එළඹ තිබෙන්නේ තවත් එක් සාහිත්‍ය මාසයකි.
පාලක තන්ත්‍රය වෙතින් සාහිත්‍ය මාසය කෙරෙහි එතරම් උනන්දුවක් නොතිබුණ ද වෙනත් බොහෝ ආයතන පද්ධති මේ සම්බන්ධයෙන් ඔවුනොවුන්ට හැකි පරිදි දායකත්වය සැපයීම මඳ හෝ සතුටකි; සැනසුමකි.
 
344248089 1303886720543089 5966606405502813168 n
 
විශ්වවිද්‍යාල අධ්‍යයන ප්‍රජාව ද මේ වන විට සාහිත්‍ය ඇසුරෙන් මඳින් මඳ ඉවත් වෙන ආකාරය වසර ගණනාවක සිට බලා සිටින්නේ වෙදනාවෙන් පිරුණු හදවතින් යුතුව ය. ඒ අතුරෙන් යම් හෝ සිතට සැනසුමක් ගෙන දුන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙහෙයවනු ලබන ‘‘මාගේ දේශය අවදි කරනු මැන’’ සාහිත්‍ය උළෙල ය. කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් ද ‘‘බිහි දොර අබියස’’ යන මැයෙන් එකල සාහිත්‍ය උත්සවයක් සංවිධාණය කරනු ලැබිණ. නමුදු කලකින් එය පැවැත්වුවා ද නැද්ද යන්න පවා මතකයේ නොමැත. සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් ‘‘පිරිහිඹිණි දියවර’’ යන මැයෙන් ද සාහිත්‍ය උත්සවයක් සංවිධානය කරනු ලැබිණ. තවත් විශ්වවිද්‍යාල තුළ ද එබඳු සාහිත්‍ය උත්සව පැවැත්වූ බවට මතකයක් පැවතිය ද වසර කිහිපයකින් ඒ සම්බන්ධයෙන් කිසිවක් වාර්තා නොවිණ.
එබදු වාතාවරණයක් පවතින වටපිටාවක කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත හොරණ ශ්‍රිපාලි මණ්ඩපයේ සන්නිවේදන අංශයේ ශිෂ්‍ය ප්‍රජාව විසින් පසුගිය 07වන දින සංවිධානය කරන ලද සාහිත්‍යමය කටයුත්තකට සම්බන්ධ වීමට මට අවස්ථාව ලැබිණ.

277754324 387548013375946 3007819174337950337 nමෙම සාහිත්‍යමය කටයුත්ත සංවිධානය කරනු ලබන්නේ සන්නිවේදන අංශයේ අවසන් වසර ශිෂ්‍ය ප්‍රජාව විසිනි.
 
මෙහි විශේෂත්වය වන්නේ දැනට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක සන්නිවේදන අංශයක් මගින් මෙහෙයවනු ලබන එක ම සහ ප්‍රථම රේඩියෝ වැඩසටන් මාලාවක එක් අංගයක් ලෙස මෙය පැවැත්වීම ය.
 
මේ සදහා තම දැනුම, අවබෝධය, කාලය සහ ශ්‍රමය වගුරුවනු ලබන්නේ එම අංශයේ අවසන් වසර ශිෂ්‍ය ප්‍රජාව විම ද සුවිශේෂ ය.

ඔවුන් පැවසු පරිදි එම ගුවන් විදුලි නාලිකාවේ මෙහෙයවීම් කටයුතු සිදු කෙරෙන්නේ සැම වසරක ම අවසන් වසරේ අධ්‍යයන කටයුතුවල නිරත වන ශිෂ්‍ය ප්‍රජාව විසිනි. ඔවුන් එකිනෙකා; වැඩ සටහන් නිෂ්පාදක හෝ නිෂ්පාදිකාව, නියෝජ්‍ය නිෂ්පාදක හෝ නිෂ්පාදිකාව, ඉදිරිපත් කරන්නා හෝ ඉදිරිපත් කරන්නිය යනාදි වශයෙන් ඒ ඒ විෂය කොටස් එක් එක් සිසුසිසුවියන් අතරේ බෙදාගෙන ගුවන් විදුලි නාලිකාවේ කටයුතු මෙහෙයවනු ලබයි.
 
376424132 779767137487363 5377865397009321066 n

මා සම්බන්ධ වූ වැඩසටහන නම් කර තිබෙන්නේ ‘‘Ths Book Gallery’’ යන මැයෙනි. එහි දී මෙතෙක් සිදු කර තිබුණේ කිසියම් සම්මානිත හෝ විශේෂයෙන් පාඨක අවධානය දිනාගත් කෘතියක රචකයා හෝ රචකාව Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගනිමින් කෘතිය පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමකි. මෙවර ඔවුන් එහි නව පියවරක් තබමින් කිසියම් සාහිත්‍යමය මාතෘකාවකට අදාළව ඔවුන් විසින් තොරාගනු ලැබූ සම්පත් දායකයන් පිරිසක් සමග සජීවි සංවාදයක් පැවැත්වීමට තීරණය කර තිබිණි. ඔවුන් තෝරාගෙන තිබු මාතෘකාව වුයේ ‘‘නූතන සාහිත්‍යයේ විචාරාත්මක පාඨකයා’’ ය. සම්පත් දායක දායිකාවන් ලෙස: සමන් වික්‍රමආරච්චි, කාංචනා අමිලානි, යේෂා ප්‍රනාන්දු සහ මා තොරාගෙන තිබිණ.

එහි දී ඔවුන් මාතෘකාවට අදාළව සම්පත් දායක දායිකාවන් වෙත එක් සම්පත් දායකයෙකුට හෝ දායිකාවකට ප්‍රශ්න තුනක් ලෙස ප්‍රශ්න දොළහක් යොමු කර තිබිණ. මා අද දින ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඔවුන් තොරාගත් මාතෘකාව සමග සබැඳි මා වෙත ඉදිරිපත් කළ ප්‍රශ්න තුන සහ ඒ සම්බන්යෙන් මා ඉදිරිපත් කළ පිළිතුරු ය. මා එසේ තීරණය කළේ මගේ අදහස් අදාළ වැඩසටහනට සම්බන්ධ වූ පිරිසට පමණක් සීමා නොකර එය වැඩි පාඨක ප්‍රජාවක් අතරට ගෙන යැමේ අදිටනෙනි.
 


මෙම සංවාදය ලිඛිත බසින් නොව කථන බසින් ම ඉදිරිපත් කිරීම වඩාත් සුදුසු යැයි මට හැගුණ බැවින් මම එය ඒ ආකාරයෙන් ම ඉදිරිපත් කරමි.

‘‘නූතන සාහිත්‍යයේ විචාරාත්මක පාඨකයා’’ පිළිබඳ අපේ සාකච්ඡාව ආරම්භ කරද්දි පළමුවෙන් ම විචාරාත්මක පාඨකයෙක් කියන්නෙ කවුද කියන කරුණ පැහැදිලි කරගන්න අපි කැමතියි.

මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කලින් සාහිත්‍ය කියන්නෙ මොකක් ද, සාහිත්‍ය කලා නිර්මාණය කියන්නෙ මොකක්ද සහ විචාරය කියන්නෙ මොකද්ද කියල පැහැදිලි කරන්න මට පොඩි ඉඩක් දෙන්න..

ඇත්තට ම සාහිත්‍ය කියන්නෙ කියවන පුද්ගලයාගේ මනසේ කිසියම් භාවමය හැඟීමක් ඇති කරන්න පුළුවන් ලියවිල්ලක්. ඒ භාවමය හැඟීම විවිධ මානවලට අයත් වෙන්න පුළුවන්. ඒ කියන්නෙ දුකක්, සතුටක්, සිනහවක්, තරහක් යන ඕන ම දෙයක්.

ඒ වගේ ම එක් එක් සාහිත්‍ය නිර්මාණ කෙරෙහි එක් එක් පාඨකයෙක් හෝ පාඨකාවක් සිතන ආකාරය වෙනස් වෙන්නත් පුළුවන්. එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට සතුටක් ලැබෙන සාහිත්‍ය නිර්මාණයකින් තවත් පිරිසකට දුකක් හරි තරහවක් හරි ඇති වෙන්න පුළුවන්. ඒක සාපේක්ෂයි. විචාරය කියන්නෙත් එහෙම දෙයක්.
 
සරල ම උදාහරණයක් ගත්තොත් අපි හිතමු වසර ගණනාවක් පුරා ම අපේ රටේ පැවති සහ පවතින දුර්දාන්ත පාලන ක්‍රමය දැඩි දෝෂ දර්ශනයට ලක් කරල... එහෙමත් නැතිනම් විවේචනයට බඳුන් කරල කිසියම් සාහිත්‍ය නිර්මාණයක් හරි වෙනත් කලා නිර්මාණයක් හරි සමාජ ගතවුණා කියල. ඒ නිර්මාණය ඉතා ආදරයෙන් වැලඳගන්න: පාඨක, ප්‍රේක්ෂක හෝ රසික පිරිසක් වගේ ම ඒක දැඩි දෝෂ දර්ශනයට ලක් කරන, දැඩි විවේචනයට ලක් කරන: පාඨක, ප්‍රේක්ෂක හෝ රසික පිරිසක් ඉන්න පුළුවන්. ඒක සාමාක්‍ය තත්ත්වයක්.
සාහිත්ය විද්යාවතවත් පැත්තකින් ගත්තම ඒ නිර්මාණය විඳීමේ දී එය විඳින පුද්ගලයාගේ නැණ පමණ ද බලපානවා; ඔවුන්ගේ සාහිත්‍ය කලා ඥානයත් බලපානවා. මේ ගැන පැහැදිලි කරන අපූරු සංස්කෘත ශ්ලොකයක් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඔහුගේ සාහිත්‍ය විද්‍යාව කෘතියෙ සඳහන් කරනවා.

‘‘අවක්කාපිත ස්වයං ලොකඃ කාමං කාව්‍යපරීක්ෂකඃ
රසපාකනාභිඥොපි භොක්තා වෙත්ති න කිං රසම්’’

මහාචාර්ය සරච්චන්ද්‍ර විස්තර කරන විදියට මේ ශ්ලෝකයෙන් කියවෙන්නෙ මෙහෙම දෙයක්.

fd1 2ඒ කියන්නෙ ආහාර හදන්න පුළුවන්... සරලව ම කියනව නම් විවිධ රස සහිත විවිධ ආහාර සකස් කරන්න පුළුවන් බොහොම සුළු පිරිසකට විතරයි. ඒ වුනාට හැමෝ ම ආහාර බුක්ති විදිනවනෙ නේද...? ඒ නිසා අපි දන්නවා ආහාර සකස් කරන අය සහ ආහාර පරිභෝජනයට ගන්න අය කියල කොටස් දෙකක් ඉන්නව නෙ... අහාර... එහෙමත් නැත්නම් කෑම කන අය කිසියම් ආහාරයක් රසයි ද නැද්ද කියල කිය යි. නමුත් ඒ අය උයන්න දන්නෙ නැහැ. ඒ වගේ ම මේ ආහාරවල රස එක් එක් පුද්ගලය විඳින්නෙ එක එක විදියට නෙ... සමහර අය අකමැති ආහාරවලට තවත් සමහර අය කැමතියි. සාහිත්‍යයත් මෙන්න මේ වගේ.
 
ඒ වගේ ම තමයි කියවන ඕනෑම පුද්ගලයෙකුට තමන් කියවපු නිර්මාණය සම්බන්ධයෙන් තමන්ගෙ අදහස දක්වන්න පුළුවන්. හැබැයි ඒ හැම අදහසක් ම විචාරයක් විදියට සලකන්න පුළුවන් ද කියන ප්‍රශ්නය තියෙනවා.  මොකද නිර්මාණකරණයේ යෙදෙන පිරිස් අතර වුනත් තමන්ගෙ අදහස ඍජුවම ලියන අය වගේ ම වක්ක්‍රෝක්තියෙන්, ව්‍යංගයෙන්, වක් බිණුමෙන් ලියන අය ඉන්නවා; තමන්ගෙ ලියවිල්ල සඳහා ඒ අය විවිධ උපමා, රූපක, සංකේත යොදාගන්නවා. හැබැයි කියවන හැම දෙනාට ම ලියපු කෙනාගෙ මේ ව්‍යංගාර්ථ, වක්ක්‍රෝක්ති, වක් බිණුම් නොවැටහෙන්න පුළුවන්. නමුත් ඔහු හෝ ඇය තම තමන්ගෙ නැණ පමණ අනුව අදාළ නිර්මාණය විඳිනවා; විඳල ඒ අදහස ප්‍රකාශ කරනවා. ඒක වැරැදියි කියන්න කාටවත් අයිතියක් නෑ.
ආදරණීය
 
මම උදාහරණයක් විදියට මොහාන් රාජ් මඩවල ලේඛකයගෙ ආදරණීය වික්ටෝරියා කෘතිය ගන්නම්කො. මේ කෘතිය නිකුත් වුණ දවස්වල සාහිත්‍ය සම්මාන දිනපු ලේඛකයෙක් ම කිව්වෙ මෙහෙම අදහසක්. ‘‘අපෝ... ඒක මේ තැබෑරුම්කාරයො ගැන ලියපු එකක් නෙ...’’ කියල.

ඇත්ත... මොහාන් මතුපිට තලයෙ ලියන්නෙ තැබැරුම්කාරයන්ගෙ කතාවක් තමයි. හැබැයි ඒ කතාවෙ යටි පෙළින් ඊට වඩා ගැඹුරු: සමාජ, ආර්ථික, දේශපාලනික කතන්දරයක් කියනවා. නමුත් ඒ යටි පෙළ හැම පාඨකයකුට ම අහුවෙන්නෙ නෑ. මම ඒ කෘතිය කියෙව්වට පස්සෙ කෘතිය ගැන මගේ අදහස ඇතුළත් පිටු 77ක පොතක් (ත්‍රිමාණ කියවීමක්) ලියන්න වුණෙත් ඒ නිසා. මෙන්න මෙතනදි තමයි අපිට විචාරාත්මක පාඨකයා සහ පාඨකයා වෙන් කරල හඳුනගන්න පුළුවන් වෙන්නෙ.
 
11392851 678174075620916 541558681718891663 n
 
ඒ කියන්නෙ... විචාරාත්මක පාඨකයෙක් කියන්නෙ තමන් කියවන කෘතියෙ මතුපිට තියෙන: අකුරු, වචන, වාක්‍ය, ඡේද, පරිච්චේද කියවල ඒ දේවල්වල අන්තර්ගත අරුත් ඒ විදියට ම විචාරයක් විදියට ලියන හෝ කියන එක නෙවෙයි. අදාළ ලේඛකයා හෝ ලේඛිකාව තමන්ගෙ සාහිත්‍ය දැනුම උයෝගි කරගෙන ලියපු වචනයක් වචනයක් පාසා අරුත් ගැන්වෙන යටි පෙළ කියවගන්න පුළුවන්, කියවාගෙන ඒක අනෙකාට දනවන්න පුළුවන් කෙනා තමයි විචාරාත්මක පාඨකයෙක් විදියට මම දකින්නෙ.
මම මේකට තව උදාහරණයක් කියන්නම්.
 
පුන්සිරි සොයිසා ගායනා කරන ‘‘එගොඩත් මෙගොඩත් ගම් යා කරලා’’ කියන ගීතය ඔයාල අහල ඇතිනෙ.
 
ඒ ගීතය මතක අය පද රචනයේ මතුපිට තියෙන රූපාවලිය මවාගන්න. එතනදි අපිට දැනෙන්නෙ මේ පෙම්වතාට සහ පෙම්වතියට බාධකයක් විදියට තිබුණෙ මේ දෙන්න ගම් දෙකක ඉන්න එක කියල නෙ. ඒ ගම් දෙක යා කරල පාලම හැදුවට පස්සෙ ඒ බාධාව නැතිවුණා කියල නෙ. නමුත් මට මේ ගීතය ගැන දැනුණෙ ඊට වඩා වෙනස් අදහසක්. මං කාලයක් තිස්සෙ මේ අදහස හිතේ තියාගෙන හිටිය. ඔය ඉන්න අතරෙ මගේ මිත්‍රයෙකුගෙ ගීතයක් පටිගත කරන අවස්ථාවක ශබ්දාගාරයකට යන්න අවස්ථාවක් ලැබුණ. ‘‘එගොඩත් මෙගොඩත් ගම් යා කරලා’’ ගීතය ලියල තිබුණෙත් මම මේ කියන මිත්‍රයට ගීතය ලියපු රචකයා ම යි. ඔහු තමයි ටි. ඩබ්ලියු. කුසුම්පාල. මම ඔහුත් එක්ක කතා කරද්දි ඔහු කිව්ව පුන්සිරි සොයිස ගායනා කරපු හුඟක් ගීත ලිව්වෙ එයා කියල. අන්න එතනදි මම ඇහව ‘‘එගොඩත් මෙගොඩත්’’ ගීතය ලිව්වෙත් ඔයා ද කියල. එතනදි එයා කියනව එයා තමයි ඒ ගීතය ලිව්වෙ කියල. එතනදි මම එයාට කිව්ව මම නම් ඒ ගීතය වින්දෙ සහ කියෙව්වෙ ඔය ගීතය ඇහෙද්දි අපේ මනසෙ මැවෙන රූපාවලියට සීමා කරගෙන නෙවෙයි කියල. ඊට පස්සෙ ඔහු මගෙන් ඇහුව මම ඒ ගීතය කියවගත්තෙ කොහොම ද කියල.
 
 
 
ඇත්තට ම මගේ කිවීම තිබුණෙ රචකයා මේ ගීතයෙ මේ එගොඩත් මෙගොඩත් කියල හඳුන්වන්නෙ ගඟ දෙපස තියෙන ගම් දෙකල නෙවෙයි මේ ආදරවන්තයගෙ සහ ආදරවන්තියගෙ දෙමාපියන් කියල. ගම් යා කරල පාලම හදනවා කියන්නෙ මේ දෙපාර්ශ්වයෙම ආශිර්වාදය ලබාගන්නව කියල යන ව්‍යංගාර්ථය කියල. ඇත්තට ම ඒක එහෙම තමයි. ඔහු අදහස් කරල තියෙන්නෙත් එහෙම දෙයක්. ඔහු එය ලියල තියෙන්නෙ කිසියම් පුද්ගලයෙකුගෙ අත්දැකීමක් ඇසුරෙන්. එතනදි මේ පෙම්වතිය පෙම්වතාට යෝජනා කරාලු පැනල යන්න. ඒකට පෙම්වතා අකමැති වෙලා. අන්න ඒ අදහස තමයි රචකයා ‘‘පෙර ලෙස අබලන් ඔරුවේ නැගලා එගොඩට යන්නට ඇයි ද සිතන්නේ’’ කියල විමසන්නෙ.
දැන් තේරෙනව නේද නිර්මාණය කරන පුද්ගලයා සහ අදාළ නිර්මාණය රස විඳින පුද්ගලය අතර මොනතරම් පරතරයක් තියෙනව ද කියල. ඒ පරතරය අවම කරගන්න පුළුවන්කම තියෙන්නෙ දියුණු රසිකත්වයක් තියෙන රසිකයකුට වගේ ම විචාරකයෙකුට කියල. සාහිත්‍ය පරිශිලනය කරන පාඨකයා ද හොඳ විචාරකයෙක් වෙන්න ඕනෙ මෙන්න මේ නිසා.

පාඨකයාගේ රසිකයාගේ මෙන් ම ග්‍රාහකයාගේ වින්දනය අවදි කර ඔහුට හෝ ඇයට නිවැරැදි මග පෙන්වන්නා තමයි විචාරකයා කියන්නෙ. නූතන සාහිත්‍යයේ විචාරාත්මක පාඨකයාගේ කාර්ය බාරය කෙබඳු ද...?

මෙතනදිත් මතු වෙන්නෙ මම කලින් කියපු කාරණය ම යි. මීට අවුරුදු දහයකට කලින් හිටපු පාඨක ප්‍රජාව නෙවෙයි දැන් ඉන්නෙ. ඒ අය හිතන පතන විදිය වෙනස්, ඒ අයගෙ දැනුම අලුත්, ඒ වගේ ම දැන් ඉස්සර වගේ තමන් විඳපු නිර්මාණයක් ගැන තමන්ගෙ අදහස දක්වන්න පත්තරයකට යමක් ලියන්න හෝ ගුවන් විදුලි නාලිකාවකට යමක් ඉදිරිපත් කරන්න තරම් කාලයක් වැය කරන්න වුවමනා නෑ. සාහිත්‍ය කෘතියක් නම් කියවගෙන යද්දි ම ඒ ඒ අවස්ථාවලදි තමන්ට හැඟෙන දැනෙන දේ කොතනක හරි සටහන් කරල කෘතිය කියවල ඉවර වුණ ගමන් ම facebook එකේ ලියන්න පුළුවන්. එහෙමත් නැතිනම් තමන්ගෙම කියන youtube නාලිකාවක් තුළින් කියන්න පුළුවන්. හැබැයි ඒ හැම ලියවිල්ලක් ම සාර්ථක විචාර ද, හැම ඉදිරිපත් කිරීමක් ම සාර්ථක විචාර ද කියන ප්‍රශ්නය තියෙනව නෙ.
 
books tom beer
අපි දන්නව නමගිය එහෙමත් නැතිනම් ජනප්‍රිය ලේඛකයකුගෙ හෝ ලේඛිකාවකගෙ නිර්මාණයක් සමාජගත වෙච්ච ගමන් ම ඒ ලේඛකයගෙ හෝ ලේඛිකාවගෙ නිර්මාණවලට කැමති පාඨක පිරිස් අදාළ කෘතිය මිලදි අරගෙන, කියවලා තමන්ගෙ අදහස දක්වනවා. ඒක නරක නැහැ. හැබැයි ඒ තමන්ගෙ අදහස දක්වන පාඨකය දක්වන්නෙ කෘතිය පිළිබඳ තමන්ගෙ දැක්ම නෙ... ඒ වගේ ම අදාළ ලේඛකය හෝ ලේඛිකාවට අදාළ පාඨකය දක්වන රුචිකත්වය නෙ... ප්‍රශ්නෙ තියෙන්නෙ මෙන්න මෙතන.

සාමාන්‍ය යෙන් මම සාහිත්‍යෘතියක් හරි වෙනත් නිර්මාණයක් හරි විචාරයට ලක් කරද්දි කිසිම විදියකින් පුද්ගලානුබද්ධ වෙන්නෙ නැහැ. මම බද්ධ වෙන්නෙ නිර්මාණය එක්ක. නමුත් නූතනයේ බහුතරයක් පාඨක පිරිස් කිසියම් සාහිත්‍ය නිර්මාණයක් පිළිබඳ විචාරය කරද්දි බොහෝ වෙලාවට පුද්ගලානුබද්ධ වෙනවා. ඒක මේ නූතන විචාරක ප්‍රජාව අතර විතරක් නෙවෙයි ප්‍රවීණ සහ ජනප්‍රිය අය අතරත් පවතිනවා. අනෙක් කාරණය තමයි විවිධ කුලකානු බද්ධය.
 
මම වසර තිහකට අධික කාලයක ඉඳල බොහෝ පොත් ජනගතකිරීම්වලට සහභාගි වන කෙනෙක්. ඒ ජනගතකිරීම්වලට සහභාගි වුනාම දැනෙන දෙයක් තමයි බොහෝ පිරිස් අදාළ ජනගතකිරීමට සහභාගිවෙන්නෙ කෘතිය නිසාම නෙවෙයි කියන එක. අන්න එහෙම පිරිස් වෙතින් සමාජගතවෙන විචාරය කියන්නෙ අපක්ෂපාති විචාරයක් නෙවෙයි කියන එකයි මගේ අදහස. එතනදි නූතන සාහිත්‍ය විචාරකයන් අතර සිටින බහුතරයක් ඉදිරිපත් කරන අදහස් සර්ව සම්පූර්ණ විචාර කියල හඳුන්වන්න බැහැ. නමුත් ඒක වළක්වන්නත් අපි කාටවත් බෑ. ඒ නිසා මම අදහස් කරන්නෙ කිසියම් පාඨකයෙක් කිසියම් නිර්මාණයක් පිළිබඳ විචාරාත්මක අදහසක් දක්වලා තියෙන පලියට ම අදාළ කෘතිය පිළිබඳ අධිතක්සේරුවකට එන්න එපා. ඔහු හෝ ඇය කරපු විචාරය අවතක්සේරු කරන්නත් එපා. ඔහු හෝ ඇය මීට පෙර කිසියම් කෘතියක් සම්බන්ධයෙන් විචාරයක් කරල තියෙනව නම්, ඔබ ඒ කෘතිය කියවා තිබෙනව නම්, ඒ විචාරය ඔබට සාපේක්ෂව හොඳ නම් ඔබ අදාළ කෘතිය කියවන්න. මොකද ඒ හැම විචාරයක් ම ඒ ඒ පුද්ගලයට සාපේක්ෂයි.
නූතන විචාරකයාට විචාර ක්ෂේත්‍රයේ පවතින න්‍යාය සහ සංකල්ප පිළිබඳ පවතින දැනුවත්භාවය කෙතරම් දුරට වැදගත් වෙනව ද...?

මගේ අදහස නම් විචාරයට න්‍යාය සහ සංකල්ප අවශ්‍ය වෙන්නෙ කිසියම් අධ්‍යයන කටයුත්තක නිරතවෙන පුද්ගලකුට හෝ කණ්ඩායමකට විතරයි. තවත් සරලව ම කියනව නම් ඔයාල වගේ විද්‍යාර්ථි පිරිස්වලට තමයි එය වඩාත් වැදගත් වෙන්නෙ. මොකද ඔයාල අතර අලුත් දැක්මක් තියෙන පිරිස් හිටියට ඒ අලුත් අදහස් සමාජගත කරන්න ඔයාලගෙ අධ්‍යයන රාමුව ඇතුළෙ ඉඩක් නෑ. අපි දන්නවා ඔයාලට උගන්වන ආචාර්යවරයා හෝ මහාචාර්යවරයා අභිභවන්න ඔයාලට ඉඩක් දෙන්නෙ නැහැ. හැබැයි මේ නූතනයේ ම විශ්වවිද්‍යාලවලට බැඳුණ ඉතාම අල්ප පිරිසක් එතැන නැහැ. ඒ අයට මගේ ගෞරවය පුද කරන්න මම මේ අවස්ථාව යොදාගන්නවා. නමුත් අපි දන්නවා බහුතරයක් ආචාර්ය මහාචාර්යවරු එහෙම නෑ. එයාල උගන්වන්නෙ එයාලගෙ ම කෘති. අදාළ නිර්මාණ සම්බන්ධයෙන් විචාර කෘති ලියන්නෙත් එයාල ම යි. ඒ විචාර කෘති ඇසුරෙන් ප්‍රශ්න පත්තරේ හදන්නෙත් එයාල. උත්තර පත්තර බලන්නෙත් එයාල. ඉතිං එයාල උගන්වපු දේට වඩා වෙනස් දෙයක් ලියල තිබුනොත් ලකුණු ලැබෙන්නෙ නෑ. ඒක තමයි තිත්ත ඇත්ත.
 
AdobeStock 272072948
 
විශ්වවිද්‍යාල විද්‍යාර්ථින්ගෙ තත්ත්වය එහෙම වුනාට කිසියම් නිර්මාණාත්මක කෘතියක් රසවිඳින පාඨක ප්‍රජාවට න්‍යාය සහ සංකල්ප වැදගත් වෙන්නෙ නැහැ. හැබැයි ඒ න්‍යාය සහ සංකල්ප හැදීරිම වැදගත් වෙන්නෙ නැහැ කියල මම කියන්නෙ නෑ. ඒ වගේ ම තමන් කිසියම් නිර්මාණාත්මක කෘතියක්: කියවලා, නරඹලා, සවන් දීලා තමන් ලබපු වින්දනය අනෙකාට පවසන්නත් ඔය න්‍යාය සහ සංකල්ප වැදගත් වෙන්නෙ නැහැ. මොකද මම හෝ තවත් විචාරකයෙක් තමන් දන්න  විචාර න්‍යාය සහ සංකල්ප තමන්ගෙ විචාරයට ඇතුළත් කළොත් මොකද වෙන්නෙ...? ඒ විචාරය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නෙත් විචාරකයාගේ දැනුමට සමපාත දැනුමක් තියෙන පිරිසට විතරයි. හැබැයි එහෙමයි කියල තමන් කිසියම් කෘතියක් තුළ දකින ගැඹුර අනෙකාට දනවන එකෙන් වළකින්න කියල මම කියන්නෙ නෑ. ඒ වගේ ම විචාරක භූමිකාවේ නිරතවන පුද්ගලයා තමන්ගෙ දැනුම සමාජගත නොකරන්න කියල මම කියන්නෙත් නැහැ.
සමස්තයක් විදයට ගත්තොත් මගේ පුද්ගලික අදහස නම් කිසියම් නිර්මාණයක් හොඳ නම් (මේ හොඳ නරකත් සාපේක්ෂයි) අදාළ නිර්මාණය: පාඨක, ප්‍රේක්ෂක, රසික ප්‍රජාව වෙත ප්‍රසාරණය කිරීම තමයි ඕනෑම විචාරකයකුගෙ වගකීම. ඒ වෙනුවෙන් තමන් දන්න න්‍යායාත්මක දේවල් වගේම සංකල්පිය දේ භාවිත කරාට කමක් නෑ. හැබැයි ඒ සියල්ල කියවන පුද්ගලයා ඒ ආකාරයෙන් ම බාරගතයුතුයි කියල කිසියම් විචාරකයෙක් අදහස් කරනවා නම් ඒක අසාධාරණයි.

මේ තමයි මා වෙත යොමු කළ ප්‍රශ්න ත්‍රිත්වය සඳහා (ලබා දි තිබු කාලයට අනුගතව) මා ඉදිරිපත් කළ පිළිතුරු. අනෙක් තිදෙනාගේ අදහස් අතර මීට පරස්පර අදහස් නොතිබුණේ ම නැහැ. මම කැමතියි මේ අදහස් කියවන පාඨක පිරිස මේ සංවාදය ඉදිරියට ගෙනියනවා නම්.

පස්වන සියවස තුළින් විසිඑක්වන සියවස කියවිය හැකි 'සී රජ' - ජයසිරි අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්