ශ්‍රී ලංකාවේ පුරවැසියන් මේ ගතකරමින් ඉන්නේ මෑත ඉතිහාසයේ දරුණුතම

ආර්ථික සහ සමාජයීය පරිහාණිය සිදුවෙමින් පවතින කාල පරිච්ඡේදයේ කියා කිව්වාට කිසිඳු වරදක් නැත. රටතුල අති බහුතරයක් ජනතාව ආර්ථික ප්‍රශ්නවල පීඩනයෙන් මිරිකෙනවා මෙන්ම ඒ හා සමගාමීව මතුවෙන සමාජයීය ප්‍රශ්නවලින්ද පීඩාවට පත්ව සිටිති. එවැනි ඛේදජනක ඉරණමක් සමග පොරබදිමින් සිටින රටක ආන්ඩුවක් හෝ පාලකයෙක් සිදුකළ යුත්තේ මොනවාද කියා කියන්නට සිහිබුද්ධිය ඇති ඕනෑම පුරවැසියෙකුට මහ වෙහෙසක් ගන්නට අවශ්‍ය නැත.

සරලවම කිවහොත්, එවැනි තැනකදී හරිහමන් ආන්ඩුවක් නම් කරන්නේ පෙරකී ආර්ථික සහ සමාජයීය ප්‍රශ්නවලින් ජනතාව ගලවාගන්නට අවශ්‍ය සියලුම සැලසුම්, ක්‍රියාමාර්ග ගන්නා අතරම ජනතාවට හැකිතාක් නිදහසේ සහ යහපත් මානසික තත්ත්වයක සිටින්නට අවශ්‍ය වටපිටාව සැකසීමය.


හරි පුදුම ප්‍රමුඛතාවය

 
 ඒ අතින් ලංකාවේ වර්තමාන ආන්ඩුව හරි අපූරුය. මේ මොහොතේ ආන්ඩුවේ ප්‍රමුඛතාවය තිබිය යුත්තේ ජනතාවට ප්‍රශ්නවලින් මිදෙන්නට මාර්ගයක් සකස් කරන ප්‍රතිපත්ති, සැලසුම්, නීතිරීති සකස් කරනවා වෙනුවට ආන්ඩුව කරන්නේ වෙන වෙන වැඩය. ඒ අතරින් කාලයක් තිස්සේ ආන්ඩු ගණනාවක්ම සම්මත කරන්නට දඟලන ප්‍රතිත්‍රස්ත පනත ඉදිරියෙන්ම තිබේ. ඒ අතරේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතද කලඑළි බසින්නේ ආන්ඩුවේ ප්‍රමුඛතාවය පිළිබිඳ නිවැරදිම අදහසක් ජනතාවට සන්නිවේදනය කරමින් ය.
Screenshot 2023 10 28 at 7.25.21 AM
රජයේ සහ රජයට සම්බන්ධ ආයතනවල ව්‍යාපෘති, ක්‍රියාකාරකම් පිළිබඳ ඇගයීම් සිදුකර එහි ප්‍රතිඵල ජනතාවට සන්නිවේදනය කරන ජාතික ඇගයීම් පනත වැනි රටකට වැදගත් පනත් සහ නීතිරීති සම්මත කරගැනීම දවසින් දවස ප්‍රමාද කරන රජය මේ අත තියන්නට යන්නේ කොතනටද කියා විවරණාත්මකව බැලීම පුරවැසියාගේ වගකීමකි. එයට අවශ්‍ය කරුණු සම්පාදනය කිරීම ජනමාධ්‍යවල වගකීමකි.

 
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පනත් කෙටුම්පත
 
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පනත් කෙටුම්පත පිළිබඳ කතාබහ එළියට එන්නේ අද ඊයේ නොවේය. මෑත කාලයේ ලංකාවේ බිහිවූ ජනාධිපතිවරු, ආන්ඩු බිහිකරන්නට සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි සිදුකල කාර්යභාරය ඉතා තීරණාත්මකය. එකී ජනමතයේ පිළීබිඹුව අන්තර්ජාලය හරහා සමාජගත කරමින් බලයට එන ආන්ඩු තමන්ගේ ප්‍රතිපත්ති සහ සැලසුම් පැත්තකින් තබා අත්තනෝමතිකව හෝ ජනතා විරෝධීව කටයුතු කරන අවස්ථාවලදී සමාජ මාධ්‍ය වේදිකාවලින් සහ අන්තර්ජාලයේ පුවත් සහ කාලීන වෙබ් අඩවිවලින් මතුවෙන ජනතා විරෝධය ඕනෑම ආන්ඩුවකට හිසරදයක් බව අමුතුවෙන් අටුවා ටීකා ලියා පහදන්න දෙයක් නැත.

ඒ නිසා මෑත කාලීනව ලංකාවේ බිහිවූ ආන්ඩු ගණනාවක්ම මෙකී මාර්ගගත ක්‍රම නියාමනය හෝ පාලනයට විවිධ පියවර ගන්නට උත්සහ කරන ලදි. ඇතැම්විට ඒවා නියාමනයට අවශ්‍ය තාක්ෂණික පියවර ගන්නා අතරම, අනිත් පැත්තෙන් නීතිමය ප්‍රතිපාදන සකස් කිරීමේ උත්සහයකද නිරත විය.
social media purpose 1 w930 1200x550

මෙකී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පත කලඑළි බසින්නේද පෙරකී උත්සහයේ ප්‍රතිඵලයක් ලෙසය. ප්‍රධාන වශයෙන් මෙම පනත් කෙටුම්පත මගින් යෝජනා කරන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පංච පුද්ගල කොමිෂන් සභාවක් පිහිටුවීම, එකී ස්වාධීන කොමිෂන් සභාව හරහා මාර්ගගත ක්‍රම නියාමනයට අවශ්‍ය පියවර ගැනීමය.

මෙකී පනතට අනුව අදාල කොමිෂන් සභාවට, මාර්ගගත ක්‍රම මගින් පලවන ප්‍රකාශන ‘තහනම් ප්‍රකාශන’ බවට නම්කිරීම, මාර්ගගත ප්‍රකාශන අවහිර කිරීම හෝ ඉවත් කිරීමට විධාන නිකුත් කිරීම, එකී ප්‍රකාශණ මත පදනම්ව අධිකරණයේ නඩු පැවරීම සහ ඒවාට දඩ හෝ සිර දඬුවම් පැනවීම, සමාජ මාධ්‍ය ලංකාව තුල ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සහ එසේ ලියාපදිංචි නොකරන සමාජ මාධ්‍ය වේදිකා අවහිර කිරීම, මාර්ගගත ප්‍රකාශණ මත පදනම්ව රජයට එරෙහිව කැරලි ගැසීමේ සහ ජනතාව ප්‍රකෝපයට පත්කිරීමේ චෝදනා මත දඬුවම් පැමිණීවම වැන බලතල අදාල කොමිෂන් සභාව සතුවේ.

Screenshot 20231015 154128
 ඒ නිසා බැලූබැල්මට මේ පනත  මගින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පෙන්නා, ඒ යටින් ඉතා සැලසුම්සහගත සහ සූක්ෂමව සිදුකරන ජනතා මතවාදයන් යටපත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකවන්නට යන බව පැහැදිලිය. කෙසේ වෙතත් ආසන්න කාලසීමාවේ මෙම පනත් කෙටුම්පතට එරෙහිව දේශපාලන පක්ෂ, සමාජ ව්‍යාපාර, සංවිධාන සහ සිවිල් ජනතා විරෝධතා හමුවේ තාවකාලිකව අඩියක් පසුපසට ගන්නට රජය සහ අමාත්‍යවරයා කටයුතු කරනු ලැබීය. එහෙත් එය තාවකාලීක සහ උපාය මාර්ගික පසුබෑමක් බව ආන්ඩුවේ මෑතකාලීන භාවිතයන්ගෙන් මනාකොට අවබෝධකරගත හැකිය. ඒ නිසා නැවත වතාවක් මේ පනත නුදුරු දිනකදීම කරළියට එනු නිසැකය.
 
සුපුරුදු දඩයම ද?
 
 
ශ්‍රී ලංකාවේ පමණක් නොව, බොහෝ රටවල මාර්ගගත ක්‍රම පදනම් කරගෙන සිදුකරන වංචා, වැරදි තොරතුරු ප්‍රචාරණය, පුද්ගලික ජීවිතවලට කරන බලපෑම්, ලිංගික හිංසනයන් වැනි සමාජ විරෝධී ක්‍රියා සිදුවන බව පිළිගත යුතුය. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට සහ එයට එරෙහිව පියවර ගැනීමට නියාමනයක් හෝ නීතිමය රාමුවක් පොදු නීතිය තුල තිබිය යුතු බව සත්‍යය ය.

එහෙත් යෝජිත පනත මගින් බලාපොරොත්තුවන්නේ ලංකාවේ අන්තර්ජාලය පරිශීලණය කරමින් මාර්ගගත ක්‍රම සමග ගණුදෙනු කරන ජනතාව වෙත මහත් කරුණාවෙන්, දයාවෙන් ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා ආන්ඩුවේ වගකීම ඉටුකිරීම ද? හිතවතුනි මෙයට පිළිතුරු දිය යුත්තේ ආන්ඩුවේ වර්තමාන සහ අතීත භාවිතාව දෙස විමසිල්ලෙන් බැලීමෙන් සහ මේ මොහොතේ ආන්ඩුවේ අවශ්‍යතාවන් මොනවාද යන්න ප්‍රකෘති සිහියෙන් අවබෝධකරගැනීමෙන් ම පමණි.
Shakthika Sathkumara Fundamental Rights Petition
 එයට හොඳම උදාහරණ වන්නේ රජය මෑතකාලීනව අවස්ථා ගණනාවකදීම සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනත සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පන ඉන් අපේක්ෂාකරන අරමුණුවලට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් යොදාගැනීම ය. බොහෝවිට මෙම පනත් දෙකේම ඇති විධිවිධාන භාවිතා කරනු ලැබුවේ රජයට එරෙහිව හඬනගන පාර්ශවයන් නිහඬ කිරීමට ය. නිරායුධ ආන්ඩු විරෝධී උද්ඝෝෂණ පවා මර්දනය කරමින් ඒවා සංවිධානය කළ පාර්ශවයන් ‘ත්‍රස්තවාදීන්’ ලෙස ආර්ථ දක්වා මාස ගණන් බන්ධනාගාරගත කරමින් සිටි අවස්ථා ඕනෑ තරම් තිබේ. එවැනි ප්‍රතිවිරුද්ධ අර්ථකතනවලට අධිකරණ ක්‍රියාවලියේදි පවා ප්‍රශ්න නොවුනි. ඒ නිසා යෝජිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත ද බලාත්මක කරන්නට උත්සහ කරන්නේ අන්තර්ජාලය හරහා මතුවන ආන්ඩු විරෝධයන් යටපත් කර මර්දනය කරදමන්නට ද කියා සාධාරණ සැකයක් ඇතිවීම වැළැක්විය නොහැකිය.
 
අදහස් ප්‍රකාශ කිරීම සහ සමාජ ක්‍රියාකාරිත්වය අර්බුදයක

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මාර්ගගත සන්නිවේදන ක්‍රමවේදයන් ලංකාව තුල ප්‍රචලිත වන්නේ ආසන්නම දශකයක කාලසීමාව තුළදීය. පුවත්පත, රූපවාහිනී, ගුවන් විදුලිවල ඉතා අතලොස්සක් පිරිසකට පමණක් සීමාවී තිබුණු වකවානුවක ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමද පැවතුනේ ඉතාම ප්‍රාථමික මට්ටමක ය. නමුත් සමාජ ජාල වේදිකා සහ වෙබ් අඩවි හරහා සෑම පුරවැසියෙක්ටම පාහේ ඉතාම අවම තාක්ෂණික දැනුමක් යටතේ වුවද තමන්ගේ අදහස් පුළුල් පිරිසක් වෙත සන්නිවේදනය කිරීම අවස්ථාව හිමිවිය.

සැබෑ ලෙසටම මෙයින් වැඩිපුරම සහනයක් ලැබුණේ ලංකා සමාජයේ අවවරප්‍රසාදිත සහ සමාජ ආසාධාරණයන්ට හෝ වෙනස්කොට සැලකීම්වලට ලක්වන ජන කණ්ඩායම්වලට ය. අපේ රටතුළ ජීවත්වන දේශපාලනිකව සහ සමාජමය ආසාධාරණයන්ට ලක්වූ පිරිස් මෑතකාලීනව සමාජ මාධ්‍ය වේදිකා හරහා ඒකරාශීවීම, පොදු කතිකාවත් නිර්මාණය කරගැනීම වගේම තමන්ට සිදුවන අසාධාරණකම්වලට එරෙහිව සාමූහිකව හඬ නැගීමද සිදුකරන ලදි.

598c68c43
 විශේෂයෙන්ම ලංකාවේ LGBTIQ+ ප්‍රජාව වැනි සමාජ කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ හඬ නැංවීම් නිසා බොහෝ ගැටළුවලට පිළිතුරු සෙවීමට අවශ්‍ය සාමූහික ශක්තිය වගේම, තමන්ගේ ගැටළු සම්බන්ධයෙන් පොදු ජනතාව දැනුවත් කිරීම සඳහා වඩා හොඳ වේදිකාවක් මාර්ගගත ක්‍රම ඔස්සේ නිර්මාණය කරගන්නට සමත්විය. ඒ නිසා ඔවුන්ගේ අයිතිවාසිකම් උදෙසා සිදුකරන සටන්වලට වැඩි පිරිසක් ඒකරාශී කරගැනීමට හැකියාව ලැබුණි.
ඒ නිසා යම් හෙයකින් රජය සූදානම් වන්නේ මාර්ගගත ක්‍රම නියාමනය නැමති සංකල්පය හරහා මාර්ගගත ක්‍රමවේද හරහා සිදුකරන ප්‍රකාශනයන්ට බාධා කිරීම, එලෙස හඬනගන පාර්ශවයන් දඬුවම් කර නිහඬ කිරීම හෝ රාජ්‍ය විරෝධීන් ලෙස හංවඩු ගැසීමට නම් මේ යෝජිත පනත හරහා පෙර සඳහන් කළ සමාජ ආසාධාරණයට ලක්වන කණ්ඩායම්වල හඬ නිහඬවී නැවතත් ඔවුන් පසුගාමී තැනකට කොටුවීමේ අවදානමක් ඇති බව කලින්ම හඳුනාගත යුතුය.

එය එක් පැත්තකින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට එල්ලකරන මරු පහරකි. අනිත් පැත්තෙන් රටේ මූලික නීතියවන ව්‍යවස්ථාවෙන් සියලුම පුරවැසියන්ට හිමි භාෂණ නිදහස සීමා කිරීමක් ලෙස සැලකිය හැකිය.

නොපෙනෙන පැත්ත
WhatsApp Image 2023 10 06 at 5.13.20 PM
2023 සැප්තැම්බර් මාසේ 18 වෙනිදා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය විසින් ගැසට් පත්‍රයක් හරහා ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන කතිකාව තාවකාලිකව යටපත් වෙමින් තිබෙනවා. එහෙත් බොහෝවිට රජය පාර්ශවයෙන් සංශෝධිත පනත් කෙටුම්පත නැවතත් ඉදරිපත්වීමට වැඩි ඉඩකඩක් තිබෙන නිසා මෙම පනත නිසා ශ්‍රී ලාංකික පුරවැසියා සහ සමාජ ව්‍යාපාරවලට ඇතිවිය හැකි අහිතිකර ප්‍රතිඵල සාකච්ඡාවට බඳුන් කිරීම ඉතාම වැදගත් ය.

 ප්‍රධාන වශයෙන්ම මෙම පනත යටතේ ස්ථාපිත කිරීමට යෝජිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ ස්වාධීන කොමිෂන් සභාවේ ස්වාධීනභාවය සම්බන්ධයෙන් ගැටළුවක් තිබේ. පනතේ අන්තර්ගතයට අනුව මෙකී කොමිසමේ සභාපතිවරයා ඇතුලු සාමාජිකයන් පත්කිරීමටත්, ඉවත්කිරීමටත් පූර්ණ බලතල හිමිවන්නේ විධායක ජනාධිපතිවරයාට ය. එවැනි පසුබිමක එහි ස්වාධීනත්වයක් පවතීද යන්න ප්‍රශ්නසහගතය.  එවැනි කොමිෂන් සභාවක තීරණ දේශපාලනික වීම මත නැවත වතාවක් රාජයට එරෙහි විපක්ෂ බලවේග සහ සමාජ ක්‍රියාකාරීන් දඩයම් කිරීමට මෙය භාවිතා කිරීම වැළැක්විය නොහැකිය.
එසේම මෙම පනත මගින් තහනම් ප්‍රකාශන, කැරලි ගැසීම් වැනි පුළුල් අර්ථකථන සහිත යෙදුම් නිසිලෙස අර්ථකථනය කර නොමැති වාතාවරණයක, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ සහ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතියට දැඩි බලපෑමක් එල්ලවීමේ අවදානමක් පවතී.  පෙර සඳහන් කළ පරිද්දෙන්ම එයින් විශාලම බලපෑමක් සිදුවිය හැක්කේ සමාජයේ අසාධාරණයන්ට ලක්වන සමාජ කණ්ඩායම්වලට ය.
Screenshot 2023 10 28 at 7.37.20 AM
විශේෂයෙන්ම ලංකාව තුල පොදු සමාජ, සංස්කෘතික පරිසරය තුළ සමරිසි ප්‍රජාවට, සංක්‍රාන්තිලිංගික ප්‍රජාවට, ලිංගික ශ්‍රමිකයන්ට, ලිංගික දිශානතිය පිළිබඳ අපහැදිලි ප්‍රජාවට මෙන්ම එච්.අයි.වී ඇතුළු සමාජ රෝග සමග ජීවත්වන ජන කණ්ඩායම්වලට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට, සිය අයිතීන් උදෙසා හඬ නැගිමට, සමාජ දුර්මතයන්ට එරෙහිව නිවැරදි තොරතුරු සන්නිවේදනය කිරීමට මෙන්ම දුක්ගැනවිලි සඳහා සහනයක් ලබාගැනීමට ඇති හොඳම සහ ප්‍රතිඵලදායකම මාර්ග වැසීයාම නම්වන ඛේදජනක ඉරණමකට මුහුණදීමට සිදුවනු ඇත.

තිරසාර සංවර්ධන ඉලක්කයන් ලඟා කරගැනීමට කැපවෙන බවට ප්‍රතිඥාදී අත්සන් කර තිබෙන රටක් ලෙස මෙන්ම, තමන් ලිබරල් දේශපාලනඥයෙක් බවට හඳුන්වාදෙමින් දශක ගණනාවක් දේශපාලනයේ නිරත වෙන පුද්ගලයෙක් විධායක ජනාධිපතිධූරයේ සිටින වාතාවරණයක ඉහතින් සඳහන් කළ ජන කණ්ඩායම්වල අයිතිවාසිකම් කඩවන ආකාරයේ පනත් ඉදිරිපත් කිරීම ඉතා බරපතල තත්ත්වයක් බවට සැකයක් නැත.

 
විරෝධතා රැල්ල
386339472 3686357621596011 2080435800682445387 n 
මෙවැනි පසුබිමක ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම පනත සම්බන්ධයෙන් තමන්ගේ දැඩි විරෝධය එල්ලකරමින්, වහාම එය අකුලාගන්නා ලෙස ප්‍රකාශයක් නිකුත් කරනලදි. එමගින් පොදුවේ සමාජයට බරපතල බලපෑමක් එල්ලවන බව එම සංගමය මත දරයි. එසේම තවත් විවිධ සංවිධාන සහ සමාජ කණ්ඩායම් මෙම පනතට විරෝධය දැක්වීම හමුවේ රජය පියවරක් පස්සට ගත්බවට සැකයක් නැත.

එහෙත් තවදුරටත් මෙම පනතේ අහිතිකර ප්‍රතිඵලයන් සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම ඉතාම වැදගත් වේ. විශේෂයෙන්ම මෙම පනත මගින් LGBTIQ+ ප්‍රජාව ඇතුළු සමාජ අසාධාරණයන්ට ලක්වන ජන කණ්ඩායම්ව පැවැත්මට සහ ඔවුන්ගේ අයිතිවාසිකම්වලට සිදුවන අහිතිකර ප්‍රතිඵල පිළිබඳ දැනුවත්ව සිටීම ඉතාම වැදගත් ය. පොදුවේ සමාජය තුල මෙම පනතට විරුද්ධව හඬක් නැගිය යුතු වන්නෙ එය හුදෙක් එක් එක් පුද්ගල කණ්ඩායම්වල පමණක් නොව, පොදුවේ මුළු සමාජයේම හඬ නිහඬ කිරීමට ගන්නා උත්සහයක් ලෙස හඳුනාගැනීම තුලින් ය.



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මුතියටත් බලපෑම්

2018 වසරේ ජූලි මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහා සැසිවාරය අතරතුර යෝජනාවක් සම්මත කරමින් පොදු එකඟතාවකට පැමිණියේ පුද්ගලයෙන්ගේ පොදු ප්‍රකාශන සහ තොරතුරු දැනගැනීමේ හිමිකම අන්තර්ජාලය තුලදි ද ආරක්ෂාවිය යුතුය යන්න ය. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 19 වැනි වගන්තිවලට අනුකූලව මෙම යෝජනාව සම්මතවීම සමග මාර්ගගත ක්‍රමවේද තුලද පුද්ගලයන්ගේ මූලික අදහස් ප්‍රකාශ කිරීමේ සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් ආරක්ෂාවීමට ශ්‍රී ලංකාවද නෛතිකව බැඳී සිටින බව පිළිගත යුතුය.

 රුසියාව සහ චීනය වැනි රටවල් මෙවැනි අණපනත් හරහා සිය රටතුළ රජයට එරෙහිව හඬනගන පාර්ශයවන් දැඩි මර්දනයන්ට ලක්කිරීමට කටයුතු කර තිබේ. එවැනි පසුබිමක ප්‍රජාතන්ත්‍රවාදය අගයන සහ නිදහස් සමාජයක් අපේක්ෂා කරන රටක ජනතාව ලෙස මෙවැනි සීමාකාරී අණ පනත් ගෙනඒම ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරකි. මේ හරහා ජනමාධ්‍ය ආයතනවලට, ස්වාධීන ජනමාධ්‍යවේදීන්ට සිදුවිය හැකි බලපෑම්ද ඉතා ඉහළය. ඒ පිළිබඳවද අදාල වෘත්තිකයන් නියෝජනය කරන සිවිල් සංවිධාන ප්‍රබල කතිකාවතක් ගොඩනගමින් සිටියි. ඒ නිසා මේ මොහොතේ මෙම යෝජිත පනත හරහා බලපෑම් සිදුවිය හැකි සියලුම කණ්ඩායම් භේදයකින් තොරව සංවිධානයවී නැගී සිටීම වඩා යෝග්‍ය වේ.
විකල්ප නැද්ද?
 
382978071 3681042918794148 4552085666698725303 n

යෝජිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය සම්බන්ධ පනත් කෙටුම්පතට විරුද්ධවන පාර්ශවයන්ට එරෙහිව රජයේ පාර්ශවයෙන් මතුකරන ප්‍රතිතර්කය වන්නේ, මාර්ගගත ක්‍රමවලින් සමාජයට සිදුවන අහිතකර ප්‍රතිඵලවලින් ජනතාව ආරක්ෂා කිරීම උදෙසා රජයේ උත්සහය ව්‍යර්ථ කිරීමක් ලෙස හැඳින්වීම ය.

එහෙත් සැබෑ ලෙසම රජය ‘අක්කා පෙන්නා, නංගී දෙන’ ආකාරයෙන් ජනතාව ආරක්ෂා කිරීම පෙන්නා, ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීම සහ තොරතුරු දැනගැනීමේ අයිතිය සීමාකරන්නට ගෙනඑන පනත් වෙනුවට විකල්ප ක්‍රමවේදයක අවශ්‍යතාවයක් තිබෙන බව කිව යුතුමය. එක් පැත්තකින් මාර්ගගත ක්‍රම හරහා සිදුවන වංචා, දූෂණ, අසත්‍ය තොරතුරු සහ වෛරී කථනයන්, ලිංගික හිංසනයන්, දුර්මත පැතිරවීම් වැනි දෑ පාලනය කිරීමට මෙරට පුරවැසියන් ස්වයං නියාමනයකට පෙළඹිය යුතුය. එවැන්නක් දියුණු සමාජයක ලක්ෂණයකි. පුරවැසියන් විසින්ම ඇතිකරගන්න ප්‍රතිපත්ති රාමුවක් තුල නිදහස් අදහස් දැක්වීමේ අවකාශයන් ආරක්ෂා කරගැනීම උදෙසා ස්වයං නියාමනයකට පෙළගැසිය හැකිය.
 
Fact1

එසේත් නැත්නම්, අසත්‍ය තොරතුරු වෙනුවට සත්‍ය තොරතුරු සමාජගත කිරීමට fact checking මාදිලියේ වැඩපිළිවෙලක් වඩාත් සුදුසුය. එසේම අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපචාර සහ වංචා වැලැක්වීමට රටේ පොදු නීතිය යාවත්කාලීන වීම සහ විශේෂ තාක්ෂණික උපක්‍රම හරහා අතලොස්සක් පමණක් වන එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා මිස පොදුවේ ජනතාවගේ භාෂණ නිදහස සීමාකරමින් ‘ඩිජිටල් සංවර්ධන යුගයක්’ ගැන පම්පෝරි ගැසීමෙන් ප්‍රතිඵලයක් නැතිබව ජනාධිපතිවරයා මෙන්ම රජය තේරුම්ගත යුතුය.

Himashi K(හිමාශි කරුණාරත්න)
නිදහස් මාධ්‍යවේදිනී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්