ශු.අල්තාරය දේශපාලනය උදෙසා භාවිතා කිරීම හා ශු.සභාව පක්ෂ දේශපාලනයේ යෙදීම
තරයේ ප්‍රතික්ෂේප කරන බව අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු ව සිටි
ශෙහාන් මාලක ගමගේ අවධාරණය කර සිටියි.
ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු වන ඔහු එබව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි. එම ෆේස්බුක් සටහනේ මෙසේ සඳහන් වේ.
මරද මඩු පුදබිම යනු ශ්‍රී ලාංකීය කිතුණු ජනතාවගේ හදවත බඳු ශුද්ධ භූමියකි.
පසුගිය දා පැවති මරද මඩු මංගල්‍යය අවස්ථාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට, ශු.අල්තාරය මතට නැග කතාවක් පැවත්වීමට අවස්ථාව දීම සම්බන්ධයෙන් මේ වන විට, කතෝලික සභා අභ්‍යන්තරයේ මෙන්ම සාමාන්‍ය ගිහි ජනතාව තුළත් දැඩි කතිකාවක් නිර්මාණය වී ඇත.
මෙය කතෝලික සභාවේ අභ්‍යන්තර දේශපාලන ව්‍යුහය හා ගැටෙන ගැඹුරු මාතෘකාවක් බැවින් මදක් දීර්ඝව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.
ආගමික උත්සවයන් සදහා රාජ්‍ය නායකයින්ට සහ දේශපාලන අධිකාරියට ආරධනා කිරීම සාමාන්‍ය සම්ප්‍රදායකි. එහි කිසිදු ගැටළුවක් නොමැත.
මරද මඩු මංගල්‍යය යනු ජාතික ආගමික උත්සවයක් බැවින්, එවැනි උත්සවයක් සංවිධානය කිරීමේ දී ආරක්ෂාව, සනීපාරක්ෂක පහසුකම්, ප්‍රවාහන පහසුකම්, යටිතල පහසුකම් ආදිය සපයා ගැනීම වෙනුවෙන්, රාජ්‍ය ආයතන, දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිළධාරීන් සමග සහ-සම්බන්ධ වී කටයුතු කිරීමට, මඩු සිද්ධස්ථානයේ පාලනාධිකාරියට හා මඩු සිද්ධස්ථානය අයත් මන්නාරම රදගුරු පදවියට සිදුවන බව සත්‍යයකි.
ඒ වෙනුවෙන් ඔවුන්ට කතෝලික පදවියක් / කිතුණු ප්‍රජාවක් ලෙස කෘතඥතාව පළ කිරීම වෙනම කාරණයකි.
නමුත් පසුගිය දා සිදුවූයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දේශපාලන අභිමතාර්ථයන් ඉටුකරගැනීම උදෙසා, මඩු පාලනාධිකාරිය විසින් වේදිකාවක් නිර්මාණය කරදීමය. දේශපාලන අරමුණු වෙනුවෙන් ශු.අල්තාරය අවභාවිතා කිරීමට ඉඩ දීමය.
මා පුද්ගලිකව දකිනුයේ පැවති තත්ත්වය, නිසියාකාරව කළමනාකරණය කරගැනීමට මන්නාරම් රදගුරු හිමිපාණන් සහ සිද්ධස්ථාන පාලනාධිකාරිය අපොහොසත් වූ බවකි.
පැමිණ සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාව දුටු විට, තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් මෙම අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට, උපාය දූතයෙකු හරහා, මඩු පාලනාධිකාරියෙන් බොහෝ විට අවස්ථාවක් ඉල්ලුවා විය හැක.
කෙසේ වෙතත් එවැනි තත්ත්වයක් උපක්‍රමශීලී ලෙස කළමනාකරණය කිරීමට ඔවුනට හැකියාව පැවතුණි.
තවද ජනාධිපති වරයාගේ කතාවට අනුව එය පෙර සැලසුම් කළ හෝ සූදානමකින් කළ කතාවක් නොවන බවට නිරීක්ෂණය කළ හැක.
සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයෙකු හෝ දේශපාලන නායකයෙකු ජාතික ආගමික උත්සවයකදී සිදුකරනු ලබන කතාවක් / විශේෂිත ආගමික දිනයකදී නිකුත් කරනු ලබන නිවේදනයක්, ඒ වෙනුවෙන් පත්කරන ලද පාර්ශව කිහිපයක් විසින් සකස් කරනු ලබයි.
මා ද අවස්ථා කිහිපයක දී රාජ්‍ය නායකයින් ගේ එවැනි කතා සහ නිවේදනයන් සකස් කිරීම උදෙසා දායක වී ඇති බැවින්, මෙම කතාව පෙර සැලසුම් කර සිදු කළ එකක් නොවන බවට පැහැදිලිව කිව හැක.
එය ඒ මොහොතේ ලියාගත් තුණ්ඩු කෑල්ලක් සාක්කුවෙන් ගෙන, මරද මඩු මංගල්‍යය උත්සව දිනයේ දී , "අරවා දෙන්නං , මේවා දෙන්නං" පන්නයේ දේශපාලන වේදිකාවක සිදුකරන, ආගමික උත්සවයක නොකළයුතු කතාවකි.
රාජ්‍ය නායකයා / ආණ්ඩුව සතුටු කිරීම වෙනුවෙන් මඩු පාලනාධිකාරියට, වෙනත් විකල්පයක් තෝරා ගත හැකිව තිබුණි.
උදාහරණයක් ලෙස බෞද්ධ ආගමික උත්සවයන් වලදී කරඬුව තැන්පත් කිරීමට අවස්ථාව ලබාදෙන පරිද්දෙන්, රාජ්‍ය නායකයාව ඉදිරියට ගෙනැවිත් මරද මඩු මාතාවන්ගේ ප්‍රතිමාවෙන් විශේෂ ආශිර්වාදයක් ලබාදීමට හෝ ඕනෑම නම් මංගල දිව්‍ය පූජාවෙන් අනතුරුව මීසම් ගෘහය තුළ දී පැමිණ සිටින රදගුරු, පූජක, පැවිදි පිරිසට ආමන්ත්‍රණය කිරීමට අවස්ථාවක් සලසා දුන්නා නම් ප්‍රමාණවත්ය. මෙය පැහැදිලිවම නොකළයුත්තකි.
හැරත්, රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව හෝ ඉදියේදී එළැඹීමට නියමිත ජනාධිපතිවරණයේ පූර්ව ප්‍රචාරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් අල්පමාත්‍රයක හෝ අවබෝධයක් ඇති අයෙකු හෝ රනිල් වික්‍රමසිංහ ගේ වත්මන් දේශපාලන භාවිතය (13වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා ගුණ්ඩුව) පිළිබඳව අවබෝධයක් ඇති කුඩා ළදරුවකු හෝ නොගන්නා තීරණයකි.
1977 මැතිවරණයේ සිට 2019 ජනාධිපතිවරණය දක්වා වූ සියළු මැතිවරණයන් වලදී කිතුණු ජනතාවගෙන් 70% ඉක්මවූ අගයක් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය උදෙසාය.
2015 ජනාධිපතිවරණ වේදිකාවේ පවා රනිල් වික්‍රමසිංහ ලා වැඩියෙන්ම අලෙවි කළේ හලාවත ඇන්ටනී, කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ රොෂේන් චානක සහ රතුපස්වල වෙඩි වැදී මියගිය තරුණයින් වැනි කිතුණුවන්වය.
අනතුරුව ඔවුන්ගේ සටන් පාඨය වූයේ පාස්කු වින්දිතයින්ට සාධාරණත්වයක් ඉටු කිරීමය.
අද රනිල් වික්‍රමසිංහට ඒ සියල්ල අමතක වී ගොස් ය.
ස්කොට්ලන්ට්යාඩ් පරීක්ෂණ කතාවත්, මඩු කතාව මෙන් ඒ මොහොතේ කටට ආ පලියට කිවූවක් විනා, සැබෑ වුවමනාවට කිවූවක් නොවන වග දැන් ඉතා පැහැදිලිය.
කතෝලික සභාව සහ ඇමති මනූෂ නානායක්කාර විසින් පාස්කු ප්‍රහාරයේ ප්‍රධානතම මහමොළකරුවෙකු ලෙස නම්කරන ලද බුද්ධි ප්‍රධානියාව සේවා දිගුවක් ද ලබාදෙමින්, සුරකිමින් සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.
පාස්කු ඉරුදින ප්‍රහාරයට චෝදනා ලැබ සිටින නිලන්ත ජයවර්ධන හා දේශබන්දු තෙන්නකෝන් ලාට තනතුරු, වරදාන වරප්‍රසාද ලබාදෙමින් සුරක්ෂිත කරන්නේද ජනාධිපති වික්‍රමසිංහමය.
එබැවින්, එහෙව් රනිල් වික්‍රමසිංහට ශු.අල්තාරය මතට නැග කතෝලික ජනතාව ආමන්ත්‍රණය කිරීමට තව දුරටත් සදාචාරාත්මක අයිතියක් නැත. වසර ගණනාවක් තමන්ව දිගින් දිගටම මුලාවේ දැමූ දේශපාලන නායකයෙකුට සවන් දීමට / රැවටීමට බහුතරයක් වූ කිතුණුවන් ද සූදානම් නැත.
එය මේ මොහොතේ ඔහුට කතෝලික ජනතාව තුළින් එල්ලවන විරෝධය මගින් මනාව පිළිඹිබු වේ.
ඊළග කාරණය නම් , මෑත කාලීනව කතෝලික සභාව දේශපාලනය නිසා මඩ තවරාගත් ප්‍රථම සහ එකම අවස්ථාව ද මෙය නොවීමය. රතුපස්වල සිදුවීමේදී කොළඹ අගරදගුරු පදවිය ක්‍රියාකළ ආකාරය, දින 52 ව්‍යවස්ථා කුමන්ත්‍රණය අවස්ථාවේ අගමැති මහින්ද රාජපක්ෂව අගරදගුරු මැදුරට පිළිගැනීම, රතන හිමිට නුවරට ගොස් අගරදගුරු හිමිපාණන් වතුර පෙවීම, නුවර රදගුරු තුමන් අරලියගහ මන්දිරයට ගොස් අගමැති මහින්දව මුණ ගැසීම, අගමැති මහින්දගේ අතින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයින්ට නිවාස පිරිනැමීම, ඉන් ප්‍රධාන අවස්ථාවන් කිහිපයකි.
ඒ සියළු අවස්ථාවල දී සභා අභ්‍යන්තරය තුළත් පිටතත්, ඊට එරෙහිව අප හඬ නැගුවෙමු, සටන් කළෙමු.
ඒවායේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට කොළඹ අගරදගුරු පදවිය, දේශපාලනික කාරණා වලදී කටයුතු කරන ආකාරය යම් ප්‍රශස්ත මට්ටමක පවතී.
නමුත් බොහෝ දෙනෙක් කතාකළ එම ප්‍රසිද්ධ සංසිද්ධීන්ට අමතරව, සමාජ අරගලයන් තුළ දශක 5ක් පමණ කාලයක් අඛණ්ඩව ක්‍රියාකරන, අපගේ ජ්‍යෙෂ්ඨ කතෝලික පියතුමකු මෑතකදී NPP වේදිකාවේ දේශපාලනික කතාවක් සිදු කිරීමත්, රත්නපුර පදවියට අයත් පූජක තුමෙකු විසින්, එම පදවියේම දේවස්ථානයක එක්තරා දේශපාලන පක්ෂයක පුහුණු කඳවුරක් පැවැත්වීමත් යන කාරණාවන් ද බරපතළ ලෙස ශු.කතෝලික සභාව "පක්ෂ දේශපාලනීකරනය" වීමේ උදාහරණ වේ.
දේශපාලනික කාරණා වලදී, ගිහියාගේ සහ පූජකයාගේ කාර්ය වෙන්ව අවබෝධ කර ගැනීමත්, ගිහියාගේ කාර්යය පූජකයින් විසින් සිදුනොකිරීමට වගබලා ගැනීමත් වටී.
එබැවින්, එක් පාර්ශවයකට පමණක් චෝදනා කරණු වෙනුවට, යළි මෙවැනි තත්වයන් ඇති නොවීමට නම්, මේ සියළු කාරණා සම්බන්ධයෙන්, රදගුර, පූජක, ගිහි, පැවිදි සියල්ලන් සම්බන්ධ වී සභා අභ්‍යන්තරය තුළ ගැඹුරු සාකච්ඡාවක් අරඹා, දේශපාලනික කාරණා සහ මැදිහත් වීම් සම්බන්ධයෙන් අවම පොදු එකඟතාවක් හෝ වහාම ඇතිකරගත යුතුය.
පසුගිය සිව් වසර මුළුල්ලේම, කතෝලික සභාවට ( විශේෂයෙන්ම කොළඹ අගරදගුරු පදවියට ) එල්ල වී තිබූ රාජපක්ෂ ලේබලය ඉවත් කරලීම වෙනුවෙන්, මා පෞද්ගලිකව මැදිහත් වී කටයුතු කළෙමි.
සියළු දේශපාලන පක්ෂ නායකයින් සමග නොබැඳි පිළිවෙතක් අනුගමනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමට ක්‍රියා කළෙමි.
මංගල සමරවීර සහ හරීන් ප්‍රනාන්දු මංත්‍රීවරුන්, කොළඹ අගරදගුරු තුමන් සමග ඇතිකරගත් නෝක්කාඩු, උඩුදුවන්නට කළියෙන් සමථ කිරීමට ක්‍රියා කළෙමි.
අරගලය අවස්ථාවේ කතෝලික පූජක තුමෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමේදී, ජනාධිපති වරයා, පොලීසිය බාර අමාත්‍ය වරයා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ව මුණගැසී සාකච්ඡා කළෙමි.
පාස්කු ඉරිදා ප්‍රහාරය දේශපාලනික ප්‍රහාරයක් බැවින්, සියළු පක්ෂ නියෝජනය කරන කතෝලික මංත්‍රීවරුන් එක් ස්ථානයකට සහ ස්ථාවරයකට ගෙන ඒමට වෙහෙසුණෙමි.
ඉහත කාරණා, පුද්ගලික මට්ටමින් සිදු නොවිය යුතු බවට මා විශ්වාස කරන බැවින් මින් ඉදිරියට කිසිදු ආකාරයක පුද්ගලික මැදිහත් වීම් සිදු කිරීමට මා අපේක්ෂා නොකරමි.
මෙවැනි කාරණා සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට දේශපාලනික කමිටුවක අවශ්‍යතාව, අවස්ථා ගණනාවකදී, විශේෂයෙන්ම කොළඹ අගරදගුරු ලේකම් පියතුමන්ට අවධාරණය කළමුත්, අද වන තෙක් එවැනි කමිටුවක් පත් කිරීමට ඔවුන් අපොහොසත් වීමු.
අදටත් රටේ බහුතරයක් වූ ජනතාවට කතෝලික සභාව කෙරෙහි ඇති අසීමිත ආදරය සහ විශ්වාසය තවදුරටත් පළුදු කිරීමට කිසිවෙකුට ඉඩ නොදී, ඉහත කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය කඩිනමින් සාධනීය මැදිහත් වීමක් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
ස්තූතියි !
18.08.2023