මැදපරෙදිග යුධගැටුම්වල අලුත් ම ජවනිකාව දැන් භූ දේශපාලන කරළියට පැමිණ ඇත්තේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එකඟ වූ තාවකාලික සටන් විරාමයත් ඔස්සේ ය.
2023 ඔක්තෝම්බර් 07වන දින හමාස් සංවිධානය එල්ල කළ කෲර සහ අමාණුෂික ත්‍රස්ත ප්‍රහාරයෙන් බටහිර ලෝකයේ යුද ශූර ඊශ්‍රායලය තූෂ්නිම්භූත විය.
ජෝ බයිඩන් සහ ඔලාෆ් ෂූට්ස් ජනතා අප්‍රසාදයට...

ලෝකවාසී සියලු දෙනාගේ දැඩි දෝෂදර්ශනයට ලක්වීමෙන් ඇමරිකාවේ අනුග්‍රහය යටතේ පලස්තීන ගාසාතීරයේ ජන සංහාරය මිනිස් ඝාතන, මූලික මානුෂික අයිතිවාසිකම් ඇතුළු ජාත්‍යන්තර යුද නීති උල්ලංඝන තාවකාලිකව නැවතී ඇත්තේ මිනිස් ජීවිත 48000 ඉක්මවා නැති කරමින් ය. ඊශ්‍රායලය සිය ආත්ම ආරක්ෂාවට සහ සිය පුරවැසියන් ප්‍රාණ ඇපකරණයෙන් නිදහස් කරගැනීමට දියත්ළකල අමානුෂික සහ විනාශකාරී යුද්ධය ඉතිහාසයේ කුමණ ආකාරයකටවත් සාධාරණීයකරණය කරගැනීමට අපොහොසත් වනු ඇත.
නවීණ යුධ තාක්ෂණයෙන් සහ බුද්ධි තොරතුරු සම්පිණ්ඩන විශේෂඥ ඊශ්‍රායලයට එකඳු ප්‍රාණ ඇපකරුවෙක් හෝ නිදහස් කරගැනීමට නොහැකි විය. කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහය දුන් ඇමරිකාවේ බයිඩන් ජනාධිපතිවරයාගේ සහ ජර්මණියේ ඕලාෆ් ෂූට්ස් චාන්සලර්වරයාගේ රජයන්ට මහජනතාවගේ අප්‍රසාදය දැඩිව එල්ල විය.

ඉහත ඡේදයේ පුරෝකථනය දේශපාලනික වුවමනා තකා දේශපාලන සහ අපරාධ නඩුවලට වරදකරුවන් වන සිරකරුවන් නිදහස් කරලීමේ ආදීනව, ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි පැවැත්මට කරන බලපෑම පිළිබඳ විමසුමක් කිරීම මූලික කරගෙන අදහස් කිහිපයක් පෙළගැස්වීමට ය.
ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය

ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්ම රඳාපවතිනුයේ එම පාලන ක්‍රමවේදය තුලනාත්මකව ක්‍රියාකරවීම බලගන්වන විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය වපසරිය ශක්තිමත් වුවහොත් පමණි. ඊට අමතරව ඕනෑම සමාජයක මූලික මිනිස් අයිතිවාසිකම්, සංවිධාන වීමට සහ භාෂණයේ සහ ප්‍රකාශණයේ නිදහස ප්‍රමාණවත්ව පැවැත්ම ප්‍රජාතන්ත්‍රවාදය මුල් බැසගැනීම වේගවත් කරවයි.
විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණ ත්‍රිත්වය ස්වාධීනව කටයුතු කරනවා යන හැඟීම විශ්වාසය පොදුජන මතය වීම ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යාවශ්‍ය ගුණාංගය යි. එහෙත් දේශපාලන බලය රැක ගැනීමට සහ උඳුරාගැනීමට බොහෝ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල දේශපාලනඥයින් කටයුතු කරන ආකාරය ගැන සෑහීමකට පත්විය නොහැකි ය. මෙම හේතුව ම පාලකයින් සහ පාලිතයින් අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය දැඩිලෙස පලුදු කර ඇත.

එබැවින් මැතිවරණ වලින් මහජන මතය සිය වාසියට හරවා බලය ලබා ගත්තද එය ශක්තිමත්ව පවත්වාගෙන යමින් ජනතාව අපේක්ෂා කරන යහපත් පාලන ක්‍රමවේදයක් තුලින් ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කරවීම විශාල අභියෝගයක්ව තිබේ. අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ජනතාවගේ සංජානනය රැකගැනීම වචනයෙන් සහ ක්‍රියාවෙන් ඔප්පු කරවීමට පාලකයින් වගබලා ගතයුතු වේ.
සමාජයේ භීෂණය, ත්‍රස්තවාදය සහ අපරාධ අවම කරගැනීමට මෙය දැඩි පිටිවහලක්වේ. ශක්තිමත් ආර්ථික පසුබිමක් සහිත සහ සංවර්ධනය වෙමින් පවතින සියලු ම රටවල්වල රජයන් ජනතාවට ඉටුවිය යුතු යුක්තිය සාධාරණීකරණය කිරීම උදෙසා කැපවිය යුතුවේ.
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී මහ දෙවොලේ අවුල - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක සමාව

2020 ජනාධිපතිවරණයේ පරාජය බාරගැනීමට ප්‍රතික්ෂේප කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආධාරකරුවන් සමග 2021 ජනවාරි 06 වැනිදා වොෂින්ග්ටන් අගනුවර දියත් කළ ත්‍රස්ත ක්‍රියාවලිය ඇමෙරිකානුවන් සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාගේ විවේචනයට ලක්වීය. එම අපරාධයට හවුල් වූ සියලු දෙනාට ම නීතිය ක්‍රියාත්මක කර ලබාදුන් සිරදඬුවම්වලින් නිදහස් කරවීම 2024 ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එක් මැතිවරණ පොරොන්දුවක් වීය.
සිය පළමු පාලන වාරයේ දෙවරක් ම දෝෂාභියෝගයට ලක්වී, මැතිවරණ ව්‍යාපාර අරමුදල් අවභාවිත කරවීමේ හේතුවට අපරාධ නීතිය යටතේ වරදකරුවකු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ඇමෙරිකාවේ 47වන ජනාධිපතිවරයා ලෙස තේරීපත්වීමට සමත් විය. ඔහුට දැන් ජනාධිපතිවරයා ලෙස ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමේ මුක්තිය වරප්‍රසාදයක් ව තිබෙන බැවින් සිය විධායක බලය ඉවක් බවක් නැතිව ක්‍රියාත්මක කිරීමට පෙලඹී ඇත. මෙහි ආදීනව ඉදිරියේ දී දැකබලා ගතහැකි වෙනු ඇත. පොරොන්දු වූ පරිදි ජනාධිපති සමාව ජනවාරි 06 කැරළිකරුවන්ට ලැබී ඔවුන් දැන් නිදහස ලබා ඇත.
සිරකරු හුවමාරු ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කථාව

සිරකරුවන් නිදහස් කරවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දෙන ලද විවෘත මැතිවරණ පොරොන්දුවක් නොවූව ද ඔහුට බලය ලබා දීමට මහජනතාව නොමග හැරීමට උපකාරී වූ ව්‍යාපාරික ප්‍රජාව සමග පැවැති අනියම් සම්මුතිය කරළියට ආවේ මිනීමැරීමකට ජීවිතාන්තය දක්වා හිර දඬුවම් ලැබුණු දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් ලබා දී නාගරික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීමත් සමග ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කරන ලද අමනෝඥ ක්‍රියාපාටිවලින් තවත් එක් නාටකයක් වූ මෙම සිද්ධිය පසුව අධිකරණයේ මැදිහත්වීමෙන් ම දුමින්ද සිල්වාට නැවත සිරබත් කෑමට යෑමට නියම කරවී ය.
අධිකරණය හෑල්ලු කරමින් විධායක බලය අවභාවිතා කරවීමේ පුරෝගාමීව කටයුතු කළ ජනාධිපතිවරයා නම්, කෘතහස්ත දේශපාලනඥයෙකු සේ නම් දැරූ වෘත්තීයෙන් නීතීඥයෙකු වූ ජේ. ආර්. ජයවර්ධන ය. 1977 එ. ජා. ප. රජයට විශිෂ්ට ජනවරමක් ලබා ගැනීමට සිරකරු නිදහස් කරවීමේ මැතිවරණ පොරොන්දු උපක්‍රමය යොදාගනිමින් එවකට ක්‍රියාත්මක වූ කේවල මැතිවරණයෙන් හයෙන් පහක ( ⅚) බලයක් ලබා ගත්තෙතේ ය. ඔහු අධිකරණ කටයුතුවලට බලපෑම් කලේ විධායක බලය වෙනුවට, (⅚ ) ලැබූ ව්‍යවස්ථාධායකයේ ජනවරම අනිසි ලෙස යොදාගැනීමෙන් ය. එම අකටයුතුකම් එකිනෙක විස්තර කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ.
අපරාධ නීතිය යටතේ දඬුවම් නියම වූවන්ට දේශපාලන වුවමනාකම් වෙනුවෙන් නිදහස ලබා දීම ශ්‍රී ලාංකේය ජනජීවිතවලට අත්වූ ඉරණම ගැන සාකච්ඡාවක්, වර්තමානයේ භූ දේශපාලනයේ ඉස්මතු වෙන තත්ත්ව සමග සැසදීමට මෙම ලිපියේ ඉදිරි ඡේද මම යොදා ගන්නෙමි.
බ්‍රිතාන්‍ය මහ රැජිණගේ රජයට එරෙහිව එල්ල කරන ලද 1971 ජ වි පෙ කැරැල්ල

77 වසරක් පුරා ශ්‍රී ලාංකිකයින් භුක්ති විදින නිදහසේ සීමා මොනවාද යන්න තේරුම් ගැනීමට වඩාත්ම උචිත ම සාධකය නම්, 1971 ජ වි පෙ මෙහෙයවන ලද තරුණ කැරැල්ල ය. එවකට බලයේ සිටි සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය ඇතුළු රජයේ නිලධාරීන් අත් අඩංගුවට ගැනීම කැරැල්ලේ එක් අරමුණක් වීය. එහෙත් එවකට පැවැති පාලන ක්‍රමවේදයේ රාජ්‍යයේ ප්‍රධානියා එංගලන්තයේ මහ රැජිණ වීම හේතුවෙන් කැරලිකරුවන්ට එරෙහි නඩුව ගොනු කළේ බ්‍රිතාන්‍ය මහ රැජිණගේ රජයට විරුද්ධව එල්ල කළ ත්‍රස්ත ක්‍රියාවක් ලෙසට ය.
එවකට ත්‍රස්ත ක්‍රියාලන්ට එරෙහිව දඬුවම් දියහැකි නීතී රාමුවක් නොතිබුණ හෙයින් විශේෂ අපරාධ විනිශ්ච කොමිසන් සභාවක් මගින් ජ වි පෙ නායක රෝහණ විජේවීරට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ඇතුළු සෙසු චූදියන්ට විවිධ කාල සීමාවලට සිර දඬුවම් ලබා දීමට සාධාරණව යුක්තිය ක්‍රියාත්මක වීය.

1977 මැතිවරණයට සමගි පෙරමුණ රජය මුහුණ දුන්නේ බෙදී විසිරුණු දේශපාලන බලවේගයක් ලෙස ය. ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් දියත්ළකල එ. ජා. ප. ය තම රජයක් යටතේ රෝහණ විජේවීර ඇතුළු චූදිත වරදකරුවන්ට නිදහස ලබා දෙන බවට එහි නායක ජේ. ආර්. ජයවර්ධන මහතා පොරොන්දු වීය. කේවල මැතිවරණ ක්‍රමය යටතේ තම ප්‍රතිවාදීන්ගෙගේ ඡන්ද සුළු ප්‍රමාණයක් තම පාර්ශවයට හිමිකර ගැනීමෙන් විශාල ජනවරමක් ලබා ගැනීමට එ. ජා. ප.යට හැකි වීය.
ඒ වනවිට ජ. වි. පෙ. සාමාජිකයින් සිය ව්‍යාපාරයේ නායකයා නිදහස් කරගැනීම ප්‍රමුඛත්වය දී කටයුතු කරමින් සිටි නිසා වාමවාදී ඡන්ද දායකයින් බොහෝ දෙනකු මෙකී අරමුණ වෙනුවෙන් එ. ජා. ප. යට සිය ඡන්දය ප්‍රකාශ කළ බවට අනුමාන කළ හැකි ය. 1977 ව්‍යවස්ථාදායකය ලද අසීමිත ( ⅚) බල සංයුතියේ සංඝටක ගොඩ නැගුණු ආකාරය මැතිවරණ ප්‍රතිපල විශ්ලේෂණයකින් තේරුම් ගැනීමට අපහසු නොවේ.
1977 දී ජේ. ආර්. ජයවර්ධන එ. ජා. ප. නායකයා ඇතුළු රජය තමන් ලබාගත් එම ජයග්‍රහණය එතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ විශ්ෂ්ට සිවිල් පරිපාලනය දේශපාලනීකරණය කිරීමට යොදාගත්තේ ය. එම ක්‍රියාවලියේ අනිටු ප්‍රතිඵල ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දේශපාලනයට දැඩි බලපෑමක් එල්ල කර ඇත.

විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමෙන් අත්කර ගත් ප්‍රතිලාභ සියල්ල ම රට තුළ ඉස්මතු වූ ත්‍රස්වාදී, දූෂිත ප්‍රචණ්ඩ ක්‍රියා තුළින් යටවී ගියේ ය. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට සහ එ. ජා. ප. යට සිය අසීමිත බලය රැකගැනීමට සිය විධායක සහ ව්‍යවස්ථාදායක බලය අධිකරණයේ ස්වාධීනත්වය අභිභවමින් තර්ජනාත්මකව යෙදවීය. එහි සමස්ත ප්‍රථිපලය 1983 සිට ශ්‍රී ලංකාව අඳුරු කාල පරිච්ජේදයකට ගොදුරු වීම ය.
ජේ. ආර්. ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම්

මහජන දේපළ ජීවිත හානි රැසක් බිහිසුණු අපරාධ තුළින් විමුක්තිය උදාකර ගැනීමට රෝහණ විජේවීරගේ නායකත්වය යටතේ ජ. වි. පෙ. දියත් කළ 1971 කැරැල්ල මැඩලීමට රජය සමත්වීය. රෝහණ විජේවීරට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වීය. 1982 ජනාධිපතිවරණයට සිය ප්‍රතිවාදීන් බෙදා දුර්වල කිරීමට විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ බලය අධිකරණයේ ස්වාධීනත්වය ඉක්මවා ජේ. ආර්. අවභාවිතා කළේ ය. ඉන් පළමුවැන්න අපරාධයකට වරදකරුවකු ලෙස සිරගත වූ රෝහණ විජේවීර නිදහස් කිරීම සහ සිය ප්‍රතිවාදිනිය වූ සිරිමා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු විරුද්ධ පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ ප්‍රජා අයිතිය නැති කරවීම ය.
මීට අමතරව මැතිවරණයක් නොතැබීමට ජණමතවිචාරණයක් පවත්වා පාර්ලිමේන්තු කාලසීමාව දීර්ඝ කරගැනීම සහ ඡන්ද දායකයින්ට ඍජුව වගවෙන වගකියන කේවල ආසන මැතිවරණ ක්‍රමය වෙනුවට සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීම ද සිදුවීය. මෙකී ක්‍රමවේදයෙන් තෝරා පත්වන මහජන නියෝජිතයින් ඡන්ද දායකයින්ට සහ බඳු ගෙවන්නන්ට ඍජුව වග නොකියන වරප්‍රසාද භුක්තිවිදීමට පමණක් තෝරා පත්වූවන් බව පසුගිය දශක කිහිපය තුළ පෙන්වාදී රට බංකොලොත් කළ ආකාරය පාඨක ඔබ මැනවින් අවබෝධ කරගෙන සිටී.

ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වුනු ආඥාදායෙකු අතරට ජේ. ආර්. පරිවර්තනය වූ ඔහු උතුරේ මතුවුනු අසහනත්වයට සහ බෙඳුම් වාදී අරගලය මැඩපැවැත්වීමට නොහැකි විය. 1983 ජූලි කලබල අහිංසක දෙමළ ජනයා වෙත ප්‍රචණ්ඩත්වය යොදවා පාලනය කිරීමට අසාර්ථක උත්සහයක් කර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අපකීර්තියක් අත්කරමින් L .T. T .E. බෙඳුම්වාදී අරගලය ශක්තිමත් කලේ ය.
1983 ජූලි ප්‍රචණ්ඩ ක්‍රියා සහ L. T. T. E. ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට පොහොසත්වූ එ. ජා. ප. රජය ජූලි කලබල ඇතිකර වූයේ නැක්සලයිට් දේශපාලන ව්‍යාපාරයක් යනුවෙන් නම් කර ජ. වි. පෙ. ඇතුළු වාමවාදී දේශපාලන පක්ෂ කිහිපයක් තහනම් කළේ ය. රෝහණ විජේවීර නැවතත් ත්‍රස්තවාදී ව්‍යාපාරයක් දියත් කිරීමට ඉඩකඩ ලබාගෙන අත්තනායක කෙනෙක් ලෙස සැඟවී 1988-89 වකවානුවේ තවත් කැරැල්ලක් දියත් කරමින් මහජන දේපළ ජීවිත හානි රැසක් අත්කරමින් සිය ජීවිතයෙන් ම වන්දි ගෙවී ය.
අපරාධකරුවන් නිදොස් කර විනිශ්චකරුවන්ට දඬුවම් කිරීම
ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත්ව ආඥාදායකයන් වූ පාලකයින් අතර ප්‍රමුඛයා ඩොල්ෆ් හිට්ලර් ය. වර්තමාන ඇමෙරිකානු ජනාධිපතිවරයා ඔහු අභිභවා කටයුතු කිරීමට සැරසෙන බවට ඉඟි කරමින් සිටී. මේ වන විට 2021 ජනවාරි 06 වොෂින්ග්ටන් නුවර ත්‍රස්ත ක්‍රියාවල නිරතවු අපරාධකරුවන්ට දඬුවම් නියම කළ විනිශ්චකරුවන් කවුරුන්ද යන්න දැනගැනීමට FBI ආයතනයට බල කර ඇත.
(සටහන | ජයශ්‍රී ප්‍රියලාල්)
|ජයශ්‍රී ප්‍රියලාල් : යුනී ගෝලීය වෘත්තීය සමිති ජාලයේ ආසියා හා ශාන්තිකර කලාපයේ මූල්‍ය සහ වෘත්තීය කළමණාකරුවන්ගේ සේවාවන් අංශයේ කලාපීය අධ්‍යක්ෂකවරයා වන අතර, ඔහු ලිපි රචකයෙක් හා පර්යේෂකයෙක් ලෙසද කටයුතු කරනු ලබයි.






