(සුසිල් සිරිවර්දන දෙවන සංවත්සරය වෙනුවෙනි... අගෝස්තු 23 දිනට ඔහු අභාවප්‍රාප්තවී දෙවසරකි. )

 

නික්ම ගිය සුසිල් සිරිවර්දන ඇසුරු කළ උදවියට ඔහු පිළිබඳව පවත්නා අවබෝධය එකිනෙකට වෙනස්ය. සුසිල්ද ඇතුළු පුරෝගාමීන් ජාතියට පරිත්‍යාග කළ,  සුප්‍රකට සංස්කෘති සඟරාව නවසිය හැට හැත්තෑ ගණන්වල සිංහල මාධ්‍ය වැඩිහිටි කියවන්නන්ගේ මෙන්ම, සමකාලීන ලාංකේය ශිෂ්‍ය පරම්පරාවන්ගේ ඇසූ පිරූ බව මෙන්ම, සම්භාව්‍ය සාහිත්‍යාවබෝධය ඇති කිරීමට ගත් උත්සාහය පමණක් සුසිල් සිරිවර්දන දායක වූ යුග මෙහෙවරට ප්‍රමාණවත්ය.  

නවසිය හැට පහේ අප විද්‍යාලංකාර විශ්වවිද්‍යාල සිසුන්ව සිටියදී, සංස්කෘති ආයතනය නුවර කොළඹ පාරේ දළුගම බුලූගහමුල හන්දියේ ගොඩනැගිල්ලක පිහිටුවා තිබිණ. එහි සාර පුස්තකායක් විය. දැනුම සොයා යමින් සිටි බොහෝ සරසවි සිසූන් නිරන්තරව එකී පුස්තකාලය පරිහරණය කළහ. එහි ආ ගිය සරසවි සිසූන් අතර වර්තමාන ජනශ්‍රැති පර්යේෂක මාමිනියාවේ ඉලංගසිංහද විය. එක් දවසක හීන්දෑරි මැදි වයස් කෙනෙකු උස් හැඳින් පුංචිබණ්ඩා යනුවෙන් ලෙන්ගතුව ඉලංගසිංහ ඇමතීය. ඒ සුසිල් සිරිවර්දනය. අනුරාධපුර මැදි විදුහලේ ඉගෙණ ගන්නා කාලයේ ඉලංගසිංහ ගේ ඉංග්‍රීසි ගුරුවරයා සුසිල් සිරිවර්දන විය. 

'' ඔය ගොල්ල අපේ පුස්තකාලේ පාවිච්චි කරන්න. සඟරා කියවන්න. පොතපතට හුරු වෙන්න. ඒකයි අපේ බලා පොරොත්තුව.'' සම්භාව්‍ය සාහිත්‍ය කලා සිනමා කෙරෙහි අවධානයකින් පසු වූ මා ඒ වනවිටත් සංස්කෘති සඟරාව අඛණ්ඩව කියවමින් සිටියෙමි. ඒ අවබෝධය සහ හඳුනා ගැනීම හරහා, තේරුම් ගෙන සිටි සුසිල් සිරිවර්දන, 71 කැරැල්ලේ මහ නඩුවේ 21 වෙනි චුදිතයා වීම මට අදහාගත නො හැකි විය. හේතුව පහසුකම් අඩු ඈත දුෂ්කර ගමක උපන් නව යොවුන් මට කැරැල්ල ගැන පැවති යථාවත් දැක්ම, රන් හැන්දක් කටේ ගසා ඉපිද, ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත එංගලන්තයෙන් අධ්‍යාපනය අවසන් කළ සුසිල් උකහා ගෙන නො තිබීම ය.

නවසිය අසූ අනූ ගණන්වල අප දෙදෙනා සේවය කළේ එකම ආයතනයේය. එක් දවසක රාජකාරි අතර, සුසිල් සමග ඇති වූ  යම් දෙපරාදුවකදී '' මගේ පියා අමුඩෙ ගහගෙන කුඹුරේ වැඩ කළේ. ඔබේ පියා රස්සාවට ගියේ කලිසම ඇඳලා. ගමෙන් ආ ඒ අමුඩයාගේ පුතා මම, කලිසම් අඳිනවා. කොළඹ උපන් ඒ ටයි කෝට් කාරයාගේ පුතා ඔබ, රෙදි බැනියම් අඳිනවා. පන් මල්ලක් පාවිච්චි කරනවා'' ආදි ලෙස සංසන්ධනාත්මකව මා කළ කරුණු දැක්වීම සුසිල් අසා සිට සිනාසුණා මිස, මට බාධා කළේ හෝ කෝප ගත්තේ නැත. සුසිල්ගේ මතවාදි ඉවසීම පිළිබඳ තවත් විග්‍රහයක් අවශ්‍ය නොවේ. 

මා දිස්ත්‍රීක් කළමනාකරුවෙකු ලෙස ද, සුසිල් ග්‍රාමීය නිවාස කටයුතු පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරිවරයා ලෙස ද දස වසරකට ආසන්න කාලයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙහි දී උනුන් මුණ ගැසුණාහ. මා නීතිඥ වෘත්තියට ඇතුල් වීමෙන් පසුවද එකී සම්බන්ධතා අඛණ්ඩව පැවතිණ. විශේෂයෙන්  මහනුවර  වාකර වත්ත ප්‍රදේශයේ නව නිවෙස ඉදි කිරීමට අදාළ බොහෝ සම්බන්ධිකරණයන් සඳහා සුසිල් මගේ සහාය ලබා ගත්තේය. අවසන් වශයෙන් මා සුසිල් සමග 2019 වසරේදී දුර කතනයෙන් කතා කළා මතකය.

සුසිල් සිරිවර්දනගේ පියා නමින් විලියම් ඉයන් පීරිස් ය. ඉයන් පීරිස්ලාට, පීරිස්, සිරිවර්දන සහ දැරණීයගල ආදි ලෙස නම් පරම්පරා වාසගම් ගණනාවකි. තාත්තා විලියම් ඉයන් පීරිස් විය. සුසිල්ගේ අක්කා මල්කාන්ති පීරිස්ය. මල්ලී ප්‍රියංග පීරිස්ය. සුසිල් විතරක් සිරිවර්දන වෙමින් සිය පවුල තුළ පවා සුවිශේෂි අනන්‍යතාවකට හිමිකම් කීමට සමත් විය. ඉයන් පීරිස්ගේ මවත්, අගමැති බණ්ඩාරනායකගේ මවත් ක්‍රිස්ටෝපර් ඔබේසේකරගේ දියණියෝ වූහ. කලක් අවිස්සාවේල්ල මන්ත්‍රී  වරයාව සිටි, ෆොරැස්ටර් ඔබේසේකරත් ක්‍රිස්ටෝපර්ගේ පුත්‍රයෙකි. ධනයෙන් බලයෙන් ආඪ්‍ය ඔබේසේකරලා, දැරණීයගලා, බණ්ඩාරනායකලා යටත් විජිත යුගයේ ප්‍රභූ පන්තිය සේ සැලකිණ. 

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද්වීථීයික අධ්‍යාපනය ලද සුසිල්ගේ පියා ඉයන් පීරිස්, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් උද්‍යාන විද්‍යාව හදාරා රබර් පර්යේෂණ ආයතනයේ සේවය කොට විශ්‍රාම ලැබීය. සුසිල්ගේ වැඩිමහල් සොහොරිය මල්කාන්ති ආවාහ වුණේ මොරිස් පෙරේරා නම් මහාධිකරණ විනිසුරුවෙකු සමග ය. ඔහුගේ බාල සොහොයුරා ප්‍රියංග ජාත්‍යන්තර කීර්තියට පත් එරංගයි ප්‍රියංගයි නම් ගායන වෘන්දයේ නිර්මාතෘ වේ. 

P1050982
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද්විථීයික අධ්‍යාපනය ලැබූ සුසිල් සිරිවර්දන, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කීබල් ආයතනයට බැඳී ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍යය හැදෑරී ය. ඔහු ශිෂ්‍ය අවදියේ ඔක්ස්ෆර්ඩ් හීදී, ඉයන් හැමිල්ටන් නමැත්තකු සමග ටුමරෝ නමින් කාව්‍ය සඟරාවක් සංස්කරණය  කෙළේ ය. සුසිල් තම ශිෂ්‍ය අවදිය චිත්‍රපට, නාට්‍ය, ගෘහ නිර්මානය, සහ චිත්‍ර කලාව ගැන මිස, දේශපාලනය ගැන උනන්දු නොවීය. ඔහු මහාචාර්ය සේනක බණ්ඩාරනායක සමග කිට්ටුවෙන් ඇසුරු කළේ ය. (සේනකගේත් සුසිල්ගේ අම්මාලා දෙ සොහොයුරියන් විය. )

1957දී එංගලන්තයට ගිය දහනව හැවිරිදි සුසිල් සිරිවර්දන, අධ්‍යාපනය නිම කර, 1961 දෙසැම්බර් 19 වැනි දින පෙරළා ලක්දිවට පැමිණියේය. පවුලේ පසුබිමත් අධ්‍යාපන මට්ටමත් අනුව, ඔහුට රජයේ හෝ  පෞද්ගලික අංශයේ හෝ කිසියම් වගකිව යුතු වාසිදායක ඉහළ තනතුරක් පහසුවෙන් ලබාගත හැකිව තිබිණ. එහෙත්, ඔක්ස්ෆර්ඩ් කාලයෙහි සැලසුම් කර ගත් ආකාරයට සුසිල්, සිය ජීවන රටාව මෙසේ විස්තර කරයි.

'' මගේ අනාගතය සැලසුම් කළ පරිදි, මම ආපසු යනවා. දෙකින් එකක් තෝරා ගන්න තිබුණා. (1) ගතානුගතික විදියට එක්කෝ ආණ්ඩුවේ එහෙම නැතිනම්  පුද්ගලික අංශයේ විධායක තනතුරක් ලබා ගෙන අගනුවරටම වෙලා පරණ පරිසරයේ ම, පරණ පාසල් යාලූවන් හා දන්න හඳුනන අය එක්ක ජිවත් වෙමින්, හනමිටි කරගහගෙන යනවා. (2) ඒ හනමිටි මාවත අතහැර දාලා අගනුවර තියා නගරයකවත් වාසය නො කර පොදු ජනතාව එක්ක සම්බන්ධකම් තහවුරු කර ගන්නට හැකි තරම් දුර බැහැරකට ගිහින්, හැකි තාක් සම්පූර්ණ ලෙස රට දියුණු කරන්න බලමින්...''  ලංකාවට පැමිණ සුසිල් කවුරුත් දන්නා පරිදි, සිය දෙවන මනාපය තෝරා ගත්තේය.   

කොළඹ මැලේ වීදියේදී ආචාර්ය ආනන්ද ගුරුගේ හමුවී තමන් කවුදැයි හඳුන්වා දුන් සුසිල් සිරිවර්දන, ඈත පාසලක සේවය කිරිමේ කැමැත්ත පළ කළේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථීර ලේකම් ආනන්ද ගුරුගේ විසි තුන් හැවිරිදි, මේ කෙසඟ තරුණයාගේ කේසාන්තයේ සිට පාදන්තය නිරීක‍ෂණය කළාට සැක නැත.  කාලා වරෙන් කියා කුරහන් කාලෙටත් නිවාඩු දෙන අලි ගැවසෙන නොච්චියාගමටත් දුෂ්කර කුකුල්කටුව වැනි ගමක පාසලකට සුසිල් යොමු කළේ නැත. නිදහස් අධ්‍යාපයේ ප්‍රබෝධමත් වියලි කලාපීය ප්‍රදීපස්ථම්භය ලෙස සැලකෙන අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට සුසිල් සිරිවර්දන ගුරුවරයෙකු ලෙස පිටත් කර යැවීය. රටේ පාසලක් නම් කෙසේ විය යුතුද යන්නට එ දවස, පරිපූර්ණ උදාහරණයක් වූ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ විද්‍යාලාධිපති අධ්‍යාපනඥ පඤ්ඤාරත්න හමු වී 1961දී සුසිල් රාජකාරි වාර්තා කළේය. මාසික වැටුප රුපියල් 275.00කි. හෙතෙම, ගුරු වෘත්තියේ යෙදෙමින් සිය ස්කූටරයේ නැගී, කොළඹදීත් එංගලන්තයේදීත් තමන් අත් නො විඳි වියලි කලාපයේ ලාංකේය ගැමි ජන ජීවිතය හදාරන්නට විය. ඔහු මහාචාර්ය ඊ.ආර්. ලීව්ගේ පුල්එළිය සමාජ විද්‍යාත්මක ගවේෂණයේ පිටපතක්ද පන් මල්ලේ දාගෙන ගියාට සැක නැත. ඔහු අනුරාධපුරයේදී ඉඩ ලැබුණ හැම සමාජ ක්‍රියාකාරකමකටම සහභාගි විය. 

සාහිත්‍ය සමිති, සඟරා සංස්කරණය, පාසල් සමුපකාර ක්‍රියාකාරකම් පමණක් නොව යම් කාලයක්, ඔක්ස්පර්ඩ් විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය බටහිර සාහිත්‍ය හදාල මේ විද්‍යාර්ථීයා සිය සමකාලීනයන්ට වඩා වෙනස් වෙමින් පාසලේ භෝජනාගාරය පවත්වා ගෙන යාමේ වගකීමටද කොටස් කරුවෙකු ව සිටියේය. ඔහු සිසුන් සමග කදා වලලු, වෙල්ලවැහුම් යන නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කළ බව කියැවේ. පුස්ථකාලයට පොත් තෝරා දීමේදී සිය දැනුම මෙන්ම, ඒ පාසලේ දරුවන්ට ලෝකය සමීප කරවීමට අවශ්‍ය  ඒ දඬු මං පෙත් ඉදි කිරීමටද  පියවර ගත් හෙතෙම, මගේ තලතුනා ජීවිතයේ ප්‍රථම චමත්කාර ක්‍රියාව  යනුවෙන් සිය වියලි කලාපීය අත්දැකීම ප්‍රහර්ෂයෙන් හකුළුවා දක්වයි. ඔහු මෙහිදි යොදා ගන්නා තලතුනා යන වචනයෙන් අපේක්ෂා කළේ තම අනුරාධපුර ගමන පැසුණු බුද්ධියෙන් මෙහෙය වූ අත්දැකීමක් මිස, හුදු විනෝද ගමනක් හෝ ෆන් එකක් නො වුණාය යන අර්ථයෙන් විය හැකි ය. 

123 37මා දන්නා සුසිල් සිය එදිනෙදා ජීවිතයේ හැම ක්‍රියාකාරකමක් පිළිබඳවම සිය දෛනික වාර්තා ලියා තැබීම අත් නො හැර කළේ ය. ඔහු පසු කලෙක කියා තිබුණේ පාසල් ක්‍රියාකාරකම් නිසා එවැනි ඇබ්බැහිකම් වලට පුරුදුවූ බවය. සුසිල් මෙන් කාලය පලදායි ලෙස භාවිතා කිරීමට හුරුවූ තවත් කෙනෙකු මට මුණ ගැසී නැත කීවොත් එය අතිශයෝක්තියක් නොවේ. එක් සිද්ධියක් විස්තර කරනු කැමැත්තෙමි. නවසිය අසූ තුනේදී පමණ රාජකාරි අතර, සුසිල්ට මා සමග දින කිහිපයක් එක දිගට මාතලේ ගත කිරීමට නියමිතව තිබිණ. පළමු දින දිවා ආහාරය අතර ඔහු මෙසේ විමසීය.

'' මහගෙදර බැලූවද? මහගෙදර ඒ දිනවල ප්‍රදර්ශනය වෙමින් පැවති තිස්ස අබේසේකර අධ්‍යක්ෂණය සිංහල චිත්‍රපටයකි. එතෙක් මහ ගෙදර චිත්‍රපටය මා නො දුටු බව කී පසුව මට සුසිල් මෙසේ කීය. 

'' අද හෙටම මහගෙදර  බලන්න. අපට ප්‍රයෝජනවත් යමක් කතා කරන්න පුළුවන් වේවි. සත්තකින්ම එය එසේම සිදුවිය. තිස්සගේ සමහර රූප රාමු පවා ගැඹුරෙන් සාකච්ඡා කරන තරමට ඔහුගේ සිනමා දැනුම පුළුල් විය. සුසිල්ගේ කාල කළමනාකරණය ඔහුටත් මටත් එකසේ පලදායි මෙන්ම ප්‍රසන්න කාලයක් විය. අප බොහෝ විට රාජකාරි සඳහා පිටතට යාමෙන් පසුව එළඹෙන විවේකයන් ගත කරන්නේ වල්පල් කතා කරමින් විනෝද වීමටය. සුසිල් ඊට වෙනස් බවට මේ සිද්ධිය පමණක් සෑහේ. 

මගේ පැත්තෙන් ඔහු පරිපාලන නිලධාරියෙකු හෝ ප්‍රධානියෙකු නො වීය. වාද විවාද කරමින්  එකඟ වෙමින් ගැටෙමින් වැඩකළ හැකි ගමන් සගයෙකි. රාජ්‍ය සේවය තුළ චක්‍ර ලේඛ රෙගුලාසි  අතර ගැවසෙන්නන්ට සාපේක්ෂව, සුසිල් පැවැත්මෙන් වෙනස් ය. සුසිල් සිරිවර්දන යනු රාජ්‍ය සේවය අතර යටි බිම්ගත ගැටළු සොයා යමින් සිටියෙකි. ඔහුට සමගාමීව මා රාජ්‍ය සේවය අතර මගේ ශෛලියෙන් වැඩ කළ ක්‍රියාධරයෙකි. අප රාජකාරියේදී ඉදිරිපත් වන ගැටළු විසඳමින් ක්‍රියා  කළෙමු.  සිය ළමා අවදියේත් ඔහු වැපිරීමත් අස්වැන්න නෙලීමත් එකවර සිදු කළේ කෙසේදැයි කෙනෙකුට වටහා ගැනීමට අපහසු නැත.

තවත් දවසක ඔහුත් මාත් මුලතිව් කච්චේරියේ සිට ආපසු එමින් සිටියෙමු. අතරමදී වාර්ගික අරගල හේතුවෙන් අවතැන්වූ වතුකරයේ දමිළ පවුල් පදිංචි කළ  ඔඩ්ඩිසුටාන් ප්‍රදේශයේ ජනපදයක් නිරික්ෂණය කළේය. එහිදී අප රාජ්‍ය නිලධාරින් බව හඳුනා ගත් අවතැන්වූ අය තමන්ට සිදුවන පීඩාවන් ගැන මැසිවිලී කීහ. අපට ගුටි කකා ඉන්න හරි ආපහු ගිහින් දාන්න කියන්න යන්න ඒ අසරණයන්ගේ එකම ඉල්ලීම විය. කුල හා වෙනත් වෙනස්කම් හේතුවෙන් සහෝදර වැසියන්ට හිරිහැර කිරීම හරහා අරගල කරුවන්ගේ යථා ස්වභාවය ගැන එදා සුසිල් සමච්චලෙන් සිනාසිණ. 

presentationc.jpg

මේ සුසිල් සිරිවර්දනගෙන් බිඳකි. ඔහුගේ ඇසුර නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ තරුණ අපේ විචක්ෂණ බුද්ධිය ඉස්මතු කිරීමට උපකාරි විය. ප්‍රශ්නය භාෂාවේ වචනයක් නම් ඔහුගේ අත යන්නේ  ශ්‍රී  සුමංගල ශබ්ද කෝෂය වෙතය.  අලුත් යමක් අසා දැන ගත්තා නම් වහාම තම දිනපතා සටහන් පොතෙහි සටහන් කර ගනී. පසුවෙනිදා ඒ ගැන සොයා බැලූවා නම් ඒ සටහන කපා හරියි. ඒ කියන්නේ ඇසූ දුටු දෙයක් අමතක කිරීම කිසි විටෙක නො කළ බව ය. මෙතෙක් කියාගෙන ගියේ සුසිල් ගැන වෙනකෙකු කතා කළ දේය. අපි සුසිල්ට සවන් දෙමු. 

'' ....මම ඉපදුණේත් පාසල් යන තෙක් මා ජීවත් වුණේ අගලවත්තේය. තාත්තා ඒ කාලේ වැඩ කළේ අගලවත්තේ රබර් පර්යේෂණායතනයේ. පාරිසරික වශයෙන් ගත් කළ කුඩා මට විශාල අවකාශයක් නිදැල්ලක් ඒ පරිසරයේ තිබුණා. කුඩා මගේ වැඩීමට ඒ පරිසරය බලපාන්න ඇති. සීමා රහිතව පෙනුණ ලෝකය පරිසරය බාධාවකින් තොරව නිදහසේ ළදරු වයසේ සිටි මට නිර්බාධිතව  හිතන්න පුරුදු කළා විය යුතුය. කුඩා මා නිවෙසින් පිටතට පැමිණ වටපිට බලන විට, පෙනෙන ලෝකය නිදහසේ දකින්න මට තිබුණ කැමැත්තට  කිසිවෙකු බාධා කළේ නෑ.  එකිනෙකා  අවට ලෝකය  ඛෙදා වෙන් කොට දැකීමට අපේ සමාජය තුළ ඇති කැමැත්ත උපන් ගෙයි කුඩුකේඩුකමක්. අපේ උගත් බුද්ධිමත් අය පවා කුලමල නිසා අනෙක් මිනිසුන් වෙන් කර දකින්න උත්සාහ කරනවා.  ඒ ගතානුගතිකත්වයට මා ගොදුරු නො වුණේ කුඩා කළ මා ජීවත්වූ පරිසරය නිසා විය හැකියි.''  සුසිල් සිය ශාන්ත තෝමස් යුගය ගැන මෙසේ කියයි. මහාචාර්ය ලූඩොවයික්ගේ ශිෂ්‍යාටෙකුවූ වික්ටර් වලතර වෙතින් අප ශිෂඨාචාරාත්මකව ඉංග්‍රීසි උගත්තෙමු. පින්තු ජයවර්ධන, විනී විතාරණ, සඳදස් කෝපරහේවා ආදින් විදුහල්පති  ආර්.එස්. ද සේරම්වත් හෙළයට හරවන්න උත්සාහ කළහ.''  ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් හීදී රන්ජිත් විජේවර්ධන, මහචාර්ය සේනක බණ්ඩාරනායක ආදි සමකාලිනයන් සමග පාසල් සඟරාවේ සම සංස්කාරකත්වය දැරීය.

සුසිල් කියන්නේ මහා සම්මත මිනිහෙක්. කෙනෙකු සුසිල් ඉදිරිපිටදී මෙවැනි හැඳින්වීමක් කළා නම්.... සුසිල් හිස ඇල කරලා හිනාවෙනවා මිස මොනවත් කියන්නේ නැත.

56 පෙරළිය ගැන විමසූ විට, උසස් පෙළ අවදියේ නැරඹූ රේඛාව චිත්‍රපටය ගැන පාසල් සඟරාවේ ලිපි පළ කළ බව කීමෙන් ප්‍රශ්නය මඟහැර ගියා විය හැකිය. ශාන්ත තෝමස් හී පැතිරුණ හෙළ හවුලේ ආධිපත්‍යයට නතුව, සුසිල් හෙළයෙකු වීම යනු කුමාරතුංගයන් කි පරිදි අළුත් අළුත් දෑ සොයා යාමකි. 

සුසිල් රාජ්‍ය සේවය අවසන් භාගයේ ආර්.ප්‍රේමදාස ජනාධිපතිව සිටියදී, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට අමතරව ජන සවිය කොමසාරිස් ධුරයද දැරීය. යම් සිද්ධියකට ලැබුණ අනවශ්‍ය මාධ්‍ය ආවරණයක් හේතුවෙන් දකුණු පළාතේ ගම් වැසියෙකු වරක් ඉස්මතු විය. නිවාස අමාත්‍ය සිරිසේන කුරේ ප්‍රේමදාස ක්‍රමයට, වහා එකී තැනැත්තාට නිවෙසක් තනා දෙන ලෙස නියෝග කළේය. කැඳවූ වාර්තාව අනුව ඒ වනවිටත් ඒ පුද්ගලයා ජාතික නිවාස වැඩ සටහනෙන් ප්‍රතිලාභ ලැබූවෙකි. සභාපති සුසිල් සිරිවර්දන කීවේ එක් තැනැත්තෙකුට නැවත ප්‍රතිලාභයක් දිය නො හැකි බවය. මේ තත්වය පී. ගුණතිලක විසින් පසුදා හිමිදිරි උදෑසන ජනාධිපති ප්‍රේමදාසට වාර්තා කළේය. කේලම ඇසූ ක්ෂණයකින් සිරිසේන කුරේට කතා කළ ජනාධිපති ප්‍රේමදාස විමසා තිබුණේ සුසිල්ට වෙනම ආණ්ඩුවක් පවත්වා ගෙන යන්නේද කියා ය. මේ සිද්ධියෙක් කෙටි කලක් තුළ පී. ගුණතිලක නිවාස අධිකාරියේ සභාපති ලෙසද සුසිල් පූර්ණකාලීනව ජන සවිය කොමසාරිස් ලෙසද පත් කෙරිණ. වැඩ කිරීමේදී තමන් හැළියද හැන්දද කියා කල්පනා කිරීමේ පුරුද්දක් සුසිල් සිරිවර්දනට තිබුණේ නැත.

ඔක්ස්ෆර්ඩ් ගිය සිය ඥාති සොහොයුරු ඇස්. ඩබ්. අර්. ඩී. බණ්ඩාරානායක නීතිය හදාරද්දී ඉයන් පීරිස් නම් සුසිල්ගේ පියා කේම්බ්‍රිජ් හි දී උද්‍යාන විද්‍යාව හැදෑරීය. විසි වෙනි සියවසේ මුල් කාලේ එංගලන්තේ ගිහින් හෝටි කල්චර් (හෙවත් උද්‍යාන විද්‍යාව) හැදෑරුවා කියන්නේත් තරමක් අමුතු කතාවකි. වන සත්ව ලෝලියෙකු මෙන්ම චිත්‍ර කලාව ඡායාරූප ශිල්පය ගැන උනන්දුවූ ඉයන් පීරිස් යනු සුසිල්ම නොවේදැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. තාත්තාගේ දේහය ඉදිරිපිට සුසිල් සිරිවර්දන මෙසේ කියා තිබේ. '' අපි දෙන්නා අතර මත ගැටුම් තිබුණා. ඒක පරම්පරා දෙකක ගැටුමක්. උසස් අධ්‍යාපයෙන් පසුව තාත්තා අපේක්ෂා කළ කිසිවක් මා විසින් ඉටු කළේ නැහැ. තාත්තාට අවශ්‍ය වුණේ  මා කොළඹ රස්සාවක් කරමින් ජීවත්වනු දැකීමටය. එහෙත් මගේ ශෛලිය තාත්තා කලකිරීමෙන්  ඉවසුවා. මා 71 කැරෑල්ලට අසුවූ විට ඔහු මගේ නිදහස් කර ගැනීමට  දැඩි වෙහෙසක් ගත්තා. මා 1965  පරිපාලන සේවා විභාගයේ පළමු වෙනියා වෙමින් සමත්වීමත් අවසන් කාලයේ කොළඹ ජීවත් වෙමින් රස්සාව කිරීමත් ඔහුට අප්‍රමාණ සතුටක් වූ බව මම දනිමි.''

susil Siriwardana 1
හතර වසරකට සීමා වූ ඔක්ස්ෆර්ඩ් ජීවිතයෙහි ඔහු පොත් ගුල්ලෙකු නො වීය.  දේශනවලට නො ගිය තරම්ය. දහවල් දොළහට ඔක්ස්ෆර්ඩ් සිට ලන්ඩන්වලට බස් රියෙන් ගොස් චිත්‍රපට නරඹා රාත්‍රීයේ ආපසු නේවාසිකාගාරයට පැමිණි බවත් තමන් දේශනවලට යනවාද නැද්ද යන්න තීරණය කිරීමේ අයිතිය ඔක්ස්ෆර්ඩ් සිසුන් මිස විශ්වවිද්‍යාල පරිපාලනය නො වීය. සුසිල්ට අනුව, හය හත් දෙනාගේ කණ්ඩායම් ලෙස තමන් තෝරා ගත් කථීකාචාර්ය වරයෙකු සමග වැඩ කිරීම එහි පැවති අධ්‍යාපන සම්ප්‍රදාය බව පැහැදිලි වේ. ස්වාධීනව ලියු රචනා හරහා සිසුන් කොපමණ පොත පත පරිශීලනයෙන් එකී රචනා ගොඩ නැගුවාද යන්න තීරණය වූ බව සුසිල් සිහිපත් කළේ  මහත් ආශ්වාදයෙනි.

'' අපට ලෙක්චර්ස් උවමනා වුණේ නෑ. අප තෝරා ගත් මහාචාර්ය වරුන් පිළිබඳව අප සැලකිලිමත් වුණේ ඔවුන් දේශන අතර හැසිරෙන විදිය සිහිකර සිනාසීමට පමණක්  බව සුසිල් කියා තිබේ.''  සමකාලීනයන් ගැන විමසූ විට, ලලිත් ඇතුලත් මුදලි, ලක්ෂමන් කදිර්ගාමර් නම් සිහිපත් කළ හෙතෙම, නෙල්සන් මැන්ඩෙලා පැමිණ කතා පැවැත් වූ බව විශේෂයෙන් මතක් කර තිබිණ.

ශිෂ්‍ය අවදියේ පෙම් සබඳතා තිබුණාදැයි ඇසූ විට සුසිල් කියා තිබුණේ පැවති පැවති යාලූ සම්බන්ධකම් ස්ත්‍රීන් පිළිබඳ අත්දැකීම් ලැබීමට මිස අඛණ්ඩ ප්‍රේම සබඳතා නොවූ බව ය. ඔහු ඔක්ස්ෆර්ඩ් කාලයේ කලාව මිස දේශපාලනය කෙරෙහි උනන්දු වී නැත. 

පිළිසඳරක් අතර, 71 කැරැල්ල ගැන ඇසූ විට 44 හැවිරිදි සුසිල් කීවේ විජේවීර යනු බොරු කාරයෙක් බවය. ඔහු මේ කියන්නේ 33 හැවිරිදිව සිටි තමන් මුහුණ දුන් අත්දැකීමක් ගැන ය. වර්ෂ 1938 දෙසැම්බර් 09 දින උපන් සුසිල් සිරිවර්දන වර්ෂ 2021 අගෝස්තු 23 දින අපෙන් සමු ගත්තේය. සුසිල්ට අවශ්‍ය වුණේ යමක් කිරීමට මිස තම ගොඩ වැඩිකර ගැනීමට නොවේ. කෙතරම් උත්සාහ කළත් සාමාන්‍ය ලාංකේය සාමාන්‍ය ජන ජීවිතය ඔහුට මුළුමනින්ම උකහා ගත නොහැකි වුණා විය හැකිය. මේ නිසා කළු  සුදු චරිතයක් මිස සුසිල් සිරිවර්දනගේ පන්තියේ සමහරුන් අපෙක්ෂා කළ පරිදි විශිෂ්ටයෙකු වීමට සුසිල්ට අවශ්‍ය නොවූ බව ලියා තමන්නේ ඔහු තුළ පැවති නිස්සරණධ්‍යාසී පැවැත්ම තහවුරු කිරීම සඳහා ය. 

සියැටෙල් ලී ක්වාන් යූ සහ රනිල් - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්