“ජාත්‍යාලය” වචනයට පමණක් සීමා කරන පිරිස බොහෝ සිටියද, ප්‍රායෝගිකව ජාතියට ආදරය කරන සැබෑ මිනිසුන් සිටින්නේ ඉතාමත් අතළොස්සකි. හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය යනු එවන් උත්තුංග චරිතයකි. තම ජීවිත කාලය තුළ රටේ විවිධ ගැටුම්, අරගල සහ කඩාවැටීම් රාශියක් සියැසින් දුටු ඔහු නිරන්තරයෙන් ඒවාට ප්‍රායෝගික විසඳුම් සෙවීය. අනාගත පරපුර වෙනුවෙන් මාතෘභූමිය සුන්දර බිමක් ලෙස භාර දීම සිය උර මත තිබෙන වගකීමක් ලෙස හේ නිතරම සැලකීය. ආනන්ද විද්‍යාලයෙන් පොවන ලද ජාතික හැඟීම ඔහුව එවන් මාවතකට යොමු කරවන්නට ඇත.
තිස් වසරක සාපලත් යුද්ධය අවසන් වුවද තවමත් ජාතීන් අතර ඇති අවිශ්වාසය සහ බෙදීම්වලට දේශපාලන විසඳුම් සොයන අවධියක, ජයසූරිය මහතා විශ්වාස කළේ ජාතීන් අතර පවතින භාෂාමය අනවබෝධය මීට ප්‍රධානතම හේතුව වන බවයි. මිනිසුන්ට සිය සැබෑ හැඟීම් සහ මතයන් තවකෙකුට පැහැදිලිව සන්නිවේදනය කළ හැකිනම්, අනෙකා කෙරෙහි සැක උපදවා ගැනීම මඟහැරවිය හැකි බව ඔහු හඳුනාගත්තේය. යළිත් රට තුළ ගැටුම් නිර්මාණය වීමට ඔහු කිසිසේත්ම අකමැතිය. නව වැඩපිළිවෙළක අවශ්‍යතාව ඔහුට තදින්ම දැනිණි.
උතුරට සිංහල - දකුණට දෙමළ: 2016 ඇරඹි ගමන

වෛද්‍ය වසන්තා ජයසූරිය සහ කරු ජයසූරිය විසින් සමාජ සේවා කටයුතු වෙනුවෙන් ආරම්භ කරන ලද “සූර්ය පදනම” හරහා පුළුල් මෙහෙවරක් සිදුවෙමින් පැවතුණද, ජාතික සමඟිය වෙනුවෙන් ඒ හරහා මාවත විවර වන්නේ 2016 වසරේදීය. ඒ, ගම්පහ කාර්යාලයේදී දකුණේ දරුවන්ට දෙමළ භාෂාවත්, යාපනයේදී උතුරේ දරුවන්ට සිංහල භාෂාවත් නොමිලේ උගන්වන පන්ති ආරම්භ කරමිනි. එම වැඩසටහන ආරම්භ කර දැන් ගෙවෙන්නේ 10 වැනි වසරයි.
එලෙස අධ්‍යාපනය හැදෑරූ 10 වැනි කණ්ඩායම වෙත සහතිකපත් පිරිනැමීම සහ ඔවුන් ඇගයීමේ වැඩසටහනක් පසුගියදා යාපනයේදී පැවැත්විණි. සෑම වසරකම උතුරේ සිසුන් 400ක් පමණ මෙයින් අධ්‍යාපනය ලබති. එම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්, හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක, යාපනය දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
සිංහල සිරිතට හැඩවුණු යාපනයේ වේදිකාව

මෙම සභාවේදී දෙමළ දරුවන් සිය ඉගෙනුම් කුසලතා විදහා දැක්වූයේ කාගෙත් නෙත් සිත් පැහැරගනිමිනි. සිංහල සංස්කෘතික ඇඳුමින් සැරසුණු ඔවුහු සිංහල ගීතවලට නර්තන ඉදිරිපත් කළහ. සිංහල භාෂාවෙන්ම ඔවුන් විසින් නිර්මාණය කරන ලද කෙටි නාට්‍ය රඟ දැක්වූහ. සිංහලෙන් අදහස් දැක්වූහ. දේශසීමා සහ භාෂා බාධක බිඳවැටුණු ඒ මොහොත කාගේත් නොමඳ ඇගයීමට පාත්‍ර විය.
සූර්ය පදනමේ තිස් වසරක මෙහෙවර
“සූර්ය පදනම” ආරම්භ වන්නේ 1992 වසරේදීය. ආරම්භයේ පටන්ම අද දක්වා සෞඛ්‍ය සේවා, අක්ෂි පරිත්‍යාග, පාරිසරික වැඩසටහන් මෙන්ම පරිගණක තාක්ෂණය, STEM අධ්‍යාපනය (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය), ඉංග්‍රීසි භාෂා පුහුණුව හා ශිෂ්‍යත්ව පිරිනැමීම ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අතිවිශාල පිරිසකට මෙමඟින් සෙත සැලසිණි. එහි සුවිශේෂී ඉදිරි පියවරක් ලෙස 2016 වසරේදී මෙම වැඩසටහන උතුරටද ව්‍යාප්ත කෙරිණි.
දෑසට කඳුළු එක්කළ අනපේක්ෂිත උපහාරය

උත්සව සභාවේදී කිසිවෙකු නොසිතූ සුවිශේෂී සිදුවීමක්ද විය. කරු ජයසූරිය මහතා වේදිකාවේ සිට දරුවන්ට සහතිකපත් පිරිනමමින් සිටියදී, එක්වරම සභාව මැදින් තවත් දරුවන් පිරිසක් කේක් ගෙඩියක් සහ සමරු ඵලකයක් රැගෙන විත් වේදිකාවේ තබා කරු ජයසූරිය මහතාට එය කපන ලෙස ආරාධනා කළහ.
ඉන් අනතුරුව, එම දරුවන් 400 දෙනා විසින්ම සකස් කරන ලද කේක්, සුබපැතුම්පත් සහ සමරු තිළිණ රාශියක් ජයසූරිය මැතිතුමා වෙත පිරිනමමින් සිය හදපිරි ආදරය ප්‍රකාශ කළහ. එම අවස්ථාව රැස්ව සිටි සැමගේ නෙතඟට සතුටු කඳුළු උනන සංවේදී දසුනක් විය. තමන්ට සිංහල භාෂාව උගෙනීමට මඟ විවර කළ නායකයෙකුට උතුරේ දරුවන් දැක්වූ ඒ අව්‍යාජ කෘතගුණ සැලකීමෙන් පිළිබිඹු වන්නේ කුමක්ද? ජාතික සමඟියේ සැබෑ පාලම් තැනීමේ අගය සහ උතුරේ දරුවන්ටද එම සහෝදරත්වය කෙතරම් අවැසිද යන්න නොවේද?
(සටහන | කරු ජයසූරිය ගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය)



