ගුජරාතයෙන් ප්‍රසිද්ධ දේශපාලනයට පය ගැසූ නරේන්ද්‍ර මෝඩිගේ දේශපාලන ජීවිතයට මෙම ඔක්තෝම්බර 07 වන දිනට වසර 25 ක් පිරීම නිමිතිකොට ඉන්දියාව පුරා උත්සව පැවැත්වෙන බැව් භාරතීය ජනතා පක්ෂය (බී.ජේ.පී) ප්‍රකාශකර ඇත.
ප්‍රථම වරට ගුජරාතයේ මහ ඇමති ලෙස ඔහු දිවුරුම් දෙනු ලැබුවේ 2001 ඔක්තෝම්බර 07 වන දින ය. ඉන් සය මසකට පසු 2002 පෙබරවාරි අවසානයේ සිට මාර්තු පළමු සතියේ දින කිහිපයක් අතිශය අමානුෂික, මුස්ලිම් ජන ඝාතන රැල්ලක් ගුජරාතයේ දියත් වූයේ කලින් දින හින්දු භක්තිකයින් ගමන් ගත් දුම්රියකට පහරදී හින්දු භක්තිකයින් 59 දෙනෙකු ඝාතනය කිරීමේ පලිය ගැනීමට යැයි කියනු ලැබිණ. දින කිහිපයක් ඇතුළත 1000 ට වැඩි ගැහැණු පිරිමි, බාල මහළු මුස්ලිම් පිරිසක් ඝාතනය කරනු ලැබුවේ යැයි ගණන් බලා ඇත.
ගුජරාත් රහස් පොලිස් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ සන්ජීව් භාට් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් දිවුරුම් පෙත්සමකින් කියා තිබුණේ, හින්දු ජනතාවට පලි ගන්නට ඇති අයිතියට හරස් නොවන මෙන් මහ ඇමති නරේන්ද්‍ර මෝඩි පොලීසියට උපදෙස් දුන් බව ය. අවුරුදු 13 ක් ගුජරාත් මහ ඇමතිව සිටි නරේන්ද්‍ර මෝඩි, ඉන්පසු 2014 දී භාරතීය ජනතා පක්ෂ මැතිවරණ ජයග්‍රහණය සමග පළමු වරට ඉන්දීය අගමැති ලෙස දිවුරුම් දුන්නේය. එතැන් සිට එක පෙළට මැතිවරණ 03 ක් ජයග්‍රහණය කරමින් දැනට අවුරුදු 12 ක් මෝඩි ඉන්දීය අගමැති වන්නේය. මේ වාරයේ ඔහුට තව වසර 03 ක් ඉදිරියට ඇත.

නේරුගෙන් පසු මෝඩි සතු ජාතික ආකර්ශනය
වත්මන් ඉන්දියානු දේශපාලනයේ මෝඩි විශේෂ චරිතයකි. බටහිර බලවතුන් අතරත් ඊශ්‍රායලයේ නෙතන්යාහු සමගත් ඔහු සමීප සම්බන්ධකම් පවත්වා ගන්නේය. ඉන්දීය නිදහස් ව්‍යාපාරයේ මහත්මා ගාන්ධි මෙන්ම පතාක යෝධයෙකු ලෙස පිළිගනු ලැබූ, නිදහස් ඉන්දියාවේ පළමු අවුරුදු 17 හි අගමැති වූ ජවහර්ලාල් න්හෙරු ගෙන් පසු එවැනිම ගෞරවයක් නොවුනත් ජාතික දේශපාලන ආකර්ශනයක් ඇති මෝඩි සතු විශේෂත්වය කුමක්ද?
කුඩා දරුවකු ලෙස ගුජරාතයේ දුප්පත් ටවුමක් වූ වාද්නගාර්හි දුම්රියපළ වේදිකාව කෙළවරෙහි පියාගේ තේ කරත්තයේ එල්ලී වැඩුණු, හින්දුවාදී සංවිධානයක් වන රාශ්ත්‍රීය ස්වයාම්සේවක් සංග් (RSS) හි ක්‍රියාකාරකම් වලට හවුල්වී තරුණ විය ඇරඹූ ඔහු ප්‍රියමනාප සරළ චරිතයකි. දක්ෂ කතිකයෙකි. ආත්ම විශ්වාසයක් ඇත්තෙකි. තීන්දු ගැනීමට පසුබට නොවන්නෙකි. ඒ පෞරුෂය සමග ඔහු ඉන්දියාවට විශේෂ වන්නේ මහ ජාතිවාදී “හින්දුත්වා” ආගමික අන්තවාදය ප්‍රධාන ධාරාවේ දේශපාලනයට ගෙන ඒමෙන්ය. එනිසා ඔහු බහු සංස්කෘතික ඉන්දීය සමාජයෙහි නොව ඉන්දීය හින්දු අන්තවාදීන්ගේ සමාජයේ ජනප්‍රිය නායකයා යැයි කීම වඩා නිවැරදි ය.
ද්‍රවිඩ දකුණ සහ බෙංගාලයේ අභියෝගය
වත්මන් ඉන්දියාවේ “හින්දුත්වා” ආගමික නියෝජනයේ කේන්ද්‍රය තව දුරටත් RSS පදනම සහිත භාරතීය ජනතා පක්ෂය (බී.ජේ.පී) නොවේ. “හින්දුත්වා” ආගමික නියෝජනයේ කේන්ද්‍රය දැන් RSS සමග නරේන්ද්‍ර මෝඩි ය. බී.ජේ.පිය ඔහුගේ ප්‍රතිරූපය හමුවේ නිසල වූවකි. ඔහුට ඇති එකම ගැටළුව, හින්දි භාෂාව පළමු භාෂාව නොවන “ද්‍රවිඩ ඉන්දියාව” ලෙස සැළකෙන දකුණු ඉන්දීය ප්‍රාන්තවල තවමත් වැදගත් පදනමක් ලබන්නට ඔහුට නොහැකිවීම ය.
දකුණු ඉන්දියාවේ කේරළයෙන් බී.ජේ.පී මන්ත්‍රීවරයෙකු පළමු වරට ලොක් සභාවට තේරී පත් වූයේ 2024 දී ත්‍රිනසූර් ආසනයෙනි. කේරළ ප්‍රාන්ත සභාවේ ඔහුට ඇත්තේ ප්‍රාන්ත මන්ත්‍රීවරුන් 03 කු පමණි. නරේන්ද්‍ර මෝඩි පළමු වරට අගමැති වූ 2014 දී තමිල් නාඩුවෙන් ලොක් සභාවට තේරී පත් වූ එකම මන්ත්‍රී ඊළග 2019 මැතිවරණයෙන් පරාජය විය. පසුගිය තමිල්නාඩු මැතිවරණයෙන් මන්ත්‍රී ආසන 234 ක සභාවෙහි බී.ජේ.පිට ලැබුණේ 01 ප්‍රාන්ත මන්ත්‍රී ධූරයක් පමණි. දකුණේ ද්‍රවිඩ ප්‍රාන්ත අතුරින් බී.ජේ.පියට යම් පදනමක් ඇත්තේ බෙංගලූරු ප්‍රාන්තයේ ය. බෙංගලූරුවේත් ඔවුන්ට ඇත්තේ විපක්ෂයේ සුළු නියෝජනයක් පමණි.
බටහිර බෙංගාලයේ අති බහුතරයකගේ ඓන්ද්‍රීය සංස්කෘතික ස්වාධීනත්වය විසින් මෝඩිගේ හින්දුත්වා දේශපාලනයට ඉඩක් නොතැබුණ නමුත් ත්‍රිනමූල් පක්ෂ නායිකා මමතා බැනජිගේ වසර 15 ක අධිකාරවාදී දූෂිත පාලනයට එරෙහිව බෙංගාල සමාජයේ ගොඩ නැගුණු “මමතා ප්‍රතික්ෂේපය” විසින් බී.ජේ.පියට පය ගසන්නට ඉඩක් ලැබිණ. ඒ සමග මෝඩි ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ ඡන්ද ලැයිස්තු “විශේෂ තියුණු සංශෝධනයකට” ලක් කිරීමේ ව්‍යාපෘතිය යටතේ සාම්ප්‍රදායිකව බී.ජේ.පියට විරුද්ධ මුස්ලිම් සහ අනෙක් සුළුතර ආගමිකයින් මිලියන 02.7 ක් බටහිර බෙංගාලයේ ඡන්ද ලැයිස්තුවෙන් ඉවත් කිරීමෙන් බටහිර බෙංගාල පාලනය පළමු වරට බී.ජේ.පියට ලබා ගත හැකි විනැයි චෝදනා ඇත.

සුළුතර මර්දනය සහ ලේ වැකි වාර්තා
මෝඩිගේ ඉන්දියාවේ හින්දුත්වා අන්තවාදයෙහි ව්‍යාප්තිය දක්වන එක් වාර්තාවක් වන්නේ, ඔහුගේ තෙවන මැතිවරණ ජයග්‍රහණය වූ 2024 මැතිවරණ ජයග්‍රහණයෙන් පසු පළමු වසරේ - 2024 ජුනි සිට 2025 ජුනි දක්වා - “සිවිල් අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය” විසින් ප්‍රකාශයට පත් කළ වාර්තාවය. එයට අනුව ඒ අවුරුද්ද තුල පමණක් “වෛරී අපරාධ” 947 ක් වාර්තා වී ඇත. ඉන් අපරාධ 25 ක ඊට ගොදුරුවූ පුද්ගලයින් ඝාතනය වී ඇත. ඔවුන් මුස්ලිම් ආගමිකයින් ය. ඉන් අපරාධ 178 ක් මෝඩිගේ බී.ජේ.පි පාක්ෂිකයින් විසින් සිදුකරනු ලැබූ අපරාධ වේ.
මනිපූර් ප්‍රාන්තයේ 2023 වසරේ මුදා හැරුණු වාර්ගික ප්‍රචණ්ඩත්වය සමග 60,000 ට වැඩි පිරිසක් අවතැන් වූ අතර, 200 ට වැඩි පිරිසක් මිය ගොස් ඇත. නිවාස 5,000 ට අධික සංඛ්‍යාවක් ගිණි තබා ඇත. පල්ලි සහ පූජා ස්ථාන 350 ට වැඩි සංඛ්‍යාවක් කඩා බිඳ අපවිත්‍ර කර ඇත.
“මානව හිමිකම් නිරීක්ෂණය” (Human Rights Watch) ඔවුන්ගේ “2025 - ලෝක වාර්තාව” ඉකුත් ජනවාරි 19 වන දින බැංකොක් නුවරදී ප්‍රසිද්ධ කරමින් කියුවේ, “මුස්ලිම් සහ අනෙක් සුළුතර ජන කොටස් වලට එරෙහිව වෙනස්කම් කිරීම්, විරෝධතා සහ ප්‍රචණ්ඩත්වය මුදා හරිමින් දියත් කළ මැතිවරණ ව්‍යාපාරයකින් මෝඩි සහ ඔහුගේ හින්දුවාදී භාරතීය ජනතා පක්ෂය 2024 ජුනියේ දී තෙවන වරටත් බලයට පැමිණ ඇත” යැයි කියා ය. “ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ගැන උදම් අණන්නට අගමැති මෝඩි ලොකු කැමැත්තක් දැක්වූවත් සුළුතරයින් හා විසම්මුතීන් මර්දනය කිරීම තව දුරටත් ඔහුට සඟවන්නට නොහැක” යැයි “මානව හිමිකම් නිරීක්ෂණ” සංවිධානයේ ආසියානු නියෝජ්‍ය අධ්‍යක්ෂිකා මීනක්ෂි ගංගූලි එදින කියා තිබුණා ය.
මාධ්‍ය දත්ත ගබඩාකරුවන් වන “ඉන්ඩියා-ස්පෙන්ඩ්” වැනි ස්වාධීන නිරීක්ෂකයින්ට අනුව, මෝඩි බලයට පැමිණි පසු හින්දුත්වා කස කණ්ඩායම් විසින් ගව ඝාතනයට වගකිව යුතු යැයි සියයකට වඩා මුස්ලිම් ආගමිකයින් මරා දමා ඇත. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලොක් සභාවට, ඉන්දීය පාර්ලිමේන්තුවට කිහිපවර තොරතුරු ඉදිරිපත් කරමින් වාර්ෂිකව සියයකට වැඩි ඝාතන සංඛ්‍යාවක් වාර්තාවන අතර, 2020 දී නව දිල්ලියේ ඇති වූ වාර්ගික ගැටුම් හේතුවෙන් 50 ට වඩා මිය ගිය බව කියා ඇත.
රැකියා අර්බුදය සහ "කැරපොතු ජනතා ව්‍යාපාරය"
ඒ එක ම්ලේච්ඡ පැතිකඩකි. තවත් පැත්තක් ඉන්දීය දේශපාලනය මත කඩා වැටුණේ මාස 05 ට පමණ පෙර ඉන්දීය ශ්‍රෙෂ්ඨාධිකරණ අග විනිසුරු සූර්ය ඛාන්ට් විසින් තරුණ විරැකියා සහ අන්තර්ජාල ක්‍රියාධරයින් කැරපොත්තන් වැනි යැයි කළ ප්‍රකාශය සමග ය. එයම ප්‍රචාරක වාසියට ගනු ලැබූ තරුණයින් “කැරපොතු ජනතා ව්‍යාපාරය” යැයි යොදා ගත් නමින් ඉන්දීය තරුණ ශිෂ්‍ය පිරිස් පාරට කැඳවනු ලැබුවේ මේ වසරේ ජාතික විභාග සඳහාවූ ප්‍රශ්න පත්‍ර හොරෙන් පිට කිරීම, ළකුණු දීමේ ආරවුල් ඇතුළු අධ්‍යාපනික ගැටළු සම්බන්ධව වගකිව යුතු අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්විය යුතු යැයි වන ඉල්ලීම වෙනුවෙනි. සම්මුති විරහිත තරුණ විරෝධයේ ශක්තිය මත ඔහුට ඉල්ලා අස්වීමට සිදු විය. තරුණ විරෝධ ප්‍රධාන නගර ගණනාවකට පැතිරිණ. ඒ සමග ඉන්දීය තරුණ විරැකියා සම්බන්ධ දත්ත ප්‍රසිද්ධ සාකච්ඡාවට ගැණුනි.
“ඉන්දීය පරිවර්තනය සඳහාවන ජාතික ආයතනය” වන NITI Aayog විසින් මේ ආසන්නයේම ප්‍රසිද්ධ කළ වාර්තාවට අනුව, වයස අවුරුදු 15 ත් 29 ත් අතර තරුණයින් මිලියන 87 ක් අධ්‍යාපනයක් හෝ පුහුණුවක් ලබන්නේවත් රැකියාවක් කරන්නේවත් නැත. එවගේම තරුණ විරැකියාව සියයට 15.6 කි. තරුණියන් අතර විරැකියාව සියයට 19.5 කි. අවුරුදු 20 ත් 29 ත් අතර උපාධිධාරි විරැකියාව සියයට 67 කි. තරුණ තරුණියන්ගෙන් සියයට 88 ක් තම නිවෙස්වල වැඩට හවුල් වෙති.

මෝඩිගේ ඉන්දියාවේ අවසානයද?
මෝඩිගේ අවුරුදු 12 ක ඉන්දියාව කෝටි ගණන් ආයෝජන හිමි, කෝටි ගණන් ලාභ ලබන අඩානිලා අම්බානිලා වෙනුවෙන් හැදූ ඉන්දියාවම නොවේ. බහුතර හින්දු ඡන්ද එකතුකර ගැනීමට හින්දු ආගමික අන්තවාදී සමාජ ආධිපත්‍ය වෙනුවෙන් සුළුතර ජනයාගේ දේපළ, ව්‍යාපාර, ආදායම් මාර්ග විනාශ කරන, සුළුතර ජන ජීවිත අනාරක්ෂිත කෙරෙන, සුළුතර ජන ජීවිත ඝාතනය කෙරෙන ඉන්දියාවත් අධ්‍යාපනයක් නැති, පුහුණුවක් නැති, රැකියා නැති මහ නගරවල විරෝධතාවල නිරත තරුණ තරුණියන්ගේ ඉන්දියාවත් මෝඩිගේ ඉන්දියාවම වන්නේ ය. කැරපොත්තන් දැන් හතර අත දුවන්නේ මෝඩිගේ ඉන්දියාවෙහි අවසානය ළඟාවී ඇතැයි කීමට විය යුතුය.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2026 ඔක්තෝම්බර 06 වන දින




