චැනල් හතර නාලිකාව ඔස්සේ පිල්ලයාන්ගේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙස සේවය කරනු ලැබූ අසාද් මවුලානා පාස්කු ප්‍රහාරය පිටුපස සිටි මහ මොළකරු සහ මරාගෙන මැරුණු බෝම්බ කරුවන් විසින් බෝම්බ ප්‍රහාරය දියත් කළ ආකාරය සඳහන් කරමින් එම කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයේ අලුත්ම උරුමක්කාරයා බවට පත් වී ඇත. 

මේ නිසා කතෝලික පල්ලියට පමණක් නොව පාස්කු ප්‍රහාරය කරේ තබාගෙන ජිනීවා ඇතුළු යුරෝපයේ අගනගර වල සංචාරය කිරීමට අවස්ථා ලැබුණු බොහෝ දෙනෙකුට එම අවස්ථාව අහිමි කර දමා තිබේ. 

චැනල් හතර නාලිකාව විකාශය කළ වාර්තා චිත්‍රපටයෙන් පසු කාදිනල් හිමි සහ උන් වහන්සේගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පැයකට අසන්න කාලයක් තිස්සේ ජනමාධ්‍යයවේදීන් ඇමතු නමුත් එහිදී ජනමාධ්‍යයවේදීන් අසනු ලැබූ ප්‍රශ්න වලදී පූජකවරුන් දෙදෙනාගේම නිරුත්තර වූ අවස්ථා කිහිපයක් තිබුණි. 

කාදිනල් හිමිගෙන් පිටු 17000 කට වැඩි කොමිෂන් සභා වාර්තාව කියෙව්වාද, කියා අසන විට "ඒක ලොකු කාලයක් යන වැඩක්" කියා උන්වහන්සේ  පැවසුහ. 

මට නම් කාදිනල් හිමි ගැන ඇත්තේ කනගාටුවකි. සත්‍යය වශයෙන්ම පැවසුවහොත් තවත් දක්ෂ මිනිසුන් ගොඩාක් මෙන් ලංකාව වගේ රටක ඉපදීමේ පාපයක් ගෙවන මේ මනුස්සයා පව්. එහෙම නොවුනානම් අද ඔහු කාදිනල් නොව, ශුද්ධෝත්තම පාප් වහන්සේය. ඔහු එපමණකට දක්‍ෂ චරිතයකි.



චැනල් හතර චිත්‍රපටයෙන් පසු පැවැත්වූ ජනමාධ්‍යය හමුවේදී ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනා කියා උන්වහන්සේලා දෙදෙනාම ප්‍රකාශ කළද, එය මොන විදියේ දෙයක්ද? එහි ව්‍යුහය කෙසේ විය යුතුද? ඊට ඇතුළත් විය යුතු පුද්ගලයින් කවුද? කියා උන්වහන්සේලා දන්නේ නැත. මන්ද දේවධර්මය වෙළඳපොලේ විවිධ වටිනාකම් වලින් විකිණෙන යුක්තිධර්මයෙන් වෙනස්ය. ඒ නිසා උන්වහන්සේලා ජාත්‍යන්තර පරීක්ෂණයක් ගැන පුළුල් සමාජ කතිකාවක් කළ යුතු යැයි කියති. එසේ කිව්වත් උන් වහන්සේලා ආණ්ඩුවේ වගකිව යුතු නිලධාරීන් සමග සාකච්ඡා වලට සහභාගී නොවන බවද කියන්නේය. මේ හතරබීරි කතා ඇසෙන අපි හෝ මෙම ප්‍රහාරයෙන් විපතට පත් වූ වින්ධිතයන් පමණක් නොව උන්වහන්සේලා පවා උන්වහන්සේලාගේ එකිනෙකට නොගැලපෙන අදහස් නිසා උභතෝකෝටිකයක පැටලී සිටින ස්වභාවයක් දක්නට ලැබේ.

මෙවැනි වටපිටාවක මහමොළකාරයා සෙවීමට මහන්සි වෙන රටේ කතෝලික පල්ලියේ මේ ඉහළම පූජකතුමන්ලා දෙදෙනා අතර මෙවැනි සංවාදයක් රහසින් සිදුවී ඇතැයි අනුමාන කළ හැකිය.

"සිරිල් පියතුමා.. මට නිකන් පිස්සු වගේ", කාදිනල් හිමි කියන විට ඊට පෙරලා ප්‍රතිචාර දැක්වූ සිරිල් ගාමිණී පියතුමා ,"කාදිනල් වහන්ස මටත් ඒවගේ දැනෙනවා," යැයි පැවසූහ. ඉන් පසු දෙදෙනාම " බලන්නකෝ අපට දැන් දෙවියා කවුද, යකා කවුද කියලා තේරෙන්නේ නැති තරමට මේ ඔක්කොම පැටලිලානේ", යැයි කියමින් දේව යාඥාවක නිරත වූහ.

බරපතළ සමාජ අර්බුද හමුවේ ඇතිවිය හැකි යැයි අනුමාන කළ හැකි මෙවැනි සංවාද විහිලුවට ගත යුතු කාරණා නොවේ. මන්ද අපි තේරුම් ගත යුතු යථාර්තයක් තිබේ. මෙම ජ්‍යෙෂ්ඨ කතෝලික පූජකවුරුන් දෙදෙනා සැබැවින්ම අයත් අවන්නේ පැරණි පරම්පරාවටය. ඔවුහු මෙහිදී අසරණය. මුන් වහන්සේලාට තේරෙන්නේ නැති කාරණය නම් උන් වහන්සේලා ජීවත්වන මෙම වත්මන් ලෝකය උන්වහන්සේලා සිතන ලෝකයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් වීමයි.

වත්මන් ලෝකයට තොරතුරුවල සත්‍යය වැදගත් නැත. වැදගත් වන්නේ බලපු ප්‍රමාණය (විව්ස්) සහ ඊට ලැබෙන කොමන්ට් ප්‍රමාණයය. තොරතුරු වල ඇති අන්තර්ගතයටද එතරම් වටිනාකමක් ලැබෙන්නේ නැත. කාදිනල්හිමි සිරවී සිටින උභතෝකිටිකය නිර්මාණය වන්නේ මෙම පරම්පරා පරතරය නිසාය. මීට හොඳම උදාහරණය සෙහාන් මාලක වැනි තරුණ කොලු ගැටයෙකු සාමාජ මාධ්‍ය භාවිතා කරමින් වීරයෙක් වීමට උත්සහ කරන ආකාරයයි. ඒ සඳහා ඔහු තම පෞද්ගලික මුදල් පවා වියදම් කරන්නේය. ඔහුගේ හැසිරීම් දකින විට ප්‍රේමකීර්ති ද අල්විස් සහෝදරයා මිනිස් ස්වභාවයේ සදාකාලික සත්‍යය ගැන තැබූ වචන අමතක කළ නොහැකිය. එනම්, "පැසුනු උන් අකලට නැසුණු කල අකලට පැසුනු උන් කටමැත දොඩනු ඇත."

නඩු නැති හැට ගණනක් පාස්කු ප්‍රහාරයට සැකපිට නැවතත් රිමාන්ඩ්

සමාජීය ප්‍රශ්න තේරුම් ගැනීමට හොඳ කියවීමක් මෙන්ම ඒ කියවනු ලැබූ දෑ ස්වාධීනව විමසා බැලීමේ හැකියාවක් තිබිය යුතුය. එය පුද්ගලයෙකුට හිටි හැටියේ පහළ වන්නේ නැත. ඒ සඳහා විශාල කැපකිරීම් අත්‍යවශ්‍යය වේ. එසේම තමන්ගේ ආසාවන් සහ පිළිගැනීම් වලට අනුව පමණක් සිදුවීම් සිදුවී ඇතැයි අනුමාන කිරීම පුද්ගලයෙකු විසින් සමාජයට පමණක් නොව එම පුද්ගලයාටම සිදුකරගන්නේ විශාල හානියකි. පාස්කු ප්‍රහාරය දඩමීමා කරගනිමින්  නළුවන් බවට පත්වී ඇති බොහෝ දෙනෙකුට සිදුවී ඇත්තේ එයයි.  මොවුන්ගේ කටයුතු නිසා සමාජය තවදුරටත් අවිද්‍යාව වෙතට තල්ලු වී ඇත. සමාජ මාධ්‍යය විසින් සිදුකොට ඇත්තේ මෙම  විපරීත මානසිකභාවයට වෙළඳපොළක් නිර්මාණය කිරීම සහ එහි නියැලෙන්නන්ට මානසික සතුටක් සහ ඉතාම සුලු මුදලක් ගෙවීමය.  

තම ජීවිතයේ වටිනාම කාලය කැපකරන අයවලුන්ට මනුෂ්‍යය ජීවිතයක වටිනාකාම සාමාජ මාධ්‍යයට වඩා බොහෝ ඈත ඇති දෙයක් බව තේරුම් ගැනීමට හැකියාවක් තිබේද යන්න ගැටලු සහගතය. අඩුම තරමින් සේපාල් අමරසිංහ, භාරත තෙන්නකෝන් වැනි මොළයක් ඇති මිනිසුන් කියන දෑවලින් හෝ මොවුන් ඉගෙන ගත යුතුය. එසේ නැත්තම් ජනා-ප්‍රියා, ලකා-සිකා, සිරිල් අයියා වැනි සැබෑ හාස්‍යය උත්පදකයින්ගේ නිර්මාණ වල ඇති අන්තර්ගත  උත්ප්‍රහසනයන් ගැඹුරින් හැදෑරිය යුතුය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරණ බොහෝ දෙනෙකු මුහුණ දී සිටින ව්‍යාකූලත්වය නම් ඔවුන් බොහෝ දෙනකු ජනාධිපති කොමිෂන් සභා හෝ පාර්ලිමේන්තු කාරක සභා වාර්තා වලදී ප්‍රකාශ වූ අදහස් ගැන මුළුමනින්ම විශ්වාස කිරීමය. ඔවුහු එම වර්තාවල තමන්ට හිතකර යැයි දැනෙන සියල්ල තමන්ගේ කරගෙන එය සත්‍යය යැයි පිළිගැනීමට බල කරති.  සමහරවිට එම කරුණු එකම සත්‍යය යැයි ඔවුන්ද අදහන අවස්ථා නැතුවා නොවේ. ධර්මෝන්මාදයෙන් ඉස්මුරුත්තා වූ කොල්ලන් පිරිසක් විසින් සිදුකළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසර හතරක් තිස්සේ ගොඩනැගුනු මෙම මානසික මෙහෙයුම හිටි හැටියේ පුපුරා යමින් අලුත් නළුවෙක් ඊට ආදේශ වන්නේය මේ වටපිටාව තුළය. ඒ අසාද් මවුලානාය.

අසාද් සිදු කළේ පාස්කු ප්‍රහාරයෙන් පසු හතු පිපෙන්නා මෙන් බිහි වූ කතාකාරයින් ( ස්ටෝරිටෙලර්ස්) කාලයක් තිස්සේ ඉතාම මහන්සියෙන් අහු මුළු වල ලගිමින් වක්‍රාකාරයෙන් කියනු ලැබූ කතාවල හරි අයිතිකාරයා බවට පත් වීමය. දැන් ඒ සමස්ථ කතාව ඔහු ගේය. ඒ පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට හෝ ඉන් පීඩාවට පත්වූ අයට සාදාරණය ඉෂ්ඨ කිරීමට නොවේ. ඔහු කරන්නේ ඔහුගේ ගේම් එක පත්තු කර ගැනීම සඳහා හන්දි ගානේ යුක්තිය ඉල්ලා කෑ ගසනු ලැබූ සියලුම පාර්ශ්වයන්ගේ ප්‍රකාශ නොකළ නමුත් පුළුල් ලෙස පිළිගත් අලුත්ම නායාකයා වීමය. 

අසාද් මෙම මනෝවිද්‍යාත්මක මෙහෙයුම ගහපු හැටි හැදෑරිය යුතුමය. ඔහු මොළේ ඇති දුර්ගුණ රාශියක් ඇති පුද්ගලයෙකි. තම මෙහෙයුමට ඇතුළත් කළ යුතු අය සහ නොකළ යුතු අය ගැන ඔහුට අවබෝධයක් තිබුණි. එසේම සමාජයක සිදුවූ බරපතළ සිදුවීමක් ගැන මහා බොරුවක් නිර්මාණය කිරීමෙන් ඇත්තට සිදුවූ අනෙකුත් සිදුවීම් වලටද අඩු තක්සේරුවක් ලැබේ. අසාද් මවුලානා පළමුව එක්සත් ජාතීන් ඉදිරියේදීත් පසුව චැනල් හතර නාලිකාව යොදා ගෙනත් සිදුකොට ඇත්තේ මෙය නොවේ යැයි කිසිවෙකුට කිව හැකිද?

මෙහි ඇති හොඳම විහිලුව වන්නේ කාදිනල් හිමි, සිරිල් ගාමිණී පියතුමා, වගේම පාස්කු ගැන කතා කරපු සියලුම කතෝලික භක්තිකයින් විසින් ෂයිනි මවුලවි මඩකලපුවේ හිරේදී මුණගැසීමෙන් පසු, "උඹ නියම මුස්ලිම් කාරයෙක් නෙමෙයි" කියා බැණුම් ඇසු ඉස්ලාම් භක්තික වන අසාද් මවුලානා ඔවුන්ගේ ඔලුව උඩ තබා ගැනීමය. මේ සියලුම දෙනා අසාද් මවුලානාගේ වචන නිල වශයෙන් පිළිගෙන අවසන්ය. ඒ ගැන වීඩියෝ පට සදා අන්තර්ජාලයට මුදාහැර අවසන්ය. තවත් දින කිහිපයකින් කතාව වෙනස් වුණොත් අසාද් මවුලානා කියන්නේ බොරු කියා රෙද්දක් ඇඳගෙන නම් කියන්නට බැරිය.

චැනල් හතරේ චිත්‍රපටයට ගෝඨාබය රාජපක්ෂ මහතාත් දීර්ඝ ප්‍රතිචාරයක් ලබා දී අවසන්ය. ඒ ලිපියේ ඇමෙරිකා එක්සත් ජනපදය මෙම පාස්කු ප්‍රහාරය ගැන සීඅයිඒ සහ එෆ්බීඅයි කළ නිගමනය ගැනද සඳහන් වේ. තම පුරවැසියන් පවා මිය ගිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යළිත් විමර්ෂණ අවශ්‍යය නැති බව ලිඛිතව කියන්නේය. මන්ද එක්සත් ජනපදය මෙම සම්පූරණ ප්‍රහාරය විසඳාගෙන අවසන්ය. පාස්කු ප්‍රහාරය ගැන මීට මාස කිහිපයකට පෙර ට්වීට් දැමු ඇමරිකානු තානාපතිනියට නොනිල අවවාදයක් ඇගේ ඉහළ බලධාරීන්ගෙන් ලැබුණේ යැයි කියන්නේ ඒ නිසා විය හැකිය. 

ඒ කෙසේ වෙතත්, පිට රට විශේෂඥයින් යොදා පරීක්ෂණයක් ඉල්ලීමට බලකරන කාදිනල් හිමි ඇතුළු කණ්ඩායම ඇමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව පාස්කු ප්‍රහාරය සහ එහි පිටුපස සිටින පුද්ගලයින් ගැන නිකුත් කළ තීන්දුව පිළිගන්නේ නැත්ද? එසේනම්, ඔවුහු ඇමෙරිකානු තානාපතිනිය හමුවී තම අප්‍රසාදය පළකොට නව පරීක්ෂණයක් සඳහා එෆ්බීඅයි සහ සීඅයිඒ කැඳවන ලෙස යෝජනා කරන්නැයි ඉල්ලා නොසිටින්නේ ඇයි?  

චැනල් හතර වීඩියෝ එකෙන් පසු ඉතාම පුදුම සහගත දෙයක් සිදුවී ඇත. රටේ සහ රටින් පිට ඉන්න එනම් පොදුවේ සමාජ මධ්‍යයේ හඳුන්වන බයියෝ ටෝයියෝ සහ ඒ අතරමැද ඉන්න ඔක්කොම කතා කළත් ආණ්ඩුව සයිලන්ස්ය. එසේම ආරක්ෂක අමාත්‍යාංශය ඔහේ වගේ වගක් නැතුවා සේ ඉන්නේය. විදේශ කටයුතු අමාත්‍යාංශයද මර නින්දේය. ආරංචි හැටියට සරෝජා සිරිසේන මහත්මිය හතර වටේ කතා කරලා මේකට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කරන්න උත්සහ කළ බව සඳහන් වේ. ඊට  " පස්සේ බලමු .. ඔහොම යන්න දෙන්නකෝ..." කියලා උත්තරයක් පමණක් ලැබුණු බවයි පැවසෙන්නේ.

ආරක්ෂක ලේකම් ගේ තාරා ගේ ආගමනය හා කඩොල් ඇත්තු ජනපතිට

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න  මෙවැනි දෙයක් හීනෙන්වත් සිදුවෙලා නැති විදිහට හැඟවෙන ලෙස කටයුතු කරන බව පෙනේ. මේ ගැන නිවේදනයක් නිකුත් කිරීම වෙනුවට බුරිය පෙනෙන නළනාවගේ චිත්‍රයක් කවරයට දමා "තාරාගේ ආගමනය" නමැති නවකතාව එළිදැක්වූවා විතරක් නොව මේ රටේ ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය එහි ප්‍රචාරණ කටයුතු සිදුකිරීමට භාවිතා කරන්නේය. එය ඉතාම අප්‍රසන්න කටයුත්තක් විතරක් නොව මොවුන්ගේ මොළයේ ප්‍රමාණය ඔප්පු කරන සිදුවීමකි. ඒ ගැන විදේශ රටක ජීවත් වන විශ්‍රාමික හමුදා නිලධාරියෙකු මෙසේ කිව්වේය. "ලෝකයේ ඕනෑම රටක ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කෙනෙක් කියන්නේ ඉතාම කාර්ය බහුල චරිතයක්. එත් ලංකාවේ  නවකතා සහ සින්දු ලියමින් පුල්ම ආතල් එකේ ඉන්න බුවෙක්ගේ චරිතයක්. මේ මිනිස්සුන්ට ඇත්තටම පිස්සුද?", ඔහු මහත් වේදනාවෙන් ඇසුවේය.

නමුත් ආණ්ඩුව මෙම අසාද් මවුලානා කතාව හැදුවා වන්නට බැරිද? මේ පුදුම සහගත නිහැඬියාවෙන් ඔවුහු ඔප්පු කරන්නේ එයද? අසාද් මවුලානා දැන් පාස්කු ප්‍රහාරයේ එකම අයිතිකාරයා බවට පත්වී ඇත. ඉන්දියාවේ රෝ එකේ සල්ලි වලින් සහ නිර්දේශයෙන් ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ ආචාර්යය උපාධියක් කරමින් සිටි මවුලානා ජිනීවා යන්නේ මේ පල්ලියේ විලාපය අවසන් කිරීමටද? එය කරන්න පුළුවන් හොඳම ආකාරය තමයි, සමාජය පුරා කුතුහලය දනවන එත් කිසිම පිළිගත හැකි සාක්ෂියක් නැති විශාල බොරුවක් සමාජ ගත කරන එක. (දෙවැනි ලෝක යුද්දයේදී පොඩි පොඩි මෙහෙයුම් වලට නොයා පරමාණු බොම්බේ දාලා ට්රූමන් වැඩේ ඉවරකලා වගේ.)  ඒ විශාල බොරුවත් එක්ක ඇත්තටම සිදුවුණු පරණ දේවල් ඔක්කොම සම්බන්ධ කරන්නේය. ඉන් පසු එම බොරුව සහ ඒ සමග බැඳුනු සියල්ල සමාජගත වෙලා ඒකට අලුත් කතාවක් වගේම ඒකට අවසානයක් ලැබෙනවා. අවුරුදු කිහිපයක් අතුරුදහන් වෙලා හිටිය මනුෂ්‍යයෙක්ගේ  මළ මිනිය හම්බුනා වගේ කටයුත්තක්. එතකොට පශ්චාත් මරණ පරීක්ෂණය ලේසියි. ඒ පරීක්ෂණයෙන් අනෙක් අයගේ ඒවත් ඉවර කරන්න පුළුවන්.

මවුලානගේ බොරුව  ඒ විදිහට සමාජ ගතවෙලා මාස කිහිපයක් ගිය පසු මවුලානම ඔප්පු කරනවා මම කිව්වේ බොරුවක් කියලා. "මම හිටියේ කාමරයක් ඇතුළේ ජනමාධ්‍යට කතා කරමින්; මම ටී පනස් හයක් තියා සෙල්ලම් පිස්තොලයක්වත් අල්ලලා නෑ කියලා. මම කිව්වේ මට ෆීල්ඩ් එකේ හිටිය අය කිව්ව දේවල් විතරයි කියලා," මවුලානා කිව්වොත් සිදුවන්නේ කුමක්ද? ඔහු එසේ කිව්වත් නැතත් ඒවන විට ආණ්ඩුවට ඕන වැඩේ විතරක් නෙමෙයි මවුලානගේ වැඩෙත් සිදුවෙලා ඉවරයි. එතකොට චැනල් හතර වගේම පල්ලියත් හාන්සිය.

TELEMMGLPICT000195203354 trans NvBQzQNjv4BqaivqAvBJWkUV8VzepAMjBUSXDVobHLbZZp A Kknc4M.jpegජමිල්

චිත්‍රපටයට අනුව ටාජ් සමුද්‍රා එකේ බොම්බේ පුපුරුවා ගන්න ආපු ජමිල්ගේ අතේ තියෙන දුරකථනය ගන්න කියා කෝල් එක එද්දී මවුලානා මඩකලපුවේලු. ජමිල්ට කතා කරන්න ඇත්තේ ඔහුගේ බිරිඳ හරි ජමිල් නොදන්න ජමිල්ගෙන් තොරතුරු ගත් බුද්ධි මූලාශ්‍රය වෙන්න පුළුවන්. මන්ද බෝම්බ පුපුරද්දී  ජමිල් ගැන තොරතුරු හොයන්න බුද්ධි මෙහෙයුමේ සිටිය අය බෝම්බ පුරුදද්දී ඔහුගේ බිරිඳට කතා කරලා ජමීල් කොහෙද කියා අහන්න ඇති. ඒ වෙලාවේ ජමීල්ගේ බිරිඳ ජමිල්ට දුරකථන ඇමතුමක් ගන්න උත්සහ කළා වෙන්නත් පුළුවන්. ඊට පස්සේ පවුල ගැන මතක් වුණ අවුලයි - ධර්මෝන්මාදයයි අතර පැටලුණු ජමිල් හැකි තරම් ඈතට ගිහින් සුළු විනාශයක් වෙන විදිහට මියගියා වෙන්නත් පුළුවන්. මේවා රොකට් සයන්ස් නොවේ. මේවා මානව හැසිරීම්ය.

ඒත් චිත්‍රපටයේ අධ්‍යක්‍ෂක මවුලානාගෙන් අහන්නේ නැහැ, හරි එතකොට මඩකලපුවේ සියොන් දේවාලේ බෝම්බ පිපිරුව එක කොහොමද කළේ  කියලා. "ඔබ මොහොමඩ් අසත් සමග ඒකට ගියාද? එහෙම නැත්තම් මොහොමඩ් අසත්  එහේ ගිය එක දන්නෙවත් නැත්ද?  මඩකලපුවේ සිටි ඔබට මහා මොළකාරයා කියන පුද්ගලයා දුන්නයි කියන කෝල් එකට සාක්ෂි තියෙනවද? ආදී ප්‍රශ්න මෙම බෝම්බ ප්‍රහාරයේ සියලු සිදුවීම් සමග ගැලපීමෙන් ඇසිය හැකිය. ඒත් ඒවා අසන්නේ නැත.

ඒවගේම චිත්‍රපටයේ මුලින් දැමීමට කල්පනා කළ කෑලි ඉන්දියාවේ මැදිහත්වීමෙන් ගැලවුණේ කවුරු බලපෑම් කළ නිසාද? එතකොට රාජපක්ෂ කෙනෙකු ඉන්දීය රෝ සංවිධානයේ ප්‍රභා කියා කාන්තාවක් පිල්ලයාන්ට හඳුන්වා දීම සහ මවුලානාට මුදල් ලබා දීම මවුලානගේ ප්‍රකාශයේ තිබුණු නමුත් පසුව චිත්‍රපටයෙන් හිටි හැටියේම වාරණය වූයේ මවුලානාට ඉන්දියාවෙන් ලැබුණු දැඩි අවවාදය නිසාද?

ඇත්ත කතාව නම් මේ චිත්‍රපටියේ තිර රචනයත්, නිෂ්පාදනයත්, අධ්‍යක්ෂණයත් මවුලාගේය. මවුලානාට සහය වූයේ කවුද යන්න වෙනම සොයා බැලිය යුතු කාරණයකි. චැනල් හතරේ කණඩායම සිදුකර ඇත්තේ මවුලානාගේ නියෝග මත කුලී පදනම යටතේ සිය සේවාව ලබා දීම පමණි. දැන් වැදගත් වන්නේ මවුලානාට බෝම්බ ප්‍රහාරයෙන් අවුරුදු පහකට අසන්න කාලයකට පස්සේ  මේ පිටපත දුන්නේ කවුද කියන එකය. එය දේශපාලන ප්‍රශ්ණයකි .

බලය තියෙන විට මොළේ නෑ; මොළේ තියෙන විට බලේ නෑ කියා කතාවක් තිබේ. ඒත් බලයක් නැති මොළයක් ඇති එකෙක් නොසිතු අවස්ථාවක නොසිතු විලාසෙන් රජෙක් වුණාම ඇතිවෙන දේ ගැන අපි කතා කරලා නෑ. අපි එහෙම අහලත් නෑ. අපි එහෙම හිතලත් නෑ. මේ රටේ ඉතිහාසේ ඒවාගේ දෙයක් සිදුවන පළමු සිදුවීම තමයි මෙදින වල සිදුවන්නේ.

කරුණා අම්මාන්ගේ ප්‍රකාශයෙන් දේශපාලන වෙස්මුහුණු ගැලවේ!

කරුණා අම්මාන්

ඔය කවුරු බයිලා ගැහුවත් යුද්දේ සෑහෙන ප්‍රමාණයක් ඉවර කළේ චන්ද්‍රිකාය. චන්ද්‍රිකා යුද්ධ කළේ මොළෙන් ය. ඊට පස්සේ ඇයට සහය වුණේ වික්‍රමසිංහය. කරුණාට තායිලන්තයේ සතාහිප් වලදී ස්ත්‍රී පහස ලබා දී කරුණා එල්ටීටීඊ කුලී හමුදාවේ නායක කමින් අයින් කළේ රනිල්ය. එසේ  නොවුණේ නම් අද කරුණා ප්‍රිගොෂින් කෙනෙකි. එහෙත් සතාහිප් නුවරදී ලැබුණු සැපෙන් පසු කරුණා සැප ඇත්තේ වන්නියේ නොවන බව හොඳින් තේරුම් ගෙන අදටත් නැගෙනහිර රජා මෙන් ජීවත් වන්නේය. මේවා නියම මොළ වලින් ගහපු ගේම් මිස අහම්බෙන් සිද්ධ වුණු දේවල් නොවේ. 

2005 මහින්ද ජනාධිපති වුණේ රනිල් පැරදුනු නිසා නොවන බව ඇත්ත දන්න අය දනිති. ඒත් 2005 ජනාධිපති වූ මහින්දට මුණ ගැසුනේ හෙම්බත් වුණු ලැජ්ජාවෙන් බේරෙන්න සටන් කරපු කොටි සංවිධානයකි. ඒ නිසා ගේම ඉවර කිරීමට හැකිවිය. දැන් මේ කතා ඔක්කෝම අරගෙන අසාද් මවුලානා නමින්  පුද්ගලයෙකු කරළියට පැමිණය. මේකා කපටියාය. ඒත් චෙස් බෝඩ් එක සහ ඉත්තෝ ඔක්කොම රනිල් අතේය. ආණ්ඩුවේ අමාත්‍යංශ වල සිටින බොහෝ දෙනෙකුට  "හිස් එක්සලන්සි ද රනිල්" දුටු විට සිදුනොවන්නේ සුළුදිය පහ නොවන එක විතරය. මේ නිසා ලොක්කා කියන තෙක් කිසි දෙයක් කරන්නේ නැත.  

ලොක්කා ගසා ඇත්තේ වෙනම ගේම් එකකි. මේ නිසා ලොක්කාගේ බලයේ නීත්‍යානුකූල බව තවත් වැඩි වේ. ඒක රෝ සංවිධානයත් එක්ක එකතු වෙලා ගැහුවද කියල දැනගන්න ලැබෙන්නේ මවුලානා ඔහුගේ ආචාර්යය උපාධිය ඉවර කරන්න කිසි කරදරයක් නැතුව ඉන්දියාවේ එන විටය. රනිල් දුර්වල කිරීමට කිසිවකුට හෝ අවශ්‍යය නම් මතක තබාගත යුතු සියුම් දෙයක් තිබේ. එනම් රනිල් බය මහා බොරු වලට නොව සියුම් සත්‍යයන් වලටය. දේශපාලනයේදී වැදගත් වන්නේද එයයි. මවුලානා සිදුකොට ඇත්තේ සියුම් සත්‍යයන් මහා බොරුවකින් වසා දැමීමය. මවුලනාගේ තිරපිටපත රනිල් ලිව්වා විය නොහැකිය. එහෙත් රනිල් මවුලානාගෙ තිර පිටපතින් වැඩ ගන්නේ එහෙමය. හරියටම කිව්වොත් ගෝඨා බලයට ගෙන එන්න ධර්මොන්මාදයෙන් ඉස්මුරුත්තා වූ පිස්සු කොල්ලෝ ටික කරපු විනාශය උදව් වුණා වගේය. මේ සියල්ල අවසානයේ  මවුලානා නියම නා නා බව ඔප්පු කරමින් මවුලානා අල්ලාගෙන ආණ්ඩුව ගැසූ ගේම් එකේ රසම හරිය වේදිකාගත වනු ඇත. ඉතින් ආණ්ඩුවේ බමුණු නිහැඩියාව ගැන කලබල නොවිය යුත්තේ මේ නිසාය.

(විශේෂ ලියුම්කරුවෙකු විසිනි) 


[ ලේඛකයා විදේශ රටක ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන අතර ඔහු 2006 දී  ශ්‍රී ලංකා රජය සහ එල්ටීටීඊ අතර ජිනීවා නුවරදී සිදුවූ සාම සාකච්ඡා වාර්තා කිරීම සඳහා විදේශීය ජනමාධ්‍යය ආයතනයක් නියෝජනය කළ ජනමාධ්‍යවේදියෙකි ]

(සංවාදයට විවෘතයි )

මෙම ලිපියෙන් කිසිවකුට හෝ කිසිඳු පාර්ශවයකට කිසියම් හෝ අගතියක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිලිගනිමු.- සංස්කාරිකා
 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්