රටේ තිබෙන දේශපාලන පක්ෂ පවතින  පසුගාමි සමාජ ආකල්ප හා මතවාද වෙනස් කිරීම සඳහා ක්‍රියා නොකොට

ඒ වෙනුවට සමාජයේ පවතින පසුගාමි මතවාද හා ආකල්ප වලට අනුගතවී ඒවා පෝෂණය කරන තත්වයකට පත්වූ විට එම සමාජය පහසුවෙන් වෙනස් කල නොහැකි එක තැන පල්වෙන  පසුගාමි සමාජයක් බවට පත්වනවා පමණක් නොව ඒ රටේ දේශපාලන පක්ෂද ඉදිරිගාමි කාර්‍යභාරක් ඉටු කිරිමේ  හැකියාවක් නැති ඓතිහාසික වශයෙන් යල්පැනගිය දේසපාලන පක්ෂ බවට පත්වේ.

 

අපේ රටේ සියළු දේශපාලන පක්ෂ හසුවී තිබෙන්නේද විෂම චක්‍රයටය. සමාජ ආකල්ප නූතන කිරීම සඳහා නිදහස් අරගල කාලයේදී ඉන්දියානු කොංග්‍රසය ඉටු කරන ලද කාර්‍යභාරය සමග සසදන විට ලංකාවේ සමස්ත දේශපාලන පකෂ ක්‍රමය සැලකිය හැක්කේ ඉතාමත් පසුගාමි දේශපාලන පක්ෂ ක්‍රමයක් වශයෙනි. ඉංදියානු කොංග්‍රස් පක්ෂට ඉංදියාවේ ඉතිහාසය ගැන තමන්ගේම වන විග්‍රහයක් තිබුණි. එම විග්‍රහය තුළින් සිය රටේ  ඉතිහාසයේ හොඳ පමණක් නොව නරකද දැක්කේය.

 

ඉංදියාව යටත් කරගෙන සිටින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය ගැනද එයට විග්‍රහයක් තිබූණු අතර ඒ මගින්  බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ නරක ලක්ෂණ පමණක් නොව හොඳ ලක්ෂණද දකින්නට සමත් විය. නිදහසෙන් පසු තෝරා ගත යුතු ගමන් මාර්ගය ගැනද එයට හොඳ විග්‍රහක්ද තිබුණි. වර්ගය, කුලය හා ආගම මුල් කොටගෙන සමාජයේ පැවති පසුගාමි බෙදීම්වලට එරෙහිව කොන්ග්‍රසය කරනලද මතවාදි අරගලයේ පරිමාව අති විශාලවූ අතර එය ඉංදියානු සමාජය කෙරෙහි ඇති කල බලපෑමේ තරමද අතිවිශාල විය. දේවාලවලට ඇතුළු වීමේදී පීඩිත කුලවල ජනයාට පනවා තිබු තහන්චිවලට  එරෙහිව රට පුරා තිබෙන දේවාල වටලා විරෝධතා පවත්වන ලද අතර ඒ නිසා බොහෝ දේවලවලට එම අමානුෂික තහන්චි ඉවත් කර ගැනීමට සිදුවිය. ගාන්ධිට හින්දු අන්තවාදි තරුණයෙකු අතින් මිය යන්නට  සිදුවූයේද මුස්ලිම් වරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හින්දු අන්තවාදි ආකල්පවලට එරෙහිව කරන ලද මතවාදි අරගලය නිසාය. ඉංදියාවේ පැවති පසුගාමි ආකල්පවලට එරෙහිව ඉංදියානු කොංග්‍රසය  කරන ලද මතවාදි  අරගලය ඉංදියාව නූතන ඉංදියාවක් බවට පත් කිරීමට බලපෑ වැදගත්ම සාදක ලෙසද සැලකිය හැකිය.

 

ලංකාව ඉංදියාව මෙන් සටන් කොට නිදහස දිනාගත් රටක් නොවීය. ලංකාවට ලැබුන නිදහස ඉංග්‍රීසින්ගෙන් තෑගි ලැබුණු නිදහසක් ලෙසද සැලකිය හැකිය. ඉංදියානු නිදහස් ව්‍යාපාරය අහිංසාවාදි සටන් ක්‍රම මත පදනම්වූ ශක්තිමත් ඉදිරි දර්ශනයක් සහිත ප්‍රජාතත්ත්‍රවාදි රාමුවක් මත ක්‍රියාත්මක් වූ පරිනත නායකයන් ගෙන් සමන්විත සටන්කාමි බහු ජන ව්‍යාපාරයක් විය. 

 

ලංකාවේ නිදහස් ව්‍යාපාරය අලුත ඇතිව තිබූ ධනපති ක්‍රමය තුළ ධනවතුන් බවට පත්ව සිටි අයගේ දරුවන් සුළු පිරිසකට සිමාවූ නිදහස දිනාගැනීම පිනිස යහපත් ඉදිරි දර්ශනයක් හා ඒමත පදනම්වූ ප්‍රායෝගික වැඩ සටහනක් නොතිබුන ඉංග්‍රීසින්ට කරන කරුණු පැහැදිලි  කිරීම් හා ආයචනාවලට  සීමාවූ ව්‍යාපාරයක් විය.

 

Leaders of Indian Freedom Movementඉංදියානු නිදහස් වියාපාරයේ නායකයින්

 

ඉංදියානු නිදහස් වියාපාරයේ නායකයින්ට මෙන් ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ නායකයින්ට දියුණු චින්තනයක් නොතිබුණි. ඒ නිසා එම ව්‍යාපාරය අතින් ලංකාවේ චින්තනය කෙරෙහි  කිසිදු ඉදිරි ගාමි බලපෑමක් සිදු නොවීය. සිංහල බෞද්ධයින් කෙරෙහි දෘෂ්ටිමය වශයෙන් වැඩිම බලපෑමක් ඇති කළ පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ අනගාරික ධර්මපාලය. එතුමාගේ චින්තනය බාහිර පෙනුමෙන් අධිරාජ්‍ය විරෝධි හා සටන් කාමි වුවත් දරන ලද බොහොමයක් අදහස් පසුගාමි හා ප්‍රතිගාමි වී යැයි කිවහැකිය.

 

වර්ගය, කුලය හා ආගම මුල්කරගත් සම්බන්දතා සියළු දෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ලෙස වෙනස් කරගැනීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට තිබුණ අසමත් කම ලංකාව නිදහසේ සිටම වරද්දාගත් ලොකුම පුපුරන සුලු සමාජ- දේශපාලන ප්‍රශ්නය ලෙස සැලකිය හැකිය. බර්ගර් ජනවර්ගය යටත් විජිතවාදය නිසා අලුතෙන්ම ලංකා සමාජයට එකතුවී තිබුණු විචිත්‍ර ජනවර්ගයක් විය. නිදහසට පෙර ස්වදේශික ජනවර්ග අතරින් වැඩිම උගත්කමක් තිබුනේ ඔවුන්ටය. රාජ්‍යය සේවයේ කොඳු නාරටිය ලෙස  ක්‍රියා කළේද ඔව්හූය. අපි ඔවුන් සලකන ලද්දේ අවඥාවෙනි. ඔවුන් හදුන්වන ලද්දේ කැරපොතු ලංසීන් ලෙසිනි. බරගර් විරෝධය යට තිබුනේ බර්ගර් වරුන් අත්පත් කරගෙන සිටි රාජ්‍යය සේවයේ උසස් තනතුරු අල්ලා ගැනීමේ අභිලාෂය යි. තමන්ට මේ රටේ අනාගතයක් නැති බව තේරුම් ගත් බර්ගර්වරුන් නිදහසට ආසන්නයේ සිටම තොග ගනනින් ලංකාව අතහැර ගියහ. ඒ නිසා රටට අහිමිවූ සමාජ ප්‍රාග්ධනයේ වටිනාකම අති විශලය.

ලංකාව කොතරම් මොඩ හා කුහක රටක් ද කියනවා නම් ආසියාවේ ෆිකාසෝ ලෙස සැලකෙන්නේ ජෝර්ජ් කීට්‍ ය. එහෙත් තාමත් අපි ජෝර්ජ් කීට් ලංකාවේ අපේ කෙනෙකු බවට  පත්කරගෙන නැත. නිදහසේ තීන්ත වේලෙන්නටත් පළමුව වතුකරයේ ඉන්දියානු කම්කරුවන් ගේ පුරවැසි අයිතිවාසිකම් සම්බන්දයෙන් ලංකාව අනුගමනය කල ප්‍රතිපත්තිය ඉතාමත් රළු පරුෂ වනවාසේම අසාධාරනද වී යයි කිව හැකිය. ඒ මගින් ඔවුන්ට සිදුවූ හානියේ තරම අති විශාලය.

 xzdfgsdre3

අපේ ඊළඟ ගොදුර බවට පත් වූයේ දමිළයන්ය. 56 බණ්ඩාරනායක සිංහල පමණක් ප්‍රතිපත්තියට මාරුවන්නට පෙර සිංහල හා දෙමළ යන භාෂා දෙකම රාජ්‍යය භාෂා කළ යුතුය යන්න බණ්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු සියලු දේශපාලන පක්ෂ පිලිගත් භාෂා ප්‍රතිපත්තිය විය. බණ්ඩාරණායක සිංහල පමණක් ප්‍රතිපත්තියට මාරුවූයේ බලලෝභි අරමුණු සපුරා ගැනීම සදහා යොදාගත හැකිව තිබූ පහසු මාර්ගයක් වශයෙනි. ඒ සමග එජාපයද එතෙක් පිළිගත් ප්‍රතිපත්තිය අත හැර සිංහල පමණක් ප්‍රතිපත්තියට මාරු විය.

අවසානයේ සාධාරණ, රටේ පොදු යහපතට හා ආරක්ෂාවට හේතුවන ඉදිරිගාමි භාෂා ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටියේ සමසමාජ හා කොමියුනිස්ට් යන වමේ පක්ෂ දෙක පමණය. භාෂා විවාදයේදී කොල්වින් කීවේ රාජ්‍ය භාෂා දෙකක් එක රටකුත් එක රාජ්‍ය භාෂාවක් රටවල් දෙකකුත් ඇති කිරීමට හේතුවනු ඇති බවය. භාෂා ප්‍රශ්නය අශ්‍රයෙන් අනාගතය විනිවිදව දකින්න හැකියාවක් තිබූ කොල්වින් ඇතුලු එම වමේ  පක්ෂ දෙකද ඉන් වසර 08 කට පසුව සිංහල වර්ගවාදි පෙරහරට එකතුවූවා පමණක් නොව කොලිවින් තමන් 1972 දී හැදූ ජනරජ ව්‍යවස්ථාවටද සිංහල පමණක් ප්‍රතිපත්තිය ඇතුලත් කිරීම මගින් එය වෙනස් කිරීම පහසු නැති ගල්ගැසුණු දෙයක් බවට පත් කළේය.

xcgrdst

පසු කලකදී නව වමක් වෙනුවෙන් පෙනී සිටි විජේවීර ගමන් කළේද එම වර්ගවාදී පෙරහැරේය. ශන්මුගදාසන් විජේවීරව පක්ෂයෙන් ඉවත් කළේ දෙමළ විරෝධි පෙළපාලියක් ලෙස සැලකිය හැකි 1966 ජනවාරි 08 වනදා දෙමළ භාෂා විශේෂ විධිවිදාන පනතට එරෙහිව ශ්‍රීලංකා සමසමාජ කොමියුනිස්ට් හවුල පවත්වන ලද පෙළපාලියට සහබාගි වීය යන චෝදනාව යටතේය. දෙමළ විරෝධි වර්ගවාදි අදහස් වලට සටන්කාමි වාම පෙනුමක් ලබා දුන් පුද්ගලයා වන්නේද විජේවීරය. දෙමළ වතු කම්කරුවන්ට වඩා සිංහල හේන් ගොවියා දුප්පත් හා පීඩිත බවට ඔහු තර්ක කළේය. ගංවතුර හා සෝදා පාලුව වැළකීමට මධ්‍යම කඳුකරය නැවත වනාන්තර බවට පත් කළ යුතු බවද ඔහු කීවේය. විජේවීර ලංකාවේ දෙමළ ජනයා විග්‍රහ කළේ ඉංදියාවට සිය ව්‍යාප්තවාදී අරමුණු සඳහා පාවිච්චි කළ හැකි ජන කණ්ඩායමක් ලෙසය.

දෙමළ ජනතාව ඔවුන්ගේ භාෂා අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා දිගින් දිගට සාම කාමි උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වී අවසානයේ 1961 පෙබරවාරි වලදී ෆෙඩ්‍රල් පක්ෂය උතුරු නැගෙන හිර දෙපාළාතේ සිවිල් නීති කඩන ව්‍යාපාරයක් දියත් කළේය. එය එක  දිගට දින 55 ක කාලයක් පැවති එම සාමකාමි සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරය පරාජය කරනු ලැබුවේ ඇඳිරි නීතිය හා හදිසි නීතිය පනවා චෙල්වනායගම් ඇතුළු ෆෙඩ්‍රල් පක්ෂ නායකයින් 51 දෙනෙක් අත් අඩංගුවට ගෙන දින 170 වක් පනාගොඩ හමුදා කඳවුරේ රඳවා තැබීම මගිනි. තමන්ගේ අයිතිවාසිකම් සාමකාමි සටන් ක්‍රියා මාර්ගවලින් දිනා ගත හැකි දෙයක් නොවන බව පෙනුන විට දෙමළ තරුණ පරපුර ප්‍රචන්ඩ මාවත තෝරාගනු ලැබූ අතර ඒ වෙනුවෙන් පොදුවේ රටටද  විශේෂ වශයෙන් දෙමළ ජනතාවටද ගෙවන්නට සිදුවූ වන්දිය අති විශාලය.

 

සිංහල දකුණේ ඇතිවූ ජේවීපී කැරලි දෙක කෙරෙහි හා දෙමළ උතුරේ ඇතිවු දිග්ගැස්සුන එල්ටීටීඊ කැරැල්ල කෙරෙහිත් වනෙත් සාධක වලට අතිරේකව කුලය ද වැදගත් සාදකයක් ලෙස බලපෑවේය. ජේවීපී දෙවෙනි කැරැල්ලෙන් පසු 1990 වේදී ජනාධිපති ප්‍රේමදාස  පත්කල තරුණ අසහන කොමිෂමේ මතය වූයේ දකුණේ සිංහල කැරලි හා උතුරේ දෙමළ කැරලි කෙරෙහි කුලය වැදගත් සාධකක් ලෙස බලපෑ බවය.  ජේවීපී දෙවැනි කැරැල්ල වැඩියෙන්ම පැතිරුණේ වහුම්පුර හා බත්ගම කුලවලට අයත් ජනයා බහුල ගම්වල බවද එම වාර්ථාවේ සදහන්වේ.

කුලය මුල් කරගත් උස් පහත් බේද සේම වර්ග ආගම් බේද නැති කොට සමාජය සමානතා පදනමක් මත ඒකාග්‍ර කළයුතුව තිබුනේ නිදහස ලැබීමත් සමග  වුවත් අපේ රටේ නායකයින්  එය ඉබේ සිදුවන්නට ඉඩ හැර බලා සිටියා මිස එකාග්‍ර කිරීමකට හේතුවන ප්‍රතිසන්ස්කරණ ඇති කළේ නැත. කුලය ඉපැරණි කාලයේදී නියම කරන ලද වෙනස් කළ නොහැකි ඉරණමක් ය යන විස්වාසය නිසා පරණ වැඩවසම් කාලයේදී තමන්ට වඩා උසස් කුලීනයන්ට මෙහෙවර කිරීම තමන් වෙත පැවරී ඇති යුතුකම සේ කුලහීනයෝ නිහඬව පිළිගත්හ. පරණ වැඩ වසම් රාජාආණ්ඩු යුගයේදී ගොවි කුලය උත්තම  ස්ථානහෙහි ලා සැලකුණු අතර අන් සියලු දෙනා සැලකුනේ අඩු කුල ලෙසය. වැඩවසම් ක්‍රමයක් පැවති එම යුගයේදීකුල ක්‍රමය ගිහි පැවිදි යන දෙපක්ෂයේම පරිපාලනය මෙහෙයවීය. අය බදු ගැනීම හැසිරවීය. සියලු සමාජ සම්බන්ධතා පාලනය කළේය.

බ්‍රිතාන්‍ය යුගයේදී ඇතිවී වර්ධනය වෙමින් පැවති ධනේශ්වර  ක්‍රමය හා කුල ක්‍රමය මත පදනම් වූ ශ්‍රම විභජන ක්‍රමය ගැලපුණේ නැත. 1832 ඇතිකළ කොල්බෲක් ප්‍රතිසංස්කරණ මගින් කුලය මත පදනම් වු රජයට කළ යුතු සේවාවන් හෙවත් රාජකාරි ක්‍රමය අහෝසිකරන ලදී. ඒ සමග නීතිය ඉදිරියේ සියලු දෙනා සමානයින් ලෙස සලකන ප්‍රතිපත්තියක් ද ඇති කරන ලදී. ඒ නිසා කුලය මත පිහිටා රජයට වැඩවසම් සේවාවන් කිරීමට බැඳී සිටි අයට එම ක්‍රමයෙන් ඉවත්වී තමන් කැමති වෙනත් රැකියාවක නිරත්වීමේ අයිතිය ලැබුණි. එහෙත් ඇතිකරන ලද මේ වෙනස් කම් නිසා ශත වර්ෂ ගනනාවක් තිස්සේ පැවති කූල ක්‍රම ය හෝ ඒ නිසා ඇතිව තිබූ උස් පහත් බේදය මුලුමනින් අවසන් වූයේ නැත. නිදහසත් සමග ඒ සදහා ප්‍රතිසංස්කරණ ඇති කිරීමක් සිදුනොවූ අතර 1989 ජේවීපී දෙවෙනි කැරැල්ල පරාජ කිරීමෙන් පසුව හෝ 2009 එල්ටීටීඊ කැරැල්ල පරාජය කිරීමෙන් පසුව හෝ ඒ සදහා වන ප්‍රතිසංස්කරණ සිදු කිරීමක් සිදු නොවීය.

 zdfsere

සියලු දේශපාලන පක්ෂ සිය බල දේශපාලන වුවමනාවන් සඳහා කුල සාධකය විවිධ අකාරවලට පාවිච්චි කරති. ජේවිපිය සහ එල්ටීටීඊය ද සිය කැරලි සඳහා පීඩිත කුල සාධකය උපරිම ලෙස ප්‍රයෝජනයට ගත්තේය. විජේවීර හා ප්‍රභාකරන් යන දෙදෙනාම අයත් වූයේ සිංහල හා දෙමළ කුල ක්‍රමයේ අතර මැදි තත්වයක් නියෝජනය කළ කරාව හෝ කරයාර් කුලයටය. ඒ දෙදෙනාම තමන්ට පමණක් දෙවැනි වූ නියෝජ්‍ය නායකත්වය ලබා දී තිබුනේ සිංහල හා දෙමළ කුල ක්‍රමයේ පීඩිතම තත්වයක් නියෝජනය කල පුද්ගලයන් දෙදෙනකුට (උපතිස්ස ගමනායක හා තමිල් සෙල්වම්) ය. එම සංයෝජනය පීඩිත කුලවල ආකාර්ශනයට හේතුවන්නට ඇති බවට ද සැකයක් නැත.

 

එහෙත් මේ පක්ෂ දෙක ( ජේවීපිය හා එල්ටීටීඊය ) තමන් ගේ කැරලි සදහා " පීඩිත කුල සාධකය "උපරිම ලෙස පාවිච්චි කලද පීඩිත කුල ගනයට වැටෙන ජනයා ඔවුන් සිටින පීඩාකාරි තත්වයෙන් මුදා ගැනීම සදහා ඔවුන්ට විමුක්තිය හෝ යුක්තිය ඉටු කිරීම සදහා ඇති කල යුතු ප්‍රතිසංස්කරණ හෝ වෙනස් කම් ගැන කථා කර නැත. ඒ වෙනුවෙන් පෙනීසිටින ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කරද නැත. ඔවුන් ගේ විසඳුම් මොනවාද කියා පැහැදිලි කිරීමක්ද කර නැත. එය එම පක්ෂවලට පමණක් නොව මේ රටේ සියලු දේශපාලන පක්ෂවලට ආවේනික පොදු ලක්ෂනයක් ලෙසද සැලකිය හැකිය.

වර්ග, කුල, ආගම් ප්‍රශ්නය ලංකාව මුහුණ දී තිබෙන ලොකුම ප්‍රශ්නය ලෙස සැලකිය හැකිවුවද එම නිෂ්චිත ප්‍රශ්නය විසඳාගත යුතු අකාරය ගැන ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක්  පැහැදිලි කිරීමක් කර නැත. නැතහොත් එම ප්‍රශ්නයට තමන්ගේ විසඳුම් ඉදිරිපත් කර නැත.  එසේම එම ප්‍රශ්නය දිගින් දිගට පල්වන්නට ඉඩහැර බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටිනවා මිස ඉක්මන් විසඳුමක් මගින් ඒ නිසා පීඩා විදින ජනතාව ඒ තත්වයෙන් හැකි ඉක්මනින් මුදාගැනීම සදහා විශේෂ උනන්දුවක් දක්වන බවක් ද පෙනෙන්නේ නැත.

 

victor ivonවික්ටර් අයිවන්
ප්‍රවීන දේශපාලන විචාරක

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්