මහමඟ ගමන්කරමින් සිටින අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර

රිය අනතුරකට ලක්කොට ඝාතනය කිරීම සඳහා කිසියම් පාර්ශ්වයක් විසින් කුමන්ත්‍රණයක් දියත්කර ඇතැයි බුද්ධි අංශ මඟින් තොරතුරු හෙළිකර ඇති බවට පසුගිය දෙසැම්බර් 4දා නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.


තමා ජීවිත තර්ජනයකට මුහුණ පා සිටින නිසා තමන්ට ලබාදෙමින් තිබුණ ආරක්ෂාව නැවත ලබාදෙන්නයැයි පොලිස්පතිවරයා ප්‍රමුඛ වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශානි අබේසේකර අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ රිට් පෙත්සමක් පසුගිය 04 දා විභාගයට ගත් අවස්ථාවේ ඉහත මරණ තර්ජනය පිළිබඳව අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරියයි.

මෙයින් හෙළිවන්නේ කුමක්ද? මෙයින් හෙළිවන්නේ හිටපු සීඅයිඩී අධ්‍යක්ෂවරයාට මරණ තර්ජනයක් පවතින බව සහ ඔහු ඝාතනය කිරීම සඳහා කිසියම් පිරිසක් විසින් කුමන්ත්‍රණයක් දියත්කර ඇති බව රාජ්‍යය ද පිළිගන්නා බවය. දැන් ප්‍රශ්නය කුමක්ද?

ශානිට ආරක්ෂාව ලබාදීම

ශානි අබේසේකරගේ ස්ථාන මාරුව දේශපාලන පලිගැනීමක්' - තරුණ ජනමාධ්‍යවේදීන්ගේ  සංගමය (VIDEO)
2015 අගෝස්තු මාසයේ දවසක එවක පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් පොලිස් මූලස්ථානයට ශානි අබේසේකර කැඳවා ප්‍රකාශ කර ඇත්තේ ඔහුට මරණ තර්ජන තිබෙන බවට එන්අයිබී වාර්තාවක් තමාට ලැබී ඇති නිසා කැටවලමුල්ල පොලිස් නිල නිවාසවලට යන්නට සූදානම් වන ලෙසය. එහෙත් ශානි අබේසේකර එම අවස්ථාවේ තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණේයැයි ප්‍රකාශ කරමින් එය ප්‍රතික්ෂේප කර ඇත.

එම සාකච්ඡාව සඳහා එවක පොලිස්පතිවරයාගේ කැඳවීමෙන් එම ස්ථානයට පැමිණ ඇති එවක විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියා සේ කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා, බුද්ධි අංශ වාර්තාව කියවා ප්‍රකාශ කර ඇත්තේ එම ලියවිල්ලට අනුව ශානි අබේසේකරගේ ආරක්ෂාව සඳහා බැකප් රථයක් පමණක් ප්‍රමාණවත් නැති බවත් ඔහු ජීවත්වෙන නිවසටද ආරක්ෂාව දිය යුතු බවත් ය. තට්ටු නිවාසයක ජීවත්වෙන ශානි අබේසේකර එම අවස්ථාවේදීම එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙන අතර, ප්‍රතික්ෂේපයට හේතු දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් ජීවත්වෙන නිවාස පද්ධතිය වෙත පොලිස් ආරක්ෂාව ලබාදෙන්නට කටයුතු කළහොත්, එය අසල්වැසියන්ට කරදරයක් වනු ඇති බවය.

එවක පොලිස්පතිවරයා එම කරුණු සියල්ල සලකා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකසා ඇත. ඒ අනුව අවසානයේ විශේෂ කාර්ය බලකායේ බුද්ධි නිලධාරීන් පස්දෙනෙක්, ජීප් රථ දෙකක් සහ යතුරු පැදියක් ශානි අබේසේකරගේ ආරක්ෂාව සඳහා යොදවා ඇත. එහෙත් ජනතාව විසින් එලවාදමනු ලැබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ධුරයට පත්වූ වහාම තම ප්‍රථම රාජකාරිය ලෙස කළේ එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සේ කටයුතු කළ මෙම කෘතහස්ත රාජ්‍ය සේවකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ සිට දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස මාරුකර හැරීමය.

WhatsApp Image 2022 03 10 at 13.25.03 1024x682

මෙම සිදුවීම සිදුවන්නේ 2019 නොවැම්බර් 11 දා ය. එවක ජනාධිපතිවරයාගේ මෙම තීරණය සමග ශානි අබේසේකරගේ ආරක්ෂාව ඉවත් කරන ආණ්ඩුව විසින් ඉන්පසුව බොරු චෝදනා එල්ලකරමින් 2020 ජනවාරි 07 දින ශානි අබේසේකරගේ පොලිස් සේවය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරනු ලබයි. මෙම සේවය අත්හිටුවීම සඳහා රංජන් රාමනායකගේ හඬපට සිදුවීම යොදාගත්තද පසුව පොලීසිය විසින්ම ඒ පිළිබඳව කළ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ එම හඬපට ස්ථාන බොහෝ ගණනකින් කපා පූට්ටුකර සංස්කරණය කර ඇති බවය. ඒ අනුව ඒ ඔස්සේ ශානි අබේසේකරට චෝදනා ගොනුකළ නොහැකි බව එම විමර්ශන කණ්ඩායමේ මතය වී ඇත.

501

2020 ජනවාරි 07 දා ශානි අබේසේකරගේ පොලිස් සේවය ගෝඨාභය ජනාධිපතිවරයාගේ බලපෑම මත මෙසේ අත්හිටුවූ පසුව එදිනම රාත්‍රී 11.23ට ශානි අබේසේකරගේ පුද්ගලික ජංගම දූරකථනයට 501 විශේෂ දූරකථන අංකයකින් ඇමතුමක් පැමිණෙන අතර එම ඇමතුම ඔස්සේ ශානිව අමතන නන්නාඳුනන පුද්ගලයෙකු ඔහුට මරණ තර්ජනයන් සිදුකර ඇත.

‘අපි බලාගෙන හිටියේ රණවිරුවන්ට කරපු දේ. දැන් උඹට මේ වෙච්ච දේ ගැන අපිට තියෙන්නේ පුදුම සන්තෝෂයක්. දැනගනින් පරයා තොට යහතින් ඉන්න දෙන්නේ නෑ. අපි තොට දැන්ම මොකවත් කරන්නේ නෑ. තොගේ ගෑනියි දරුවෝ දෙන්නයි මරලා, තොගේ කරපිටින් ඒ මිනී තුන ඇදලා තමයි තොට වැඩේ දෙන්නේ’ මෙසේ තමන්ට මරණ තර්ජනයන් එල්ල කළ මෙම විශේෂ දූරකථන ඇමතුම සහ ඊට අදාළ අංකය පිළිබඳව ශානි අබේසේකර 2021 ජනවාරි 08 දා පෝද්දල පොලීසිය, එවක පොලිස්පති සීඩී වික්‍රමරත්න සහ මානව හිමිකම් කොමිසමට ලිඛිතව පැමිණිලි සිදුකර ඇත.

මානව හිමිකම් කොමිෂන් සභාව තමන් වෙත පැමිණි මෙම පැමිණිල්ල අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය වෙත යොමුකර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මේ පිළිබඳව සොයා බලන එම අධිකාරිය, එම දිනයේදී පැය 23.23ට 501 නම් සුවිශේෂ දූරකථන අංකයක් වෙතින් ශානි අබේසේකරගේ ජංගම දූරකථනය වෙත ඇමතුමක් ලැබී ඇතැයි තහවුරු කරගෙන ඇත. ඉන්පසුව මෙම අංකය කාට නිකුත් කළ අංකයක් දැයි සොයාගන්නට විදුලි සංදේශ නියාමන කොමිසම (ටීආර්සී) වෙත දැනුම් දුන්නත් තවමත් එම අංකය පිළිබඳ වැඩි විස්තරයක් නැත. මෙවැනි අංක නිකුත් කරනු ලබන්නේ සුවිශේෂ ආයතනයන් සහ පුද්ගලයන් වෙනුවෙන් ය. එහෙත් තවමත් ඒ පිළිබඳව තොරතුරු සොයාගන්නට නොහැකිවී ඇත.

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව රිට් පෙත්සමක්

මෙම සිදුවීමෙන් පසුව අපරාධයක, වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සදහා වූ ජාතික අධිකාරිය ශානි අබේසේකරට පවතින තර්ජනයන් පිළිබඳව තර්ජන තක්සේරු වාර්තාවක් කැඳවන අතර එම වාර්තාවෙන් පසුව එවක පොලිස්පති සීඩී වික්‍රමරත්න වෙත වාර්තාවක් යොමුකරමින් එම අධිකාරිය අවධාරණය කර ඇත්තේ ශානි අබේසේකරගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙසය. එම ඉල්ලීම එවක පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර ඇත. ඒ බොරැල්ල පොලිස් ස්ථානය වෙතින් හෝ වෙනත් බස්නාහිර පළාතේ පොලිස් ස්ථානයක් මගින් ශානි අබේසේකර වෙත ආරක්ෂාව ලබාදෙන්න යැයි කියමින් ය. එහෙත් එවක බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හෙවත් වර්තමනයේ වැඩබලන පොලිස්පතිවරයා මෙම ආරක්ෂාව ලබාදීම නොයෙක් හේතු දක්වමින් ප්‍රමාද කර ඇත.

එපා වාහෙට හොදි බෙදීමේ ආරක්ෂාව

2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත යටතේ එම අධිකාරිය කරනු ලබන යම් නියම කිරීමක් ඉටු කිරීම යම් රාජ්‍ය නිලධාරියෙක් පැහැරහරී නම් එම ක්‍රියාව අධිකරණයට එරෙහිව සිදුකරනු ලැබූ අපහාසයක් සේ සලකා එම අධිකාරියට එම තැනැත්තාට විරුද්ධව ක්‍රියාමාර්ග ගත හැකිය. එහෙත් එම අධිකාරියේ සභාපති ජනාධිපති නීතිඥ සුහද ගම්ලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට හෝ පොලිස්පතිවරයාට විරුද්ධව එම ක්‍රියාමාර්ගය ගෙන නැත.

6500 ක් ශානිට ආරක්ෂාව ඉල්ලති.
මෙම තත්ත්වය මත තමාට සුදුසු ආරක්ෂාවක් ලබාදෙන්න යැයි නියෝගයක් ලබාගැනීම සඳහා ශානි අබේසේකර 430/2021 දරන රිට් පෙත්සමක් ගොනුකර ඇත. එම රිට් පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාගයට ගත් පසුගිය දෙසැම්බර් 04 දා නීතිපති දෙපාර්තමේන්තුව නව තර්ජන තක්සේරුව මෙසේ අධිකරණයට ඉදිරිපත් කරන විට ශානි අබේසේකර වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු අනාවරණය කරමින් ප්‍රකාශ කර ඇත්තේ පැරණි යතුරුපැදියක් හා පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු පමණක් ඔහුගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවය. පෙත්සම්කරුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය විසින් පොලිස්පති වෙත නියෝගයක් නිකුත් කර තිබුණත් එය මේ දක්වා ඉටුවී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙතින් ලබාදී ඇති මෙම නව ආරක්ෂාව පිළිබඳව මෙම ලියුම්කරු සොයාබැලීමේදී අනාවරණය වුණේ කිලෝමීටර් පහක් පමණ නොනවත්වා ධාවනය වනවිට රත්වීම නිසා නතරවෙන යතුරු පැදියක් සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඔහු ගමනක් යනවිට ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බවය. මෙය එපා වාහෙට හොදි බෙදීමේ ආරක්ෂාවක් ය.

තත්ත්වය මෙය වුණත් කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කිරීම වෙනුවෙන් එළඹෙන දෙසැම්බර් 14 වෙනිදා නැවත මෙම පෙත්සම කැඳවන්නට නියෝග නිකුත් කර ඇත.

ශානි වින්දිත වුණේ ඇයි?

 

ශානි සමඟ අත්අඩංගුවට ගත් රහස් පොලිසියේ සුගත්ටත් කෝවිඩ් ලක්ෂණ !
කීර්තිමත් පොලිස් ඉතිහාසයකට උරුමකම් කියන ශානි අබේසේකර එකවරම වින්දිතයෙකු වුණේ ඇයි? සොයා බැලිය යුතුය. ජනතාව විසින් පන්නා දමනු ලැබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සිය ධුරයට පැමිණි පසුව ‘දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම‘ නමින් හරි අපූර්ව කොමිසමක් ස්ථාපනය කරන්නට කටයුතු කළේය.

Gotabaya Rajapaksa PCol Report of the Commission to Investigate Political Victimization handed over to President

සමහරු මෙම කොමිසමට ‘පිස්සු පූසා කොමිසම‘ නමින් නමක් ද පටබැඳ තිබුණි. මෙම කොමිසම ලෝක ඉතිහාසයේ පළමු වතාවට සමහර අපරාධ නඩු අධිකරණය තුළ විභාගයට ගනිමින් තිබෙන අවස්ථාවේම එහි විමර්ශකයන්ට විරුද්ධව නඩු අසන්නට විය. ඒ අර අපරාධ නඩුවල චුදිතයන්ගේ පැමිණිලි මත ක්‍රියාකරමින් ය. මේ අනුව ශානි අබේසේකරටද මෙම කොමිසම හමුවේ පැමිණිලි 26ක් වෙනුවෙන් පෙනීසිටින්නට සිදුවී ඇත.

මෙම පීඩා කිරීමට අමතරව පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළෙන්ම සිදුවූ නිර්නාමික පෙත්සම් ගැහිල්ලේ ප්‍රතිඵල ලෙස ශානි අබේසේකරගෙන් පොලිස් විශේෂ ඒකකය නිර්නාමික පෙත්සම් 20කට වැඩි ප්‍රමාණයක් පිළිබඳව කට උත්තර ලබාගෙන ඇත. මීට අවුරුදු 10කට ප්‍රථම මාතර මහාධිකරණයේ ටී56 වර්ගයේ ගිනි අවියක් සොයාගැනීම පිළිබඳ නඩුවකට අදාළව, ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම වැනි චෝදනා බොහෝ ප්‍රමාණයක් ඒ අතර තිබී ඇත.

මේ කිසි දේකින් කොටු කර ගැනීමට නොහැකිවුණ තැන මොහොමඩ් සියාම් නම් ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට එරෙහිව ව්‍යාජ සාක්ෂි සැකසූ බවට චෝදනා කරමින් 2020 වසරේ ජුලි මස 31 වෙනිදා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ශානි අබේසේකර අත්අඩංගුවට ගනු ලැබීය. මෙනිසා මාස 10යි දින 08ක් ශානි අබේසේකරට බන්ධනාගාරගතව සිටීමට සිදුවිය. මෙහිදී කොවිඩ් ආසාදනය වීම, හදවත් රෝගයක් ඇතිවීම වැනි බොහෝ දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දෙන්නට ඔහුට සිදුවිය. පසුව 2021 වසරේ ඔක්තෝබර් මස 16 වැනිදා අභියාචනාධිකරණයේ තීන්දුවක් අනුව ඇප නියම කරනු ලැබීය. පසුව නිතිපතිවරයා ලිඛිතව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබුණේ ශානි ඇතුළු මෙම නඩුවේ සැකකරුවන් තිදෙනා නිදහස් කරන ලෙසය. ඒ නඩුව පවත්වාගෙන යාම සඳහා කිසිදු සාධාරණ සාක්ෂියක් හෝ හේතුවක් නැති නිසාය.

 

CID හිටපු අධ්‍යක්ෂක ශානි ගේ ජීවිතය අනතුරේ ! - විපක්ෂය මර නින්දේ !!
මෙහිදී අභියාචනාධිකරණය පෙන්වා දී තිබුණේ මෙම අත්අඩංගුවට ගැනීම අදාළ පැමිණිල්ල, චෝදනාවක් පවත්වාගෙන යන්නට ප්‍රමාණවත් තරම් සාධාරණ සාක්ෂියක් හෝ කරුණක් නොමැතිව මිනීමැරුමකට වරදකාරයා වුණ පුද්ගලයෙකුගේ උවමනාව අනුව ඔහුගේ සහායකයන් එකතුව කුමන්ත්‍රණකාරී සිතුවිල්ලක් අනුව පසු අවස්ථාවක කළ පැමිණිල්ලක් බව ය. අභියාචනාධිකරණය එසේ කීවත් නීතිපතිවරයා මෙම සිදුවීමට අදාළ සැකකරුවන් නිදහස් කරන්න යැයි ප්‍රකාශ කරන තෙක් වාර 27ක් පමණ කට උත්තර ගැනීම සඳහා ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ගෙන්වා ඇත. මේ සියලු දේවල් සිදුකර ඇත්තේ පළිගැනීමේ අරමුණෙන් බව පැහැදිලිය.

මෙම පළිගැනීම් ක්‍රියාවලිය මෙසේ යන අතර වයස සම්පූර්ණ වීම නිසා ශානි අබේසේකර පොලිස් සේවයෙන් විශ්‍රාම ගත් නමුත් ඔහුට විශ්‍රාම වැටුප් ලබාදෙන්නට බළධාරීන් කටයුතු කළේද නැත. ශානි අබේසේකරහට තමන්ට හිමි විශ්‍රාම වැටුප ලබාගන්නට නඩු මඟට බසින්නට සිදුවූ අතර AA 23$ 2021 NBC යන නඩුවේ ප්‍රතිඵලයක් ලෙස මෑතකදී ඔහුට විශ්‍රාම වැටුප් හිමිකම ලැබී ඇත.

පොලිස් නිලධාරීන්ට එල්ලවෙන ප්‍රධානම චෝදනා අතර පගා ගැහීම සහ සැකකරුවන්ට විරුද්ධව වධහිංසනය පැමිණවීම ප්‍රධානය. එහෙත් ශානි අබේසේකරට විරුද්ධව එවැනි කිසිදු පැමිණිල්ලක් නැත. අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපති ටී ඩී. නිව්ටන් ඇතුළු තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකුහට මරණ දණ්ඩනය හිමිවූ අඟුලාන ද්විත්ව ඝාතනය පිළිබඳ පරීක්ෂණ, හිටපු ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට මරණ දණ්ඬනය හිමිවූ මොහොමඩ් සියාම් ඝාතනය පිළිබඳ පරීක්ෂණය, අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ තිරප්පනේ පොලිස් වසමේ තිරප්පනේ තුරුවිල මාර්ගයේ සෙලෙස්තිමඩු කැලෑ පෙදෙසකදී ඝාතනයට ලක්වූ එස්එෆ් බංඩාගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණය, ගාල්ල රත්ගම ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට අදාළ පරීක්ෂණ වැනි පොලිස් නිලධාරීන් චෝදනාවලට ලක්වූ බොහෝ සීඅයිඩී පරීක්ෂණ මෙහෙයවීම නිසා පොලීසිය ඇතුළත උසස් පොලිස් නිලධාරීන් බොහෝ ප්‍රමාණයක් ශානි අබේසේකර සමග සිටින්නේ අමනාපයෙන් ය. ඒ සියලු දේවල්වලට හේතුව, ශානි නීතිය හරියට තරාතිරම නොබලා ක්‍රියාවේ යෙදවීමය.

ශානි මරාදමන්නට අවශ්‍යව ඇත්තේ කාටද?

ශානි අබේසේකර ගේ ජීවිතය අනතුරේ ! -Sandeshaya by Saroj
දැන් අප සොයා බැලිය යුත්තේ ඇත්තටම ශානි අබේසේකර මරාදමන්නට අවශ්‍ය වී ඇත්තේ කාටද යන්නයි. ඒ මන්ද නීතිපති දෙපාර්තමේන්තුව මරණ තර්ජනයන් පිළිබඳ කතාව අධිකරණය ඉදිරියේ දිගහැරියද ශානි අබේසේකර මරන්නට කුමන්ත්‍රණය කරන්නේ කවුද යන්න හෙළි නොකිරීම නිසා ය. ශානි අබේසේකරට පොලිස් සේවය තහනම් කළ දා රාත්‍රියේ දූරකථනයෙන් මරණ තර්ජනය කළ පුද්ගලයා කවුද යන්න තවමත් සොයාගෙන නැති පසුබිමක ඔහුට මරණ තර්ජනය එන්නේ කොහි සිටද යන්න පිළිබඳව සිතා බැලීමට කාට හෝ උවමනා නම් මේ ලියුම්කරුට ඒ සඳහා මෙසේ උපකාර කළ හැකිය.

ශානි අබේසේකරගේ මඟපෙන්වීම ඔස්සේ ක්‍රියාත්මක වූ සීඅයිඩීය මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ හැරගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළ සිදුවීම පිළිබඳ පරීක්ෂණ සිදුකර යුද හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියෙකු වන ෂම්මි කුමාරරත්න ඇතුළු බුද්ධි නිලධාරීන් 10 දෙනෙකුට පමණ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් (ට්‍රයල් ඇට් බාර්) ඉදිරියේ සහ හෝමාගම මහාධිකරණයේ නඩු පැවරන්නට කටයුතු කළේය. මෙය ශානි අබේසේකර මරා දමන්නට කුමන්ත්‍රණය කිරීම සඳහා හේතුවක්ද? අප දන්නේ නැත.

කරන්නාගොඩට එරෙහි චෝදනා අස් කර ගත් නීතිපතිට අභියෝගයක්

ළමයින් ඇතුළුව පුද්ගලයින් 11 දෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමකට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික බුද්ධි නිලධාරීන් 14 දෙනෙකුට පමණ නඩු පවරා ඇත. රතුපස්වල වෙඩි තැබීමේ සිදුවීමට අදාළව යුද්ධ හමුදාවේ මේජර් ජනරාල්වරයෙක් ඇතුළු පිරිසකට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ නඩු පැවරීමට කටයුතු කර ඇත. මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීමට අදාළ සිදුවීමට එරෙහිව මේජර් ජනරාල් අමල් කරුණාසේන ඇතුළු යුද්ධ හමුදා බුද්ධි නිලධාරීන් 12 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත. මේ සියලු පරීක්ෂණ සාර්ථකව මෙහෙයවා ඇත්තේ ශානි අබේසේකර වන අතර ඔහු මරාදමන්නට කුමන්ත්‍රණය කරන්නට මෙය හේතුවක් විය හැකිද? අප දන්නේ නැත. 

ආරක්ෂක ව්‍යුහයේ හිඩැස් ; හිනාවෙන සර්පයින් අතර තරගය.. (2 වෙනි කොටස)

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව මේජර් ජනරාල් අමල් කරුණාසේන සහ තවත් උසස් බුද්ධි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදාළව නාවික හමුදා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇත. තවත් විමර්ශන බොහෝ ප්‍රමාණයක් අවසන් කර වාස් ගුණවර්ධන වැනි චුදිතයන් 30කට පමණ මරණ දඬුවමෙන් දඬුවම් කරන්නට අවශ්‍ය අපරාධ පරීක්ෂණ සාර්ථකව අවසන් කරන්නට නායකත්වය ලබාදී ඇත. මාධ්‍යවේදී පෝද්දල ජයන්තට පහරදීම වධහිංසා පැමිණවීමට අදාළව වර්තමාන වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් කට උත්තර ලබාගෙන ඇත. පාස්කු ප්‍රහාරයට ප්‍රථම සහ පසුව සිදුවුණේ කුමක්ද යන්න ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් SCFR 64/2022 හෙළි කිරීම ආදි මේ සියලු දේවල් ශානි අබේසේකර මරාදමන්නට කුමන්ත්‍රණය කරන්නට තරම් හේතුවක් ද? අප දන්නේ නැත. අවශ්‍ය කෙනෙකුට අවශ්‍ය නම් මේ පිළිබඳව සොයා බැලිය හැකිය.

කෙසේ වුණත් කිව යුතුව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසුව තවමත් දිගින් දිගටම ශානි අබේසේකරට විරුද්ධව පළිගැනීම් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් ඇති බවය. මෙම ක්‍රියාවලිය නිසා තමන්ට සිදුවූ අසාධාරණයන්ට විරුද්ධව ශානි අබේසේකර මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් සහ වන්දි නඩු 15ක් පමණ ගොනු කර ඇත. පළිගැනීම් ක්‍රියාවලියට මෙය හොඳම නිදර්ශනයක් ය.

Screenshot 2023 12 15 at 12.06.23(කේ සංජීව)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ සිවිල් සමාජ ක්‍රියාකාරික 
(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්