"මට තව පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. හම්දී තමයි පවුලේ බාලයා. එයාට හැමෝම ආදරෙයි. එයා හරිම හුරුබුහුටියි. ඒ වගේම අපි දෙයක් කිව්වම ඒක

ඉක්මනට තේරුම් ගන්න හැකියාවක් තිබුණා එයාට. පුංචි වුණත් එයා හරිම බුද්ධිමත් දරුවෙක්"

"එයා පුංචි වයසක හිටියත් ලොකු අය ඉගෙන ගන්න දේවල් අල්ල ගන්න එයා හරි දක්ෂයි" හම්දී ෆස්ලිම්ගේ මව්පියන් වන ෆස්ලිම් සහ ෆාතිමා යුවල පැවසූහ.

සිය දරුවන් හොදින් අධ්‍යාපනය ලබා සමාජයට ආදර්ශයක් වෙමින් රටේ යහපත් පුරවැසියන් සේ ජීවත් වනවා දැකීම සියලු මව්පියන්ගේ බලාපොරොත්තුවයි.

එවන් බලාපොරොත්තු රැසක් කොළඹ කොටහේන ප්‍රදේශයේ පදිංචි ෆස්ලිම් සහ ෆාතිමා යුවලට ද නොතිබුනා නොවේ.

2020 වසරේ අප්‍රේල් මස 11 වෙනිදා මෙලොව එලිය දකින හම්දී ෆස්ලීම් ඔවුන්ගේ පවුලේ සිව්වෙනි දරුවා යි.

කෙසේ වෙතත් අද වන විට වයස අවුරුදු තුනක් වූ පුංචි හම්දී ෆස්ලීම් සිය ජීවන ගමනට සමුදී අවසන් ය.

"අපේ දරුවා ඇස් ඉදිරිපිට එහෙම දුක් වින්දා. තක්කාලි ගෙඩියක් ලස්සනට තියනවා නේද.. ඒක ටික ටික කාලය ගතවෙද්දී පොඩ්ඩ පොඩ්ඩ නරක් වෙලා යනවා වගේ අපේ ළමයා හොඳට ඉඳලා නැතිවුණා. තක්කාලි ගෙඩියක් එහෙම වෙනවා නම් මනුස්ස ශරීරයක් එහෙම වෙන්න කොච්චර වේදනාවක් එයා දරන්න ඇති ද?"

"කොටහේන හන්දියේ මල් පැළ විකුණන කෙනෙක් ඉන්නවා. අපි දවසක් එයාගෙන් මල් පැළ ගන්න ගියාම ඒ කෙනා හම්දිව දැකලා ලස්සන රෝස මලක් එක්ක පැළයක් දුන්නා. එයාව දැක්ක ගමන් කාටත් ආදරේ හිතෙනවා. 'පුතා මේක ඔයා තියා ගන්න, ඔයා වෙනුවෙන් මම මේක දෙන්නේ' කියලා. ඒ ගහ අපි පුළුවන් තරම් අපි හැදුවා. මල් පිපුණා. ඒ ගහ ළඟ දි මැරුනා. මැරෙනකොට මාගේ හිතේ සැකයක් ඇති වුණා 'මගෙ පුතා මෙහෙම යයි ද දන්නේ නැහැ' කියලා. එයා ඒ වගේම ගියා. මල් පිපුනා. සැරින් සැරේට මල් පිපුණා. පිපුණට වැඩක් වුණේ නැහැ."

"එයාගේ රෝස පැළය හැමෝටම පෙන්නුවා 'මේක මගේ පැළය' කියලා. එයාම යි වතුර දැම්මේ. එයාගේ ෆොටෝස් දකිනකොට අපිට ඉන්න බෑ"

"එයාගේ බෑග්, සපත්තු අරන් හිටියේ මේ ඔපරේෂන් එක ඉවර වෙලා මොන්ටිසෝරි යන්න. එයා කියනවා මට මොන්ටිසෝරි එපා මම යන්නේ ලොකු ඉස්කෝලෙට කියලා. එයා පාට වර්ග ඉංග්‍රීසියෙන් කියන්න දන්නවා. අපේ ආගමේ අකුරු හතරක් හම්දී කියන්න දන්නවා. ඒ එයාගේ අයියගෙන් අහගෙන."

"මම උයනකොට එයා පළා වර්ග කඩලා දෙනවා මම අම්මට උදව් කරනවා කියලා. සෙනසුරාදා ගෙදර අස් කරද්දී ළමයි තුන්දෙනා උදව් කරනවා මට. ඒ වෙලාවට හම්දී එනවා මට උදව් කරන්න කියලා. ඒකෙ වීඩියෝ මගේ ෆෝන් එකේ තිබ්බා. සමහර ඒවා මම ඩිලීට් කළා ඉඩ මඳිවුණ නිසා. අනේ මට ඒවා තිබ්බ නම් කියලා දැන් හිතෙනවා." ඒ ෆස්ලිම්ගේ මව ෆාතිමාගේ වේදනාව ය.

වකුගඩුවක ඇතිවූ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු තුනක් වූ හම්දී, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී සිදුකළ ශල්‍යකර්මයක දී ඔහුගේ රෝගී වකුගඩුව සමග ක්‍රියාකාරී මට්ටමේ තිබූ වකුගඩුව ද ඉවත් කිරීම හේතුවෙන් ඇතිවූ රෝගී තත්ත්වය උත්සන්නවීම නිසා ඉකුත් ජුලි මස 27 වෙනිදා ජීවිතයෙන් සමුගත්තේ ය.

ඒ, මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රයට දිගින් දිගටම විවිධ චෝදනා එල්ල වෙමින් පවතින පසුබිමක ය.

hfv

"වාර්තා බලලා තමයි වෛද්‍යවරුන් තීරණය කළේ හම්දිගේ වකුගඩුවක් අයින් කරන්න ඕන කියලා"

දරුවාට කිසිදු රෝගී තත්වයක් නොතිබූ බවත්, ඔහුගේ උදරයේ යටට වෙන්න ගෙඩියක් වැනි දෙයක් දැකීම නිසා කොළඹ පෞද්ගලික රෝහලක දී විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරිමට පියවර ගත් බවත් හම්දී ගේ පියා වන එම්. එන්. එම්. ෆස්ලිම් පැවසුවේ ය.

"දරුවට කිසිම අසනීප තත්ත්වයක් තිබුණේ නැහැ. නමුත් ඔහු නිදන් ඉන්න වෙලාවට, අපි වඩා ගනිද්දී දරුවාගේ යටි බඩට ආසන්නයේ ගෙඩියක් වගේ දෙයක් දැක්කා. එතකොට එයාට මාස නවයයි වයස. සාමාන්‍යයෙන් එහෙම දෙයක්‌ දැක්කම අපි කරන්නේ වෛද්‍යවරයෙක්‌ ළඟට අරං යන එකනේ. ඉතින් අපි කොළඹ පෞද්ගලික රෝහලක දී විශේෂඥ වෛද්‍යවරයෙක් චැනල් කළා."

"ඒ වෛද්‍යවරයා දරුවව පරීක්ෂා කරලා ස්කෑන් පරීක්ෂණ වගයක් කරන්න නියම කළා. ඒ අනුව කරපු පරීක්ෂණවල වාර්තා බලලා කිව්වා හම්දීගේ වකුගඩුවක ප්‍රශ්නයක් තියෙනවා, ඒ වකුගඩුවේ මුත්‍රා එකතුවෙලා තමයි ගෙඩියක් වගේ එළියට පෙන්නේ කියලා. එහෙම කියලා ඒ වෛද්‍යවරයා විසින්ම වකුගඩු සම්බන්ධ වෛද්‍යවරයෙක් ළඟට යොමු කළා. ඒ විශේෂඥ වෛද්‍යවරයා පරීක්ෂණ වාර්තා බලලා කිව්වා දරුවාගේ මුත්‍රා බ්ලොක් එකක් තියෙනවා, ඒක හදාගන්න, ඊට පස්සේ ඉතුරු වැඩ ටික කරමු කියලා තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට යොමු කළා," හම්දීගේ පියා පවසයි.

"අපිව තුන්වෙනියට යොමූ කළ විශේෂඥ වෛද්‍යවරයා තමයි මලික් සමරසිංහ. ඒ විශේෂඥ වෛද්‍යවරයා බලලා කිව්වා මේ බ්ලොක් එක කඩන්න කලින් දරුවා ගැන තව පරීක්ෂණ කරන්න අවශ්‍ය යි කියලා අපිට ලේඩි රිජ්වේ රෝහලට එන්න කිව්වා. පස්සේ අපි ඒ වෛද්‍යවරයාගේ රෝහලේ වෛද්‍ය සායනයේ ලියාපදිංචි වුණා. එතනදී DMSA ස්කෑන් එකක් කළා දරුවට. ඒක බලලා කිව්වා දරුවාගේ එක වකුගඩුවක් වැඩ කරනවා අඩු යි, ඒක 9%ක් වගේ වැඩකරන්නේ, අනෙක් වකුගඩුව 91%ක් [ඒ මොහොතේ වෛද්‍යවරයා පවසා ඇති අන්දමට] වැඩ කරන්නේ කියලා."

"ඒ අතර වාරයේ දී කොරෝනා වසංගතය තිබ්බ නිසා රෝහලෙන් කෝල් කරලා කිව්වා දරුවව අරන් එන්න එපා, එයාලා දිනයක් දෙන්නම් කියලා. එහෙම්ම අවුරුද්දක් විතර ගියා. පස්සේ බැරිම තැන රෝහලට අපි කෝල් කරලා බැලුවා. මොකද එයාගේ වකුගඩුවේ ප්‍රශ්නයක් තිබ්බ නිසා. පස්සේ අපි විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහව චැනල් කරලා දරුවව ආපහු එක්කන් ගියාම ඔහු කිව්වා නැවත රෝහලේ වෛද්‍ය සායනයට එන්න, දරුවව ඇඩ්මිට් කරන්න බලාගෙනම කියලා."

"පස්සේ 2022 ජූනි මාසේ 22 වැනිදා දරුවා රෝහල්ගත කළා. පස්සේ දරුවාගේ වකුගඩුවේ ක්‍රියාකාරිත්වය බලන්න කියලා ජූනි 27 වෙනිදා එයාගේ බඩෙන් වකුගඩුවට බටයක් දාලා බෑග් එකක් දැම්මා. අපි හැමදාම පිටවෙන මුත්‍රා ප්‍රමාණය මැනලා වෛද්‍යවරුන්ට වාර්තා කළා. එහෙම තියෙද්දී තවත් ස්කෑන් පරීක්ෂණ දෙකක් කළා. ඒ ඔක්කෝම වාර්තා බලලා තමයි වෛද්‍යවරුන් තීරණය කළේ හම්දිගේ වකුගඩුවක් අයින් කරන්න ඕන කියලා."

"අපි වෛද්‍යවරුන් ගෙන් ඇහුවා වකුගඩුව සවුත්තු වෙලා ද කියලා. එතකොට ඔහු කිව්වේ දරුවාගේ වකුගඩුව වැඩිලා නැහැ කියලා. ඒ වගේම ඔහු කිව්වා යුරීන් බ්ලොක් එකකුත් තියෙන නිසා වකුගඩුව ඉදිමිලා තියෙන්නේ කියලා," දරුවාගේ පියා පැවසුවේ ය.

"මේ මගේ හොස්පිට්ල් බෑග් එක"

වකුගඩුවේ රෝගී තත්ත්වයක් තිබුණ ද පුංචි හම්දී ක්‍රියාකාරී දරුවෙකු වූ බව ඔහුගේ මව වන ෆාතිමා රිෆානා අබ්දුල් කාදර් බීබීසී සිංහල සේවයට පවසා සිටියා ය.

"බබාට අමාරුවක් එහෙම තිබුණේ නැහැ. බබාගේ බඩට බටය දාපු දවසේ හොස්පිටල් එකේ ෆොටෝ එහෙම ගත්තා. ඊට පස්සේ අපේ අවුරුද්ද ආවා. අපි පුතාව ලස්සනට අන්දවලා, එයාගේ බෑග් එකත් පෙන්න නැතිවෙන්න ෆොටෝ ගත්තා එයාගේ අයියලා එක්ක තියලා. ඒ ෆොටෝ මගේ ළඟ තියෙනවා," ඇය පැවසුවා ය.

hamdi

"එයාට බටය දාන්න දවස් පහක් රෝහලේ නැවතිලා හිටියා නේ. එතකොට එයාට සෙල්ලම් බඩු, පොත්, ක්ලේ එහෙම අරන් දුන්නා. එයා ඒවත් එක්ක සෙල්ලම් කළා රෝහලේදීත්. ඒ අසාවට එයා හොස්පිට්ල් යන්න කැමති, මොකද එයාට මොනව හරි හම්බ වෙනවා කියලා දන්න නිසා.

"එයා ගෙදරදී බෑග් එක දැක්කම කියනවා 'මේ මගේ හොස්පිට්ල් බෑග් එක' කියලා. එයාගේ අයියලටවත් අල්ලන්න දෙන්නේ නෑ. එයා දන්නවා එයාට ආපහු හොස්පිට්ල් එකට යන්න වෙනවා, ගිහින් ඇඩ්මිට් වෙන්න වෙනවා කියලා," ඇය ප්‍රකාශ කළා ය.

"තනි වකුගඩුවෙන් ජීවත් වෙන්න පුළුවන් කිව්වා"

දරුවාගේ වකුගඩුව ඉවත් කිරීමට අදාළ ශල්‍යකර්මය සඳහා ඔවුන්ට නොවැම්බර් මාසයේ දිනයක් ලබා දුන්බව ඔහුගේ මව අප වෙත ප්‍රකාශ කළා ය.

"ජූනි මාසයේ දී දරුවාගේ වකුගඩුව ඉවත් කරන්න කියලා නොවැම්බර් මාසයේ සැත්කම කරන්න දින දුන්නා. මම වෛද්‍යතුමාගෙන් ඇහුවා දරුවට මේ ඔපරේෂන් එක නොකර මෙහෙමම තියා ගන්න බැරිද කියලා. ඒ වෙලාවේ දී විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහ කිව්වා 'අම්මා දරුවා මෙහෙමම තිබ්බොත් පස්සේ කාලෙක දී විෂබීජ ගිහින් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්' කියලා.

"පස්සේ මම ඇහුවා මේ වකුගඩුව ඉවත් කළාට පස්සේ එයාගේ ජීවිතයට අවදානමක් ඇතිවෙයි ද කියලා. එතැන දී විශේෂඥ වෛද්‍යවරයා කිව්වා 'අද බොහෝ දෙනා එක වකුගඩුවෙන් ජීවත් වෙනවා. ඒ නිසා බයවෙන්න එපා' කියලා. පස්සේ මම ඇහුවා වකුගඩුව අයින් කළාට වෙන එකක් බද්ධ කරන්න අවශ්‍ය ද කියලා. ඒ වෙලාවේ දී වෛද්‍යතුමා කිව්වා 'එහෙම කරන්න අවශ්‍ය නෑ, මොකද අනෙක් වකුගඩුව 99%ක් [ඒ මොහොතේ වෛද්‍යවරයා පවසා ඇති අන්දමට] ක්‍රියාකාරී මට්ටමේ තියෙන්නේ' කියලා.

"එහෙම දැනුවත් කිරීම් කරලා තමයි අපිව ඔපරේෂන් එකට කැමති කරවා ගත්තේ," ඇය පැවසුවා ය.

තීරණාත්මක සැත්කම - "රෝහලෙන් පැමිණිල්ල බාරගත්තේ නෑ"

සැත්කම් සඳහා නොවැම්බර් මාසයේ දී බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් වන කුඩා හම්දීගේ ශල්‍යකර්මය දෙසැම්බර් මාසය දක්වා නැවත කල් තැබීමට වෛද්‍යවරුන් තීරණය කොට තිබේ.

"නොවැම්බර් මාසයේ අපි දරුවත් අරන් රෝහල්ගත වුණා. පස්සේ රෝහලෙන් දරුවව පහුවෙනිදා දවල් එක වෙනකම් ෆාස්ටින් තිබ්බා. නමුත් ඔපරේෂන් එක කළේ නෑ. ඒ, ඩොක්ටර් මලික් සමරසිංහ ලොකු ඔපරේෂන් එකක් කරාපු නිසා ඒකට ලොකු කාලයක් ගතවුණා කියලා. පස්සේ අපිට දැනුම් දුන්නා තවත් දින පහකින් ඔපරේෂන් එක කරමු, ඒ නිසා දිගටම රෝහලේ ඉන්න කියලා."

"නමුත් ඊට පහුවෙනිදා ඩොක්ටර් මලික් සමරසිංහ වාට්ටුවේ ඉන්න අනෙක් වෛද්‍යවරුන්ට දැනුම් දීලා තිබ්බා කලින් සැලසුම් කරපු ශල්‍යකර්ම කිහිපයක් තියෙන නිසා ආපිට දෙසැම්බර් 22 වෙනිදා නැවත රෝහලට එන්න කියන්න කියලා. ඒ අනුව අපි රෝහලෙන් ගිහිල්ලා දෙසැම්බර් 22 ආපහු වාට්ටුවට ඇතුළත් වුණා. එහෙම ඇතුළු වුණාට පස්සේ දෙසැම්බර් 24 වෙනිදා ඔපරේෂන් එක කළා," ෆාතිමා පැවසුවා ය.

"කලින්ම අපිට කිව්වේ ඔපරේෂන් එක කරලා ඉවර වෙලා බබාව වෝඩ් එකට දානවා, දවස් පහකට පස්සේ ගෙදර යන්න පුළුවන් වෙයි කියලා. ඔපරේෂන් එක පැයකින් කරනවා කිව්වට පැය තුනහාමාරක් විතර ගියා. ඒ වෙලාවේ දී මගේ හිතට බයක් දැනුණා. පස්සේ, පොඩි ගැටලුවක් ආවා කියලා එයාව මොනිටර් කරන්න ඕන කිව්වා. එහෙම කියලා තමයි කෙලින්ම දැන්මේ ICU එකට දැම්මේ. මට කිව්වා බය වෙන්න එපා කියලා."

"මේ ඔපරේෂන් එක කළේ විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහ නෙමෙයි, තවත් වෛද්‍යවරයෙක් වුණ නවීන් විජේකෝන්. එහෙම ඔපරේෂන් එක වෙන ඩොක්ටර් කෙනෙක් කළේ ඇයි කියලා කියන්න අපි දන්නේ නැහැ," හම්දීගේ මව පවසයි.

"කොහොම හරි, ICU එකේ හිටපු මගේ දරුවා පහුවෙනිදා උදේ (දෙසැ. 25) වෙනකම් මුත්‍රා කළේ නැහැ. පස්සෙ එයාලා පුතාගේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකක් කළා. නමුත් අපිට මොකුත් කිව්වේ නැහැ. නැවත පල්ලෙහාට අරන් ගියා ස්කෑන් එකක් කරන්න. ඊට පස්සේ ආපහු ICU එකට පුතාව ගෙනාවා. හවස් වෙද්දී එයාලා විශේෂඥ වෛද්‍යවරයෙක්ව කැඳෙව්වා. එයත් එක්ක සාකච්ජා කරලා මේ වෛද්‍යවරු අපි ළඟට ඇවිල්ලා කිව්වා පුතාගේ බෙල්ලෙන් ලයින් එකක් දාන්න ඕන කියලා ඩයලසීස් කරන්න ඕන කියලා."

"එතකොට අපි දන්නේ නැහැ ඩයලසීස් කරනවා කියන එක ගැන. අපෙන් අත්සන් කරලා ඉල්ලුව ඒක කරන්න, පස්සේ අපි අත්සන් කළා. පස්සේ ඒ වෙද්දී බබා ඉදිමිලා හිටියේ. ඒ වෙලාවෙම ඩයලසීස් කරන්න පටන් ගත්තා දෙසැම්බර් 25 වෙනිදා. ඒ නිසා වෝඩ් නම්බර් වන් එකට මාරු කළා. බබාව දිගටම දවස් කිහිපයක් ඩයලසීස් කළා. දරුවාව රෝහල් ගත කරන කොට එයාගේ බර කිලෝග්‍රෑම් 10.400ක් තිබුණේ. පස්සේ එයාගේ බර කිලෝග්‍රෑම් 12.600ක් වෙනකම් වැඩි වුණා. ඒ හින්දා අර බර වැඩි වුණ එක අඩු කරන්න දිගටම පැය තුනක් ගානේ ඩයලසීස් කළා."

"ඔය අතරවාරයේ දී දරුවාගේ තවත් ස්කෑන් පරීක්ෂණ දෙකක් කරනවා. පස්සේ වෛද්‍යවරුන් කියනවා අපිව හම්බ වෙන්න ඕන කියලා. එහෙම කියලා ඔවුන් රෝහලේදී අපිව මුණ ගැහුණා. ඒ කණ්ඩායමට විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහ, ඔපරේෂන් එක කරපු ඩොක්ටර් නවීන් විජේකෝන්, ස්කෑන් එක කරපු ඩොක්ටර් ඇතුළත් වුණා."

"ඒ වෙලාවේ දී අපේ පරණ රිපෝට්ස් ටික එයාලා ඉල්ලා ගත්තා. පස්සේ විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහ තමයි කිව්වේ 'තාත්තා, පොඩි වැරදීමක් වෙලා තියෙනවා. මෙයාගේ ශල්‍යකර්මයේ දී වකුගඩු දෙකම ඉවත් වෙලා කියලා කිව්වා. ඒ වෙලාවේ අපිට ලොකු වේදනාවක් ඇති වුණා. නමුත් අපි ඉවසන් ඒ අයගෙන් ප්‍රශ්න කළා. ස්කෑන් එකේ දී වෙන වෙනම තිබ්බ වකුගඩු දෙක කොහොමද ඉවත් කළේ කියලා ඒ ප්‍රශ්නය අපි ඇහුවා," මව කියයි.

"ඒ ප්‍රශ්නයට වෛද්‍යවරුන් පිළිතුරු දෙමින් කිව්වේ වකුගඩු දෙකම එකට ඇලවිලා තිබිබ නිසයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. ඒ එක්කම ඔපරේෂන් තියටර් එකේ දී කරපු අල්ට්‍රාස්කෑන් පරීක්ෂණයක් කළා, ඒකෙදි දරුවාගේ දකුණු පැත්තේ වකුගඩුව තිබ්බා කියලා. අපි නැවත වෛද්‍යවරුන්ගෙන් විමසුවා හරි වකුගඩුව ඉවත් කළාට පස්සේ එතන වකුගඩු දෙකක් තියෙනවා දැක්කේ නැද්ද කියලා. ඒකට උත්තර දුන්න ඔපරේෂන් එක කරපු ඩොක්ටර් නවින් විජේකෝන් කිව්වා ස්කෑන් එකේ දී දකුණු පැත්තේ වගේම ඉවත් කළ වකුගඩු කෝ කියලා ඇහුවම ඔපරේෂන් එක කරපු වෛද්‍යවරයා කිව්වා ඒක ෆෝමලීන්වල දැම්මා කියලා."

"පස්සේ අපි ඇහුවා ඒ වකුගඩුව නැවත දරුවට බද්ධ කරන්න තිබ්බා නේද කියලා. එතකොට කිව්වා එහෙම ෆෝමලීන්වලට දැම්මම වකුගඩුව මැරෙනවා කියලා. නමුත් අපිට ඒ වකුගඩුව පෙන්වන්නම් කිව්වත් පෙන්නුවේ නැහැ මේ වෙනකම්."

"අපි පොලිසියට පැමිණිලි කරන්න ගියේ නැහැ. නමුත් රෝහලේ බලධාරීන්ට අපි මේක ලිඛිතව දැනුම් දෙන්න ගියාම ඔවුන් ඒක භාරගත්තේ නැහැ. අපිට කිව්වා සිදුවීම ගැන දන්නවා, ඒ වෛද්‍යවරුන් අවශ්‍ය දේ කරයි කියලා. අපි ඒක විශ්වාස කළා. මොකද ඕනෑම මනුස්සයෙක් තමන් අදහන ආගමට පස්සේ විශ්වාස කරන්නේ වෛද්‍යවරුන්ව. මොකද ඔවුන් අපිව සුව කරයි කියන බලාපොරොත්තුව ඇතිවයි මනුස්සයෙක් තමන්ගේ අසනීපයට බෙහෙත් ගන්න යන්නේ," ෆාතීමා පැවසුවා ය.

hamdi 2

තම දරුවාගේ ඉවත්කළ වකුගඩු දෙක වෙනුවට වෙනත් අයෙකුගෙන් ලබා ගන්නා වකුගඩුවක් බද්ධ කිරීමට හැකියැ යි ශල්‍යකර්මය කළ වෛද්‍යවරුන් පැවසූ බව හම්දීගේ පියා වන ෆස්ලිම් බීබීසී සිංහල සේවයට පැවසුවේ ය.

"අපි අපේ දුක විඳදරා ගත්තා මොකද අපේ පුතා ඉන්නේ අසාධ්‍ය මට්ටමේ නිසා. වෛද්‍යවරුන් කිව්වා දරුවට වකුගඩුවක් බද්ධ කරමු කියලා, එතකන් ඩයලසීස් කරමු කියලා ඔවුන් කිව්වේ. එහෙම ඉද්දි වෛද්‍යවරුන් අපෙන් ඇහුවා දරුවට වකුගඩුවක් දෙන්න මටවත් මගේ නෝනටවත් බැරිද කියලා. ඇත්තම කිව්වොත් මම පොඩි ටයර් ෂොප් එකක් කරන්නේ. මම බර උස්සන නිසා මට මගේ වකුගඩුවක් දෙන්න පුළුවන්කමක් නැහැ. මොකද මම තව දරුවෝ තුන්දෙනෙක්ව ජීවත් කරවන්න ඕන. මගේ පවුලට කන්න දෙන්නේ රැක බලා ගන්නේ කවුද එතකොට?"

"ඒ වගේම මගෙ නෝනා ගේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙලා, ප්‍රෙෂර් එක වැඩි වෙලා තිබුණ නිසා එයාගෙන් ගන්නත් බැරි වුණා. මම අපේ ඥාතීන්ගෙන් ගිහිල්ලා වකුගඩුවක් ඉල්ලන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එතකොට වෛද්‍යවරුන් කිව්වා මාස තුනක් වගේ ඇතුළත අපිට ඩොනර් කෙනෙක්ගෙන් වකුගඩුවක් හොයා ගන්න පුළුවන් වෙයි කියලා."

"එහෙම කියද්දී මම ඇහුවා ඊට පස්සේ පුතාට ඒ වකුගඩුවෙන් දිගටම ජීවත් වෙන්න පුළුවන් ද කියලා. එතකොට ඔවුන් කියා සිටියා සාමාන්‍යයෙන් අවුරුදු 10ක් හෝ 15කට පසුව නැවත වතාවක් වකුගඩුවක් බද්ධ කරන්න අවශ්‍යයි කියලා. මම කිව්වා ඔයාලට පහසුකම් තියෙනවානේ, කොහොම හරි මගේ පුතාව බේරලා දෙන්න කියලා. ඒ වෙලාවේ දී ඩොක්ටර් මලික් සමරසිංහ කිව්වා මාස හතරක් ඇතුළත වකුගඩුවක් බද්ධ කරන්න පුළුවන් කියලා," ඔහු පවසයි.

"අපි කලබල කරන්න ගියේ නැහැ. මනුස්සයින්ගේ අත්වලින් තමයි වැරදි වෙන්නේ. එයාලා කිව්වනේ ඒ වැරැද්ද හදලා දෙනවා කියලා. මගේ පුතා ඉන්නෙත් ඒ රෝහලේ. මට වෙන විකල්පයක් තිබුණේ නැහැ. පුතාව බේර ගන්න ඕන නිසා ඒ අයගේ කීම විශ්වාස කරලා පුතාව මාසයක්‌ විතර ඩයලසීස් කර කර හිටියා. එහෙම කරන් ඉද්දි ඩයලසීස් කරන්න දාපු නහර වල ලේ කැටි ගැහිලා බ්ලොක් වෙන්න පටන් ගත්තා. ඒ මාසය ඇතුළත් පුතාට ලයින් තුනක් දැම්මා."

"එක අවස්ථාවක දී පුතාගේ පපුවේ දකුණු පැත්තෙන් ලයින් එකක් දාද්දි එයාගේ රුධිරය වහනය වෙන්න පටන් අරන් එයා මැරෙන්න පවා ගියා. එතැනින් බොහොම අමාරුවෙන් බේර ගත්තා. පස්සේ පපුවේ වම් පැත්තට දාගත්තා ලයින් එක. එහෙම කරලා 2023 වසරේ ජනවාරි මාසයේ 26 වෙනිදා රෝහලෙන් දරුවාගේ ටිකට් කපලා අපිව ගෙදර යැව්වා. එහෙම යැව්වත් දවසක් ඇර දවසක් දරුවාව රෝහලට අරන් ගියා අපි ඩයලසීස් කරන්න."

"එහෙම සති දෙකක් යද්දී පපුවේ වම් පැත්තෙන් දාපු ලයින් එකත් බ්ලොක් වෙන්න පටන් ගත්තා. පස්සේ කකුල්වලින් ඩයලසීස් කරන්න ලයින් දැම්මා. පස්සේ මෙයාට ලයින් දාන්න තැනක් නැති නිසා වෛද්‍යවරුන් තීරණය කළා බඩට බටයක් දාලා පෙරිටෝන් ඩයලසීස් කරන්න ඕන කියලා."

"අපි ඒකට මුලදී කැමැති වුණේ නැහැ. මොකද ඒකට විෂබීජ ගියොත් බොහොම අමාරුවෙයි, සනීප කරන්න කියලා දැන ගන්න ලැබුන නිසා. නමුත් අපිට වෙන විකල්පයක් තිබුණේ නැහැ. පස්සේ ඒක දාලා මාසයක් විතර රෝහලේ ඉඳලා ආපහු ගෙදර බබාව අරන් ආවා," ඔහු පැවසුවේ ය.

රුපියල් ලක්ෂයක් වියදම්කර සෑදු විශේෂ කාමරය

සිය දරුවා නැවත නිවසට රැගෙන ඒමෙන් පසු නිවසේ සිට රුධිරය පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන ලෙසට වෛද්‍ය උපදෙස් ලබාදුන් නිසා රුපියල් ලක්ෂයක් පමණ වියදම් කොට ඔහු වෙනුවෙන් විශේෂ කාමරයක් සෑදීමට කටයුතු කළ බව හම්දිගේ පියා පැවසුවේ ය.

"රෝහලෙන් ටිකට් කපලා එනකොට ඒ අය ගෙදරදීම ඩයලසීස් කරන්න අවශ්‍ය කෙමිකල් ටික දීලා අවශ්‍ය උපදෙස් දුන්නා. ඒ වගේම ඒයාට වෙනම කාමරයක් හදන්න කිව්වා දූවිලි යන්නේ නැති වෙන විදිහේ. විෂබීජ දරුවට යයි කියලා අපිට ගෙදරදී පවා මුව ආවරණ පළදින්න කියලා උපදෙස් දුන්නා. ඒ හින්දා රුපියල් ලක්ෂයක් විතර වියදම් කරලා කාමරයක් හදලා මාස තුනක් විතර එයාව ගෙදර තියාගෙන ඩයලසීස් කර කරා හිටියා."

"අපි එයාව දවසේ පැය 15ක් එකම තැන තියාගෙන ඉන්නේ ඩයලසීස් කරන්නේ. බඩට සවි කරලා තියෙන ලොකු බෑග් නිසා ඒවා උස්සන් එහෙ මෙහෙ ඇවිදින්න බෑ. බඩට දාලා තියෙන බටයෙන් කෙමිකල් මිලිලීටර් 300ක් ඇතුළ් කරලා පැය තුනක් තියලා පස්සේ ඒක ඉවත් කරනවා. ඒ වගේ දෙපාරක් කරන්න ඕන. පස්සේ රෑ දොළහට ආපහු කෙමිකල් එක දාලා ඒක ඉවත් කරන්නේ උදේ හයට. මේ වගේ හැමදාම එයාව ගෙදර තියන් ඩයලසීස් කරනවා. ඊට පස්සේ එයාට පොඩි විවේක කාලයක් තියෙනවා. එයා ඒ වෙලාවේ දී අයියලා එක්ක ටිකක් සෙල්ලම් කරලා ඉන්නවා."

"ඒ වගේම පුතාව සති දෙකෙන් දෙකට වෛද්‍ය සායනයට රැගෙන යනවා වෛද්‍ය පරීක්ෂණයට. ඉකුත් මැයි මාසයේ 11 වෙනිදා වෛද්‍ය සායනයකට ගියා. මේක හවස තියෙන්නේ. අපි ඒක අවසන් කරලා නැවත නිවසට එන්න පරක්කු වුණා."

"සාමාන්‍යයෙන් පුතාව ඩයලසීස් කරන්න පටන් ගන්නවා දවල් එක වෙද්දී. එදා හවස හය පහුවෙලා තමයි ඩයලසීස් කරන්න පටන් ගත්තේ. එහෙම කරද්දී එයාට හුස්ම ගන්න අපහසු වෙලා අපි ආපහු එයාව රෝහලට අරන් ගියා. පස්සේ දැන ගන්න ලැබුණා එයාගෙ පෙනහළුවලට වතුර පිරිලා කියලා. එදත් බොහොම අමාරුවෙන් පුතාව බේරගන්න ලැබුණේ. දවස් දෙකක් ICU ඒකෙ තියන් ඉඳලා ආපහු නෝමල් වාට්ටුවට දැම්මා. එතන දවස් දෙකක් ඉදලා ටිකට් කැපුවා."

"එහෙම ඉද්දී එයාගේ ඇහිබැමිවල ප්‍රශ්නයක් ඇවිල්ලා ආපහු මැයි මාසේ 19 වෙනිදා රෝහල් ගත කළා. එහෙම දවස් දෙකක් ප්‍රතිකාර කරලා ආපහු ටිකට් කැපුවා," හම්දීගේ පියා පැවසීය.

"එහෙම ටිකට් කපලා ආව දවසේ රෑ එයාට උණ ගත්තා. පස්සේ පැනඩෝල් සිරප් දුන්නා. ඊට පහුවෙනිදා දවල් එයාගේ බඩ රිදෙනවා කියලා කිව්වා. ඒ එක්කම ආපහු උණ ගත්තා. එදා රෑ එයා නිදාගත්තෙම නැහැ. බඩ රිදෙනවා කියලා ඇඬුවා. අපි පුතාව ආපහු මැයි මාසයේ 21 වෙනිදා රිජ්වේ ආර්යා ළමා රෝහලට අරං ගියා. ඒ පාර එයා මැරෙනකම් හිටියේ රෝහලේම යි. ඒ අතරවාරයේ දී මගේ බිරිඳගේ මව මියගියා. ඒක නිසා එක දවසක් රෝහලෙන් ටිකට් කපාගෙන දරුවාව නිවසට එක්කන් ආවා. ඇවිල්ලා පහුවෙනිදා ආපහු එයාව එක්කන් ගියා," ඔහු පැවසුවේ ය.

hamdi 3

"එයා සෑහෙන්න දුක් වින්දා"

"මාගේ පුතා සෑහෙන්න දුක් වින්දා. මම හිතෙන්නේ නැහැ මටවත් එහෙම දුකක් දරා ගන්න පුළුවන් වෙයි ද කියලා. ඩයලසීස් කරන්න එයාගේ ඇඟේ හැම පැත්තකින්ම බට දැම්මා, ලේ ගන්න අත් දෙකෙන්ම කටු ගැහුවා. පුතාගෙ බඩට විෂබීජයක් ගිහින් තිබ්බ නිසා එයා බඩ රිදෙනවා කියලා කෑ ගහනවා. ඒ වෙලාවට එයාම එයාගේ කොන්ඩේ අතින් ඇද ගන්නවා වේදනාව දරා ගන්න බැරුව," කුඩා හම්දී මුහුණදුන් තත්ත්වය ඔහුගේ පියා අප සමග විස්තර කළේ ය.

"රෝහලෙන් අපිට උපදෙස් දුන්නා දරුවාව ඩයලසිස් කරද්දී ගෙදර හදන්න අවශ්‍ය පහසුකම් ගැන. අපි මුදල් වියදම් කරලා ඒවා හැදුවා. නමුත් ඒ කිසිම පහසුකමක් රෝහලේ තිබුණේ නැහැ. එයාලා වෝඩ් එක හෝදන වෙලාවට ඩයලසීස් කරන අයව මිනිස්සු යන එන කොරිඩෝ එකේ තියන් කරන්නේ. එතන ඩස්ට්බින් එක පවා තියෙනවා. එතකොට කොහොමත් විෂබීජ යනවා. මගේ බිරිඳ ගිහින් ඒක ඩොක්ටර්ස්ලට කිව්වම එයාල කියලා තිබුණා 'පොඩ්ඩක් ඉන්නකෝ, මේක හෝදලා ඉවර වුණාම වෝඩ් එකට දාන්නම්' කියලා."

"මෙයා රෝහල්ගත කරන කොට ආරම්භ වුණ පාචනය වගේ මළ පහවීමේ තත්ත්වය එයා මැරෙනකම්ම සිදුවුණා. සමහර දවස්වල 10-15 වතාවක් සිද්ධ වුණා. එයාට පැම්පර්ස් මාරු කරන්න වුණා. රෝහලෙන් දවසකට පැම්පර්ස් පහක් දුන්නා ඉල්ලුවම. ඊට අමතරව අපි කඩෙන් ඒවා මිලදී ගත්තා. ඒවා ලොකු වියදමක්. අවසානයේ දී කරන්න දෙයක් නොතිබ්බ නිසා පැම්පර්ස් එක ඇතුළට පේපර් සර්වියට් තියලා ඒක මාරු කර කර හිටියා."

"ටික දවසක් යද්දී එයාගේ පිටි පස්සේ ගන්න දෙයක් නැහැ. හම ගිහිල්ලා ලේ ගලාගෙන එන්න පටන් ගත්තා නිකම්ම. එයාට ටොයිලට් ගියාම නැගිට්ට වෙනවා. එහෙම නැගිට්ටම වේදනාවට කෑ ගහනවා. ඒ දුක ඇත්තම අපායක් වගේ," දරුවාගේ පියා වන ෆස්ලීම් පැවසුවේ ය.

"මේ වෛද්‍යවරුන් මේවට වග කියන්න ඕන නේද?"

දරුවා අසාවෙන් ඉල්ලූ ආහාරයක් පවා අවසානයේ දී ආහාරයට ගත නොහැකිව ඔහු පීඩාවට පත්වූ බව දරුවාගේ මව වන ෆාතිමා අප සමග විස්තර කර සිටියා ය.

"එයා අන්තිමේ දී කන්නේ නැතිවම ගියා. එයා අසාවෙන් කිරි ඉල්ලනවා බඩගිනි නිසා. ඒක දෙනකොට එපා එපා කියනවා. එයාගේ උගුරේ විෂබීජයක් ගිහින් වගේ වතුරවත් බොන්න බැරි වුණා. එයා ආසාවෙන් කන්න කැමති දේවල් කන්න බැරි වුණා.

"එයා බෙහෙත් බොන්න හරි කැමැතියි. ඉස්පිරිතාලේ දී බෙහෙත් දුන්නම එයා බෙහෙත් ටික කොටලා කප් එකට එයාම දාලා මට දෙනවා අම්මා මේක මගේ කටට දාන්න කියලා. ඉස්පිරිතාලේ දොස්තරලා මිස්ලා පවා ඒක දන්නවා. එයාලත් පුදුම වුණා මේ ළමයා මෙහෙම බෙහෙත් බොනව ද කියලා. එයාට දෙන බෙහෙත්වල නම් පවා එයා දන්නවා. අවසානයේ දි එයා බෙහෙත් ප්‍රතික්ෂේප කළා උගුරේ ඇතිවුණ අමාරුව නිසා. ඩයලසීස් කරද්දී පාවිච්චි කරන්න ඕන බෙහෙත් වර්ග ගැන පවා එයා දැනුවත්. හම්දී එකට හුරුවුණා."

"එයාට දවසකට දුන්නේ වතුර මිලිලීටර් 250 යි. ඒකෙන් තමයි බෙහෙත් බොන්න දෙන්නේ, කෑමට හොදි පවා දෙන්නේ. වතුර ඉල්ලුවා කලින්. පස්සේ මම එයාට තේරුම් කරලා දුන්නා 'පුතා ඔයාව ඔපරේෂන් කරලා වකුගඩුව අයින් කරලා තියෙන්නේ' කියලා. ඒයා ඒක තේරුම් ගත්තා. පස්සෙ එයාම එයාව පාලනය කර ගත්තා."

"එයාට පොටෑසියම් ඇතුළු ආහාර වර්ග කිහිපයක් දෙන්න එපා කිව්වා. එයා කෙසෙල් ගෙඩි කන්න ආසයි. නමුත් ඒක කන්න බැරිවුණා එයාට. රට ඉඳි, අලිගැට පේර දුන්නේ නැහැ. එයා කිව්වා මම සනීප වෙලා මේවා කන්නම් අම්මි කියලා. එයාගේ ඇද ළඟ තමයි වතුර බෝතලේ තියෙන්නේ. කවදාවත් තනියම වතුර බිව්වේ නැහැ. මගෙන් ඉල්ලලා තමයි වතුර බිව්වේ. අඩුම තරමින් එයාගේ අයියලාගෙන් වත් වතුර ඉල්ලලා හොරෙන් බීලා නැහැ කියලා එයාලම කියනවා."

"තේ ඉල්ලුවත් මිලිලීටර් 40-50ක් වගේ හදලා බෝතලයට දාලා දෙනවා. මම පස්සේ බලන කොට එයා බෝතලේ මුඩිය ඇරලා ඒක ඇතුළේ ඉතුරු වෙලා තියෙන තේ බිංදු ටික දිවෙන් බොනවා. එහෙම දකිනකොට අම්මා කෙනෙක් විදිහට මම කොච්චර දුක් වින්දද? පිපාසයට වතුර ටිකක් බොන්න නැතිව එයා කොයිතරම් වේදනාවක් වින්දද?"

"මගේ දරුවා මාස හතක් මෙහෙම දුක් වින්දේ දොස්තරලා කරපු වැරැද්ද නිසා. එයාලා ඒක හරි ගස්සයි කියලා අපි බලාපොරොත්තු වුණා," ඇය පැවසුවා ය.

"මම මාස දෙකහමාරක් ළඟ ඉදන් එයාව බලාගෙන හිටියේ. මම මානසිකව කොයි තරම් වැටුණ ද? එයාගේ ඔපරේෂන් එකේ ඉදලා මැරුණ දවස වෙනකම් මට රෑ තිස්සේ නින්දක් නැහැ. ඒ කල්පනාවෙන්ම තමයි මට සීනි අමාරුව හැදුණේ. අවස්ථා කිහිපයක දී කලන්තේ දාලා වැටිලා තියෙනවා මම. මට තව ළමයි තුන් දෙනෙක් ගෙදර ඉන්නවා. මගේ අම්මා තමයි ඒ අයව බලා ගත්තේ ඉස්කෝලේ යැව්වේ. ඒ ළමයි මගෙන් අහනවා කෝල් කරලා 'අම්මා අපිව බලන්න එන්නේ නැද්ද' කියලා.

"එහෙම ඉද්දි තමයි මගේ අම්මා එක පාරම හදිසි හෘදයාබාධයකින් මියගියේ. එතැනදී අපි තවත් අසරණ වුණා. අන්තිමට මහත්තයා ගෙදර නතර වුණා මේ දරුවෝ තුන්දෙනා බලාගන්න ඕන නිසා. අපේ පවුල තැන් තැන්වල," ඇය ඇගේ දුක් වේදනාවන් අප හා පවසයි.

"මේ වෛද්‍යවරුන් මේවට වග කියන්න ඕන නේද? ඒ අය හරියට ඔපරේෂන් එක කළා නම් අපිට මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ නිසා අපේ පවුලම දුක් වින්දා," ඇය කියා සිටියා ය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී ශල්‍යකර්මය සිදුකිරීමට උපදෙස් දුන් වෛද්‍යවරයා මුණ ගැසීමට තමන් උත්සාහ කළත්, අවස්ථා රැසක දී තමන්ට ඉඩ නොලැබුණු බව ෆස්ලිම් පැවසුවේ ය.

"මේ ඔපරේෂන් එක කරන්න කියපු මලික් සමරසිංහ විශේෂඥ වෛද්‍යතුමා අපිට කියලා තිබුණ එයා රෝහලට ආවම ඕනෑම වෙලාවක හම්බ වෙන්න එන්න කියලා. මම අවස්ථා ගණනාවක් උත්සහ කළා වෛද්‍යවරයාව හම්බ වෙන්න. නමුත් අවස්ථාව ලැබුනේ නැහැ. එක්කෝ ඔපරේෂන් තියටර් එකේ, නැත්නම් නැහැ කියනවා. සමහර ඩොක්ටර්ස්ලා නර්ස්ලා අපිව විහිළුවට ගණන් ගත්තා. එයාලා කිව්වා අපිට ඩොක්ටර්ගේ ගෙදර හොයා ගෙන යන්න කියලා. අපේ මානසිකත්වය එයාලා තේරුම් ගත්තේ නැහැ."

"අවස්ථා ගණනාවක් උත්සහ කරලා බැරිම තැන මම ඩොක්ටර් මලික්ව චැනල් කරලා පෞද්ගලිකව හම්බ වෙලා කිව්වා සර් මගේ දරුවා මෙහෙම දුකක් විඳිනවා, එයාව පොඩ්ඩක් බලන්න කියලා. එයා පස්සෙ ඒ චැනල් කරපු සල්ලි නැවත දුන්නා," ඔහු පැවසුවේ ය.

hamdi 4

"මගේ ළමයට, අපේ පවුලට වුණා වගේ දෙයක් වෙන කිසිම පවුලකට වෙන්න හොඳ නැහැ"

"මේ ගැටලුව නිසා අපි ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න හිතුවේ මගේ ළමයට, අපේ පවුලට වුණා වගේ දෙයක් වෙන කිසිම පවුලකට වෙන්න හොඳ නැහැ කියලා හිතලා. අපේ පුතා ආපහු එන්නේ නැහැ. ඒ වුණාට එයා නිසා තව ජීවිත බේරෙන්න ඕන කියලා අපි හිතෙනවා," ෆාතිමා පැවසුවා ය.

"දැන් දැන් අම්මලා බෙහෙත් ගන්න ගියාම අවධානයෙන් ඉන්නේ දොස්තරලා කරන දේ ගැන. ඒ ගැන ප්‍රශ්න අහන්න පුළුවන්. දොස්තරලා වුණත් අවධානයෙන් ඉන්න ඕන වෙනදට වඩා. අපි දරුවෙක් හදන්නේ දුක් මහන්සිවෙලා ඒ අය අනාගතයේ ලස්සනට ඉන්නවා දකින්නනේ. ඒක නිකම් නැති වෙන්න නෙමෙයි."

"රිජ්වේ එකේ වාට්ටු අංක එකේ හිටපු ඩොක්ටර්ස්ලා මිස්ලා පුතාට හරි ආදරෙන් හිටියා. එයාලා දන්නවා මෙයාට ආසාධාරණයක් වුණේ කියලා. එයාගේ ලේ ගද්දි පවා හෙමින් ගත්තේ. එයාලා කතා කළේ 'අපේ හම්දී' කියලයි. අපේ දරුවාව මෙච්චර කාලයක් හරි ජීවත් කළේ ඒ වාට්ටුවේ හිටපු අයයි. මෙහෙම ඔපරේෂන් එකක් වැරදුණා කියලා රෝහලේ අධ්‍යක්ෂකවරයා දැනගන්න ඕන වැරැද්ද නිවැරදි කරන්න. රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකට ලිඛිතව දැනුම් දෙන්න ගියාම ඒක භාර ගත්තේ නැහැ. වැරැද්දක් කරපු දොස්තර ඒකෙ වගකීම භාර ගන්න ඕන."

"මේ ඔපරේෂන් එක කරපු ඩොක්ටර් නවීන් විජේකෝන් කිසිම ප්‍රශ්නයක් නැතිව රට ගියා. එයා රටින් ගිහින් මාස තුන හතරක් වෙනවා. අපි එයා රට ගියා කියලා දැනගන්න ලැබුනේ වෙන අම්මා කෙනෙක්. එයාට කිසිම වගකීමක් තිබුණේ නැහැ"

"ළමයාගේ ඉවත් කරපු වකුගඩුව පෙන්නුවේ නැහැ. ඉතිං ඕනෑම කෙනෙක්ට සැකයක් ඇතිවෙන්න පුළුවන්. මොකද මේක කරපු වෛද්‍යවරයා රටෙත් නැහැ. මේක ගැන අපි අධිකරණය හමුවට යනවා. මගේ ළමයට වුණ දේ ආපහු තව ළමයෙක්ට වෙන්න ඉඩ දෙන්න බැහැ," හම්දීගේ මව්පියන් පැවසීය.

ඉවත්කළ වකුගඩු දෙක රෝහලේ තියෙනවා - රිජ්වේ ආර්යා රෝහල් අධ්‍යක්ෂක

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුවූ මෙම සිදුවීම ගැන බීබීසී සිංහල රෝහල් අධ්‍යක්ෂක ජී. විජේසූරියගෙන් කරුණු විමසා සිටියෙමු.

එහිදී රෝහල් අධ්‍යක්ෂකවරයා පවසා සිටියේ මෙම ශල්‍යකර්මය සිදුකළ දරුවාගේ වකුගඩුව ඉතාමත්ව විශාල වී වතුර පිරි තිබී ඇති බව ය. එමෙන්ම වකුගඩුව අස්වාභාවිකව පිහිටීම නිසා ශල්‍යාගාරය තුළට ස්කෑන් යන්ත්‍රයක් රැගෙනවිත් විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ස්කෑන් පරීක්ෂණයක් ද කර තිබූ බව ය.

"එම පරීක්ෂණයේ දී එම වකුගඩුව නරක්වී ඇති බවට සොයාගත් බව ප්‍රකාශ කළා. පසුව තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ශල්‍යකර්මය කරන අවස්ථාවේ දී පෙන්වා එය සිදුකර තිබෙනවා," රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ය.

"අවසානයේ දී දැක තිබෙන්නේ මේ දරුවාගේ වකුගඩු දෙක එකට යාබදව තියෙන්නේ කියලා. ඒ කියන්නේ එකට ඇලිලා වගේ තිබී ඇත්තේ. පස්සේ මේ දරුවා එකම වකුගඩුවක් නැති තැනට පත්වුණේ. ඉන් පසුව දරුවා රෝහලේ තබාගෙන ඔහුට අවශ්‍ය ඩයලසීස් ප්‍රතිකාර කරමින් ඔහුට වකුගඩුවක් බද්ද කරන්න කටයුතු කරමින් සිටියා. ඒ සඳහා දීර්ඝ කාලයක් ගතවෙනවා. සුදුසු වකුගඩුවක් හොයා ගන්න ඕන. ගැලපෙනව ද කියලා පරීක්ෂණ කරන්න ඕන වගේම, දරුවා ඒ වකුගඩු බද්ද කිරීමට සුදුසු සෞඛ්‍ය මට්ටමක ඉන්නවා ද කියා සොයලා බලන්න අවශ්‍යයි."

"ඒ අතරවාරයේ දී දරුවට විෂබීජයක් ශරීරගතවීමෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගියා," අධ්‍යක්ෂකවරයා පැවසීය.

"කෙසේ වෙතත්, මේ ගැන මාධ්‍ය මඟින් නොයෙක් ආකාරයේ ප්‍රචාරයන් යන නිසා රෝහල මට්ටමින් පරීක්ෂණයක් සිදුකරනවා. ඒ අතරවාරයේ දී අපට දැන ගන්න ලැබුණා මේ ශල්‍යකර්මය සිදුකළ වෛද්‍යවරයා විදේශගතව ඉන්නේ කියලා. ඒ ගැන සොයා බලන විට මේ ශල්‍යකර්මය 2022 දෙසැම්බර් මාසයේදී සිදු කර තිබෙන්නේ. නමුත් ඒ වෛද්‍යවරයා විදේශ ගතවෙන්න සුදානමින් ඉදලා තියෙන්නේ 2022 වසරේ නොවැම්බර් මාසයේ සිටයි. ඒ කියන්නේ විදේශ ගතවීමට අවශ්‍ය වීසා ආදිය ලැබිලා තිබිලා තියෙන්නේ."

"ඒ වගේම මේ වෛද්‍යවරයා වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. පළපුරුදු ශල්‍යවෛද්‍යවරයෙක්. මේ වකුගඩුව අක්‍රමවත් ලෙස පිහිටීම තිබිලා නිසයි දරුවාගේ වකුගඩු දෙකම ඉවත්වෙලා තියෙන්නේ."

"කෙසේ වෙතත් අපි තවදුරටත් ඒ ගැන පරීක්ෂණ කරනවා යම් කිසි ප්‍රමාද දෝෂයක්, අත්වැරැද්දක් හෝ සිදුවෙලා තිබෙනව ද කියලා. එහෙම වෙලා තිබුණොත් ඊට අදාළ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නවා.

"යම් කිසි පිරිසක් පෝස්ටර් බැනර් අල්ලන් හිටියා වකුගඩු ජාවාරමක් කරනවා කියලා රෝහලේ. නමුත් ඒ දරුවාගේ ඉවත් කරපු වකුගඩු දෙකම රෝහලේ පටක විද්‍යා අංශයේ තියෙනවා. මම ජුලි 31 දිනයේ දී පරික්ෂා කරලා බැලුවා."

"මේක කවුරු හරි විකුණලා කියනවනම් මම සනාථ කරන්න කැමතියි ඒ වකුගඩු දෙක රෝහලේ තියෙනවා, ඕනෑ නම් ජාන පරීක්ෂණයකින් පවා ඒක සනාථ කරන්න හැකියාවක් තියෙනවා," රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවේ ය.

පුළුල් විමර්ශනයක් කරන්නැයි අධිකරණයෙන් පොලීසියට නියෝග

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අගෝස්තු 02 වැනිදා බොරැල්ල පොලීසියට නියෝග කළාය.

දරුවාගේ මරණ පරීක්ෂණය කැඳවූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය විසින් එම නියෝගය කරනු ලැබුවාය.

අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉදිරිපත් කළ වාර්තාව තුළින් අදාළ දරුවා එක් වකුගඩුවක් සහිතව ඉපදී ඇතැයි සඳහන් කර තිබුණි.

මෙම වාර්තාව පරස්පර තත්ත්වයකින් යුක්ත බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය අධිකරණ වෛද්‍ය වාර්තාව මත පමණක් පදනම්ව පරීක්ෂණ නොකරන ලෙසත් සියලූ වෛද්‍ය වාර්තා විමර්ශනයට ලක් කොට පුළුල් පරීක්ෂණයක් කරන ලෙසත් පොලිසියට නියම කළාය.

මියගිය දරුවාගේ මව වන ෆාතිමා රිසානා අබ්දුල් කාදර් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නාය.

ඒ අනුව වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 09 වැනිදා තෙක් කල් තැබුණි.

(BBC සිංහල සේවය)

සබැඳි පුවත් :

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්