ශ්‍රී ලංකාව ම වියළි කාළගුණයකට මුහුණ දෙමින් සිටි මෙම වසරේ අගෝස්තු මාසයේ දී දැඩි අවු රශ්මිය

මැදින් තරුණියක මීගමුවේ දූපතක් වෙත යමින් සිටියේ ඇයගේ අධ්‍යාපන කටයුත්තක් සඳහා ය.

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ 'සමාජ වැඩ' පිළිබඳ උපාධි පාඨමාලාවේ අවසන් වසර සිසුවියක් වන ඇය යමින් සිටියේ ඇගේ අවසන් වසර ව්‍යාපෘතිය සඳහා තෝරාගත් ප්‍රදේශය වෙත ය.

මීගමුව නගරයේ සිට මඳ දුරකින් පැවති මෙම දූපත් ප්‍රදේශය මුන්නක්කරේ නැමැති දූපතට ආසන්නයෙන් පිහිටා ඇති අතර, මෙම දූපත් අතර ඉදිකර ඇති පාලම් ගමනාගමනය පහසු කර ඇත.

නයනතාරා ජයතිලක උක්ත ප්‍රදේශයට ළඟාවන විටත් කුඩා ළමුන් තැන් තැන්වල රොක් වී ක්‍රීඩා කරමින් සිට ඇති අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකු ඇය දැක අසලට පැමිණ, 'Where are you from?' (ඔබ කොහේ සිට ද?) ඉංග්‍රීසි භාෂාවෙන් විමසා තිබුණේ ඇය විදේශිකයෙකු යැයි වරදවා වටහාගනිමිනි.

ඔවුන් දිගටම ඉංග්‍රීසි භාෂාවෙන් ඇගෙන් ප්‍රශ්න විමසමින් කළපුවේ බෝට්ටු සවාරියක් යාමට පොළඹවා ගැනීමට උත්සහ කර තිබේ.

මීගමුව කලපුවේ බෝට්ටු සවාරි යාමට විදේශිකයන් තෝරා ගන්නා එක් ස්ථානයක් වන්නේ මෙම දූපත යි. එලෙස එන විදේශිකයන් සමග ඉංග්‍රීසි, ජර්මන් වැනි භාෂාවලින් කතා කිරීමට උත්සහ ගන්නා මෙම කුඩා දරුවන්ට සරල ප්‍රශ්න විමසීමට හා පිළිතුරු ලබාදීමට තරම් හොඳ භාෂා දැනුමක් ඇති බව නයනතාරාට අවබෝධ වී ඇත.

"මේ ළමයි මාත් එක්ක ඉංග්‍රීසි භාෂාවෙන් හොඳට සන්නිවේදනය කරනවිට මට පුදුම හිතුණා මෙයාලා ඉංග්‍රීසි කතා කරන එක ගැන. නමුත් ළමයි එක්ක කතා කරද්දි මට තේරුණා මේ අය ඉස්කෝලෙන් නෙවෙයි මේ විදිහට ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගෙන තියෙන්නෙ කියලා. එතැනින් තමයි මේ දූපතේ දරුවන් මුහුණදෙන ලොකු ම ප්‍රශ්නයට ප්‍රවේශ වෙන්න අවස්ථාවක් මට ලැබුණේ," නයනතාරා විස්තර කළා ය.

zdsfwer

පාසල් නොයන, ඉංග්‍රීසි කතා කරන දරුවන් සොයා මීගමුවට

ඒ අනුව අප පසුගිය දිනෙක කඩින් කඩ ඇදහැලෙන සුලු වර්ෂාව හමුවේ වුවත් එදින අපගේ ගමනාන්තය වූ මීගමුවේ කුඩා දූපත වෙත යාමට ගමන ආරම්භ කළේ නයනතාරා විසින් විස්තර කළ සහජයෙන් උරුම වූ දක්ෂතා සහිත දරුවන් මුණගැසීමට ය.

මීගමුව නගරයේ සිට කොච්චිකඩේ පල්ලිය පාරේ මඳ දුරක් ගිය තැන හමුවන මුන්නක්කරේ දූපතේ සිට පාලමක් හරහා අපි අපගේ ගමනාන්තය වූ "සිරිවර්ධන පෙදෙස" දූපතට ළඟාවීමු.

එය එතරම් විශාල බිම් කඩක් නොවූව ද විශාල ජන ගණත්වයක් ඇති බව අපට බැලූ බැල්මටම වැටහුණි.

අප ඇවිද ගිය මඟ දෙපස සිටි ගම්වාසීන් ඉතා විනෝදකාමීව සිටින බව ද නිරීක්ෂණය විය. පාසල් යා යුතු වයසේයැ යි හැඟෙන කුඩා දරුවන් තැන් තැන්වල රොක් වී 'ජිල් බෝල ගසමින්' සිටින'යුරු ද දැකගත හැකි විය.

අවසානයේ අප සේන්දු වූයේ නයනතාරා ඇගේ කුඩා මිතුරන් හමුවන, දූපත කෙළවරේ පිහිටි ඉතා කුඩා පල්ලියට ය.

කළපුව මැද දූපතේ විත්ති

dfg4wt
1930 ආසන්න කාලයක දී ජනාවාසවීම ඇරඹී ඇති මෙම දූපතේ මුල් පදිංචිකරුවන් වී ඇත්තේ ධීවර පවුල් හතකි.

ප්‍රධාන ගොබිම හා සම්බන්ධ වීමට බෝට්ටුවකින් යා යුතුව තිබී ඇති නිසා මෙම දූපත එකල හුදෙකලා ව තිබී ඇතිමුත්, 1950 කාලවකවානුවේ දී මීගමුව නගර සභාවේ සිරිවර්ධන නැමැති නාගරික මන්ත්‍රීවරයෙකුගෙ ව්‍යාපෘතියකට අනුව මෙම දූපතේ නිවාස ඉදි කිරීම හා පසුව ගොඩබිම හා සම්බන්ධවීමට පාලමක් ඉදි කිරීමත් නිසා එය වේගයෙන් ජනාකීර්ණ වී ඇත. වර්තමානයේ එහි පවුල් 1500ක් පමණ ජීවත් වේ.

මෙම දූපත කඩොලාන, මණ්ඩා වැනි ශාකවලිනුත් දැඩි වනගහනයකිනුත් යුක්ත වී ඇති අතර, එකල දූපත හඳුන්වා ඇත්තේ "මණ්ඩා කැළේ" යනුවෙන් ය.

සිරිවර්ධන මන්ත්‍රීවරයාගේ ව්‍යාපෘතියෙන් පසුව මෙම ප්‍රදේශයට "සිරිවර්ධන පෙදෙස" ලෙස ව්‍යවහාර කිරීම ආරම්භ වී ඇත.

මීගමු කලපුවේ පිහිටා ඇති මෙම දූපත අවට තවත් හරිත පැහැයෙන් දිස්වන කඩොලාන පිරි කුඩා කුඩා දූපත් රාශියක් නිරීක්ෂණය කළ හැකි ය. තැනින් තැන නවත්වා ඇති කුඩා බෝට්ටු හා ඔරු මෙන් ම පසුබිමේ දිස්වන කඩොලාන පරිසරයත්, නිල්පැහැති අහසත් ඉතා සුන්දර දර්ශනයකි.

ඇතැම් ධීවරයන් අප එහි සිටිය අතරතුරේ දී මසුන් අල්ලාගෙන ගොඩ බිමට පැමිණි අතර, එක් ධීවර කණ්ඩායමක් මුහුදෙන් විසිතුරු මසුන් අල්ලාගෙන පැමිණියේ අපනයනය කිරීමට සඳහා ය.

එම විසිතුරු මසුන් අල්ලාගැනීමට ඔවුහු මුහුද යට කිමිදෙන බව අප සමග එම මසුන් අල්ලන්නෝ පැවසූ හ.

මෙම කුඩා බිම්කඩේ නිවාස කෙතරම් කිටි කිටියේ ඉදිකර තිබුණත් සැලකිය යුතු ඉඩක් ඇති බිමක ඉදිකර ඇති විශාල පල්ලිය කාගේත් නෙත් පැහැර ගනියි.

කතෝලික ගෘහ නිර්මාණ ශිල්පවලට අනුව ඉදිකර ඇති එම සුන්දර කතෝලික දේවස්ථානයට වඩා අපගේ නෙත් පැහැරගත්තේ වෙනත් දෙයකි. ඒ පල්ලියේ පත්තේ බංකුවක වාඩි වී සිටින ආකාරයට ඉදිකර තිබූ ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවකි.

ගම්වැසියන්ට දුකක් දැනුණුවිට ඔවුන් එම බංකුවේ වාඩි වී ජේසුස් වහන්සේගේ පිළිරුවේ කරට අත දමාගෙන තමාගේ ප්‍රශ්න පවසන බව පල්ලිය භාරව සිටි කාන්තාව පැවසුවා ය. එවිට එම ප්‍රශ්න විසඳෙන බවට ප්‍රදේශවාසීන් අතර විශ්වාසයක් පවතියි.

කතන්දර දූපත

අප නයනතාරා සමග කුඩා පල්ලියේ වාඩි වී සිටින අතර, අප එහි සිටින බව දුටු කුඩා දරුවෝ කෙමෙන් කෙමෙන් ඒ වෙත ඇදී එන්නට පටන් ගත් හ.

මිතුරු සිනහවකින් මුව සරසාගෙන ඔවුහු අප වෙත දිවැ'විත් අප කවුරුන්දැ යි ඔවුහුගේ වැඩිමල් මිතුරිය නයනතාරගෙන් විමසමින් අප හා කුළුපගවීමට උත්සහ ගත් හ.

අප එහි සිටින බවට පණිවුඩය ලැබුණු දූපතේ වාසය කරන දරුවෝ තවත් පිරිසක් වරින් වර එක්‍ රැස්වූහ. ඔවුන් සූදානම් වෙමින් සිටියේ ඉංග්‍රීසි භාෂාවෙන් කතන්දර කියවීමට යි.

"මම මේ ප්‍රදේශයට ඇවිත් මේ පැත්ත ගැන අධ්‍යයනය කළාම මට තේරුණ දෙයක් තමයි අධ්‍යාපනය ගැන මෙහේ අයට තියෙන්නේ අඩු උනන්දුවක් කියන එක. පාසල් යන්න ඕනෑ වයසෙ දරුවන් ගොඩක් මෙහෙ ජීවත් වුණත් පාසල් යන්නේ නැති, එහෙමත් නැතිනම් අවිධිමත් විදිහට කඩින් කඩ පාසල් යන ළමයි ගොඩක් ඉන්නවා," නයනතාරා විස්‍තර කළා ය.

ඒ තත්ත්වය තේරුම් ගැනීමෙන් අනතුරුව ඇයට පැමිණි අපූරු අදහසක් මෙම දරුවන් වෙනුවෙන් ක්‍රියාවට නැංවීමට ඇය කටයුතු කර තිබුණා ය.

"මේ දරුවොන්ව ඉස්කෝලෙ යන්න පොළඹවන්නෙ කොහොමද කියලා කල්පනා කරකොට තමයි මට මේ අදහස ආවේ. කොළඹ මහජන පුස්තකාලයේ ළමා අංශයේ දරුවන් වෙනුවෙන් සති අන්තයේ දී ඉංග්‍රීසි පොත් කියවීමේ වැඩසටහනක් පැවැවෙනවා ආචාර්ය මධුභාෂිණී දිසානායක රත්නායකගෙ මෙහෙයවීමෙන්. මමත් ඒ වැඩසටහවලට කිහිපවතාවක් සම්බන්ධ වෙලා තියෙනවා," ඇය විස්තර කරයි.

"මම හිතුවා මේ ළමයි එක්කත් මට පුළුවන් ඉංග්‍රීසි කතන්දර කියවන එකතුවක් හදාගන්න කියලා. ඒ අනුව තමයි මම ළමයි එකතු කරගෙන මේ වැඩේ පටන් ගත්තේ."

දැන් මේ පෙදෙසේ දරුවන් බලා සිටින්නේ නයනතාරා සමග කතන්දර කියවීමට ය. අප කුඩා පල්ලියට පැමිණි ආරංචියට දරුවන් හනික අප දැකීමට දිව ඒමේ රහස එය යි.

"මුලින්ම කළපුව කෙළවරේ ඉංග්‍රීසි කතාන්දර කියැවීම පන්තිය පටන් ගන්නකොට අපිට හිටියෙ ළමයි හතරදෙනයි. සති දෙකක් වගේ යනකොට ඒ පන්තියේ ළමයි 20කට ආසන්න දෙනෙක් ආවා. මේ පන්තිය පටන් ගත්තෙ වෙඩිකන්ද තොටුපළ අසල," නයනතාරා පවසයි.

fg4

"ඉන් පස්සෙ දූපතේ මොනාකෝ ගම, සිරි කුරුස පල්ලිය අසල සිරි කුරුස පෙදෙස, දේවමාතා පාර යන ස්ථානවල අපි කලපුව අසළ එලිමහන් ප්‍රදේශවල මම කතන්දර කියැවීම පටන් ගත්තා. මේ එකක් වත් ළමයින්ට කලින් එන්න කියල පටන් ගත්ත දේවල් නෙමේ. මේ අය සරුංගල්, ජිල්බෝල වගේ එක එක සෙල්ලම් කරනකොට මම ඒ අය එකතු වෙලා ආරම්භ කළ පන්ති. මාස හතරක් වගේ ඇතුළත ළමයි 50කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. මේ ළමයි වයස අවුරුදු 5 ඉඳන් 12/13 වෙනකල් අය."

අපගේ සාකච්ඡාව යන අතරතුරේ දී පැමිණ සිටි කුඩා දරුවන් කිහිපදෙනාට ඇය කතන්දර පොතක් ලබාදුන් අතර, එම දරුවන් ඉතා උනන්දුවෙන් එය කියවන අයුරු දැකගත හැකි විය.

එක් දරුවෙකුට තරමක් අකුරු කියවීමේ අපහසුතාවක් පැවති නිසා තවත් දරුවෝ දෙදෙනෙක් ඇයට අකුරු කියවීමට උදවු කරමින් එම පොත කියවමින් සිටියහ.

"මුලින්ම අපි ඉංග්‍රීසි කතාන්දර කියවන ගමන් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගත්තා. පොඩ්ඩක් හරි කියවන්න පුළුවන් ළමයිට තනියම කතාන්දර කියවන්න දුන්නා. ඉංග්‍රීසි කතාන්දර කියවීමට අමතරව ඉස්කෝලෙ හෝම්වර්ක් පන්තියට ගෙනත් කරන්න උනන්දු කළා. ලොකු අය පොඩි අයට උදව් කළා. මට ඕනෙ උනේ මම නැතත් මේ අය මෙහෙම එකිනෙකාට උදව් කරන එක පුරුදු කරවන්න," ඒ නයනතාරාගේ හඬ යි.

"අකුරු කියවන්න අපහසු දරුවො බොහෝ දෙනෙක් පහසුවෙන් අකුරු කියවනවා. පාසලෙන් එයාලට ලැබෙන ප්‍රශංසා ගැන ඇවිත් මට කියනවා."

දරුවන් පහළොවක් පමණ ඒ වන විට පැමිණ සිටි නිසා කතන්දර කියවිම ආරම්භ විය. එදින කියවූයේ "කම්මැලි තණකොළපෙත්තෙකුගේ හා කඩිසර කුහුඹු රංචුවකගේ" කතාන්දරයකි. දරුවෝ මාරුවෙන් මාරුවට පොතේ පිටු හඬනගා කියවමින් ඉතා උනන්දුවෙන් කියවීම හා සම්බන්ධව සිටිය හ.

සිනහවෙන් වැසුණු කඳුළු

ඉතා උද්‍යෝගයෙන් සිනාසෙමින් කතන්දර කියවමින් සිටිනා මේ දරුවන් පාසල් නොයෑමේ පිටුපස විශාල සමාජ අර්බුද ගණනාවක් ඇති බව නයනතාරා සමග මෙන් ම එම ප්‍රදේශයේ ජීවත් වන කාන්තාවන් හා දරුවන් කිහිපදෙනෙකු සමග කළ සාකච්ඡාවේ දී පැහැදිලි විය.

ඇගේ ව්‍යාපෘතියට අදාලව සිදු කළ සංගණනයක දී මෙම සිරිවර්ධන පෙදෙස තුළ වයස අවුරුදු පහට අඩු දරුවන් 339ක් හා වයස අවුරුදු 6 -18 අතර දරුවන් 956ක් සිටින බව නයනතාරා පැවසුවා ය.

කෙසේ නමුත් පාසල් යායුතු වයසේ දරුවන් 150ක් පමණ පාසල් නොයන අතර බහුතරයක් පාසල් යන්නේ කඩින් කඩ ය.

මෙම ප්‍රදේශයේ ජීවත් වන අයගෙන් විශ්වවිද්‍යාල උපාධියක්, බාහිර උපාධියක් හෝ යම් ඩිප්ලෝමාවක් දක්වා මෙතෙක් ඉගෙන ගෙන ඇති සංඛ්‍යාව 17 දෙනෙකු පමණි.

Nalinපසුගිය කාලයේ අති ජනප්‍රියත්වයට පත් වූ "කොඩි ගහ යට" ටෙලි නාට්‍යයේ 'කළූ' ගේ චරිතයට පණ පෙවූ නලීන් ලුසේනා රංගන ශිල්පියා මෙම ගමෙන් පළමු වරට විශ්වවිද්‍යාලයයකට තේරීපත් වූ පුද්ගලයා වීම විශේෂත්වයකි.


පහසුවෙන් ධීවර රැකියාවට යාමට ඇති හැකියාව නිසා පිරිමි ළමුන් සාමාන්‍ය පෙළ දක්වා හෝ බොහෝ විට අධ්‍යාපනය නොලබන අතර, අඩු වයස් විවාහ ද බහුලව සිදුවන මෙම ප්‍රදේශයේ ගැහැනු ළමුන්ගෙන් ඒ දක්වා ඉගෙනගෙන ඇත්තේ ඉතා සීමිත පිරිසකි.

මත්ද්‍රව්‍ය සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය බහුල මෙම ප්‍රදේශයේ, මවුපියන් නීතියෙන් වෙන් වීම නිසා හෝ වෙන්ව ජීවත්වීම නිසා අධ්‍යාපනය මඟහැරුණු විශාල දරුවන් පිරිසක සිටියි.

දරුවන් සිටින මවුවරුන් විදෙස්ගතවීමට අදාළව ලබා දිය යුතු 'පවුල් පසුබිම් වාර්තාව' 2021 දි ලිහිල් කිරීමත් සමග කුඩා දරුවන් සිටින අයට වුවත් දිවුරුම් ප්‍රකාශයක් ලබා දී විදේශගත වීමේ අවස්ථාව හිමි වූ නිසා, දරුවන් නිවසේ දමා මෑත අවූරුදු කිහිපය තුළ මවුවරුන් රැසක් විදෙස්ගත වූ බව අප සමග අදහස් දැක් වූ කාන්තාවක් පැවසුවා ය.

"දරුවො ගෙදර දාලා අම්මලා රට යනවා. එක්කො තාත්තලා නෑ. ඉන්නවා නම් රස්සාවට ගිහින් ඇවිත් හවස බීලා නිදාගන්නවා. දරුවො ගැන බලන්න කෙනෙක් නෑ. ළමයි හිතුණොත් ඉස්කෝලෙ යනවා. නැත්තම් ගෙදර ඉන්නවා," එම කාන්තාව පැවසුවා ය.

"සමහර අම්මලාට අනියම් සම්බන්ධතා තියෙනවා. ඒවාට ඔත්තු බලන්න යොදවන්නෙත් ළමයාවම යි. ඉතින් ළමයාගෙ ජීවිතේ ඉවරයිනෙ. ළමයා දැනගන්න ඕනෙ දේවල් නෙවෙයි දැනගන්නේ. ඊට පස්සෙ ළමයා ඒක දන්න නිසා අම්මලාත් ළමයට කැමති දෙයක් කරගන්න අරිනවා. ළමයි ළමයිට ඕන විදිහට හැදෙනවා."

rt634නයනතාර දරුවන් සමග


බලාපොරොත්තුවේ සුරදූතිය

මෙවැනි සමාජ ප්‍රශ්න ගණනාවකටම මුහුණ දී සිටින පාසල් නොයන දරුවන්ව පාසල් යැවීමට උනන්දු කරවීමේ නයනතාරාගේ උත්සහය දැන් දැන් තරමක් දුරට සාර්ථක වී තිබේ.

"හෝම්වර්ක් කරගෙන ඉස්කෝලෙ ගිය නිසා ඉස්කෝලෙන් හොඳ/ ප්‍රශංසා කරන නිසා දැන් ඉස්කෝලෙ යන ප්‍රවණතාව වැඩි වෙලා. එයාලට ඉගෙන ගන්න ආසාව වැඩි වෙලා. ඉස්සර සතියට දවස් තුනක් ගියේ නැති අය දැන් එකයි නොයන්නෙ. එක්කො හැමදාම යනවා. කතන්දරවලට අමතරව අපි ඉංග්‍රීසි සින්දු කියනවා සහ Motivational Videos බලනවා."

"ඇත්තටම මේ දරුවන්ට අවශ්‍ය ආදරය. එයාලා ආසයි එයාලව අගය කරනවාට. එයාලගේ ඉස්කෝලෙ හෝම්වර්ක් කරවන්න සමහර වෙලාවට දෙමවුපියන්ට දැනුමක් නෑ. නැතිනම් ඒ ගැන උනන්දුවක් නෑ. අපේ වැඩේ නිසා හැමෝම දැන් හෝම්වර්ක් කරනවා. හැමදාම ඉස්කෝලෙන් බැනුම් අහලා අහලා දැන් ගුරුවරු එයාලව අගය කරන නිසා එයාලට සතුටු යි. ඉස්සර සතියට දවසක් දෙකක් ඉස්කෝලෙ ගිය ළමයි දැන් සතියෙ දවස් පහම හරි නැත්නම් දවස් හතරක්වත් ඉස්කෝලෙ යනවා,"
නයනතාරා පවසයි.

"වයස අවුරුදු අටක, මාස තුනක් ම පාසල් නොගිය පිරිමි දරුවෙක් කතා කියවන්න එනවා. එයාගෙ දෙමවුපියන් වෙන්වෙලා. ආච්චි හා සීයා එක ජීවත් වෙන්නේ. ලබන සතියේ ඉඳන් ඉස්කෝලෙ යනවා අපේ පන්තිවලට සහභාගී වුණ නිසා. මම ඔහුගේ පාසලට ගිහින් ඔවුන් සමග කතා කරල, ඔහුගේ වැඩිහිටියන් සමග කතා කරල මේ වැඩේ කළේ."

අපට හමු වූ එක් දරුවෙක් මීට පෙර, සතියේ මුල් දින දෙකේ පාසල් ගොස් ඉතිරි දිනවල දී ධීවරයෙකු වූ සීයා සමග මාලු ඇල්ලීමට ගොස් ඇත. අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔහු දැන් සතියේ දින පහේම පාසල් යාමට උත්සහ කරයි.

"මේ පාර වාර විභාගෙ මම හොඳට ලිවුවා. ඉංග්‍රීසි පේපර් එකේ රචනාවත් මම හොඳට ලිවුවා," ඔහු පැමිණ නයනතාරාට පවසයි.

ඉංග්‍රීසි පමණක් නොව සිංහල භාෂාව ද කියැවීමට අපහසු දරුවන් සිටින නිසා සිංහල පොත් කියැවීමේ පන්තියක් ද අලුතෙන් ආරම්භ වී තිබේ.

සතිය පුරා පොත් කියවීමට හැකි වන පරිදි දූපතේ නිවෙස් කිහිපයක කතන්දර පොත් තබා ඇති අතර දරුවන්ට ඒවා ඉල්ලගෙන ගොස් කියවා නැවත භාර දිය හැකි ය.

"මේ හැම කතන්දර පන්තියකම පොඩි පුස්තකාලයක් තිබෙනවා. එක ගෙදරක අපි මේ පුස්තකාලය කරගෙන යනවා. ඉංග්‍රීසි සිංහල පොත් දෙකම තිබෙනවා. මේ පොත් ගොඩක් මම සහ මගේ මිතුරන් දීපු දේවල්. මුලින්ම මම මේ ප්‍රදේශයේ තිබෙන සිරි කුරුස පල්ලියේ (ලොකු පල්ලියේ) පුස්තකාලයට පොඩි පරිත්‍යාගය කළා. වහල තිබුණ පුස්තකාලය විවෘත කරන්න උදව් කරපු නිසා ප්‍රජාව තුළ මම ගැන මතයක් ගොඩ නැගුණ මම ඇවිත් ඉන්නෙ දරුවන්ගේ අධ්‍යාපනයට උදව් කරන්න කියලා. ඒක කතන්දර පන්තිය කරගෙන යාමට පහසුවක් වුණා."

"මේ ප්‍රජාව මට දැන් කියන්නෙ මම දෙවියන් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට උදවු කරන්න එවපු කෙනෙක් කියලා. මම හිතන්නෙ ඊට වඩා දෙයක් මට අවශ්‍ය නෑ," නයනතාරා දීප්තිමත් දෑසකින් යුතුව පැවසුවා ය.

"ඉංග්‍රීසි කතාන්දර කියැවීමට අමතරව මම ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධ දේවල් දරුවන්ට කියා දෙනවා. උදාහරණයක් විදිහට හොඳ ස්පර්ශයක් සහ නරක ස්පර්ශයක් හඳුනගන්න විදිහ; ඇයි පිරිසුදුවට ඉන්න ඕනෙ; දත් මදින්න ඕනෙ වගේ බොහොම සරල දේවල්. ඒ වගේම හිංසනයන් ගැනත් කියලා දෙනවා. මේ ධීවර ප්‍රජාවේ ගෘහස්ථ හිංසනය වැඩියි.

"මීට අමතරව මන්දපෝෂණය සහ පෝෂදායී ආහාර අපි ගන්න ඕනෙ ඇයි කියල මාසෙකට එක වැඩසටහනක් කරනවා. අපි කතාන්දර පන්තියේ ළමයි එකතු වෙලා කෑම එකතු වෙලා උයල රස බලනවා. පෝෂණය වගේ එකමුතුකම, එකතු වෙලා වැඩ කරන්නෙ කොහොමද, සමගිය, ආදරය වගේ ගොඩක් දේවල් අපි මේ වැඩවල දි ඉගෙන ගන්නවා," නයනතාරා විස්තර කළේ කතන්දර පන්තියේ ළමුන් හා එක්ව සිදු කරන තවත් ක්‍රියාකාරකමක් පිළිබඳව ය.

මෙමඟින් ඔවුන් අතර කණ්ඩායම් හැඟීම හා එකිනෙකට උදවු කිරීම වැනි සිතුවිලි වර්ධනය වී ඇතැ යි ඇය පැවසුවා ය.

ඉර අවරට ගොස් කළපුවට ඉහළින් ඇති අහස රන්වන් වීමට පටන් ගත් විට කතන්දර පන්තිය අවසන් විය.

නමුත් සෑම දරුවෙකුගේම උද්‍යෝගිමත් ප්‍රශ්නය වූයේ මීළඟ කතන්දර කියවීමේ දිනය කවදා ද යන්න ය. ඉන්පසුව ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් අපට සුබපතා නිවෙස් වෙත ගියේ නැවත වරක් පැමිණෙන්නැ යි ඇවිටිලි කරමිණි.

"ඇත්තටම මේ මිනිස්සු ගොඩක් හොඳයි. ගොඩක් විවෘතයි. මේ දරුවන් ගොඩක් දක්ෂයි. සහජයෙන් ම දක්ෂ දරුවන්. එයාලට ඕනෑ ආදරයෙන් පොඩි මඟපෙන්වීමක් විතරයි," දරුවන් නිවෙස් වෙත යනු බලා සිටි නයනතාරා අවසන් වශයෙන් පැවසුවා ය.

(BBC සිංහල සේවය)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්