The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

චරිතයක ස්වභාවය සහ ව්‍යවස්ථාවක ස්වභාවය - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

July 26, 2024 • 5:34 AM

චරිතයක ස්වභාවය සහ ව්‍යවස්ථාවක ස්වභාවය - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට අවුරුදු 5000 කට පමණ පෙර සොයාගත්තේ යැයි කියන අකුරු භාවිතයෙන් ලේඛනය පටන්ගත් දා සිට, මිනිස් චරිතය ගැඹුරින්ම විදාරණය කිරීමේ සාර්ථකම ඉතිහාසය අයත් වන්නේ සාහිත්‍යයටයි. අපේ සන්දර්භය තුළ ගත්තොත්, පරණ තෙස්තමේන්තුවේ සහ ජාතක කතාවල සිට, නූතන නවකතාව සහ කවිය දක්වා එය විහිදෙයි.
  • මිනිස් චරිතය එසේ අවිනිශ්චිත ප්‍රපංචයක් බවට පත්කිරීමේ සාධක රාශියක් ඇතත්, බලය නමැති සාධකය විසින් තරම් ඒ අවිනිශ්චිත භාවය විනිවිදව පෙන්නුම් කරන වෙනත් සාධකයක් නැති තරම් යැයි කිව හැකිය.
  • අදහස් උදහස් සහ ආකල්ප වෙනස් වන්නේ, පවතින යථාර්ථය සද්භාවයෙන් අවබෝධ කරගන්නා ස්වභාවයේ ඇති වන වෙනස් වීමක් අනුව නම්, ඒ වෙනස සාධනීයයි.
  • ප්‍රේමදාසගේ මරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත්වන රනිල් වික්‍රමසිංහ, බොහෝවිට තමන් විශ්වාස කරන ඇතැම් ප්‍රතිපත්ති වෙනුවෙන් යම් කාලයක් නොසැලී පෙනී සිටි බවක් පෙනෙන්ට තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

මීට අවුරුදු 5000 කට පමණ පෙර සොයාගත්තේ යැයි කියන අකුරු භාවිතයෙන් ලේඛනය පටන්ගත් දා සිට, මිනිස් චරිතය ගැඹුරින්ම විදාරණය කිරීමේ සාර්ථකම ඉතිහාසය අයත් වන්නේ සාහිත්‍යයටයි. 

අපේ සන්දර්භය තුළ ගත්තොත්, පරණ තෙස්තමේන්තුවේ සහ ජාතක කතාවල සිට, නූතන නවකතාව සහ කවිය දක්වා එය විහිදෙයි. මිනිස් චරිතය විදාරණය කිරීමේ සාර්ථකම ඉතිහාසය සාහිත්‍යය යැයි කී විට, මිනිස් චරිතය නිශ්චිත වශයෙන් සහ අවසානාත්මක වශයෙන් මේ වන විට විනිශ්චය වී ඇතැයි නොසිතිය යුතුය. 

 

Seamless pattern with human eyes and mouths expressing various emotions-serious, smiling, dreamy, yawning. Chaotic vector background in retro style. Suitable for Wallpaper, wrapping paper, fabricඑදා මෙදා තුර, පොහොසත් බවින් අනූන සාහිත්‍යය තුළ පවා හමුවන පොදු නිරීක්ෂණය වන්නේ, මිනිස් චරිතය, හැම අතකින්ම අවිනිශ්චිත බවයි

ඇත්තෙන්ම, එදා මෙදා තුර, පොහොසත් බවින් අනූන සාහිත්‍යය තුළ පවා හමුවන පොදු නිරීක්ෂණය වන්නේ, මිනිස් චරිතය, හැම අතකින්ම අවිනිශ්චිත බවයි. මිනිස් චරිතය එසේ අවිනිශ්චිත ප්‍රපංචයක් බවට පත්කිරීමේ සාධක රාශියක් ඇතත්, බලය නමැති සාධකය විසින් තරම් ඒ අවිනිශ්චිත භාවය විනිවිදව පෙන්නුම් කරන වෙනත් සාධකයක් නැති තරම් යැයි කිව හැකිය. බලය වෙනුවෙන් වෙහෙසෙන තැනැත්තා, බොහෝ විට කටුස්සෙකු වැනි ය. ඔහුගේ/ඇගේ පාට, කලින් කලට වෙනස් වෙයි. පාට යැයි කියන්නේ පක්ෂ පාටම නොව, අදහස් උදහස් සහ ආකල්පවල පාට ය.

poli powewadදේශපාලනික සත්වයා සිය පාට වෙනස් කරගන්නේ එවැනි සාරාර්ථ සත්‍යයක් මත පිහිටා නොව, හුදෙක් බල තණ්හාව මත පමණක් පිහිටා ය.

 

අදහස් උදහස් සහ ආකල්ප වෙනස් වන්නේ, පවතින යථාර්ථය සද්භාවයෙන් අවබෝධ කරගන්නා ස්වභාවයේ ඇති වන වෙනස් වීමක් අනුව නම්, ඒ වෙනස සාධනීයයි. අද සත්‍යයක් යැයි පිළිගන්නා යම් මතයක් හෙට වෙනස් කරගැනීමට මැළි නොවන විද්‍යාඥයා, එසේ පාට වෙනස් කරගන්නා එක් යහපත් සත්වයෙකි. එහෙත් දේශපාලනික සත්වයා සිය පාට වෙනස් කරගන්නේ එවැනි සාරාර්ථ සත්‍යයක් මත පිහිටා නොව, හුදෙක් බල තණ්හාව මත පමණක් පිහිටා ය. කටුස්සා යන අපවාදාත්මක සාදෘශ්‍යය ගැළපෙන්නේ ඔහුට ය. 

ආර්. ප්‍රේමදාසගේ මරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත්වන රනිල් වික්‍රමසිංහ, බොහෝවිට තමන් විශ්වාස කරන ඇතැම් ප්‍රතිපත්ති වෙනුවෙන් යම් කාලයක් නොසැලී පෙනී සිටි බවක් පෙනෙන්ට තිබුණි. විටෙක ඒ ප්‍රතිපත්ති, තමාගේ සහ තම පක්ෂයේ ජයග්‍රහණයට උදව්වක් නොවෙතැයි සිතෙන අවස්ථාවක පවා, ඔහු සිය අදහස් සහ ප්‍රතිපත්ති අතහැරියේ නැත. ඒ අදහස් සහ ප්‍රතිපත්ති වැරදිද/නිවැරදිද යන්න කෙසේ වෙතත්, එහිදී, ජනප්‍රිය සහ බාල දේශපාලනය ප්‍රතික්ෂේප කර, බොහෝ දෙනාගේ විවේචනයට පහසුවෙන් ලක්විය හැකි මතවාද වෙනුවෙන් ඔහු පෙනී සිට ඇත.

ජනාධිපති ගෙන් විශේෂ ප්‍රකාශයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ

 

2020 පාර්ලිමේන්තු මැතිවරණය පරාජයෙන් පසු, යම් කාලයක් හේමන්ත නිද්‍රාවක පසු වූ ඔහු, 'අරගලය' විසින් හිටපු ජනාධිපතිවරයාව බරපතළ දේශපාලනික අර්බුදයකට ඇදදැමීමේ හේතුවෙන් තමන්ට හිමි වූ අග්‍රාමාත්‍ය ධුරයත්, ඉන්පසුව හිමි වූ ජනාධිපති ධුරයත් භාරගැනීමෙන් පසු, ඔහුගේ චරිත ස්වභාවයේ එතෙක් සැඟ වී තිබුණු අළු පාට අහුමුලූ, අප ඉහතින් කී බලය පිළිබඳ සාධකය හේතුවෙන්, මේ වන විට තද කළු පාටකින් වර්ණ ගැන්වෙමින් තිඛෙන බවක් පෙනේ. මේ කියන කාලයෙන් පසු ඔහු ලැගුම්ගැනීමට පටන්ගත් රාජපක්ෂ කඳවුරත් ඊට හේතු වූ බව පැහැදිලියි.  

මේ සම්බන්ධයෙන්, නිශ්චිත සිද්ධි කිහිපයක් වෙත අවධානය යොමු කිරීම වැදගත් ය. මගේ මතකයේ හැටියට, මීට වසර දහයකට පමණ පෙර, ඔහුගේම යෝජනාවක් අනුව, එක්සත් ජාතික පක්ෂය එක් ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය. එනම්, මැතිවරණයකින් පරාජය වන කිසිවෙකු, තම පක්ෂයේ 'ජාතික ලැයිස්තුවෙන්' පාර්ලිමේන්තුවට පත්නොකරන බවයි. ඒ වන විට, එසේ පරාජය වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විවිධ පක්ෂවල ජාතික ලැයිස්තුවලින් පාර්ලිමේන්තුවට පත්කළ අශෝභන අවස්ථා කිහිපයක් තිබුණි. මතකයේ ඇති හොඳම අවස්ථාව වන්නේ, කැළණියෙන් අන්ත පරාජයට පත් වූ මර්වින් සිල්වා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීමයි. 

 

මර්වින් සිල්වාගේ 'ඔලුවත් අරං කැළණි එන' මැර තර්ජනයට විරෝධයමර්වින් සිල්වා
එසේ තිබියදී, 2020 මැතිවරණයේදී තමාගේ ආසනයෙන් තමාමත් අන්ත පරාජයට පත්වුණා පමණක් නොව, සමස්ත රටෙන්ම තමාගේ මුළු පක්ෂයමත් අතුගෑවී සිටියදී, අර කියූ හේමන්ත නිද්‍රාවෙන් අවදි වූ රනිල් වික්‍රමසිංහ තමාගේ පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් තමාවම පාර්ලිමේන්තුවට පත්කරගත්තේය. වැදගත් ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිපත්තියක් එසේ ඔළුවෙන් සිටුවා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පත්වීම අප ඉහතින් කී දේශපාලනික කටුසු ස්වරූපයේ එක් අවස්ථාවකි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) අනුව්‍යවස්ථාව අරභයා අද පැනනැඟී ඇති ප්‍රශ්නය ගැන කතා කරමින් පසුගිය සතියේ දවසක ඔහු එහි වරද ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න වෙත පැටවීය. එපමණක් නොව, එකී අතපසු වීම සිදුවුණේ ජයම්පතී වික්‍රමරත්න පළපුරුදු නීතිවේදියෙකු නොවන නිසා යැයි කියා සිටිමින් ඒ ගැන ඔහු ජනතාවගෙන් සමාවද ඉල්ලා සිටියේය. 

 



ජනාධිපතිවරයාගේ චරිත ස්වභාවයේ අංශ දෙකක් මේ මගින් එළිපෙහෙලි වෙයි. එකක් වන්නේ, තමන් හොඳින්ම දන්නා කාරණයක් විකෘති කිරීමට ඔහු තුළ ඇති කැත පුරුද්දයි. 83 (ආ) අනුව්‍යවස්ථාව සංශෝධනය නොකර ඒ ආකාරයෙන්ම තැබීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණේ, 2015 දී අගමැති වශයෙන් ඔහුගේත්, ජනාධිපති වශයෙන් මෛත්‍රීපාල සිරිසේනගේත් මූලිකත්වයෙනි. ඒ සියල්ල ඉතිහාසය තුළ සටහන්ව තිබේ. ඔහු කියන පරිදි, මේ අතපසු වීම හෙවත් 83 (ආ) අනුව්‍යවස්ථාව ඒ (2015) සංශෝධනය නොකිරීම ගැන වැරදිකරු ජයම්පතී වික්‍රමරත්න නම්, ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිය යුත්තේ ඔහු නොව, ජයම්පතී වික්‍රමරත්නම ය. 

නැත, වරද අනුන්ගේ වුණත්, තමන් විසින් ඒ  වෙනුවෙන් සමාව ඉල්ලා සිටීමට තරම් තමන් 'මහත්මා' ගුණයෙන් යුක්ත බව රටට පෙන්වීම රනිල් වික්‍රමසිංහගේ ආධ්‍යාශයයි. අනිත් පැත්තෙන්, මේ වූ කලී, ස්වකීය චරිතයේ අඩංගු අන්‍යදෝෂධාරි ගතිය ඔහු අමුවෙන් ප්‍රදර්ශනය කළ අවස්ථාවක්ද වන්නේය. (යුදෙව් ඉතිහාසයේ කියැවෙන පරිදි, ජාතියේ පව් සියල්ල, එළුවෙකු පිටේ පටවා කැලයට දැක්කූ බව කියන කතාවක්, මේ අන්‍යදෝෂධාරියා යන වචනයෙන් අදහස් කෙරේ. එළුවා බිල්ලට දී තමන්ගේ පව් සෝදාගත හැකිය යන විශ්වාසයක් පුරාතන යුදෙව්වන් තුළ තිබුණි).

'පිස්සු පූසා කොමිසම' ඉදිරියේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වූ රනිල් වික්‍රමසිංහ 

 

'දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ කොමිසම'
මීට සමාන සිද්ධියක් වශයෙන්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද, 'පිස්සු පූසා කොමිසම' වශයෙන් එකල හැඳින්වුණු, 'දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ කොමිසම' ඉදිරියේ රනිල් වික්‍රමසිංහ සාක්ෂිකරුවෙකු වශයෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු අවස්ථාව දැක්විය හැකිය. 2015 යහපාලන ආණ්ඩුව පත්වීමෙන් පසුව, ඊට කලින් සිදු වූ විවිධ අපරාධ සහ දූෂණ චෝදනා සම්බන්ධ සිද්ධි ගණනාවක් පරීක්ෂා කර බැලීම සඳහා වැඩපිළිවෙලක් දියත් වුණි‚. එය, යහපාලන පොරොන්දුවක් මත ඇති කරගත් වැඩපිළිවෙලකි. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව දැම්මේද අගමැති රනිල් වික්‍රමසිංහමයි. පසුව ගෝඨාභය රාජපක්ෂ 2019 දී බලයට පත්වීමෙන් පසුව පත්කරන ලද ඉහත කී 'පළිගැනීම් පිළිබඳ කොමිසම' සොයාබැලූවේ, ඉහත කී යහපාලන ආණ්ඩුවේ පරීක්ෂණ සහ වෙනත් ක්‍රියාමාර්ග තුළින්, දේශපාලනික පළිගැනීම් සිදු වී තිබේද යන්නයි. ඔව්, ඒ සියලූ පරීක්ෂණ, 'දේශපාලනික පළිගැනීම්' බවට කොමිසම තීන්දු කෙළේය. 

 

ඒ සියලූ පරීක්ෂණ, 'දේශපාලනික පළිගැනීම්' බවට කොමිසම තීන්දු කෙළේය
එසේ වෙතත්, මේ කොමිසම දුන් නිර්දේශ සහ නියෝග, 'පිස්සු පූසෙකුටවත්' තරම් නොවන නිසාම, ඒ සියලූ නියෝග සහ නිර්දේශ පසුව අවලංගු කෙරුණි. ඒ අපකීර්තිමත් කොමිසම ඉදිරියට සාක්ෂිකරුවෙකු වශයෙන් ස්වේච්ඡාවෙන් ගිය රනිල් වික්‍රමසිංහ, ඒ කියන 'පළිගැනීම්' සිදු වුණේ, ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ තමන්ව බිත්තියට හේත්තු කර තමාට කළ බලපෑම්වල ප්‍රතිඵලයක් වශයෙනියි කියා සිටියේය !!  ගුණමකු බව සහ අකෘතඥ බව, මෙකී අන්‍යදෝෂධාරී චරිත ලක්ෂණය තුළ කැපීපෙනෙන චරිතාංගයකි.

මේ වන විට ඉහත කී 83 (ආ) අනුව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඔහුට හදිසියක් ඇති වී තිබේ. ඔහු කියන හේතුව වන්නේ, මේ කියන 83 (ආ) අනුව්‍යවස්ථාව, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) ව්‍යවස්ථාව සමග නොපෑහෙන බවයි. වචනාර්ථය තුළ එවැනි නොපෑහීමක් ඇති බව ඇත්ත. එහෙත්, අප මීට කලින්ද පෙන්වා දී ඇති පරිදි, ව්‍යවස්ථාවක ඇති වචන අර්ථ නිරූපණය කළ යුත්තේ, වචනයට වඩා සාරාර්ථයෙනි. එහෙත්, වචනයක යම් නොපෑහීමක් ඇත්නම් එය සංශෝධනය කරගැනීම, අනාගත අවුලක් ඇති වීම වැළැක්වීමට ප්‍රයෝජනවත් වන බවත් අපි මොහොතකට පිළිගනිමු. 

නමුත් ප්‍රශ්නය ඇත්තේ, ඒ කියන වචනවල ඇති නොපෑහීම මේ දක්වා, එනම් 2015 සිට අවුරුදු 9 ක් ගතවෙන තෙක් අපට ප්‍රශ්නයක් වී නැති බවයි. එසේම, ඒ අවුරුදු නවයෙන් අවුරුදු හතක්ම (2015-2019 සහ 2022-2024 දක්වා) බලමර්මස්ථානයේ රනිල් වික්‍රමසිංහ වැජඹී ඇති බව සැලකිල්ලට ගත් විට, ඒ කාලයේ කිසි දවසක මේ 'නොපෑහීම' හරිගස්සාගැනීමට ඔහුට හිතක් පහළ වී නැති බව සැලකිල්ලට ගත් විට, දැන් ඔහුට ඇති වී තිඛෙන කුලප්පුව කුමක්ද යන්න ප්‍රහේලිකාවකි. අද ඔහු ගෙන ඒමට තතනන 22 වැනි සංශෝධනයට, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව බොහෝ පාර්ශ්ව විරෝධයපාන්නේ එබැවිනි.

මේ කියන 'නොපෑහීම' කුමක්ද? 

 

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත හැකිවෙයි ද?
30 (2) ව්‍යවස්ථාව මෙසේ ය: ''ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කරගනු ලැබිය යුතු අතර, පස් අවුරුදු කාලයක් ධුරය දරන්නේය.''

83 (ආ) ව්‍යවස්ථාව මෙසේ ය: ''.... ජනාධිපතිවරයාගේ ධුර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද පනත් කෙටුම්පතකට...'' පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක්ද අවශ්‍ය කෙරේ.  

එකක, ''පස් අවුරුද්දක්'' ගැන කතා කෙරෙන අතරේ, දෙවැන්නේ ''zසාවුරුද්දක්'' යනුවෙන් සඳහන් වෙයි. ජනාධිපතිවරයාගේ ධුර කාලය පස් අවුරුද්දක් පමණක් බව, (ඊට වැඩිය දවසක්වත් වැඩි නැති'' බව) දැන් තුන් වතාවක්ම ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්චිතවම කියා ඇති නිසා, ''සාවුරුද්දක්'' කියා මොන තරම් තද අකුරෙන් ලියා, ගලේ කොටා තිබුණත් ඒ ගැන තවදුරටත් කිසිවෙකු කලබල විය යුතු නැත.

වහා වැසිය යුතු හිල 

 

මොකක්ද මේ සිස්ටම් චේන්ජ් එක ? -(ආචාර්ය ඩබ්ලියු.ඒ.අබේසිංහ)''ජනතාව විසින් තෝරා පත්කරගත යුතුය'


මීට වඩා, හරය සහ සාරය අතින් ගත් විට ව්‍යවස්ථාවේ බරපතළ පරස්පරයක් දැකිය හැකි එක් අවස්ථාවක් තිබේ. එයද, ඉහත සඳහන් 30 (2) ව්‍යවස්ථාවට සම්බන්ධයි. අප දුටු පරිදි එහි සඳහන් වන්නේ, ''ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කරගනු ලැබිය යුතු'' බවයි. ජනතාව විසින් තෝරා පත්කරගැනීම යනු, ජනතාව විසින් ''ඡන්දයකින්'' තෝරා පත්කරගැනීමයි. ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ 'ඉලෙක්ට්' යන පැහැදිලි වචනයෙන් එය දක්වා තිබේ. මෙහිදී මා මතු කරන ප්‍රශ්නය වන්නේ, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාව විසින් එසේ ඡන්දයකින් තෝරා පත්කරගත්තේ නැති බව නොවේ. ජනාධිපති ධුරය අතරමැදකදී හිස් වූ අවස්ථාවක, ධුරයේ ඉතිරි කාලය සඳහා, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කරගත හැකි බව ව්‍යවස්ථාවේ 40 (1) (අ) වගන්තියේ සඳහන් වන බව අපි කවුරුත් දනිමු. ඊටත් වඩා, එම ප්‍රතිපාදනය, කලින් කී 30 (2) ව්‍යවස්ථාවේ හරයාත්මක අර්ථය සමග ගැටෙන්නේද නැත. මන්ද යත්, පාර්ලිමේන්තුවේ සිටින්නේද මහජන ඡන්දයෙන් තේරී පත් වූ පිරිසක් වන බැවිනි. මහජන ඡන්දයෙන් තේරී පත් නොවූ 'ජාතික ලැයිස්තු' මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක්ද සිටියත්, ඔවුන්ද, ඡන්දයෙන් තේරී පත්වූ සෙසු මන්ත්‍රීවරුන්ගේ පක්ෂවල අනුමැතියෙන් පත්ව ඇති නිසා, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවන්නේද නැත. 

එහෙත් මේ කියන ජාතික ලැයිස්තුවේ සිටින, ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති යම් පුද්ගලයෙකු රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්කරගන්නා විට, ඉහත සඳහන් 30 (2) ව්‍යවස්ථාවේ සඳහන් ''ජනතාව විසින් තෝරා පත්කරගත යුතුය'' යන නියමය තුළ ඇති මූලික හරය සහ සාරය එකහෙළාම කණපිට හැරවෙයි. එනම්, වර්තමාන ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කරගෙන නැතිවා පමණක් නොව, ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමටද භාජනය වී ඇත්තෙකි. 

එම තත්වය, භාෂාත්මකව පෙළගැස්සුවොත් මෙසේ ය: ''ජනතාව විසින් සෘජු ඡන්දයෙන් ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයෙකු ජනතාව විසින් වක්‍ර ඡන්දයෙන් භාරගෙන තිබේ.'' මෙය, විරුද්ධාභාසයක් පමණක් නොව, 83 (ආ) ව්‍යවස්ථාවේ සඳහන් ''සාවුරුද්ද'' යන වචනයට වඩා බරපතළ, හරයාත්මක විකෘතියකි. ජනතා පරමාධිපත්‍යය, පස්ස දොරෙන් ගසාකෑමකි. 

එය නිවැරදි කරගත හැකි පහසු ක්‍රමයක් තිබේ. එනම්, මැතිවරණයෙන් පරාජයට පත්වූ කිසිවෙකු 'ජාතික ලැයිස්තු' මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්කරගැනීම වළක්වන ව්‍යවස්ථාමය නියමයක් ඇති කිරීමෙනි. වර්තමාන ව්‍යවස්ථාවේ සඳහන් නොගැළපෙන තැන් හරිගස්සන්නේ නම්, ජනාධිපතිවරයා මුලින්ම පටන්ගත යුත්තේ එතැනිනි. 

රාහු කාලය අනුව මැතිවරණ දිනය තීන්දු කරන අපූරු මැතිවරණ කොමිසමක් ! - (ගාමිණී  වියන්ගොඩ)(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...