සිංහල ප්‍රබන්ධ රචකයකුට හෝ රචකාවකට විශාලතම මුදල් ත්‍යාගයක් ලබා දෙන එක ම සාහිත්‍ය උළෙල

ස්වර්ණ පුස්තක සම්මාන උළෙල බව අවිවාදිත ය. 2006 වසරේ ප්‍රකාශිත කෘති පාදක කරගනිමින් පළමු ස්වර්ණ පුස්තක සම්මාන උළෙල පැවැත්වූයේ 2007 වසරේ දී ය. නමුදු පළමු සම්මාන උළෙලේ දී ප්‍රශස්ත ම කෘතියක් නොමැති බව විනිශ්චය මණ්ඩලය තීරණය කළ බැවින් දආළ මුදල අවසන් වටයට තේරුණු කෘති පහ රචනා කළ රචක රචකාවන් අතර බෙදා දුන්නේ ය. ඒ අනුව ගත් විට 2008 වසරේ පැවති ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී පළමු ස්වර්ණ පුස්තක සම්මානය හිමි වූයේ 2007 වසරේ සමරවීර විජයසිංහ විසින් රචිත ‘‘ස්වයංජාත’’ ප්‍රබන්ධ කෘතිය සඳහා ය. එතැන් සිට මේ දක්වා ස්වර්ණ සම්මාන උළෙල 16ක් පවත්වා ඇති අතර එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 17වන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ය.

මෙම ලිපිය ලියැවෙන්නේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ ඉතිහාසය  හෝ ඊට අදාළ සම්මාන ලාභීන් පිළිබඳව නොවේ. මෙම ලිපියට නිමිත්ත වූයේ 17වන ස්වර්ණ පුස්තක සම්මාන උළෙලට මසකටත් අඩු කාලයක් තිබිය දී අප හිත මිත්‍ර Chathuranga Amarathunga  සිය Facebook පිටුවේ පළ කර තිබූ ලිපියකි.

ඔහු සිය ලිපියෙන් වැඩිපුර අවධානය යොමු කර ඇත්තේ ස්වර්ණ පුස්තක සම්මානය පිළිබඳ ඍණාත්මක ආකල්ප කෙරෙහි ය; ස්වර්ණ පුස්තක සම්මානය සඳහා කෘති තෝරා ගැනීමේ දී පවතින ගැටලු ලෙස ඔහු හඳුනාගන්නා කරුණු කෙරෙහි ය. ඒ ඇතැම් කරුණු පිළිබඳ විවේචනයක් නොතිබුණ ද තවත් කරුණු සම්බන්ධයෙන් ලියුම්කරු දරන්නේ වෙනත් මතයකි. එබැවින් මෙතැන් සිට අප හිත මිත්‍ර Chathuranga Amarathunga  ගේ ලියවිල්ලේ කොටස් උපුටා දක්වමින් ම ඊට මගේ ප්‍රතිචාරය දක්වන්නේ නම් වඩාත් සුදුසු යැයි මම අදහස් කළෙමි.

ඔහු සිය ලිපිය ආරම්භ කරන්නෙ මේ ආකාරෙයනි.

‘‘මා ස්වර්ණ පුස්තක සම්මානය නම් කරන්නෙ නොයෙකුත් බාධා අවහිරතා, වෙනස්වීම්, නව්‍යතා මැද සයිමන් ද සිල්වාගේ මීනා නවකතාවේ සිට පැවත ආ නිර්මාණාත්මක හා ගුණාත්මක නවකතාවේ සුමට ගමන් මඟ හරහා කපපු බොරු වලක් විදිහට..’’

ඔහු සයිමන්ද සිල්වාගේ ‘‘මීනා’’ නවකතාව පාදක කර ගන්නේ එය ලංකාවේ මුද්‍රණයෙන් නිකුත් වු පළමු ප්‍රබන්ධ කෘතිය ලෙස සලකා විය හැකි ය. මන්ද ‘‘මීනා’’ යනු පළමු මුද්‍රිත ප්‍රබන්ධ කෘතිය වුව ද එය ලංකාවේ පළමු ප්‍රබන්ධ සාහිත්‍ය නිර්මාණය නොවේ. ලංකාවේ පළමු නවකතාව හෙවත් ප්‍රබන්ධ කතාව ලෙස සඳහන් කෙරෙන්නේ 1866 වසෙර් දී ඇල්. අයිසෙක් ද සිල්වා විසින් 'රුවන් මල් දම’ සඟරාව වෙත ලියන ලද ‘වාසනාවන්ත පවුල හෙවත් කාලකණ්ණි පවුල’ නමැති ප්‍රබන්ධය යි.



ඒ කරුණ එසේ තිබිය දී වුව ද චතුරංග පවසන ආකාරයට ස්වර්ණ පුස්තක සම්මානය යනු හුදෙක් ‘‘ගුණාත්මක නවකතාවට කැපු වළකි’’ ය යන්න පැවසීම තරමක් බරපතළ කරුණකි. ස්වර්ණ පුස්තක සම්මානය හිමි වූ සියලු ප්‍රබන්ධ කෘති සාර්ථක කෘති යැයි මම එයින් අදහස් නොකරමි. නමුදු සමස්තයක් ලෙස ගතහොත් ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලද කෘති සියල්ල පිළිබද සලකා බැලීමේ දී චතුරංගගේ චෝදනාව හෝ යෝජනාව සාවද්‍ය ය. ඊට ප්‍රධාන ලෙස බලපාන්නේ ප්‍රබන්ධ කෘතියක් කියවන පාඨකයාගේ රස භාව සහ අදාළ පුද්ගලයාගේ කියවීමේ පුහුණු නුපුහුණු භාවය යි. එබැවින් මා යෝජනා කරන්නේ චතුරංග පවසන ආකාරයට ස්වර්ණ පුස්තක යනු හුදෙක් විශිෂ්ට යැයි සැලකිය හැකි ප්‍රබන්ධ වළ දැමීමක් නොවේ ය යන්න ය. මේ පිළිබඳ උදාහරණ අවැසි නම් ඒ පිළිබඳව පසුව සාකච්ඡා කළ හැකි ය.

අනතුරුව චතුරංග පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට මේ ආකාරයේ චෝදනාවක් එල්ල කරයි.

‘‘යම් වෘත්තියක්, ආයතනයක් හෝ පවුලක් විනාශයට පත්වන්නේ ඒ තුලින්ම ඇතුලෙන් සිදුවන ක්‍රියාකාරකම් හරහා. බාහිරින් එන බලපෑම් ඕන කෙනෙකුට නවත්තන්න පුළුවන්. පොත් ක්ෂේත්‍රයෙත් එහෙමයි. ග්‍රන්ථ සාහිත්‍යයේ නිර්මාණාත්මක හා ගුණාත්මක වර්ධනය විනාශයට පත්කල ප්‍රධානම හතුරා තමයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශක සංගමය..’’

මෙම ප්‍රකාශය පිළිබඳව ද අප අවධානය යොමු කළ යුතු ය. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය යනු හුදෙක් ම වෙළඳ සංගමයක් බව අවිවාදිත ය. එමෙන් ම එබඳු සංගමයක් ද පැවතිය යුතු ය. එසේ නොවන්නට පාඨක ප්‍රජාව පොත් කෙරෙහි දක්වන ආසක්ත භාවය මෙතරම් වර්ධනය වන්නට ඉඩ නොතිබිණ. ඒ සඳහා ලංකාවේ ඕනෑම පොත් ප්‍රකාශන ආයතනයක් සාක්ෂි දරනු ඇත. මා දන්නා පරිදි නම් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සිය පළමු පොත් ප්‍රදර්ශනය කලාගාරයේ දී පවත්වන අවස්ථාව දක්වා ලංකාවේ බහුතර ප්‍රකාශන ආයතන විසින් ප්‍රකාශයට පත් කරන ලද සියලු කෘති එකම කාල සීමාවක් තුළ දී, එක ම ස්ථානයක දී මිලදී ගැනීම මතු නොව දැකීමට ද අවස්ථාව නොලැබිණ. ඔවුන් එම කර්තව්‍යට අත නොගසන්නට පොත් කර්මාන්තය මේ තරමට හෝ වර්ධනය නොවන්නට ඉඩ තිබුණාය යන්න ලියුම්කරුගේ පුද්ගලික විශ්වාසය යි. තත්ත්වය එසේ වුව ද සංගමයක් ලෙස ඔවුන් හිතුවක්කාරී අන්දමින් සහ සිය ඒකාධිපතිත්වය පිළිබිඹු කරමින් කටයුතු කළ අවස්ථා ද නැතුවා නොවේ. නමුදු එක් හෝ තවත් සිදුවීමක් සිදු වු පමණින් ම ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය දඬුකඳේ ගැසීම යුක්ති යුක්ත නොවේ ය යන්න ලියුම්කරුගේ අදහසයි.

‘‘ප්‍රකාශකයන් බහුතරයකුත් , ලේඛක ලේඛිකාවන් වැඩි පිරිසකුත් , සමහර පාඨකයනුත් හිතාගෙන ඉන්නවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හා ඒවාගෙ පොත් ප්‍රදර්ශන කීපයක් රට පුරාම කරාම සිංහල සාහිත්‍යය නහුතෙට නැඟල එනවා කියල.’’

චතුරංගගේ මේ අදහස නම් මම ද අනුමත කරමි. මේ සම්බන්ධයෙන් මා පුවත් පත් සහ වෙනත් විද්‍යුත් මාධ්‍ය සමග කළ සාකච්ඡාවල දී මෙන් ම මගේ ලේඛනවල ද සඳහන් කර ඇත. නමුදු පොත් යනු ද එක්තරා කර්මාන්තයකි. පොත් කර්මාන්තය, කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යාමට නම් මුද්‍රණය කරන පොත් අලෙවි කළ යුතු ය; පොත් අලෙවි කිරීමට නම් විවිධ වෙළඳ උපක්‍රම භාවිත කළ යුතු ය. ඒ අනුව ගත් විට වසරේ මාස දොළහ පුරා ම දිවයිනේ විවිධ ප්‍රදේශවල පොත් ප්‍රදර්ශන පැවැත්විය හැකි නම් එය පොත් කර්මාන්තය වර්ධනය කිරීම සඳහා අගනා පිටිවහලක් වන බව ලියුම්කරුගේ විශ්වාසය යි. චතුරංග පවසන ආකාරයට ‘‘සාහිත්‍ය’’ නගාසිටුවීම නම් එබඳු පොත් ප්‍රදර්ශන පැවැත්වීමෙන් පමණක් සිදු කළ නොහැකි බව සත්‍යයකි.



‘‘ලාංකීය නවකතාව නිර්මාණාත්මක හා ගුණාත්මක අතින් වර්ධනයක් සිදුවී ඇද්ද?’’ යනුවෙන් චතුරංග නගන පැනයට මගේ පිළිතුර නම් ‘‘ඔවු’’ යන්න ය.

තත්ත්වය එසේ වුව ද එබඳු නිර්මාණ නිසි ඇගයීමට ලක් නොවන බව සත්‍යයකි. සැබැවින් ම ස්වර්ණ පුස්තක සම්මානය මතු නොව ඇතැම් වසරවල දී වෙනත් සම්මාන උළෙලවලදී පවා සම්මානයට පාත්‍ර වූ ප්‍රබන්ධ සාහිත්‍ය කාතිවලට වඩා විශිෂ්ට කෘති කිසිදු ඇගයිමකට ලක් නොවුණ අවස්ථා අනන්ත ය; අප්‍රමාණ ය. ඊට හේතු වශයෙන් මා දකින්නේ මේ වන විට ලංකාවේ අපක්ෂපාතී විචාර ක්‍රමවේදයක් නොමැති වීම ය. අපක්ෂපාති විචාර ක්‍රමවේදයක් පැවතියේ නම් පාඨක ප්‍රජාවට සම්මානයට පාත්‍ර වූ කෘති අභිභවු ප්‍රබන්ධ කෘති කියවීමේ අවස්ථාව උදාකරගත හැකි බව ලියුම්කරුගේ විශ්වාසය යි. මේ සඳහා ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ හැකි ය. ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී පවා මිණි මුතු යට ගොස් ගොම රිටි ඉහළට පැමිණි අවස්ථා නැතුවා නොවේ.



‘‘ස්වර්ණ පුස්තක සම්මානය පිරි නමන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඉලක්ක කරගෙනය.. එය පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසයේ ය. ඔන්න එක පාරටම ජුලි හෝ ඊට පෙර ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශිත නවකතාවන් 12 ක නම් ප්‍රකාශයට පත්වෙනවා. හැබැයි ස්වර්ණ පුස්තක සම්මානයට පොත් ඉදිරිපත් කරන්න කියල විද්‍යුත් හෝ මුද්‍රිත හෝ වෙනත් මොනයම් හෝ ආකාර දැන්වීමක් ඔබ දැකල තියෙනවාද ?? නෑ එහෙම දකින්න විදිහක් නෑ. ඒක කරන්නෙ කාටත් හොරෙන්. හරියට බුද්ධි මෙහෙයුමක් වගෙ. ඒ වගෙම අර 12 අමතරව , මුල් වටය සඳහා ඉදිරිපත් කරපු පොත් මොනවාද කියල දන්නවද ? නෑ ඒවා දන්නෙ දෙයියො.. ප්‍රකාශක සංගමයේ දෙවියෝ?.. කර්තෘ ප්‍රකාශනවල ඕකෙ ඉඩක් තියෙනවාද නෑ. දන්න විදිහට නෑ. ඒ වගෙම තමයි පොත් ප්‍රකාශක සංගමය සමහරක් ප්‍රකාශකයන්ට සංගමයේ දොරටු වහල තියෙන්නෙ..’’



චතුරංග මතු කරන මේ කාරණයේ පවා සාධනීය ස්ථාන සහ නිෂේධනීය ස්ථාන පවතී. එනම් ඕනෑම සම්මාන උළෙලක දී (මෙය සාහිත්‍ය නොවන අනෙක් කලා උළෙල සදහා ද වලංගු ය) නිර්දේශිත ග්‍රන්ථ සම්මාන උළෙට පෙර ප්‍රසිද්ධියට පත් කෙරේ. මෙහි දී ස්වර්ණ පුස්තක සම්මාන උළෙල වෙනස් වන්නේ ඔවුන් එය වෙළඳ උපක්‍රමයක් ලෙස එය භාවිත කිරීම ය. පොත ද වෙළඳ භාණ්ඩයක් ලෙස පවතින බැවින් එකී ප්‍රචාරය හෝ ප්‍රසිද්ධිය ලබා දීම නුසුදුසු යැයි මම විශ්වාස නොකරමි. ඒ සඳහා කළ හැකි එක ම විකල්පය නම් අනෙකුත් සම්මාන උළෙල සංවිධායක පිරිස් ද තම සම්මාන උළෙලේ නිර්දේශිත ග්‍රන්ථ සඳහා පුර්ව ප්‍රචාරයක් ලබා දීම ය. එම නොහැකියාව අනෙකුත් සම්මාණ උළෙල සංවිධායක කමිටු වෙත නොතිබීම ඔවුන්ගේ දුර්වලතාවක් මිස ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සංවිධායක පිරිසගේ වරදක් නොවේ.



මෙහි දි චතුරංග මතු කරන තවත් කරුණක් වන්නේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සඳහා පොත් ඉදිරිපත් කරන්නැයි  විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ නොකරනවා ය යන්න ය. මෙය චතුරංගගේ නොදැනුවත් භාවය යැයි මම අදහස් කරමි. මන්ද ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සමස්තයට ම විවෘත උළෙලක් නොවේ. අදාළ උළෙල වෙනුවෙන් පොත් තෝරාගැනීමේ රීති පද්ධතියක් පවතී. අදාළ රීති පද්ධතියට අනුව පසුගිය වසරේ ප්‍රකාශිත කෘති අසවල් දිනයට පෙර ගෙනවිත් බාර දෙන්නැයි එම සංගමයේ සියලු සාමාජික ප්‍රකාශන ආයතන වෙත ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් ලිඛිත දැන්වීමක් කරනු ලබයි. සංගමයේ සාමාජික ප්‍රකාශන ආයතන සම්මාන උළෙල සඳහා පොත් බාර දෙන්නේ ඉන් අනතුරුව ය. ඒ අනුව බලන විට ඔවුන් ඒ සඳහා ප්‍රසිද්ධ දැන්විම් පළ කිරීමෙන් ඵලක් නොමැත. ඔවුන් සිය සාමාජික ප්‍රකාශන ආයතන සියල්ල වෙත ඒ පිළිබඳ ලිඛිතව දන්වනු ඇත. එසේ නම් තෝරාගත් පොත් ප්‍රසිද්ධියට පත් කරන්නේ ඇයි ද යන්න චතුරංග නැවත විමසිය හැකි ය. ඔවු... එය එසේ කළ යුතු ය. මන්ද මෙය වෙළඳාමකි. අවශ්‍ය නම් එකී වෙළඳ උපක්‍රමය අනෙකුත් සම්මාන කමිටුවලට ද අනුගමනය කළ හැකි ය. නමුත් ඔවුන් එසේ නොකරන්නේ ඔවුන්ට එයින් කිසිදු වාසියක් අත් නොවන බැවිනි. ඒනයින් බලන විට පොත් ප්‍රකාශකයින්ගේ සංගමය තම සාමාජික ප්‍රකාශන ආයතන වෙත නොමිලේ ම ප්‍රචාරයක් සහ ප්‍රසිද්ධියක් ලබා නොදෙන්නේ ද...? එම ප්‍රචාරයෙන් සහ ප්‍රසිද්ධියෙන් වාසි අත්වන්නේ පොත් ප්‍රකාශකයින්ගේ සංගමයට පමණක් ද...? නැත... එම ප්‍රචාරය හේතුවෙන් අනෙකුත් ප්‍රකාශන ආයතන වෙත ද ප්‍රචාරයක් ලැබේ; ප්‍රසිද්ධියක් ලැබේ. එය පොත් කර්මාන්තය සඳහා අනුග්‍රහය දක්වන්නක් නොවේ ද...?

‘‘අනෙක් කාරණය තමයි ස්වර්ණ පුස්තක සම්මාන ලැබෙන ඇතැම් පොත් ගැන තියෙන්නෙ බලවත් සැකයක්.. ඉතාමත් හොද නිර්මාණ තේරුණු අවස්ථාත් නැත්තෙ නෑ. හැබැයි ස්වර්ණ පුස්තකය ගැන පාඨකයන් තුල ඇතිවී ඇති සැකය නිසා ඉතා හොද නිර්මාණයන් දෙස වුවත් බැලෙන්නෙ වපර ඇසින්.. සම්මාන ලැබූ නිර්මාණ සැකයට භාජනය වෙන්න තවත් හේතු තියෙනවා.’’

චතුරංගගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් නම් ලියුම්කරුගේ එකගත්ඟවය පළ කරනවා. ලිපියේ යට සඳහන් කළ පරිදි ස්වර්ණ පුස්තක සම්මානයට පාත්‍ර නොවුණ, එහෙත් ඊට වඩා විශිෂ්ට කෘති පවතිනවා. ගැටලුව පවතින්නේ එම කෘති ජනතාව අතරට නොයෑම ය. ඒ සදහා සුදුසු වැඩපිළිවෙළක් යෙදීම පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ නියැළි සිටින අයගේ වගකීමක්. නමුදු ඔවුන්ගේ නොහැකියාවට ප්‍රකාශකයන්ගේ සංගමයට දොස් පැවරීමෙන් හෝ ආඩාපාලි කීමෙන් ඵලක් නැත.



‘‘ස්වර්ණ පුස්තක සම්මානය තෝරගන්න විනිශ්චය මණ්ඩලයේ ඉන්නෙ කවුද කියල කවුරුවත්ම දන්නෙ නෑ. ඒ වගෙම සම්මානය ප්‍රදානයේදී සලකා බලන සාහිත්‍ය නිර්ණායක මොනවාද කියල කවුරුවත් දන්නෙ නෑ...’’

චතුරංගගෙ මේ ප්‍රකාශය වැරැදියි කියල මම ප්‍රතිචාරයක් දැක්වුවත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබිණ. ඒ ඔහුගේ නොදැනුවත්භාවය යැයි මම සිතමි. තව ද ඔහු මෙම ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්නේ අදාළ විනිශ්චය මණ්ලයේ නාම ලේඛනය ද පුසිද්ධ මාධ්‍යයෙන් ප්‍රචාරය කළ යුතු ය යන්න ද යන්න අපැහැදිලි ය. කෙසේ වුව ද ස්වර්ණ පුස්තක සම්මාන උළෙල නියෝජනය කරන සෑම විනිශ්චයකරුවකුගේ සහ විනිශ්චයකාරියකගේ සියලු විස්තර සම්මාන උළෙල වෙනුවෙන් නිකුත් කරන සමරු කලඹෙහි ඇතුළත් කෙරේ. චතුර මේ සම්බන්ධයෙන් කරුනු නොදන්ටෙන් නම් ස්වර්ණ පුස්තක හෝ රජත පුස්තක සම්මාන උළෙල වෙනුවෙන් නිකුත් කර ඇති සමරු කලඹක් පරිශිලනය කරන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටිමි.



ස්වර්ණ පුස්තක සඳහා පොත් තේරීමේ දි සලකා බලන නිර්නායක මොනවා ද යන්න ද චතුරංග විමසා තිබිණ. ලියුම්කරුගේ අදහස නම් කිසිදු සාහිත්‍ය නිර්මාණයක් වෙනුවෙන් නිර්නායක සැපයිය යුතු නොවේ ය යන්න ය. මන් ද කිසිදු සාහිත්‍ය කලා නිර්මාණයක් සදාකාලිකව ම එකම රාමුවක සිර වී නොතිබිය යුතු බැවිනි. මා දන්නා තරමින් නම් ස්වර්ණ පුස්තක මතු නොව කිසිදු සම්මාණ උළෙලක ඔහු පවසන නිර්නායක සලකා බලනු නොලැබේ. එසේ නිර්නායක සලකා බලන්නේ නම් ලංකාවේ පළ වන කිසිදු නවකතාවක්, පරිපුර්ණ නවකතාවක් ලෙස හැඳින්විය නොහැකි බව ලියුම්කරුගේ විශ්වාසය යි.

මේ ලිපිය අවසන් කිරිමට පෙර චතුරංගගේ මෙම ප්‍රකාශයත් උපුටා දැක්විය යුතුමයි.

‘‘ඇත්තටම අවසන් පොත් 5න් කෝකටද සම්මානය ලැබෙන්නෙ කියල ගොඩක් පාඨකයන් උපකල්පනය කරනවා. ඒකට ඔවුන් යොදාගන්න කරුණු කාරණා ටිකකුත් තියෙනවා. පොතේ ප්‍රකාශක ප්‍රකාශක සංගමයේ දරණ තනතුර , කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය (Main Sponsorship) දරණ පොත් ප්‍රකාශකයා කවුද?? ප්ලැටිනම් අනුග්‍රාහකත්වය (Platinum Sponsorship) දරන්නේ කවුද? ඉන් කීපයක්.. එතකොට ඔය කියන තනතුරුවල අධ්‍යාපන ප්‍රකාශන , පරිවර්තන , ශ්‍රාස්ත්‍රීය හා විමර්ශන පමණක් කල ප්‍රකාශකයන් සිටීනම් සහ සම්මාන උලෙළට පොත් ඉදිරිපත් කරල නැත්නම් අර කියපු රටාවේ වෙනසක් වෙන්න පුළුවන්.. ස්වර්ණ පුස්තකය පටන්ගත් මුල් අවුරුදු කිීපයේ එය විනිවිදභාවයෙන් සිදු වී ඇති බව පේනවා..’’


කිසියම් පුද්ගලයකු යට සඳහන් ආකාරයේ චෝදනා එල්ල කරන්නේ නම් ඔහු හෝ ඇය ඊට අදාළ සාක්ෂි ද ඉදිරිපත් කළ යුතුයි. එසේ නොමැතිව ප්‍රකාශ කිරීමෙන් කිසිදු ඵලක් සිදු නොවේ. මා දන්නා තරමට නම් මේ සඳහා ප්‍රකාශකයන්ගේ සංගමය ද පිළිතුරු සැපයීමෙන් වැළකී සිටින බව විශ්වාස ය. මන්ද එලෙස පිළිතුරු දීමෙන් කිසිදු ඵලක් නොවන බැවිනි.



මෙම මාතෘකාව මෙවන් ලිපියකින් පමණක් සාකච්ඡා කළ නොහැකි ය. එහෙත් මේ මොහොතේ මෙම කරුණු ප්‍රමාණය හෝ ඉදිරිපත් කිරීම සාහිත්‍යයට ආදරය කරන පුද්ගලයකු ලෙස මගේ යුතුකමක් ලෙස සැලකු බැවින් දැනට මෙම ලිපිය මෙතෙකින් අවසන් කරමි. කිසිවකු හෝ රිසි නම් මෙය සංවාදයට විවෘත ය.

ලිපිය සඳහා උපුටාගත් කොටස්හි අක්ෂර වින්‍යාස සහ  පදබෙදීම් එහි අන්තර්ගත පරිදි ම බව සලකන්න.


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/08/20





(සැ.යු. - සිංහල ප්‍රබන්ධ කතා සාහිත්‍යයට පදනම වැටුණේ 1866 දී ‘රුවන්මල්දම’ සඟරාවට ඇල්. අයිසෙක් ද සිල්වා ලියූ ‘වාසනාවන්ත පවුල සහ කාලකණ්ණි පවුල’ යනුවෙන් කොටස් වශයෙන් ලියන ලද නවකතාවෙනි.)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්