The Leader News
BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය

සමාජ මාධ්‍ය තුළ සාහිත්‍ය කෘති උත්කර්ෂයට නැංවීම හරහා ප්‍රසංසාව ඉහළ යාම තුළ සාහිත්‍ය විචාරය මෙන්ම රුචිය ද හීන වන පසුබිම විවරණය කරයි.

Pasan

Pasan

October 6, 2026 • 7:53 PM

සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමානයේ පොතක් ජනප්‍රිය වීමට එම පොත ගුණාත්මකභාවයෙන් යුතු පොතක් විය යුතු ද?
  • විශේෂයෙන්ම Facebook යනාදි සමාජ මාධ්‍ය වේදිකාවල ඇති පොත් සහ පොත් සමූහ (Groups), කියවන්නන් එකිනෙකා සමග සම්බන්ධ කරන වැදගත් අවකාශ බවට පත්ව තිබේ.
  • ඒවා තුළින් පොත් හඳුනාගැනීමට, අදහස් හුවමාරු කර ගැනීමට, නව ලේඛක ලේඛිකාවන් හඳුනාගැනීමට සහ කියවීම පිළිබඳ සංවාද ඇති කිරීමට විශාල අවකාශයක් නිර්මාණය වී තිබේ.
  • එහෙත් ගැටලුව ඇති වන්නේ සාහිත්‍ය සංවාදය සහ පොත් ප්‍රචාරණය අතර සීමාව මැකී යන විටයි.
අකුරු ප්‍රමාණය (Font Size):

වර්තමානයේ පොතක් ජනප්‍රිය වීමට එම පොත ගුණාත්මකභාවයෙන් යුතු පොතක් විය යුතු ද?

එසේත් නැත්නම්, හොඳින් සංවිධානය කළ සමාජ මාධ්‍ය ව්‍යාපාරයක්, කමෙන්ට් කිහිපයක්, හුවමාරු කිරීම් (Share) සිය ගණනක් සහ එකම පොත ගැන නැවත නැවත පළවන ප්‍රශංසාත්මක සටහන් කිහිපයක් ප්‍රමාණවත් ද?

මෙම ගැටලුව අද ශ්‍රී ලාංකීය සාහිත්‍ය සංස්කෘතිය තුළ නොසලකා හැරිය නොහැකි ප්‍රශ්නයකි.

විශේෂයෙන්ම Facebook යනාදි සමාජ මාධ්‍ය වේදිකාවල ඇති පොත් සහ පොත් සමූහ (Groups), කියවන්නන් එකිනෙකා සමග සම්බන්ධ කරන වැදගත් අවකාශ බවට පත්ව තිබේ. ඒවා තුළින් පොත් හඳුනාගැනීමට, අදහස් හුවමාරු කර ගැනීමට, නව ලේඛක ලේඛිකාවන් හඳුනාගැනීමට සහ කියවීම පිළිබඳ සංවාද ඇති කිරීමට විශාල අවකාශයක් නිර්මාණය වී තිබේ. එහෙත් ගැටලුව ඇති වන්නේ සාහිත්‍ය සංවාදය සහ පොත් ප්‍රචාරණය අතර සීමාව මැකී යන විටයි.

ගෲප් (Group) එකක් සාහිත්‍ය අවකාශයක් ද? නැත්නම් ප්‍රචාරණ වේදිකාවක් ද?

පොත් ගෲප් (Group) එකක මූලික අරමුණ කියවීම පිළිබඳ සංවාදයක් ඇති කිරීම නම්, එහි ප්‍රධාන කාර්යය විය යුත්තේ කෘතිය පිළිබඳ විවිධ අදහස්වලට ඉඩ සැලසීම ය. කෘතියකට කැමති අය එහි ගුණ කියනු ඇත. එයට අකමැති අය දුර්වලතා පෙන්වා දෙනු ඇත. තවත් අය එහි භාෂාව පිළිබඳ කතා කරනු ඇත. කෙනෙකුට කතාව විශිෂ්ට විය හැකි අතර තවත් කෙනෙකුට එය සාමාන්‍ය නිර්මාණයක් විය හැකි ය; සාහිත්‍ය සංවාදය යනු එය යි.

නමුත් එක් පොතක් වටා පමණක් අඛණ්ඩව ප්‍රශංසාත්මක සටහන්, උපුටා දැක්වීම්, ඡායාරූප, “අනිවාර්යයෙන් කියවන්න” යනාදි ප්‍රකාශ සහ එකිනෙකාගේ ප්‍රශංසා නැවත නැවත ප්‍රතිරාවය වීම ආරම්භ වූ විට එය සාහිත්‍ය සංවාදයකට වඩා ප්‍රචාරණ ව්‍යුහයක ස්වරූපයක් ගැනීමට පටන් ගනී.

මෙහි දී ප්‍රශ්නය පොත ප්‍රචාරය කිරීම වැරදිද යන්න නොවේ. ප්‍රශ්නය වන්නේ ප්‍රචාරණය විචාරය ලෙස පෙනී සිටීමයි.

පොත් සම්බන්ධ සමාජ මාධ්‍ය සමූහයක ඇඩ්මින්වරයා (Admin) විචාරකයෙක් ද? ප්‍රචාරකයෙක් ද?

ගෲප් ඇඩ්මින්වරයාට විශාල බලයක් තිබේ. ඔහුට හෝ ඇයට කුමන සටහන් ඉහළට ගෙන ඒම ද, කුමන සටහන් ඉවත් කිරීම ද, කුමන අදහස්වලට වැඩි දෘශ්‍යතාවක් ලබාදීම ද, කුමන සාකච්ඡා මැඩපැවැත්වීම ද යන්න තීරණය කළ හැකි ය. ඒ නිසා ඇඩ්මින්වරයා සාමාන්‍ය සාමාජිකයකු නොවේ. ඔහු නොනිල Gatekeeper කෙනෙකි; සාහිත්‍ය Gatekeeper කෙනෙකි. මෙහි දී ඔහු ගේ වගකීම වන්නේ තමන් කැමති පොත් ප්‍රවර්ධනය කිරීම පමණක් නොව, ගෲප් එකේ සංවාද සංස්කෘතිය ආරක්ෂා කිරීමයි.

ඇඩ්මින්වරයකු ලේඛකයකුගේ හෝ ලේඛිකාවක ගේ පොතක් ප්‍රශංසා කළ පමණින් ඔහු ප්‍රචාරකයෙකු බවට පත් නොවේ. නමුත් ඇඩ්මින්වරයා නිරන්තරයෙන් එකම කෘතිය වෙනුවෙන් ප්‍රචාරණයක් මෙහෙයවමින් , විවේචන යටපත් කරමින්, ප්‍රතිවිරුද්ධ අදහස් ඉවත් කරමින්, සාමාජිකයින් ගේ ප්‍රතිචාර සංවිධානය කරමින් සිටී නම් ඔහු ගේ භූමිකාව සාහිත්‍ය සංවාදය මෙහෙයවන්නෙකුගෙන් ප්‍රචාරකයකුට සමීප භූමිකාවකට මාරු විය හැකි ය.

එහිදී තවත් වැදගත් ප්‍රශ්නයක් මතු වේ. ඇඩ්මින්වරයා ගේ පෞද්ගලික රුචිය ගෲප් එකේ සාහිත්‍යමය මිනුම් දණ්ඩ බවට පත්විය යුතුද ?

“හැමෝම කියන නිසා හොඳයි” යන මායාව

සමාජ මාධ්‍යයේ විශාලතම මනෝවිද්‍යාත්මක බලපෑමක් වන්නේ Social Proof හෙවත් සමූහ අනුමැතිය යි. පොතක් ගැන පුද්ගලයන් දහදෙනෙකු ප්‍රශංසා කළ විට, එකොළොස්වන පුද්ගලයාට එය කියවීමට පෙරම “මේක හොඳ පොතක්” යන හැඟීම ඇති විය හැකි ය. එය සියදෙනෙකු කළ විට තවත් ශක්තිමත් වේ. අවසානයේ පොතේ ගුණාත්මකභාවය පිළිබඳ පුද්ගලයා ගේ අත්දැකීම වෙනුවට පිරිසක ගේ ප්‍රතිචාරය පොතේ වටිනාකම මැනීමේ උපකරණයක් බවට පත්වේ.

මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ “ජනප්‍රිය” යන්න සහ “ගුණාත්මක” යන්න එකම අර්ථයකින් භාවිත කිරීමට පටන් ගැනීමයි. ජනප්‍රිය පොතක් නරක පොතක් නොවේ. එසේම ජනප්‍රිය නොවන පොතක් හොඳ පොතක් බව ද අනිවාර්යයෙන්ම අදහස් නොවේ. එහෙත් ජනප්‍රියත්වය සාහිත්‍යමය ගුණාත්මකභාවයට සෘජු සාක්ෂියක් නොවේ.

“රැල්ල” නිර්මාණය වන්නේ කෙසේද ?

සමාජ මාධ්‍යයේ සියල්ල හැසිරවෙන්නෙ Algorithm එකටයි. ඇල්ගොරිතමය අවධානය ලබා දෙන්නෙ සාකච්ඡාවලට නොවේ. එය Engagement මත පෝස්ටුව ග්‍රාහකයන් වැඩි පිරිසක් අතරට යවයි. ඒ නිසා එකම පොත පිළිබඳ වැඩි සටහන් පළවන තරමට එය තවත් පිරිසකට පෙනෙයි. එය තවත් සාකච්ඡා ඇති කරයි. තවත් සාමාජිකයන් එයට සම්බන්ධ වෙයි. එවිට එය තවත් ජනප්‍රිය බව පෙනෙයි. මෙය Feedback Loop එකකි. පළමුව අවධානය නිර්මාණය වේ; අවධානයෙන් Engagement ඇති වේ; Engagement එකෙන් දෘශ්‍යතාව (Visibility) වැඩි වේ; දෘශ්‍යතාවෙන් ජනප්‍රියත්වය පෙනෙයි; ජනප්‍රියත්වය නැවතත් අවධානය නිර්මාණය කරයි.

මේ චක්‍රය තුළ පොතේ සැබෑ සාහිත්‍යමය වටිනාකමට වඩා එය වටා ඇති ඩිජිටල් ක්‍රියාකාරීත්වය ප්‍රමුඛ විය හැකිය.

විචාරය මිය ගිය තැන ප්‍රශංසාව ජය ගනී

සාහිත්‍ය විචාරයේ මූලික ලක්ෂණයක් වන්නේ ප්‍රශ්න කිරීමයි.

කෘතියේ භාෂාව කෙබඳු ද?, ආඛ්‍යාන තාක්ෂණය කෙබඳු ද?, චරිත ගොඩනැගීම සාර්ථක ද?, කතුවරයා ගේ මනෝවිද්‍යාත්මක නිරූපණය කොතරම් ගැඹුරු ද?, තේමාව නව්‍ය ද?, කෘතිය පවතින සාහිත්‍ය සම්ප්‍රදායට අභියෝග කරන්නේ ද?, එහි සීමා මොනවා ද? යන්න ය.

මේ ප්‍රශ්න නොමැති තැන සාහිත්‍ය විචාරයක් නොමැත. ඇත්තේ ප්‍රශංසා සංස්කෘතියකි.

“විශිෂ්ටයි.”, “අනිවාර්යයෙන් කියවන්න.”, “මගේ ජීවිතයේ කියවපු හොඳම පොත.”, “ලංකාවේ මෙවැනි පොතක් ලියලා නැහැ.” යනාදි ප්‍රකාශ නැවත නැවත කිරීමෙන් සාහිත්‍ය විචාරයක් බිහි නොවේ.

එවැනි ප්‍රකාශවලට සාහිත්‍යමය සාක්ෂි, සංසන්දනය, තර්කය සහ විශ්ලේෂණය එක් නොවන්නේ නම් ඒවා අවසානයේ ප්‍රචාරණ භාෂාවේ වචන පමණි.

ලේඛකයාටත් පාඨකයාටත් ඇති වගකීම

මෙහි වගකීම ඇඩ්මින්වරුන්ට පමණක් පැවරිය නොහැකි ය. ලේඛකයා ලේඛිකාව ද තම කෘතිය වටා නිර්මාණය වන ප්‍රතිරූපය පිළිබඳ වගකීමක් දැරිය යුතු ය. තමන් ගේ කෘතියට විවේචනයක් එල්ල වූ විට එය “වෛරයක්” ලෙස පමණක් දැකීම සාහිත්‍ය සංවාද දුර්වල කරයි.

පාඨකයා ද තමන් ගේ කියවීමේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතු ය. ගෲප් එකක දසදෙනකු කියන දේ නිසා පොතක් මිලදී ගැනීමට පෙර, තමන්ට හැකි නම් පොත කියවා තීරණය කිරීම වඩා වැදගත් ය. මන්ද, පාඨකයා ගේ රුචිය ඇල්ගොරිතමයකින් හෝ ගෲප් ඇඩ්මින්වරයෙකු ගෙන් විනිශ්චය කළ නොහැකි බැවිනි.

සාහිත්‍යයට අවශ්‍ය වන්නේ රැලි නොව සංවාදය යි

සමාජ මාධ්‍ය පොත් ගෲප් සාහිත්‍යයට සතුරන් නොවේ. ඒවා නිවැරදිව භාවිත කළහොත් ශ්‍රී ලංකාවේ කියවීමේ සංස්කෘතිය පුළුල් කළ හැකි ප්‍රබල අවකාශයකි. නමුත් ඒ සඳහා ගෲප් එක Fan club එකක් නොව Forum එකක් විය යුතු ය. කෘතියකට ප්‍රශංසා කිරීමට මෙන්ම එය ප්‍රශ්න කිරීමටත් ඉඩ තිබිය යුතු ය. ලේඛකයා හෝ ලේඛිකාවට ආදරය කළ හැකි ය. නමුත් කෘතිය විවේචනය කළ හැකි ය. කතුවරයාට හෝ කතුවරියට ගරු කළ හැකිය. නමුත් ඔහුගේ නිර්මාණය ප්‍රශ්න කළ හැකි ය. කෘතිය ජනප්‍රිය කළ හැකිය. නමුත් ජනප්‍රියත්වය එහි සාහිත්‍යමය ගුණාත්මකභාවය බව ප්‍රකාශ නොකළ යුතුය.

අවසානයේ ප්‍රශ්නය ගෲප් ඇඩ්මින්වරු ප්‍රචාරකයන් ද? යන්න පමණක් නොවේ. වඩා වැදගත් ප්‍රශ්නය මෙයයි:

අපි සාහිත්‍යය කියවමින් සිටිනවා ද, නැත්නම් සාහිත්‍යය ගැන සමාජ මාධ්‍යය විසින් අපට කියන දේ කියවමින් සිටිනවා ද?

එම වෙනස හඳුනාගත නොහැකි වූ දින, පොතේ වටිනාකම තීරණය කරන්නේ එහි පිටු අතර ඇති සාහිත්‍යය නොව, එය වටා නිර්මාණය කළ හැකි ඩිජිටල් රැල්ල විය හැකි ය.

සටහන - නීතිඥ චතුරංග අමරතුංග

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...