ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම යටතේ තුන්වන ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීම

සඳහා වන සාකච්ඡාව හෙට (ජුනි 12 වැනිදා) පැවැත්වීමට නියමිතය.

මෙම සැසියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවට තුන්වැනි ණය වාරිකය ලබාදීම ගැන තීරණය කරනු ඇත.

වැටී සිටින ආර්ථික බංකොලොත්භාවයෙන් මිදී නැවත ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට ශ්‍රී ලංකාව ජාත්‍යතර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළැඹෙන්නේ පසුගිය වසරේ දීයි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව විස්තීරණ ණය පහසුකම යටතේ ණය වාරික දෙකක් ලබාගෙන තිබේ. මෙම ණය පහසුකම ලබා ගැනීමේ දී ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉටු කර පෙන්විය යුතු කොන්දේසි වලින් බහුතරයක් තවමත් ඉටු වී නොමැති බවට බොහෝ පාර්ශව අදහස් පළ කර තිබේ.

"ශ්‍රී ලංකාව පොරොන්දු වූ කැපවීම් ළඟා කරගෙන නෑ"

ශ්‍රී ලංකාවේ ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන “Verite Research” ආයතනය ජුනි 9 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ 2024 මැයි මස අවසන්වන විට ශ්‍රී ලංකාව විසින් ඉටු කළ යුතුව තිබූ කැපවීම්වලින් 25%ක් ඉටු කර නොමැති බව ය. එම ආයතනයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට සමස්ත කැපවීම්වලින් ශ්‍රී ලංකාව මේ වන විට ඉටු කර තිබෙන්නේ 30%ක් පමණි. 15%ක් ඉටු කිරීමට නොහැකි වී ඇති අතර, 41%ක් තවමත් ඉටු කිරීමට අදාළ කටයුතු කෙරෙමින් පවතියි. 14%ක කැපවීම් සම්බන්ධයෙන් තොරතුරු සොයාගැනීමට නොහැකි වී ඇත.

මෙම අධ්‍යනය ශ්‍රී ලංකා මහබැංකුව, මුදල් අමාත්‍යංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විසින් ප්‍රසිද්ධ කර ඇති දත්ත හා තොරතුරු පදනම් කරගෙන කළ බව Verite Research ආයතනයේ ප්‍රධාන ආර්ථික විශේෂඥ රාජාකුලේන්ද්‍රන් බීබීසී සිංහල වෙත පැවසුවේ ය. ‍‍

ඔහු සඳහන් කළේ, තෙවන වාරිකය ලබා ගැනීමට මෙම කැපවීම් ඉටු නොකිරීම බලපෑමක් ඇති නොකළත් ආණ්ඩුකරණය සම්බන්ධයෙන් වැදගත් කැපවීම් රැසක් ශ්‍රී ලංකාව විසින් ඉටු කර නොමැති බවයි.

"ශ්‍රී ලංකාව දැනට ඉටු කරලා නැති කැපවීම් 16 ප්‍රධාන කොටස් තුනකට බෙදුවොත් ඒවා අයත් වෙන්නේ මූල්‍ය විනිවිදභාවයට, මූල්‍ය කළමනාකරණයට සහ දූෂණ මර්දනයට. මේ දේවල් යහපත් ආණ්ඩුකරණයකට ඉතාම වැදගත් දේවල්. මේ කැපවීම් රජය විසින් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු වුණ දේවල් මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පනවපු දේවල් නොවෙයි," ඔහු පැවසුවේ ය.

Verite Research මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව දැනටමත් ඉටු කර ඇති ඇතැම් කැපවීම් ජාත්‍යතර මූල්‍ය අරමුදල සමඟ එළැඹ තිබූ 16 වැනි මූල්‍ය පහසුකම් සම්බන්ධ ගිවිසුම්වල ද තිබූ ඒවා බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ආණ්ඩුකරණයට අදාළ කැපවීම් ඉටු නොකළහොත් නැවත වරක් ශ්‍රී ලංකාවට තවත් අවුරුදු කිහිපයකින් වර්තමාන ඉරණම උදාවනු ඇති බවයි.

ඉටු කර නැත්තේ මොනවාද?

Verite Research ආයතනයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කළ යුතු ඇතැම් ලේඛන මේ වන තෙක් ප්‍රසිද්ධ කිරීමට රජය අපොහොසත් වී ඇත.

* රජයේ ප්‍රසම්පාදන වෙබ් අඩවියක ප්‍රසිද්ධ කිරීම

* උසස් තනතුරු දරණ රජයේ නිලධාරීන්ගේ වත්කම් ප්‍රකාශයට පත් කිරීම

* මීට අමතරව වගවීම සහ වගකීම සම්බන්ධ කැපවීම් රැසක් ද තවම ඉටු කීරීමට නොහැකි වී ඇත.

DGS4

ණය වාරිකය ලැබෙයි ද?

ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබා දුන් මෙම පොරොන්දු ඉටු නොකෙරුණත් තෙවන වාරිකය ලබා ගැනීමට එය ගැටළුවක් නොවනු ඇති බව රාජකුලේන්ද්‍රන් පැවසුවේ ය.

බීබීසී සිංහල කළ විමසීමක දී වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා ප්‍රකාශ කළේ මෙවර ණය වාරිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරනු ලැබුවත්, ඔවුන් විසින් ශ්‍රී ලංකාවට එම කැපවීම් ඉටු කරන ලෙස වැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව ය. මීට පෙර 16 වතාවක් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය පහසුකම් ලබාගෙන තිබුණ නමුත් ඇතැම් ඒවා අතරමග නතර කර තිබෙන්නේ ශ්‍රී ලංකාව පොරොන්දු වූ කැපවීම් ඉටු කිරීමට අපොහොසත් වූ අවස්ථා වලයි.


DAFSEජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම යටතේ තුන්වන ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා වන සාකච්ඡාව (ජුනි 12 වැනිදා) පැවැත්වීමට නියමිතය

 

"ණයක් නොව ජාත්‍යන්තරයට සහතිකයක්"

මහාචාර්ය අමින්ද මෙත්සිල පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන මෙම ණය පහසුකම යනු ණයකටත් වඩා ජාත්‍යතරයට ලබා දෙන සහතිකයක් බවයි. "මේ විස්තීරණ ණය පහසුකම යටතේ අපට මාස හයක කාලසීමාවකට ලැබෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක් වගේ මුදලක්. නමුත් ශ්‍රී ලංකව වර්තමානය වන විට විදේශ ප්‍රේෂණ සහ අපනයන වලින් ඊට වඩා වැඩි ආදායමක් ලබනවා. මෙම ණය මුදලේ මූල්‍ය වටිනාකමට වඩා එය ජාත්‍යන්තරයට පණිවුඩයක් දෙනවා අපි මේ වෙනකොට අපේ රට තුළ හොඳ මූල්‍ය විනයක් හදාගනින් ඉන්නවා කියලා," මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

ඔහු පවසන්නේ තවත් සිදු කිරීමට නොහැකි වූ ණය ප්‍රතිව්‍යුහගතකරණයට එය හොඳ අවස්ථාවක් ලබා දෙන බවයි. දැනටමත් මේ නිසා යම් රටවල් සහ ආයතන ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාවය පල කර ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.

වර්තමානය වන විට ශ්‍රී ලංකාවට මාසික විදෙස් ප්‍රේෂණවලින් ඩොලර් මිලියන 500ක පමණ ආදායමක් ඇති අතර, අපනයන ආදායම මාසිකව ඩොලර් බිලියනයක් පමණ වේ. වසරකට ජාත්යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 600කට අධික මුදල ශ්‍රී ලංකාවේ ඩොලර් හිඟය පියවා ගැනීමට සහයක් වනු ඇත. එමෙන් ම එය දැනට පසුව මුදල් ගෙවීමට ලබා ගන්නා ආනයන වලට ද ධනාත්මක බලපෑමක් ඇති කරයි.

කොන්දේසි ඉටු කිරීම ජනතාවට පීඩාවක් ද?

මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා ගෙන් බීබීසී සිංහල විමසා සිටියේ මෙම පොරොන්දු වූ කොන්දේසි ඉටු කීරීම ජනතාවට කුමන ආකාරයෙන් බලපාන්නේ ද යන්නයි. එහි දී මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව විසින් ඉටු කිරීමට එකඟ වූ පොරොන්දුවල කිසිඳු ගැටළුවක් නොමැතිවුවත් ඒවා ඉටු කිරීමට තෝරාගන්න ක්‍රමය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බව ය.

බදු ආදායම වැඩි කරගැනීමට බදු ගෙවන ජාලය පුළුල් කරගැනීමක් සිදු නොකර එකම පිරිසකට නැවත නැවත බදු ගැසීම සුදුසු නොවන බව ඔහු පෙන්වා දෙයි."දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක් පමණ තිබුණ රාජ්‍ය ආදායම 8%අට අඩු වුණ නිසා ශ්‍රී ලංකාව පොරොන්දු වුණා ඒක 16%ක අගයකට ගෙන එන්න. ඒකට නැවත් කළේ වැට් එක වැඩි කාලා ඉන්න අයට තව බදු ගහපු එක. ඒ නිසා තමයි බොහෝ අය රටින් පිට වෙලා යන්නේ සහ බදු ගෙවාගෙන යන්න බැරිව ව්‍යාපාර වහලා දාන්නේ. මේ ඉලක්කම් වල ප්‍රශ්නයක් නෑ. නමුත් එය ඉටු කරන ආකාරය පිළිබඳ ගැටළුවක් තිබෙනවා."

ඩොලර් ආවත් භාණ්ඩ මිල අඩු නැත්තේ ඇයි?

ආර්ථිකය අස්ථාවර වීමත් සමඟ ආනයන සීමා හා වියදම් ඉහළ යාම හේතුවෙන් වෙළඳපොල භාණ්ඩ මිල වේගයෙන් ඉහළ ගියේ ය. මේ නිසා එම කාලය තුල උද්ධමනය 60%ක් දක්වා පවා ඉහළ මට්ටමක පැවතුණි. නමුත් වර්තමානය වන විට ආනයන සීම ලිහිල් කර ඇති අතර, විදේශ සංචිත ද ගොඩනැගෙමින් පවතින නිසා තවමත් වෙළඳපොළේ භාණ්ඩ මිල ඉහළ යාම සිදුවන්නේ ඇයිදැයි බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් තිබේ.

සරළව ම උද්ධමනය පහළ යාම යනුවෙන් අදහස් කෙරෙන්නේ භාණ්ඩවල මිල මට්ටම නොව මිල ඉහළ යාමේ වේගයයි. පසුගිය කාලයේ පැවති ආර්ථික තත්වය යටතේ භාණ්ඩ මිල වේගයෙන් ඉහළ ගිය නිසා උද්ධමනය ද විශාල අගයක් ගන්නා ලදි.

වර්තමානය වන විට උද්ධමනය තනි අගයක පවත්වාගෙන යාමට රජය සමත්ව තිබුණ ද එයින් අදහස් වන්නේ භාණ්ඩ වල මිල ගණන් අඩුවනවා යන්න නොවේ. එයින් අදහස් වන්නේ භාණ්ඩවල මිල ගනන් ඉහළ යාඅමේ වේගය අඩු වී ඇති බවයි. යම්හෙයකින් භාණ්ඩ මිල අඩුවීමට නම් උද්ධමනය සෘණ අගයක පවත්වාගෙන යා යුතුයි.

(BBC සිංහල සේවය)


සබැඳි පුවත :
'අයි.එම්.එෆ් පොරොන්දු සියයට 25ක් ඉටු කර නෑ'

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්