'පුතා මට අම්මා අම්මා කියලා දෙපාරක් කතා කළා'

අම්පාර කල්මුනේ ඉස්ලාම්බාද් පරිවාස ළමා නිවාසයේ 14 හැවිරිදි දරුශාන් දරුවාගේ මරණයේ උණුසුම යන්නට මත්තෙන් අම්පාර, සයින්දමර්දුහි සබිලුල් රසුඩි මද්‍රාසා පාසලක දරුවෙක් මිය යෑමත් සමගම සයින්දමර්දු ජනතාව කෝපයට පත්ව තිබේ.

මද්‍රාසා පාසැලේ ඉගෙනුම ලැබු කාත්තන්කුඩි හනීපා මව්ලවි විදීයේ පදිංචි මොහමඩ් මුෂ්අබි සිසුවා දෙසැම්බර් 05 වැනිදා සවස මිය යෑමත් සමගම මෙම තත්ත්වය උද්ගතව ඇත.

මෙම මරණය සිය දිවි නසා ගැනීමක්ද? එසේත් නොමැති නම් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක්ද? යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා මේවන විට විමර්ශන ක්‍රියාත්මකය.

'අපේ පුතාට මෙහෙම මැරෙන්න කිසිම හේතුවක් නැහැ'

තම 13 හැවිරිදි දරුවා ආගම අධ්‍යනය කිරීමට ගොස් මියයෑම පිළිබඳව ඔහුගේ පියා දැඩි කම්පනයට පත්ව සිටියි. නමින් මොහමුදු මුසම්මිල් නම් දරුවාගේ පියා වෘත්තිය වශයෙන් කරනු ලබන්නේ සපත්තු නිෂ්පාදනය කිරීමය.

ඔහුට දරුවන් හතර දෙනෙකු සිටින අතර ඒ සියලු දෙනාම පිරිමි දරුවන්ය. මද්‍රසා පැසැලට ඉගෙනුම ලැබීමට ගොස් ඇත්තේ වැඩිමහල් දරුවාය.

“මගේ දරුවා දැනට මේ පාසැලට ගිහින් මාස දෙකක් විතර ඇති, එයාගේ කැමැත්තෙන් තමයි මේකට ගියේ.අපේ දරුවා සතුටින් තමයි හිටියේ අපි හැම සිකුරාදාම දරුවට කතා කරනවා ,සමහර දවස්වලට දරුවා බලන්න යනවා ගිහින් එයා බලල එනවා.මේ සිදුවීම වෙලා තියෙන්නේ 5 වැනිදා සවස අපිට මේ මද්‍රසා පාසැල පවත්වාගෙන යන මව්ලව් එස්.එස්.එම්.සනාෂ් රාත්‍රි නවයට කතා කරල කිව්වා දරුවට සනිප නැහැ, රෝහල් ගත කරා පුලුවන් නම් එන්න කියලා.” මොහමුදු මුසම්මිල් පැවසීය.

'පුතා මට අම්මා අම්මා කියලා දෙපාරක් කතා කළා'

“මමයි නෝනයි පවුලේ නෑදෑයෝ එක්ක සයින්දමර්දු මද්‍රාසා පාසැලට ආවා ඇවිත් දරුවා හෙව්වා නමුත් අපේ දරුවා එතැන සිටියේ නැහැ .අපි ඊට පස්සේ සයින්දමරුදු රෝහලට ගියා. එතැනදි තමයි අපේ දරුවා මැරුණා කියල දැන ගත්තේ.මේ මරණය පිළිබඳව අපිට සැකයි.අපේ පුතාට මෙහෙම මැරෙන්න කිසිම හේතුවක් නැහැ.අපි මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් ඉල්ලනවා.” යැයි දරුවාගේ පියා සඳහන් කළේය.

“මම දෙසැම්බර් දෙවෙනිදා සෙනසුරාදා මගේ පුතාට කතා කරා අපි පුතාට කතා කරන්නේ මව්ලව්ගේ ෆෝන් එකට මව්ලව් කිව්වා පුතාට පොත් එහෙම අරගෙන එන්න කියලා. මම කිව්වා මට පුතාට කතා කරන්න දෙන්න කියලා එයා කිව්වා දෙන්න බැහැ කියලා. මම තදින්ම කිව්වා මට දරුවට කතා කරන්න ඕනේ කියලා. පස්සේ පුතාට ෆෝන් එක දුන්නා. පුතා මට අම්මා අම්මා කියලා දෙපාරක් කතා කළා. එතකොටම මව්ලව් ෆෝන් එක ගත්තා. ඊට පස්සේ මම දැක්කේ පුතා ගේ මරණය" යැයි මියගිය මොහමඩ් මුෂ්අබි ගේ මවවන ෆාතිමා සිපානා හඬා වැටෙමින් බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළාය.

ප්‍රදේශවාසීන්ගේ විරෝධය

මියගිය දරුවාගේ ඥාතියෙක් වන කාත්තන්කුඩි පදිංචි මොහමඩ් මුකරිම් පැවසුවේ මෙම දරුවාගේ මරණය සැක සහිත බවයි.

මෙම දරුවා මියගිය බව දෙමව්පියන්ට පැවසීම ප්‍රමාද කිරීම, වැසිකිලියේ ගෙල වැලදාගෙන සිටියා නම් ඒ පිළිබඳව පොලිස් ස්ථානයට දැනුම් නොදී ඔහු විසින්ම සියලු කටයුතු කර දරුවා රෝහලට ගෙන යෑම සහ මද්‍රසා පාසැලේ ඇති CCTV මකා දැමීමට උත්සහ කිරීම වැනි කාරණා තුළින් තවදුරටත් මෙම මරණය පිළිබඳව සැකයක් පවතින බවද ඔහු පැවසීය.

මෙම මරණය ගැන සැලවිමත් සමගම කෝපාවිෂ්ට වු සයින්දමරුදු ගම්වැසියන් සබිලුල් රසුඩි මද්‍රාසා පාසලට පැමිණ එහි මව්ලවීවරයාට විරෝධය පෑමත් සමගම පොලිසිය විසින් මව්ලවිවරයා සිය භාරයට ගනු ලැබීය.

moho 64

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ කුමක් ද?

පසුව කල්මුනේ මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයකින් පසුව මෙම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අම්පාර මහා රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය සී.ටී. මහනාම වෙත යොමු කරනු ලැබීය.

ඒ අනුව අද (දෙසැම්බර් 7 වැනිදා) දින පෙරවරුවේ අම්පාර මහ රෝහලේ මෘත ශරීරාගාරයේදී මෙම දරුවාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය.

එහිදී විවෘත තීන්දුවක් දෙමින් අධිකරණ වෛද්‍ය විශේෂඥ සී.ටී. මහනාම සඳහන් කර ඇත්තේ මෙය ගෙල මත සිදුවු තෙරපීමක් නිසා සිදු වු මරණයක් බවය.

මෙම මරණය පිළිබඳව සැක සහිත ස්ථාන කිහිපයක් පවතින නිසා තවදුරටත් මෙම දරුවාගේ මරණය පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායමක් සහ අපරාධ පරීක්ෂණ නිලධාරීන් යොදවා විමර්ශන කරන බව අම්පාර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් බීබීසී සිංහල වෙත පැවසීය.

moho i98

දැනට පවතින තොරතුර සමග සබිලුල් රසුඩි මද්‍රාසා පාසැලේ මව්ලවිවරයා සයින්දමර්දු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔහු කල්මුනේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙම මව්ලවිවරයා මීට පෙර දරුවන්ට අමානුෂික පහරදීම් කළ බවට පැමිණිලි ඇතැයි දරුවාගේ පවුගේ ඥාතින් චෝදනා කළත් සයින්දමරුදු පොලිස් ස්ථානයට එවැනි පැමිණිලි ලැබී නැතැයි පොලිසිය පැවසීය.

මද්‍රසා පාසල් යනු ඉස්ලාම් අල් කුරාණය ඇතුලු ඔවුන්ගේ ආගමික පිළිවෙත් පිළිබඳව උගන්වන ස්ථානයකි. එවැනි ස්ථානයක ඉගෙන ගන්නා දරුවන්ට අමානුෂික ලෙස සැලකීම සුදුසු නොවන බව සමන්තුරේ ප්‍රදේශයේ මව්ලවි වරයෙකු අම්පාර මහ රෝහලේදි බීබීසී සිංහල වෙත පැවසීය.

මොහමඩ් මුෂ්අබි සිසුවා අල් කුරාණය ඉගෙන ගැනීමට පැමිණ අවසනාවන්ත ලෙස ම මියගොස් තිබේ.

තම වැඩිමහල් පුතා මිය යෑම පිලිබදව මව, පියා, ඥාතින් මහත් සංවේගයට පත්ව තිබේ. මෙම මරණය සිය දිවි නසා ගැනීමක්ද? සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක්ද? යන්න අනාවරණය කර ගැනීමට සිදුව තිබෙන්නේ නව තාක්ෂණය සමග පොලිසිය පවත්වන විමර්ශන මතය.

 

(BBC සිංහල සේවය)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්