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග හඳුනා ගනීමට හැකියාව ලැබෙන අතර මොළය සහ සුෂුම්නාව ආශ්‍රිතව රෝග හඳුනා ගැනීම මෙම යන්ත්‍රයෙන් සිදු කරනු ලබයි.

ඊට අමතරව පිළිකා රෝග හඳුනාගැනීම, අග්න්‍යාශය ආශ්‍රිත රෝග හඳුනාගැනීම, හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිවල අවහිරතා හඳුනාගැනීම, සහ මාංශ පේශිවල රෝග තත්ත්ව හඳුනා ගැනීම සඳහා MRI ස්කෑන් පරීක්ෂණය උපයෝගී කරගන්නා අතර MRI ස්කෑන් යන්ත්‍ර 13ක් රජයේ රෝහල් සතුව පවතී.

ඉන් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ MRI ස්කෑන් යන්ත්‍ර මීට වසර 2කට පෙර බිඳ වැටී ඇති අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ යන්ත්‍රය ජනවාරි මස සිට බිඳ වැටී තිබේ.

අපේක්ෂා රෝහලේ තිබෙන පෙට් ස්කෑන් යන්ත්‍රය මැයි මස 26 වනදා සිට එහි පරීක්ෂණ සිදු කිරීම නතර කර ඇතිර එයට හේතු වී ඇත්තේ පරීක්ෂණයක් සඳහා භාවිතා කරන FDG නැමැති ඖෂධය සැපයීම නතර වීම බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.

වෛද්‍ය උපකරණ අලුත් වැඩියා කිරීම සඳහා වාර්ෂිකව සේවා ගිවිසුම්වලට එළඹිය යුතු අතර රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය කාලය පුරා සේවා ගිවිසුම් අලුත් කර නැතැයි, රජයේ විකිරණ වෛද්‍ය විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.

“අපි හරි පරිස්සම් වෙන්න ඕනේ මොකද මෙයාලා දැන් හිතු හිතු ගණන් කියනවා සේවා ගිවිසුම්වලට එහෙම කම්පැනි තියෙනවා. අපි කියන්නේ මේ ප්‍රසම්පාදන කමිටුවට විකිරණ තාක්ෂණවේදියෙක්ව යොදා ගන්න කියලා. ඒ අය දන්නවා ගෙවිය යුතු ගාන මොකක්ද යන මුදල මොකක්ද කියන එක.” යැයි චානක ධර්මවික්‍රම කියා සිටියේය.

සෞඛ්‍ය බලධාරීන් මොකද කියන්නේ?

ඇතැම් ඖෂධ ලබා දීමෙන් පසුව රෝගීන් මිය යාම හා සංකූලතා ඇති වීම සම්බන්ධව මෙන්ම රජයේ රෝහල්වල වෛද්‍ය උපකරණවල ඇති වී තිබෙන ගැටලු සහ සෞඛ්‍ය අංශයේ අනෙකුත් ගැටලු සම්බන්ධව ජුලි 11 වනදා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුලු සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීහූ මාධ්‍ය හමුවක් පවත්වමින් පිළිතුරු ලබා දුන්හ.

එහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ රෝගීන් මිය ගිය හා සංකූලතා මතු වු ඖෂධ කිහිපයක් භාවිතයෙන් ඉවත් කර එම ඖෂධ ගැන පරීක්ෂණ පවත්වන බවයි.

මෙරට රජයේ රෝහල්වල භාවිතා වන ඖෂධ සියයට අසූවක් පමණ ඉන්දියාවෙන් ගෙන්වන ලද ඖෂධ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

“සමහර ඖෂධ තියෙනවා ලියාපදිංචි කරපු ඖෂධවලත් සංකූලතා ඇති වෙනවා. ඒ සංකූලතාවලට අපු වෛද්‍ය විද්‍යාත්මකව ප්‍රතිකාර කළ යුතු වෙනවා. සමහර බෙහෙත්වල ඒ විෂ වීම් ඇති වෙන්න පුලුවන් ඒවා අපි භාවිතයෙන් ඉවත් කරලා තියෙනවා. ඒ අවශ්‍ය පරික්ෂණ කරලා කටයුතු කරමින් පවතින අවස්ථාවක්.” යැයි විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේය.

ඉදිරි සති කිහිපය තුළ යන්ත්‍ර යථා තත්ත්වයට

“රටේ පැවතුන ආර්ථික තත්වයත් එක්ක ප්‍රතිපාදන ලැබීමේ යම් ප්‍රමාදයක් සිද්ධ වුණා. ඒ ප්‍රමාදයන් නිසා සේවා හා නඩත්තු කිරිමේ ගිවිසුම්වලට එළඹිමේ යම් ප්‍රමාදයක් ඇති වුණා. ඒ නිසා යම් කිසි යන්ත්‍ර ප්‍රමාණයක් අක්‍රිය වෙලා තියෙනවා.” යි ජෛව වෛද්‍ය ඉංජිනේරු ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ජනප්‍රිය කරුණාතිලක පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට මුදල් ප්‍රතිපාදන ලැබී ඇති බැවින් සේවා හා නඩත්තු ගිවිසුම්වලට එළඹෙමින් ඇතැයි කී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරි සති කිහිපය තුළ යන්ත්‍ර සියල්ලම ක්‍රියාත්මක තත්ත්වයට පත් කළ හැකි බවට විශ්වාසය පළ කළේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු ගැන ජනපතිගේ අවධානය

ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවත් මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටළු සම්බන්ධව පැවති සාකච්ඡාදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි මගින් දිනපතා සෑම රෝහලක් සතු ඖෂධ ප්‍රමාණය සහ දිනකට ලබාගත හැකි මුළු ඖෂධ ප්‍රමාණය පිළිබඳ දත්ත ලබා දිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළ බවය.

මෙම ජාලගත ක්‍රියාවලිය මගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීමටද අවස්ථාව හිමිවනු ඇතැයිද ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

පවතින ක්‍රියා පටිපාටි මත ඇතිව තිබෙන ඖෂධ හිඟය වළක්වා ගැනීමට, FDA අනුමත ඖෂධ සඳහා යළි මෙරටදී සිදු කරන අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසත්, NMRA ක්‍රියාවලිය හරහා නොගොස් FDA සහ UK අනුමත ඖෂධ, සෘජුවම ඇණවුම් කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙසත් ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඕනෑම බාධාවක් ජය ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි NMRA පනතට සංශෝධන යෝජනා කරන ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දුන් බවය.

(BBC සිංහල සේවය)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්