පවතින තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ රජයට ආර්ථිකය පවත්වාගෙන යෑම සඳහා ණය ලබා නොගෙන බැරි බව පැහැදිලිය. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර

'ඬේලි ෆයිනෑන්ෂල් ටයිම්ස්' වෙත ලබාදී තිබුණු සම්මුඛ සාකච්ජාවකින්ද පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව මේ මොහොතේ ණය ලබාගැනීමටත්, දැනට ගෙවීමට ඇති ණය වාරික කල් දැමීමටත් බලාපොරොත්තු වන බවය.

මීට පෙර ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වාදී තිබුණු පරිදි කොවිඞ්-19 වසංගතය නිසා ක්ෂේත්‍ර ගණනාවක්ම කඩාවැටී ඇති පසුබිමක ශ්‍රී ලංකාවට දැන් ණය ලබා නොගෙන කටයුතු කිරීමේ හැකියාවක් ඇතැයි පෙනෙන්නට නැත.

ඇත්තෙන්ම කොවිඞ්-19 වසංගතයට පෙර සිටම ශ්‍රී ලංකාවට විශාල ණය ලබාගැනීමේ වුවමනාවක් තිබුණි. ඒ බව ප්‍රසිද්ධියේම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඇතුළු ආණ්ඩුවේ නායකයන් කියා තිබුණි. එමෙන්ම වත්මන් ආණ්ඩුව බලයට පත්වූ විගසම ණය ලබාගැනීමක්ද කර තිබුණි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට කොවිඞ්-19 වසංගත තත්වය නිසා ගෙවීමට නියමිත ණය වාරික කල් දමාගැනීමටත්, තවත් ණය ලබාගැනීමටත් හැකියාවක් ඇත.

'ඬේලි ෆයිනෑන්ෂල් ටයිම්ස්' වෙත අදහස් දක්වමින් ජනාධිපති ලේකම්වරයා කියා ඇති කරුණුවලින් පැහැදිලි වෙන්නේ ආණ්ඩුව කිසිදු තිරිංගයක් නැතිව තව තවත් ණය ලබාගැනීමේ අධිවේගී මාර්ගයේම ගමන් කිරීමට සූදානම් බවය. ණය ගෙවීම සඳහා වසර දෙකතුනක සහන ලබාගෙන තව තවත් ණය ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කළොත් ඒ සියල්ලෙහි ප්‍රතිඵල වසර දෙකතුනකින් ගෙවන්නට සිදුවීමේ ඉඩක් ඇත.

 

පාර්ලිමේන්තුව නැතිව:Test 28 1

කෙසේ වෙතත් තව තවත් ණය ලබාගැනීමේ ප්‍රතිපත්තිමය තීන්දුවට වඩා මේ මොහොතේ ඇති විශාලම ගැටලූව වන්නේ පාර්ලිමේන්තුවක් නොමැතිව විදේශ ණය ලබාගන්නේ කෙසේද යන්නයි. එය ව්‍යවස්ථාවට පටහැණි ක්‍රියාවකි.

වාර්ෂිකව රටක් ලබාගන්නා ණය ප්‍රමාණය සඳහා ණය ගැනීමේ සීමාවක් අයවැයකින් සම්මත කරගනු ලබයි. ඒ ණය ගැනීමේ සීමාවට යටත්ව ණය ගැනීම් කළ හැකිය. දැන් අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් නොමැතිව පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැතිව ණය ලබාගන්නේ කෙසේදැයි විමසිය යුතුය. ඒ ගැන විස්තර ඉදිරියේදී පැහැදිලි කරන්නෙමු.

 

IMF ණය:

අප්‍රේල් 28 වැනිදා 'ඬේලි ෆයිනෑන්ෂල් ටයිම්ස්' පුවත්පතේ පළවූ වාර්තාවකට අනුව, එම පුවත්පත වෙත අදහස් දක්වමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ණය ගැනීමේ අවශ්‍යතාව ගැන කියා ඇත.

‘මාර්තු 15 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඞ්-19 ගෝලීය අධි-වසංගත තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඞ්රොස් ඇඩනොම්ගෙන් ඉල්ලීමක් කළා සංවර්ධනය වූ රටවලින් දිළිඳු රටවල් වෙත ණය සහන ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන්න කියා.

අපි නිල වශයෙන් බහුපාර්ශ්වීය සහ ද්විපාර්ශ්වීය සංවර්ධන සහකරුවන්ගෙන් මේ අත්‍යවශ්‍ය මොහොතේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා.

අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඉල්ලා සිටියා දැනට ලබාදී තිබෙන ව්‍යාප්ත කළ අරමුදල් පහසුකම් (අයිඑෆ්එෆ් පහසුකම) ක්ෂණික මූල්‍ය පහසුකමක් (ආර්සීඑෆ්) පහසුකමක් දක්වා දීර්ඝ කරන්න කියා.’

ඊඑෆ්එෆ් හා ආර්සීඑෆ් යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදෙන මූල්‍ය පහසුකම් වර්ග දෙකකි.

ශ්‍රී ලංකාවට පසුගිය ආණ්ඩුව සමයේ ලබාදුන් ඊඑෆ්එෆ් සහනයෙන් සිදු කරන්නේ ණය ගෙවීමට අසීරු, ආර්ථික වර්ධනය දුර්වල, ආර්ථික සැකැස්මේ අඩුපාඩු ඇති රටවලට නැවත ආර්ථිකය ගොඩගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීමය.

මෙම මූල්‍ය පහසුකම ලබාදෙන්නේ නැවත ආර්ථිකය ගොඩගැනීම සඳහාය. එම නිසා මෙම මූල්‍ය පහසුකම් සමඟ රටේ ආර්ථිකය දුර්වල වීමට හේතු වූ ආකෘතිමය අඩුපාඩු නැවත සකසාගැනීමට අදාළ විවිධ කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවයි.

එම කොන්දේසි රටට අහිතකර ඒවා නොවන අතර මූල්‍ය විනයක් පවත්වාගැනීමට අදාළ කොන්දේසිය.

ආර්සීඑෆ් පහසුකමක් යනු හදිසි ආපදාවක්, විශාල ආර්ථික කඩාවැටීමක් සිදුවූ අවස්ථාවක අඩු කොන්දේසි සමඟ ලබාදෙන ණය පහසුකමකි.

 

IMF වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 800ක් අපේක්ෂාවෙන් !

ශ්‍රී ලංකාවට පසුගිය වසරේදී ලැබීමට නියමිතව තිබුණු ඊඑෆ්එෆ් සහන වාරිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස් දී තිබුණු ආකාරයට මූල්‍ය විනය පවත්වාගැනීමට අසමත් වූ නිසා අහිමි විය.

‘මීට පෙර ඊඑෆ්එෆ් පහසුකම ලැබූ අවස්ථාවට වඩා වෙනස්, ශ්‍රී  ලංකාව දැන් ඉන්නේ වෙනම ප්‍රතිපත්තියක් සහිත රජයක් යටතේ. ඒ වගේම කොවිඞ්-19 වසංගතය නිසා ආපදාවට මුහුණදුන් පසුබිමක. එම නිසා ඊඑෆ්එෆ් පහසුකමක් යටතේ පනවන කොන්දේසි සපුරාලීමට අසීරු තත්වයක් යටතේ.’ පී.බී. ජයසුන්දර මහතා එසේ කියා තිබුණි.

‘අපට සෞඛ්‍ය සේවාව සහ සමාජ ආරක්ෂණය පවත්වාගෙන යෑම සඳහා හදිසි අවස්ථා අරමුදල් අවශ්‍යයි. ඒ තමයි තර්කය. ආර්සීඑෆ් යටතේ ඩොලර් මිලියන 800ක පහසුකමක් ලබාගත හැකියි. අප විශ්වාස කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ඉල්ලීම ඉටු කරනු ඇති බව.’ ඔහු වැඩිදුරටත් එසේ කියා ඇත.

 

තවත් ණය:

මේ ආකාරයටම රජය ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන අරමුදලෙන්ද හැකි තරම් ආධාර සපයන ලෙස ඉල්ලීම් කර ඇත. ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාව දැනටමත් ණය ආධාර ලබා ඇත.

4.4 2020 වසරේදී ගෙවීමට ඇති ණය වාරිකවල වටිනාකම ඩොලර් බිලියන 4.4ක්!

මේ අතර ශ්‍රී ලංකාවට ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ මීට පෙර ලබාගෙන ඇති ණය නැවත ගෙවා දැමීමය.

2020 වසරේදී ගෙවීමට ඇති ණය වාරිකවල වටිනාකම ඩොලර් බිලියන 4.4ක් පමණ වේ. ඒ අතර ඩොලර් බිලියන 2ක් පමණ වටිනා ද්විපාර්ශ්වීය හා ඩොලර් බිලියන 1ක් වටිනා බහුපාර්ශ්වීය වාරික ඇත. ජාත්‍යන්තර ණය සුරැකුම්පත් වාරිකයක් ඔක්තෝබර් මාසයේදී ගෙවීමට ඇත.

ෆිච් රේටින් ආයතනයට අනුව මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ගෙවීමට ඇති මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 3.2ක් පමණ වේ. 2021 සිට 2023 දක්වා ඩොලර් බිලියන 13.8ක් ගෙවීමට ඇත. මේවායින් සැලකිය යුතු කොටසක් ගෙවීමට සහන කාලයක් ලබාගතහොත්, එය රජයට සහනයක් වනු ඇත.

එහෙත් ගැටලූව වන්නේ ඒ සහනය පාවිච්චි කරමින්, ජනතාවට සහන දී ආර්ථිකය නංවන්නට කටයුතු කරනු ඇතිද කියාය. නැත්නම් සංදර්ශන පවත්වමින්, රාජ්‍ය සේවය පුළුල් කරමින් ඒ සහනය අපතේ හැර 2023 වෙද්දි නැවත සුපුරුදු ණය උගුලේම හිරවෙනු ඇතිද කියාය. එතැනිනුත් එහාට ගොස්, 2023 දී තවත් අලූත් ණය බරක්ද එකතුවනු ඇතිද කියාය.

''එහෙත් ගැටලූව වන්නේ ඒ සහනය පාවිච්චි කරමින්, ජනතාවට සහන දී ආර්ථිකය නංවන්නට කටයුතු කරනු ඇතිද කියාය. නැත්නම් සංදර්ශන පවත්වමින්, රාජ්‍ය සේවය පුළුල් කරමින් ඒ සහනය අපතේ හැර 2023 වෙද්දි නැවත සුපුරුදු ණය උගුලේම හිරවෙනු ඇතිද කියාය. එතැනිනුත් එහාට ගොස්, 2023 දී තවත් අලූත් ණය බරක්ද එකතුවනු ඇතිද කියාය.''

‘වසරේ මුල සිටම අපි මොන අමාරුව තිබුණත් ණය ගෙවීම කරගෙන යනවා. කොවිඞ්-19 වසංගතය පැමිණීමෙන් පසුවත් අපි ණය ගෙවීම කරනවා.’ ඬේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙත දැනට ඇති ණය ගැන පී.බී. ජයසුන්දර කියා ඇත.

‘කුමන තත්වයක් යටතේවත් ණය ගෙවීම් පැහැරහැර ශ්‍රී  ලංකාවේ ආර්ථිකය ගැන ජාත්‍යන්තර අපකීර්තිය ඇතිවෙන අන්දමට අප කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ. අපට ආජන්ටිනාවක් විය නොහැකියි.’ ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා තිබුණි.

මේ අතර ශ්‍රී ලංකාවේ රජය ණය ලබාගෙන ඇති ජපානය, චීනය, යුරෝපා සංගමය, ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ ඉන්දියාව ඇතුළු විවිධ රටවලින් ඉදිරි වසර දෙක සඳහා ණය වාරික කල් දමන ලෙස ඉල්ලීම් කර ඇති බවත් එම පාර්ශ්වයන්ගෙන්ද මූල්‍යමය සහයෝගය හෝ ණය වාරික කල්දැමීම ඇතුළු සහයෝගයන් බලාපොරොත්තු වන බවත් පී.බී. ජයසුන්දර කියා ඇත.

 

ඒකාබද්ධ අරමුදල:

SL Parliament''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතිව ‘ඒකාබද්ධ අරමුදලෙන්’ මුදල් වියදම් කළ හැකි බව
ආණ්ඩු හිතවාදී ‘ව්‍යවස්ථා විශේෂඥයෝ’ කියති.''

මේ සියල්ල මැද අප නැවත ව්‍යවස්ථාමය පසුබිම ගැන කතාකළ යුතුය. මේ සියල්ල සිද්ධවෙන්නේ පාර්ලිමේන්තුවක් නැතිවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතිව ‘ඒකාබද්ධ අරමුදලෙන්’ මුදල් වියදම් කළ හැකි බව ආණ්ඩු හිතවාදී ‘ව්‍යවස්ථා විශේෂඥයෝ’ කියති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි පරිච්ෙඡ්දයෙන් ව්‍යවස්ථාවෙන් රාජ්‍ය මූල්‍ය ගැන විස්තර කර ඇත. ඒ පරිච්ෙඡ්දයේ මුලින්ම සඳහන් වන්නේ 148 වැනි ව්‍යවස්ථාවයි. එය මෙසේය.

‘රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතු වන්නේය. පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ නීතියක හෝ පවත්නා යම් නීතියක හෝ අධිකාරය අනුව හෝ ඒ යටතේ හෝ මිස කිසිම පළාත් පාලන ආයතනයක් විසින් හෝ වෙනත් පොදු අධිකාරයක් විසින් හෝ කිසිම බද්දක්, වරිපනමක් හෝ වෙනත් යම්කිසි බදු විශේෂයක් නියම කිරීමට බලය නොමැත්තේය.’

මෙහි ‘සම්පූර්ණ බලය’ යන යෙදුම වැදගත්ය. විධායකයට රාජකාරි කිරීම සඳහා නීතිමය පසුබිම සැකසීමත්, මූල්‍යමය පහසුකම සැපයීමත් යන දෙකම සිදු කරන්නේ පාර්ලිමේන්තුවය. ඒ අනුව වාර්ෂිකව අය කළ යුතු බදු මුදල්, වෙනත් ආදායම් සහ ණය ගැනීමේ සීමාව පාර්ලිමේන්තුවෙන් නියම කරනු ලබයි.

149 ව්‍යවස්ථාවෙන් ඒකාබද්ධ අරමුදල ගැන විස්තර කර ඇත. ‘නියමිත කාර්යය සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබුවා වූ ද, ජනරජය සතු වූ ද, සියලූම අරමුදල් එක්ව ඒකාබද්ධ අරමුදල නමැති අරමුදලක් වන්නේය. සියලූම අය බදු, තීරු බදු, වරිපනම් හා ගාස්තු යන මාර්ගවලින් ලැබෙන ආදායම්ද, නියමිත කාර්ය සඳහා වෙන්කරනු නොලැබූ ජනරජය සතු සෙසු සියලූම ආදායම් සහ ලැබීම්ද ඒකාබද්ධ අරමුදලට ගෙවිය යුත්තේය.’

150 (3) ව්‍යවස්ථාව මෙසේය. ‘යම්කිසි වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැුස්වීමට නියමිත දින සිට මාස තුනක් ඉකුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා යම් කිසි මුදලක් අවශ්‍ය වෙතැයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත්, වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය.’

ඒ අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව නැතිව කළ හැකි එකම දෙය ඒකාබද්ධ අරමුදලේ මුදල් වියදම් කිරීම පමණය.

 

'දැන් රජයට ආනයනවලින් ලැබෙන තීරු බදු විශාල වශයෙන් අහිමිය'

දැන් රජයට ආනයනවලින් ලැබෙන තීරු බදු විශාල වශයෙන් අහිමිය. සරල උදාහරණ කිහිපයක් කිව හැකිය. ශ්‍රී  ලංකා වරාය අධිකාරියෙන් ලැබුණු දැවැන්ත ආදායම කප්පාදු වී ඇති බව වාර්තා පළ විය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබාගැනීමට බලාපොරොත්තු වූ ලාභයද අහිමි වන්නේ වාහන අඩු වීමෙන් ඉන්ධන පරිභෝජනය අඩු වී ඇති නිසාය.

වාහන නොමැති නිසා පොලීසියට වාර්ෂිකව ලැබෙන දඩ මුදල් පවා දැන් ලැබෙන්නේ නැත. මත්පැන් අලෙවි කිරීමෙන් ලැබෙන බදු ආදායමත් නැත.

මේ සියල්ල මැද වියදම් අධික ලෙස ඉහළ ගොස් ඇත. සෞඛ්‍ය පහසුකම්වල සිට සහනාධාර පහසුකම් සැපයීම දක්වා වියදම් අධිකය.

''මෙවැනි පසුබිමක ‘ඒකාබද්ධ අරමුදලෙන්’ පමණක් වියදම් කරමින් ඉන්නට බැරි බව පැහැදිලිය. දැන් ඇත්තේ එදිනෙදා රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමේ ප්‍රශ්නයක් නොවේ. සම්පූර්ණයෙන්ම කඩාවැටුණු ආර්ථිකයක් ගොඩගැනීමට අදාළ ආර්ථිකමය ක්‍රියාදාමයකි. 150(3)න් ඒකාබද්ධ අරමුදලේ මුදල්
වියදම් කිරීමට ඇති බලය
කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.''

මෙවැනි පසුබිමක ‘ඒකාබද්ධ අරමුදලෙන්’ පමණක් වියදම් කරමින් ඉන්නට බැරි බව පැහැදිලිය. දැන් ඇත්තේ එදිනෙදා රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමේ ප්‍රශ්නයක් නොවේ. සම්පූර්ණයෙන්ම කඩාවැටුණු ආර්ථිකයක් ගොඩගැනීමට අදාළ ආර්ථිකමය ක්‍රියාදාමයකි.

150(3)න් ඒකාබද්ධ අරමුදලේ මුදල් වියදම් කිරීමට ඇති බලය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

දැනටමත් විපක්ෂය ආණ්ඩුවට සහයෝගය දෙන බව කියා ඇත. ඒ නිසා ආණ්ඩුවට කරන දෙයක් පාර්ලිමේන්තුව කැඳවා ව්‍යවස්ථාවට අනුව කළ හැකිය. නැතිනම් ව්‍යවස්ථා විරෝධීව සියල්ල සිදු කළ හැකිය.

ලොකුම බිය ඇත්තේ පාර්ලිමේන්තුවත් නැතිව, ව්‍යවස්ථාවටත් පිටින් ලංකාව ණය උගුලක සිර කරනු ඇතිද කියාය.

(anidda.lk - තරිඳු උඩුවරගෙදර: 28/04/2020)

Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්