"රැජින" යනු 1986 දී සිය ගමන් මග ආරම්භ කර 2019 දී ඒ ගමන් මග අවසන් කළ මෙරට පැවති  ප්‍රමුඛ පෙළේ කාන්තා පුවත්පතකි.

ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ අඛණ්ඩව වසර 30 ක් එහි කර්තෘ පදවිය දැරීය. 

වයස 23 දී පමණ පුවත්පත් කලාවට පිවිසි ඔහු "කුමරි" යොවුන් පුවත්පත මගින් නවකතා කවි සහ විවිධ විශේෂාංග ලිපි ඉදිරිපත් කරමින් යොවුන් හදවත් තුළට සමීප වූයේ ඉතාමත් ඉක්මනින් ය. එකල ඔහු යෞවනියන්ගේ අපූරු රසවතෙකු විය.ඉන්පසු 1986 දී "රැජින" පුවත්පත ආරම්භ කිරීමෙන් පසු එහි ප්‍රධාන කතුවරයා වූ  බන්දුල පද්ම කුමාර විසින් පුවත් පත කරගෙන යාම තිලක්ට භාර කළේය. ඒ කර්තෘවරයකු සොයා ගන්නා තුරු ටික දවසකට ය. නමුත් බන්දුල පද්මකුමාර ඉන්පසු රැජින පත්‍රයට වෙනත් කතුවරයකු සෙව්වේ නැත. අවසානයේ ඒ " ටික දවස " වසර තිහක් දක්වා අඛණ්ඩව ආ දිගු ගමනක් බවට පත්වී තිබුණේ නිරායාසයෙනි.

 

 

තිලක් සේනාසිංහක්‍රම ක්‍රමයෙන් වයසින් මෙන්ම පුවත්පත් කලාවේ අත්දැකීම් මගින් ද පරිණතභාවයට පත්වෙද්දී ඔහු සිය ගමන් මග වෙනස් කළේය. පසුව තිලක් සේනාසිංහ බොහෝ මාධ්‍යවේදීන් අතුරින් සුවිශේෂත්වයට පත් වූයේ ශ්‍රී ලාංකේය ජන සමාජයේ පවත්නා හරසුන් සම්ප්‍රදායන් සහ මිථ්‍යා ආකල්පයන්  පිළිබඳ පර්යේෂකයකු සේම, සිය පුවත්පත් ලිපි සහ ග්‍රන්ථකරණය මඟින් ඒවාට අඛණ්ඩව පහර දෙන්නකු ලෙසිනි. මේ වන විට ඒ සම්බන්ධයෙන්  පමණක් ඔහු ලියා ඇති ග්‍රන්ථ සංඛ්‍යාව හතකි. ජනකාන්ත මිථ්‍යා මත, කෙම්මුරතැන්න, මනරංජන මිථ්‍යා  කතා, අවතාර  ලුහු බැඳ, අද්භූත ලෝකය පියවි ඇසින්, වන්නි හත්පත්තුවේ ජනකතා, ඇස් වහ කට වහ ආදිය ඒ අතර වේ. 

දේශීය සංස්කෘතිකාංගයක් වන සිංහල අලුත් අවුරුද්ද පවා හුදෙක් අධිපරිභෝජනවාදී සැනකෙළියක් බව ශාස්ත්‍රීය වශයෙන් තහවුරු කරමින් "සිංහල අලුත් අවුරුද්දේ මායාව සහ යථාර්ථය" යනුවෙන් කෘතියක් ද ඔහු විසින් එළි දක්වා තිබේ.

එමෙන්ම සමාජ සම්මත ගුප්ත බලපෑම් යනු  සමාජ මනෝ ව්ද්‍යාත්මක සාධක මත පැන නඟින සංසිද්ධීන් පමණක් බව තහවුරු කිරීම  පිණිස වන ස්ථානීය ගවේෂණ රැසක් ද ඔහු විසින් සිදු කොට තිබේ. ඒ සියලු දේ ඔහු ග්‍රන්ථ ලෙසින් පාඨකයා හමුවට එළිදක්වා ඇත .    

sunakaසතුන් සම්බන්ධයෙන් අසීමිත කරුණාව සහ දයාව දක්වන ඔහු අහිංසා ශ්‍රී ලංකා නමින් සත්ව අවිහිංසා සංවිධානයක් පිහිටුවා ගෙන එමගින් සත්ව ප්‍රජාව විෂයෙහි විවිධ ආකාරයේ සේවාවන් රැසක් තව බොහෝ දෙනකුගේ උපකාර ඇතිව සිදු කර තිබේ. මෙය කිසිදු ආදායමක් උපදවන්නේ නැති ස්වේච්ඡා සංවිධානයක් වීම විශේෂයකි. මේ හැරුණු විට  ඔහු "මිනිස් මිතුරන් පරදන සුනඛ මිතුරෝ" නමින්  සුනඛයන් සම්බන්ධ ග්‍රන්ථයක් ද එළිදක්වා ඇත.

පුවත්පත්වලට නවකතා රාශියක් ලියා තිබුණද, ග්‍රන්ථ වශයෙන් පළ කර ඇති ඔහුගේ නවකතා වන්නේ අග්නි චාමර, සුදු පරෙවි මල්, සසල විල සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව යන ග්‍රන්ථ කිහිපය පමණි.

සාම්ප්‍රදායික සමාජයක් තුළ අසම්ප්‍රදායික ලෙස ජීවිත ගොඩ නංවා ගැනීමට වෙර දැරූ බොහෝ දෙනෙකු සම්මත සමාජය තුළින් සුන් බුන් ලෙස ඉවතට වීසි වීම අතිශයින් සුලබ සංසිද්ධියකි.එවන් පසුබිමක් යටතේ සමාජ සම්මතයට එරෙහිව හිතුවක්කාර ලෙස ජීවිත ගොඩ නඟා ගත්තවුන් සුළුතරයක් අදටත් අප සමාජයේ "ඉහ ගහ ගෙන" හිඳිනු දක්නට ලැබේ. තිලක් සේනාසිංහ යනු ඒ සුළුතරය අතරේ කෙනෙකි.

thilak books
ඔහු විසින් සමාජය උදෙසා ඉටු කළ සහ තවමත් ඉටු කරමින් හිඳින සේවාව මතු පරපුර සඳහා ලියා තැබීම අපගේ මෙම ප්‍රයත්නයෙහි අරමුණයි. ඔහු ගේ මෙම දිගු කාලීන අසම්මත මාධ්‍ය චාරිකාවට පසුබිම් වූ ජීවන තොරතුරු පෙළ ගැස්ම මෙතැන් සිට අපි කියවමු.


ගොනාට උදව්වට කරත්තය තල්ලු කරයි
         
ගණේමුල්ල දුම්රියපළ පසුකර ගම්පහ දෙසට මීටර් 25 - 30 ක තරමේ දුරක් යන විට තුන්මං හන්දියක් හමුවෙයි. ගම්මුන් මෙය පරණ පොලිසිය පාර ලෙස කට වචනයට හැඳින්වුවද මේ ගණේමුල්ල - කඳාන පාර ය. 
       
මේ පාරේ මඳ දුරක් ගිය විට සිරි මහින්දාරාම විහාරස්ථානය හමු වෙයි. ඒ ඉදිරියෙන් වම් පසට  දිවෙන මෙම කඳාන පාරේ තවත් මීටර් කිහිපයක් ගිය විට තුන්මං හන්දියක් ඇත. එතැනින් දකුණු දෙසට බෙදෙන්නේ  නිවන්දම හරහා ජාඇලට යන පාර ය. මේ හන්දිය අතීතයේ කොස්හේන හන්දිය නමින් හැඳින්වුවද අද වන විට එම නම ක්‍රම ක්‍රමයෙන් ගම්මුන්ගේ මුවෙන් ගිලිහෙමින් පවතින බව පෙනේ. 
         
ගණේමුල්ලේ හොරගොල්ල ගම ආරම්භ වන්නේ ගණේමුල්ල නගරයේ සිට කඳාන පාරට හැරුණු ගමන්ම වාගේ ය. ඒ හොරගොල්ලේ එක් මායිමකි. කඳාන පාරේ පැමිණ කොස්හේන හන්දියෙන් ජාඇල පාරට හැරී මීටර් පන්සීයක් පමණ යන විට හොරගොල්ලේ එක් පැත්තක් කෙළවර වෙයි. එතැනින් ඇරඹෙන්නේ තිබ්බටුගොඩ ය. කොස්හේන හන්දියේ සිට ජාඇල පාරේ තිබ්බටුගොඩ දෙසට එන විට පල්ලමක් බැසිය යුතුය. ඉන්පසු  ක්‍රම ක්‍රමයෙන් පල්ලම අවසන් වී නැවත උස් ප්‍රදේශයකට අවතීර්ණ වෙයි. මෙම උස් ප්‍රදේශයෙහි පාරේ දකුණු අත පැත්තෙන් මහත් ගාම්භීරව දුර සිටම  දිස් වන්නේ තිබ්බටුගොඩ රෝමානු කතෝලික දේවස්ථානය යි.
 
එකල අපේ රටේ පොදු ප්‍රවාහනය සිදුවුණේ දුම්රිය හැරුණු විට ලංගම බස් රථවලිනි.       
එය හැටේ දශකය විය. 
 
එකල අපේ රටේ පොදු ප්‍රවාහනය සිදුවුණේ දුම්රිය හැරුණු විට ලංගම බස් රථවලිනි. මුදල් හදල් යහමින් ඇති අය මොරිස් මයිනර්, හිල්මන්, වොක්ස්වාගන්, ෆෝඩ් ප්‍රිෆෙක්ට් වැනි මෝටර් රථ භාවිතා කළ ද එය ද කලාතුරකින් මිස බහුල ව දැක ගන්නට ලැබුණේ නැත. ත්‍රිරෝද රථ ලෝකයේ නිෂ්පාදනය වී නොතිබුණු බවට සැලකිය හැකි ඒ කාලයේ පෞද්ගලික හයර් සඳහා භාවිතා කරනු ලැබුවේ මයිනර්, වොක්ස්වාගන් වැනි මෝටර් රථ ය. එකල නගරවල මෙවැනි රථ ගාල් කර තිබෙනු  දැකිය හැකි වුණි. එයද ප්‍රමාණයෙන් පහ හයකට වඩා වැඩි වූයේ නැත. සාමාන්‍ය ජනතාව  මෙවැනි මෝටර් රථයකට කතා කරන්නේ තම පවුලේ කෙනෙකු රෝගී වූ විට වෛද්‍යවරයකු වෙත හෝ රෝහල කරා රැගෙන  යාම වැනි හදිසි කර්තව්‍යයකට පමණි. ලංගම බස් රථ ධාවනය නොවන පාරවල් අද්දර වෙසෙන ජනතාව සැතපුම් ගණන් පයින් යාමට පුරුදුව සිටියහ. මෙහිදී සැතපුම් යන වදන භාවිතා කළේ එකල මෙට්‍රික් ක්‍රමය අපේ රටට පැමිණ නොතිබූ නිසා ය. බර මනින ඒකකය රාත්තල් සේරු වූ ලෙසින්, දිග මනින ඒකකය අඩි යාර ආදිය වූ ලෙසින් දුර මැන්නේ  සැතැපුම්වලිනි. අතීතයේ ජීවත් වූ මෙම ගැමි ජනතාව සැතපුම් පහ හය වුවද දෙපයින් ඇවිද ගියේ කිසිදු අඬෝවැඩියාවක් නැතිව ය. එකල බොහෝ නිවෙස්වල බහුලව තිබූ වාහනය වූයේ පාපැදිය යි.   
ඇතැම් නගරවල නගරාසන්න කුලී ගමන් සඳහා බක්කි කරත්ත ද තිබිණි.
 
ඇතැම් නගරවල නගරාසන්න කුලී ගමන් සඳහා බක්කි කරත්ත ද තිබිණි. ගම්පහ නගරයේ දුම්රියපළ ඉදිරිපිට ද එලෙස කුලී බක්කි කරත්ත කිහිපයක් තිබී ඇත. එහි ගමන් ගාස්තුව ශත ගණනක් විය. බඩු ප්‍රවාහනය සඳහා බහුලව යොදා ගැනුණේ ද ගොනුන් බැඳි  ලොකු ලී කරත්ත ය. 
         
එකල ගණේමුල්ලේ පැවතියේ කුඩා කඩමණ්ඩියකි. රේල් පාරෙන් වම් අත පැත්තේ බෙන්තර හෝටලය, හේමා ටෙක්ස්, සිරිනන්ද මුදලාලිගේ රෙදි කඩේ, කොස්සින්න මුදලාලිගේ සිල්ලර කඩේ, ජයකොඩි මුදලාලිගේ සිල්ලර කඩේ මෙන්ම රේල් පාරෙන් දකුණු පැත්තේ සේනගේ රෙදි කඩේ, ඕදිරිස් ගේ සිල්ලර කඩේ, තේගිස් අයියාගේ මාළු ලෑල්ල, විජය ඩිස්පෙන්සරිය, ධම්මික ඩිස්පෙන්සරිය, ඇන්ඩෲගේ බාබර් සාප්පුව, රූබන් අයියාගේ බාබර් සාප්පුව වැනි තරමක් ප්‍රසිද්ධ කඩ සාප්පු කීපය හැරුණු විට කුඩා තේ කඩ කිහිපයක්, සිල්ලර කඩ කිහිපයක් මේ කඩමණ්ඩිය සතු විය.  තේ කඩවල කැපී පෙනෙන අංගය වූයේ කඩයේ ඉදිරිපසම පැවති නොනැවතී දුම් දමන උණු වතුර බොයිලේරුව යි. එහි තවත් පසෙකින් ලැවරියා, අග්ගලා, හැලප වැනි දේශීය කැවිලි වර්ග කිහිපයක් සහිත කුඩා වීදුරු කැබිනට්ටුවද, කොහු  ලණුවක් ආධාරයෙන් එල්ලා තැබූ ඉදුණු  කෙහෙල් කැනක් දෙකක්ද දැකගත හැකි වුණි.
 
IMG 20240527 WA0001පැරණි ගණේමුල්ල කඩමණ්ඩිය        
ප්‍රධාන පාරවල්වල හැරුණු විට සෙසු මංමාවත්වල වාහනයක් ගමන් කළේ ඉඳහිට ය. එනිසා දිවා කාලයට වුව මහ පාරේ දැඩි නිහඬ බවක් පැවතියේ ය. මේ නිහඬ බව තුළ පාරේ ගමන් කරන ගොන් කරත්තයක් පැමිණෙන හඬ තරමක් ඈතට ඇසේ. ඒ කරත්තකරුවා " ජහ ජහ" යනුවෙන්  ගොනාගේ පා ඉක්මන් කරවන්නට නගන හඬ පරයා ඇසෙන ගොනාගේ ගෙල  බැඳි ගෙජ්ජි වැලේ " සලං සලං" නාදයෙනි.
        
වෙලාව සවස තුන, හතර පමණ වී තිබිණි. කොට කලිසමකින් සහ කමිසයකින් සැරසුණු කුඩා පිරිමි දරුවකු පන් මල්ලක් ද අතින් ගෙන පාර අයිනේ නතර වී බලා සිටියේය. එවකට වයස අවුරුදු දහයක් පමණ වූ මේ දරුවා ගේ නම තිලක් ය. පන් මල්ලෙහි වූයේ හිස් භූමිතෙල් බෝතලයයි. ඔහුගේ කලිසම් සාක්කුවේ සත දහයේ කාසියක්, සත පහේ, දෙකේ සහ සතයේ කාසියක් ද බැගින් කාසි හතරක් විය. එකල භූමිතෙල් බෝතලයක මිල සත දහ අටකි. මෙම ප්‍රදේශවල ඒ කාලයේ විදුලි බලය තිබුණේ නැත.
 
රාත්‍රි කාලයට නිවෙස්වල දැල්වුණේ චිමිනි ලාම්පු, කුප්පි ලාම්පු ආදිය යි. ලාම්පු අතර රජා වී සිටි පෙට්රල් මැක්ස් ලාම්පුව කවදත් හිමි කර ගත්තේ නිවසේ ප්‍රධාන ස්ථානය වූ සාලය යි. පෙට්රල් මැක්ස් ලාම්පුව නොමැති නිවෙස්වල ඒ තැන චිමිනි ලාම්පුවට හිමි විය. කාමර, මුළුතැන්ගෙය ආදී සෙසු සියලු ස්ථානවල අඳුර දුරු කළේ කුප්පි ලාම්පුව ය. මේ මොන ලාම්පුව දල්වන්නටත් භූමිතෙල් ඕනෑ වෙයි. 
 
ගණේමුල්ල දෙස සිට ජාඇල  පාරේ එමින් සිටි ගොන් කරත්තය තිබ්බටුගොඩ පැත්තට පල්ලම බසින හඬ මේ දරුවාට ඇසිණි. ඔහුගේ හිසේ මලක් පිපුණාක් මෙන් විය. මේ වෙලාවට ජාඇල දෙසට යන කරත්තය ඔහුට පුරුදු ය. කරත්තය තමා පසු කරන විටම එහි පිටුපසට ගිය තිලක්, මල්ල කරත්තය තුළ තබා කරත්තයේ පිටුපසින් හිඳ දෑතින් වෙර යොදා එය තල්ලු කරන්නට පටන් ගත්තේය. මෙය ඔහු නිරන්තරයෙන් කළ දෙයකි. ඒ අවස්ථාව තිලක්ට ලැබුණේ ගෙදරට මොනවා හෝ අඩුපාඩු ගෙනෙන්නට සතියකට දින කීපයක්වත් අම්මා ඔහුව කඩයට යැවූ නිසා ය.
 
IMG 20240527 WA0000තිබ්බටුගොඩ දේවස්ථානය        
කරත්තය තිබ්බටුගොඩ දේවස්ථානය ආසන්නයේ කන්ද නගින්නට විය. කන්ද යනුවෙන් හැඳින්වුවද එය කන්දක්ම නොව තරමක් උස් බිමක් ලෙස හැඳින්වීම නිවැරදි ය. ගොනාට කරත්තයත් ඇදගෙන මේ බිම තරණය කරන්නට ආයාසයක් දරන්නට සිදුවෙයි. නමුත් ගොනාටත් වඩා වැඩි ආයාසයක් දරමින් ගොනා සමග කරත්තය ද පිටු පසින් හිඳ වෙර යොදා තල්ලු කිරීම තිලක් නොනවත්වාම කරමින් සිටියේය. කරත්තකරුවාගේ අතට ද මෙය දැනෙන්නට ඇත. ඔහු වරින් වර පසුපස හැරී බැලුවත් මේ කුඩා කොලු පැටියාගේ ක්‍රියාව කෙරෙහි ඔහු ප්‍රතිරෝධයක් එල්ල කළේ නැත. ඉහින් කනින් දාඩිය වගුරවමින් කුඩා තිලක් මේ කන්ද තරණය කරන්නට ගොනාට උදව් වෙමින් සිටියේය. සැබැවින්ම ඔහුගේ හැඟීම වූයේ එයයි. බඩුත් සමග කරත්තයක් ඇදගෙන පල්ලම් සේම කඳු ද, තැනිතලා බිම් ද, උස් මිටි භේදයක් නැතිවම තරණය කළ යුතු වූ ද, එසේ නොකළහොත් හාම්පුතාගේ පහර කෑමට ලක් වන්නා වූ ද මේ අසරණයා කෙරෙහි තිලක් ගේ සිතේ ඇතිවී තිබුණේ අපමණ වූ දයානුකම්පාවකි. එනිසා පිටුපසින් හිඳ තල්ලු කළහොත් ගොනාට පහසුවක් වනු ඇතැයි කුඩා ඔහු කල්පනා කළේය.
         
IMG 20240527 WA0004තිලක් වයස අවුරුදු 5 දී නමුත් මෙවැනි අවස්ථාවලදී ඇතැම් විට  ඔහු එක්තරා අකරතැබ්බයකට ද මුහුණ දෙයි. පාසලේ ඔහුට වඩා පන්ති කිහිපයකට ඉහළින් සිටි අනුර සහ අතුල යන පිරිමි දරුවන් දෙදෙනා ගේ නිවෙස් පිහිටියේද මේ පාර ආසන්නයේ ය. මෙකල වැඩිහිටි පිරිමින් වුව නිවසට කොට කලිසම ඇන්දත්, අතීතයේ වැඩිහිටි පිරිමින් සේම කුඩා පිරිමි දරුවෝ ද නිවසට සරම් ඇන්දහ. නමුත් කොතරම් උත්සාහ කළත් සරම අඳින්නට බැරිකම නිසා සරම ඉනේ පටලවා ගත් පසු එය බිමට කඩාගෙන වැටෙන  බැවින් තිලක්ට ගෙදරටත් කොට කලිසම ම අන්දවන්නට අම්මා වගබලා ගත්තාය. පාසල් යන විට මෙන් කොට කලිසමක් ඇඳ, කරත්තය තල්ලු කරමින් යන තිලක් දකින විට පාරට දිව එන අනුර සහ අතුල තිලක්ගේ කලිසම පහතට ඇද දිව ගියහ. මහත් සේ ලජ්ජාවට පත්ව ඔහු කරත්තය අතහැර වහා පහත් වී කලිසම උඩට ඇද තම නිරුවත් යටිකය වසා ගත්තේය. කොල්ලන් දෙන්නාට තලන්නට ඇත්නම් යැයි දැඩි කේන්තියක් හිතට ආවත් උන් ගෙට දිව ගොස් හමාර ය. එසේම උන්ට තැලීම දුර දිග යන වැඩකි. එවිට කරත්තය තල්ලු කරන කතාව අම්මාට ද ආරංචි විය හැකිය. එය දැන ගත්තොත් අම්මා ගුටියක් දෙනු නියත ය. ඒ ගුටියට වඩා මේ සිදුවූ ලැජ්ජාව ලාබ ය. එනිසා නිහඬව ම යළි කරත්තය වෙත ගිය තිලක් එය තල්ලු කරන්නට පටන් ගත්තේය. ඔහු කරත්තය අතහරින්නේ තමා යායුතු කඩය ළඟට පැමිණි පසුවය.
         
සේනාසිගේ තිලක් ප්‍රියන්ත සිල්වා ගණේමුල්ලේ තිබ්බටුගොඩ උපත ලබා තිබුණේ 1958 මාර්තු මස 22 දා ය. සේනාසිගේ පීටර් සිල්වා ඔහුගේ පියා වුණි. මව මේබල් පෙරේරා ය.
 
ඔහු විසින්ම මෑත කාලයේ විවිධ ගවේෂණ කිරීම් මගින් අනාවරණය කරගෙන තිබෙන අන්දමට හොරගොල්ල සහ තිබ්බටුගොඩ යන ගම්වල වෙසෙන පාරම්පරික ජනතාව අතීතයේ සිංහලයන් විසින් ආඬීන් සහ සන්නාසීන් වශයෙන් හඳුන්වා දී ඇති දකුණු ඉන්දීය සංක්‍රමණිකයන් ගෙන් පැවත එන්නන් ය. මීට සියවස් පහ හයකට පමණ පෙර දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රදේශයෙන් සංචාරක ගිහි පූජකයන් ලෙස මෙරටට පැමිණි ඔවුන්  පසුකාලීනව තම පූජක වෙස් අතහැර ශ්‍රී ලාංකේය කාන්තාවන් විවාහ කරගෙන බෞද්ධ සමාජයට අවශෝෂණය වී ඇති බව සනාථ වෙන සාක්ෂි තිබේ. ඒ සඳහා ඇති  ප්‍රබලම සාක්ෂිය වන්නේ ඔවුන්ගේ පෙළපත් නාමයන් ය. (සිරිලක මුල්ම සම්බා කෙතේ කතාව -  තිලක්  සේනාසිංහ , ඉරිදා ලංකාදීප 2023. 06. 25 , පිරිමින්ට පුරුෂ ශක්තියත්, කතුන්ට මව්කිරිත් නොඅඩුව ලබා දුන් ඒරිස් සීයලාගේ කොස්හේන - තිලක් සේනාසිංහ , ඉරිදා දිවයින 2023. 07. 02 ) එනම් ආඬිගේ සහ සේනාසිගේ යන පෙළපත් නාමයන් අදටත් ඒ අයුරින්ම පවතී. සන්‍යාසිගේ යන වදන පසුව ඉංග්‍රීසි යටත් විජිත සමයේ දී උච්චාරණයේ පහසුව තකා සේනාසිගේ ලෙසින් වෙනස් වූවා විය හැකිය. කෙසේ වුවද සේනාසිගේ යන්න දැන් ව්‍යවහාර කරනු ලබන්නේ සේනාසිංහ ලෙසිනි. ඒ අනුව සේනාසිංහ පරපුර ඉන්දියාවේ කේරළ සම්භවයකින් පැවත එන්නෝ වෙති. 
 
තිලක් පවුලේ වැඩිමලා ය. ඔහුට සිටින්නේ එකම නැගණියක් පමණි. ඇය දීප්ති සිල්වාය. ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩා පාලක වරයකු ලෙස කටයුතු කළ තිලක්ගේ පියා ඉතාමත් නිහඬ, සන්සුන් ඇවතුම් පැවතුම් ඇති පුද්ගලයෙකු විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පන්සිල් නො බිඳ සිය ජීවිතය ගෙන ගිය ඔහු සිය දරුවන් දෙදෙනාට ඉතාමත් ආදර්ශවත් පියෙකු ව සිටියේය. කිසිදා ඔහු දරුවන්ට තරවටුවක්වත් කළේ නැත. දරුවන් හික්මවන කාර්යය මුළුමනින්ම සියතට ගෙන තිබුණේ ඔවුන් ගේ මව ය. ඒ නිසා පියාට මෙන් නොව මවට මේ දරු දෙදෙනා බොහෝ සෙයින් බිය වූහ.
 
IMG 20240527 WA0002තිලක් වයස මාස 3දී         
තිලක්ගේ පාසල් ජීවිතය ඇරඹුණේ ගණේමුල්ල පරාක්‍රමබාහු ප්‍රාථමික විද්‍යාලයෙනි. එහි එකල තිබුණේ පහළ බාලාංශය, ඉහළ බාලාංශය සහ දෙවෙනි ශ්‍රේණියයි. තුන්වෙනි ශ්‍රේණියේ සිට එම දරුවන් පරාක්‍රමබාහු කණිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් කෙරේ. "ගොරක ගහ යට ඉස්කෝලේ" ලෙසින්  එකල හැඳින්වූ එම පාසල තිබුණේ ගණේමුල්ල දුම්රිය පොළ පසු කර කොළඹ දෙසට මඳ දුරක් යනවිට රේල්පාර ආසන්නයේ ය. ඊට නුදුරින් හේමමාලා බාලිකා විද්‍යාලය නමින් තවත් පාසලක් තිබිණි. පසු කලෙක මේ පාසල් දෙකම එකට එකතු කර හේමමාලි මහා විද්‍යාලය ලෙසින් නම් කරනු ලැබීය. 
 
ළමා වියේ සිටම තිලක් බල්ලන්ට බළලුන්ට බොහෝ සෙයින් ආදරය පෑවේය. එනිසාම ඔහුගේ ගෙදර කවදත් බළලෙකු සිටි අතර බළලා තම  ඔඩොක්කුවට ගෙන උගේ සිනිඳු ලොම් අත ගාමින්  ඌ සමග තනිව කතා කිරීම කුඩා තිලක් ගේ සිරිත ය.
 
බළලාගේ මුහුණ දෙපැත්තේ තිබෙන දිග රැවුල් ගස් ඌට මහත් හිරිහැරයක් යැයි මේ කුඩා දරුවාට නොයෙක් වර සිතී තිබිණි. 
        
" බලන්නකෝ පූස්. අපේ තාත්තත් හැමදාම රැවුල කපනවා. ඒත් ඉතින් ඔයාගෙ රැවුල කපාගන්න ඔයාට බෑනේ. මීට පස්සේ මං ඔයාගේ රැවුල කපන්නම්කෝ" 
         
බළලා ගේ රැවුල් ගස් අත ගාමින් ඌ සුරතල් කරමින් බොහෝ ආදරයෙන් පැවසූ කුඩා තිලක් අම්මා රෙදි කපන කතුර සොයා ගත්තේය. ඉන්පසු බළලාගේ මුහුණ දෙපැත්තේ තිබූ උගේ රැවුල් ගස් සියල්ල මුලින්ම කපා දැමීය.
         
" ඔන්න මීට පස්සෙ නම් ඔයාට රැවුලෙ වදේ නෑ. මම ඔක්කොම කැපුවා. බලන්නකෝ පූස් ඔයාගේ මූණ දැන් හරි එළියයි."     
        
තිලක් කීයේ බළලාගේ මුහුණේ හැඩ බලමිනි. මෙලෙස රැවුල වැවෙන ගාණේ තිලක් ඒවා කපා දැමුවේ තම බළල් සුරතලා වෙනුවෙන් කරනු ලබන යුතුකමක් ඉටු කිරීමක් ලෙසිනි.

බළලාගේ මරණය වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් !
ඊළඟ කොටසින් කියවමු.

සටහන : ඉන්දු පෙරේරා
 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්