රටක යල් පැන ගිය ක්‍රමයක් ඇතිවිට ඒ ක්‍රමයේ ගැඹුරු වෙනසක් සඳහා හැම විටම බලපාන්නේ අභ්‍යන්තර සාධක පමණක් නොවේ; බාහිර සාධක ද බලපායි.
ජෙනරාල් මැක්ආතර් හිරෝහිතෝ අධිරාජ්‍යයා හමුවීම
ජපානය ප්‍රජාතන්ත්‍රවාදී කිරීමට හේතුවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැලකිව යුත්තේ අභ්‍යන්තරීකව ඒ රටේ ජනතාව විසින් ඇති කර ගන්නා ලද්දක් ලෙස නොව 1947 දී මිත්‍ර හමුදාවේ ජෙනරල් මැක් ආතර් විසින් සකස් කර දෙන ලදුව එහි ප්‍රතිඵලයක් වශයෙන් 1890 වේදී ඇති කරගෙන තිබූ මිජි(Meiji) ව්‍යවස්ථාව එකතු කරනුලැබු සංශෝධනයක් නිසා ඇතිවූ ව්‍යවස්ථාවක් ලෙසය. මේ වන විට එම ව්‍යවස්ථාවට අවුරුදු 76 ක් තරම් කාලයක් ගතවී ඇතත් අද දක්වාම ඊට එකදු ව්‍යවස්ථා සංශෝදනයක්වත් ඉදිරිපත් වී නැත. දකුණු අප්‍රිකාවේ 1994 ඇතිවූ විපර්‍යාසය කෙරෙහිද බාහිර බලපෑම් තීරණාත්මක ලෙස බල පෑවේය.
ලංකාවේ 13 වැනි සංශෝධනයද ඉන්දියාවෙන් එල්ලවූ බලපෑම නිසා ඇතිවූ ව්‍යවස්ථා සංශෝදනයක් ලෙස සැලකිය හැකිය. අසල්වැසි ඉංදියාව මෙන් තමන්ගේම වන දියුණු ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමට තරම් ප්‍රබුද්ධ තත්වයක ලංකාව නොතිබුන තත්වයක් තුළ 1972 දී මුළුමනින් නව ව්‍යවස්ථාවක් ඇති කරගන්නා තැනකට යනවා වෙනුවට සොල්බරි ව්‍යවස්ථාවට ඇතුළත්ව තිබූ එංගලන්ත කිරීටයට තිබෙන බැඳීම ඉවත් කරන අතර එම ව්‍යවස්ථාවේ නොතිබුණු අංගයක් ලෙස සැලකිය හැකි මානව හිමිකම් පරිච්චේදයක් ඇතුලත් කොට සොල්බරි ව්‍යවස්ථාවේ තිබුණ අන් සියළු දේ ඒ ආකාරයටම තිබෙන ව්‍යවස්ථාවක් ඇති කර ගනිමින් එම ව්‍යවස්ථාව සමග වැඩ කිරීමට ලංකාව සමත් වී නම් ලංකාවේ රාජ්‍යය මහා බිදවැටීමකට, අසමත්භාවයකට හා බංකොලොත් භාවයකට ඇද නොවැටෙන්නට ඉඩ තිබුණි.
එසේම එවැනි ව්‍යවස්ථාවක් නොතිබියදී වුවද 1980 ජුනී මාසයේදී ලංකාව අත්සන්කල සිවිල් හා දේසපාලන ප්‍රක්ඥප්තිය ද,1997 ඔක්තෝබර් මාසයේදී අත්සන්කල එම ගිවිසුමට අදාල පෙරාතු ගිවිසුම ( ප්‍රොටෝකෝලය) ද,ආරක්ෂා කර ගැනිමින් එම නෛතික පදනම පවත්වාගෙන යාමට ලංකාව සමත් වීනම් එම තත්වයන් යටතේද ලංකා රාජ්‍යය මහා බිඳ වැටීමකට, අසමත්භාවයකට හා බංකොලොත් භාවයකට ඇද නොවැටී ක්‍රමයේ තිබෙන දෝෂ ජයගනිමින් ඉදිරියට යන රටක් බවට පත්වන්නට ඉඩ තිබුනි. මක්නිසාද යත් එම සම්මුතියේ එන මානවහිමිකම් වලට හා ආණ්ඩුකරණයට අදාල මූලධර්ම සැලකිව හැක්කේ 78 ව්‍යවස්ථාවේ ඒ සඳහා යොදා තිබුන මූලධර්ම වලට වඩා දියුණු හා උසස් තත්වයක තිබෙන මූලධර්ම ලෙසය. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියේ එන එම මූල ධර්ම ලංකා ව්‍යවස්ථා නීතියේ කොටසක් බවට පත්වී නම් එය පැවති දූෂිත හා යල්පැනගිය පරණ ක්‍රමයේ ගැඹුරු හා යහපත් වෙනසක් ඇති කරන පරිවර්තනීය බලයක් ලෙස ක්‍රියා කරන තත්වයක් ඇති කිරීමට හේතුවන්නට ඉඩ තිබුනි. ඒ නිසා පරණ දූෂිත හා යල්පැන ගිය ක්‍රමයේ ගැඹුරු හා යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවන්නටද ඉඩ තිබුනි.
සිවිල් හා දේසපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 41 වැනි වගන්තිය අනුව ගිවිසුමට ඇතුළත් රජයක් කරන මානව හිමිකම් උල්ලංඝනය ගැන එම ගිවිසුමට ඇතුළත් වෙනත් රාජ්‍යකටද එම ගිවිසුම යටතේ පිහිටුවා ඇති මානව අයිතිවාසිකම් පිළිබඳ කමිටුවට පැමිනිලි කළ හැකිය. එසේම සිවිල් හා දේශපාලන ප්‍රඥප්තියට අත්සන් කරනවාට අතිරේකව පෙරාතු ගිවිසුමට අත්සන්කර ඇති රටවල පුරවැසියන්ටද මානවහිමිකම් උල්ලංඝනයන් සිදුවී රටේ ඉහළම අධිකරණයට ගොස් යුක්තිය ඉටු කරගැනීමට අසමත්වූ අවස්ථා වලදී ඒ ගැන මානව හිමිකම් කමිටුවට පැමිනිලි කිරීමේ අයිතිය හිමිය. මා ඒ සේ ලැබී තිබුන එම අයිතිය ලංකාවෙන් උරගා බැලූ පලමු පුරවැසියා ලෙස සැලකිය හැකිය. ඒ මගින් මට අවශ්‍ය වී තිබුනේ ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නිෂ්ප්‍රභා කර තිබුන මගේ නඩුවකට යුක්තිය ඉටු කරගැනීම පමණක් නොවේ; ලංකාවේ ඉහලම අධිකරණයට ගොස් යුක්තිය ඉටුකරගැනීමට අසමත් වූ අයට යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා යන්න තවත් වැදගත් තැනක් ඇති බව පෙන්වාදීමද මාගේ එම ක්‍රියාවේ තවත් වැදගත් අරමුණක් විය. මා එම නෛතික අරගලය සිදු කළේ සාපරාධි අපහාස නීතියට එරෙහිවය.
සරත් නන්ද සිල්වා
ජිනීවාහි මානව හිමිකම් කමිටුවට පැමිනිලි කරන්නට පෙර සාපරාධි අපහාස නීතිය යටතේ ආණ්ඩු දෙකක පාලන කාලය තුළ සිදුකර තිබුන නඩු පැවරීම් පදනම් කොටගෙන මා ශ්‍රේෂ්ඨාධිකරණ යේ නඩු පවරන ලද්දේ නීති පතිවශයෙන් සරත් නන්ද සිල්වා ප්‍රධාන වග උත්තර කරු කරමිනි. පෙත්සම සලකා බලන ලද්දේ ආචාර්ය මාර්ක් ප්‍රනාන්දු ප්‍රමුඛ ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් මඟිනි. එම පෙත්සම දින දෙකක් තිස්සේ කරුණු සලකා බලා දෙවැනි දින දහවල් වැඩි දුර විභාගයට නොගෙන පෙත්සම නිෂ්ප්‍රභා කළේය. එහිදී මා වෙනුවෙන් පෙනිසිටියේ ඒ කාලයේ නිතිඥයින් අතර සිටි දැවැන්තයෙකු හා ප්‍රතිපත්ති ගරුකයෙකු ලෙස සැලකිය හැකි ආර්.කේ. ඩබ්ලිව් ගුණසේකරය. ඔහු මගෙන් ගාස්තු අය නොකළේය. මගේ සියළු නඩුවල නිතිඥයා වූද මාගේ විශ්වාසවන්ත මිතුරාද වූ සුරංජිත් හේවමාන්න කළ යෝජනාවක් අනුව මා වෙනුවෙන් නොමිලේ පෙනීසිටි ආර්.කේ.ඩබ්ලිව් ගුණසේකර නීතිවේදියාට රුපියල් 5000 කට මිලදි ගත් ජොනි වෝකර් රෙඩ්ලේබල් විස්කි බෝතලක් තෑගි දුන්නෙමි. එහි වියදම ඔහු වැනි නීතිඥයෙකුට ගෙවිය යුතු ගාස්තුවෙන් විස්සෙන් එකක් පමණ වීයැයි කිවහැකිය.
ආචාර්‍ය මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා නිෂප්‍රභා කරනල ලද එම පෙත්සමට අදාලව දීර්ඝ නඩු තීන්දුවක් ලබා දෙන ලද අතර ( Victor Ivan v Sarath N. Silva, Attorney General and Another, Sri lR -Part 11-15, 1988 p:440-350) මම ජීනිවා මානව හිමිකම් කමිටුවට පැමිණිලි කළේ එම තින්දුවට එරෙහිවය. එම පැමිණිල්ල අපට ජයගත හැකිබව අපේ විශ්වාසය වු අතර එය එසේම සිදුවිය.( Victor Ivan v Sri lanka: U.N.Doc.ICCPR 2004.) එම ජයග්‍රහයේ ගෞරවයේ වැඩි පංගුවක් නීතිඥ සුරංජිත් හේවාමාන්න ට හිමි විය යුතුය. ගාස්තු අයකිරීමකින් තොරව ඔහු එම නඩුව වෙනුවෙන් මහත් ඇප කැපවීමකින් වැඩ කළේය. විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.එම්.එම්. බී කුලතුංග ඒ සඳහා ගෞරවය ලැබිය යුතු අනෙක් පුද්ගලයා ලෙස සැලකිය හැකිය. මානව හිමිකම් කමිටුවට යවන ලද ලිඛිත කරුණු දැක්වීම් ජාත්‍යන්තර නීතියට අනුකූලව කෙටුම් පත් කරන ලද්දේද එම නඩුවේදී ලංකා ආණ්ඩුව කරනලද ලිඛිත සැලකිරීම්වලට පිළිතුරු ලියන ලද්දේද ඔහු විසිනි. ඉතා වැදගත් දේ වනුයේ මානව හිමිකම් කමිටුවේ එම තීන්දුව ගැන ලංකාව බිහිකල ශ්‍රේෂට ගණයෙහි ලා සැලකිය හැකි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සැලකිය හැකි මාර්ක් ප්‍රනාන්දුද තමන්ගේ තීන්දුවට එරෙහිව දෙනලද එම තීන්දුව ගැන විග්‍රගයක් ලියා පලකිරීමය.( Mark Fernando: Victor v Sri lanka- Decision: Its Impact on Human Rights.Sri Lanka Journal of International law.volume 16, 2004. 289-299) මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා එම විග්‍රහයෙන් මානව හිමිකම් කොමිෂමේ විශේඥ කමිටුව දී තිබුණ තීන්දුව පිළිගෙන තිබෙනවා පමණක් නොව ඒ නිසා අනාගත ලංකාවේ ඇති විය හැකි වෙනස් කම් ගැනද එහි ඉඟි කරයි.
මා අපේක්ෂා කළ අකාරයටම ඉක්මනින් ලංකාවේ ඉහලම අධිකරණයට ගොස් යුක්තිය ඉටු කර ගැනීමට අසමත්වූ පුද්ගලයින් ගනනාවක්ද සහන පතාගෙන ජිනිවා මානව හිමිකම් කමිටුව වෙත පැමිණිලි කොට යහපත් ප්‍රතිඵල ලබාගැනීමට සමත් වූහ. මා දන්නා පරිදි ලංකාවට එරෙහිව ලබා දී තිබූ තීරණයන් වැඩි හරියක් ලබා දී තිබුනේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ නීති විරෝධී හා අගතිගාමි නඩු තීන්දු හෝ ක්‍රියාවන්ට එරෙහිව ය. සරත් සිල්වාගේ පාලන කාලය තුළ අධිකරණය පැවතියේ මානව හිමිකම් ආරක්ෂාකරන ආයතනයක් ලෙස නොව මානව හිමිකම් උල්ලංඝනය කරන ආයතනයක් වශයෙනි.
සිවිල් හා දේස්පාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය රාජ්‍ය පාලනය හා මිනිසුන්ට තිබිය යුතු අයිතිතිවාසිකම් විෂයෙහි ජාත්‍යන්තර නීතිය අනුව බල ගැන්වුන ඕනෑම යල්පැනගිය දූෂිත සමාජ-දේසපාලන ක්‍රමක් යහපත් කිරීමට බලපාන හා ඒ සඳහා යොදාගත හැකි පරිවර්තනීය බලයක් ඇති මූලධර්ම ඇතුලත් ඉතා අගනා ප්‍රඥප්තියක් ලෙස සැලකිය හැකිය. නිසැක වශයෙන්ම එයට ඇතුලත් මූලධර්ම අපේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් මුලධර්ම වලට වඩා නවීන හා උසස් ය. ඒවා සකස් කර තිබෙනුයේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය බල ගැන්වෙන ආකාරයට ය. ලංකාව සඳහා එම ගිවිසුම අක්‍රීය හෝ බල රහිත කිරීමෙන් රටේ ජනතාවට සිදුකර තිබෙන හානියේ තරම අති විශාලය. පුදුමය ඒ ගැන පාර්මේන්තුව, දේසපාලන පක්ෂ, නීතිඥ සංගමය, විද්වත් සංගමය වැනි ආයතන ඒ මගින් සිදුකර ඇති ලංකාවේ ජනතාවගේ ගේ පරමාධිපත්‍ය බලය උදුරාගැනීම හෝ එම බලය බෙලහීන කිරීම ඉදිරියේ ඒ ගැන නිහඬ පිලිවෙතක් අනුගමනය කිරීමය. ඔවුන් එය නොපෙනුනේද? එය තේරුම් ගැනීමට අසමත් විද? ඒ මගින් රටේ ජනතාවට බරපතල වරදක් සිදුවී ඇති බව හා ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ විස්වාස කළ නොහැකි අවලස්සන රටක තත්වයකට ලංකාව පත්ව තිබෙන බව ඒ සියළු දෙනාට නොපෙනේද? ඒ බරපතල වරද නිවරදි කරන්නේ කවදාද? කෙසේද?
(වික්ටර් අයිවන් )
ප්‍රවීන දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී