රෝහිණි විජේරත්න මන්ත්‍රීවරිය මහනුවර උසස් බාලිකාවේදී කළ ප්‍රකාශයෙන් කැළඹුණ,

 

 මාලිමා පේස්බුක් ප්‍රවර්ධකයෙක පිරිමියෙකුගේ ගැහැනුකම හෙළි විය. දෙවනුව, කුසල් පෙරේරා කළ විග්‍රහය, 2014දී පමණ ආරම්භයේදී ඔහු සාධාරණ සමාජයක් කරා ව්‍යාපාරය නිර්මාතෘ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් වහන්සේ රූකඩ අයතුල්ලා කුමේනියෙකු ලෙස දැකීම සිහිපත් කරවීමකි. කුසල් පෙරේරා එදාත් යථාර්ථවාදි නො වූ බව 2015 ජනවාරි 09 වෙනිදා ප්‍රතිපලය තහවුරු කළේ ය. හෙවත් රටේ බහුතරයක්, කුසල් පෙරේරා කාගේදෝ කොන්ත්‍රාත්තුවක් කළ බව තහවුරු කළේ ය.



සිය ලිපිය ආරම්භයේම කුසල්,''....ඊයේ පෙරේදා සිට රෝහිණි විජේරත්න මන්ත්‍රී වරිය, අළුත් වගකීමක් භාරගෙන ඇත. දැන් ඇයගේ ප්‍රධානම දේශපාලන සටන් පාඨය වන්නේ රනිල් සහ සජිත් එකතු වී රට වෙනුවෙන් වැඩ කිරීම'' යනුවෙන් සඳහන් කරයි. රෝහිණි යනු එදා වේල දේශපාලනය ප්‍රතික්ෂේප කළ  ආන්දෝලනාත්මක චරිතයකි. ලග්ගල ජනතාව වෙනුවෙන් මොරගහකන්ද ජලාශය විවෘත කිරීමේ උත්සවය වර්ජනය කිරීම ඊට එක් උදාහරණයකි. එදා ඇය එකී විරෝධය පළ කළේ රටේ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ය.



2022 වසරේ අග භාගයේ ඉරිදා ලංකාදීපය සමග කළ සාකච්ඡාවකදී පක්ෂ නායකයන් හිතන ආකාරය වෙනස් කළ යුතු බවට ඇය නිකුත් කළ ඒ පණිවිඩය ඍජුව සජබ නායක සජිත් ප්‍රේමදාසටත් වලංගු එකක් විය. ඒ කාලයේත් සජබ බහුතරය තුළ රනිල් පිළිබඳ පැවති ආකල්පය 2022-08-14- දින ' අනිද්දා' පුවත්පතට රනිල් ශරීරයක්ද දර්ශනයක්ද යනුවෙන් මා ලියු ලිපියේ මෙසේ දැක්වේ.

sdfer3

'' අගෝස්තු 10 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනා විවාදයේදී සජබ මන්ත්‍රී එම්.එස්. මරික්කාර්,  ජනාධිපති තුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි අවුරුදු ගණනාවක් තමන් විශ්වාස කළ ආර්ථීක දර්ශනය ගැබ් වී තිබුණා යයි අවධාරණය කළේය. .....මරික්කාර් සිය  කතාව පුරා පාර්ලිමේන්තු පොහොට්ටු මන්ත්‍රීන් සමච්චල් කළේ යහපාලන සත්‍ය කිසි විටෙකත් යටපත් කළ නො හැකිය බවට ඉඟි කරමිනි. (මෙහිදී යටපත් කළ නොහැකි සත්‍ය රනිල් වික්‍රමසිංහද? ඔහුගේ දර්ශනයද?)  

'' හැබැයි අපට ප්‍රශ්න කිහිපයක් මතු වෙනවා. මේ ආර්ථීක දර්ශනය ක්‍රියාත්මක කිරීමට පසුගිය කාලයේ යහ පාලන ආණ්ඩුවේ අගමැති ලෙස (2015-2019) වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මූලිකව ක්‍රියා කරද්දී වෘත්තීය සමිති උසි ගන්වා ආර්ථීක වෙනස්කම් අඩාල කළ පොහොට්ටුවේ අය මේ ආර්ථීක දර්ශනය පිළිගන්නවාද මේ සභාවට කිව යුතුයි. කෘෂිකර්මය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර, දෛනික ජිවන පැවැත්මට අවශ්‍ය  තෙල් ගෑස් සපයා නොදී තුන් වේලක් කෑ මිනිසුන් බඩ ගින්නේ තබා, ලංකාව ආපස්සට යන බව කී විට අපට සිනාසුණා නොවේදැයි විමසීය.  යහ පාලන කාලයේ ජාති වාදය ආගම් වාදය අවුස්සමින් වඳ කොත්තු දොස්තරලා, කැලණි ගඟේ නයි පෙන්වමින් ජාති ආගම් වාද පතුරුවා ජන මනස විකෘති කළ තමුන්නාන්සේලා රටේ සියලු ජාතීන් ශ්‍රී ලාංකිකයන් ලෙස සැලකිය යුතු බවට ජනාධිපති වික්‍රමසිංහ, දැරූ යහ පාලන ස්තාවරයට සහාය දෙනවාදැයි  මන්ත්‍රී මරික්කාර් ඍජුව විමසා සිටියේය. සර්ව පාක්ෂික හෝ ජාතික එකඟතාවයකින් රට නගා සිටුවීමට ජාතියේ සහාය ජනාධිපති වික්‍රමසිංහ අපේක්ෂා කරන අවස්ථාවක මරික්කාර් මන්ත්‍රීවරයා එසේ සමච්චල් කිරිම කිසිවෙකුගේ නො සතුටට හේතු විය හැකිය. එහෙත් බලයට පත්ව, කෙටි කලක් තුළ ලෝකයේ දියුණු වෙමින් පැවති රටත්, ලාංකික ජනතාවත් මහා ව්‍යසනනයකට ගොදුරු කළ පාලන ක්‍රමයක් නිර්මානය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එස්.බී. දිසානායකත් කියන විදියට, රනිල්ගේ ජනාධිපතිකම රාජපක්ෂලා එන තෙක් පමණක් ලෙස කල්පනා කිරීමත් රටට කරන හතුරු කමකි'' (උපුටා ගැනීම අවසන් ය.)



සජබ බහුතරයකට සමහර විට අවශ්‍ය රනිල් පොහොට්ටුවේ ග්‍රහණයෙන් ගලවා ගැනීම විය හැකිය. එහෙත් තමන් අනුමත කරන රටේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක (විශේෂයෙන් රාජපක්ෂලා අනුමත නො කළ) ආර්ථීක ක්‍රමයක් සාර්ථක කරවීමට කොන්දේසි විරහිතව උදව් කළ යුතුය යන්න සජබ  අභ්‍යන්තරයේ පවත්නා මතවාදයකි. රෝහිණි කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් කැරන බවට චෝදනා නැගෙන්නේ මෙවැනි දේශපාලන පසුබිමක ය. කුසල් විමසන මාලිමාවේ ප්‍රශ්න හතර රටේ ජනතාවට ප්‍රශ්න නොවේ.  



අප්‍රේල් අරගලය, ජන මනසට කාන්දු කළ නිර්දේශපාලනික නැඹුරුව රටේ දේශපාලනය 2014ටත් වඩා උඩුයටිකුරු කර හමාර ය. අද සාමාන්‍ය ජනතාව තමන්ට හිමි අහිමි වූ දේ ගැන පක්ෂ සහ නායකයන් ඉක්මවා ගිය මාතවාදයන් ගෙන් සන්නද්ධව සිටිති. පන් ලක්ෂයකට අඩු වෘත්තිකයන් ගෙවමින් ආ බදු ආදායම නතර කිරීමෙන් රටට සිදු වූ විනාසය සහ තමන් විඳි අනේක ගැහැට ඔවුන් අමතක කර නැත. ආර්ථීකය යළි ස්ථාවර වන තෙක් භූමියේ අරගල දැකීමට සාමාන්‍ය මිනිසුන් අකමැති බව, රෝහිණිලා මෙන්ම, පොහොට්ටුවේ බහුතරයක් තේරුම් ගෙන සිටිති. මිහින්තලේ විදුලි බිල ගෙවීම යනු සජිත් ප්‍රේමදාසද, සිල් රෙදි ඛෙදා චන්ද ඉල්ලන වර්ගයේ අපතයෙක් බව මිනිසුන් තේරුම් ගෙන සිටිති.


sdfsr
ජනාධිපති වූ රනිල් අගමැති ලෙස පැවති සිව් වසරක පාලනය ගැන සිහිපත් කළ රටේ මිනිස්සු ආපසු ගෑස් සිලින්ඩරය රුපියල් 1350ට, ඉන්ධන ලීටරයක උපරිම මිල රුපියල් 130ට, පැවති  2019 පැවති තත්වයට රට සමීප කළත් ප්‍රමාණවත් යයි හිත් හදා ගත්හ. තවමත් රට 2019යේ තත්වයට පත්ව නැත. 2019දී හැට නව ලක්ෂයක් පෙළ ගැසී පාලකයා තේරුවේ ගෑස් මිල තෙල් මිල කිරි පිටි මිල අනුව නොවේ. වඳ කොත්තු නිසා සිංහල ජාතිය වඳ වෙතැයි ඇති කළ බිය නිසා ය. පාස්කු බෝම්බයේ ලතෝනිය ඇහිලා ය.  කිසිදු වරදක් නො කළ වෛද්‍ය ෂාපි යළි සේවයෙහි පිහිටුවා ඇත. පාස්කු විනාසයට රටේ ජනාධිපතිට වන්දි ගෙවීමට නියම විය. වඳ කොත්තු කඩ වසා දමා සැඟවී සිටි අතුරලියේ රතන නිකායේ තෙය්‍ය සංවාසිකයන් කුරුන්දි විහාරය හරහා අලූත් ගමනකට අර අඳිති.



මේ වටපිටාව තුළ රෝහිණි කළ ප්‍රකාශය ගැන කුසල් කියන්නේ කමක්ද? ''රනිල් සජිත් එකතු විය යුතු යයි රෝහිණිට කියන්නේ, රටේ ජනතාවට නොවේ. ගියවර මෙන් එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය ලෙස දෙ පිළට ඛෙදුණහොත් ලබන වර මැතිවරණයෙන් ආණ්ඩුවක් හදා ගැනීමට නොහැකි වේ යයි සිතන  එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බල වේගයේ ඇතැම් කණ්ඩායම් වලට ය.'' කුරුන්දි විහාරය හරහා හරහා ජාතින් අතර අසමගිය අවුළුවන පරිසරයක බිඳී ගිය ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයක් යළි එකතු කිරීමට කතා කිරීම කොන්ත්‍රාත්තුවක් වන්නේ කෙසේද?



රෝහිණි විජේරත්න පෙනී සිටින්නේ එජාප සජබ දේශපාලනය වෙනුවෙන් නම් එහි ඇති වරද කුමක්ද? උදාව ඇත්තේ පවත්නා ඛෙදීම් අවසන් කළ යුතු හෝරාවකි. රනිල් බලය ඛෙදා හෝ රටේ ඛෙදීම අවසන් කිරීමට උත්සාහ කරයි. මෛත්‍රීපාල, අමරවීරලා නැවත කැඳවමින්  සිටියි. ඊට සමගාමිව, රාජපක්ෂ බෑයන් මෙන්ම, මාලිමා සහ පෙරටුගාමින් උනුන් කුලල් කා ගනිමින් සිටිති. මේ අප්‍රේල්  අරගලය, ජන මනසට කාන්දු කළ නව චින්තනය සක්‍රිය වන්නේ එසේ ය. මාදුළුවාවේ හාමුදුරුවන් අයතුල්ලා කුමේනිට ආරෝපනය කළ කුසල් පෙරේරා, එජාපය යළි එක් කිරීමට උත්සාහ කරන රෝහිණි පසුපස හඹා එන්නේ ඇයිදැයි දන්නෝ දනිති.

හුදෙකලා රනිල්  බලයට පත්ව පැය හතළිස් අටක් තුළ, තුන් වසරකට ආසන්න කාලයක් වැසී තිබුණ පාසල් විවෘත කර වූ, සීමිත  ඉන්ධන තොගය ඛෙදා හැරීමට අසමත්ව, විධායකයා පළා යාමෙන් අක්‍රිය වූ රාජ්‍ය යාන්ත්‍රණය, කිව්ආර් කේතය හරහා එක් රැයකින් නිරවුල් කළ, එසේම, ෂෙහාන් සේමසිංහ, කන්චන විජේසේකර, රංජිත් සියඹලාපිටිය වැනි රාජපක්ෂලා අනුව  ගිය තරුණ දේශපාලනඥයන් මෙහෙයවමින් රටේ ආර්ථීකය විධිමත් කරමින් සිටින රනිල්ට ශක්තිමත් දීමට කතා කිරීම ජනතාව පැත්තෙන් නම් අපරාධයක් විය නො හැකිය.

dfgsgwe

උසස් පෙළට පෙනී සිටි සහ පෙනී සිටීමට නියමිත සිසුන් නව ලක්ෂයකට ආසන්න තරුණ පරම්පරාව, රනිල්ගේ පාලනය ගැන විශ්වාසයෙන් තම හෙට දවස සැලසුම් කරමින් සිටිති. බදු ක්‍රමයට එරෙහිව සටන් කළ විශ්වවිද්‍යාල ප්‍රජාවට උසස් පෙළ උත්තර පත්‍ර බලන තෙක් සාකච්ඡාවක් නො කරන බවට කොන්දේසි දැමීම ජන සම්මත පාලකයෙකු පිළිබඳ මොඩලයකි. මේ පරිසරය තුළ ජනාධිපති  වික්‍රමසිංහ, ශක්තිමත් කිරීමට පොහොට්ටුවේ මන්ත්‍රීන් පවා සැලසුම් කරන පසුබිමක එජාපයෙන් දේශපාලන අත්පොත් තැබූ රෝහිණි විජේරත්නගේ ප්‍රකාශයේ හරබර රටේ මිනිසුන් තේරුම් ගෙන හමාරය. රටේ ජන විඥාණය හැම මැතිවරණයකදීම විකෘතිව රටේ දියුණුව අඩාල විය. 2019 මැතිවරණය ඓතිහාසික උගුලක් බව දන්නා කිසිවෙකු යළි දෙන්නම් කාසි වලට රැවටෙන්නේ නම් නැත. ඒබ්‍රහම් ලින්කන්ට අනුව, හැමදාම හැම විටක අනුන් රැවටීම කළ නො හැකි ය.

යළිත්  ආගම් සහ ජාතින් කොටවන සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතී. ෆාස්ටර් ජොරම් ගෙන් පටන් ගෙන, නටාෂා හරහා කුරුන්දි විහාරය තෙක් ගමන් කළ ගොත්‍රීක දේශපාලනයට සජිත් එකඟ බව මිහින්තලේ ලයිට් බිල ගෙවීමෙන් රටට සහතික කළේ ය. පේරාදෙණිය ගැටඹේ වාහන තදබලය අවම කිරීමට දුර ගමන් සේවා ගන්නොරුවෙන් යැවිමට ගත් තීරණයට ගැටඹේ පන්සල විරුද්ධ වුණේ පින් කැටේට වැටෙන රුපියල් සත අඩු වේ යයි බියෙනි. දාරළුවේ පඩු කරද ගසට කහ රෙදි පැටළුවේ, සාසනයට භික්ෂුන් හිඟ නිසා නොවේ. කහ රෙද්දේ හයිය පෙන්වීමටය. කපා දැමූ පඬු කරඳ ගස ආදාහන කිරීමට අධිකරණ නියෝගයක් ඉල්ලා නො සිටීම පුදුමයකි.



මෙවැනි බොහෝ දේශපාලන උප්පර වැට්ටි අරගලයෙන් පසුව අසාර්ථක විය. මේ  ගැන කතාබහ කළ තැනක, මහාවංස වාර්තා ප්‍රතික්ෂේප වී, ජන මනස සක්‍රිය  වූ අවස්ථාවක් ලෙස, මින්නේරි දේව විශ්වාසය උදාහරණයට ගැනිණ. මින්නේරි දෙවියන් කියන්නේ මහා විහාරය බිමට සමතලා කොට උඳු වැපුරූ මහසෙන් රජුටය. එහෙත් ඉතිහාසයට වීරයන් හඳුන්වා මහානාම හාමුදුරුවන් ප්‍රතික්ෂේප වී මහසෙන් රජු මින්නේරි දෙවියන් ලෙස ප්‍රති නිර්මානය වුණේ අතීත ජන විඥානය හරහා ය.  ඒ ජන විඥානය අප්‍රේල් අරගලයෙන් යළි සක්‍රිය වෙමින් පවතී. තනි මන්ත්‍රීවරයෙකුව සිටි රනිල් අගමැති සහ රටේ ජනාධිපති වීමත් ඒ ජන විඥානය සක්‍රිය බවට සාක්ෂියකි. ගෝඨා ජනාධිපති වීමත් අමෙරිකන් පුරවැසි බැසිල් පාර්ලිමේන්තු පැමිණීමත් හැර යමක් හැට අට ලක්ෂයක් ජනතා පරිත්‍යාගයට ලැබුණ  දෙයක් නැත. ඒ මිනිසුන්ට ජීවත්ව හුස්ම ගැනීම පහසු කළේ රනිල් වික්‍රමසිංහ බව ජන මනස හඳුනා ගෙන හමාරය. රෝහිණි විජේරත්න සිටින්නේ ඒ ජන විඥානය සමග බව රට දනිති.  


chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(විංසති සඟරාවේ පළ වූ ලිපියකි)

 

සබැඳි ලිපි :

රනිල් - සජිත් එකතුව රෝහිණි මන්ත්‍රීවරිය බාරගත් කොන්තරාත්තුවක් - (කුසල් පෙරේරා)

'රනිල් - සජිත් එකතු විය යුතුයි' - සජබ මන්ත්‍රීනී රෝහිණී කියයි

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්