සංවර්ධනය වෙමින් පවතින රටවල එකතුවක් වන G77 කණ්ඩායමේ සමුළුව අද සහ හෙට (සැප්තැම්බර් 15 සිට 16 දින) කියුබාවේ හවානාහි පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර සමුළුවට සහභාගී වේ.

ඒ, ‘G77 සහ චීනය’ රාජ්‍ය නායක සමුළුවේ වත්මන් සභාපති, කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනේල්ගේ නිල ආරාධනයක් අනුව ය.

මෙම රැස්වීම මෙතෙක් ශ්‍රී ලංකාවේ දී පවත්වා නොමැති අතර; ශ්‍රී ලංකාව එහි සභාපතිත්වය ද මෙතෙක් දරා නැත.


විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනය හා සම්බන්ධ සමකාලීන අභියෝගයන් තක්සේරු කිරීමට ත්, විශේෂයෙන්ම අන්තර් දක්ෂිණ සහයෝගීතාවෙන් වඩා ත් යහපත් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඒකාබද්ධ විසඳුම් සොයා බැලීමට ත්, සංවර්ධනය වෙමින් පවතින රටවලට එක්ව කටයුතු කළ හැකි ආකාරය විමසා බැලීමට ත් මෙම සමුළුවෙන් වැඩිදුරටත් අවස්ථාව සැලසෙයි.

ඒ අනුව අදාළ ක්ෂේත්‍රයන්හි වැඩිදියුණු කරන ලද සහයෝගීතාවක් ගොඩනැගීම සඳහා දක්ෂිණ රටවලට ප්‍රතිසංස්කරණ සහ නව ප්‍රවේශයන් පිළිබඳ මාර්ගෝපදේශ සපයනු ලබන ‘හවානා ප්‍රකාශය’ ද රාජ්‍ය නායකයන් විසින් සම්මත කර ගනු ලැබීමට නියමිත ය.

 

77 කණ්ඩායම යනු කුමක් ද ?

xjorgebetan5091


එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආයතනයක් වන G77, 1964 වසරේ ජූනි මස 15 වන දින ස්ථාපනය කෙරිණි.

ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවති වෙළෙඳාම සහ සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ සම්මේලනයෙන් (UNCTAD) පසුව "සංවර්ධනය වෙමින් පවතින රටවල් 77ක ඒකාබද්ධ ප්‍රකාශනය" නිකුත් කරමින් එය පිහිටුවනු ලැබුණි.

මෙහි පළමු අමාත්‍යවරුන්ගේ රැස්වීම 1967 වසරේ ඔක්තෝබර් මාසයේ ඇල්ජීරියාවේ දී පැවැත්විණි.

මූලිකව ඒකාබද්ධ වූ සංවර්ධනය වෙමින් පවතින රටවල් 77ක් හේතුවෙන් එය '77 කණ්ඩායම' යනුවෙන් නම් කරනු ලැබූ අතර, මේ වන විට එහි සාමාජික රටවල් සංඛ්‍යාව 134කි. සාමාජික රටවල් සංඛ්‍යාව වැඩි වුව ද, ඓතිහාසික වැදගත්කම හේතුවෙන් එම සංවිධානයේ නම G77 යනුවෙන් ම ව්‍යවහාර කෙරේ.

ආරම්භයේ සිටි සාමාජික රටවල් 77න් දැන් ඉතිරිව සිටින්නේ රටවල් 74කි. තවත් රටවල් 60ක් වරින් වර ඊට එක්ව ඇත.

 

ඉවත්වූ රටවල්


ආරම්භක රටවල් හතරක් සහ පසුව එක්වූ රටවල් අටක් වරින් වර මෙම කණ්ඩායමේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.

නවසීලන්තය: 1963 වසරේ දී මෙම කණ්ඩායමේ සාමාජිකත්වය දැරූ අතර 1964 පළමු රැස්වීමට පෙර කණ්ඩායමෙන් ඉවත් විය.

මෙක්සිකෝව: 77 කණ්ඩායමේ ආරම්භක සාමාජික රටක් වූ මෙය 1994 වසරේ දී ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන සංවිධානයේ (OECD) සාමාජිකත්වය ගැනීමෙන් පසු ඉවත් විය.

දකුණු කොරියාව: ආරම්භක සාමාජික රටක් වූ අතර 1996 වසරේ දී ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු ඉවත් විය.

යුගෝස්ලාවියාව: ආරම්භක සාමාජික රටක් වූ මෙය පසුව ඉන් ඉවත් විය.

සයිප්‍රසය: ආරම්භක සාමාජික රටක් වුව ද, 2004 වසරේ දී යුරෝපා සංගමයට එක්වීමෙන් පසු සාමාජික රටවල් ලැයිස්තුවෙන් ඉවත් කෙරිණි.

මෝල්ටාව: 1976 වසරේ දී 77 කණ්ඩායමට ඇතුළත් කෙරුණු ද 2004 වසරේ දී යුරෝපා සංගමයට එක්වීමෙන් පසු සාමාජිකත්වයෙන් ඉවත් විය.

පලාවු: 2002 වසරේ දී සාමාජිකත්වය ගත් මෙම දූපත් රාජ්‍යය 2004 වසරේ දී ඉවත් විය.

රුමේනියාව: 1976 වසරේ දී සාමාජිකත්වය ලැබූව ද යුරෝපා සංගමයේ සාමාජිකත්වය හිමි වීමෙන් පසු 77 කණ්ඩායමෙන් ඉවත් විය.

 

චීනයට වෙන ම පිළිගැනීමක් ඇයි?

China Map Flag


වාර්ෂිකව පැවැත්වෙන මෙම රැස්වීම 'G77+China' ලෙස හඳුන්වන්නේ, චීනය මෙම කණ්ඩායමට දේශපාලනිකව සහ මූල්‍යමය වශයෙන් සහයෝගය දුන්න ද සාමාජික රටක් නොවීම හේතුවෙනි.

ඊට අමතරව, මෙම කණ්ඩායමේ සම්බන්ධතා කාර්යාල කිහිපයක් ලොව පුරා රටවල් කිහිපයක පිහිටුවා ඇත.

ඒ, ස්විට්සර්ලන්තය (UNCTAD), කෙන්යාව (UNEP), ප්‍රංශය (UNESCO), ඉතාලිය (FAO/IFAD), ඔස්ට්‍රියාව (UNIDO), අමෙරිකාව (G-24) යන රටවල පිහිටි සංවිධාන හරහා ය.

 

G77 අයත් නොවන රටවල්


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් සංඛ්‍යාව සමග සැසඳීමේ දී, ඉන් තුනෙන් දෙකක් පමණ රටවල් සංඛ්‍යාවක් 77 කණ්ඩායම නියෝජනය කරයි.

අසර්බයිජානය හැර, යුරෝපා කවුන්සිලයට අයත් රටවල් ඊට අයත් නොවේ.
තජිකිස්ථානය හැර, පොදුරාජ්‍ය මණ්ඩලීය නිදහස් වෙළෙඳ කලාපීය රටවල් අයත් නොවේ.
ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන සංවිධානයට අයත් රටවල් (එහි දකුණු අමෙරිකානු රටවල් තුන හැර) 77 කණ්ඩායමට අයත් නොවේ.
ශාන්තිකර කලාපයේ ක්ෂුද්‍ර රාජ්‍යයන් වන පලාවු සහ ටූවාලු අයත් නොවේ.


G77 සමුළුව ශ්‍රී ලංකාවට වැදගත් ද ?


G77 සමුළුව ශ්‍රී ලංකාවට කෙසේ වැදගත් වන්නේ ද යන්න පිළිබඳව අපි රජරට විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලමගෙන් විමසා බැලීමු.

"ශ්‍රී ලංකාව ඉන්න ආර්ථික මට්ටම අනුව මෙවැනි ඕනෑ ම රාජ්‍ය තාන්ත්‍රික සමුළුවක් අතිශයින් වැදගත් වෙනවා. මොක ද සංචාරක කර්මාන්තය, විදේශ සේවා නියුක්තිය සහ විදේශ ආයෝජන මත යැපෙන ආර්ථිකයක් සහිත රටකට විදේශ සබඳතා අතිශයින් වැදගත්. සෑම සමුළුවකින් ම කෙරෙන්නේ විදේශ සබඳතා වැඩි දියුණු වෙන එක. ඒ නිසා මේක ත් වැදගත් සමුළුවක් ශ්‍රී ලංකාවට," මහාචාර්යවරිය පැවසුවා ය.

වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන හතරක ආදායමක් පැවති සංචාරක කර්මාන්තයේ ආදායම ඩොලර් බිලියනයක් දක්වා පහත වැටී ඇති බව පෙන්වා දුන් ඇය, ඊට අමතරව විදේශ සේවා නියුක්තිය හරහා ශ්‍රී ලංකාවට ලැබුණු වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 3.8ක් ලෙස පහත වැටී ඇතිබව ද පැවසුවා ය.

"මෙවැනි හැකිළුණු ආර්ථිකයක් තියෙන අවස්ථාවක විදේශ සබඳතා ආරක්ෂාකර ගන්න එක ත්, වැඩි දියුණුකර ගන්න එක ත් ගොඩක් වටිනවා.

"පරම්පරා ගණනක ඉඳන් අපි තාම ත් ඉන්නේ 'සංවර්ධනය වෙමින් පවතින' රටවල කුලකයේ. ඒකෙන් ගොඩ එන්න නම් සෑහෙන කාලයක් යයි. මොන සමුළුවට ගිය ත් ආර්ථිකය නිවැරදිව කළමනාකරණය කරගෙන රට සංවර්ධනය කරා ගෙන යන්න වැඩපිළිවෙළක් තිබිය යුතු යි," මහාචාර්ය බුලංකුලම වැඩිදුරට ත් පැවසීය.

 

(BBC සිංහල සේවය)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්