අපමණ සංඛ්‍යාවක් මිනිසුන් ලෝකයට පැමිණ නික්ම ගියද, සංසන්දනාත්මකව බලන කල්හි මානව ප්‍රජාව වෙනුවෙන් යහපත් ක්‍රියාවන් කිරීමට යත්න දරා, සලකුණක් තබා නික්මගිය පිරිස අල්පය. 

සැබැවින්ම මංගල සමරවීරයන් එවැන්නකු වූ අතර, ඔහු ඒ තබා ගිය සලකුණ තවමත් නොනැසී පවතී.

ගතවී ගිය දෙවසර පුරාවට ඔහු ගැන සිහිපත්වූ අවස්ථා අප්‍රමාණය.

ඒ ඔහු නික්ම යෑමට පෙර රට පත්විය හැකි ආර්ථික අවදානම ගැන, ජාති ආගම් ලෙස එකම රටක මිනිසුන් බෙදීමෙන් වියහැකි භයානක ප්‍රතිඵල ගැන, සංඝ කල්ලිය ගැන, අවිද්‍යාව සහ මිත්‍යා විශ්වාස පසුපස හඹායෑමේ ආදීනව ගැන කිවූ සෑම පුරෝකථනයක්ම පාහේ සැබෑවූ නිසා පමණක්ම නොව, ඔහු ජීවත්ව සිටියානම් දැන් රට පවතින තත්ත්වයට "කිසියම්ම හෝ විසඳුමක් ගෙන ආ හැකිව තිබුණා" යන ඉච්චා භංගත්වයේ කංකෙඳිරි ගෑමද නිසාය.

ශ්‍රී ලාංකික සංස්කෘතිය සහ සිරිත් විරිත් රැක ගන්නා අතරම දියුණු වන ලොව සමග ඉදිරියට යාමට නම්, අප නවීන විය යුතු බවත්, රට දියුණුව කරා ගෙන යාමට නම් වේගයෙන් වෙනස්වන ලෝකය සමග වෙනස් විය යුතුය යන්නත් ඔහු තරයේ විශ්වාස කළේය. දකුණු ආසියාවේ බුද්ධිමත් ජනතාවක් සිටින, හොඳ අධ්‍යාපනයක්, ශ්‍රේෂ්ඨ ඉතිහාසයක්, සංස්කෘතියක් ඇති, ලෝකයේ ප්‍රධානම ආගම් වලින් පෝෂණය වුන අපේ රට, මහා විනාශයකට යමින් ඇතිබව කී ඔහු පුර වැසියනට ආයාචනා කලේ එය තේරුම් ගන්නා ලෙසටයි. 

රැඩිකල් මැද මංගල - (චින්තන ධර්මදාස)

විශේෂයෙන්ම තාරුණ්‍යයට අවධානය යොමුකල ඔහු කියා සිටියේ "සිස්ටම් චේන්ජ්" එකක ඇති අවශ්‍යතාවය වටහා ගන්නා ලෙසයි. තාරුණ්‍යය තුල රටේ අනාගත ආයෝජනය සිදුවිය යුතුයැයි අවධාරණය කල ඔහු ඒ සඳහා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මනුෂ්‍යත්වය සහ විද්‍යාව පදනම් කොටගත් විකල්පය පමණක් බවත් එයට තාරුණ්‍යයේ ජවය අත්‍යවශ්‍ය බවත් ඔහු පැවසීය. "රැඩිකල් මැද - සැබෑ දේශප්‍රේමියෝ" තුලින් ඔහු අපේක්ෂා කළේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සහෝදරත්වය, එකමුතුකම, යුක්තිය සහ සැමට එක නීතියක් යන දැක්මයි. ඔහුගේ අභිමානය වූයේ ශ්‍රී ලාංකිකත්වයයි.

මංගල සිහිනය' වෙනුවෙන් කැපවීම සැබෑ දේශප්‍රෙමින්ගේ යුතුකමයි - සංජීව  විමලගුණරත්න

ඔහු තරයේම විශ්වාස කලේ අපේ සියලුම ජනතාවට එකට ජීවත් විය හැකි බවත්, අතීතයේදී ඔවුන් එකට ජීවත් වූ බවත්ය. රටේ ප්‍රධාන ජාතීන් වන සිංහල, දෙමළ, මුස්ලිම් යන ජාතීන්ට යළිත් එකමුතුකම හා විශ්වාසය ගොඩනගා ගත නොහැකි වීමට හේතුවක් ඔහු නොදැක්කේය. එය ඔහුගේ විශ්වාසය මෙන්ම ප්‍රාර්ථනාව විය. පහසු නොවන කාර්යයක් වුවත් ඒ සඳහා කටයුතු කිරීමට ඔහු අධෛර්යමත් නොවුනි.  

අප ගෝත්‍රික වාදයෙන් මෙන්ම රාජාණ්ඩු වහල් මානසිකත්වයෙන්ද ඉවත්විය යුතු බවත්, සිදුවිය යුත්තේ 225 ම හොරු කියා ප්‍රතික්ෂේප කරනවාට වඩා පාර්ලිමේන්තුව පිරිසිදු කර ගෙන පාර්ලිමේන්තුවට විධායක බලතල ලබා දීම බව ඔහු තදින්ම විශ්වාස කලේය. එක තැනකට කේන්ද්‍රගතව ඇති විධායක බලය විමධ්‍යගත කරන තුරු කොහෙන් 225 ගෙනාවත් වෙනසක් නොවෙන බව ඔහු පුන පුනා කියා සිටියේය.

මනාප ක්‍රමය යටතේ ආසනයක් නොව දිස්ත්‍රික්කයක් දිනා ගත යුතුව ඇති නිසා, තරඟකරුවකුට විශාල මුදලක් අවශ්‍ය වන හෙයින් පාතාල ලෝකය තම කළු සල්ලි සුදු කරන තැන බවට පාර්ලිමේන්තුව පත් කරගෙන තියෙන බව ඔහු නිර්භයව කියා සිටියේය.

දිනක් විය මංගල නොමැති මංගල - (සුමුදු මද්දුමආරච්චි)

සුපේශල ශික්ෂාකාමී ස්වාමීන් වහන්සේලාට අපමණ ගෞරවයක් දැක්වූ ඔහු, ශ්‍රමණ වේශයෙන් සිටින චීවරධාරීන් කවුදැයි නම් කිරීමට කිසිවිටෙකත්  පසුබට නොවීය. "සිංහල බෞද්ධ" දේශයේ ද්‍රෝහියා ලෙස හංවඩු වැදුනත්, සත්‍යය ඇති ලෙසින්ම පැවසීමට ඔහු නිර්භීත විය. "සිංහල බුද්ධාගම" වෙනුවට ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෞද්ධ දර්ශනයට ගෞරව කලා පමණක් නොව, එය අසීමිතව විශ්වාස කලේය. එසේම ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොව, සිංහල බෞද්ධ බහුතරයකින් සමන්විත බහු ආගමික, බහු වාර්ගික රටක් යැයි ඔහු එදා හුදකලාව හඬ නැගුවේ එයින් වියහැකි දේශපාලන සියදිවි නසා ගැනීම නොදැන නොවේ.

දෙදණින් වැටිය යුත්තේ සුදු රෙද්දෙන් හෝ කහ රෙද්දෙන් වැසී තිබෙන ශරීර පාමුල නොව, එම රෙදි දරා සිටින්නන් පිදිය යුතු ගතිගුණ වලින් යුක්ත නම් පමණකියැයි ඔහු ළමුන්ට කියාදුනි. එසේම ඇතැමුන් තම මවුවරුන් මහමඟ අතරමං කොට දමා යන බව සිහිපත් කරමින් කියා සිටියේ රටට තම මවට මෙන් නොව, තම දරුවාට මෙන් සැළකිය යුතු කාලය එළඹ ඇති බවයි. මෙයටත් වඩා සත්‍යයක් තිබේද?



හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව බලයට ගෙන ආ ජාතිවාදී බලවේගවල නපුරු කූටෝපායයන් ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සෑහෙන කොටසක් මේ වන විට අවබෝධ කර ගෙන ඇති බව පෙනේ.

ඔහු බොහෝ කැපවීමක් කළ ඒ අරමුණ, බලවේග රැසක සහ මධ්‍යස්ථ මතධාරී පුරවැසියන්ගේ අරගලයක් ලෙස මතුවීම  දක්නට ලැබුණානම් ඔහු බොහෝසේ සතුටුවනු ඇත. ඔහු ජිවත්ව සිටියානම් එම අරගලය අන්තවාදයෙන් බැහැරවූ සාමකාමී දේශපාලනික පරිවර්තනයක් කරා මෙහෙයවීමට යත්න දරනවා නොඅනුමානය.

අප කුඩා කල සිටම වීරත්වයට ආශක්ත වන, වීරයන් අගය කිරීමට බෙහෙවින් ලැදියාවක් දක්වන ජන කොට්ඨාශයකි. වීරයන් අගය කිරීම වරදක් නොවුනත්, මට සිතෙන ආකාරයට නම් වඩා වැදගත් වන්නේ අප සැවොම වීරයන් බවට පත් වීමට තැත් කිරීමයි. එයින් අදහස් වන්නේ තුවක්කු බයිනෙත්තු අතට ගෙන අප නොවන අනෙකා පසුපස හඹායාම හෝ, හමුදාවට බැඳීම හෝ නොවේ. එසේ නැතහොත් ජනතාව මුළාකරමින් තමා නොවන අනෙකාව නසා දැමීමට උගුල් ඇටවීමද නොවේ. වීරත්වය ලෙස මා නම් දකින්නේ "සෑම මිනිසකුම අන් සියල්ලට පෙර තමා මෙන්ම මිනිසකු වන බැවින්, ඔහුට හෝ ඇයට නෑකම් කියන කිසිවෙක් හෝ කිසිවක් පිටස්තර නොවිය යුතුය" යන යථාර්ථය තේරුම් ගෙන ඊට අනුකූලව ක්‍රියා කිරීමේ හැකියාවයි. එය ලෙහෙසි පහසු දෙයක් නොවේ. ආයුධ වෙනුවට තම කථිකත්වය යොදාගෙන මනුෂ්‍යත්වය වෙනුවෙන් සටන් කල මානව හිතවාදියකුවූ ඔහු වීරයෙකි. නිවැරදි යැයි ඔහු දුටු මතවාදයන් කෙතරම් ජනප්‍රිය නොවූවත් ඒ වෙනුවෙන් නිර්භයව තනිව පෙනී සිටීමට ඔහුට තිබූ ඒ ආත්ම ශක්තිය වීරත්වයයි.

පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගත් පසු වරක් සම්මුඛ සාකච්චාවකදී ඇසූ පැනයකට ඔහු පැවසූ දෙයක් මගේ මතකයේ තිබේ. සිනහසෙමින් ඔහු පැවසූවේ ශ්‍රී ලංකාවේ පුරවැසියනට ලබාගත නොහැකිවූ හොඳම ජනාධිපතිවරයා ඔහු බවයි. එය කෙතරම් සත්‍යයක්දැයි අද මට සිතේ. මානව හිතකාමී ඔහු වැන්නකු නායකයා ලෙස ලැබීමට තරම් පුරවැසියෝ භාග්‍යසම්පන්න නොවූහ.

මංගල සමරවීරයන් බලාපොරොත්තුවූ සැබෑ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, ජීවිතයේ හයවන දශකයේ පසුවන මගේ ජීවිත කාලය තුලදී දැකගත හැකිවේයැයි සිතීමට තරම් මම බොළඳ නොවෙමි. එනමුදු එය සාක්ෂාත් වනතුරු ඔහුට සමුදීමට දෙවසරක් ගෙවීයන අද දිනයේදීත් මා සූදානම් නැත.


ඔබ තවම අප සමගයි - (කාන්ති කාරියවසම්)(කාන්ති කාරියවසම්)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්