තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම 4 කොටස

 
1965 මාර්තු 22 වැනිදා අපේ රටේ  පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනු ලැබිණි. මෙහි ප්‍රතිඵලයට අනුව ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ නායකත්වයෙන්  යුතු එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ ආසන 66 කි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය 41ක් ද, ෆෙඩරල් පක්‍ෂය 14ක් ද, ලංකා සම සමාජ පක්‍ෂය 10ක් ද, ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්‍ෂය 5ක් ද, කොමියුනිස්ට් පක්‍ෂය 4ක් ද, ද්‍රවිඩ සංගමය 3ක් ද, මහජන එක්සත් පෙරමුණ 1ක් ද, ජාතික විමුක්ති පෙරමුණ 1ක් ද, ස්වාධීන 6ක් ද පිළිවෙළින් දිනා ගත්තේය. මෙම ප්‍රතිඵලය අනුව කිසිම පක්‍ෂයකට ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීමට නියමිත ආසන ගණන හිමි වී තිබුණේ නැත. එහෙත් මෙහිදී එ. ජා. පක්‍ෂය මගින් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ෆෙඩරල් පක්‍ෂය, ශ්‍රී. ල. නි. සමාජවාදී පක්‍ෂය, ද්‍රවිඩ සංගමය, ම. එ. පෙරමුණ, ජා. වි. පෙරමුණ ආදී පක්‍ෂවල සහාය ලැබෙන බවට ලිපියක් අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මැතිතුමාට ඉදිරිපත් කිරීමට යෙදුණි. ඒ අනුව අභිනව ආණ්ඩුවක් ඇති වූ අතර එ. ජා. ප. නායක ඩඞ්ලි සේනානායක මහතා එහි ආග්‍රාමාත්‍ය ධුරයට පත්විය. එවක එය ජාතික ආණ්ඩුවක් ලෙස හැඳින්වූ අතර දේශපාලන විරුද්ධවාදීන් එය නම් කර තිබුණේ හත් හවුල් ආණ්ඩුව ලෙසිනි. 
එ. ජා. ප. නායක ඩඞ්ලි සේනානායක මහතා එහි ආග්‍රාමාත්‍ය ධුරයට පත්විය
        
මෙම හැටේ දශකයේ  අග භාගය වන විට මෙරට ජීවන වියදම මෙන්ම විරැකියාව ද විශාල වශයෙන් ඉහළ ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඩඩ්ලි සේනානායක රජය කෙරෙහි ජනතාවගේ විශාල  අප්‍රසාදයක් ගොඩනැගෙමින් පැවතිණි. මේ අතර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ආචාර්ය එන්. එම්. පෙරේරා  සහ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ප්‍රමුඛ ලංකා සම සමාජ පක්ෂයත්, දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ සහ පීටර් කෙනමන් ප්‍රමුඛ කොමියුනිස්ට් පක්ෂයත් පොදු සම්මුතියකට එළැඹ එක්සත් සමගි පෙරමුණ නමින් නව සන්ධානයක් ඇති කර ගත්හ. ඩඩ්ලි සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ රජය කෙරෙහි ජනතාව කෙතරම් කළකිරීමකට පත්ව සිටියේ දැයි කිවහොත් 1970 මහ මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණ ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල බලකණු පවා  බිම හෙලමින් තුනෙන් දෙක ද ඉක්මවන ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කරමිනි. එහි දී සමගි පෙරමුණ, මැතිවරණ කොට්ඨාස 168 න් 116 ක් ම දිනා ගැනීමට සමත් විය.
 
අමරවංශ හිමියන් වාසය කළ ගණේමුල්ලේ අමර විහාරය
         
එවක සිරි මහින්දාරාමයෙහි විහාරාධිපති ධුරය හොබවමින් සිටි පූජ්‍ය දැවමොට්ටාවේ අමරවංශ හිමියන් ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයකු බව මීට පෙර සඳහන් කළෙමි. මේ නිසා උන්වහන්සේ මහින්දාරාමයෙහි අධිපති ධූරයට පත් වූ පසු උන්වහන්සේගේ දේශපාලනය පිළිබඳව නොරිස්සූ ශ්‍රී ලංකා, සමසමාජ, කොමියුනිස්ට් පාක්ෂිකයෝ පන්සල අතහැර ගියහ. නමුත් 70 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට  අති විශාල බලයක් ලැබුණු පසු පන්සල හැර ගොස් සිටි කණ්ඩායමක් නැවත පන්සලට වැද ඒ මේ අත අභිමානයෙන් ඇවිදින්නට පටන් ගෙන තිබුණේ අමරවංශ  හිමියන්ගේ ඇස ගැටෙන්නට ය. අවශ්‍ය නම් පස් හය දෙනෙකුට වුවත් එකවර පහර දීමට තරම් කායික ශක්තියකින් සේම, අනවශ්‍ය ඕනෑම අයකු නොතකා හැරීමට තරම් අභිමානයකින් ද යුතු වූ අමරවංශ හිමියෝ,  ආණ්ඩු පක්ෂය හිස මත දරාගෙන මානයෙන් හැසිරෙන මේ මිනිසුන් ව අතුගා ඉවත දමන කුණු රොඩ්ඩක් තරමටවත් තැකීමකට ලක් නොකළහ.
           
තිලක්ගේ පියා මෙම විහාරස්ථානයේ දායක සභාවේ සෑහෙන කලක සිට විවිධ තනතුරු දරා තිබිණි. අමරවංශ හිමියන් විහාරාධිපති ධුරයට පත්වූ පසු පන්සල හැරගිය පිරිස අතර දායක සභාවේ නිලතල දැරූ කිහිප දෙනෙක් ද විණි. අමරවංශ හිමියෝ නැවත දායක සභාව රැස් කරවා අලුතින් පිරිසක් නිලතලවලට පත් කර ගැනීමට කටයුතු කළහ.    
 
FINALතිලක් සේනාසිංහ - අමර විහාරයේ දී 
       
කිසිදු දේශපාලන පක්ෂයක් කෙරෙහි විශේෂ ලැදියාවක් හෝ පක්ෂපාතීත්වයක් නොදැක්වූ තිලක්ගේ පියාට තිබූ එකම දේශපාලනය වූයේ මැතිවරණය දිනයට ඡන්දය ප්‍රකාශ කිරීම පමණි. එනිසා දැවමොට්ටාවේ අමරවංශ හිමියන් ගේ දේශපාලන දැක්ම කුමක් වුවද, උන්වහන්සේගේ පෞද්ගලික අභිමතාර්ථයන් කවරක් වුවද තිලක්ගේ පියා එය ගැටලුවක් කර ගත්තේ නැත. පොදුවේ ඕනෑම භික්ෂූන් වහන්සේ නමක කෙරෙහි දක්වන ගෞරවය අමරවංශ හිමියන් කෙරෙහි ද ඔහු තුළ නොවෙනස් ව පැවතිණි. එනිසා රටේ පැවති ආණ්ඩුව කුමන පක්ෂයකට අයත් වුවත්  තිලක් ගේ පියාට එය පන්සල හැර යාමට කාරණයක් නොවිණි. එසේම දායක සභාවේ  නිලතල තිබුණත් නැතත් ඔහු අවශ්‍ය සෑම අවස්ථාවකදීම ගමේ පන්සලට ගියේය. හාමුදුරුවරුන් ද ඇසුරු කළේය.  
         
කෙසේ වුවද අමරවංශ හිමියන් දායක සභාව රැස් කර අලුතෙන් නිලතලවලට පත් කර ගැනීමේ දී තිලක් ගේ පියා එහි ලේකම් තනතුරට යෝජනා විය. ගමේ සෙසු අය ද ඊට ඉත සිතින් කැමැත්ත පළ කළ නිසා ඔහු විහාරස්ථ දායක සභාවේ ලේකම් තනතුරට පත් විය.
         
පන්සල හැර ගිය සමගි පෙරමුණු පාක්ෂිකයෝ 70 දී සමගි පෙරමුණ බලයට පත් වීමත් සමග යළි පන්සලට යාම් ඊම් කරන්නට වූහ. නමුත් ඒ  බුදුහාමුදුරුවන් හෝ ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාවකින් නොවේ. ඔවුන් කුමක් හෝ කරන්නට අර අඳින බව පමණක් වටහා ගත හැකි වුණි. අමරවංශ හිමියන් පන්සලින් නෙරපා දමන්නට පිරිසක් සූදානම්ව සිටින බවට ද කනින් කොනින් ආරංචි පැතිර ගියේය.
 
26001244 145155946142320 974921243342441368 n බුදුහාමුදුරුවන් හෝ ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාවකින් නොවේ.
 
එක් රාත්‍රියක හදිසියේම මහින්දාරාම විහාරස්ථානයට පොලිසියෙන් කඩා වැදී තිබිණි. ඒ අමරවංශ හිමියන්ගේ කාමරයෙහි ඇඳ යට බෝම්බ සඟවා ඇති බවට පොලිසියට ලැබී තිබූ  ඔත්තුවක් නිසා ය. අමරවංශ හිමියන් වාසය කළේ ආවාස ගෙයි ඉදිරිපස කාමරයෙහි ය. ඔත්තුවට අනුව ම උන්වහන්සේගේ ඇඳ යට බෝම්බ තිබිණි. අමරවංශ හිමියන් ඒ මොහොතේම පොලිස් අත්අඩංගුවට පත්විය. පසුදින මේ ආරංචිය ලැව් ගින්නක් මෙන් පැතිර ගියේය. මේ ඇසූ තිලක්ගේ පියා කීවේ එකම වාක්‍යයක් පමණි.
         
" මට හිතුණා ඔහොම ආරංචියක් අහන්න ලැබෙයි කියලා" ඒ වදන් තුළ වූයේ සංවේගය මුසු කළකිරීම බව එම කුඩා වයසේදී නොවැටහුණත් අද තිලක්ට වටහා ගත හැකිය.
හාමුදුරුවන්ට බෝම්බ තබා ගැනීමට තිබූ  වුවමනාව කුමක්ද, බෝම්බ  තැබුවේ කවුද, කාගේ අරමුණක් මුදුන් පත් කරලීමට ද? මේ කිසිවක් අපේ රටේ දේශපාලනයට අද මෙන්ම එදාත් අදාළ  ප්‍රශ්න නොවීය. අපේ රටේ ආණ්ඩු පක්ෂයකට හැම විටම  ප්‍රශ්නයක් විණි නම් ඒ තම පක්ෂයට විරුද්ධ පුද්ගලයන් පමණි. කෙසේ හෝ ඉන්පසු දැවමොට්ටාවේ අමරවංශ හිමියන් වසර ගණනාවක් බන්ධනාගාර මැදිරියක සිර කොට තබනු ලැබීය . ඒ අතර වසර කිහිපයක්ම කළුවර කාමරයක රඳවා සිටි බව ද, උන්වහන්සේට බොහෝ සෙයින් කායික වධහිංසා පමුණුවන ලද බව ද දැනගත හැකිවිය. කළුවර කාමරයේ සිටි කාලයේ උන්වහන්සේට ආහාර ලබා දී ඇත්තේ බත් දමන ලද තැටියක් දොරට යටින් තිබූ ඉතාමත්ම සිහින් තීරුවකින් ඇතුළට තල්ලු කිරීමෙනි. එසේම දිවා රෑ වෙනසක් නැතිව කළුවර කාමරයක වසර කිහිපයක් සිටීමේ ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේ නිදහස් වූ පසු  ඇස්වල පෙනීමේ ආබාධයක් පවා හටගෙන තිබිණි. බොහෝ සෙයින් දඬුවම් විඳ වසර ගණනකින් පසු නිදහස ලැබූවද, අමරවංශ හිමියන් කෙදිනකවත් යළිත් මහින්දාරාමය ට වැඩම කළේ නැත. ඒ දිනවල අමරවංශ හිමියන් නිතර නිතර පැවසූ දෙයක් තිබිණි .
          
" මට කාට හරි ගහන්න ඕනෙ නම් අමුතුවෙන් බෝම්බ ඕනෙ නෑ. මගේ කටේ බෝම්බෙ  මට හොඳටම ඇති ඕන කෙනෙකුට ගහන්න"
අමරවංශ හිමියන් ට වැඩ වාසය කිරීම සඳහා ගණේමුල්ලේ පෙරේරා නම් දානපති යුවළක් තමන්ගේ නිවස පරිත්‍යාග කළහ. එය මුල් කාලයේ  පෙරේරා විහාරය විය. පසුව එය විහාරස්ථානයකට ගැළපෙන ලෙස සියලු අංගෝපාංගවලින්  යුතුව සකස් කරනු ලැබිණි. මේ වනවිට ගණේමුල්ලේ  අමර විහාරය ලෙසින් හැඳින්වෙන්නේ එම විහාරස්ථානය යි. අමර විහාරය එදා සේ අද ද නිරුපද්‍රිතව පැවතියත්, අමරවංශ හිමියන් මෙන්ම එම  පෙරේරා යුවළ ද අද ජීවතුන් අතර නැත. එසේම අමරවංශ හිමියන්ව සිරි මහින්දාරාමයෙන් නෙරපීමට කටයුතු කළ පිරිස අතරින් බොහෝ දෙනෙක් ද මේ වන විට සිය ජීවිතය හැර පියා ගොසිනි.
         
අමරවංශ හිමියන් සිර දඬුවම් විඳින්නට වූ පසු දායක සභාවේ බලය තමන් අතට ගන්නට යම් යම් පිරිස්වලට වුවමනාව ඇති විය.  තිලක්ගේ පියාට දේශපාලනයක් නොපැවතියත් අමරවංශ හිමියන් විසින් පත්කරන ලද අලුත් දායක සභාවේ ලේකම් ලෙස වගකිවයුතු තනතුරක් දැරූ නිසා ඔහු කෙරෙහි ද ඇතැමුන් තුළ වූයේ නොරිස්සුමකි. ඒ ඔහු අමරවංශ හිමියන්ගේ කෙනෙකු ලෙස සහ එනයින්ම "යූඑන්පී කාරයෙකු" ලෙස වැරදි වැටහීමක් ඇතිකර ගත් නිසා විය හැකිය. නමුත් ඔහු දායක සභාවෙන් ඉවත් කිරීම සඳහා සාධාරණ වරදක් සොයා ගැනීමට මෙම පිරිසට නොහැකි වුණි. අන්තිමේ ඔවුහු අපූරු බිල් පතක් මේ සඳහා යොදා ගත්හ.
 
adahanayaසේසත් ධජ ආදී සියලු අංගවලින් පරිපූර්ණ  ගෞරවාන්විත අවමගුල් පෙරහැරක් සංවිධානය කර අලංකාර රන් සිවිගෙයක් තුළ හාමුදුරුවන්ගේ දේහය තැන්පත් කර එම පෙරහැර ගම පුරා සංචාරය කිරිම
        
 
අමරවංශ හිමියන්ට පෙර මහින්දාරාමයෙහි විහාරාධිපති ධූරය දැරූ දැවමොට්ටාවේ ධම්මවංශ හිමියන් කලක් රෝගාතුරව හිඳ 1968 දී අපවත් වී වදාළ බව මීට ඉහත දැක්වීමි. එකල තිලක්ගේ පියා දායක සභාවේ භාණ්ඩාගාරික තනතුර දැරීය. ධම්මවංශ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ඉතා  ගෞරවාන්විත සහ උසස් අන්දමින් සිදු කිරීමට  තිලක් ගේ පියාට වුවමනාව තිබිණි. නමුත් ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමේ හැකියාවක් එවක දායක සභාව සතුව තිබුණේ නැත. ඔහු පෞද්ගලිකවම  ගම්පහ එවකට ප්‍රසිද්ධව පැවති  මල් ශාලාවක් වෙත ගොස් එහි හිමිකරු හමුවී මේ පිළිබඳව සාකච්ඡා කළේය. තිලක් ගේ පියාට අවශ්‍ය වී තිබුණේ මෙම අවමංගල  පූජෝත්සවය කිසිදු අඩුපාඩුවක් නැතිව, නමුත් සහන මිලකට ඉටුකරවා ගැනීමට ය. එහි ප්‍රතිඵලයක් ලෙස දේහය විවෘත පෙට්ටියක බහා අලංකාර රන් සිවි ගෙයක තැන්පත් කර ගම පුරා පෙරහැරකින් වැඩමවා අවසානයේ ආදාහන මළුවට ගෙන යාම දක්වා සම්පූර්ණ කාර්යය රුපියල් පන්සීයකට ඉටුකර දීමට මල් ශාලාවේ හිමිකරු එකඟ විය. ඉන්පසු සේසත් ධජ ආදී සියලු අංගවලින් පරිපූර්ණ ගෞරවාන්විත අවමගුල් පෙරහැරක් සංවිධානය කර අලංකාර රන් සිවිගෙයක් තුළ හාමුදුරුවන්ගේ දේහය තැන්පත් කර එම පෙරහැර ගම පුරා සංචාරය කරවනු ලැබිණි. ආදාහන පූජෝත්සවයේ කටයුතු නිමා වූ පසු තිලක් ගේ පියා එම රුපියල් පන්සීයේ බිල්පත දායක සභාවට ඉදිරිපත් කළේය. මෙතරම් උසස් ලෙස සිදුවූ අවමංගල පූජෝත්සවයක් රුපියල් පන්සීයකට කරගැනීමට හැකිවීම පිළිබඳව එදා දායක සභාවෙහි කිසිදු විරුද්ධත්වයක් පැනනැගී නොතිබූ අතර ඒ වෙනුවට බොහෝ දෙනෙකු තිලක්ගේ පියාට ප්‍රශංසා කර තිබිණි.
නමුත් අමරවංශ හිමියන්ගේ නික්ම යාමෙන් පසු දායක සභාවෙන් තිලක්ගේ පියාව ඉවත් කර ගැනීමට හේතු සෙවූ පිරිසට ඒ සඳහා  කිසිදු හේතුවක් සොයා ගැනීමට නොහැකි වූ අතර ලැබුණු එකම දෙය වූයේ මෙම බිල්පත යි. අවසානයේ  දායක සභාව රැස්වූ අවස්ථාවේදී එහි වෙනත් තනතුරක් දැරූ තිලක්ගේ පියාට ඥාති වන පුද්ගලයකු නැගී සිටියේය.
 
meetingරුපියල් දාහක් එක් දාස් පන්සීයක් ව්යදම් කරලා බොහොම වටිනා කියන විදිහට කරන්න ඕනෙ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් වියදම් කරලා තියෙන්නෙ රුපියල් පන්සීයයි.       
"මොනවා වුණත් අපේ ලේකම් පීටර් සිල්වා මහත්තයා අපේ හාමුදුරුවරුන්ට සලකනවා කියන්න බෑ.  මෙන්න ධම්මවංස හාමුදුරුවන් ගෙ ආදාහන පූජෝත්සවයට ගෙවපු මල් ශාලාවේ බිල. රුපියල් දාහක් එක් දාස් පන්සීයක් ව්යදම් කරලා බොහොම වටිනා කියන විදිහට කරන්න ඕනෙ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් වියදම් කරලා තියෙන්නෙ රුපියල් පන්සීයයි. මේක  අපේ ගමට අතිඋතුම් සේවාවක් කරපු අපේ ධම්මවංස හාමුදුරුවන්ට කළ මදි පුංචි කමක් නෙවෙයිද? ඇත්තටම උන්වහන්සේගේ අවමංගල උත්සවය ගරු ගාම්භීර විදිහට නොකිරීම උන්වහන්සේට කරපු ලොකු අපහාසයක් "
මෙම වදන් අසා තම පියා මොහොතකට සියල්ල අමතක වී ගිය කලෙක මෙන් වික්ෂිප්තව බලන අයුරු තිලක් දුටුවේය. මේ සමාජයේ  සාමාන්‍යයෙන් මිනිසුන් නින්දා විඳින්නේ හොරකම් කිරීම හේතුවෙනි. නමුත් මෙය එහි සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ පැත්ත ය. එසේම ධම්මවංශ  හිමියන්ගේ අවමංගල උළෙල සිදු වී වසර තුනක්ද ඉකුත් වී ගිය පසුව ය. එම අවමංගල පූජෝත්සවය ඉතාමත් උසස් අන්දමින් සිදු වූ බව මේ කියන  පුද්ගලයන්ද එදා පිළිගෙන තිබුණි. දැන් වරද වී තිබෙන්නේ අවමංගල  පූජෝත්සවය සාර්ථකව සහ උසස් අන්දමින් නිම කිරීම නොව ඒ වෙනුවෙන් මල් ශාලාවට ගෙවන්නට සිදු වූ මුදල කුඩා වීම ය. වියදම් වූ මුදල කුමක් වුවත් මල් ශාලාවෙන් ඉහළ මිලක් සහිත බිල්පතක් ඉදිරිපත් කළේ නම් පීටර් සිල්වා ලේකම්තුමා නිවැරදිකරුවෙකු වනු ඇත. නමුත් දැන් මල් ශාලාවෙන් ලොකු බිල් පතක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ලේකම් පීටර් සිල්වා ධම්මවංශ හිමියන්ගේ අවමංගල පූජෝත්සවය ලාභයට කර, ඒ හිමියන්ට නිගරුවක් කළේයැයි දායක සභාවේ සියලු දෙනාම ඉදිරියේ  තිලක් ගේ පියාට අපහාස විඳින්නට සිදු විය. අවමංගල පූජෝත්සවය ඉතාමත් ගෞරවාන්විත සහ උසස් අන්දමින් සිදු කිරීම ගැන එදා ප්‍රශංසා කළ මුවින් ම අද ඔවුහු මෙලෙස චෝදනා කරති.
         
වුවමනාවක් තිබුණත් නැතත් පියා පන්සලට යන විට ඔහු සමග යාම තිලක්ගේ එකල සිරිතක්ව පැවතියේ ය. එදින ද ඔහු පියා සමග දායක සභාවේ රැස්වීමට ගොස් තිබිණි. පිරිසක් එක්ව තම පියාට මෙසේ චෝදනා කරන විට තිලක්ට දැනුණේ අමුත්තකි. ඔවුන්ට එරෙහිව පියා එක වචනයක්වත් කීවේ නැත. ඔහුගේ උපැස් යුවළට යටින් දෑස දිලිසෙන අයුරු තිලක්ට පෙනිණි. ඉන්පසු ඔහු අනෙක් පසට හැරී උපැස් යුවළ  ඉවත් කර දෑස් පිස දා ගන්නා අයුරු ද තිලක් බලා සිටියේය. මහත්වූ වේදනාවකින් තිලක්ගේ සිත පිරී ඉතිරී යන්නට විය. තවමත් කුඩා දරුවකු වූ ඔහුට පියා වෙනුවෙන් කළ හැකි යමක් නොවීය. නමුත් ඔහුගේ සිත පියා කෙරෙහි උපන් වේදනාවෙන් බර වී තිබේ. පියා ගේ දෙනෙතට කඳුළු නොනැඟුණා නම් තිලක් ට මෙතරම් වේදනාවක් නැත. වේදනාව අඩු කර ගැනීමට ඔහුට කළ හැකිව තිබුණේ එකම එක දෙයක් පමණි. ඔහු පියාට පෙර ගෙදර පැමිණියේය. ඉන්පසු සම්පූර්ණ සිද්ධිය අකුරක් නෑර මව හමුවේ තැබීය. මවගේ මුහුණ කෝපයෙන් පිරී යනු දැක තිලක්ගේ  සිතට මඳ අස්වැසුමක් දැනිනි. පියා ගෙදර පැමිණි පසු මේ පිළිබඳව විමසූ මව අවසානයේ කීවේ එකම එක දෙයකි.        
 
" මීට පස්සේ  ඔය  පන්සල  පැත්ත පලාතේ යනවා එහෙම  නෙමෙයි. ආවාවෙකො කවුරුහරි මෙහාට අඬගහගෙන යන්න "
පියා සුපුරුදු ලෙසම මඳ සිනහවක් පා මුනිවත රැක්කා මිස මවට පිළිතුරක් දුන්නේ නැත.
 
image c2adb8350cදළදා මාලිගාව
 
         
මේ අතර තිලක්ගේ පාසලේ හය වෙනි ශ්‍රේණියේ දරුවන් උදෙසා මහනුවරට අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කරනු ලැබීය. තිලක්ට මේ කාලය වන විටත් මහනුවර ඉතා සුපුරුදු ස්ථානයක් විය. මවගේ මෑණියන් ගේ එනම්, ආච්චිඅම්මා ගේ දුක සැප බලන්නට අම්මා නොවරදවා ම මසකට දෙකකට වතාවක් මහනුවර අම්පිටියට යන්නීය. ඒ යන හැම ගමනකටම පියා සම්බන්ධ නොවූවත් තිලක්ටත් නංගීටත් අනිවාර්යෙන්ම ඊට සහභාගි වීමට අවස්ථාව ලැබිණි. නමුත් ඒ ගමන්වලට වඩා මේ ගමන වෙනස් ය. සෙසු මිතුරු මිතුරියන් සමග යන මෙම විනෝද චාරිකාවට  දළදා මාලිගාව හැරුණු විට පේරාදෙණිය මල් වත්ත, සංගිලි පාලම පොල්ගොල්ල ජලාශය මේ ආදී ස්ථාන ගණනාවක් ඇතුළත්ව තිබිණි. චාරිකාව සඳහා අය කරන ලද සම්පූර්ණ ගාස්තුව රුපියල් පහක් විය. මවගෙන් ඉල්ලා ගත් රතු පැහැය මිශ්‍ර රුපියල් පහේ නෝට්ටුවක් පන්ති භාර ගුරුතුමා ට දී චාරිකාවට සහභාගි වන ළමයින්ගේ ලැයිස්තුවට තිලක් තමන්ගේ නම ද ඇතුළු කරවා ගත්තේය.
         
චාරිකාව සඳහා ද ළමයින් රැගෙන යාමට පැමිණියේ කඩවත ඩිපෝවේ දොර දෙකේ ලංගම බස් රථයකි. ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පසුපස දොර ආසන්නයේ ජයසූරිය සර් නමින් හැඳින්වූ තිලක් ගේ පන්ති භාර ගුරු මහතා රැඳී සිටියේය. 6 ශ්‍රේණියේ  තිලක්ගේ පන්තිභාර ගුරුවරයා වී සිටියේ ඔහු ය. සුදු  ජාතික ඇඳුමෙන් සැරසී පාසලට පැමිණි ඔහු දරුවන්ට ඉතා හොඳින් ඉගැන්වූවා සේම එපමණටම සැර පරුෂ ගුරුවරයකු ලෙසද  ප්‍රචලිතව සිටියේය. එනිසා ඔහු ආසන්නයේ සිටියදී කිසිදු දරුවකු වැරැද්දක් කරන්නට පෙළඹුණේ නැත.
 
kandy marketමහනුවර මධ්‍යම වෙළඳපොළ
         
ගමන අවසාන වී ආපසු එන අතර තුර මහනුවර පොදු වෙළෙඳපොළ ඉදිරියේ බස් රථය නතර කෙරිණි. දැන් එම ස්ථානයෙහි බස්රථ නතර කළ නොහැකි වුවත් දැන් මෙන් ජනාකීර්ණ හෝ අධික රථවාහන තදබදයක් නොපැවති ඒ කාලයේ නගරයේ තමන් කැමති තැනක වාහනයක්  නතර කිරීමේ හැකියාවක් මහජනතාවට තිබිණි.
         
" දැන් ඔය ළමයින්ට ගෙදර ගෙනියන්න මොනවා හරි ගන්න ඕනේ නම් ගිහින් අරගෙන ඉක්මනට එනව හොඳයි" ජයසූරිය සර් විධානය කළේය.
         
තිලක් ද සෙසු ළමයින් සමග පොදු වෙළෙඳපොළ වෙත ගොස් අලිගැට පේර ගෙඩි කිහිපයක් ඇතුළු පලතුරු වර්ග කිහිපයක් ද දොදොල් ටිකක් ද රැගෙන ආපසු ආවේය. ඔහු තම අසුනට එන විටත් ඒ අසුනේ ඔහු සමග වාඩිවී සිටි අනෙක් ශිෂ්‍යයා එලෙසින්ම අසුන මත රැඳී සිටිනු දැක තිලක් තුළ ඇතිවූයේ විමතියකි.
         
"ඇයි තමුසෙ මොකුත් ගෙදරට ගෙනියන්න ගන්නේ නැද්ද?" තිලක් එම සිසුවාගෙන්  ඇසීය.
         
එක වදනක් හෝ තම මුවින් පිට නොකළ ඔහු දැඩි කෝපයකින් යුතුව  අත මිට මොලවා වේගවත් පහරක් තිලක්ගේ මුහුණට එල්ල කළේ තිලක් කිසිසේත්ම අපේක්ෂා නොකළ පරිද්දෙනි.
         
එම පහරින් තිලක්ගේ මුහුණ බලවත් සේ රිදුම් දෙන්නට විය. පෙරළා ඔහුටත් එවැනි ම පහරක් එල්ල කරන තුරු තිලක්ගේ කෝපය සංසිඳෙන්නේ නැත. නමුත් එය කළ නොහැකි වූයේ සියලුම දරුවන්ට දැන් යාමට සූදානම් වන ලෙස පවසමින් ජයසූරිය සර් බසයේ ළමයින් සියලු දෙනාම සිටින්නේ දැයි සැක හැර දැනගන්නට ගණන් කරන්නට වූ නිසා ය.
 
DSC 7014 copyමහනුවර දුම්රිය මාර්ගය
          
නමුත් කෙසේ හෝ නිකරුණේ තමාට පහර ගැසූ කොලුවාට දඬුවමක්  දිය යුතුමය. එනිසා එම සිසුවාගේ කොට කළිසමට පහළින් කකුල අල්ලා ගත් තිලක් ඉතා තදින් කොනිත්තන්නට පටන් ගත්තේය. එවර එම සිසුවා හඬන්නට විය. තිලක් වට පිට බැලීය. ළමයින් කෑගසමින් සින්දු කියමින් යන නිසා මේ කොලුවාගේ හැඬීම කාටවත් ඇසෙන්නේ නැති බව පැහැදිලි ය. නමුත් හදිසියේවත් ජයසූරිය සර්ට මේ ගැන දැනගන්නට ලැබුණොත් මදි නොකියන්නට ගුටි ලැබෙනු ඇත.
        
" හරි හරි තමුසෙ අඬන්නෙ නැතුව ඉන්නවකෝ. මම තමුසෙට ගැහුවෙ තමුසෙ මට නිකං අපරාදේ ගහපු හින්දනේ. ඇයි තමුසෙ මට ගැහුවෙ ?" තිලක් එම සිසුවාව අස්වසන්නට පටන් ගත්තේය.
         
" තමුසෙලට සල්ලි තිබුණට අපට ඕව ගන්න සල්ලි නෑ ඕයි"  යි කී ඔහුගේ හැඬුම තවත් උත්සන්න විය.
         
" ඇයි සල්ලි නැත්තෙ?" තිලක්  පෙරළා ඇසීය.
         
" අපේ තාත්තට රස්සාවක් නෑ ඕයි. අපි හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. මම මේ ගමන එන්න රුපියල් පහ ඉල්ල ගත්තෙත් මගේ නැන්දා කෙනෙකුගෙන් " කියමින් ඔහු යළිත් හඬන්නට පටන් ගත්තේය.
          
තිලක්ගේ පපුවට  දැනුණේ කවදාවත් නොදැනුණ අන්දමේ සංවේගයකි. ඔහු ද කඳුළු පිරි දෙනෙතින් යුතුව කොනිත්තූ කකුල නැවත අතගාමින් සිසුවා සනසන්නට විය.
         
" තමුසෙ අඬන්න එපා. මම ගත්තු ඒවයින් භාගයක් මම තමුසෙට දෙන්නම්. තමුසේ ඒවා අරගෙන ගිහින් ගෙදර අයට දෙනවා. මට නංගිට ගෙනියන්න මොනවා හරි ටිකක් තිබුණම ඇති"
          
එසේ කී තිලක් තමන් ගත් දේවල්වලින් හරි අඩක් ඔහුගේ බෑගයට දැමීය. මෙතෙක්  වේදනාව සහ කෝපය මුසු වී තිබූ ඔහුගේ මුහුණට සතුටු සිනාවක් නැගෙනු තිලක් බලා සිටියේ මහත් අස්වැසුමකිනි.
 
IMG 20240614 WA0023දුම්රිය පාරේ සිට බලන විට ගණේමුල්ල හේමමාලි මහා විද්‍යාලය දිස්වන අයුරු
          
හේමමාලි මහා විද්‍යාලයේ තිලක්ගේ පන්තිය තිබූ ගොඩනැගිල්ල රේල්පාර පෙනෙන මානයේ පිහිටා තිබිණි. ඒ කාලයේ පාසල්වල සිසුන්ට කෘෂිකර්ම කාල පරිච්ඡේදයක් තිබිණි. ඒ කාල පරිච්ඡේදය තුළදී ඒ ඒ පන්තිවලට වෙන්කර තිබූ පාසල් භූමියේ ස්ථානයක එළවළු වැනි දෑ වගා කළ යුතු විය. වගාවට පොහොර සඳහා අවශ්‍ය ගොම, ළමයි ගෙවල්වලින් ගෙන ආහ. ඒ කාලයේ බොහෝ ගෙවල්වල එළ හරක් ඇති කළ නිසා ගොම සොයා ගැනීමේ ගැටලුවක් ගම්බද පාසල්වල සිසුන්ට නොවිණි.
        
තම පන්තියට අයත් එළවළු පාත්තිය අසල තිලක්, තවත් සිසුවකු හා කතා බහ කරමින්  සිටියේ ය. එම එළවළු පාත්තියට රේල් පාර  ඉතා හොඳින් දිස් වෙයි.
 
ජයසූරිය සර්ගෙන් නිතිපතා ගුටි කන සිසුන් අතර මේ සිසුවා ද එක් එක් අයකි.
        
" මට ජීවිතේ එපා වෙලා බං තියෙන්නේ" එම සිසුවා තිලක් ට කීය.
        
" ඇයි උඹ එහෙම කියන්නේ?" තිලක් ඇසුවේ කලබලයෙනි.
        
" මට මොළේ නෑ බං. මං හරි මෝඩයෙක්. සර් මට හැමදාම ගහනව. මට ඉගෙන ගන්න බෑ. ඉගෙන ගන්න බැරි එකෙක් වෙලා ඉඳලා වැඩක් නෑ. මෙහෙම මෝඩයෙක් වෙලා මම ජීවත් වෙන්නෙ මොකටද ? මම කෝච්චියට පනිනව බං "
         
ඔහු පැවසුවේ ඉමහත් කලකිරීමකිනි.
 
360 F 287601947 Y1kN6Nc6KtH34s3wKkoNHjrHmtubVhZtසිසුවා ඉගෙනීමට දැක්වූ අදක්ෂතාවය නිසාම දිනපතා ම වාගේ ජයසූරිය සර්ගේ වේවැල් පහරට ලක් විය.
         
මේ සිසුවා ඉගෙනීමට දැක්වූ  අදක්ෂතාවය නිසාම දිනපතා ම වාගේ ජයසූරිය සර්ගේ වේවැල් පහරට ලක් විය. බැරිම තැන ඔහු එක කොට කලිසමකට උඩින් තවත් කොට කලිසමක් ඇඳගෙන පාසල් එන්නට පටන් ගත්තේ ය. මෙය පන්තියේ අනෙක් පිරිමි ළමයි දැනගත්හ. ජයසූරිය සර් ඊළඟ දිනයේ වේවැලෙන් පහර දෙන විට එක් කටකාර කොල්ලෙක් නැගිට "සර් එයා කලිසම් දෙකක් ඇඳගෙන ඇවිල්ලා ඉන්නේ" යැයි පැවසීය.
" ආ..... එහෙමද, ඩබල් බැරල් නේද ? " කියමින් ගුරුවරයා ඊළඟ වේවැල් පහර එල්ල කළේ එම සිසුවාගේ දෙකකුල්වලට ය. වේවැල් පහරින් ලද වේදනාව නිසා ඔහු එහාටත් මෙහාටත් ඇඹරුණේය.
        
මේ සිසුවා සිටියේ බලවත් ඉච්ඡාභංගත්වයකිනි. තම අනාගතය පිළිබඳ ඔහුට කිසිදු විශ්වාසයක් නොමැති බව තිලක්ට වැටහී ගියේය. දුම්රියට පැන ඔහු දිවි තොර කර ගනීවි යැයි තිලක්ට මහත් බියක් දැනිණි.
        
 
" බයවෙන්න එපා තමුසෙට වැඩ කරන්න පුළුවන් තව ටිකක් උනන්දු වුණොත්. තමුසේ ජීවිතේ  නැති කරගත්තොත් අම්මයි තාත්තයි කොච්චර දුක් වෙයිද ? ඒ ගැන හිතපං. ඔය අදහස තමුසෙ දැම්මම හිතෙන් අයින් කරගන්න ඕනේ. අපි යමු පන්තියට" තිලක් ඔහුට තේරෙන ආකාරයෙන් සිසුවා ගේ සිත සනසන්නට උත්සාහ දැරීය.
 26092012953එදා ඔහු දුම්රියට පැන්නේ නැත
       
කෙසේ හෝ එදා ඔහු දුම්රියට පැන්නේ නැත. තම දිවි තොර කර ගන්නට අන් ක්‍රමයක් යොදා ගත්තේ ද නැතුවා විය හැකිය. ඉහළ ශ්‍රේණිවලට යන විට පන්තිවල සිසුන් මාරු කරන නිසා එම සිසුවා නැවත තිලක් ට තමන්ගේ පන්තිය තුළ හමුවූයේ නැත. මෙවැනි දුරස් වීම්  හේතුවෙන් කල් ගත වන විට ඔහු පිළිබඳ මතකය තිලක්ගේ සිතින් ගිලිහී ගොස් තිබිණි. එසේම ඔහු සාමාන්‍ය පෙළ පන්තියට අගනුවර ප්‍රසිද්ධ පාසලකට ඇතුළත් වූ බවද දැනගත හැකි විය. තවත් කලක් ගත වන විට වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ බව ද ආරංචි වුණි. ඉන්පසු වසර ගණනක් යනතුරු ඔහු පිළිබඳ කිසිදු ආරංචියක් ලැබුණේ නැත. කාලයකට පසු නැවත ඔහු පිළිබඳ  තොරතුරක් තිලක්ට අහඹු ලෙස දැනගන්නට හැකි විය. ඒ, ඔහු ජාත්‍යන්තර සංවිධානයක  ඉතා ඉහළ තනතුරක් දරමින් යුරෝපීය රටක ඔහුගේ බිරිඳ හා දරුවන් ද සමඟ ඉතාමත්  සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බවයි.
 
නැවත හමුවෙමු.
 
සටහන  : ඉන්දු පෙරේරා

 
 
 
 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්