( මෙය 2019 දී ඉස්ලාමීය රාජ්‍යය නමැති ත්‍රස්තවාදී මතවාදයේ ආනුභාවයෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් විසින් සිදු කරන ලද පාස්කු ප්‍රහාරය පිළිබඳ මේවනවිට විදේශගත සිටින විශේෂ ලියුම්කරුවකු
විසින් සැපයු කොටස් තුනකින් යුත් ලිපි මාලාවේ පළමු කොටසයි. පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් හෙට දිනයේ (සැප්. 5) විශේෂ හෙළිදරව්වක් කිරීමට නියමිතව ඇති අතර ඒ ඔස්සේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යළි පුළුල් සමාජ කතිකාවක් ඇතිකරලීම මෙම ලිපි මාලාවේ අරමුනයි )
ගෙවුණු වසර කිහිපය පුරා පාස්කු ප්‍රහාරය තරම් මෙරට සමාජය කලබලයට පත්කළ තවත් සිදුවීමක් වෙතොත් ඒ කොවිඩ් 19 වසංගතය පමණි. දෙවියන් වහන්සේ පවා අවභාවිතා කරමින් මෙම ඛේදවාචකයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කරන බොහෝ දෙනෙකු මෙම අමානුෂික ප්‍රහාරයේ සැබෑ සහ අතිශය බියජනක සත්‍යය මුළුමනින්ම පාහේ අමතක කොට තිබේ. මේ නිසා පරපෝෂිතයෙක් සේ සමජීය පුරා ව්‍යාප්ත වී ගිය අවිද්‍යාවක ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත්වී ඇති අතර එය අන්තවාදීන්ට පෝෂණය වීම සඳහා නීතිමය රැකරවණය පමණක් නොව සමාජ සාදාරණත්වයද ලබා දී ඇත.
ප්‍රහාරය සිදු වී පැය කිහිපයකට පසු ජනමාධ්‍යය හමුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇති උතුම් රන්ජිත් කාදිනල් මැල්කම් හිමිපාණන් සඳහන් කළේ එය බටහිර රටක් විසින් කරනු ලැබූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි. ඔහු වක්‍රෝත්තියෙන් චෝදනා කරනු ලැබුවේ ප්‍රහාරය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් දියත් කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි. ප්‍රහාරය සිදු වූ දින උදෑසන කුමන හෝ හේතුවක් නිසා කොච්චිකඩේ දේවස්ථානයේ දේව මෙහෙයට සහභාගී නොවූ කාදිනල් හිමියන් ප්‍රහාරයෙන් පසු සිදුකළ එකිනෙකට නොහැලපෙන ප්‍රකාශ නිසා සිදුවූ සමාජ බලපෑම අවතක්සේරු කළ නොහැකිය.
කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පසු රටතුළ ඇතිවීමට ගිය අති බිහිසුණු ආගමික ගැටුම නවතා දැමීම සඳහා සාධනීය පියවර ගැනීම ගැන උන්වහන්සේ පැසසිය යුතුය. එහෙත් ඉන් පසුව උන්වහන්සේ සඳහන් කළ බොහෝ කාරණා වල ඇත්තේ නොගැලපෙන බව සහ වෛරය පිරිණු දේශපාලන අභිලාශයන්ය. එම හැසිරීම මෙම සමස්ත ක්‍රියාදාමයට ඉතාම නින්දා සහගත ලෙස බලපෑම් සිදුකොට තිබේ.
අයහපත් සෞඛ්‍යය තත්වය නිසා දින කිහිපයක් විවේකීව සිටීමෙන් පසු මීට දින කිහිපයකට පෙර උන් වහන්සේ යළිත් මෙම ප්‍රහාරය ගැන කතා කරමින් පවසා සිටියේ පාස්කු ප්‍රහාරය රටේ බලය ලබා ගැනීම සඳහා යම්කිසි පිරිසක් විසින් සිදුකළ කුමන්ත්‍රණයක් බවයි. එහිදී උන් වහන්සේ අවධාරණය කළ ප්‍රධාන කාරණයක් වූයේ අබු හින්ද් නමැති පුද්ගලයෙක් ගැනය.
කවුද මේ බුද්ධි අංශ පාවිච්චි කළ අබු හින්ද්?
මෙම ප්‍රහාරය වටා ගෙතී ඇති අනෙකුත් ප්‍රධාන කාරණා වලට අවධානය යොමු කිරීමට පෙර මෙම අබු හින්ද් නමැති චරිතය මූලික කරගනිමින් ඇතැමුන් නිර්මාණය කර ඇති අසත්‍යය තොරතුරු විමසීම වැදගත් වේ.
මේ සඳහා අවධානයක් යොමු වූයේ ශ්‍රී ලංකාවේ පොලිසිය දේශපාලනීකරණයෙන් බේරා ගැනීමට සටන් කරනවා යැයි කියමින් දේශපාලනය කරන පොලිස් දෙපාර්තමේන්තුවේ රථවාහන අංශයේ සේවය කළ අයෙකු විසින් විදේශගතව සිටිමින් සිදුකළ ප්‍රකාශයක් මූලික කරගෙනය. ඔහුගේ ප්‍රකාශයන් බොහෝමයකට පාදක වී ඇත්තේ විවිධ පුද්ගලයින් විසින් විවිධ අරමුණු මූලික කරගෙන ලබාදුන් ප්‍රකාශ මිස සැබෑ තොරතුරු නොවේ.
තම අදහසට ගැලපෙන මතවාද සත්‍යය යැයි පිළිගතහොත් ලෝකයට කිසිම කාරණයක සත්‍යයක් සොයාගැනීමට නොහැකිය. සත්‍යය වූ කලී දත්ත මත පදනම් වෙමින් සිදුකරන සාධනීය විශ්ලේශනයක ප්‍රතිඵලයකි. එය භාරදූර කාර්යයකි. අබු හින්ද් නමැති චරිතය ගැන විමසා බැලිය යුත්තේ මෙම මූලධර්මය මත පිහිටාය.
ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයට හිතැති අනුගාමිකයන් බිහිවීම ආරම්භවීමත් සමග ඒ ගැන වඩාත් ප්‍රවේශමෙන් විමර්ශනය කිරීමට යුහුසුළුව කටයුතු කරනු ලබන එක් රටක් වන්නේ ඉන්දියාවයි. එනිසා ඉන්දියාව තම රටේ පමණක් නොව අසල්වැසි රටවල සිදුවන දේද වඩාත් විමසිල්ලෙන් බලා කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකාවටද එහිදී හිමිවන්නේ මූලික ස්ථානයකි. ශ්‍රී ලංකාවේ බිහිවන එවැනි අන්තවාදී සංවිධානයකින් දැඩි බලපෑමක් ඉන්දියාවට එල්ල වන බව ඉන්දීය ආරක්‍ෂක අංශ වඩාත් හොඳින් අවබෝධකරගෙන ඇත. තම ඉතිහාසය විසින් අන්තවාදී සංවිධාන නිසා රටකට මුහුණදීමට සිදුවන කරුමය ගැන ඉන්දියාව ඉතා නීරස ආකාරයෙන් ඉගෙනගත් ජාතියකි.
2008 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය
විශේෂයෙන් කේරල ඇතුළු ඉන්දියාවේ ප්‍රාන්ත පුරා විහිදුනු ඉස්ලාමීය අන්තවාදී බලවේග වල ඍජු බලපෑමක් තමිල් නාඩු ප්‍රාන්තයට සහ ශ්‍රී ලංකාවට වසර ගණනාවක් තිස්සේ පවතින බව ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව විශේෂයෙන් 2008 ඉස්ලාමීය අන්තවාදීන් විසින් සිදුකළ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව අවබෝධ කරගත්තේය. මෙම අන්තවාදී සංවිධාන වලට තම මතවාදී පුහුණුකිරීම් කේරලයේ සිදු කිරීමට නොහැකි වූ විට ඒ සඳහා තෝරාගත් භූමිය වූයේ ශ්‍රී ලංකාවයි. 2015න් පසු අන්තවාදී අදහස් පතුරුවා හරින ඇතැම් මද්‍රසා පාසල් සහ විවිධ ස්වේච්ඡා සංවිධාන හතු පිපෙන්නා මෙන් බිහි වන්නේ ඒ අනුවය. මේ ගැන මෙහෙයුම් සිදුකිරීම හොර මත්පැන් පෙරන්නෙකු වටලන ආකාරයෙන් සිදු කිරීමට නොහැකිය. ඒ සඳහා විශාල කාලයක්, දැනුමක්, මුදලක්, මෙන්ම ශ්‍රමයක් අවශ්‍යය වේ.
ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන්ගේ මතය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන විට ඊට සම්බන්ධ අයවලුන් සමග ගනුදෙනු කිරීම සඳහා 2018 මුල් භාගයේදී තාක්ෂණික චරිතයක් හෙවත් අවතාරයක් ලෙස අබු හින්ද් ඉන්දියාවේ බුද්ධි අංශ විසින් නිර්මාණය කළේ මෙම මතවාදයේ සිටින අයවලින් සමග ඍජුව සන්නිවේදනය කිරීම සඳහා නිර්මාණය කරනු ලැබූ තවත් එක් චරිතයක් ලෙසය. එය සාමාජ මාධ්‍යය ජාලයක ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යන ආකාරය හා සමාන ලෙස නිර්මාණය කළ චරිතයකි.
මෙවැනි අවතාර නිර්මාණය කිරීම ලෝකයේ බුද්ධි අංශ විසින් නිරන්තයෙන් සිදුකරන ක්‍රමෝපායන් වල එක් කොටසකි. විශේෂයෙන් ත්‍රස්තවාදී කණඩායම් නිරීක්ෂණය කිරීම සහ ඔවුන්ගේ ජාල හඳුනා ගැනීමට මෙන්ම ඔවුහු විසින් සිදුකරන සිදුකරන තර්ජන තක්සේරූ කිරීමේදී විශාල කාර්යය භාර්යයක් මෙම අවතාවර වලින් සිදුකරනු ලබයි. ත්‍රස්තවාදී සංවිධාන වලට අවශ්‍යය ප්‍රචාරණ කටයුතු සිදුකිරීම, බඳවාගැනීම් සිදුකිරීම, මෙන්ම බෝම්බ සහ සියදිවි නසාගැනීමේ ජැකට් ඇතුළු ප්‍රහාර සඳහා අවශ්‍යය මෙවලම් නිර්මාණය කරගැනීම, ප්‍රහාරය සිදුකිරීම සහ ප්‍රහාරයෙන් පසු ප්‍රචාරණ සිදුකිරීම වැනි කටයුතු සඳහා සමාජ මාධ්‍යය ඇතුළු මෙවලම් භාවිතා කරනු ලබයි. එම කටයුතු හඳුනා ගැනීම සඳහා මොවුන්ගේ මතවාදයට කැමැත්ත පළකරමින් සන්නිවේදන කටයුතු සිදුකරන අවතාර නිර්මාණය කිරීම අතිශය වැදගත් වේ.
මේ ගැන ඔනෑ තරම් උදාහරණ මෙන්ම ශාස්ත්‍රාලයීය අධ්‍යනයන් පලවී තිබේ. අබු හින්ද් සම්බන්ධයෙන් සිදුකරන අමනෝඥ ප්‍රකාශ වලට පෝෂණය ලැබෙන්නේ පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකළ ඇතැම් නිලධාරීන් සිදුකල හාස්‍යජනක වැරදි සහ ඔවුන්ගේ විමර්ෂණ දත්ත වලට වඩා තම පෞද්ගලික එදිරිවාදිකම් වලට මූලික තැන ලබාදෙමින් සිදුකිරීමයි.
මේ නිසා අබු හින්ද්ගේ ජංගම සිම් එකේ මූලය ඉන්දියාව දක්වා සොයා ගන්නා අතර එය ඉන් පසු තම පෞද්ගලික අභිලාෂයන් වලට මූලික තැන ලබාදෙමින් විශ්ලේෂණය කරනු ලබයි. රාජ්‍යය බුද්ධි සේවාවේ වත්මන් ප්‍රධානියා එහි ප්‍රධාන ඉලක්කය බවට පත්වේ. එම කාලයේදී ඔහු ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ පාඨමාලාව හදාරමින් සිටි අතර අබු හින්ද් නමැති අවතාරය තමිල් නාඩුවේ සිට මෙරට ව්‍යාප්ත වෙමින් පැවති ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදී මතවාදයට ඇබ්බැහි වූවන් සමග සන්නිවේදනය කරමින් ඉස්ලාමීය රාජ්‍යයේ ඉන්දීය නායකයෙකු ලෙස පෙනී සිටියේය. මෙය පැහැදිළිව සහරාන්ගේ ප්‍රකාශ වලින් මෙන්ම ඔහුගේ බිරිඳ වන හාදියාගේ ප්‍රකාශ වලින් පවා සනාථ වන කාරණයකි. එසේම, අබු හින්ද් ඉන්දියාව පුරා ප්‍රහාරයක් සිදුකරනු ඇතිබව සහරාන් තදින්ම විශ්වාස කළේය.
ඉන්දීය ඔත්තු සේවාවන් මෙරට ඔත්තු සේවාවන් සමග බෙදා හදා ගනු ලබන්නේ අබු හින්ද් නමැති අවතාරය විසින් ලබාගත් තහවුරු කරගත් තොරතුරු මත සැකසූ බුද්ධි තොරතුරුය. මෙය අතිශය සංකීර්ණ මෙන්ම සංවේදී කාරණයකි. මෙම මෙහෙයුම් වල නිරත වී සිටින අයවලුන් හෙළිදරව් කිරීම රාජ්‍යකට සිදුවිය හැකි බරපතළම ඛේදවාචකය බව අපි කවුරුත් වඩාත් හොඳින් මතක තබා ගත යුතුව ඇත. මන්ද සහරාන් ප්‍රමුඛ ත්‍රස්තවාදීන් සිදුකළ ප්‍රහාරය මෙරට සිදුවිය හැකි අවසාන ප්‍රහාරය නොවේ. මේ හා සමාන හෝ වෙනයම් ආකාරයක ප්‍රහාර අනාගතයේ ඇතිවිය හැකි බව අපට අපේ ඉතිහාසය විසින් ලුණු ඇඹුල් ඇතිව කියා දී තිබේ. මේ නිසා මෙවැනි සංවේදී කාරණා ගැන කතා කිරීමේදී අපි කවුරුත් ඉතාම ප්‍රවේශමෙන් මෙම සිදුවීම් වල ඇති ගැඹුරු යථාර්ථයන් තේරුම් ගෙන කටයුතු කළයුතුව ඇත.
මෙම සන්දර්භය ඔස්සේ මෙම සිදුවීමට අදාළ දෙවන කාරණය ගැන විමසා බැලීම වැදගත් වේ. එනම් පොඩි සහරාන් ගැනය. පොඩි සහරන් සම්බන්ධයෙන් පළමුව නිල ලිඛිත තොරතුර ඔහු ඒ වන විට රැකියාව සිදුකරන මැදපෙරදිග රටක බුද්ධි සේවාවකින් ලැබේ. මෙහිදී වඩාත් හොඳින් සිහිතබා ගත යුතු කාරණය වන්නේ, පොඩි සහරාන් ගැන ලැබෙන්නේ නිල වශයෙන් තහවුරු කරගත් ලිඛිත තොරතුරකි. එය පදනම් කරගෙන එවකට රාජ්‍යය බුද්ධි සේවාවේ අධ්‍යක්වරයා ඊට අදාළ තොරතුරු ලබා ගන්නා නිලධාරියෙකු සහ එම නිලධාරියා විසින් ලබාගන්නා තොරතුරු ගොනු කිරීම සඳහා 2019 වසර ආරම්භයේදී ගොනුවක් විවෘත කළේය. එම ගොනුවට ලබාදුන් ඛේත නාමය නම් සොනික් සොනික් වූ අතර එම පොඩි සහරාන් සමග සන්නිවේදනය කළ බුද්ධි නිලධාරියාගේ ඛේත නාමයද සොනික් සොනික් විය. මෙයද ඕනෑම රටක බුද්ධි අංශයක් විසින් සිදුකරන මූලික කටයුත්තකි. එනම් සැකකරුවෙකු හෝ වෙනයම් පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු ලබාගැනීම සහ ඒවා ගොනු කිරීම මෙන්ම යම් කිසි විමර්ෂණ කටයුත්තක් සඳහා පහසුවෙන් ලබාගත් හැකි වන පරිදි සුවිශේෂී ගොනු විවෘත කරනු ලබයි. එම ගොනු වලට සුවිශේෂී නම් ලබාදෙනු ලබයි. සොනික් සොනික් යනු ඒ කාරයෙන් ලබාදුන් නමකි.
සොනික්-සොනික් සහ පොඩි සහරාන්
2017 මාර්තු 17 වැනි දින කාන්තන්කුඩියේ අලියාර් හන්දියේදී ඉස්ලාමීය අන්තවාදීන් විසින් සම්ප්‍රදායික මුස්ලිම් ජාතිකයින්ට කඩුවලින් පහරදුන් අවස්තාවක්. අනෙක් සේයාරු වලින් දැක්වෙන්නේ මාතලේ පොඩි සහරාන් සහ ජමීල්
1998 මැයි මාසයේ 10 වැනිදින උපත ලබා ඇති පොඩි සහරාන් හෙවත් ෆස්රුල් රහුමාන් මොහොමඩ් සහරාන් මාතලේ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වූ අතර ඔහු මහනුවර ප්‍රදේශයේ ප්‍රකට පාසලක ආදී ශිෂ්‍යයෙකි. පෙර සඳහන් කළ ආකාරයෙන් 2019 පෙබරවාරි මාසයේදී විදෙස් රටක බුද්ධි සේවාවක් විසින් මෙම පුද්ගලයාට අදාළ පළමු නිල නිවේදනය මෙරට රාජ්‍යය බුද්ධි සේවාවට ලැබේ. සොනික් සොනික් ලිපි ගොනුව විවෘත වන්නේ ඒ අනුවය.
ඒ අනුව මොහොමඩ් සහරාන් සමග සන්නිවේදනය කිරීම සඳහා මෙරට රාජ්‍යය බුද්ධි සේවාවේ බුද්ධි නිලධාරියෙකු පත්කරන අතර ඔහු මොහොමඩ් සහරාන්ගේ බොහෝ විස්තර ලබා ගැනීමට මෙන්ම, ඒවා ගොනු කිරීමට කටයුතු කරනු ලබයි. එම ගොනු කරනු ලැබූ තොරතුරු පසුව බුද්ධි විශ්ලේෂණ වලට භාජනය කොට බුද්ධි තොරතුරු බවට පත්කර ඇත. ඒ අනුව මොහොමඩ් සහරාන්, පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ලකරනු ලැබූ සහරාන්ගේ කණ්ඩායම සමග සන්නිවේදන කටයුතු පැවැත්වූ බව තහවුරු කරගැනීමට මෙරට බුද්ධි අංශ සමත්විය.
ඔහු සහරාන්ගේ කණ්ඩයාම සමග සන්නිවේදන සිදුකොට ඇති අතර ඔහු ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයේ මතවාදය ඉතා තදින් විශ්වාස කළ අයෙකි. එසේම ඔහු ඉසල්මීය රාජ්‍යය ත්‍රස්තවාදී සංවිධානයේ සන්නිවේදන ජාල සමග සම්බන්ධතා පැවැත්වූ අයෙකි. ප්‍රහාරයට ආසන්න කාලයක එනම් 2019 අප්‍රේල් 15 වැනි දින ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, ප්‍රහාරය සිදු වී දින කිහිපයකින් පසුව ඔහු මාතලේ පොලිසිය විසින් රාජ්‍යය බුද්ධි සේවාවේ සහය ඇතිව අත්අඩංගුවට පත්විය. පාස්කු දින ප්‍රහාරය එල්ල වීමෙන් පසු දෙවන ප්‍රහාරයකට සූදානම් බව නිවැරදි තොරතුරු ලැබෙන්නේ මොහොමඩ් සහරාන්ගෙන්ය . එසේම පළමු ප්‍රහාරයට අදාළ වීඩියෝ පටය ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන්ට අයත් මාධ්‍යය ජලාවලට නිකුත් කිරීමට මූලික වන්නේද මෙම මොහොමඩ් සහරාන් නමැති පුද්ගලයාය.
එනම් සොනික් සොනික් යනු මොහොමඩ් සහරාන් නමැති පුද්ගලයාගේ තොරතුරු ඇතුළත් ගොනුවට සහ එම ගොනුව මෙහෙයවනු ලැබූ බුද්ධි නිලධාරියාට ලබාදී තිබූ ඛේතනාමය වේ. එම ගොනුව නඩත්තු කිරීම සඳහා මොහොමඩ් සහරාන් සමග සන්නිවේදන කටයුතු සිදුකරනු ලැබු රාජ්‍යය බුද්ධි සේවාවේ නිලධාරියා වැඩිදුර විමර්ශන සඳහා ටෙලිග්‍රෑම් ඇප් එක ඔස්සේ කළ සංවාද ඇතුළු සියලුම තොරතුරු විමර්ෂණ කටයුතු සඳහා අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට පවා ලබාදී ඇත. අවාසනාව නම්, මෙම විෂය ගැන නොදන්නා අයවලුන් සහ අවස්ථාවදී දේශපාලනඥයින් සිදුකනු ලැබූ කටයුතු වලින් සිදු වූයේ බුද්ධි අංශවල සාර්ථකත්වය රඳාපවතින මෙවැනි සාර්ථක උපායන් හෙළිදරව් වීම පමණි. අඩුම තරමින් කාදිනල් හිමිපාණන් වැනි බුද්ධිමතෙකුටවත් මෙම කාරණය සහ මෙම සිදුවීම වල ඇති බරපතළ මෙන්ම සංවේදී ස්වභාවය නොතේරීම ජාතික ඛේදවාචකයකි.
ඔසී ගිහින් ආයේ ඇවිත් තුර්කි ගිහින් කොළඹ ආව ජමීල්
මීට සම්බන්ධ තෙවැනි කාරණය ගැන විමසා බැලීමද වැදගත් වන්නේ ඒ නිසාය. එනම් බුද්ධි අංශ සමග සම්බන්ධතා පැවැත්වූයේ යැයි කියන ජමිල් නමැති පුද්ගලයාය. මෙම සිද්ධි අධ්‍යනයද ඉතාම වැදගත් කාරණයකි. 1982 දෙසැම්බර් මස 18 වැනිදින උපත ලබනු ලැබූ අබ්දුල් ලතීෆ් ජමිල් මොහොමඩ් නමැති පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ ප්‍රකට පාසලක ඉගෙනුම ලැබූ ඉහළ මධ්‍යම පන්තියට අයත් පවුලක සාමාජිකයෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියාවක් සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ඔහු රැඩිකල්කරණයට ලක්වන්නේ එහිදීය. ඉන් පසු ඔහු 2013 වර්ශය්දී මෙරටට පැමිණ ඇති අතර සති කිහිපයක් ඇතුළත ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදී සංවිධානයේ මතවාදයට නැඹුරුව මෙරට පුද්ගලයින් පිරිසක් ඒකරාශී කරගෙන පර්ල් ඔෆ් විස්ඩම් නමැති ආයතනය ආරම්භ කර තිබේ.
ඉන් පසු ඔහු 2012 නොවැමබර් 12 වන දින තුර්කිය හරහා සිරියාවට යෑමේ බලාපොරොත්තුවෙන් එහි ගොස් ඇති අතර එය අසාර්ථක වූ පසු වහාම යළිත් මෙරටට පැමිණ තිබේ. පැමිණීමෙන් පසු ඊට පෙර ආරම්භ කළ සංවිධානයේ සමාජිකයින් ඒකරාශී කරගෙන ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදී සංවිධානයේ ක්‍රියාකාරකම් ප්‍රචාරය කිරීම සහ පිරිස් බඳවා ගැනීම සඳහා ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සංවිධානය ආරම්භ කර තිබේ. තම සංවිධානයේ සාමාජික මොහොමඩ් හුස්නිගේ මංගල්‍යයට සහභාගී වීම සඳහා 2016 ඔක්තෝම්බර් 14 වැනිදින ඔහු කල්මුණේට ගොස් ඇති අතර ඔහුට සහරාන් හමුවන්නේ එහිදීය.
ජමීල්ගේ අන්තවාදී කටයුතු පිළිබඳ පළමු බුද්ධි අංශ වාර්තාව වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහා අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලබන්නේ 2015 ජූලි 20 වැනි දිනය. ඉන් පසු අවස්ථා හතරකදී මෙම පුද්ගලයා ගැන විමර්ශනය කරන ලෙස ඉල්ලා රාජ්‍යය බුද්ධි සේවාව ලිඛිත වාර්තා යවා ඇත. අදාළ වාර්තා අනුව 2018 අප්‍රේල් 12 වනදින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ජමිල් කැඳවා ඇතත් සුළු ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු නිදහස් කොට ඇත. ජමිල් දෙහිවලදී තම බෝම්බය පුපුරුවාගෙන මියැදෙන්නේය.
පාස්කු දින ප්‍රහාරය සිදුවීමෙන් පසු රාජ්‍යය බුද්ධි සේවාව වහාම සිදු කරනු ලබන්නේ එම ආයතනය විසින් වසර ගණනාවක් තිස්සේ විමර්ශනය කරමින් තොරතුරු රැස්කරනු ලැබූ සැකකරුවන් ගැන සහ ඔවුහු සිටින ස්ථාන වහාම සොයාබැලීමය. ජමීල් සිටි ස්ථානය ගැනද හෙළිදරව් වන්නේ ඒ අනුව මිස ඔහු වක්‍රව හෝ ඍජුව බුද්ධි අංශ සමග සම්බන්ධ වූ බවට සනාථ වන කිසිඳු සාක්ෂියක් නොමැත.
මෙහිදී මතක තබා ගැනීමට වටිනා කාරණයක් තිබේ. එනම් මෙම මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවෙන් මියගිය බහුතර ත්‍රස්තවාදීන් ඉහළ මැදපන්තියට අයත් ආර්ථික වශයෙන් ඉතාම ශක්තිමත් සහ විදේශ රටවල පවා අධ්‍යාපනය ලැබූ අයවලුන්ය. එවැනි පිරිසක් කිසියම් අයෙකු බලයට ගෙන ඒම සඳහා සියදිවි නසා ගත්තේ යැයි පිළිගැනීම සාමන්‍යය දැනුම පිළිබඳ කාරණයකි.
පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සමාජය පුරා ව්‍යාප්ත වී ඇති ප්‍රධාන මිත්‍යාවන් තුනකට පාදක වී ඇති අබු හින්ද්, පොඩි සහරාන් සහ ජමිල් නමැති සිදුවීම් තුන නිවැරදිව අවබෝධ කරගැනීම සඳහා ඇති මූලික සත්‍යය කාරණා ගැන දැන් ඔබට පැහැදිළිය. මෙම සිදුවීම් තුනම අතිශය සංවේදී තොරතුරු ඇතුළත් බුද්ධි මෙහෙයුම් තුනකට අයත් පුද්ගලයින් තුන් දෙනෙකි. මෙම සිදුවීම් මනාව අවබෝධ කරගැනීම පූර්ව විනිශ්ච මත පිහිටා සිදුකළ නොහැකිය. එසේම තවත් අයෙකු සමග ඇති වෘත්තීයමය හෝ පෞද්ගලික අමනාපකම් පිරිමසා ගැනීම සඳහා මෙම සිදුවීම් අවභාවිතා නොකළ යුතුය.
ඕනෑම සිදුවීමක සත්‍යය සොයා ගැනීම ඕනෑම අයෙකුට ඇති අයිතියකි. එහෙත් එම සිදුවීම් ඉතාම සූක්ෂම ලෙස තමන්ගේ ආඛ්‍යාන වලට සහ දේශපාලන අදහස් වලට අනුව වෙනස් කරමින් සම්පූර්ණ වැරදි චිත්ත රූපයක් සමාජ ගත කිරීම අපරාධයක් පමණක් නොව එය මානව සදාචාරාත්මක වටිනාකම් සහ මූලධර්මවලට එරෙහි වීමකි. මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය වටා ඇති කරුණු විවිධ මට්ටමින් අවභාවිතා කරමින් බොහෝ දෙනෙකු සිදුකරන අර්ථකතන වල ගමනාන්තය ඇත්තේ වින්ධිතයින්ට යුක්තිය ඉටුකිරීමට වඩා තම පෞද්ගලික අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමය. එහිදී රටක ජාතික ආරක්ෂාවට අයත් සියුම් තැන් වලට මොවුහු සිදුකරණ පිළිසකර කළ නොහැකි හානිය අතිශය බිය ජනක වේ.
දෙමළ මක්කල් විදුතලෙයි පුලිකල් පක්ෂයේ නායක මෙන්ම නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වූ සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ මාධ්‍යය ලේකම් ලෙස කටයුතු කරනු ලැබූ අසාද් මවුලානා විසින් සිදු කරඇති කටයුතු ගැන විමසිය යුත්තේ මෙම මූලික කාරනා සිහියේ තබාගෙනය. එක්සත් රාජධානියේ සරණාගතබාවය ලබා ගැනීමේ එකම අරමුණින් සිය පවුල සමග මෙරටින් පැන ගොස් ඔහු ඔහුගේම කතාවක් නිර්මාණය කර තිබේ. ඔහුගේ එකම අරමුණ තම පෞද්ගලික ජීවිතයට තරජනයක් ඇතිබව පවසමින් සිය පවුල සමග වෙනත් රටක රැකවරණය ලබාගැනීමය.
මවුලානගේ සිදුවීම ජමිල් හෝ පොඩි සහරාන්ගේ සිදුවීම් වලට සාපේක්ෂව වෙනස්ය. පිල්ලයාන් සමග සම්බන්ධ වන විට කිසිම වත්කමක් නොතිබූ පුද්ගලයකු වූ මෙම අසාද් මවුලානා වසර කිහිපයක් ඇතුළුත ධන කුවේරයෙකු වූයේ කෙසේද? මෙරටින් පැනයෑමට ආසන්න වන විට තම පෞද්ගලික බැංකු ගිණුමේ පමණක් රුපියල් කෝටි හතකට ආසන්න මුදලක් ඉතිරිකර ගැනීමට සමත් වූයේ කෙසේද? මොහු විසින් සත්‍යය සේ හුවාදක්වමින් සිදුකර ඇති අමූලික අසත්‍යය කාරණා මොනවාද යන්න මෙම ලිපි පෙලේ මීලඟ කොටසින් විමසා බැලීම ඉතාම වැදගත් වේ.
මතු සම්බන්ධයි
(ආරක්ෂක වාර්තාකරුවකු විසිනි)