The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

තොරණ කලාවේ මූලාරම්භය ලෙස සැලකෙන තොටළඟ තොරණ

T

The Leader Desk

May 4, 2023 • 8:45 PM

තොරණ කලාවේ මූලාරම්භය ලෙස සැලකෙන තොටළඟ තොරණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "තොටළඟ තොරණ කියන්නේ මේ ප්‍රදේශයේ සලකුණ කියලා කියන්න පුළුවන්.
  • මේ වසරේ දී තොටළඟ තොරණ පවත්වන්නේ 68 වෙනි වතාවට යි," තොරණේ ඉතිහාසය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු මෙන්ම තොටළඟ ශ්‍රී වෛශ්‍යාලෝක සමිතියේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන රාජා සිරිමාන්න ප්‍රකාශ කළේ ය.
  • තොටළඟ තොරණේ ඉතිහාසය "තොටළඟ තොරණ පළමු වරට ඉදිකෙරුනේ 1955 වර්ෂයේ දී.
  • ඒකෙන් පස්සේ තමයි 1955 වසරේ ඉඳලා තොටළඟ තොරණ ඉදිවෙන්න පටන් ගත්තේ," රාජා සිරිමාන්න තොරණේ ඉතිහාසය සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

"තොටළඟ තොරණ කියන්නේ මේ ප්‍රදේශයේ සලකුණ කියලා කියන්න පුළුවන්. මේ වසරේ දී තොටළඟ තොරණ පවත්වන්නේ 68 වෙනි වතාවට යි," තොරණේ ඉතිහාසය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු මෙන්ම තොටළඟ ශ්‍රී වෛශ්‍යාලෝක සමිතියේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන රාජා සිරිමාන්න ප්‍රකාශ කළේ ය.

තොටළඟ තොරණේ ඉතිහාසය

"තොටළඟ තොරණ පළමු වරට ඉදිකෙරුනේ 1955 වර්ෂයේ දී. නමුත් ඊට කලින් පොඩි පෙට්ටි තොරන් පෙන්නලා තිබුණා තොටළඟ දී. ඒ පෙට්ටි තොරණ හැදුවේ සංඝදාස මාස්ටර්. ඔහු පරණම නාට්‍ය කතා රචකයෙක්. 'හිතුවක්කාරී' වගේ නාට්‍ය කතා ලිව්වේ ඔහු. 1952 වසරේ දී පළමුවෙන්ම තමන්ගේ ගෙදර ඉදිරිපිට වෙසක් කාලයේ දී පෙට්ටි තොරණක් හදලා පෙන්නුවේ සංඝදාස මාස්ටර්," තොටළඟ තොරණේ ආරම්භයට මුල පිරුණු අයුරු ගැන අදහස් දක්වමින් රාජා සිරිමාන්න පැවසුවේ ය.

"අපි ඒ කාලේ පොඩි අය. පස්සේ ගමේ තරුණ පිරිස් එකතුවෙලා මේ පෙට්ටි තොරණ විශාල කරමු කියලා කතා වෙලා සංගමයක් පිහිටුවා ගත්තා. ඒකෙන් පස්සේ තමයි 1955 වසරේ ඉඳලා තොටළඟ තොරණ ඉදිවෙන්න පටන් ගත්තේ," රාජා සිරිමාන්න තොරණේ ඉතිහාසය සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.

තොටළඟ තොරණේ නිර්මාතෘවරයා

තොටළඟ තොරණ 1955 වර්ෂයේ දී ඉදිකිරීම සඳහා පිහිටුවා ගත් තොරණ සමිතියේ ප්‍රධානියා ලෙස එවකට කටයුතු කරනු ලැබ ඇත්තේ, එම තොරණේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන එච්. ඒ. විල්බට් පෙරේරා යි.

"මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. ඔහු පදිංචි වී සිටියේ නාගලගම් විදියේ. මගේ තාත්තට ආපු මේ අදහසත් එක්ක තොරණ ඉදිකරන්න කටයුතු කරලා තියෙනවා. පළවෙනියට ඉදිකරපු තොරණේ ප්‍රදර්ශනය කෙරුනේ මහා භද්‍ර කල්පයයි. අපේ වැඩිහිටියෝ කියන විදිහට ඒ තොරණ නරඹන්න දවස් 12ක් යනකම් ජනතාව ඇවිල්ලා තියෙනවා."

"ඒ කාලයේ තොටළඟ තොරණ නරඹන්න එන ජනතාව වතු මැදින් පැන පැන ඇවිල්ලා තියෙන්නේ. පාර දෙපැත්තේ ලයිට් එහෙම නොතිබ්බ නිසා එන ජනතාවට රෑ කළුවර නිසා විලක්කු දල්වලා තිබ්බා," විල්බට් පෙරේරාගේ පුත්‍රයා වන අනුර පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසුවේ ය.

stww45තොටළඟ තොරණේ නිර්මාතෘ එච්. ඒ. විල්බට් පෙරේරා

ජපානයට රැගෙන ගිය තොටළඟ තොරණ

වරක් තොටළඟ තොරණ ජපානයේ පවා ප්‍රදර්ශනය කෙරුණ බව තොටළඟ සිරිමාන්න පැවසුවේ ය.

"80 දශකයේ අගභාගයේ දී ශ්‍රී ලංකාවේ පැවති ජපන් එක්ස්පෝ වැඩමුළුවට පැමිණ සිටි ජපන් ජාතිකයින් පිරිසක් තොටළඟ තොරණ දැකලා ඔවුන් අපේ සමිතියෙන් ඉල්ලීමක් කළා ජපානයේ දී ඒ තොරණ ප්‍රදර්ශනය කරන්න අවසර දෙන්න කියලා. ඒ වසරේ තොරණේ ප්‍රදර්ශනය කෙරුනේ යමා මහා පෙළහර ජාතක කතාව යි.

"ඒ අනුව ඔවුන් විසින් තොටළඟ තොරණ ජපානයට රැගෙන ගියා. ඒ තොරණේ විදුලි ශිල්පියා ලෙස කටයුතු කළ ඒ. බී. ආරියදාස ඇතුළු කණ්ඩායමත් සමග යි. තොරණේ ශිල්පීන් නැවත මෙරටට පැමිණෙන විට ජපන් ජාතිකයින් විදුලි බල්බ ඇතුළු වටිනා කියන භාණ්ඩ රැසක් පරිත්‍යාග කරලා තිබුණා. ඒ තොරණේ චිත්‍ර නිර්මාණය කලේ ප්‍රවීන චිත්‍ර ශිල්පියෙකු වන පුෂ්පානන්ද දෙනිපිටිය යි," සිරිමාන්න සඳහන් කළේ ය.

 

dtyryty

ජපානයට ගිය තොටළඟ තොරණ

 

පදික වෙළඳුන් පවා ආධාර දෙන තොටළඟ තොරණ

තොටළඟ තොරණ නිර්මාණය වූ 1955 වසරේ සිට මේ දක්වා ප්‍රදර්ශනය කර ඇති වාර සංඛ්‍යාව 67ක් වන අතර එය මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් දෛනිකව සම්මාදම් එකතු කිරීමට කටයුතු කරනු ලබන බව තොටළඟ ශ්‍රී වෛශ්‍යාලෝක සමිතියේ සභාපති මේනක වාසනා විතානගේ පැවසුවේ ය.

"තොටළඟ තොරණ වෙසක් සමයේ දී ප්‍රදර්ශනය කෙරුණත් මේකට වසර පුරාම වැඩ කටයුතු සිදුකරනවා. තොටළඟ ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරික මහතුන් සහ මේකේ පදික වෙළදාමේ යෙදෙන පුද්ගලයින් පවා දෛනිකව තොරණේ වැඩ සඳහා යම් මුදලක් ලබා දීම සිදුකරනවා. අපේ සමිතියෙන් වෙනම ඒ සඳහා කෙනෙක් පත් කරලා තියෙනවා. ඔහු වසරේ සෑම දිනකම අදාල මුදල එකතු කරනවා."

"සමහර අවස්ථාවලදී ව්‍යාපාරිකයින් දෛනිකව ලබාදෙන රුපියල් 10, 20, 50 සහ 100 වගේ මුදල් එකතු වෙලා තමයි වෙසක් සමයේ දී මුළු මහත් රටටම බලන්න තොරණ ඉදිකිරීම සිදුකරන්නේ. ඒ විතරක් නෙමෙයි තොරණ වෙනුවෙන් ලබා දෙන දායක මුදල වෙනුවෙන් සමිතිය විසින් රිසිට් පතක් ලබාදීම සිදුකරනු ලබනවා," ශ්‍රී වෛශ්‍යාලෝක සමිතියේ සභාපතිවරයා කරුණු දැක්වීය.

'ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය අනුග්‍රහය අවශ්‍යයි'

oopsdfමෙවර තොරණ ඉදිවෙන ආකාරය

 

 

පසුගිය කාල සීමාවට සාපේක්ෂව මෙවර තොරණ ඉදිකිරිම සිදුකර ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළත්, ඉදිරියේ දී තොරණ පවත්වාගෙන යෑමට රාජ්‍ය අනුග්‍රහය අවශ්‍ය වන බව තොටළඟ ශ්‍රී වෛශ්‍යාලෝක සමිතියේ භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කරනු ලබන ජනක ලාල් පෙරේරා පවසා සිටියේ ය.

"මේ වසරේ දී අපට තොරණ ප්‍රදර්ශනය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ විදුලි උත්පාදන යන්ත්‍රයක (ජෙනරේටරයක) ආධාරයෙන්. සාමාන්‍යයෙන් දිනකට පැය හතක් හෝ අටක් තොරණ ප්‍රදර්ශනය කරන්නයි බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් කිලෝවොට් 300ක පමණ ධාරිතාවය තියෙන ජෙනරේටරයක් අවශ්‍යයි. දවසකට ජෙනරේටරයට ඩීසල් ලීටර් 350ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ අනුව අපිට තොරණ ප්‍රදර්ශනය කරන්න දවසකට විදුලිය වෙනුවෙන් විතරක් රුපියල් එක්ලක්ෂ හතලිස් දහසක් වගේ අවශ්‍යයි."

"මේ අවුරුද්දේ පෙන්වන තොරණ අඩි 65ක් උසින් සහ අඩි 65ක් පළලින් යුක්ත යි. තොරණ අලංකරණයට විදුලි බල්බ 65 000ක් යොදා ගන්නවා.

"පසුගිය කාලයේ වගේ මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාරික ප්‍රජාවෙන් පවා දෛනිකව එකතුවෙන මුදලේ යම් අඩුවක් තියෙනවා. ඒ නිසා මෙවර අපිට පෞද්ගලික ධානපතියන්ගේ ආධාර බලාපොරොත්තු වෙන්න සිද්ධ වුණා විදුලිය ප්‍රශ්නයත් නිසා. අඩුම තරමින් රජයෙන් අපිට සහන මිලකට විදුලිය ලබා දෙනව නම් ඒක වටිනවා. අපි නිකම් නෙමෙයි ඉල්ලන්නේ. යම් කිසි මිලක් අඩු කරලා ලබා දෙන්න කියලා," ජනක ලාල් පෙරේරා පැවසුවේ ය.

මේ වන විට තොරණ නිර්මාණය සඳහා අවශ්‍ය කරනු ලබන තීන්ත ඇතුළු අමුද්‍රව්‍යයන්හි මිල ගණන් ඉහළ යාම නිසා තොරණක් නිර්මාණය කිරීමට අවශ්‍ය මුදල තෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව මෙරට ජ්‍යෙෂ්ඨ තොරණ චිත්‍ර ශිල්පියෙකු වන පුෂ්පානන්ද දෙනිපිටිය පවසා සිටියේ ය.

"රටේ ඇතිවූ ආර්ථික තත්ත්වය හේතුවෙන් චිත්‍ර නිර්මාණය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීම සීමා වෙලා තියෙන්නේ. ගොඩක් අවශ්‍ය තීන්ත, පින්තාරු බුරුසු ඇතුළු අමුද්‍රව්‍ය ගෙන්වන්නේ ඉන්දියාවෙන්. නමුත් ඒවා අද වන විට හිඟයි සහ මිල ගණන් ඉහළයි. ඉස්සර තොරණක් නිර්මාණය කරන්න ගියේ රුපියල් ලක්ෂ 20ක වගේ මුදලක්. නුමුත් දැන් ඒ සඳහා රුපියල් ලක්ෂ 60කට ආසන්න මුදලක් වියදම් වෙනවා," යනුවෙන් ජ්‍යෙෂ්ඨ තොරණ චිත්‍ර ශිල්පී දෙනිපිටිය බීබීසී සිංහල සේවයට සිය අදහස් පළ කළේ ය.

dsfජ්‍යෙෂ්ඨ තොරණ චිත්‍ර ශිල්පී පුෂ්පානන්ද දෙනිපිටිය

 

තොරණ කලාවේ අභාවය ගැන ඉඟියක්

වසර 70කට අධික ඉතිහාසයක් සහිත මෙරට තොරණ කලාව ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය උනන්දුව සහිත චිත්‍ර ශිල්පීන් සිටින්නේ සීමාසහිත පිරිසක් බව චිත්‍ර ශිල්පී දෙනිපිටිය පවසා සිටියේ ය.

"මේ කේෂ්ත්‍රය ගැන උනන්දුවක් දක්වන චිත්‍ර ශිල්පීන් දැන් ගොඩක් අඩු යි. චිත්‍ර ශිල්පීන්ගේ අඩුපාඩුව දැනටමත් තියෙනවා. ඉතාම අතලොස්සක් තමයි දැන් මේ කේෂ්ත්‍රයේ රැඳී සිටින්නේ. සංඛ්‍යාත්මක වශයෙන් ගත්තොත් 25ක් වත් නැහැ. අනාගතයට මේ තොරන් කලාව අරන් යන්න උනන්දුවක් දක්වන පිරිසක් හෝ චිත්‍ර ශිල්පින් නැහැ යි කියලයි මට පෙනෙන්න තියෙන්නේ."

"ඒ වගේම ඩිජිටල්කරණයට ලක්වීම හරහා සාම්ප්‍රදායික තොරන් කලාව ඉදිරියේදී නැතිවී යන්න පුළුවන්. බොහෝ ක්ෂේත්‍ර ඩිජිටල්කරණයට ලක්වෙමින් තියෙනවා. ඒ වගේමයි තොරන් කලාවත්. හැමදෙයක්ම අතින් කරන නිර්මාණවලට වටිනාකමක් තියෙනවා නේ. නමුත් මේකෙදි වෙන්නේ කොම්පියුටරයකට ඇතුළත් කරලා තියෙන මෘදුකාංගවලින් නිර්මාණය කරන චිත්‍රයක්. ඒ අතරින් බලද්දී අතින් අඳින චිත්‍රයකට තියෙන වටිනාකම ඊට වඩා වැඩියි," ඔහු අදහස් දැක්වීය.


(BBC සිංහල සේවය)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...