කෙටි කවි, සංක්ෂිප්ත කවි, ලුහුඬු කවි යනාදි කුමන නාමකරණයකින් හැඳින් වුව ද මෙ’නමින් හඳුන්වන්නේ එක ම කාව්‍ය්‍ය ශානරයකි.

මේ කිසිදු කාව්‍ය ශානරයක් ‘‘හයිකු කවි’’ ලෙස හඳුන්වන්නට නම් මම ඉක්මන් නොවෙමි. ඒ ‘‘හයිකු කවි’’ යනු සුවිශේෂී කාව්‍ය ශානරයක් වන බැවිනි.

ar laආරියවංශ රණවීර - ලක්ශාන්ත අතුකෝරළ

ලංකාවේ කෙටි කවිය පිළිබඳ ප්‍රාමාණික කවියකු ලෙස අප සැවොම හඳුන්වන්නේ සහ පිළිගන්නේ ආරියවංශ රණවීර කවියා බව සැබැවි. නමුදු එදා මෙදාතුර මා ඉතා ප්‍රිය කරන කෙටි කවියා වන්නේ ලක්ශාන්ත අතුකෝරළ ය. ඔහු විසින් රචිත ‘‘හිතග්ගිස්සෙ නැතක් මොට්ටු’’ නමැති කාව්‍ය සංග්‍රහය තරම් මා සිත් ගත් කෙටි කාව්‍ය සංග්‍රහයක් මා තවමත් කියවා, විඳ නොමැත. ඒ මගේ කියවීම ය. ඇතැම් පාඨක පාඨකාවකට මෙහි සඳහන් කාව්‍යක්කාර දෙපළ ම අභිභවන තවකෙකු සිටින්නට පිළිවන. ඒ, ඔහුගේ හෝ ඇගේ කියවීම ය.

116582789 1269569466709524 1125698790570575572 n‘‘හිතග්ගිස්සෙ නැතක් මොට්ටු’
ඉදින් එසේ නම් එදා මෙදා තුළ බිහිවූ සිංහල කෙටි කාව්‍ය සංග්‍රහ අතරට එක් නවමු කාව්‍ය සංග්‍රහයක් පිළිබඳ මගේ විඳීම ඔබ සමග බෙදාගන්නට අවසර.

319643866 578466424090303 4153443635790914350 nසරත්චන්ද්‍ර වල්පොළකාව්‍ය සංග්‍රහය ‘‘බෝ දෑ නික්මෙති’’ ය. කතුවරයා සරත්චන්ද්‍ර වල්පොළ ය. ‘‘බෝ දෑ නික්මෙති’’ යන මැයෙන් කෘතිය නම් කරන කවියා ‘‘සැකෙවි කවි ගෙත්තම’’ යනුවෙන් අනුමාතෘකාවක් ද යොදා ඇත. ‘‘සැකෙවි’’ යනු ද: කෙටි, සංක්ෂිප්ත හෝ ලුහුඬු යන අරුත් දෙන වදනකි. එබැවින් ‘‘බෝ දෑ නික්මෙති’’ කෘතිය ද කෙටි කාව්‍ය සංග්‍රහයක් ලෙස හැඳින්විය හැකි ය. එමෙන් ම මෙහි එන කාව්‍ය නිර්මාණ ද බෙහෙවින් ම කෙටි ය. කව කෙටි වුව ද ඒ කවි බොහොමයක අරුත් නම් දිගු ය; බර සාර ය.

කවියා සිය නිර්මාණ සංග්‍රහයට මුල පුරන්නේ මෙලෙස ය.

වචන තෘෂ්ණාව මඬිමී
අර්ථ ප්‍රඥාව වඩමී
හයිකු පාරමී පුරමී
කවියකට පිට දෙමී

කවියාට අනුව ඔහුට පැවසීමට වදන් බොහෝ පවතී. නමුදු හෙතෙම එකී වදන් ඉතාමත් මඳ වශයෙන් භාවිතයට ගත් බව ව්‍යංගයෙන් පවසයි.  තවද හෙතෙම තවමත් පරිපූර්ණ කවියකු නොවන බවත්, හයිකු කවිය අසලට හෝ ළඟා වී නොමැති බවත් පවසයි. එය ඉතා උතුම් වදනකි. කුමන හෝ වදන් හත අටක් අමුණා ගත් පමණින් එය ‘‘හයිකු කවියක්’’ ලෙස හඳුන්වන බොහෝ කවි කිවිදියන් අතර මෙම කවියා තවමත් හයික් කවියකු වන්නට පෙරුම් පුරණා බව ඉතා නිහතමානීව පවසයි. කාව්‍ය සංග්‍රහය රසවිඳීම සඳහා එම ප්‍රකාශය දැඩි උත්තේජනයක් සපයයි.

පෙන බුබුළු නටන
බොර පැහැ ගංවතුර වුව
කෝප්පෙක පිරුණා ම
ඉස්ට්‍රෝං ටී එකකි
විඩාබර මගේ දිවගට

කවියා කුමන අදහසකින් පබැඳුව ද මට හැඟුණේ මෙම නිර්මාණය එක් පසෙකින් දේශපාලන කියවීමක් සහිත කවියක් ලෙස මෙන් ම තවත් පසෙකින් ‘‘ඉස්ට්‍රෝං ටී’’ එකක්, එසේත් නැති නම් තද කහට සහිත කිරි තේ  එකක් නමැති වෙළඳ භාණ්ඩය සදය උපහාසයට ලක් කිරීමක් ලෙසිනි.

මෙහි දී මා යට පැවසූ දේශපාලන කියවීම සහ උපහාසාත්මකත්වය එක විට ද කියවිය හැකි ය. අප කුඩා කාලයේ නම් බොහෝ තේපැන්හල්වල පැවතියේ ටින් කළ උකු කිරිවලින් සාදන කිරි තේ ය. ඊට අමතරව පැවතියේ මෝල්ටඩ් මිල්ක් නමින් හැදින් වූ නෙස්ටමෝල්ට් හෝ හෝර්ලික්ස් යනාදි පිටි වර්ග ය. එදි නෙදා මිනිසුන්ගේ පරිභෝජනයට ගන්නා පිටි කළ කිරි සාමානය තේපැන්හල්වල භාවිතයට ගත්තේ පසු කලක දී ය. බොහෝ තේ පැන්හලවල කිරි තේ එක යනු කිසිදු ප්‍රමිතියකින් තොර පානයකි. කිරි තේ එකක් යනු කෙතරම් ප්‍රමාණයක් ද, එහි අඩංගු විය යුතු  කිරි පිටි ප්‍රමාණය කොපමණ ද, සීනි ප්‍රමාණය කොපමණ ද යන්න සොයාබැලීමට කිසිවකු ඉදිරිපත් නොවුණි. එබැවින් ම එබඳු වැඩි කහට කිරි තේ එකක් යනු බොර පැහැ ගංවතුර කෝප්පයක් යැයි පැවසීම අසාධාරණ නොවේ. මෙය වඩාත් හොඳින් අත් හදා බලන්නට නම් ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ පවත්වාගෙන යන ආපණ ශාලාතුළ අලෙවි කරන ‘‘කිරි තේ එකක්’’ මිලදී ගෙන පානය කළ යුතු ය.

cgh

මෙම කෙටි කාව්‍ය නිර්මාණයෙන් ‘‘වැඩි කහට කිරිතේ’’ එකෙහි යථාර්ථය පිළිබිඹු කරනවා සේ ම තවත් පසෙකින් පිළිබිඹු කරන්නේ මෙරට දේශපාලනයේ සහ දේශපාළුවන්ගේ යථාර්ථය යැයි මට හැඟේ. මෙරට වෙසෙන බහුතරයක් දේශපාළුවෝ ද මේ ආකාරයේ ‘‘ඉස්ට්‍රෝං ටී’’ එකක් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

ඉදින් කවියාගේ වදන් අපි කියවා ගත යුත්තේ අපේ දැක්මට අනුව ය. ඒ නයින් ගත විට මට මෙම කවිය විඳගත හැකි වූයේ යට සදහන් කළ ආකාරයෙනි.

විල නිසොල්මන
ගල් කැටය කැළඹිණ

මෙම නිර්මාණය සඳහා කවියා භාවිත කරන්නේ වදන් පහක් වුව ද එයින් මතු කෙරෙන අර්ථය සුවිසල් ය. ‘‘විල’’ යන වදන සවන වැකෙත් ම විවිධාකාරයේ විල් පිළිබඳ චිත්ත රූප මැවෙන්නට පිළිවන. නමුදු විල යනු සුවිසල් ජලාශයකිය යන්න අප අමතක නොකළ යුතු ය. එබඳු ජලාශයකට ‘‘ගලක්’’ නොව ‘ගල් කැටයක්’’ දැමීමෙන් හෝ ගල් කැටයකින් පහර දීමෙන් විල සෙලවිය නොහැකි ය. විල නොසෙල්වන විට ගල් කැටය කැලඹෙන බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ.

ඉදින් කවියා මෙම නිර්මාණය තුළින් පවසන්නට යත්න දරන්නේ සමාජයේ වෙසෙන ඇතැම් සුවිසල් චරිත යනු මහා විල් බඳු වන බවත් එබඳු විලකට අපවාද, අපහාස යනාදියෙන් පහර දුන්න ද විල කිසිදු චංචල භාවයක් නොදක්වන බව නොවේ ද...? එනම් එබඳු චරිත සමාජයට යහපත් හෝ අයහපත් වේවා ‘චරිතය විලක් බඳු නම් එයට ගල් ගසා පලක් නැත’ යන්න නොවේ ද...?

හැර දැමූ කවුළුවෙන්
නේක දෑ පිවිසෙති
බෝ දෑ නික්මෙති

මෙම නිර්මාණය ද බරපතළ දේශපාලන ඛේදවාචකයක් කියාපාන නිර්මාණයකි. මෙය කියවූ සැණින් මට සිහිපත් වූයේ ෆිඩෙල් ක්‍රස්තෝගේ කියමනකි.

fidel
දිනක් ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක නියැළී සිටි පුවත්පත් කලාවේදියකු ඔහුගෙන් මෙසේ විමසා ඇත.

‘‘ඇයි ඔබ විවෘත ආර්ථිකයට විරුද්ධ...?’’

කිසිවක් නොපැවසූ ෆිඩෙල්, කාමරයේ ජනේලයක් විවර කර යළි පැමිණ අසුන් ගෙන ඇත. පුවත්පත් කලාවේදියා ඇසූ පැනයට පිළිතුරු නොලැබුණ බැවින් ඔහු යළිත් එම පැනය ම විමසා ඇත.

එවිට ෆිඩෙල් පවසා ඇත්තේ ‘‘දැං මං අර ජනේලෙ අරිනව ඔයා දැක්ක නෙ...?’’

‘‘ඔවු සහෝදරයා...’’

පුවත් පත් කලාවේදියා පිළිවදන් සැපයී ය.

‘‘දැන් මම ඒ ජනේලෙ ඇරියම මොනවද මේ කාමරයට එනව දැනුණෙ...?’’

ෆිඩෙල් විමසී ය.

මඳක් කල්පනා කළ පුවත්පත් කලාවේදියා ‘‘ම්ම්ම්... පිටත තිබෙන වාතය... ආලෝකය...’’ යැයි පිළිවදන් සැපයී ය.

‘‘හරි... ඒ ඔබට දැනුණු, ඔබ දුටු දේවල් නෙ... ඒ වගේ ම ඔබට නොපෙනෙන, නෙදැනෙන යම් යම් දේවල් කාමරයට ඇතුළු වුණා කියල හිතෙන්නෙ නැද්ද...’’

ෆිඩෙල් විමසී ය.

එවර ද මඳක් කල්පනා කළ පුවත්පත් කලා වේදියා ‘‘ම්ම්ම්... ඔවු... පිටත තිබුණු අපිරිසිදු වාතය, දුවිලි අංශු, සමහර විට විෂබීජ පවා...’’ යැයි පැවසී ය.

අසුනෙන් නැගිසිටි ෆිඩෙල් ‘‘හරියට ම හරි... විවාත ආර්ථිකයත් හරියට අන්න ඒ වගේ... තේරුණා ද...?’’ යැයි පවසා ජනේල වසා පැමිණ යළි සාකච්ඡාවට සම්බන්ධ වී ඇත.

සරත් චන්ද්‍රගේ මෙම නිර්මාණයේ ද එබඳු ඉඟියක් සපයන අතර එය තවත් ඉසව්වකට කැඳවාගෙන යයි. එනම් විවෘත ආර්ථිකය සමග නෙක දෑ රටට ඇතුළු වූ අතර ඒ හා සමගාමිව ම මිනිසුන් තුළ පැවති: ආදරය, කරුණාව, දයාව ඇතුළු සමස්ත මනුෂ්‍යත්වය ම ඔවුන් අතරින් නික්ම ගොස් ඇත.

රත්මලී බන්දුල ගුණවර්ධන ලියූ, ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කළ, ප්‍රදිපා ධර්මදාස ගයන ‘‘කොළොම් තොටින් නැව් නැග්ගේ’’ ගීතයෙන් ද කියවෙන්නේ මෙම ඛේදවාචකය ම ය. එබඳු දැවැන්ත ඛේදවාචකයක විපාකය වදන් නවයකින් පවසන්නට කවියා සමත් වීම කෙතරම් විශ්මය ජනක ද...?



හොවා තිබුණත් බිම
අහම්බෙන් මුණ ගැසුණි මට
එකම එක වතාවක්
ඒ මහා නුග රුක
වධකාගාරයක දී මොරටුව

ගසකට ගසක් මොරටුවේ දි හමුවනවා යැයි පරසිදු කියමනක් පවතී. ඒ, සිරි ලක සිවු දෙස කොතැනක දී හෝ කපා හෙළන මහා වෘක්ෂ සියල්ල ම පාහේ මොරටුවේ ලී මෝල් වෙත රැගෙන එන බවට වන ප්‍රකාශය යි. කවියා එම කියමන ම වෙනත් ආකාරයකින් ඉදිරිපත් කරයි. එනම් ඔහු මොරටුවේ පවතින ලී මෝල් දකින්නේ වධකාගාර ලෙසිනි.

ඒ, එම නිර්මාණයේ මතු පිට කියවීම ය. ඇතැම් විට මෙය කවියා ද දේශපාලන ක්‍රියාධරයකු ලෙස කටයුතු කරන සමයේ තම දේශපාලන ව්‍යාපාරයේ නායකයා කිසියම් වධකාගාරයක දී මුණ ගැසුණ ආකාරය ද විය හැකි ය. මන්ද මොරටුව මහා වෘක්ෂ වද බන්ධනයට ලක් කරන බවට ප්‍රසිද්ධ වී ඇතුවා සේ ම රාජ්‍ය යේ නිල ලත් සහ නිල නොලත් ගහලයන් සිය මෙහෙවර ඉටු කළ චිර ප්‍රසිද්ධ වධකාගාර මෙරට පැවතිණ. මේ කුමන සිද්ධියකට සම්බන්ධ වුව ද මහ ගසක් උසස් මිනිසකු ලෙස අර්ථ ගැන්වීම ද මනුෂ්‍යත්වයේ ඉහළ ම ගුණාංගයකි. එසේ නම් කවියා මේ පිළිබිඹු කර තිබෙන්නේ ඒ මහා මානුෂිකත්වය නොවන්නේ ද...?

අනාදිමත් කාලයක සිට
දැනුම් දී ඇත කඳු පාමුලට
ඉර සේවය නොකරන බව

මෙම නිර්මාණය දමතු පිටින් දක්නට ලැබෙන මනස් සිතුවම් පෙළ අභිභවන නිර්මාණයකි.

අප රටෙහි නීතිය ක්‍රියාත්මක වන්නේ සැමට එක ලෙස නොවේ. එය ප්‍රභූ පෙළැන්තියට එක් ආකාරයකටත්, පිඩිත පංතියට එක් ආකාරයකටත් ක්‍රියාත්මක වන බව නොරහසකි. ආසන්නත ම උදාහරණය රත්තරන් තොගයක් සහ ජංගම දුරකතන තොරගයක් හොර රහසේ රට තුළට ගෙන ආ මන්ත්‍රිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ ආකාරය යි.

ඒ ආසන්න දිනක ම පොල් ගෙඩි දහයක් හොරෙන් කැඩූ පුද්ගලයෙකුට වසරක හෝ දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබිණ. ඉදින් කවියා මේ පවසන ඉර යනු රටක පවතින නීතිය ලෙස උපකල්පනය කළ හොත් කඳු පාමුල යනු පීඩිත පංතියේ ජනතාව ය. ඔහු ව්‍යංගයෙන් පවසන්නේ ඒ පීඩිත පංතියේ ජනතාවගේ ඛේදවාචකය නොවන්නේ ද?

ඇතුරුවට රටාවට ලස්සනට
සිර කරපු මල් නොවෙද වට්ටියක

මතු පිටින් සුන්දර ලෙස දකින බොහෝ මිනිස් ජීවිත, වෙසෙසින් ම කාන්තා ජීවිත මේ ආකාරයට මල්වට්ටියක සුන්දර ලෙස ඇසිරු ජීවිත නොවේ ද...? බොහෝ කාන්තාවන් මතු නොව කුඩා දරුවාගේ සිට වියපත් මිනිස් ජීවිත දක්වා වූ පිරිස් මේ ආකාරයට මතුපිටට සුන්දර ලෙස පෙනුණ ද ඒ ජීවිත ඇතුළාන්තයට රිංගා බැලුව හොත් අදාළ ජිවිත ද මේ ආකාරයේ ම සිරගත ජීවිත බව දැකින්නට නොලැබේ ද...?

සරමෙ ඉදිකටු තුඩු ඇණී
ගවුමෙ මල් පෙති පෑරුණී

මා නම් මෙම නිර්මාණය කියවා ගත්තේ: එක් පසෙකින් සමස්ත පුරුෂාධිපත්‍යයේ ම සංකේතයක් ලෙසිනි. තවත් පසෙකින් මෙය ස්ත්‍රී දූෂණයක් ලෙස ද කියවා ගත හැකි ය.

adss
රටා ඇඳි තල් ඉරටු පින්සල්
රටා මැකි කොසු ඉදල් පන්සල්

ලංකාවේ උතුරුකරයේ වෙසෙන ද්‍රවිඩ ජනයාගේ ජීවන ඛේදවාචකයත්. එම ඛේදවාචකය ඔවුනට අත් කරදෙන මර්මස්ථාන පිළිබඳවත් පිළිබිඹු කෙරන අපූරු නිර්මාණයක් ලෙස මෙය කියවාගත හැකි ය.

කෙටි කවිය වඩ වඩාත් හැඩ ගන්වන්නට නම් කාව්‍යකරණයේ යෙදෙන පුද්ගගලයා තම නිර්මාණ සඳහා හැකි උපරිමයෙන් කාව්‍යෝක්ති උපස්තම්භක කරගත යුතු ය. වදන් දහසකින් පැවසිය හැකි දීර්ඝ විස්තරයක් වුව ඉතා සංක්ෂිප්තව පැවසිය හැකිවන්නේ එවිට ය. සරත්චන්ද්‍ර වල්පොළ කවියා ‘‘බෝ දෑ නික්මෙති’’ කාව්‍ය සංග්‍රහය තුළ අන්තර්ගත කර තිබෙන සියලු නිර්මාණ යට කී කාව්‍යෝක්තිවලින් පරිපූර්ණ ය. එම නිර්මාණ සංග්‍රහය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ‘‘කෙටි කවි’’ යැයි නිර්ලෝභීව පැවසිය හැකිවන්නේ එබැවිනි. ඔහු මෙම කාව්‍ය සංග්‍රහය ජනගත කරන්නේ කෙටි කවියේ ඉම් පෙදෙස් නිසියාකාරයෙන් ම හඳුනාගෙන බව එයින් මොනවට පැහැදිලි කෙරේ.

ඉදින්, දැනට ද කෙටි කවි ලෙස ඒ ගණය අසලකින් හෝ තැබිය නොහැකි කාව්‍ය නිර්මාණය කරන පුද්ගලයන්ට සහ අනාගතයේ දි කෙටි කවි ලියන්නට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන්ට ද  ‘‘බෝ දෑ නික්මෙති’’ කාව්‍ය සංග්‍රහය අත් පොතක් ලෙස භාවිත කළ හැකි යැයි පැවසුව ද එය අතිශයෝක්තියක් නොවේ.  

සැ.යු.  උපුටාගත්  සියලු නිර්මාණවල පද බෙදීම් සහ අක්ෂර වින්‍යාසය ඒවායේ අන්තර්ගත පරිදි ම ය.


මතඟනා' : සම්මත බැඳීම් පුපුරුවා හළ යෞවනියකගේ ප්‍රේමය(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/07/16


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්