රට හැදීම ගැන කප්පරක් කතන්දර උප්පත්තියේ සිටම මරණය දක්වාම මේ රටේ මෙතෙක් විසූ

සෑම පුරවැසියකුම අසා ඇත. දැනටත් වාසය කරමින් සිටින පිරිසටද සිය මරණය දක්වා එසේ අසන්නට සිදුවෙනවාටත් සැක නැත. එසේම අනාගත පරපුරටද ඒ කතන්දර අසන්නට සිදුවිය හැකිය. නමුත් ඒ කියන රට හැදෙන්නේ නැත. මේ නිසා අපිට දුන්නොත් රට හදනවා කියන දේශපාලනයේද අවසානයක් නොවනු ඇත. පසුගාමී විදිහට කල්පනා කළහොත් මේ තත්වය ඇත්තය.

 

නිදහසෙන් පසු යුගය ගැන තිබෙන චෝදනාව වන්නේ රට කවුරුවත් හැදුවේ නැතැයි කියන එකය. රට බංකොලොත්වීමෙන් ඒ චෝදනාව තහවුරු වී ද ඇත. නමුත් රට නොහැදුනා නොව හැදුනු තරම් ප‍්‍රමාණවත් නොවීම මේ චෝදනාවට හේතුවය. අනෙක පෞද්ගලික වශයෙන් වන පීඩාවන් නිසා පොදු චෝදනාවක් ලෙස රට නොහැදීම ලෙස ගොනුව ඇතැයි කීමත් වැරදි නැත. කොහොම නමුත් සිදුව තිබෙන දේ අනුව, රට ගොඩනැගීම කළ නොහැකි යැයි නිගමනයකට පැමිණෙන්න හේතුවක් නොවේ. රට ගොඩනැගිය හැකිය. ඊට අවස්ථාවන් සහ හැකියාවන් තවම තිබේ. නමුත් ඒ භාවිත කිරීම සම්බන්ධයෙන් රටම සිටින්නේ අතිශය දුර්වල තැනකය. රටේ අසමත්භාවය නම් එයය.

 

සත්‍ය ලෙසම මේ රටට සිදු වුයේ, රට හදන්න පුළු‍වන් මාර්ගය අත්හැර දමා අයාලේ යෑමය. එය අනවබෝධයන් නිසා හෝ අනෙක් වුවමණාවන් වෙනුවෙන් රටේ අනාගතය නොතකා හැරීමක් හෝ නිසා සිදුවූ ස්වයං කෙලවාගැනීමක් බව කීම කිසිසෙත්ම වැරදි නැත. රටක් හැදීම, ගොඩනැංවීම නැතිනම් සංවර්ධනය කිරීම යනු සරල සංසිද්ධියක් නොවේ. විශේෂයෙන්ම මේ දූපත තුළ වසර දහස් ගණනක ඉතිහාසයේ රට හැදීම යනුවෙන් කල්පනා කළේ බත බුලතින් සරු, කිරියෙන් පැණියෙන් උතුරන රටක් ගැනය. රොමෑන්තික කියවීම්ය.

කෘෂිකර්මාන්තය, පශු කර්මාන්තය, වාරි කර්මාන්තය ගොඩනැංවීමෙන් එහාට සිතුවේ නැති තරම්ය. අදත් මේක කෘෂිකාර්මික රටක්ය එය සංවර්ධනය කිරීමකින් හැර අනාගතයක් නැතැයි කියන කතාවෙන් ඔබ්බට වෙනකක් ගැන කල්පනා කිරීමත් විජාතික කුමන්ත‍්‍රණයක් කියන තැනටම බහුතරයේ සමාජ ආකල්ප ඝනීභූතව තිබේ. එහෙත් මේ රට, බත බුලතින්වත් කිරියෙන් පැණියෙන්වත් සමෘද්ධිමත් කිරීමට මේතාක් කාලයකට කිසිදු පාලකයකුට හෝ ජනතාවකට හැකිව නැත. ඇත්ත ඒකය. රට හදන්න කතා කරන අයත් කතා කරමින් සිටින්නේ මේ බත් බුලත් කිරි පැණි කෑම ගැනය. එහෙත් බඩ ගැන කල්පනාවෙන් එහා ලෝකයක් ගැන හිතන්න පුළු‍වන් වන්නේ දේශපාලනය බඩගෝස්තරය කරනොගත්ත මිනිස්සුන්ටය.

 nde

”...ශ‍්‍රී ලංකාවේ අපට ආර්ථික වශයෙන් සුවිශේෂව තිබෙන්නේ භූගෝලීය පිහිටීම සහ මානව සම්පත පමණයි. අපට වෙන කිසිවක් නැහැ...” ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මේ කියන නිශ්චිත කතාව, පරම්පරා ගණනක් ඇදහු, ලෝකෙන් උතුම් රට පිළිබඳ රෝමෑන්තික කතන්දරවලට වඩා ඉදුරාම වෙනස්ය. නමුත් ඇත්තය. තේරෙන වචනවලින් කියන්නේ නම් පස්ස කහගන්නවත් නියපොත්ත නැතුවත් කරන පාරම්බෑම්  ඕසෙට තිබුණා කියන එකය. මෙරට සංවර්ධනය සඳහා ගත යුතු මග සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ විද්වත් කතිකාව තුළ මේ අදහස අලූ‍ත් දෙයක් ද නොවේ.

 

රටෙන් එහා ලෝකයේ ආර්ථිකය ගැන, ඒ සම්බන්ධතා ජාලය ගැන අවබෝධය තුළ මෙරට භූගෝලීය පිහිටීම සහ මානව සම්පත උපාය මාර්ගිකව යොදාගැනීම තරමට වෙනත් සංවර්ධන ක‍්‍රමෝපායය කිසිවක් සාර්ථක නැති බව කෙතරම් සත්‍යයක් වුවත් ඒ රට තුළ ප‍්‍රයෝගිකත්වයට නැංවීමේ අභියෝගය අදත් ඇත. ඒ, පරණ ආකල්ප අත්හැරීමට ඇති සමාජීය හා දේශපාලනික නොහැකියාව සහ ඒ මතින් ගොඩයන්නට දඟලන ප‍ටු අවස්ථාවාදී දේශපාලනය නිසාය.

කොහොම නමුත් ජනාධිපතිවරයා, මෙරට භුගෝලීය පිහි‍ටුම හා මානව සම්පත රටේ සංවර්ධනයේ ඉලක්ක වෙනුවෙන් යොදා ගතහැකි සුවිශේෂීම සාධක දෙක ලෙස නිශ්චිතවම හඳුනා ගනිමින් ඒ වෙනුවෙන් රටේ ආර්ථිකය හැඩ ගැස්සවීමට ගන්නා පියවර මෙරට සංවර්ධන ක‍්‍රමෝපාය සම්බන්ධයෙන් විශිෂ්ඨ පියවරයකි.

 

භූගෝලීය පිහි‍ටුමක උපාය

ලෝකයේම  ඕනෑම රටක් තම භූගෝලීය පිහි‍ටුම ගැන කල්පනා කළහොත් ඉන් අත්පත් කරගත හැකි ප‍්‍රතිලාභයන් තිබේ. එය රටකින් රටකට වෙනස් විය හැකි නමුත් අවස්ථාවන් විවෘතය. ඒ අනුව යම් රටකට ඛනිජ, පොසිල ඉන්ධන, කෘෂිකාර්මික ඉඩම්, ජල මූලාශ‍්‍ර, පුනර්ජනනීය බලශක්ති විභවයන් වැනි ස්වභාවික සම්පත් බහුලවීම මත එම රටට ආයෝජන ප‍්‍රවේශ වීමට එම භූගෝලීය පිහිටීම බලපෑ හැකිය. බහුල සම්පත් ඇති රටවලට ඇතැම් කර්මාන්තවලින් වාසියක් තිබිය හැකි අතර ආර්ථික වර්ධනය සඳහා ඒවා උපයෝගී කර ගත හැකිය. නිදසුනක් වශයෙන්, මැදපෙරදිග රටවල පොසිල ඉන්ධන නිස්සාරණය සහ අපනයනය වටා ඔවුන්ගේ ආර්ථිකයන් ගොඩනගා ඇත.

 

එමෙන්ම තවත් රටක භූගෝලීය පිහිටීමක් උපායමාර්ගික ස්ථානයකට ප‍්‍රවේශය සැපයිය හැකිය. එමඟින් රට ආර්ථික බලවතුන්ට ආකර්ශනීය වන අතර එමඟින් ආයෝජන සඳහා අවස්ථාව ලද හැකිය. ජාත්‍යන්තර වෙළඳාමේ යෙදීමට සහ ගෝලීය වෙළඳපොළ සමඟ සම්බන්ධවීමට රටකට ඇති හැකියාව කෙරෙහි ස්ථානීය බලපෑම් කළ හැකිය. ප‍්‍රධාන වෙළඳ මාර්ග, වෙරළ තීරයන් හෝ ප‍්‍රවාහන මධ්‍යස්ථාන අසල පිහිටි රටවලට වෙළඳපොළ වෙත පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි අතර එමඟින් වෙළඳ හා ආර්ථික අවස්ථා වැඩි වේ.

 

තවත් විටෙක භූගෝලීය පිහිටීමකට අනෙක් රටක ප‍්‍රහාරයක් හෝ ආක‍්‍රමණයක් වැලැක්විය හැකි අතර, එමඟින් ආර්ථික සංවර්ධනය සඳහා ආරක්ෂාව තර කරයි. තවත් භූගෝලීය පිහිටීමකට, ප‍්‍රදේශීය වශයෙන් හෝ ජනකොටස් අතර රටක සහජීවනය පවත්වාගත හැකි අතර එය ආර්ථික හා සමාජ සංවර්ධනයට හිතකර වේ.

එමෙන්ම භූගෝල පිහිටීම් රටක දේශගුණය, ස්වාභාවික විපත් සහ පාරිසරික තත්ත්වයන් කෙරෙහි බලපෑම් කළ හැකි අතර, එය සංවර්ධනය කෙරෙහි ධනාත්මක හෝ ඍණාත්මක බලපෑම් ඇති කළ හැකිය. හිතකර දේශගුණය සහ සාරවත් පස කෘෂිකාර්මික ඵලදායිතාවයට සහාය විය හැකි අතර කටුක දේශගුණය හෝ ස්වභාවික විපත්වලට ගොදුරු වීමේ අවදානම අභියෝග මතු කළ හැකිය. එසේම සෞදර්යාත්මක භූ දර්ශන, ඓතිහාසික ස්ථාන හෝ සංස්කෘතික ආකර්ෂණ ස්ථාන වැනි ලක්ෂණ සංචාරක ආකර්ෂණය කර ගත හැකි අතර, ආර්ථික සංවර්ධනයට දායක වේ.

මේ ආකාරයෙන් විවිධ ප‍්‍රතිලාභයන් අත්පත් කරගත හැකි නමුදු භූගෝලීය පිහිටීමම පමණක් රටක් සංවර්ධනය කෙරෙහි රඳා නොපවතින බවත් කිව යුතුය. නමුත් එය වැදගත්ම සාධකයකි.

රාජ්‍ය පාලනය, දේශපාලන ස්ථාවරත්වය, රාජ්‍ය ප‍්‍රතිපත්ති, අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා, සංස්කෘතික හා සමාජීය සම්මතයන්, ආයෝජන සඳහා ප‍්‍රවේශය සහ යටිතල පහසුකම් වැනි පුළුල් පරාසයක වෙනත් සාධක ද රටක සංවර්ධනයට බලපායි. මීට අමතරව, බොහෝ රටවල් තාක්‍ෂණය සහ නව්‍ය චින්තනය භාවිතා කිරීම තුළින් ඔවුන්ගේ භූගෝලීය සීමාවන් ජය ගැනීමටත් සමත් වී ඇත. අවසාන වශයෙන්, රටක සංවර්ධනය යනු පුළුල් පරාසයක සාධක ම`ගින් බලපෑමට ලක්වන සංකීර්ණ සහ බහුවිධ ක‍්‍රියාවලියක් වන අතර භූගෝලීය පිහිටීම බොහෝ සලකා බැලීම්වලින් වැදගත්ම එකකි.

 

රටක මහා ප‍්‍රාග්ධනය

 ser3

එසේම ජනාධිපති රනිල් පෙන්වා දුන් අනෙක් කරුණ නම් මානව සම්පතය. එය රටක අභිවෘද්ධිය හැඩගැස්වීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. මෙය රටක තිබෙන මහා ප‍්‍රාග්ධනයයි. එය ප‍්‍රබල ශක්‍යතාවයකින් යුතුව ගොඩනගා ගැනීමට නම් නිපුණ ශ‍්‍රම බලකායක් සිටිය යුතුය. එය සංවර්ධනය කිරීමට අධ්‍යාපනය, කුසලතා පුහුණුව සහ සෞඛ්‍ය සේවා සඳහා ආයෝජනය කිරීම විය යුතුය. 

 

මානව ප‍්‍රාග්ධන සංවර්ධනයට ප‍්‍රමුඛත්වය දීමෙන් දක්ෂතා ආකර්ෂණය කරගැනීමට, රඳවා ගැනීමට, ව්‍යවසායකත්වය පෝෂණය කිරීමට සහ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් ගොඩ නැගීමට හැකිය. එමෙන් අද ලෝකයේ ප‍්‍රමුඛතම ඉල්ලූ‍මක් මේ කුසලතා පුහුණු ශ‍්‍රමිකයන්ට, වෘත්තිකයන්ට තිබේ. ඒ අවශ්‍යතාවයන් සම්පුර්ණ කිරීමට දායකවීම හරහා රටකට විදේශීය විනිමය වත්කම් උපයා ගැනීමේ උපක‍්‍රමශීලි ප‍්‍රවේශයකට යා හැකිය. මේ අනුව ඉහළ ගණයේ මානව සම්පතක් ගොඩනගා ගැනීම ම`ගින් මෙරට සංවර්ධනයේ ප‍්‍රධාන මෙවලමක් බවට එය පත්කරගැනීමේ පහසු අවස්ථාවක් ඇත.

 

භූ පිහිටීමෙන් ගොඩගිය රටවල්

xzdtw4

සිංගප්පූරුව- අග්නිදිග ආසියාවේ ප‍්‍රධාන නැව් මාර්ගවල සන්ධිස්ථානයේ උපාය මාර්ගික පිහිටීමෙන් නිසි ප‍්‍රතිපළ නෙලා ගත් සිංගප්පූරුව ලොව ප‍්‍රමුඛතම වෙළඳ හා මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වී ඇත. උසස් සැපයුම් යටිතල පහසුකම් සහ ව්‍යාපාරික හිතකාමී ප‍්‍රතිපත්ති විදේශ සමාගම් ආකර්ෂණය කරමින් ජාත්‍යන්තර වෙළඳාමට පහසුකම් සලසා ඇත. සිංගප්පූරුව තාක්‍ෂණය සහ මූල්‍ය සඳහා ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ඇත. එමෙන්ම අද එය ලෝකයේ ප‍්‍රමුඛතම අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත්කර ගැනීමේ හැකියාවද සම්පූර්ණ කරගැනීමට සමත්ව ඇත.

 eau

එක්සත් අරාබි එමීර් රාජ්‍යය - යුරෝපය, ආසියාව සහ අප‍්‍රිකාව අතර එහි උපාය මාර්ගික පිහිටීම විශේෂයෙන්ම ඩුබායි සහ අබුඩාබි, ප‍්‍රධාන ගෝලීය ව්‍යාපාරික සහ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම සඳහා යොදාගෙන ඇත. එහි අති නවීන ගුවන්තොටුපළ, උසස්ම ගුවන් සේවා සහ නවීන යටිතල පහසුකම් සම්බන්ධතා සඳහා පහසුකම් සලසා ඇති අතර එය ජාත්‍යන්තර වෙළඳාම, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය සඳහා වඩාත් කැමති ගමනාන්තයක් බවට පත් කර ඇත. එමෙන්ම මූල්‍ය, දේපළ වෙළඳාම්, සංචාරක සහ සැපයුම් වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරමින් තෙල් හා ගෑස්වලින් ඔබ්බට ආර්ථිකය විවිධාංගීකරණය කර ඇත.

 

නෙදර්ලන්තය එහි භූගෝලීය පිහිටීම යුරෝපයට පිවිසුම් මාර්ගයක් ලෙස භාවිතා කර ඇත. ලෝකයේ විශාලතම වරායක් වන රොටර්ඩෑම් වරාය ඇතුළු රටේ පුළුල් වරාය ජාලය, නෙදර්ලන්තය වෙළඳාම සහ ප‍්‍රවාහනය සඳහා අත්‍යවශ්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ඇත. මීට අමතරව, නෙදර්ලන්තය උසස් සැපයුම් පද්ධති, කාර්යක්ෂම ප‍්‍රවාහන යටිතල පහසුකම් සහ හිතකර ව්‍යාපාරික පරිසරයක් සඳහා ආයෝජනය කර ඇති අතර, බොහෝ ජාත්‍යන්තර සමාගම් ආකර්ෂණය කර ගනිමින් සැපයුම් සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත වී ඇත.

පැනමාව, පැනමාවේ ආර්ථික වර්ධනයට පැනමා ඇළ තීරණාත්මක සාධකයක් වී ඇත. මෙම ඇල අත්ලාන්තික් සහ පැසිෆික් සාගර සම්බන්ධ කරයි. ගෝලීය නැව්ගත කිරීම සහ වෙළඳාම සඳහා වැදගත් කෙටි මගක් සපයයි. පැනමාව විසින් විශාල යාත‍්‍රා ගමන් කිරීමට මෙන්ම එහි ධාරිතාව වැඩි කිරීමට ඇළ පුළුල් කිරීම සහ නවීකරණය කිරීම සඳහා දැවැන්ත ආයෝජනය කළේය. මෙය සමුද්‍ර වෙළඳාම ඉහළ නංවා ඇත, ජාත්‍යන්තර නැව් සමාගම් ආකර්ෂණය කර ඇත, සහ රටේ සැපයුම් සහ සේවා අංශ ශක්තිමත් කර ඇත.

කටාර්- අරාබි අර්ධද්වීපයේ ඊසානදිග වෙරළ තීරයේ පිහිටා ඇති කටාරය, ලෝකයේ ධනවත්ම රාජ්‍යයක් බවට පත්වීමට ස්වකීය ස්වාභාවික වායු (LNG) විශාල සංචිත ප‍්‍රාග්ධනය කර ඇත. පර්සියානු ගල්ෆ් කලාපයේ එහි උපායමාර්ගික පිහිටීම ගෝලීය වෙළඳපොළවල් වෙත ද්‍රව ස්වභාවික වායු ප‍්‍රධාන අපනයනකරුවෙකු බවට පත් කර ඇත. කටාර් රාජ්‍යය නිෂ්පාදන පහසුකම් සහ නැව්ගත කිරීමේ හැකියාව ඇතුළුව ඛභඨ යටිතල පහසුකම් සඳහා විශාල වශයෙන් ආයෝජනය කර ඇති අතර එමඟින් එහි භූගෝලීය වාසිය ප‍්‍රයෝජනයට ගැනීමට සහ පිරිසිදු බලශක්ති ප‍්‍රභවයන් සඳහා වන ගෝලීය ඉල්ලූ‍ම සපුරා ඇත.

බ‍්‍රසීලය- දකුණු ඇමරිකාවේ විශාලතම රට වන බ‍්‍රසීලය එහි පුළුල් භූමි ප‍්‍රදේශයෙන් සහ විවිධ භූගෝලීය පිහිටුම් මගින් ප‍්‍රතිලාභ ලබයි. එය කෘෂිකාර්මික ඉඩම්, ඛනිජ සහ බලශක්ති සංචිත ඇතුළු ස්වභාවික සම්පත් බහුලය. බ‍්‍රසීලය සෝයා බෝංචි, කෝපි, හරක් මස්, යපස් සහ තෙල් වැනි භාණ්ඩවල ප‍්‍රමුඛ අපනයනකරුවෙකි. එහි භූමි ප‍්‍රදේශයේ සැලකිය යුතු කොටසක් ආවරණය වන ඇමසන් වැසි වනාන්තරය පාරිසරික සංචාරක ව්‍යාපාරය සඳහා අවස්ථා සපයයි.

දකුණු කොරියාව- සීමිත ස්වභාවික සම්පත් තිබියදීත්, දකුණු කොරියාව එහි භූගෝලීය පිහිටීම අනුව චීනය සහ ජපානය වැනි ප‍්‍රධාන ආර්ථිකයන්ට සමීප වීමෙන් ඊට සමීප උපාය මාර්ගික කර්මාන්ත සංවර්ධනය කිරීම ම`ගින් ප‍්‍රතිලාභ ලබයි. විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික උපකරණ, මෝටර් රථ, නැව් තැනීම සහ අර්ධ සන්නායක වැනි ක්ෂේත‍්‍රවල අධි තාක්‍ෂණික නිෂ්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා ලෙස දකුණු කොරියාව තහවුරු වී ඇත. එහි උපායමාර්ගික පිහිටීම වෙළඳාම පහසු කර ඇති අතර නිෂ්පාදන භාණ්ඩවල ප‍්‍රධාන අපනයනකරුවෙකු වීමට දකුණු කොරියාවට හැකි වී තිබේ.

 ඕස්ට්‍රේලියාව - දූපත් මහාද්වීපයක් ලෙස භූගෝලීය පිහිටීම එහි ආර්ථික අවස්ථා හැඩගස්වා ඇත. රට ගල් අඟු‍රු, යපස්, රත්රන් සහ යුරේනියම් ඇතුළු ස්වභාවික සම්පත්වලින් පොහොසත්ය. එය ලෝකයේ විශාලතම භාණ්ඩ අපනයනයකරුවෙකි.  ඕස්ටේ‍්‍රලියාවේ වෙරළබඩ ප‍්‍රදේශ ධීවර කර්මාන්තය, ජලජීවී වගාව සහ සංචාරක ව්‍යාපාරය වැනි දියුණු වෙමින් පවතින කර්මාන්ත සඳහා සහාය වේ. එපමණක් නොව, එහි විශාල ගොඩබිම සහ හිතකර දේශගුණය විසින් තිරිඟු‍, හරක් මස්, ලොම් සහ වයින් අපනයනය කිරීමත් සමඟ කෘෂිකාර්මික ඵලදායිතාව සක‍්‍රීයකර ඇත. ලොව පුරා සංචාරකයින් ආකර්ෂණය කර ගනිමින් එහි ස්වභාවික සුන්දරත්වය සහ ජෛව විවිධත්වය ද ප‍්‍රාග්ධනය කර ඇත.

ඉතියෝපියාව- අප‍්‍රිකානු කලාපයේ පිහිටා ඇති ඉතියෝපියාව මෑත වසරවලදී සැලකිය යුතු ආර්ථික ප‍්‍රගතියක් ලබා ඇත. රතු මුහුදට සහ සූවස් ඇළට සමීපත්වය ම`ගින් නැගෙනහිර අප‍්‍රිකාවේ කලාපීය වෙළඳපොළවල් වෙත ප‍්‍රවේශය පහසුකරයි. ඉතියෝපියාව ප‍්‍රවාහන ජාල සහ කාර්මික කලාප ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ වෙළඳාමට පහසුකම් සැලසීම කෙරෙහි අවධානය යොමු කර ඇත. විශේෂයෙන් කෝපි නිෂ්පාදනයෙන් ලොව ප‍්‍රමුඛ අපනයනකරුවෙකු බවට පත්ව ඇත. ඉතියෝපියාවේ රජය නිෂ්පාදන සහ රෙදිපිළි කර්මාන්ත දිරිගැන්වීම සඳහා ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නංවා ඇති අතර, එහි අඩු ශ‍්‍රම පිරිවැය සහ ජාත්‍යන්තර වෙළඳපොල සමඟ වෙළඳාම සඳහා උපායමාර්ගික පිහිටීම උත්තේජනය කරයි.

 

මේ භූගෝලිය පිහිටුම අනුව රටක් සංවර්ධන උපාය මාර්ග සකස් කරගැනීම ගැන උදාහරණ කිහිපයක් පමණි. එහෙත් මෙම තත්වයන් අත්පත් කරගැනීම වෙනුවෙන් එම රටවල් පටු අවස්ථාවාදී දේශපාලනයේ ගොදුරු බවට පත් නොවී සිය අනාගතය වෙනුවෙන් ගත් ප‍්‍රතිපත්තිමය තීරණ මත ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ.

 

ලංකාව ගත යුතු මඟ

මේ අනුව ඉන්දියන් සාගරයේ ශ‍්‍රී ලංකාවේ භූ පිහිටීම අනුව අත්පත් කරගත හැකි ප‍්‍රතිලාභයන් සලකා බැලූවහොත් ලෝකයේ අනෙක් රටවල තරමට හෝ ඊටත් වැඩි අවස්ථා මෙරටට තිබෙන බව පැහැදිලිය.

 xzdgfsert

උපාය මාර්ගික පිහිටීම- ඉන්දියානු සාගරයේ ප‍්‍රධාන නැව් මාර්ග ඔස්සේ ශ‍්‍රී ලංකාවේ පිහිටීම සමුද්‍ර වෙළඳාම සහ සැපයුම් සඳහා ශක්තිමත් මධ්‍යස්ථානයකි. ප‍්‍රතිනැව්ගත කිරීමට පහසුකම් සැලසීම සහ ජාත්‍යන්තර නැව් සමාගම් ආකර්ෂණය කරගැනීමේ අවස්ථාවලින් දැනටමත් යම් ප‍්‍රයෝජනයක් ගෙන ඇත. තවදුරටත් කාර්යක්‍ෂම වරාය යටිතල පහසුකම් සහ සැපයුම් හැකියාවන් වර්ධනය කිරීම මගින් ගෝලීය වෙළෙඳපොළ සමඟ සම්බන්ධතාව වැඩිදියුණු කළ හැකිය. එසේම දකුණු ආසියාවේ පිවිසුම් දෙරටුව ලෙස ශ‍්‍රී ලංකාව වරාය සහ ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙසත් යම් ලෙසකින් සේතු සමුද්‍රම් හරහා ඉන්දියාවට ගොඩබිම් මාර්ගයක් විවෘත කරගත හැකි නම් ශ‍්‍රී ලංකාව සමස්ත ආසියාව හා ගොඩ බිමෙන්ද සම්බන්ධ වෙනු ඇත. මේ අතර චීනයේ සේද මාවත වැඩපිළිවෙල (BRI), තුළ ශ‍්‍රී ලංකාව යනු වැදගත්ම සංධිස්ථානයක්වීම තුළ මෙරටට ආර්ථික අවස්ථා බොහොමයක් විවෘත වෙනු ද ඇත.

 

සංචාරක හා ආගන්තුක සත්කාරය- ශ‍්‍රී ලංකාවේ නිවර්තන දේශගුණය, දර්ශනීය භූ දර්ශන සහ පොහොසත් සංස්කෘතික උරුමයන් එය ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් බවට පත් කර ඇත. සුන්දර වෙරළ තීරයන්, මධ්‍යම කඳුකරය පාරිසරික සංචාරක ව්‍යාපාරය සඳහා අවස්ථා සපයයි. ඉන්දියාවේ සහ අග්නිදිග ආසියාවේ ප‍්‍රධාන සංචාරක වෙළඳපොළවල්වලට භූගෝලීය වශයෙන් සමීපව සිටීම මත ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවදුරටත් ප‍්‍රතිලාභ ලබා දෙන අතර ආර්ථික වර්ධනයට සහ රැකියා උත්පාදනයට දායක වේ.

ind sl

කලාපීය සම්බන්ධතාවය - ශ‍්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම ඉහළ කලාපීය සහයෝගීතාවයක් සඳහා අවස්ථා සපයා ඇත. ඉන්දියානු සාගර රිම් සංගමය (IORA), බහු-ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක මුලපිරීම (BIMSTEC), වැනි බහුපාර්ශවිය ආර්ථික ඒකාබද්ධතාවයන් සහ කලාපීය රටවල ද්විපාර්ශ්වික ගිවිසුම් ආදිය මෙරට ආර්ථිකය ප‍්‍රවර්ධනය ස`දහා දොරටු ගණනාවක් විවෘත කරයි.

ස්වභාව සම්පත් - සාරවත් භූමිය සහ විවිධ පරිසර පද්ධති වැනි ශ‍්‍රී ලංකාවේ භූගෝලීය විශේෂතා මෙන්ම තිරසාර සංවර්ධනය ඉලක්කකරන කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සඳහා නව ව්‍යාපාරික අවස්ථා පවතී.

 

එහෙත් මෙරට භූගෝලීය පිහිටීම තිරසාර සංවර්ධනය අභියෝග ද මතු කරයි. ශ‍්‍රී ලංකාව සුළි කුණාටු බහුල කලාපයක පිහිටීම හේතුවෙන් සුළි කුණාටු, ගංවතුර සහ නියඟ ඇතුළු ස්වභාවික විපත්වලට ගොදුරු වේ. ආපදා සඳහා සූදානම් වීම, යටිතල පහසුකම් සැලසුම් කිරීම සහ දේශගුණයට අනුවර්තනය වීමේ පියවරයන් හරහා මෙම සිදුවීම්වලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම විය යුතුය.

 

එමෙන්ම ශ‍්‍රී ලංකාවේ පිහිටීම ඉන්දියාවේ සහ අග්නිදිග ආසියාවේ විශාල වෙළඳපොලවල්වලට සමීප තීබීම වාසියක් වුවත්, අනෙක් කලාපීය රටවල තරඟකාරීත්වයට ද මුහුණ දීමට සිදුවේ. මේ නිසා ශ‍්‍රී ලාංකේය නිෂ්පාදන සහ සේවා සඳහා වෙළඳපොළ ප‍්‍රවේශය උපරිම කිරීම සඳහා වෙළඳ පහසුකම් වැඩිදියුණු කිරීම, වෙළඳ බාධක අඩු කිරීම සහ ප‍්‍රවාහන සහ සැපයුම් ජාල හරහා සම්බන්ධතා වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය කරුණක්ව තිබේ. දූපත් රාජ්‍යයක් ලෙස ශ‍්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම, ඇතැම් භාණ්ඩ සහ සම්පත් සඳහා ආනයන මත යැපීම වැඩි කර ඇත. මෙය වෙළඳ ශේෂය, විදේශ විනිමය සංචිත සහ ගෝලීය මිල උච්චාවචනය සම්බන්ධ අවදානම ඉහළය. එම අභියෝගවලට මුහුණ දීමට ක‍්‍රමවේද තිබිය යුතුය.

sl china

 

මාර්ගය විවෘත කර ඇත

කොහොම නමුත් නව තාක්‍ෂණය සහ පවතින ගෝලීය පිළිවෙල මෙරටට නව අවස්ථා  ඕනෑ තරම් සපයා ඇති අතර, එහි වාසිය ගැනීම, අභියෝග ජය ගැනීම වෙනුවෙන් උපාය මාර්ගික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම තිරසාර ආර්ථික වර්ධනයක් සහ සෞභාග්‍යයක් සඳහා රටේ විවෘත කළ හැකිය. ජනාධිපති රනිල් ක‍්‍රියාත්මක කරන නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙල හරහා මේ වන විට ශ‍්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග ජයගැනීම සහ ආර්ථික සංවර්ධනය කිරීම සඳහා විවිධ මුල පිරීම් සහ ව්‍යාපෘති ගණනාවක් ක‍්‍රියාත්මක කර ඇත.

colombo port

ඒ අතර ශ‍්‍රී ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීම සඳහා කොළඹ වරාය පුළුල් කිරීම සහ හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම ද අනෙක් වරාය යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ද පියවර ගෙන ඇත. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හරහා නවීන මූල්‍ය මධ්‍යස්ථානයක් සහ කලාපීය ව්‍යාපාරික මධ්‍යස්ථානයක් නිර්මාණය වෙනු ඇත. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වැනි ගුවන් තොටුපළවල් පුළුල් කිරීම සහ නවීකරණය කිරීම ම`ගින් ගුවන් සම්බන්ධතා වැඩිදියුණු කිරීම සහ සංචාරකයින් සහ ව්‍යාපාරික සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ඇත. විදේශ ආයෝජන, මෙරට කර්මාන්ත ව්‍යපාර වර්ධනය වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනයට ප‍්‍රමුඛත්වය දී ඇත. දේශීය සම්බන්ධතා වැඩිදියුණු කිරීම සහ ප‍්‍රවාහන වියදම් අඩු කිරීම සඳහා මාර්ග ජාල, මහාමාර්ග සහ අධිවේගී මාර්ග ඉදිකිරීම සහ වැඩිදියුණු කිරීම වැනි ව්‍යාපෘති කෙරෙහි රජය යොමුව තිබේ.

 

කලාපීය ආර්ථික සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයා සුවිශේෂි මෙහෙවරක් යෙදී සිටී. කලාපීය ආර්ථික බලවතා වන ඉන්දියාව සමඟමෙන්ම චීනය සමගද සම්බන්ධතා දියුණු කර ඇත. කලාපීය ආර්ථික ඒකාබද්ධතාවය මගින් කලාපීය සංවර්ධනය වෙනුවෙන් ජනාධිපතිවරයා දැඩිව පෙනී සිටින අතර ගෝලීය පිළිවෙතට විකල්පව නව ආසියානු පිළිවෙතක් ගොඩනැගීමද ඔහුගේ අපේක්ෂා අතර වේ.

 

තේ, කුරුදු වැනි අපනයන බෝග සහ ඇඟලූ‍ම් වැනි සාම්ප‍්‍රදායික අංශවලින් ඔබ්බට අපනයන පදනම විවිධාංගීකරණය කිරීමට අවශ්‍ය පියවරයන්ට මේ වන විට බර තබා ඇත. අගය එකතු කළ කර්මාන්ත සහ සාම්ප‍්‍රදායික නොවන අපනයන ප‍්‍රවර්ධනය කිරීම සඳහා රජය විවිධ ප‍්‍රතිපත්ති සහ මුලපිරීම් හඳුන්වා දී ඇත.

බලශක්ති අභියෝගවලට මුහුණ දීම සහ ආනයනික පොසිල ඉන්ධන මත යැපීම අවම කිරීම සඳහා ශ‍්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් කෙරෙහි අවධානය යොමු කරයි. සූර්ය, සුළං සහ ජල විදුලිබල උත්පාදනය ප‍්‍රවර්ධනය කිරීම සඳහා රජය ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කර ඇත.

ස්වභාවික විපත්වලට ශ‍්‍රී ලංකාව ගොදුරුවීමේ අවදානම සැලකිල්ලට ගෙන, රට ආපදා අවදානම් අවම කිරීම සහ දේශගුණයට අනුවර්තනය වීමේ ක‍්‍රියාමාර්ග පිළිබඳව කටයුතු කරමින් සිටී. පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සඳහා ආයෝජනය කිරීම, ආපදා ප‍්‍රතිචාර දැක්වීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම සහ යටිතල පහසුකම් ඔරොත්තු දීමේ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම මෙයට ඇතුළත් වේ. දේශගුණික විපර්යාස අවම කිරීම් වෙනුවෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ද ගෙන ඇත.

වර්ධනය වන ආර්ථිකයක අවශ්‍යතා සපුරාලීම සඳහා ශ‍්‍රී ලංකාව මානව ප‍්‍රාග්ධන සංවර්ධනය කෙරෙහි අවධානය දැඩිව යොමු කර ඇත. ශ‍්‍රම බලකාය අතර කුසලතා සහ දැනුම වැඩි දියුණු කිරීම සඳහා රජය නව අධ්‍යාපන ක‍්‍රමවේදයක් මෙන්ම හා වෘත්තීය පුහුණු වැඩසටහන් සඳහා විශාල ආයෝජනයක් කිරීමට තීරණය කර ඇත. එමෙන්ව විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන විශාල ප‍්‍රමාණයක් නුදුරේම පිහිටුවීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගෙන තිබේ. 

 

ස්ථාවර රටකට ඇති බාධාව

මේ ආදී වශයෙන් අනාගත අභියෝගවලට මුහුණ දීම සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ කැපවීම පෙන්වා ඇත. කෙසේ වෙතත්, මෙම ප‍්‍රයත්නවල සාර්ථකත්වය රඳා පවතින්නේ ඵලදායි ලෙස මේ පියවරයන් ක‍්‍රියාත්මක කිරීම, අඛණ්ඩ ආයෝජනය සහ දේශපාලන ස්ථාවරත්වයක් සහිත ශක්තිමත් පාලනයක් මත බව අවධාරණය කළ යුතුය.

 xtwe3

ශ‍්‍රී ලංකාව මුහුණදෙන අභියෝගය ඇත්තේ මෙතැනය. කුඩා ආර්ථිකයක් සහිත රටකට තමන්ට කෙතරම් අවස්ථා තිබුණත් නැගිටීමට තනිවම නොහැකි බව අමුතුවෙන් කිවයුතු නැත. විශේෂයෙන්ම බංකොලොත් බවට පත්ව තිබෙන මොහොතක බාහිර ආධාර උපකාරයන් නොමැතිව ඒ සඳහා ඇති අවස්ථා ඉතාම විරලය. භූමියක් තිබුණාට, ජනතාවක් සිටියද, කොහොම හෝ වේලක් නොකා වේලක් කා හෝ සිටීමට හැකිවීම පමණක් ප‍්‍රමාණවත් නම් මේ තිබෙන විදිහත් හොඳ වැඩිය. නමුත් අපේක්ෂා කරන රට එය නොවේ. 75 වසරක අසමත්කම ගැන මැසිවිලි නගන්නේ එවැනි රටක් වෙනුවෙන් නොවේ. රටක් විදිහට අභිමානයෙන් දෙපයින් නැගි සිටිය යුතුය. ලෝකය ජය ගත යුතුය. නමුත් ඒ වෙනුවෙන් අනෙක් බාහිර පාර්ශ්වයකින් සහය ලබාගැනීමට සිදුව තිබේ නම් ඒ අත් නොහැරිය යුතුය. විදේශ ආයෝජකයන් අවශ්‍යය. ජාතන්තර සංවිධානවල සහය අවශ්‍යය. නමුත් ඒ සහය ලබාගැනීම හිඟා කෑමක් නොවී ගනුදෙනුවක් විය යුතුය. දෙයක් ගන්න නම් සමාන දෙයක් දිය යුතුය. දෙපාර්ශ්වයටම එහි වාසි තිබිය යුතුය. විදේශ ආයෝජන යනු රටට නැති දෙයක් අත්පත් කරගැනීමය. ඒ වෙනුවෙන් එම පාර්ශ්වයට අවශ්‍ය රටේ තිබෙන දෙයක් ලබා දීම සාධාරණ හුවමාරුවකි. නමුත් ඒ දෙන දෙයට එරෙහිව කටයුතු කිරීමෙන් අවසානයේදි රටට කිසිවක් අත්පත් කරගැනීමට හැකිවන්නේ නැත.

 

මේ රටේ සිදුවුන තරමක් වුයේ විදේශ ආයෝජකයන් මෙරට ආයෝජනයට කැමති වුවත් ඊට කැමැත්තක් ලබාදීමට රට සමත් නොවීම මත ලබාගත යුතු දේ අහිමි කරගැනීමය. ත‍්‍රිකුණාමලයේ නිකම් දිර දිරා යන තෙල් ටැංකි සමූහය විදේශ අයෝජකයන් ලවා සංවර්ධනය කර ඉන් ප‍්‍රතිලාභයක් ලැබීමේ අවස්ථාවන් පටු ආකල්ප නිසා පරාජය විය. ටැංකි රැකගත්තා කියා රටට ලැබුණ දෙයක් නැත. කොළඹ වරාය නැගෙනහිර ජැටිය, බටහිර ජැටිය ආයෝජනයට ආ විරෝධයත් එසේමය. ඊට පෙර දකණු ජැටිය සම්බන්ධයෙන්ද එලෙසම විරෝධයන් පැමිණි නමුත් එය නොතකා කටයුතු කිරීම නිසා අද කොළඹ වරාය ලෝකයේ කාර්ය බහුලම සහ මෙම කලාපයේ අංක එකේ වරාය බවට පත්ව තිබේ. විදුලි සංදේශ දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය නොකරන්න ශ‍්‍රී ලංකා ටෙලිකොම් නැමැති විශිෂ්ට සේවය රටට නොලැබෙන්නට ඉඩ තිබිණි.

සිංගප්පුරුව දියුණු වූයේ මෙරට පිහිටීම මතම ගොඩනගා ගැනීමට හැකිව තිබු කලාපයේ ප‍්‍රධානතම ඛනිජ තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථානය විනාශ කිරීමෙන් පසුව ඔවුන් අත්පත් කරගැනීමෙනි. මේ ආදී උදාහරණ තවත් පෙන්වා දිය හැකිය. පැවැති අවස්ථාවන් නැති කරගැනීමෙන් ලංකාව ලෝක වාර්තාවක් තබන්න පුළු‍වන් තරම් දේ කර ඇත.

 

මේ නිසා රටේ උපාය මාර්ගික පිහිටීමත් මෙරට මානව ප‍්‍රාග්ධනය ගොඩනගා ගැනීමත් මගින් රට සංවර්ධනයේ මාර්ගයට ඇද දැමීමට වත්මන් රජය ගන්නා උත්සාහයටවත් අකුල් නොහෙලා සිටියොත් රටේ සංවර්ධන සිහිනය සැබෑ කරගැනීමට අවශ්‍ය මාර්ගය නිතැතින්ම ගොඩ නැගෙනු ඇති බව සැකයකින් තොර බව පැවසිය හැකිය. මෙරට විනාශ කළේම මේ සංවර්ධන අවස්ථාවලට අකුල් හෙළු ප‍ටු අවස්ථාවාදී ජාතිකවාදින්ගේ වාමාංශිකයන්ගේ මෝඩ විරෝධයයි. එය යළිත් වීමට ඉඩනොදීම රට ජනතාවගේ වගකීමක් එමෙන්ම අනාගත පරපුර වෙනුවෙන් කළ යුතු යුගයේ යුතුකමය.

 

- ජයතුංග බණ්ඩාර
Chatham Street Journal - 2023/10/22

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්