මෙරට බොහෝ නීතිමය කටයුතුවලදී වයස අවුරුදු දහඅටට අඩු සෑම තැනැත්තෙකුම දරුවෙකු ලෙස පිළිගැනේ. එහෙත් දරුකමට හදා වඩා ගැනීමේදී (කුලවැද්දීමේදී) එම අවස්ථාව හිමිවන්නේ වයස අවුරුදු දහහතර සම්පූර්ණ නොවූ අයට පමණි. 1941 අංක 24 දරන දරුවන් කුලවැද්දීමේ ආඥා පනතේ 17 වන වගන්තිය මඟින් පනවා ඇති මෙම සීමාව හේතුවෙන් වයස අවුරුදු 14ත් 18ත් අතර පසුවන දරුවන් නීත්‍යනුකූලව හදා වඩා ගැනීමට නොහැකි නෛතික හිඩැසක් නිර්මාණය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙයි.
යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මේනකා විජේසුන්දර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම කරුණු අවධාරණය කරනු ලැබුවේ අභියාචනා පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය.
අතුරුදන් වූ උප්පැන්නය සහ අධ්‍යාපන අර්බුදය
මෙම නඩු තීන්දුවට පාදක වූයේ උපතේදීම මව විසින් රෝහලේ දමා ගොස් සිටි, පියා කවුරුන්දැයි නොදන්නා දරුවෙකු වටා ගෙතුණු සංවේදී සිදුවීමකි. එක්තරා යුවළක් විසින් බිළිඳු වියේදීම මෙම දරුවා රැකබලා ගැනීමට භාරගෙන තිබුණද, නීතිය පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම නිසා අධිකරණ නියෝගයක් මඟින් දරුවා නීත්‍යනුකූලව හදා වඩා ගැනීමට පියවර ගෙන නොතිබිණි.
උප්පැන්න සහතිකයක් නොමැති වීම හේතුවෙන් දරුවා ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කර මූලික අධ්‍යාපනය ලබාදීමට එම දෙමව්පියන් කටයුතු කර තිබිණි. ගැටලුව මතු වූයේ සාමාන්‍ය පෙළ විභාගයට ලියාපදිංචි වීමට උප්පැන්න සහතිකයක් අනිවාර්ය වූ අවස්ථාවේදීය. ඒ වන විට දරුවාගේ වයස අවුරුදු 14 සම්පූර්ණ වී දින විස්සක් ගතවී තිබූ බැවින්, දරුවා නීත්‍යනුකූලව කුලවද්දා ගැනීමට දිසා අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. අනතුරුව අභියාචනාධිකරණයට යොමු කළ ඉල්ලීමද නීතියේ පවතින සීමාව මත ප්‍රතික්ෂේප විය.
අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණි මෙම නඩුවේදී නීතිපතිවරයාගේ මැදිහත්වීම මත අතුරු නියෝගයක් නිකුත් කරමින් දරුවාට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය ලියාපදිංචිය ලබාදීමට පියවර ගැනිණි.
1941 පනත සහ දශක ගණනාවක හිඩැස
1941 දී සම්මත වූ දරුවන් කුලවැද්දීමේ ආඥා පනත අවසන් වරට සංශෝධනය වූයේ 2005 වසරේදීය. එහෙත් එම සංශෝධනයේදී පවා 'දරුවා' යන්නට ලබාදී තිබූ අර්ථ නිරූපණය සංශෝධනය කිරීමට පියවර ගෙන නොතිබිණි.
ස්වාභාවික දෙමව්පියන් නොවන භාරකරුවන් යටතේ ආදරය සහ රැකවරණය ලබමින් වැඩෙන, වයස අවුරුදු 14ත් 18ත් අතර දරුවන්ට නීත්‍යනුකූල අනන්‍යතාවක් ලබාගැනීමට නොහැකි වීම තුළින් ඔවුන් දැඩි සමාජයීය සහ නීතිමය අසාධාරණයකට ලක්වන බව නීති ක්ෂේත්‍රයේ විද්වතුන්ගේද මතයයි.
තීරණ ගැනීමේ ප්‍රධාන නිර්ණායකය
මෙවැනි නඩුවලදී මතුවන අනුෂාංගික කරුණු සම්බන්ධයෙන් තීන්දු ගැනීමේදී, 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනතේ 5(2) වගන්තිය ප්‍රකාරව "දරුවාගේ උපරිම යහපත" මූලික නිර්ණායකය කරගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පහළ අධිකරණ වෙත නිකුත් කළ නිර්දේශයේ දැක්වේ.
ලෝකයේ බොහෝ රටවල මෙන්ම එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේද (UNCRC) දරුවෙකුගේ අයිතිවාසිකම් තීරණය කිරීමේදී වඩාත්ම සැලකිල්ලට ගන්නේ එම උපරිම යහපත පිළිබඳ මූලධර්මයයි. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් මෙම මඟපෙන්වීම, වසර ගණනාවක් පැරණි නීතිමය සීමා හමුවේ අසරණ වන දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම උදෙසා ගනු ලැබූ ප්‍රමුඛ පෙළේ අධිකරණමය ඉදිරි පියවරක් ලෙස නිරීක්ෂකයෝ සලකති.
(සටහන | විනු කරුණාරත්න)
දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්
Awara
October 6, 2026 • 4:59 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෙරට බොහෝ නීතිමය කටයුතුවලදී වයස අවුරුදු දහඅටට අඩු සෑම තැනැත්තෙකුම දරුවෙකු ලෙස පිළිගැනේ.
- අංක 24 දරන දරුවන් කුලවැද්දීමේ ආඥා පනතේ 17 වන වගන්තිය මඟින් පනවා ඇති මෙම සීමාව හේතුවෙන් වයස අවුරුදු 14ත් 18ත් අතර පසුවන දරුවන් නීත්‍යනුකූලව හදා වඩා ගැනීමට නොහැකි නෛතික හිඩැසක් නිර්මාණය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙයි.
- උප්පැන්න සහතිකයක් නොමැති වීම හේතුවෙන් දරුවා ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කර මූලික අධ්‍යාපනය ලබාදීමට එම දෙමව්පියන් කටයුතු කර තිබිණි.
- ඒ වන විට දරුවාගේ වයස අවුරුදු 14 සම්පූර්ණ වී දින විස්සක් ගතවී තිබූ බැවින්, දරුවා නීත්‍යනුකූලව කුලවද්දා ගැනීමට දිසා අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


